Sunday, December 22, 2013

අවසරයි ලං වෙන්න: තිස්වන කොටස



ආපහු කැම්පස් යන්නා ඕන වෙන ඇඳුම් හෙම බෑග් එකට අහුරමින් ඉද්දි අම්මා මගේ කාමරේට ආවා පුරුදු විදියට. කවදත් මම කැම්පස් යන දාට කලින්දා රෑ අම්මා ඇවිත්, මම සේරම හරියට අහුර ගත්තද කියලා බලන එක අම්මගේ පුරුද්දක්.
"අලුත් ඇඳුම් ටික හෙම දා ගත්තද දෝණි?" අම්මා ඇහුවේ මගේ ඇඳේ පැත්තක වාඩි වෙන ගමන්.
"ඔව් අම්මේ"
"එදා මම අල්මාරිය අස් කරද්දි දැක්කා ඔරලෝසුවක් තියෙනවා ඒක අස්සේ. අර චේතිය ළමයා දීපු එකද මන්දා. ඔයා ඒක දාන්නැද්ද?"
"...නෑ මේ ඒක වටින එකක්නේ අම්මා. කැම්පස් දාන තරම් හොඳ වැඩි නිසයි ගෙදර තියලා යන්නේ" මම කිව්වා. ඒත් ඇත්ත වුණේ ඒක මම හිතා මතාමයි නොදා ඉන්නේ කියන එක.
"හ්ම්..."
"අයියලා මොකෝ කරන්නේ අම්මේ?" මම ඇහුවේ පොත් දෙක තුනත් බෑග් එකට ඔබන ගමන්.
"මොකක්ද මේ රගර් මැච් එකක්ද කොහෙද බලනවා"
"හ්ම්...රගර් පිස්සෝ දෙන්නෙක් නේ" මම කිව්වේ හිනා වෙලා.
"මම මේ කියන්න හැදුවේ දෝණි, අයියත් ගෑණු ළමයෙක් ලෑස්ති කරගෙන නෙව"
අම්මා කිව්වම මම කර කර උන්නු වැඩෙත් නැවතුණා. එහෙමන් මේක කියන්නයි අම්මා මේ ඇවිත් තියෙන්නේ.
"නෑ...කවුද අප්පේ ? අපි දන්න කෙනෙක්ද අම්මා?" මම අම්මා ලඟින් වාඩි වෙන ගමන් ඇහුවා.
අම්මා මා දිහා ඇස් කොනකින් බලලා ආයෙම අහක බලා ගත්තා.
"අර චේතිය ළමයගේ ලොකු තාත්තගේ පොඩි දුවලු"
අම්මා එහෙම කිව්වම මගේ උද්‍යෝගය වාෂ්ප වුණා වගෙයි මට දැනුනේ.
"චේතියගේ ලොකු තාත්තගේ දුව?"
"ම්ම්. මම ෆොටෝ එකකුත් දැක්කා. හොඳ හැඩ වැඩ තියෙන ළමයෙක්. අනික ඉතිං එච්චර උසස් පවුලක වෙලත් අපේ ළමයට කැමති වෙලා තියෙනවා නේ" පාර අම්මා කතා කලේ ඒක අයියගේ වාසනාව කියලා වගේ.
"ඉතිං අපේ පවුලේ මොන අඩුවක්ද? අපි අඩු කුලේ යැ? අනික අයියට මොන අඩුවක්ද? එයා කොච්චර හැන්ඩිද? අයියා හම්බවුණ එක ගැන අයයි සතුටු වෙන ඕන" මම කිව්වා.
"ඉතිං ළමයෝ දැන් අය අසතුටුයි කියලා කවුද කිව්වේ. අය උඩින්ම කැමති වෙලා අපේ පුතාට. ඔය කියන ළමයගේ අම්මා නැති වෙලාලු දැන් අවුරුදු තුනකට විතර උඩදි. තව අක්කලා දෙන්නෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නේ. ඔයා දන්නවනේ අර එදා චේතිය එක්ක මෙහේ ආවේ. අන්න ළමයා" අම්මා කිව්වා.
"හා ඔව් ඔව්. අනේ මන්දා ඉතිං පවුල හොඳයි නම්, අනෙක් සේරමත් හොඳයි නම්, ඔක්කොටම වඩා අයියා කැමතියි නම්, සේරම හරි නේ අම්මා" මම කිව්වේ හිනාවක් පාලා.
අම්මත් හිනා වුණා.
"හ්ම්. වුණත් දැන්මම කසාද බඳින්න නම් ළමයින්ගේ අදහසක් නෑලු. ඒත් ඉතිං වැඩියෙම පරක්කු කරන්නත් බෑ. අපට ඔයා ගැන බලන්නත් තියෙනවානෙ" අම්මා ඊට පස්සේ කිව්වා.
"අනේ අනේ අම්මේ, මට මගේ පාඩුවේ ඉගෙන ගන්න දෙන්නකෝ. මම තාම පොඩි ළමයෙක්නේ" මම චාටුවෙන් අම්මට කිව්වා.
"කොල්ලෙක් නම් වයස ගියාට කමක් නෑ. ඒත් කෙල්ලෙක් වයස යන්න කලින් බඳින්න ඕන. නැත්තම් රට්ටු කතා කියාවි" අම්මා කිව්වා.
"අම්මා බයද මම ගෙදරට නාකි වෙයි කියලා?"මම ඇහුවා.
පාර අම්මා මා දිහා බැලුවේ අමුතුම හිනාකුත් එක්ක.
"හපෝ නෑ. ගැන නම් මට කිසිම බයක් නෑ. ඒවට අපි වැඩ කටයුතු ලෑස්ති කරන්නම්කෝ වෙලාවට" අම්මා කිව්වා.
මම අම්මට මුකුත් නොකියා, ආපහු අස් කරන්න ගියේ හිනා වෙවීමයි.
***
අස් කරන වැඩ තිබුණ හන්දා මම අනික් කට්ටියට කලින් රෑ කෑම කෑවා. නිසාම කෑම මේසෙදි චේතියව හම්බවෙන්න තිබුණ අවස්ථාවත් සතුටුදායක විදියට මට මගෑරුණා. මගෑරලා හිටියම හැමදේම විසඳෙයි කියලා මම බොලඳ විදියට හිතාගෙන උන්නට, ඒවා එහෙම ලේසියෙන් විසඳෙන් විදිහේ ප්‍රශ්ණ වුණේ නෑ.
"දෝණී...ඔය පිඟාන් ටික හෝදලා, පොඩ්ඩක් එන්න අර ඉස්තෝප්පුව දිහාට" මම කෑම කාපුවා අස් කරමින් ඉද්දි තාත්තා කිව්වා.
කෑම කාලා ඉවර වෙලා, අයියයි, චේතියයි ටවුන් එකේ මියුසිකල් ෂෝ එකක්ද කොහෙද බලන්න ගිය නිසා ගෙදර උන්නේ අපි තුන් දෙනා විතරයි.
මම පිඟාන් ටික හෝදලා, පිහලා කබඩ් එකට දාලා ඉස්තෝප්පුව දිහාට ගියේ පොඩි කුතුහලේකුත් එක්ක.
"දෝණි වාඩි වෙන්නකෝ" මම ආපු වග දැකලා තාත්තා කිව්වා.
කුස්සියේ ඉඳන් මා එක්කම වගේ ආපු අම්මත් තාත්තා අසලම තිබ්බ පුටුවකට බර වුණා. මට දැනුනේ හරියට interview එකකට ගිහින් ඉන්නවා වගේ හැඟීමක්. එක්කම හිත ගිනි වැදුනේ, බැරි වෙලාවත් භූපයි මායි ගැන ගෙදරට ඉව වැටිලාවත්දෝ කියලයි.
"අපි මේ ටික දවසක ඉඳන් ඔයා එක්ක වැදගත් කාරණාවක් කතා කරන්නයි උන්නේ" තාත්තා කතාව පටන් ගත්තේ එහෙම.
"මොකක්ද තාත්තේ?" මම ගැහෙන හිතින්.
"ඔයා කියනවද?" තාත්තා ඇහුවේ අම්මා දිහා බලලා.
"ඔයාම පටන් ගන්නකෝ" අම්මා කිව්වා.
"දැන් මම මේ කියන්න යන දේ අහලා එක පාරටම ඔයා කලබල වෙන්නවත්, බය වෙන්නවත් ඕන නෑ. මේක මේ මම ඔයාට කියන්නේ, ඔයා මේ ගැන දනගෙන ඉන්න ඕන නිසයි. හොඳද?" තාත්තා කිව්වාම මගේ හිත තවත් බය වුණා.
"මේකයි පුතේ...ඔයා ගැන අපට පොඩි යෝජනාවක් ඇවිත් තියෙනවා. මං කිව්වේ මේ මගුල් යෝජනාවක්"
තාත්තා කියද්දි මම උඩ ගියා. මම මේක බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි.
"මට? මේ...මට? කා...කා..ගෙන්ද?" මම ඇහුවේ පුදුමෙන්.
"වෙන කාගෙන්වත් නෙවෙයි, මේ අපේ චේතිය පුතාගෙන්" තාත්තා  බොහොම සාමාන්‍ය විදියට එහෙම කියද්දි, මගේ හිත අසාමාන්‍ය විදියට කලබල වුණා.
"චේතිය අයියාගෙන්?"
"හ්ම්. මේ යෝජනාව ගෙනැල්ලා නම් දැන් මාස දෙකක් විතර වෙනවා. එතකොට ළමයා ඔයාට මේ ගැන කියලත් නෑ මහිතේ. අපිට කිව්වේ අපිත් කැමති නම් ඔයාගේ ඉගෙනීමේ වැඩ කටයුතු ඉවර වුණාම ඔයාව කසාද බඳින්න කැමතියි කියලා. අපි කැමති නම් විතරක් මේ ගැන ඔයාට කියන්නම් කියලත් එයා අපට කිව්වා" පාර කතා කලේ අම්මා.
මම උන්නේ අන්ද මන්ද වෙලා වගේ. හිතේ ගොඩනැගෙමින් තිබුණේ ලොකු පීඩනයක්. කියන්නේ චේතිය හැමදේම කරලයි අන්තිමට මගෙන් අහලා තියෙන්නේ.
" ළමයා ඕක මුලින්ම කියලා තියෙන්නේ පොඩි අයියට. අයියා කිව්වලු ගෙදරින් අහන්න කියලා. පාර තමා ඔය ඇවිත් ඇහුවේ. දෝණි දන්නවනේ ළමයා හොඳ වැදගත් පවුලක, දේපල හෙම තියෙන, උගත් ළමයෙක්. අපි කාලෙක ඉඳන් දන්න ළමයෙක්. අනික ළමයගේ තියෙන වැදගත්කම පේනවනේ, මේ ඉස්සෙල්ලම ඇවිත් ඔයාගෙනුත් නාහා අපෙන්ම අවසර ඉල්ලපු එකෙනුත්. වෙන කෙනෙක් නම් ඉස්සෙල්ලා අහන්නේ ගෑණු ළමයාගෙන් නේ. දෝණි...මේ වගේ හොඳ යෝජනාවක් ආවේ ඔයාගේ වාසනාවට. " අම්මා ආයෙම කිව්වා.
ඒක වාසනාවට වඩා මගේ අවාසනාව කියලයි මට එවෙලේ හිතුණේ. ඒත් කලබල වුණ හැම වෙලේකම වෙන්නා වගේ මගේ දිව ගොලු වෙලයි තිබුණේ. නිසා මට පුලුවන් වුණේ කියන එක අහන් ඉන්න විතරයි.
"මං හිතන්නේ ළමයා මේ ගැන ඔයාට කියලා ඇති නේද?" තාත්තා ඇහුවා.
මම ඒකට උත්තරයක් දුන්නේ නෑ. මගේ හිතේ තිබුණේ ලොකු හිස් බවක්.මේ තරම් කල් හිතේ තිබ්බ සතුට එක පාරටම හොරු ගෙනිච්චා වගේ නැති වෙලා ගිහින් තිබුණා.
"මොකෝ මේ දෝණි බය වෙලා වගේ?" තාත්තා ඇහුවා.
"මට...කසාද බඳින්න ඕන නෑ තාත්තා" මම කිව්වේ ඇඬුම්බරව.
පාර තාත්තා උන්නු තැනින් නැගිටලා මා ලඟට ආවා.
"ඉතිං දැන්ම බඳින්න කියලා කවුදෑ කිව්වේ. අපටත් ඕන නෑ මේවා දැන්ම කරන. මම දන්නවා ඔයාට මේ දේවල් අමුත්තක් වගේ දැනෙනවා ඇති. ඒත් පුතේ මේ දේවලුත් කවදා හරි කෙරෙන්න ඕන දේවල්. නිසා ළමයව දැන අඳුනගෙන ඉන්න එකේ වරදක් නෑනෙ. ඔයාලට ඕන කාලයක් ආශ්‍රය කලාට අපෙන් බාධාවක් නෑ. දැන් ගෙවල් දෙකෙන්ම මේ ගැන දන්නවත් නේ" තාත්තා කිව්වා.
"ගෙවල් දෙකෙන්ම?" මම ඇහුවා.
"ඔව්. මේ පාර ගිය වෙලේ චේතිය පුතා ගෙදරට ඔයා ගැන කිව්වා කියලා අපට කිව්වා"
තාත්තා එහෙම කිව්වාම මගේ හිත තවත් කඩා වැටුණා. 'දෙයියනේ මම නොදැන කොච්චර නම් දේවල් මගේම ගෙදර තීරණය වෙලාද?' මට අම්මයි තාත්තයි ගැනත් දැනුනේ නොරිස්සුමක්. මම ඇඳෙන් නැගිටලා ජනේලේ ගාවට ගියේ ඒකයි.
"ඇයි දෝණි?" තාත්තා ඇහුවේ මගෙ වෙනසක් තේරුණ නිසා වෙන්න ඇති.
"ඇයි කවුරුත්ම මට කලින් නොකිව්වේ?" මම ඇහුවා.
"කලින් කිව්වත්, පස්සේ කිව්වත් කාරණේ වෙනස් වෙන්නේ නෑනෙ. කලින් නොකිව්වේ ඔයා තාමත් ඉගෙන ගන්න නිසා. මේ දේවල් දැන්ම ඔලුවට දාන්න තාත්තා කැමති වුණේ නෑ ඒකයි" තරමක් තදින් එහෙම කිව්වේ අම්මා.
"ඒත් මේවා ඔයාට නොකියා තියාගෙන ඉඳලා තේරුමක් නෑනෙ. ඔයා දැන් ලොකු ළමයෙක්. දැනුම් තේරුම් තියෙන කෙනෙක්. නිසයි අපි අන්තිමට හිතුවේ මේක කියන්න ඕන කියලා" තාත්තා කිව්වා.
"ඔයා එයාව ආශ්‍රයය කරලා, හෙමිහිට තේරුම් ගන්න කාලේ ගන්න. ළමයට වත් අපටවත් කසාදේ ගැන හදිසියක් නෑ" ඊට පස්සේ අම්මා කිව්වා.
මම අම්මා දිහා බැලුවේ අසරණව. අම්මලා කතා කරන්නේ හැම දෙයක්ම තීන්දු කර ගත්තු ගාණට. ඉතිං මම මගේ කතාව කියන්නේ කාටද?
මේ හැම දේම මෙහෙම වෙද්දි, භූප ගැන ගෙදරට කියන්න මගේ දිව නොනැමුණේ මගේ කරුමෙට වෙන්න ඇති. දේ ගෙදරට කියන්න මගේ හිතේ තිබුණේ බයක්. මේක ආරංචි වුණොත් මම අම්මලා මා ගැන තියපු විශ්වාසේ පලුදු කලා කියලා හිතයි, දෙන්නම හිත් රිදව ගනී, ඊට පස්සේ මාව ආයෙම කවදාවත් විශ්වාස කරන එකක් නෑ කියලා මගේ හිත මට කියන්න වුණා.
"ඇයි දෝණි මොකක්ද ප්‍රශ්ණේ? මොකද මේ මූණත් අමුතු කරගෙන ඉන්නේ?" තාත්තා ආයෙම ඇහුවා.
"මට චේතිය අයියා ගැන එහෙම හිතන්න බෑ තාත්තා" මම හෙමින් කිව්වේ තාත්තා දිහාවත් නොබලා.
"මොනවද මේ කියන්නේ? එක පාරටම කෙනෙක්ක් ගැන එහෙම හිතන්න බැරි වග ඇත්ත. ඒත් කාලයක් ආශ්‍රය කරද්දි, තේරුම් ගනිද්දි ඔය අදහස් වෙනස් වෙනවා පුතේ" තාත්තා කිව්වා.
"චේතිය කියන්නේ නරක ලමයෙක් නෙවෙයි. අනික තරම් හොඳ, වැදගත් ළමයෙක් ආයෙම ඔයාට හොයන්න හම්බවෙන්නේ නෑ. ළමයා ඔයාට කැමති එකම කොච්චර ලොකු දෙයක්ද? ඔය මනස්ගාත හිතිං අයින් කරලා පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්නකෝ" අම්මා කිව්වා.
"ඔව් පුතේ. මේ කසාද බඳින්න කියනවා නෙවෙයි නේ. දරුවා හොඳ කෙනෙක්. අපට ඕන අපේ දෝණිව හැමදාම සැපෙන් සතුටින් තියන්න පුලුවන් කෙනෙක්ට දෙන්න. මට විශ්වාසයි චේතියට ඒක කරන්න පුලුවන් කියලා" තාත්තා කිව්වේ කරුණාවෙන්.
"ඒත් ඔයාට සැකයක් දැනෙනවා නම් ඔයා තව හිතලා බලන්න. අපි ඔයාට බල කරන්නේ නෑ" අම්මා මට කිව්වා.
එතනින් එහාට මට කියන්න දෙයක් තිබුණේ නෑ. අම්මාවත් තාත්තවත් මගෙන් ඇහුවේ නෑ ඇයි මම චේතියට අකමැති කියලා. සමහරවිට දෙන්න තරම්ම මාව විශ්වාස කරන නිසාද? මට මං ගැනම වරදකාරී හැඟීමක් නොදැනුනා නෙවෙයි. ජීවිතේ කවදාවත් නැති තරමට හිත කලබල කරගෙන, පාරගෙන තමයි මම අන්තිමේට කාමරේට ආවේ. එදා රෑ දොලහත් පහු වෙනකල්ම මම උන්නේ ඇහැරලා. මේකට මොනා කරන්නද කියලා හිත හිත. ඒත් කිසිම විසඳුමක් හිතට ආවේ නෑ. දැන් මට තිබුණ එකම සරණ  භූප විතරයි. එයා මේ වග දැන්ගත්තම, අපි දෙන්නටම එකතු වෙලා ඊලඟට කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්න පුලුවන් වේවි කියලා මම හිතුවා. අඩු ගාණේ දැන්වත් භූප අපි ගැන ගෙදරට කියන්න කැමති වේවි කියලා මම විශ්වාස කලා. ඒකම දේ වුණේ සඳුදා වෙනකල් ඉවසන්නේ කොහොමද කියන එකයි. ඒත් ඉවසනවා ඇරෙන්න මට වෙන මගක් තිබුණේ නෑ.'අනේ දෙයියනේ මොනාද මේ අපට වෙන්න යන්නේ?'

3 comments:

  1. පොත් ගුලේ යාලුවන්ට සුබ දවසක් වේවා! ගොඩක් අය කමෙන්ට්ස් දාලා හෙම තිබුණත් මට උත්තර ලියන්න වුණේ නැතුවට සමාවෙන්න ඕන. ලියලා තියෙන කතාව පල කරන්න ඇරෙන්න වෙන වෙලාවක් අරන් එන්න මේ වැඩ එක්ක ටිකක් අමාරුයි. ඒත් ඔයාලගේ අදහස් වලට ගොඩාක් ස්තුතියි. මම දන්නවා ඒ හැම අදහසක්ම ඔයාලගෙන් පල වෙන්නේ පොත් ගුලට, මේ කතාවට ඔයාලගේ තියෙන ලැදියාව නිසා කියලා. ඉතිං පොත් ගුලට ඇවිත් මට තව තව ලියන්න පන්නරය දෙනවට ආයෙමත් ස්තුති කරනවා ඔයාලා හැමෝටම...
    හිතෙන ඕනම අදහසක් ලියන්න...ඒ හැම දෙයකින්ම ඊලඟ කතාවක් ලියවුණොත් ඒකට උදව්වක් වේවි...එහෙනම් ආයෙම කොටසකින් හම්බවෙමු...

    ReplyDelete
  2. කතාව ලස්සනට ගලා ගෙන යන‍වා. හිතට වදින විදියට ලියන්න ඔයා හරි දක්ෂයි. ඔයාට සුභ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රියංගිකා...ඔයාලගේ වචන මට ලොකු හයියක්.

      Delete