Wednesday, November 14, 2012

දහ අටවන කොටස



මා උදෑසන අවදි වූයේ තවමත් නතර නොවුණු සුලඟේ ශබ්දයට කුමක්දෝ 'ටක ටක' ගා සෙලවෙන හඬටය. ඇහැරුණු වනම මා මේ සිටින්නේ කොහේදැයි කියා තප්පරයක් දෙකක් යනතුරු මට අවබෝධ නොවිනි. එහෙත් පසුව මට සියල්ල්ල සිහි වද්දී, කලින්දා සිතේ තිබූ හිස් බව හා, සාංකාව මුසු හැඟීම යලි මසිත වෙලා ගත්තේය. මම පොරෝනය තුලින් හිස ඔසවාඅ වටපිට බලද්දී ජේඩන් මා උන් සැටිය පාමුල, පොරෝනා ගණනාවක එතී නිදා වැටී උන්නේය. ඔහු දුටු වනම මසිතට ඔහු පිළිබඳ ඇතිවූයේ සියුම් සංතාපයකි. මම ඔහු නොම ඇහැරෙන සේ, ශබ්ද නොනගා සැටියෙන් බැස්සෙමි. හාත්පස වූ සීතල ඉඳිකටු අනින්නාක් සේ විත් මා ගත හිරිවට්ටවාලීය. මම අසල වූ පොරෝනාව ගෙන සිරුර වටා දවටාගෙන, සාලයේ ඉස්සරහ ජනේලය අසලට ගොස් එලියට එබුණෙමි.
මිදුම සහ අතොරක් නොමැතිව ඇදහැලෙන වැස්ස හැරුණුකොට එලිමහනේ අන් කිසිවක් දර්ෂණය නොවිණි. එය හරියටම අප ලෝකයෙන්ම වෙන් වී ඇතුවාක් වැනි විය.
"හා...ආ...ම්. සුබ උදෑසනක් පංචලී. ඔයා ගොඩක් වෙලාද නැගිටලා?"
මා වැස්ස දෙස ඇසිපිය නොහෙලා බලා ඉන්නා අතරේ ජේඩන් ඈනුම් හරිමින් මා පසුපස සිටගෙන උන්නේය. මම ඔහු වෙත හැරුණෙමි.
"ඊයේ වගේම තවමත් වහිනවා ජේඩන්" ඔහු කීවට පිළිතුරක් නොදී මම කීවෙමි.
මදෙස බලා හුන් ජේඩන්ගේ වතේ වූ සිනාව අතුරුදන් විය. ඔහු සෙමෙන් මා අසලට පැමිණ ජනේලයේ වීදුරුව තුලින් එපිට බැලුවේය.
"බලමු අද හවස් වෙද්දි වත් අඩු වේවිද කියලා. මට පේන විදියට තාම කරන්ට් එකත් නෑ" සුසුමක් හෙලූ ජේඩන් කීවේය.
"ඒ කියන්නේ දැන්ම යන්න බෑ කියන එකද?"
මා පසුකර නැවත සාලය දෙසට ඇවිද යන්නට වූ ජේඩන්ගෙන් මම විමසීමි.
"මෙහාට ඇවිත් සැටියෙන් ඉන්න පංචලී. සීතලේ ඔතන හිටගෙන ඉන්න එපා. මම අපට කන්න බොන්න දෙයක් අරන් එන්නම්" ඔහු කීවේ එපමණකි.
මට සුසුමක් හෙලිනි. ඔහු නොකියා කීවේ අදත් අපට යන්නට නොහැකි බව වග මට වැටහිනි. මම දුර්මුඛවූ සිතින් ගොස් යලි සැටියේ හිඳ ගතිමි.
"මට තේරෙනවා ඔයා ඉන්නේ හිතේ අමාරුවෙන් වග. ඒත් පංචලී මේ කාලගුණේ මෙහෙම තියෙනකල් අපට එලියට බහින්න බෑ. ඔයා දැක්කනේ ඒක මොන වගේද කියලා ඊයේ. දැන් හොඳ ළමයා වගේ ඕක බොන්නකෝ"
දුම් දම තේ කෝප්පයක් හා, කේක් රැගෙන විත් මා අසලින් හිඳගත් ජේඩන් මට පැවසුවේය. තේ කෝඑපයද අතැතිව මම උන්නේ මේ සිදුව ඇති දේ ගැන කල්පනා කරමිනි.
"යන්න පුලුවන් වෙච්ච පළවෙනි වතාවෙම මම ඔයාව ගිහින් දාන්නම්. මම පොරොන්දු වෙනව. කරුණාකරලා මූණ එල්ලගෙන නො ඉඳ, පොඩ්ඩක් හිනා වෙලා ඉන්නකෝ. කවදහරි දවසක මේ දවස් මතක් කරලා අපට හිනා වෙන්න පුලුවන් වෙයි එතකොට" ජේඩන් මවෙතට එබී කීවේය.
මම ඔහු දෙස බැලුවෙමි. නිදි මැරූ නිසාදෝ ඒ මූණේ වූයේ විඩාපත් බවකි. එහෙත් ඔහු මට සිනාවක් පෑවේය. මම ද හිනැහෙන්නට උත්සාහ කලෙමි.
දිවා කාලය වන විටත් විදුලිය යලි නොපැමිණිය අතර, කුණාටුවේද අඩුවක් නොවිණි. ගෙදර අස් පස් කොට ගෙයි මැද ගිනි උදුනේ කොටයක් දල්වා ඒ අසලට වී අප දෙදෙනා මද වෙලාවක් වාඩි වී උන්නෙමු.
"මේක හරියන්නෑ. අදත් කරන්ට් එක නාවොත්, ශීතකරණේ තියෙන සේරම නරක් වෙනවා. මොකද කියන්නේ පංචලී, අපි නරක් වෙන්න පුලුවන් දේවල් සේරගෙන්ම කෑම හදමුද? නැත්තම් මේ කුණාටුව තව දවස් දෙක තුනක් තිබුණොත් මස් මාලු සේරම් නරක් වේවි" පොරෝනය ගසා දමා නැගිටිමින් ජේඩන් මගෙන් විමසීය.
කරන්නට අන් දෙයක් නොවූ නිසාවෙන් මම ඔහු හා එක් වීමි. මා හට වැඩි විශ්වාසයක් නොවූවත්, එය සැබවින්ම විනෝදජනක දෙයක් විය. ජේඩන් ශීතකරණයේ වූ සියලුම මාංෂ ආහාර වර්ග එලියට ඇද සෝදා දුන් අතර මම ඒවා විවිධාකාර වට්ටෝරු වලට අනුව තෙලෙන් බැද්දෙමි. ඉන්පසු ගෑස් උදුනේ පාන් සෑදීමටයි කියා ජේඩන් පිටි ඇනුවේය. මම පාන් සාදන්නට දැන නොසිටියත් පිටි ඇනීම විනෝදජනක දෙයක් වූයෙන් මම එයට දායක වීමි.
හිරු බැස යන සැන්දෑවක බඳු මද අඳුරක් නිවසේ දහවල් කාලයේ පවා පැතිර තිබුණි.
"මම ඊයේ රෑ ජෙනරේටරේ දාන්න උත්සාහ කලා. ඒත් ඒකේ මොකක් හරි ප්‍රශ්ණයක් වෙලා වගේ. ඒක පණගන්වගන්න බැරි වුණා. වැස්ස නිසා හරියට බලන්නත් බෑ. ඒ නිසා අපට තියෙන්නේ මේ ඉටිපන්දම් මිටිය විතරමයි එලිය ගන්න. අපි මේවා රෑට විතරක් පත්තු කරමු"
පිටි අනන අතරතුරේ ඔහු මට කීවේය. මහිත යලි අඳුරු විණි. මම සුසුමක් හෙලා ජනේලයෙන් එපිට බලා ගතිමි.
"ඔන්න පටන් ගත්තා" එසේ කියූ ජේඩන් අසල වු පිටි බෑගයෙන් පිටි අහුරක් ගෙන මගේ මුණේ ඇතිල්ලුවේය.
"ආනේ...ඔයා නම් අන්තිමයි ජේඩන්" එකවරම ගැස්සී ගිය මම ඔහු අල්ලන්නට පැන්නෙමි. එහෙත් ඔහු ඈතට දිව ගොස් හිනැහෙමින් උන්නේය. මමද පිටි අහුරක් අතට ගෙන ඔහු පසුපස දිව ගියෙමි.
"එපා...විසි කරන්න එපා" ජේඩන් මුලුතැන්ගෙය වටා දුවමින් කෑ ගෑවේය. එහෙත් මම කෙසේ හෝ ඔහු වෙත පැන දෝතින්ම ඔහුගේ මුහුණේ පිටි ආලේප කර හිනැහෙන්නට වීමි. ඔහු පැන මගෙ මුහුණ දෝතින්ම අල්වාගෙන පිටි තලියක් රැඳී තිබූ සිය මුහුණ මගේ කම්මුල් මත ඇතිල්ලුවේ ය. මම ඔහුගෙන් බේරෙන්නට දැඟලීමි.
"ජේඩන් එපා...මාව අතාරින්නකෝ"
"ඔන්න...මට පිටි ගාන ආවට" ඔහු මා අතැර හිනහෙමින් එසේ කීවේය.
ඔහුගේ මුහුණේ තැනින් තැන සුදු පිටි රැඳී තිබූ අතර, රැවුල සම්පූර්ණයෙන්ම පිටි වලින් වැසී තිබිණි. මටද හොඳටෝම සිනා නැගිනි. ජේඩන් මා හිනැහෙනවා බලා උන්නේ ය. ඒ දෑස් වලත්, මුහුණේත් වූයේ මට කියවිය නොහැකි වූ හැඟීම රැසකි.
"ජේඩන් ඇයි?" එවර සිනාව නැවැත්වූ මම විමසීමි.
"නෑ නිකං" මවෙතින් දෑස් මුදාගත් ඔහු යලි පිටි අනන මේසය වෙත ගියේ මහිතේ කුකුසක් ඇති කරලමිනි. ඔහුගේ දෙනෙත් වල වූ හැඟීම මා සසලවන සුලු විය.
කෙසේ හෝ අවසන අපි දවල් සහ රෑ කෑම සඳහා බදින ලද මස් හා මාලු මහා ගොඩකුත්, පාන් සහ පලතුරුත් සාලයේ මැද කුඩා ටීපෝව මත ගොඩ ගැසුවෙමු. ඒවාට අමතරව, පැකට් කරන ලද වියලි ආහර රාශියක් හා, චොකලට් ද එහි විය.
"අපි කාලම මූණ සෝදමු. මම ලොකු වතුර භාජනයක් තියලයි ආවේ" ජේඩන් පිඟානකට කෑම බෙදා මට දෙමින් කීවේය.
මා නිසා මේ තරම් වද වන ඔහු ගැන මසිතේ වූයේ සියුම් අනුකම්පාවකි.
"ඔයාට මම හන්දා කොච්චර කරදරද?" මම ඔහු දෙස බලා කීවෙමි.
"පිස්සුද එහෙම එකක් නෑ"
"නැත්තේ මොකද? රෑ එක කෑමකට ඇවිත්, දැන් ඔයාට මට දවස් ගණං කෑම දෙන්න වෙලා"
"එහෙම නෑ පංචලී. මේ මහා වැස්සක තනියෙම ඉන්නවට වඩා ඔයා ඉන්න එක කොච්චර දෙයක්ද. ඔයාට ඒක තේරෙන්නෑ" ඔහු මදෙස බලා කීවේ දයාබරව ය.
කෑම ගෙන අහවර අපි, උණු වතුරෙන් මුහුණ කට දොවාගෙන යලි පොරෝනා වල එතී සාලයේ වාඩි වී ගතිමු. ජේඩන් මට පසෙකින් හිඳගෙන පොතකට එබීගෙන උන් අතර, මම සැටියේ ඇලවී මෑත් කර තිබූ ජනේලයෙන් පෙනෙන එලිමහ දෙස බලාගෙන උන්නෙමි.
"පංචලී..." අප අතර වූ නිහැඬියාව බිඳ හෙලමින් ජේඩන් මා ඇමතුවේ ය.
"ම්ම්..."
"ඔයා දවසක් අපේ අම්මා ගැන මගෙන් ඇහුවා නේද?"
ඔහු එසේ ඇසූ විට මම නෙත් හරවා ඔහු දෙස බැලීමි.
"ඔව්..."
"ඔයාට එයාව බලන්න ඕනද?" ඔහු සිය අත වූ පොතෙන් දෑස මුදවා මදෙස බලමින් ඇසීය.
"අනේ ඔව්. කෝ, කොහෙද ඉන්නේ?" මම අසුනේ හරි බරි ගසී හිඳ ගනිමින් කීවෙමි.
ඔහු සිය අත වූ පොතද රැගෙන විත් මා අසලින් හිඳ ගෙන පොත මවෙතට දිගු කලේය. ඒ පොත් පිටු අතර වූයේ තරමක් පැරණි ඡායාරූපයකි.එය යුවලකගේ විවාහ ඡායාරූපයක් විය. එහි වම්පසඉන් සිටගෙන උන් කාන්තාව හිනහෙමින් උන් අතර, පාට මැකී යමින් තිබූ ඡායාරූපයේ පවා ඈ සුන්දර විය. ඈපසෙකින් හුන් පිරිමි තැනැත්තා බොහෝ සෙයින් ජේඩන්ට හැඩහුරුකමින් සමාන වූ වගක් මට පෙනුනි. ඔහුද දසන් දක්වා හිනැහෙමින් උන්නේය.
"මේ...එතකොට ඔයාගේ අම්මයි, තාත්තයි ද?" ඈත බලාගෙන කල්පනාවක නිමග්නව උන් ජේඩන්ගෙන් මම ඇසීමි.
"ම්ම්...(ඔහු හිස වැනුවේය). මගේ අම්මා ඇත්තටම, හිතේ සන්තෝසෙන් හිනාවෙලා ඉන්න එකම වතාව වෙන්න ඇති ඕක" ජේඩන් තවමත් මදෙස නොබැලුවේය.
"ඔයා තාත්තා වගේ" මම යලි ඡායාරූපය දෙස බලමින් කීවෙමි.
"මම දන්නවා" ඔහු එය කීවේ නොරිස්සුමෙන් මෙනැයි මට සිතිණි.
"මට කියන්න මොකද වුණේ කියලා?" මම ඔහු දෙස බලා සෙමෙන් විමසීමි.
"තාත්තා අම්මට සෑහෙන්න දුක් දුන්නා. මං දන්නේ එච්චරයි, වෙලාවකට එයාගේ බීම නිසා. වෙලාවකට අපි නිසා. ඊට පස්සේ එයාගේ පෙම්වතියෝ නිසා. ඒත් අම්මා මේ හැමදේම දරාගෙන හිටියා අපි වෙනුවෙන්. සෑහෙන කාලයක්. ඊට පස්සෙදි තමයි මම ගෙදර එක්ක ප්‍රශ්ණ දා ගත්තේ. තාත්තා මා එක්ක හොඳටම තරහා වුණා. මම ගෙදරින් එන්න ආවා.ඊට පස්සේ, අම්මා හොඳටම මානසිකව වැටුණා. එයා මට ගොඩක් ආදරේ නිසා. අන්තිමේදි එයා ලෙඩ වුණා...ගොඩක්" ජේඩන් එසේ කියා සුසුමක් හෙලුවේ ය.
"දැන්....අම්මා කෝ ජේඩන්? එයා තාමත් අසනීපෙන්ද?" මම සෙමෙන් විමසුවෙමි. ඔහු ඉන්නේ බලවත් චිත්ත පීඩාවකින් බැව් මට වැටහිනි.
"හ්ම්...තාමත් අසනීපයි"
මම සැනසුම් සුසුමක් හෙලුවෙමි. ඔහුගේ උත්තරය වෙන එකක වේවිදෝ කියා මම බිය වුණෙමි.
"අසනීප හොඳ වෙනවනේ ජේඩන්. අම්මට සනීප වේවි ඉක්මණට. තරහා මරහා අමතක කරලා ඔයා ගෙදර ගියොත් එයාට ඉබේම හොඳ වෙයි" මම සුබවාදී වෙන්නට උත්සාහ කරමින් කීවෙමි.
"නෑ පංචලී. එහෙම වෙන එකක් නෑ" ඔහු හිස වැනුවේය.
"ඇයි?"
"අම්මා සම්පූර්ණයෙන්ම මානසිකව රෝගී වෙලා ඉන්නේ. ඒක හොඳ කරන්න අමාරුයි"
ඔහු අපහසුවෙන් මෙන් වදන් ගැට ගසද්දී, මනෙතු කඳුලු පිරුවේ ඇසිල්ලකිනි. උගුර සිරවී මම මොහොතකට ගොලු වීමි. ජේඩන් බිමට නෙතු යොමාගෙන උන්නේය. මම පොරෝනය ඉවත් කොට බිමට බැස ඔහු අසලට ලං වීමි.
"මට අනුකම්පා කරන්න එපා පංචලී. මට ඒක දරාගන්න බෑ" ඔහු එවර කීවේය.
මට යලි සුසුමක් හෙලිණි. ජේඩන් එවර හුන් තැනින් නැගිට ගෙතුලට ගියේ ය. ඔහු දුන් ඡායාරූපය සමග මම සාලයේ තනි වීමි. අන කවර වේලාවක හෝ නොදැනුන හැඟුමක් ජේඩන් කෙරේ මසිතේ දැන් විය. එය අනුකම්පාවත්, සෙනෙහසත්, දයාවත් මුසු වූ එකක් විය. ඔහුගේ හිත හදන්නට මට උවමණා විණි ද, ඔහු අකමැති දෙයක් කරන්නට මහිත මට ඉඩ දුන්නේ නැත.
ජේඩන් තවත් බොහෝ වේලාවක් යන තුරු නොපැමිණියෙන් මම මුලුතැන්ගෙට ගොස් වතුර උණු කොට තේ සෑදුවෙමි. සීතල දැඩි වූ නිසාත්, කරන්නට අන් දෙයක් නොවූ නිසාත්, ජේඩන්ට යලි කතා කිරීඉමට මට ඇවැසි වූ නිසාත් මට එසේ කරන්නට සිත් විය.
තේ කෝප්පයද රැගෙන මා සාලයට ආපසු යන විට ජේඩන් සාලයට පැමිණ උන්නේය.
"මම බැලුවා ඔයා කොහෙද කියලා" මා දුටු ඔහු කීවේය.
මම තේ කෝප්පය ඔහු වෙත දිගු කලෙමි.
"ස්තුතියි පංචලී...ම්ම්...ඉස්සෙල්ල වෙච්ච දේ ගැන මට කණගාටුයි. මම පොඩ්ඩක් අවුල් වෙනවා ඔය ගැන කතා කරද්දී. මට ඒකට සමා වෙන්න" ඔහු මදෙස නොබලමින් කීවේය.
"ඒකට කමක් නෑ. සමහර දේවල් හිත ඇතුලෙම තියන් ඉන්න එක ලේසියි කියලා මම දන්නවා ජේඩන්"

සවස හතර පමණ වන් විට කලුවර මුලුමනින්ම වාගේ නිවෙස වෙලාගෙන තිබිණි. සුලඟේ හඬ මදක් අඩු වගක් දැනුනද, වැස්ස නම් පෙරසේම තියුණු විය. සවත් කාලයේ කලුවර වැටෙන තුරුම විවිධ දෑ ගැන කතා බහ කරමින් හා, යම් යම් දෑ කමින් හුන් අපි කලුවර වැටීමත් සමගම ඉටි පන්දම් එක දෙකක් සාලයේ දල්වා ගතිමු.
"ටෝච් එකේ චාජ් එක බැහැලා. ඒකත් වෙලාව තමයි" මා ඉටි පන්දම් දල්වන අතරේ විදුලි පන්දමට තඩි බාමින් උන් ජේඩන් කීවේ කනස්සලු හඬිනි.
"ගිනි කූරු තියෙනවද?" මම ඇසුවේ ඉටිපන්දම් දැල්ල කොහේදෝ සිට ආ සුලඟකින් ඔන්න මෙන්න නිවී යන්නට ආසන්න වූ බැවිනි.
"ගොඩක් නෑ. ඕන වුණොත් ගෑස් එකෙන් තමා පත්තු කරන්න වෙන්නේ"
"එහෙමද?"
"අපි ඉක්මණට කාලා නිදාගමු. එතකොට එලිය ඕන නෑනෙ ගොඩක්" ජේඩන් කීවේය.
ඔහු එසේ කී විට මට දැනුනේ බයකි. මේ තත්වය දිගටම පැවතුනහොත් අපට කුමක් වේවිදැයි සිතීම පවා බියජනක විය.
"ජේඩන්...මේක තව කල් ඇදුනොත් මොකද වෙන්නේ?"
"බය වෙන්න එපා, මොනවත් වෙන්නෑ. රජයෙන් ඇවිත් අපිව බේරගනියි, නරකම දෙයක් වුණොත්. ඔයා බය වෙන්න එපා. මම ඔයාට මොනවත් වෙන්න දෙන්නේ නෑ"
ඉටිපන්දම් එලියෙන් මදෙස බලා හිනැහුණ ජේඩන් කීවේ ය. සාලයේ ගිනි උදුනේ අඟුරු දල්වෙමින් පැවතුන නිසාවෙන් එතැන නිවසේ අනෙක් තැන් වලට වඩා උණුසුම් විය. එහෙත් එයින් නික්මුණේ ඉතාමත්ම මද එලියකි.
රෑ කෑම ගෙන අහවර ජේඩන් ඉතුරු බිතුරු රැගෙන මුලු තැන්ගෙට ගිය අතරේ, යලිත් කොහෙන්දෝ ආ සුලඟකින් සැටිය අසල දල්වා තිබූ ඉටිපන්දම නිවී ගියේ ය.
"ජේඩන්...ඉටිපන්දම නිවුණෝ..." හදිසි කලුවර මා බියපත් කලෙන් මම කෑ ගැසීමි.
"ඉන්න එනවා" කලුවර තුලින් ජේඩන්ගේ හඬ ඇසිණි. ගිනි උදුනේ ද අලු තැන්පත්ව තිබුණෙන් සාලයේ එලියක් නොවූ තරමි. එහා මෙහා අතගාමින් ජේඩන් පැමිණෙනු මට ඇසිණි. ඉන්පසුව මා අසලින්ම වාගේ ගිනි කූරක් ඇතිල්ලෙන හඬකුත්, එකෙනෙහිම එලියත් මතු විය. මම ජේඩන්ට ඉටිපන්දම දික් කලෙමි.
"බය වුණාද?" ඔහු එය දල්වා අප අතරින් තබාගෙන ඇසුවේ ය.
ඔහුගේ දෙනෙත් ඉටිපන්දම් එලියේ වඩාත් තියුණුව හා කාලවර්ණව දිස් විය. කුමක්දෝ හේතුවකට ඒ දෙනෙත් මගැර බිම බලන්නට මට නොහැකි විය. අපි මොහොතක් එකිනෙකා දෙස බලා හිඳින්නට ඇත. මසිත පතුලේ නුහුරු හැඟීමක සේයාවක් සිත නොසන්සුන් කරමින් තිබිණි.
මා තවත් යමක් සිතන්නට මත්තෙන්, ඉටිපන්දම යලි නිවී ගියේ ය. පැරෆින් වල කටුක ගන්ධය නික්ම යන්නටත් පෙර ජේඩන්ගේ සුසුමක උණුසුම මා අසලින්ම වාගේ මට දැනුනි. ඔහු යලිත් ඉටිපන්දම දල්වද්දී අප උන්නේ එකිනෙකාට ඉතාමත් ආසන්නයෙනි.
ජේඩන් තවමත් මදෙස බලා උන් අතර ඒ දෑස් වල කාන්තියක් විය.එය දරාගනු නොහී මම ඉවත බලා ගතිමි.
"පංචලී" ඔහු ඇසෙන නෑසෙන හඬින් මා ඇමතුවේය.
ඉන්පසු ඔහු  ඉටිපන්දම දරා නොසිටි අතින් මා කම්මුලක් ස්පර්ෂ කලේ ය. ඔහුගේ අත සීතල වූයෙන් මා වතේ හිරිගඩු පිපිණි. මා දෑස් පියවුණේ ඉබේටම ය. තප්පරයක් දෙකක් ගෙවී යද්දී ඒ දෑතේ මගේ කම්මුලක් සිරවිණි. මීලඟ ඇසිල්ලේ ඔහු මා සිප ගත්තේත්, ඉටිපන්දම නිවී ගියේත් එකටම වාගේ ය. ජේඩන්ගේ උණුසුම් සුසුම් මා ලවන්ත තැවරෙද්දී, සිතේ කොනක නිදිගෙන හුන් හැඟුම් එක දෙක සෙමෙන් අවදි වෙනු මට දැනුනි. ඔහු පිළිබඳව වූ සෙනෙහස හදිසියේම සිතේ දෝර ගලා යමින් තිබිණි. සීතල එලිමහනේ සුලඟ වියරුවෙන් කෑ ගසද්දී, මම ජේඩන්ගේ උණුසුමේ ගුලි වූයෙමි. අවසානයේදී සිදු වු සියල්ල අපැහැදිලි හීනයක් ම විය.



1 comment: