Friday, December 13, 2013

අවසරයි ලං වෙන්න: විසිහත්වන කොටස


"කීයටද අම්මේ නොනගතේ පටන් ගන්නේ?"
බිත්තියේ ගහල තිබුණ ලිත දිහා ඇස් පුංචි කරගෙන බල බල උන්නු පොඩි අයියා ඇහුවේ, කුස්සිය අස් පස් කරමින් උන්නු අම්මගෙන්.
යාන්තම් දොලොස් වෙනිදා දවල් වෙනකොට අතින් කටින් බඩු මලුත් එල්ලගෙන අපේ පොඩි අයියා ගෙදර ආවේ, උදේ ඉඳන් පාර දිහා බලාගෙන උන්නු අම්මගේ ඇස් වලට නිවාඩුවක් ලබා දෙන ගමන්. වෙලාව වෙද්දි මමත් උන්නේ, මුලු ගෙදරම mop කරල කොන්දේ අමාරුවකුත් හදාගෙන. කොහොම වුණත්, අයියා ගෙදර ආවට පස්සේ සේරම සම්පූර්ණයි වගේ තමා මට දැනුනේ. මම හිතන්නේ අම්මයි, තාත්තටයිත් එහෙමම දැනෙනෙන්න ඇති කියලා. මොකද ඊට පස්සේ දෙන්නම උන්නේ ගොඩක්ම සතුටින් හන්දා.
"හෙට උදේ දහයයි විසි දෙකට මට මතක විදිහට. ඔය ලිතේ නැද්ද?" අම්මා ඇහුවේ කරමින් උන්නු වැඩේ නිනවත්වාම.
"දහයයි විසි දෙකට තමා. ඔය ලිතේ අනික් පැත්තේ අයිනේ තියෙන්නේ අයියා" මම කුස්සිය අතු ගාන එක නවත්තලා කිව්වා.
අවුරුදු දවසට කලින්දා, මේ විදියට එක පිටම දෙපාරක් විතරම ගේ අතු ගාන්න වෙන එක මට සාමාන්‍ය දෙයක් වෙලයි තිබුණේ. මොකද අම්මට ගෙදර එක කුණු අංශුවක් වත් නැතුව තියෙන්න ඕන නිසා.
අන්තිමේදි සේරම අස් කරලා, ලිපේ අලු හෙමත් අරන් දාලා අපි නිදන්න ගියේ, පහුවදා උදාවෙන අලුත් අවුරුද්ද ගැන නැවුම් බලාපොරොත්තු ගොඩක් හිතේ දරාගෙන.
ඇඳට ගියාට පස්සේ කොට්ටේ අනික් පැත්තේ තිබුණු ෆෝන් එක මට අතට ගැනුනේ පුරුද්දට වගේ. ඒක නිකමට බලපු මට දැනුනේ පුදුමයක් එක්කම සතුටක්. මම බලාපොරොත්තු නූන විදියට භූප මට message එකක් එවලා

'මුදු සඳ කිරණක් විලස ඇවිත් නුඹ- හිතට මගේ එබිකම් කරනා...
නුඹෙන් මා අතරේ ගව් ගණනක් දුර- ඇතිවා විලසට මට දෑනෙනා...
නොදැක නුඹේ වත, නාසා නුඹෙ හඬ - මහිත මටම වාවනු නොහෙනා...
සොඳුරිය නුඹමැයි නුඹෙ ප්‍රේමය මැයි -  පණ නල සේ මා ජීවත් කරනා...'

 භූපගේ කවියේ අන්තිම පදය කියවලා ඉවර වුණ ගමන් පද පෙලම බොඳ  වෙනවා මට දැනුනා. දෙපාරක් නොහිතම මම භූපගේ නොම්මරේ ඔබලා ෆෝන් එක කනේ තියා ගත්තේ මට ඔහු එක්ක කතාකරන්නම ඕන කියලා හිතුණ නිසා.
"බීප් බීප්...බීප් බීප්......ලෝ" එහා පැත්තෙන් මට ඇහුනේ භූපගේ නිදි බර හඬ.
"භූප" මම පුලුවන් තරම් හඬ අඩු කරලා කතා කලේ එහා පැත්තේ අම්මලගේ කාමරෙට ඇහේවි කියලා.
"කවුද? භූප උන්නේ තාමත් නිදි මතේද කොහෙද මට හිනාවක් නැගුනා.
"මම..."
"දුලාරා..." පාර නම් භූපගේ හඬේ නිදිමත ගතියක් තිබ්බේ නැති තරම්. "ඔයා...මෙවෙලේ? තාම නිදි නැද්ද?" භූප ඇහුවා.
"දැනුයි නිදන්න ආවේ. ගෙදර සේරම පිලිවෙලට අස් කරන්න එපැයි"
"හම්මේ...දැන් දොලහත් වෙලානේ"
"ම්ම්. ඔයා නම් හොඳට නිදි නේ. මම ඔයාව ඇහැරෙව්වද?"
"අනේ නෑ. මමත් මේ අම්මලට අස් පස් කරන්න උදව් කරලා එකොලහට විතර නිදන්න ආවේ" භූප කිව්වා.
"ම්ම්...ඒක නෙවෙයි. ඔයා එවලා තිබුණ කවිය...ඒක හරිම ලස්සනයි භූප" මම හෙමින් කිව්වා.
"ඒක දැකලද කතා කලේ?"
"හ්ම්"
"ඒක තමයි. මම උඩ ගිය ඔයාගේ නොම්මරේ දැකලා. දැන් මේ සිවිලිමේ ඉන්නේ. හෙට ඉරත් අනික් පැත්තෙන් පායයිද මන්දා" භූප කිව්වේ හිනා වෙවී වග මට තේරුණා.
"ඇයි ?"
"ඔයා කෝල් කරපු නිසානෙ"
"අනේ නිකං ඉන්න. මම තියනවා හොඳේ"
"හෝව් හෝව්. තියන්න එපා... ප්ලීස්. ඔයා උදේ වෙනකල් කතා කලත් මම අහගෙන ඉන්නවා" භූප කිව්වා.
"හොඳට තියෙයි"
"හොඳට තියෙයි නේන්නම්" භූප කිව්වා.
මම ඒකට මොන්වත්ම කියන්න ගියේ නෑ.
" ඒක නෙවෙයි. අයියණ්ඩි ආවද?" භූපම ඊට පස්සේ ඇහුවා.
"ඔව්. දවල් දොලහට විතර ආවා  යන්තම්"
"ම්ම් එහෙමද? හෙට දිහාට එහෙනම් හම්බෙයි පන්සලේදි වත්. ඔයාලා පන්සල් එන්න ලෑස්ති වෙද්දි මට ring කරනවද? අපි වෙලාවට එන්න බලන්නම්" භූප කිව්වා.
"හා"
ඊට පස්සේ තප්පරයක් දෙකක් භූපයි මායි දෙන්නම උන්නේ නිහඬ වෙලා.
"දුලාරා..." භූප කතා කලා මුලින්. වචන වල තිබුණේ ලොකු ආදරයක්.
"ම්ම්"
"අලුත් අවුරුද්දේ, නෑගම් එද්දි මොනාද ඔයාට මම අරන් එන්න ඕන?" භූප ඇහුවා.
"මොනවත් එපා. ඔයා ආවොත් හොඳටම ඇති"
"එහෙනම්, සේල වලලු රන් පවලම් නැතුව, හදේ සුවඳ ආදරේ විතරක් අරන් ඔයා බලන්න මම එන්නම් අලුත් අවුරුද්දේ. හොඳද?"
"ම්ම්" මම එහෙම කිව්වේ භූපගේ හඬේ තිබුණ හැඟීම්බර බව මගේ දෙනෙත් තෙත් කරපු හන්දා.
"දැන් එහෙනම් නිදා ගන්න. නැත්තම් නිදි මරලා ඔය තරු අස් දෙක මැලවෙයි" භූප කිව්වා.
"එතකොට?"
"එතකොට මට දුකයි"
"ඇයි ?"
"ඔයා මහන්සි වෙලා මැලවිලා ඉන්නවට මම අකමැති නිසා" භූප කිව්වා.
"භූප?" මම මිමිණුවා.
"ම්ම්?"
"මට ඔච්චරම ආදරේද?"
"ඔව්...මටවත් හිතාගන්න බැරි තරම්  ආදරෙයි ඔයාට මං"
මම මූණ කොට්ටෙට තෙරපගත්තේ, පුංචි කඳුලක් ඇහැ අගින් බේරුණ නිසා.
"දැන් නිදා ගන්න එහෙනම්. හෙටත් වැඩ තියේවි නෙ" භූප කිව්වා.
"හා"
"බුදු සරණයි. හොඳට නිදාගන්න "
"හා. ඔයාටත් බුදු සරණයි භූප" මම කිව්වා.
"තියන්නද එහෙනම්?"
"හා"
"එක්කෝ ඉස්සෙල්ලා ඔයා තියන්න"
"බෑ, ඔයා තියන්න" මම එහෙම කිව්වාම භූපට හිනාවක් ගියාද කොහෙද.
"එලි වෙනකල් ෆෝන් එක තියන්න තියන්න කිය කිය ඉන්න වෙයිද?
"ඔයා තියන්න" මම ආයෙම කිව්වා.
"දෝනී..."
"මම තියනවා.. අම්මා එනවා…" අම්මගේ කට හඬ කාමරේ දොර ලඟින් ඇහෙද්දිම ෆෝන් එක කට් කරලා කොට්ටේ යටට දාලා මම දොරට පිටුපාලා උන්නේ ගැහෙන හිතින්.
අම්මා දොර ඇරලා බලනවා මට ඇහුණා. මම නොහෙල්ලිම උන්නේ, අම්මට උත්තර බඳින්න මට තවමත් බැරි නිසා.අම්මා එතනින් යනවා ඇහුණට පස්සේ ආපහු ෆෝන් එක අතට අරන් බලලා මම ඒක කොට්ටේ යටටම දැම්ම. 'භූප නිදන්න යන්න ඇති' මට හිතුණා. ඊට පස්සේ මමත් හරි බරි ගැහුණේ නිදා ගන්න. හෙට අලුත් දවසක්. හෙටින් පස්සේ අලුත් අවුරුද්දක්. අලුත් බලාපොරොත්තු, හීන පොදි බැඳගත්තු අලුත්ම අවුරුද්දක්.
*  *   *
පුණ්‍ය කාලයට පන්සල් ගිහින්, අලුත් අවුරුදු නැකැතට ලිප ගිනි මොලවලා, උයලා, ආහාර අනුභව කරලා, අම්මටයි තාත්තටයි වැඳලා, ගනුදෙනුත් කලාට පස්සේ, හැමදාම වගේ අපේ ඊලඟ අංගය වුනේ ගමේ නෑ ගෙවල් වලට යන එක. මේ පාර ලොකු අයියලා එයාලගේ ගෙදර අවුරුද්ද සමරපු හන්දා, අපේ ගෙදර උන්නේ අපි හතර දෙනා විතරයි. අපේ ගෙදර අයයි, බාප්පලයි, ලොකු තාත්තලයි නැන්දලයි සේරම එකතු වුණේ ආච්චි අම්මලගේ මහ ගෙදරට. හැම අවුරුද්දකම ඒක කෙරුණේ එහෙම.
ආච්චි අම්මා, අලුත් හාල් වලින්, කිරි ගොඩාක් දාලා රස කිරි බතක් හෙම හදාගෙන, බාප්පලා එක්ක අපි සේරම එනකල් මග බලාගෙන උන්නා.
"මගේ දෝණිට, රත්නත්තරේ පිහිටයි. මේ අවුරුද්ද හිතේ තියෙන සේරම බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන"
ආච්චි අම්මට වැන්දට පස්සේ මගේ මූණ දෙපැත්ත ඉඹලා මට ආශීර්වාද කලා.
ඊලඟට වයස් පිලිවෙලට හැමෝටම වැඳලා සුබ පතලා තෑගි බෝගත් හුවමාරු කර ගත්තට පස්සේ, පුරුදු විදියට කන්න බොන්න, සතුටු සාමීචියේ යෙදෙන්න කවුරුත් පටන් ගත්තා.
"ෂා මේක නම් හරි ලස්සනයි අනේ" සෙනුරි අක්කා කිව්වේ, අයියා මට අවුරුදු තෑග විදියට දුන්නු පුංචි රත්තරං chain  එක අතගාන ගමන්.
"අයියට එහෙනම් හොඳට සරු ඇති නේ"
"සරුයි සරුයි. මොක්ද නැතුව" එවෙලේ අපි උන්නු තැනින් යමින් හිටපු පොඩි අයියා කිව්වේ හිනා වෙවී.
එයා සෙනුරි අක්කට සැප පහසු සෙරෙප්පු දෙකයි, දැන් කාලේට ඕන වෙන ගවුම් වගේකුයි ගෙනැත් දීලා තිබුණා. ආච්චි අම්මට තමා අයියගෙන් හොඳම තෑග්ග ලැනුණේ. වයසක උදවියට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් විද්යේ ෆෝන් එකක්.
"අන්න ඒක  නම් වටිනවා පුතේ. දැන් ඉතිං අම්මට වැඩිය ඇවිදින්නේ කරන්නේ නැතිව කාට වුණැත් කතා කරන්න පුලුවන් නේ" ලොකු තාත්ත කිව්වේ හිනා වෙවී.
"අනේ මංදා මේ නහින දෙහින කාලේ ඉන්න  මට ඉතිං මෙව්වා මොකට ගේන්න වියදම් කොලාද පුතේ?" ආච්චි අම්මා කිවේ ෆෝන් එක හරව හරව බලන ගමන්.
"එහෙම කියන්න එපා ආච්චි අම්මේ. අර ආනන්ද මයෛත්‍රීය මහා නාහිමියොත් වයසට ගියාට පස්සේත් කම්පියුටර් ගහන්න ඉගෙන ගත්ත වග ආච්චි අම්මා දන්නවද? උන් වහන්සෙගෙන් ඇහුවම කිව්වලු, ඉගෙන ගන්නේ ඊලඟ භවේට කියලා. නිසා, වයසට ගියත් ඊගෙන ගන්න එක අපතේ යන්නෑ" එහෙම කිව්වේ මාලතී අක්කා.
"හොඳ හොඳා එහෙනං" ආච්චි අම්මා කිව්වේ හිනා වෙවී.
"දැන් මේ හැමෝටම මේ තරම් තෑගි ගෙනැත්, ඔය ළමයට මාසේ ඉතිරි දවස් ටික ජීවත් වෙන්න සල්ලි හෙම තියේද? මොකට මේ තරම් වියදම් කලාද?" පැත්තක උන්නු බාප්පා එහෙම ඇහුවේ අයියා දුන්නු තෑග්ගත් අතේ තියාගෙනම විහිලුවට වගේ.
"කන්න නම් නැති වුණත් මොකෝ බාප්පේ. හැමෝම සතුටු කරවන එක ඊට වඩා කොච්චර වටිනවද?"
"හැබෑව. හැබෑව, දැන් කාලේ ළමයි එහෙම හිතන එකත් කොච්චර දෙයක්ද?"
බාප්පා එහෙම කියද්දි, ලඟ උන්නු අපේ අම්මා අයියා දිහා සෙනෙහසින් බලාගෙන ඉන්නවා මම දැක්කා. අපේ පවුල් වල තිබුණ මේ තමන්ගේකම, මේ එකමුතුකම හැමදාමත් මම ගොඩක් ඉහලින් සලකපු දෙයක්. ඒක හැමදාම එහෙම තියෙන්න ඕන කියලා මම  ප්‍රාර්ථනා කලා.
මේ වෙලාවේ ලොකු සතුටක් හිතේ තිබුණත්, එකම එක පුංචි දුකකුත් මගේ හිතේ කොනක තිබුණා. අද පන්සල් ගිය වෙලේ භූප එක්ක කතාකරන්න නොවුණු එක. භූපව මුනගැහුණත් අයියා එක්ක කතාවත පැටලිලා උන්නු  නිසයි, තව ගමේ යාලුවෝ ගොඩාරියක් ඇවිත් උන්නු නිසයි අපි එනකල්ම වගේ භූපට මා එක්ක කතාකරන්න වුනේ නෑ. අපි හරියට මුණගැහුනේ එකිනෙකාට සුබ පතාගන්න විතරයි. භූප එවෙලේ නොපෙන්නුවත්, එයාගේ හිතෙත් තියෙන්නේ දුකක් වග මම දැනගෙන උන්නා.
"මේ ඇවුරුද්ද ඉතිං සුබ වෙන එක අහන්නත් දෙයක්යැ, දැන් අපේ දුමාල් පුතාගේ ගෙදරට අලුත් අමුත්තෙක් එනවා. ඊට පස්සේ අපේ ගෑණු ළමයින්ටත් මංගල සීනු හෙමත් හැඬවෙන්න පුලුවන් නෙව" තේ එකක් බොමින් උන්නු බාප්පා එහෙම කිව්වා.
"එහෙනං, එහෙනං" ලොකු තාත්තත් කිව්වා.
මේ අතරේ පොඩි අයියා ෆෝන් එකත් කනේ ගහගෙනම මගේ ලඟට ආවා.
"නංඟි...මේ චේතිය" අයියා මුකුත්ම නොකියා කෙලින්ම මගේ අතට ෆෝන් එක දුන්නම මම මොහොතකට තුෂ්නිම්භූත වුනා.
මම ෆෝන් එක අරන් එලියට ආවේ ගේ ඇතුලේ සද්දේ වැඩි නිසයි, සේරම මා දිහා බලාගෙන උන්නා වගේ මට දැනුන නිසයි.
"හලෝ" මම කතා කලේ ගැහෙන හිතින්
"දුලාරා...ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා" චේතියගේ කට හඬ මට ඇහුණේ වෙනදට වඩා මුදු විදියට.
"ඔයාටත් එසේම වේවා" මම කිව්වා.
"කොහොමද ඉතිං තොරතුරු? අවුරුදු ජයද?" ඔහු ඇහුවා.
"වරදක් නෑ"
"වරදක් නෑ කියන්නේ තරම් හොඳත් නෑ කියන එකද?"
"අනේ නෑ. හොඳයි. ගොඩක් හොඳයි" මම කිව්වා.
"එහෙනම් කමක් නෑ"
චේතිය එහෙම කිව්වම මම මුකුත් කියන්න ගියේ නෑ.
"දුලාරා..."
"ම්ම්"
"ඔයා මට මෙහෙම කතා කරපු එකට ගොඩක් තෑන්ක්ස්" චේතිය කිව්වා.
"ඇයි එහෙම කියන්නේ?" මම ඇහුවා.
"නෑ...මම හිතුවා...මා එක්ක තරහා වෙලා කියලා. එදා...අන්තිමට ඔයාලගේ ගෙදරින් එන දවසෙත් මා මගෑරලා යන්න ගියානෙ"
චේතිය කිව්වම මම ටිකක් නොසන්සුන් වුණා. නිසාම මම මුකුත්ම කියන්න ගියේ නෑ.
"මම ඔයාට කෝල් කරන්න හිතුවා ගොඩ පාරක්. සමහර වෙලාවට dial කරලත් ආයෙම cut කරනවා. මගෙත් තියෙන ego එක නිසා වෙන්න ඇති. කොහොම වුණත්, හැමදාමත් මට ඒක කරන්න බෑ. ඒකයි මම අද කතා කලේ. අනික...ඔයාට කිසිම දෙයක් නොකියා, ඔයාට කතා කරන්න මට හේතුවක් හොයා ගන්නත් බැරි වුණා. ඔයා ඉස්සරහදි මට මොනා වෙනවද කියලා මම දන්නෑ දුලාරා" චේතිය කියවගෙන ගියා.
වචන ඇහෙද්දි මට හීන් දාඩිය දන්න පටන් ගෙනයි තිබුණේ. එක්කම මම උන්නේ හිටි තැනම ගල් ගැහිලා වගේ අඩියක් වත් උස්සගන්න බැරිව.
"දුලාරා...ඔයා අහගෙනද ඉන්නේ?" චේතිය ඇහුවා.
"හ්ම්"
"මම මේ දවස් ටිකේ හිටියේ කොහොමද කියලාවත් මම දන්නෑ. මගේ හිතම අවුල් වෙලා වගේ. ඔයා නිසා... ඔයා නිසා දුලාරා. ඔයා ඒක දන්නවද?"
චේතිය ගොඩාක් හැඟීම්බරව එහෙම කියද්දි මම උන්නේ නොසන්සුන් කම වැඩි නිස ගැහෙමින් වගේ. මට ඔහු කියන දේවල් අහන්න ඕන වුණේ නෑ.
"චේතිය අයියා...අපි පස්සේ කතා කරමුද? අපි මේ නෑ ගෙදරක ඉන්නේ"
මම ඉක්මණට කිව්වේ ඒකයි. මට මේ මුලු කතාවම වදයක් වෙලයි තිබුණේ. ඒත් අලුත් අවුරුද්ද නිසා, එක පාරටම මොනවත් කියන්නත් මට බැරි වුණා. මොනා වුනත් අපේ අයීයගේ යාලුවෙක් හන්දා. අනික මොනා හරි කිව්වොත් අවුරුදු දවසේ චේතියගේ වගේම මගේ හිතත් තේරුමක් නැතිව අවුල් වෙයි කියලා මට හිතුණ නිසා.
"හරි හරි. කමක් නෑ. කොහොමටත් ඔයාව බලන්න මම ඉක්මණට එනවා. එදාට නම් මගාරින්න හදන්න එපා. ඔයා කොහේ හිටියත් මම එතනට එනවා" චේතිය කිව්වාම මම තවත් නොසන්සුන් වුණා.
"තියන්නම් එහෙනම්" මම එහෙම කියලා ෆෝන් එක cut  කලේ ඔහු ආයෙම මොනවත් කියන්නත් කලින්.
ආපහු ගෙට යන්න කලින් මම ලොකු හුස්ම දෙක තුනක් අරගෙන මනස සැහැල්ලු කරගන්න උත්සාහ කලේ, මේ හොඳ දවසේ අනෙක් අයගේ හිතුත් නොසතුටු කරන්න මට බැරි නිසා.
"කෝල් එක ඉවදර?" මම ආපහු ෆෝන් එක දෙද්දි අයියා ඇහුවා.
"ම්ම්"
"මොනාද පොර කියන්නේ?"
"නෑ මේ අවුරුද්දට සුබ පතන්න නේ කතා කරලා තියෙන්නේ" මම කිව්වා.
"එහෙමද? එනවා කිව්වේ නැද්ද මේ පැත්තේ?"
"එනවද කොහෙද කියලා කිව්වා"
මම එහෙම කිව්වාම අයියා හිණා වුණා.
"එහෙනං හෙටවත් ෂුවර් නෑ. ඔන්න බලන්නකෝ" ඊට පස්සේ අයියා කිව්වා.
මම යන්තම් හිනාවක් පාලා එන්න ආවේ හිත ඇතුලේ සිතුවිලි යකා නටද්දි. මට මතක් වුණේ භූපව. මේ කිසි දෙයක් නොදැන භූප දැන් මොනා කරනවා ඇත්ද?

3 comments:

  1. I wan't to kill this person - Chethiya!!!!!!!!!

    ReplyDelete
  2. එහෙම කියන්න එපා. ආදරය බාධක මැදින් ජය ගත්තම තමයි අනාගතේට සිහිවටන ගොඩක් ඉතිරි වෙන්නේ.

    ReplyDelete
  3. හැම කතාවකම දුෂ්ටයෙක් පනිනවා නේ

    ReplyDelete