Tuesday, November 20, 2012

විසිවන කොටස



"මම අහන්නේ ඔයා මොකටද එයා එක්ක එදා ගියේ?"
නේවාසිකාගාරයේ අපි හුන් කාමරය උසාවියක සිරි ගෙන තිබිණි. මාගේ ඇඳේ පසෙක වාඩි වී උන් අක්කා මගෙන් දහසක් දෑ විමසමින් උන් අතර අසල වූ පුටුවක වාඩි ගෙන උන් සුදම් උපේක්ෂාවෙන් මෙන් අප දෙස් අබලා උන්නේය. සොනාලිද බියපත්ව මෙන් මදෙස  බලාගෙන අසලකින් සිටගෙන් උන්නාය.
"මම වෙන දේකට ගියා නෙවෙයි. කෑමකට එලියට ගියා විතරයි" මම අක්කා දෙස නොබලමින් කීවෙමි. ඈ ගැන මට දැනෙමින් තිබුණේ නොරිස්සුමකි.
"එහෙම යන්න තරම් ඔය දෙන්නා අතරේ තියෙන දේ මොකක්ද?" අක්කා විමසා සිටියා ය.
"අක්කේ, හැත්තෑ ගණං වල අච්චි කෙනෙක් වගේ කතා කරන්න එපා. මේක ඇමරිකාව. ලංකාව නෙවෙයි. එහෙම සම්බම්ධයක් තියෙන්නම ඕන නෑ කෑමකට එලියට යන්න" මම බැරිම තැන තරමක් තදින් කීවෙමි.
"මට ඒකෙන් වැඩක් නෑ. ඔයා ගියා විතරක් නෙවෙයි නේ. දවස් තුනක්ම එහෙනෙ"
"ඉතිං?"
"මොනා හරි වුණා නම්?"
"මොනාද?" මම ඇසූ කල අක්කා උත්තරයක් දී ගනු නොහී තරහින් හිස සෙලෙව්වාය.
"ඔයා සංකේත් ගැනත් මුලින්ම කිව්වේ ඔහොම. මොනවත් සම්බන්ධයක් නෑ කිව්වා. ඊට පස්සේ මොකද වුණේ?" අක්කා ඉන්පසු වෙනත්ම දෙයක් කියන්නට වූවාය.
"අක්කා මෙතනට සංකේත්ව ඇදගන්න එපා. ඒක කොහොමත්ම මෙතනට අදාලා නෑනෙ" මම කීවෙමි.
"අක්කේ...සමාවෙන්න ඔය දෙන්නගේ කතාවට මැදින් පනිනවට. ඒත් මට හිතෙන්නේ දැන් ඔය වෙච්ච දේවල් ගැන වාද කරලා වැඩක් නෑ. වැදගත්ම දේ පංචලී කරදරයක් නැතිව ආපු එක නේ. අනික එදා නවතින්න වෙන්න ඇත්තේ වෙන කරන්න දෙයක් නැති වුණ නිසා වෙන්න ඇති නේ. නේද?" එවර සුදම් අප දෙදෙනාටම කතා කොට එසේ කීවේ ය. මට ඔහු පිළිබඳව ස්තුති පූර්වක හැඟීමක් දැනුනි.
අක්කා සුදම් දෙස බලා, යලි මදෙස බලා නිශ්ෂබ්ද වූවා ය. මම දිග සුසුමක් හෙලුවෙමි. සිදු වූ දෑ අක්කා දනී නම් මෙතන කුමන ගිනි විජ්ජුම්බරයක් වේවිද යන්න මට සිතා ගත නොහැකි විය.
"අපට එන්න විදියක් තිබ්බේ නෑ. පාරට ගස් වැටිලා. ඒ පාර කරන්න වෙන දෙයක් තිබුණේ නෑ" අවසරලත් ඇසිල්ලක මම සුදම්ට සිදු වූ දෑ පැහැදිලි කරමින් කීවෙමි.
"ඒක තමයි. මට හිතුණා"
"අක්කට පිස්සු. එයා ඕන නති දේවලුත් හිතන්වා"
"ඒ එයා ඔයා ගැන ගොඩක් කරදර වෙන හන්දා පංචලී" සුදම් කී විට මම යන්තම් හිනැහුනෙමි.
නැවත බොස්ටන් යාමට පිටත් වීමට පෙර අප සියල්ලෝම රෑ කෑම සඳහා එලියට පැමිණ සිටියෙන් හිත තරමක් අස්වැසී තිබිණි. අක්කා සහ සොනාලි, එලිමහනේ වූ බාබි කියු කරන ලද කෑමසහිත මේසයක් අසල සිටගෙන කෑම තෝරමින් මිල ගණන් විමසු මට ඈතට පෙනුනි.
"පංචලී..." එවර සුදම් යලි මා ඇමතුවේය.
"ම්ම්?"
"මෙහෙමකිව්වට මම ගැන වැරදියට හිතන්න එපා. ඒත්...එදා ඔයා බොස්ටන් ඇවිත් ගිය දා ඉඳලා, මට ඔයාව නිතර මතක් වුණා" ඔහු මදෙස නොබලා නැවතිල්ලේ කියන්නට වන.
මේ කුමක් සිදු වන්නට යන්නේදැයි සිතාගත නොහැකිව යලි මසිත ගිනි වැදිනි.
"ඔයාට මම ගොඩක් දේවල් කියපු එක ඇත්ත, මගේ අතීතේ ගැන. ඒත් මට ඔයා හම්බවුණායින් පස්සේ හිතුණා, ඇත්තටම අපි දෙන්නම මේ ආයේම ගෙන්නන්න බැරි අතීතයක් වෙනුවෙන් වැලපි වැලපි ඉන්න ඕනද කියලා" ඔහු යලි කීවේ ය.
මම හැරි හැරී අක්කලා දැන් එනු ඇත්දැයි පිරික්සීමි. ඔහු කියන්නට හදන්නේ කුමක්දැයි මට සිතා ගන්නට අපහසු නොවිනි.
"ඒත් මම තවදුර හිතන්න කලින්, ඔයාගෙන් අහන්න ඕන දෙයක් මට" සුදම් කීය.
"ම්ම්...මො..මොකක්ද?"
"අද ඔයා කෑමට ගිය කෙනා එක්ක ඔයාගේ තියෙන්නේ යාලු කමක් විතරමද?"
සුදම් එසේ ඇසූ විට මා පත් වූයේ බල්වත් අපහසුතාවයකට ය.
"ඇයි සුදම් එහෙම අහන්නේ?"
"සමහරවිට එහෙම දෙයක් වෙන්නත් පුලුවන් නිසා" ඔහු කීවේ ය.
"ඒ මොකක් වුණත් සුදම් ඔය කිසි දෙයක් ගැන මට හිතන්න බෑ. තාමත්. ඒකයි ඇත්ත. ඒ නිසා කරුණාකරලා, අපි මේ කතාව නවත්තමු" මම බැරිම තැන එසේ කීවෙමි.
වාසනාවටදෝ, එවෙලේ කෑම රැගත් අක්කා සහ සොනාලි අප අතරට පැමිණියා ය.
"මොන වැස්ස ආවත්, පායපු මුල් වතාවෙම මෙහේ තියෙන මේ බාබි කියු එක නම් තියෙනවා. ඒක තමයි හොඳම දේ" සොනාලි අප අසලින් වාඩි වෙමින් කීවා ය.
සුදම් මදෙස බලා ඉනු මා යන්තමින් දුටුවත්, එය නොදුටුවාක් සේ මම අත වූ පිඟානට කෙබාබ් කෝටු දෙකක් බෙදා ගතිමි. සිදු වන සියල්ල කොහේ ගොස් කොහෙන් කෙලවර වේවිද කියා මා සිතූවේ බර වූ හදවතිනි. කාලය ගතව යත්ම සියල්ලම තව තවත් සංකීර්ණ වූවා පමණි.
"...මම නම් හිතුවා අපටත් අනාථ කඳවුරකට යන්න වේවි කියලා. කුණාටුව මේ තරම් ඉක්මණෛන් නැවතුන එක අපේ වාසනාව. සමහර පැති වල නම් ලොකුම ලොකු ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරලලු"
සිදු වූ කාලගුණ විපර්යාසය ගැන විවිධ මත ප්‍රකාශ කරමින් උන් සොනාලි තවමත් උන්නේ කියවමිනි.
මම ඇඳ මත දිගා වී වහ දෙස බලාගෙන කල්පනා කරමින් පසු වූයෙමි. සැබවින්ම මා උන්නේ ජේඩන් ගැන සිතමිනි. මා මොන දේ කීවත්, ඔහු හා ගෙවුණු සියලූම කාලය අමතක කල නොහැකි ලෙස හවතේ ඇඳී තිබුණාක් මෙනි.
"පංචලී...ඔයා මොන්වද ඔය තරම් කල්පනා කරන්නේ?"
මා තිගැස්සි ගියේ මාගේ සයනය අසල ඉනට දෑත් තබාගෙන මා අසල සිටගෙන උන් සොනාලි දැකීඉමෙනි.
"ඇ...ඇයි?"
"ඇයි කියන්නේ? මම ඔයාගෙන් ඇහුවේ බොන්න උ ණු දෙයක් ඕනද කියලා...ඒත් කෝ, ඇහෙන එකක්යැ"
"මට මොනවත් එපා සෝනු...ස්තුතියි" මම හිනැහී කීවෙමි.
එහෙත් ඇය මා අසලින් නොගොස්, සුපරීක්ෂාකාරීව මදෙස බලාගෙන උන්නාය.
"ඔයා මට මොනා හරි හංගනවා"
"මම?"
"හ්ම්...මට ඒක් තේරෙනවා. පංචලී...මම ඔයාගේ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහනවා කියලා හිතන්න එපා. ඒත් මට කියන්නකෝ, ඇත්තටම ජේඩන්යි, ඔයයි අතර තියෙන්නේ මොකක්ද?"
සොනාලි එසේ ඇසූ කල මට සුසුමක් හෙලුනේ ඉබේටය. මේ සිතේ කැකෑරෙන දෑ කාට හෝ කියන්නට මට ඇවැසි විය.
"ඒක මංවත් දන්නෑ"
"මොකක්? මොකක්ද ඒ කතාවෙ තේරුම?"
මම යලිදු කිසිවක් නොකියා ඇඳ මතින් නැගිට විට්ටමට හේත්තු වී වාඩි වුණෙමි. සොනාලි මුහුණ අමුතු කරගෙන මදෙස බලාගෙනම මා අසලින් වාඩි වූවා ය.
"පංචලී...ඔයා මාව බය කරනවා...මට කියන්න, ජේඩන්ගේ ගෙදර උන්නු දවස් ටිකේ මොකද වුණේ කියලා"
මසිත ඉව කරන්නත සොනාලිට තිබුණේ පුදුමාකාර හැකියාවකි. ඒ බව මම හොඳින්ම දැනගෙන උන්නෙමි. නමුදු සිදු වූ දෑ කියන්නට මට වචන ගැටගසා ගත නොහැකි විය.
"මම දන්නෑ සෝනු...ජේඩන්...මම..." සිතුණු සියල්ල වදන් වලට හරවාගත නොහී මට ගොත ගැසිනි.
"පංචලී...මොනා හරි වුණාද ඔය දෙන්නා අතර?" සොනාලිගේ හඬ බියපත් විය.
ඈට පිලිතුරක් නොදී මම දෙකකුල් නවා දෙදණ මත හිස හොවා ගතිමි.
"දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ...ඔයා...පංචලී....අයියෝ..." සොනාලි, කිසිවකුත් හරිහැටි කියාගත නොහැකිව ඇඳෙන් නැගිට කාමරය පුරා සක්මන් කරන්නට වූවා ය.
"ලොකුම ලොකු වැරැද්දක් වෙලා තියෙන්නේ" සොනාලි අවසන එසේ කීවා ය.
බොහෝ වෙලාවක් මොන මොනවාදෝ දොඩවමින් කාමරයේ සක්මන් කරමින් උන් ඇය අන්තිමේදී,  සන්සුන්ව මාගේ යහන මත හිඳගෙන උන්නා ය.මම ඇදෙස නොබලාම උන්නෙමි.
"දැන් කරන්න දෙයක් නෑ" මම කීවෙමි.
"කරන්න දෙයක් නෑ කියන්නේ මොකක්ද? එහෙම කියලා බෑනෙ. දැන් ඉතින් මොනා හරි කරලා ඔයා ජේඩන් එක්කම ඉන්න බලන්න" සොනාලි මට උපදෙසක් දුන්නා ය.
"සෝනු මට එහෙම කරන්න බෑ. අනික ජේඩන් මං ගැන එහෙම හිතනවද කියලාවත් මං දන්නෑ" මම ඇත්තම කීවෙමි.
"මොන පිස්සු කතාවක්ද මේක? එහෙම නොදැන ඔච්චර දුර ගියේ ඇයි පංචලී?"
"ඒක හිතලා වුණ දෙයක් නෙවෙයි" මම සෙමෙන් කීවෙමි.
"මෝඩියෙක් ඔයා. මම දන්නෑ වෙන මොනා කියන්නද කියලා. දැන් ගෙදරින් දැනගත්තු දාට මොකද වෙන්නේ?"
"මම ගෙදරට කියන්නේ නෑ"
"කවදාහරි දැන්ගනීවි නොකිව්වට. ඔයා කවදාහරි කසාද බඳිද්දි?"
සොනාලි එකේ කියූ විට මට සිනාවක් නැගුනේ ඉබේටමය. ඒය සතුටට නොවේ, දුකට ය. සොනාලි කිසිවක්ම දන්නේ නැත.
"සෝනු...මේ අහන්න. කරුණාකරලා ඔයා පිස්සියක් වගේ හැසිරෙන්නේ නැතිව ඉන්න. මම මේක බලා ගන්නම්"
අවසන මම කිසිවක්ම නොකියා සොනාලිට එපමණක් කීවෙමි. මදෙස අදහාගත නොහැකිව මෙන් බලා හුන් සොනාලි අවසන මට ගස්සාගෙන සිය යහන වෙත ගියා ය.
"ඔයා ඕන දෙයක් කර ගන්න"
කෙදිනක හෝ මම සිදුවූ සියල්ල ඇයට කියන වග එවෙලේ මම මසිතට පොරොන්දු වීමි. නැතහොත් ඈ මාව කිසිදා තේරුම් නොගනු ඇත. ඉන්පසු නින්ද එන තෙක් ගෙවුණු  පැය කිහිපයම මම සියල්ල ගැන මුල සිටම කල්පනා කලෙමි. මගේ ජීවිතයට සම්බන්ධ වූ සියල්ලන් ගැනම කල්පනා කලෙමි. ජේඩන් පිලිබඳව  විශේෂයෙන්ම සිතුවෙමි. සියල්ල අවසන මා එලඹි නිගමනය වූයේ, කිසිවිටෙකවත් මා ඉන්නා වර්තමාන තත්වය වෙනස් කර ගැනීමට මට නොහැකි බවයි. අතීතයේ සිත පෑරවූ තුවාල තවමත් සුව වී නැති මොහොතක, තවත් සිත තැලෙන කිසිවක් කරන්නට තරම් මහිතට දැඩි නොවිනි. එසේම කිසිදා සිදුවිය නොහැකි යමකට තවත් අයෙකුට බලාපොරොත්තු දීමද මට කල නොහැක්කක් විය. ඉදින්, එලඹි සතියේ සිතට වෙර ගෙන, මම ජේඩන් මගැර සිටීමට උත්සාහ කලෙමි.
"ජේඩන් පව් පංචලී...බලන්න, අර ඔයා ලඟ එන්න නේ එයා එන්න ඇත්තේ. ඔයා අපි අස්සේ රිංග ගත්තේ ඇයි?"
ජේඩන් අප හා එක වන එකම දේශණය පටන් ගන්නට පෙර පූජා සහ සොනාලිට මැදිව මම වාඩිගෙන හිඳිද්දී, මගේ කනට කර රහසින් මෙන් එසේ ඇසුවේ සොනාලි ය.
"සෝනු...මම කිව්වනේ. වෙච්ච දේ වැරදීමක්. මට ජේඩන්ට මං ගැන වැරදියට හිතන්න ඉඩ දෙන්න බෑ" මම ද සෙමෙන් කීවෙමි.
"ඔයාගේ මොලේ නරක් වෙලා. මට නම් තේරෙන්නෙ නෑ ඔයාව පොඩ්ඩක්වත්. මෙච්චර දෙයක් වුණාට පස්සෙදිත්, ඔයා එයාව මගාරින්නෙ අකොහොමද කියලා මට ඇත්තටම හිතාගන්න බෑ" සොනාලි මේ දිනවල බොහෝ කරන පරිදි මා හා උරණ වෙමින් කීවාය. නමුදු ඒ සියල්ල මම සිනා සී ඉවසීමි.
ඈ නොදන්නවාට, ජේඩන් දැකීම පවා මසිතට වේදනාවක් විය. එදා දවස උදා නොවූවා නම් කියා මට දහස් වර නොහිතුණා නොවේ. ජේඩන් දෙස වරක් හෝ බලන්නට කෙතරම් උවමනාවක් වීද යත්, එය ශාරීරික වේදනාවක් තරමට මා පෙලන්නට විය. නමුදු මට ඔහුට බලාපොරොත්තු දීම කෙසේවත් කල නොහැක්කක් විණි. එසේ කොට ඔහුව අතැර යන්නට වී නම් මට සිදු වන්නේ ජීවිත කාලයම ඒ නිසාවෙන් විඳවන්නට වග මා දැන උන්නෙමි. මට ජේඩන් ඇවැසි නොවූවා නොවේ. එහෙත්, ඔහු මා හා හිඳීවි කියා හෝ, මාගේ විශ්වාසය රකීවි කියා මතුල විශ්වාසයක් තිබුණේ නැත. අන් සියල්ලටම වඩා මා බිය වූයේ එයටයි. මන්ද යත් තවත් වරක් මාගේ විශ්වාසය බිඳුනොත්, එය මා හට උහුලන්නට නොහැකි වග මම ඉඳුරාම දැන උන් නිසා ය.
මා කුමන දෑ කලත්, අද ජේඩන්ගෙන් වසන් වී යෑමට මට නොහැකි විය. දේශණ ශාලාවේ දොරටුව් අබියස ඔහු මා එන තුරු රැක උන්නේ ය. ඔහු දුටු මසිත වෙඬරු පිඬක් සේ උණුව ගියේ, මා කරන කිසිදු දේකට ඔහු පලි නැති වග මට සිහි වූ නිසා ය. ඔහු අසල නතර වද්දී මගේ දෑස් වලට කඳුලු පවා නැගී තිබිණි.
"පංචලී...ඔයා...කොහෙද දවස් දෙකක් ගියේ? මම ඔයාව කොච්චර හෙව්වද? මන්ජීත් කිව්වා ලෙක්චර්ස් ආවා කියලා. එහෙම නම් ඇයි මාව මුණනොගැහුනේ?" ඩොලීස් අවන්හල වෙත ඇවිද යන තර තුරේ ජේඩන් මගෙන් විමසී ය.
"මට වැඩ තිබුණා ජේඩන් ඒකයි" මම බොරුවක් ගැලපීමි.
"මටත් වඩා වැදගත් වැඩ?" ඔහු මග නතර වී ඇසුවේ ය.
අඩි දෙක තුනක් ඉදිරියට ආ මම නැවතී ඔහු දෙස බැලීමි.
"මොනාද මේ ඔයා කියන්නේ? වෙලාව මට ඕන වුණා ජේඩන් අතපසු වෙච්ච වැඩ වගයකට. මම දවස් තුනක් ඔයා එක්කම උන්නා මදිද?" මම හිනැහෙන්නට උත්සාහ කරමින් කීවෙමි.
එහෙත් ඔහු හිනැහුනේ නැත. ඒ තබා ඔහු උන් තැනින් සෙලවුණේ ද නැත.
"එන්නකෝ...සීතලයි" මම ඔහුට කතා කලෙමි.
"අපි වෙන කොහේ හරි ගිහින් කතා කරමු" ඔහු එසේම හිඳ මට කීවේය.
"ම්හු...මට නම් බෑ. දැන් ආපු එකේ මෙහාටම යමුකෝ" මම කීවෙමි.
"මට ඔයා එක්ක තනියෙම කතා කරන්නයි ඕන" එවර මවෙතට ඇවිද ආ ඔහු මගේ උරහිසින් අල්වා මා දෙසට නැවී කීවේය.
"ඉතිං තනියෙම කතා කරන්න බැරි ඇයි එතන?"
"ඔයාට මා එක්ක කතා කරන්න ඕන නෑ පංචලී..." සුසුමක් හෙලා මා අතැර පසෙකට වෙමින් ඔහු කීවෙ ය.
"ජේඩන් මේ බලන්න. ටිකක් හිතන්නකෝ දැන් තත්වේ ගැන. මම වැඩකරගන්න එපාද?" මම ඔහුගෙන් ඇසීමි.
"ඔය වැඩ අස්සේ මං වෙනුවෙන් ඔයාට පුංචි වෙලාවක් වත් නැද්ද?"
"මේ තියෙන්නේ..."
එවර ඔහු කිසිවක් නොකියා මදෙස බලා උන්නා පමණි. මම ඔහුට මුදු සිනාවක් පෑවෙමි.
"හරි. කමක් නෑ" එසේ කියා දිගු සුසුමක් හෙලූ ඔහු මවෙත ඇවිද විත් එක අතකින් මා ඔහු වෙත තුරුලු කරගත්තේ ය.
"අපි යමු"
අප යන විට පුරුදු පරිදි ඩොලීස් ආපණ ශාලාව සෙනග කන්දරාවකින් පිරී පැවතිනි. වදෙන් පොරෙන් මෙන් අපගේ යහලු යෙහෙලියන් පිරිස සෙනග පීරා සොයා ගත් අපි ඔවුන් උන් මේසය වෙත ගියෙමු.
"ආ...මේ ඩබල දැන් එන්නේ. මොකෝ පරක්කු?" කෝපි කෝප්පයක් අතැතිව උන් මන්ජීත් ඇසුවේ ය. ඔහු පසෙකින් හිඳගෙන උන් එරික් අප දෙදෙනාට අතක් ඔසවා සමාචාර දැක්වූයේ ය.
" කුණාටුවට පස්සේ, මොකෝ හිත ජේඩන් ලඟ නතර වුණාද?" ඩීනෝ කිසිදු වගවිභාගයකින් තොරව එසේ ඇසූ කල කෝපි බොමින් උන් පූජාටත්. නයෝමිටත් පිට උගුරේ ගියේ එකවිටම වාගේ ය.
"මොනාද ඔයා මේ අහන්නේ ඩීනෝ, ඔයාට පිස්සුද හැබෑටම?" මම පූජා හට ටිෂූ කොල කිහිපයක් ලබා දෙමින් ඇසීමි.
"ඇයි? මම කිව්වේ බොරුවක්ද?"
"එහෙම මොනවත් වුණේ නෑ" මම නොරිස්සුමින් කීවෙමි.
"මොකක්ද?" එසේ ඇසුවේ ඩීනෝ නොවේ. මා අසල උන් ජේඩන් ය. මම හිස හරවා ඔහු දෙස බැලීමි.
"අපි අතර මොනවත් නෑ කියලයි මං කිව්වේ" මම ඔහුට සෙමෙන් කීවෙමි.
එහෙත් ඉන්පසු ඒ විසල් වූ දෑස් දෙස බලන්නට මට හැකියාවක් නොවිණි. ජේඩන් බලවත් සේ අපහසුතාවයට පත්ව උන් වගක් මට පෙනුනි.
"අපි පොඩ්ඩක් තනියෙම කතා කරමු පංචලී. මට කතා කරන්න ඕන" ජේදන් මදෙස නොබලමින් කීවේ සෙමෙන් මට පමණක් ඇසෙන පරිදි ය.
"අපි ආවා විතරනේ" මම ඔහු දෙස නොබලමින් ම කීවෙමි.
එවර ඔහුයලිත් මාගෙන් අස අසා උන්නේ නැත. ඒ යදඬු වැනි අතකින් මගේ බාහුව තද කොට අලවාගේන ඔහු මාව ද ඇදගෙන ඩොලීස් වෙතින් පිට වූයේ පුදුමයට පත් අපගේ මිතුරු පිරිස අන්ද මන්දවා බලා සිටිද්දී ය.
"මොකක්ද මේ ඔයා කරන්නේ?" මන්දාලෝකය පැතිර තිබූ එලිමහනේ බර්ච් ගසක් යට මා අතහැරිය ඔහුගේ මුහුණට එබී මම ඇසුවේ සැබවින්ම මසිත නොරිස්සුම්ව තිබූ නිසාවෙනි.
"ඒක අහන්න ඕන මමයි"
"මොනාද මේ ඔයා කියන්නේ?"
"ඔයා අතනදි කියපු කතාවේ තේරුම මොකක්ද?"
"මම කිව්වේ ඇත්ත"
"අපි අතර මොන්වත්ම නෑ කියලා?"
"ඔව්" මම ඔහු දෙස නොබලා තෙපලීමි.
"මේ බලන්න...මා දිහා බලන්න...එහෙම නම් කොහොමද අර තරම් දෙයක් වුණේ පංචලී...අපි අතරේ, අපේ හිත වල මොනවත්ම නැත්තම්, එහෙම වුණේ කොහොමද?"
ඔහු යලි මගේ බාහුවකින් අල්වා ඔහු වෙත ම හරවා ගනිමින් ඇසුවේ ය.
"ඒක...ඒක...එවෙලේ ඇති වුණ දෙයක් විතරයි..." මම දෑස් පියාගෙන තෙපලීමි.
ජේඩ්න මා අතහැරියේ ය. මගේ දෑස් ඉබේටම විවර විණි. ඔහු වේදනව පිරි වතින් යුතුව මදෙස බලා උන්නේය.
"ඔයා....මොනාද මේ ....කියන්නේ?"
"ජේඩන්....කරුණාකරලා, මම ගැන මොනවත්ම හිතන්න එපා. මට ඔයාට ඕන දේ දෙන්න බෑ..." නෙත් කඳුලු පිරී උණුසුම් වද්දී, හදවත පැලෙන්නට මෙන් රිදුම් දෙද්දී මම කීවෙමි.
"මොනාද? ඇයි පංචලී මෙහෙම කරන්නේ?" ඔහු මා දෙසට ලං වී ඇසුවේ වේදනාවෙනි.
"වෙච්ච හැමදේම, එවෙලේ වුණ වැරැද්දක් විතරයි ජේඩන්..."
මම  හැඬුම්බරව කීවෙමි.
"ඒත්...ඒත්....මං...මං ඔයාට ආදරෙයි පංචලී. මගේ හිතට දරා ගන්න බැරි තරම් ආදරෙයි..."
ඔහුගේ වදන් මසිත පසාරු කරගෙන යන්නාක් සේ මට දැනුනි. කඳුලු පිට පැන්නේ එවෙලේ ය.
"එපා ජේඩන්....මට ඒකට ඉඩ දෙන්න බෑ" මම කඳුලු අතරින්ම කීවෙමි.
"ඇයි....ඇයි එහෙම කියන්නේ? කොහොමද එහෙම කියන්නේ? ඔයා මගේ වෙලා ඉවරයි පංචලී..." ජේඩන් මගේ අතක් අල්වා මගේ වතට එබී කීවේ ය.
"මම ඔයාගේ නෙවෙයි....මට ඔයාගේ වෙන්න බෑ ජේඩන්...මම ඔයාට අයිති නෑ. මට එහෙම කරන්න බෑ"මම ඔහු දෙස නොබලන්නට උත්සාහ කරමින් කීවෙමි. ජේඩන් මවෙතට පැමිණ මගේ නිකටින් ඔසවා ඔහුවෙත මා වත හරවාගත්තේය.
"ඇත්තටම මොනාද ඔයා මේ කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? මට ඔයාව ඕන පංචලී"
මම හිස වැනීමි. මට ඔහු වෙතින් ඉවත්ව යන්නට උවමනා විනි ද ඔහු මා බඳ වටා අතක් දමා මා දැඩිවා අල්වාගෙන උන්නෙන් එය කිරීම අපහසු විය. එනිසාම මම ඔහුගේ ග්‍රහණයෙන් ගැලවීමට දැඟලීමි.
"මට යන්න දෙන්න ජේඩන්..."
"ඇයි පංචලී මෙහෙම හැසිරෙන්නේ? ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි මම ඔයාට ආදරෙයි කියලා"
"මට ඔයාට ආදරේ කරන්නවත්, ලඟ ඉන්නවත් බෑ. මට ඒක කරන්න බෑ"
"ඇයි ඒ, කියන්න මට?"
"මට බෑ, එච්චරයි. මට බෑ" අන්තිමේදී ඔහුගේ ග්‍රහණයෙන් මිදී මම ඔහු වෙතින් ඈත් වුණෙමි. ජේඩන් ගල් ගැසී මෙන් මදෙස බලා උන්නා පමණි.
"මට සමාවෙන්න ජේඩන්" මම හැඬුම්බරව කීවෙමි.
"සමාව දෙන්න බෑ...ඔයා...අද...දැන් මෙහෙම කියන්නේ ඇයි කියලා නොදැන...."
"ජේඩන්....මට සංකේත්ව අමතක කරන්න බෑ..."
මා එසේ කියූ කල ඔහු දෑස් පියාගෙන අනෙක් පසට හැරුණේ කේන්තියෙන් මෙනි. මට හොඳටම හැඬෙන්නට ආයෙන්
තව මොහොතක් වත් එතැන නොරැඳී දුවගෙන එන්නට ආමි.
"පංචලී...." ජේඩන්ගේ හඬ මාපසු පසින් මට ඇසුනි.
එහෙත් මට නවතින්නට පුලුවන් කමක් තිබුණේ නැත. ඔහුගේ වන්නට තවමත් හිත හදා ගන්නට පුලුවන් කමක් මතුල තිබුණේ නැත. සත්තකින්ම මම තාමත් සංකේත්ගේ වග මත අමතක කරන්නට මට අද පවා නොහැකි විය. ඒ ඔහු මට දුන් වේදනාව තවමත් අලුත්ව සිත තුල රිදුම් දෙමින් තිබූ නිසාය.

 

No comments:

Post a Comment