Sunday, November 11, 2012

දාහත්වන කොටස



රාත්‍රිය දැඩි වත්ම සීතලද එන්න එන්නම වැඩි වන්නට වූයෙන් එලිමහනේ සිරි නරඹමින් ඉන්නට අපට එතරම් වේලාවක් නොතිබිණි. අහස වෙනදාට වඩා අඳුරු අලු පැහැයක් ගෙන තිබූ අතර, අමුතු සුලඟක් හාත්පසින් හමා යමින් තිබිණි.
"වහින්න එනවා වගේ නේද?" මේසය අස් පස් කරන්නට ජේඩන්ට උදව් කරමින්ම මම ඔහුගෙන් විමසීමි.
ඔහු කල්පනාකාරීව මෙන් එලිමහන දෙස බලා උන්නේ මා කීව නෑසුනාක් මෙනි.
"කෝකටත් අපි ගේ ඇතුලට යමු. පේන විදියට සෑහෙන ලොකු වැස්සක් එන්න වගේ. දැන් දැන් හිම වැටෙන එක අඩුවෙලා නිසා ගොඩ වෙලාවට ඒක හිම කුණාටුවක් නොවේවි කියලා මම හිතනවා" ඔහු අවසන කීවේ ගෙතුලට පැමිණ ජනේලය වසාලමිනි.
"කුණාටුවක්?" මසිතේ ඔහුගේ වදන් ඇති කලේ යම් තැතිගැන්මකි.
"හ්ම්. මේ දවස්වල රටේ සමහර පැති වලට හිම කුණාටු ඇවිත් තියෙනවා. ඒකේ බලපෑමක් සුලුවෙන් හරි අපට එන්න පුලුවන්" ඔහු බැරෑරුම් ලෙස කීවේය.
"එහෙම වුණොත් මොකද වෙන්න්නේ ජේඩන්? ඒක ගොඩක් දරුණු වේවිද? මට හොස්ටල් යන්නත් බැරි වෙයිද?" මම ඇසුවේ සිතේ දලුලමින් තිබූ තැතිගැන්මෙන් බියවීය.
"ම්ම්...නෑ. මම කොහොමහරි ඔයාව ගිහින් දාන්නම්කෝ" ඔහු මට කීවේ මදක් හිනැහීය."අපි ඉස්සරහට යමු. එහේ මීට වඩා උණුසුමයි"
ඉන්පසු මම ඔහුද සමග නිවසේ ඉදිරිපස සාලය දෙසට ගියෙමි. ක්‍රියාත්මක වෙමින් තිබූ රූපවාහිනියේ දැන් කිසිවක් විකාශණය නොවූ අතර ඒ වෙනුවත එහි "No signal" යනුවෙන් සටහන්ව තිබිණි.
"වැස්ස වැඩි වෙද්දි මෙහෙම වෙනවා. වාඩි වෙන්න පංචලී. මම ඔයාට පොඩි පොරෝනයක් ගෙනත් දෙන්නම්. ඔය ජර්සිය විතරක් මදි උණුසුම් වෙන්න"
ඔහු එසේ පවසා ගෙතුලට ගිය අතර, මම නිවෙසට පිටතින් ඇසුන සුලඟේ හඬට සවන් යොමු කලෙමි. එය දැන් දැන් මහා ඝෝෂාවක් මෙන් ඇසුණු අතර, වීදුරු ජනේල වලට වැහි බිඳු වැඩී නංවන බෙර හඬ මහිත තවත් තැතිගන්වන්නට සමත් විණි. එකතැන හිඳගෙන ඉනු බැරි නිසා මම ජනේලය අසලට ගොස් තිරය මෑත් කර බැලීමි. කෑලි කැපිය හැකි ගනඳුරේ වීදුරුව දිගේ බේරෙන වැහි බිඳු හැරෙන්නට කිසිවක් මට පෙනුනේ නැත.
"බය වෙන්න එපා. වැස්ස ඉක්මණට නවතීවි. එතකොට අපි යමු. මෙවෙලේ යන එක ටිකක් අවදානම්, පාරවල් හෙම ලිස්සන හන්දා. ඔයා එක්ක මට ඒ අවදානම ගන්න බෑ"
මටත් නොදැනීම මා අසලට පැමිණි ජේඩන් මට පැවසුවේය.
"මෙහෙම වැස්සක් ගැන දන්නවානම් අපට අද ගමන් කල් දාන්නත් තිබුණා" මම ඔහු මට දුන් පොරෝනය අතට ගනිමින් කීවෙමි.
ජේඩන් කට කොනකින් මදහසක් පෑවා වින කිසිවක් කීවේ නැත. ඔහු නැවත සාලය මැදට ඇවිද ගිය අතර මම ඔහු අනුව ගියෙමි.
"වාඩි වෙන්න" රූපවාහිනිය නිවා දමමින් ජේඩන් මට කීවේය.
"මම කවදාවත්ම මෙහෙම කුණාටුවක් දැකලා නෑ" සුව පහසු අසුනේ හරි බරි ගැසෙමින් මම ජේඩන්ට කීවෙමි.
"ඇත්තටම? හරි පුදුමයි. ලංකාවේ නැද්ද?"
"නෑ. මේ තරම් බරපතලෙට නෑ. ලොකු වැහි නම් වහිනවා ගං වතුර ගලන්න තරම්. ඒත් මෙහෙම නෑ"
"මේක මොකක්ද, ඔයා දකින්න ඕන ටෝර්නාඩෝ එකක්. අර ලොකු සුලියක් වගේ කැරකෙන්නේ අහසේ ඉඳන්. ඒකකට අහු වුණොත් මේ ගෙවලුත් සරුංගල් වගේ ගැලවිලා යාවි. ඒත් හොඳ වෙලාවට මේ පැත්තට එහෙම කුණාටු එන්නේ කලාතුරකින්" ජේඩන් මට කීවේය.
ඔහු පැවසූ කුණාටු වර්ගය මම ඩිස්කවරි චැනලයේ දැක තිබුණෙමි. ඒවා කෙතරම් විනාශකාරීද යන වගත් මම එහිදී දැක තිබුණෙමි.
"ඉතිං මේවා කොච්චර වෙලා තියෙනවද?" මම ඒ වග නොකියා ඔහුගෙන් ඇසීමි.
"කියන්න බෑ. සමහරවිට දවසක් වෙන්න පුලුවන්. ඒත් සමහර වෙලාවට දවස් තුනක්, සති දෙකක් වගේ වෙන්නත් පුලුවන්" ඔහු මදෙස බලා කීවේය.
"අනේ බොරු කියන්න එපා. ඔයා හදන්නේ මාව බය කරන්න" මම වැඩි වන හදගැසම නොසලකා ඉන්නට උත්සාහ කරමින් කීවෙමි.
"බය කරන්න නෙවෙයි. ඇත්තටම. ඒත් මේක එහෙම වෙයි කියලා කියන්න බෑ. අපට දන්වලා තිබුණේ, අතුරු බලපෑමක් විදියට තද සුලන් එක්ක වැස්ස ඇති වෙන්න පුලුවන් කියලා විතරයි. මෙහෙන් අයින් වෙන්න කියලා තිබිණේ නෑ. ඒ නිසා මම හිතන්නෑ මේක ඒ තරම් දරුණු එකක් වේවි කියලා. වැස්ස චුට්ටක් අඩු වුණ ගමන්ම අපි යමු" ජේඩන්ගේ වදන් මහිතට යම් අස්වැසිල්ලක් එක් කලේය.
එහෙත් වැස්ස නැවතුනේ නැත. එය තව දරුණු වූවා පමණි. රාර්තී නවයේ කණිසම වැදුණි. ඉන්පසු දහයේ කණිසමද වැදුණි. ඒ සමගම මතුල වූ අසහනකාරී හැඟීම උත්සන්න වූ අතර, ජේඩන් තනා දුන් තුන්වන චොකලට් පානය මට පානය කල නොහැකි තරම් විය.
"වැස්ස අඩු වෙන පාටක් නෑනේද?"
මා අසල සිටගෙන සිය ජංගම දුරකථනය වෙත නෙත් යොමාගෙන උන් ජේඩන්ගෙන් මම විමසීමි.
ඔහු තොලේ පැත්තක් හපාගෙන, බැරෑරුම් විලාසයකින් මදෙස බැලුවේය.
"ආරංචි එන විදියට නම් මේක ටිකක් දරුණුයි වගේලු. වැස්ස එක්කම හිමත් තැන් තැන් වලට වැටිලා හන්දා පාරවල් අවහිර වෙලා කියලයි කියන්නේ. කෝකටත් අපි තව ටිකක් බලමුද?"
"අපට යන්න බැරි වෙයිද?" මම වෙව්ලන හඬින් ඇසීමි.
මෙව්න් දිනෙක, පිට පිරිමියෙකු හා නිවෙසක තනිව වෙසෙනවා යන්න මහිතට වඩාත් බිය උපදවනසුලු කාරණයක් විය. ජේඩන් මාගේ මිතුරකු වග සැබෑ වුවද, කිසිම හේතුවක් නිසාවත් ඔහුගේ නිවසේ නැවතීම මට කල නොහැක්කක් විය.
"බල බල ඉඳලා අඩු නූනොත්?" මම ඇසීමි.
"එහෙම වුණොත් ඔයාට මෙහේ නවතින්නයි වෙන්නේ මේක අඩු වෙනකල්" ඔහු සරදම්කාරී ලෙස පවසා හිනැහුනේය.
"විහිලු නෙවෙයි ජේඩන්, මට කියන්න අපට යන්න බැරි වේවිද කියලා" මම ඇසීමි.
එවර ඔහු සුසුමක් හෙලා මා අසලින් හිඳ ගත්තේය.
"ඇත්තම කිව්වොත්, මේ වෙලාවේ හැටියට යන්න බැරි වෙයි. අපි බලමු කිව්වේ ඒකයි. දැන් හොඳ ලමයා වගේ ඕක පොරවගෙන එන්නකෝ මේ හීටරේ ලඟට. ඔයා නැත්තම් සීතලෙන් ගල් වෙයි"
ඔහු මට එසේ කියා හීටරය දැමීමට කාමරයේ අනෙක් පසට ගියේය. මම කැලඹුණු සිතින් යුතුව ඔහුව අනුගමනය කලෙමි.
එහෙත් රාත්‍රී එකොලහ වන තුරුත් වැස්ස හෝ සුලඟ අඩු වූයේ නැත. එවර මම සක්මන් කරන තරම් නොසන්සුන්භාවයකට පත්ව උන්නෙමි. ජේඩන්  නොනවත්වා සිය දුරකථනය ඔබමින් මොන මොනවාදෝ සොයමින් උන්නේය.
"ජේඩන් මේක නතර වෙන පාටක් නෑ. දැන් නම් මට යන්නම ඕන. සොනාලිලා හොඳටැම බය වෙලා ඇති. කෝල් කරන්නවත් මගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ" මම නැවතී ඔහුට කීවෙමි.
"වැඩ කරන්නේ නෑ නේන්නම්. මගේ එකත් වැඩ නෑ. ඔයා අර ලෑන්ඩ් ලයින් එකෙන් ගන්න බලන්න" ඔහු මදෙස නොබලා සාලයේ අනෙක් කෙලවරට අත දිගු කලේය.
මම එදෙසට දිව ගොස් දුරකථන ඇමතුමක් ගන්නට උත්සාහ කලද, මිතුරියන් සියල්ලන්ගේම දුරකථන ක්‍රියාවිරහිතව තිබිණි.
"එක්කෙනෙක්ගේවත් වැඩ නෑ. මංදන්නෑ මොනා කරන්නද කියලා. ජේඩන්...මට යන්න ඕන"
මම තරම්ක් කෑ ගසා මෙන් කීවෙමි.එවර ඔහු තිගැස්සි මෙන් මදෙස බැලුවේය. 
"මම මේ ඒක කරන්න පුලුවන්ද කියලා තමයි බලන්නේ. කලබල නොවී ඉන්න පොඩ්ඩක් පංචලී"
"කලබල නොවී කොහොමද? දැන් රෑ එකොලහත් පහු වෙලා. වැස්ස අඩු වෙන්නෙත් නෑ. අඩු නූනත් නැතත් මට යන්න ඕන"
"ඔයාට තේරෙන්නෑ පංචලී. මේක පොඩි කුණාටුවක්. එහෙමයි කියලා එලියට බැහැලා යන්න තරම් ආරක්ෂිත තත්වයක් නෑ"
"මම දන්නෑ ඒක.  මට දැන් යන්න ඕන. ඔයා කියන්නේ මට මෙහේ නවතින්න කියලද?"
"කුණාටුව දරුණු වුණොත් වෙන්නේ ඒක තමයි"
"ඔයාට පිස්සුද ඒක කරන්න බෑ. කරුණාකරලා මාව ගිහින් දාන්න"
මම තරම කෑ ගසා කීවෙමි.
"පංචලී...සන්සුන් වෙන්න"
"මට යන්න ඕන"
"පංචලී...කරුණාකරලා"
"මට යන්නඕනමයි" එවර මගේ ස්වරය වඩාත් තියුණු විය.
මොහොතකට ජේඩන්ගේ ඉවසීමේ සීමාව ඉවර වූවා සේ පෙනුනි. ඔහු නැගිට මදෙස බැලුවේ කෝපය මුසු බැල්මකිනි.
"හරි...ඔයාට බෙල්ල කඩා ගන්න ඕන නම් මට කරන්න දෙයක් නෑ. එන්න"
උණුසුම් විය හැකි සියලුම රෙදි පෙරෙදි වලින් එතෙන ලදුව මම ජේඩන් සමග ගරාජය වෙත ගෙය ඇතුලෙන් පිය මැන්නෙමි. ගරාජය තුඉල වූයේ ඉවසිය නොහැකි තරම් සීතලකි. මට ජේඩන් ගැන දුක නොසිතුනා නොවේ. එහෙත් මේ ගමන මා යා යුතුම විය.
එහෙත් යලිත් දෛවය අපට නොදැනී යමක් වියමන් කරමින් උන්නීය. වචනයක් හෝ නොදොඩා මුරුගසන් වරුසාවත්, අඩියක් තරම්වත් නොපෙනෙන සේ පැතිර ගිය මීදුමත්, වාහනය විටෙක සොලවන්නට තරම් දැඩි වූ සුලඟ මැදින් අප දෙදෙනා ගමන් කරමින් උන්නෙමු. එහෙත් මගදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අප රථය නවතා කීවේ, ඉදිරියෙන් මාර්ගය අවහිරව ඇති බැවින් මෙවෙලේ ගමන් කල නොහැකි බවයි. මගේ සියලු බලාපොරොත්තු සුන් කරගනිමින් යලි ජේඩන්ගේ නිවෙසට එනවා හැර වෙනත් විකල්පයක් මට තිබුණේ නැත.
"ඔයා ඉන්නේ හොඳටම කලබල වෙලා. බය වෙන්න එපා. බොහෝ විට හෙට වෙද්දි මේක ඉවර වෙලා තියේවි" ජේඩන් මා සනසන්නට මෙන් කීවේය.
"අනේ මන්දන්නෑ. මම කොහොමද මෙහේ රැයක් ඉන්නේ?"
"ඔයාට කරන්න වෙන දෙයක් නෑනෙ. බලන්න, මේ ගෙදර කාමර තුනක් තියෙනවා. ඔයාට කැමති එකක ඉන්න පුලුවන්. තව මේ පුටුවත් තියෙනවා. ඕන නම් ඒකෙත් ඉන්න පුලුවන්. ඔයාගේ ගෙදර වගේ කියලා හිතාගන්නකෝ"
ඔහු කීවද, මේ උද්ගත වී ඇති තත්වය මට ඉවසිය නොහැකි තරම් විය. මම මුහුණ ඇඹුල් කරගෙන ඉද්දී, ඔහු කිසිවක් ගණනකට නොගෙන මෙසේ කතා කරදී මගේ නෙත් වලට කඳුලු පිරුණේ ඉබේටමය.
"පංචලී...ඔයා අඬනවද?" හදිසියේ මා දුටු ජේඩන් විමසුවේ පුදුමයෙන් මෙනි.
මම හිස බිමට නවාගෙන උකුල මත තිබූ දෑත් එකිනෙක පටලවාගනිමින්, හැඬුම වලකාගන්නට උත්සාහ කලෙමි.
"අඬන්න දෙයක් වුණේ නෑනෙ...මේ බලන්න. ඇයි කියන්න මේ?" ඔහු තවත් මවෙත ලං වී අසද්දී, ඔහු වත ගල්වා තිබූ විලවුන් සුවඳ පවා මට දැඩිව දැනෙන්නට විය. මට කියන්නට දෙයක් නොවිනි. එනමුදු ඉවසාගත නොහැකි තරමේ ආගන්තුක හැඟීමකින් මම පෙලෙන්නට වීමි.
කෙසේ හෝ අවසන මට සිදුව ඇති දේ පිලිගන්නට සිදු විය. අමාරුවෙන් හෝ මා රැගෙන යාමට ජේඩන් ඉදිරිපත් වුවත්, ඒ අවදානම ගෙන ඔහුගේ ජීවිතය පවා අනතුරේ හෙලන්නට මට උවමනා නොවිනි. ඉදින් පැය දෙකකට පමණ පසුවත්, පෙරසේම කෑගසන, සුලං සහ හිම ප්‍රවාහය මැද, මමත් ජේඩනුත් උණු කෝපි පානය කරමින් ගිනි උදුන අසල වාඩි වී උන්නෙමු.
මහිත යකාගේ කම්මල සේ කලබලව තිබූ අතර ජේඩන් මොන මොනවාදෝ කියවමින් උන්නද මට සිතන්නට හැකි වූ එකම දෙය වූයේ, මා මෙහි සිරගත වී ඇති බව පමණකි. අම්මා, තාත්තා මෙන්ම අක්කාත් මා පිළිබඳව තොරතුරක් නොලද බැවින් කලබල වී ඇත්ද කියා පවා දැනගන්නට මට ඉඩක් නොතිබිණි. විසිත්ත කාමරයේ දල්වා තිබූ විදුලි බුබුලු වල එලිය වරින්වර අඩු වෙමින් වැඩි වෙමින් තිබූ අතර මනෙතු එදෙසට යොමු වූයේ නිතැතිනි.
"කරන්ට් එකත් යන්න වගේද මන්දා..." ජේඩන් සෙමෙන් කියද්දී මහිත තවත් කැලඹිනි.
"එහෙම වුණොත් මොකද කරන්නේ?" මම බියමුසුව ඇසීමි.
ජේඩන් කල්පනාකාරීව මෙන් මදෙස බැලුවේය.
"බය වෙන්න එපා. මෙහේ ජෙනරේටරයක් තියෙනවා. බැරිම වුනොත් පාවිච්චි කරන්න ගෙදර ගෑසුයි, ගල් අඟුරුයි තියෙනවා. නත්තලට ගෙනාපු දර කොට වගයකුත් ඇති. සීතලේවත්, බඩගින්නේවත් මැරෙන්න වෙන එකක් නම් නෑ අපි දෙන්නට ටික කාලෙකට" ඔහු කීවේ හිනැහෙමිනි.
"විහිලු නෙවෙයි ජේඩන්" මම නොරිස්සුම්ව කීවෙමි.
"මං දන්නවා. ඒත් අපි කලබල වෙලා බෑනෙ. පංචලී...මේ බලන්න ඔයා දැන් ටිකක් නිදා ගත්තොත් මොකද?" ජේඩන් එසේ කීවේය.
"හ්ම්ම්" මම හිස වැනුවෙමි.
"ඔයාට මම ඉස්සරහ කාමරේ ලෑස්ති කරලා දෙන්නද?" ඔහු විමසීය.
සාලය කෙලවරේ පිහිටි සීතල පෙනුමැති, විශාල කලුවර කාමරය දුටු කල මට එහි නිදන්නට ඇවැසි නොවිනි.
"ජේඩන්...මට මෙතන ඉන්න බැරිද?"
"ඇයි, ඔයා තනියෙම නිදියන්න බයද?" ඔහු එසේ ඇසූ විට මම මදක් අපහසුතාවයට පත් වූයෙමි.
"නෑ...ඒත්, මෙතන උණුසුම්. එලියයි. මට කාමරයක් ඕන නෑ. කරුණාකරලා"
ජේඩන් හිනැහුනේය. "ඔයා කැමති තැනක ඉන්න පුලුවන්"
ඔහු එසේ කියත්ම වාගේ දෙවරක් පමණ ගැස්සී විදුලි පහන් සියල්ල නිවී ගියේ අපට සිතන්නට වත් වෙලාවක් නොදීය.
"අයියෝ...*&#**" ජේසන් නොසරුප් වදනක් කීවේ තරහින් මෙනි.
ඉඳහිට සාලය එලි කරන විදුලි කොටන එලිය හැරුණු විට සාලය මුලුමනින්ම වාගේ අඳුරේ ගිලී ගියේය.
"ඔයා ඔහොමම ඉන්න පංචලී. මම එලියක් අරන් එන්නම්" එසේ කියා ගෙතුලට යන ජේඩන්ගේ සෙවනැල්ල මම විදුලි එලියෙන් දුටුවෙමි.
අවසානයේ සාලය පමණක් ඉටිපන්දම් එලියෙන් නැහැවී තිබිණි. ඉටිපන්දම් කිහිපයක් තැනින් තැන රැඳවූ  ජේඩන් මට ඉදිරියේ වූ පුටුවට බර වී කල්පනා කරමින් උන්නේය.
"මොනවද ජේඩන් ඔය තරම් කල්පනා කරන්නේ? මොකක් හරි ප්‍රශ්ණයක්ද?" බැරිම වූ තැන මම විමසීමි.
"ම්ම්...නෑ. ඉන්නකෝ මම බ්ලැන්කට් අරන් එන්නම්. අපි මෙතන ඉමු" එසේ කියා අත වූ විදුලි පන්දම දල්වාගෙන ඔහු යලි ගෙතුලට ගියේය.
"ඔයා නිදියන්නේ නැද්ද ජේඩන්?" මට නිදන්නට දිග සැටි පුටුව සකසා දෙද්දී මම ඔහුගෙන් ඇසීමි.
"මම අර පුටුවේ ඉන්නම්. බය වෙන්න එපා, මම ඉන්නවා හරිද? මොනා හරි ඕන වුණොත් කියන්න"
"ම්ම්...මට බාත් රූම් එකට යන්න ඕන" මා තතනමින් ඉඳ එසේ පවසද්දී නම්, විඩාපත් පෙනුමක් තිබූ ජේඩන්ගේ මුහුණේ යලි සිනාවක් ඇඳිනි.
"ඔයා කොච්චර වෙලා ඕක නොකියා හිටියද?" ඔහු මා හට මග පෙන්වමින් ඇසීය. මම එයට පිලිතුරක් නොදුන්නෙමි.
යන්තමට මුහුණ කට දොවා ගන්නට සැරසෙද්දී එලියේ හුන් ජේඩන් මා ඇමතීය.
"ඇයි ජේඩන්?"
"මෙන්න ඔයාට රෑට අඳින්න එකක්. මේක තමයි තිබ්බ පොඩිම එක, මේක ගන්න"
මම දොර හැර ඔහු දුන් ඇඳුම් අතට ගෙන බැලීමි. එහි වූයේ ඔහුගේ දිගු ටී ෂර්ට් එකක් සහ, කොට කලිසමක් යැයි සිතිය හැකි ඇඳුමකි.
"ජේඩන්...මට මේවා ඕන නෑ" මම එවර දොරෙන් එපිට උන් ඔහුට ඇසෙන සේ කෑ ගෑවෙමි.
" මාව විශ්වාස කරන්න, ඔයාට ඔය කොක්ටේල් ඇඳුම ඇඳන් නම් නිදාගන්න බැරි වෙයි. පිස්සු නැතුව ඕක ඇඳ ගෙන එන්න. දැන් රෑ දෙකටත් ලඟයි" ජේඩන් ඈනුමක් අරිමින් කීවේය.
මම වදෙන් පොරෙන් මෙන් ඔහු දුන් ඇඳුම ඇඳගෙන, මගේ ජර්සි කබා සියල්ලෙන්ම සැරසී එලියට ගියෙමි. කුණාටුව තවමත් එක සීතුවට හමමින් තිබිණි. මට සුසුමක් හෙලුනේ ඉබේටමය. අවසානයේදි සුවපහසු සැටියේ එලා තිබූ මහත පොරෝනය තුල ගුලිව මම නිදාගන්නට සැරසුනෙමි. මා අසලට පැමිණි ජේඩන් සැටිය අසල දණගසාගෙන මට කතා කලේය.
" මට කණගාටුයි මේ වෙච්ච දේ ගැන. ඒත් හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. හොඳට නිදාගන්න එහෙනම්. සුබ රාත්‍රියක් පංචලී"
"සුබ රාත්‍රියක් ජේඩන්"
ඔහු මද සිනාවෙන් යුතුව මදෙස මොහොතක් බල හිඳ නැගිටිද්දී මම නෙත් පියාගතිමි. පිස්සුවෙන් මෙන් හමන කුණාටුවේ හඬ අසමින්ම මම නිදාගන්නට උත්සාහ කලෙමි.


1 comment:

  1. මේක ලිව්වේ සැන්ඩි එන්න කලින් හොඳේ. නැත්තම් ඔයාලා බලයි මොකද මේ කතාවෙත් සුලි සුලං කියලා...
    කොහොම වුණත්, මට හිතෙනවා ඔයාලට මේ පැත්තේ එන එක එපා වෙලා නැතිව ඇති ඒ තරම් කියලා.
    ප්‍රමාදයට සමාව අයදිනවා...
    ඔයාලා හැමෝටම සුබ සතියක් වේවා...

    ReplyDelete