Friday, November 23, 2012

විසි එක්වන කොටස



මා කඳුලු වලින් කොට්ටයක් තෙත් වනතුරු හැඬූ රාත්‍රියක් වී නම් ඒ සංකෙත් මුලින්ම මා හැර යන වග මට කී දවස විය. ඉන්පසුව ඔහු මා රිදවූ තරමට මට හඬන්නට නොහැකි විය, නමුදු ඒ වෙනුවට සිත ගැඹුරඉන් ගැඹුරට තුවාල වූවා පමණි. ඒය කඳුලු වලින් ඔබ්බට ගිය වේදනාවක් විණි. එහෙත් අද, මාස ගණනාවකට පසු මම සත්‍ය වශයෙන්ම හඬමින් උන්නෙමි. ජේඩන්ගේ සිත රිදුනු වග ඉඳුරා දැන දැන මට නාඬා ඉන්නට නොහැකි විය.
මෙතුවක් වේලා මාගේ යහන අසල විවිධ දෑ කියවමින්, විටෙක මා හට දොස් පවරමින් සහ විටෙක මා සනසන්නට උත්සාහ කරමින් සොනාලි, අවසන හති වැටීදෝ සිය යහන වෙත ගොස් උන්නාය. තවත් හඬනු නොහැකි තැන මගේ හැඬුම දැන් සියුම් හීල්ලිමක් වූවා පමණි.
"පංචලී...අනේ දැන්වත් නැගිටින්නකෝ..." තවමත් මාගේ යහන මත හිඳගෙන උන් පූජා පවසනු මට ඇසුණි.
ලතිකා සහ නයෝමි සවස කොහේදෝ ගිහින් තිබුණෙන් පූජා සොනාලි සමග පැමිණ තිබුණාය.
අවසානයේදී, මම පිටි අල්ලෙන් කම්මුල් පිස දමමින් නැගිට අඳේ වාඩි ගතිමි. එහෙත් සොනාලි හෝ, පූජ ද්සෙස බලන්නට ශක්තියක් මතුල නොවිණි.
"දැන්වත් අපට කියන්න පංචලී මොකද ඇත්තටම වුණේ කියලා...අරහේ ජේඩන් ගල් ගිලලා වගේ, බලාගත්තු අත බලාගෙන. ඔයා මෙහේ අඬ අඬ...මොකද වුණේ කියන්නකෝ" මා අසලට තව මද්ක් ලං වූ පූජා ඇසුවාය.
"අනේ කරුණාකරලා පූජා මගෙන් මොන්වත් අහන්න එපා...' මම බැගෑපත්ව පූජාට කීව්මි.
"එයාට කියන්න ඕන නැත්තම් අහන්න ඕන නෑ පූජා. හිතුවක්කාරකමෙත් සීමාවක් තියෙන්න ඕන" මා හා උරණ වීදෝ සොනාලි සිය මතය පල කලාය. මම කිසිවක් නොකියා ඇඳේ අනෙක් පසට හැරුණෙමි. පූජා ජේඩන් ගැන කියූව අස සිත තව පෑරුණා පමණි.
"අනේ මංදන්නෑ" පූජා සුසුමක් හෙලා මගේ යහනින් නැගිටිනු මට ඇසුණි.
අනෙක්පස හැරී, විවිධ දෑ සිතමින් උන් මට නොදැනීම නින්ද ගොසින් තිබිණි. අපැහැදිලී හීනයක සැරිසරමින් උන් මා එකවර ගැස්සී මෙන් ඇහැරෙද්දී, කාමරයේ විදුලි පහන් දල්වා නොතිබූ අතර කාමරය කලුවරින් වැසී තිබිණි. සොනාලි කාමරයේ නැතුවා වන්නට ඇතැයි මට සිතුණි. මෙතුවල් වේලා වේදනාවෙන් නිදහස්ව තිබූ හිත එක්වරම යලි දුකෙන් පිරී ගියේ, මෙවන්ම වූ කලුවර රැයක ජේඩන්ගේ නිවසේ ගෙවූ දින සිහි වූ නිසාය. මම ඇඳ මතම වාඩි වී මොහොතකට සිත සන්සුන් කර ගන්නට උත්සාහ කෙලෙමි. දහවල් කෑවාට පසුව කිසිදු අහරක් හෝ පානයක් නොගත් නිසාදෝ, කුස තුල යම් දැවිල්ලක් විනිද කන්නට තරම් පිරියක් මතුල නොතිබිණි. කාමරයේ විදුලි පහන් නොදල්වාම මම මන්දාලෝකයක් කාමරය තුලට ගෙන ආ ජනේලය වෙත ගොස් එහි පඩියට බර දී සිට ගතිමි. නියොන්  එලි වලින් එලිය වුණ විශ්ව විද්‍යාලයේ පටු මාවත් පාලුවට ගොස් තිබිණි. දැන් වෙලාව කීයද කියා වගක් නොවුණත්, මාවත් මේ තරම් පාලුවට යන්නට නම් බොහෝ රෑ බෝ වී ඇති වග පමණක් මට සිතන්නට පිලිවන් විය.
"හරි හරි...සුබ රාත්‍රියක්..."
මා එකවරම යම් තිගැස්මකට ලක් කරමින් කාමරයේ දොර විවර වූ අතර, සොනාලි කාමරයට ඇතුලු වූවාය. ඇය විදුලි පහනේ ස්විචය සොයා බිත්තිය අත පත ගානු මට ඇසුණි.
"ඔහ්...ඔයා නැගිට්ටද?"
විදුලි පහන දැල්වූ සැනෙන් මා දැක එක්වරම තිගැස්සුණු සොනාලි හුන් තැන ගල් ගැසී මෙන් මගෙන් විමසුවාය.
"ම්ම්..." ඇදෙස නොබලා බිම බලාගෙන මම පැවසීමි.
"ගේන්න තිබුණේ බටර් එක්ක පාන් විතරයි. පලතුරු වගයක් ඇති ෆ්‍රිජ් එකේ" මේසය වෙත ගොස් අත වූ පාර්සලයක් ඒ මත තබමින් ඈ කීවාය.
මටැ සොනාලි ගැන දැනුනේ මහත්ම වූ සෙනෙහසකි. මා කුමන අන්දමේ මෝඩ ආකාරයට හැසිරුණත් ඈ සෑම විටම වැඩිමහල් සහෝදරියක මෙන් දයාවෙන් මා ඉවසුවාය. මා ගැන සොයා බැලුවාය. මනෙතු වලට යලි කඳුලු පිරුණේ ඇසිල්ලකිනි.
"කන්නැද්ද?" ඈ නන කාමරයට ගොස් එන විටත් හුන් ඉරියව්වෙන්න්ම උන් මා දැක ඈ විමසුවාය.
"කන්න බෑ" මම කීවෙමි.
සොනාලිගේ දිගු සුසුමක හඬ මට පල කලේ ඈ තුල වූ  නොරිස්සුමයි.
"ඔයා ඕන එකක් කරගන්න. මම නිදියනවා" ඈ එසේ පවසා යහනතට නැගුනාය.
මම හිස ඔසවා ඈ දෙස බැලීමි. යහන මත හිඳගෙන ඇඳ විට්ටමට හේත්තුව ඈ පොතකට එබී ඉනු මට පෙනුනි.
"සෝනු..." මම ඈව ඇමතීමි.
ඇය මුවින් නොබැන පොතෙන් දෑස් ඔසවා මා දෙස බැලුවාය.
"මට සමාවෙන්න"
"මොකටද මගෙන් සමාව ඉල්ලන්න්නේ?" ඈ තවමත් උන්නේ කෝපයෙනි.
"මෙහෙම කරදර කරනවට. මම මහා කමකට නැති කෙනෙක් විතරයි සෝනු. කාටවත් වැඩක් නැති කෙනෙක්"
එවර සොනාලි මදෙස ඇසිපිය නොහෙලා බලා උන්නාය.
"මොනාද මේ කියන්නේ?"
මම ජනේලය අසල වූ බිත්තියට හේත්තු වීමි. සිරුර අවසඟව යනු ඇතැයි මට බියක් විය.
"මට ජේඩන්ගේ හිත රිද්දන්න ඕන නෑ සෝනු. එයා හොඳ කෙනෙක් වග මම දන්නවා. ඒත්..."
"අර ලංකාවේ ඉන්න මෝඩයා නිසා ඔයාට තීරණයක් ගන්න බෑ. එහෙමද?"
"නෑ සෝනු...එයා නිසා නෙවෙයි. ඒ වෙච්ච සිද්ධිය නිසා. මට ආයෙමත් පැරදෙන්න බෑ. මම ඒකෙන් ගොඩක් විඳවපු, සමහරවිට තාමත් විඳවන කෙනෙක්. මට ඒ අවදානම ආයෙම ගන්න බෑ" මම ඇත්තම කීවෙමි.
එවර සිය අත වූ පොත ඇඳ මතින් තැබූ සොනාලි, උනන්දුවෙන් මදෙස බලා උන්නාය.
"ජේඩන් ඔයාට ආදරෙයි කිව්වද?" මොහොතක නිහැඬියාවකට පසු සොනාලි ඇසුවාය.
"හ්ම්...ඔව්"
"මට හිතුණා. ඉතිං ඒකටද රණ්ඩු වෙලා ඇවිත් මෙහේ අඬ අඬ හිටියේ?"
"මට ජේඩන්ගේ හිත රිද්දන්න දුකයි සෝනු. ඒත් මට වෙන කරන්න දෙයක් නෑ. මට එයාට බොරු බලාපොරොත්තු දෙන්න බෑ"
"බොරු බලාපොරොත්තු? පංචලී, ඔය දෙන්නා දෙන්නට ආදරෙයි නම්, වෙන මොනවත් ගැන හිතන්න ඕන නෑ නේද? ඇයි තේරුමක් නැතිව ජීවිතේ සංකීර්ණ කර ගන්නේ?"
"සංකීර්ණ වෙන්න, අවුල් වෙන්න තවත් මොනවත් මගේ ජීවිතේ නෑ සෝනු. මං ආදරේ කරපු සේරම මට නැති වුණා එක පාරක්. ඒ තරම්වත් විශ්වාස කරන්න බැරි කෙනෙක් ගැන මං මොනා හිතන්නද?"
"ඔයා මොනා කියන්වද කියලා මට තේරෙන්නෑ. ඔයා කියන්නේ ඔයා ජේඩන්ට අකමැති එයා විශ්වාස නැති නිසා කියලද?"
"සමහරවිට ඔව්"
"පංචලී...එහෙම බැලුවොත් අපට ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්. 100%ක් එහෙම කෙනෙක් හොයාගන්න පුලුවන්ද?"
ඈ කියූව නිවැරදි නිසාවෙන් මම මුනිවත රැක්කෙමි.
"එහෙම අය කොහේවත් නෑ පංචලී. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන හැටි අපට කලින් නිගමනය කරන්නත් බෑ. ඒත් එහෙමයි කියලා ඔයා හැමදාම ඔහොම ඉන්නද? නැත්තම් ඔයා මෙහෙම කරන්නෙ ඩොක්ට සුදම් නිසාද?"
"නෑ..නෑ සෝනු. අනේ එහෙම දෙයක් නිසා නෙවෙයි"
"ඔයා ජේඩන්ට ආදරෙද පංචලී?" මගේ කියුම නෑසුනා සේ සොනාලි මගෙන් විමසා සිටියා ය.
"මම දන්නෑ. මම හිතන්නේ... නෑ"
"ඒත් එයා හරියට විඳවනවා...ඔයා ඒකත් දන්න්වා නේද?"
"හ්ම්" මම හිස සෙමෙන් සෙලවීමි.
මටත් හිතට දුක ඒකයි"
"ඔයා ජේඩන්ට කිව්වද කැමති නෑ කියලත්?"
"මං කිව්වා. ඒත්, එයා පිලිගන්න සූදානම් නෑ" ජේඩන් සිහි වී සිත යලි දුකින් බරවද්දී මම කීවෙමි.
"මට තේරෙන්නෑ පංචලී...මට ඇත්තටම තේරෙන්නේ නෑ. පරණ අතිතෙක ජීවත් වෙවී ඇයි ඔයා මෙහෙම විඳවන්න හදන්නේ කියලා. අපි කොච්චර නම් අෆෙයාර් ඇති කර ගන්න්වද? ඒවා බිඳෙනවා, අලුත් ඒවා ඇති වෙනවා. ඒක ස්වභාවික දෙයක්"
"සමහර බැඳීම් එහෙම නෑ සෝනු. ඔය කිව්වට වඩා ලොකු බැඳීමකින් මායි සන්කෙතුයි බැඳිලා හිටියේ" මම ඔද්දල් වූ හිත සනසාගන්නට වෙහෙස නොවී කීවෙමි.
"ඒ කිව්වේ?"
මම දිගු සුසුමක් හෙලුවෙමි. අවසානයේ සියල්ල කාට හෝ පැවසීමට කාලය උදාව තිබිණි. සොනාලි ඒ සියල්ල ඇසීමට සුදුසු වග බොහෝ කලකට පෙරම තහවුරු කොට තිබුණමුදු, මා තුලම වූ පසුබෑම නිසා මට ඈට කිසිවක් පවසන්නට ධෛර්ය්‍යයක් නොතිබිණි. එහෙත් අද මා සියල්ල පැවසිය යුතුය. මා නිසි පරිදි තේරුම් ගන්නට නම් ඈ සියල්ල දැනගත යුතුමය.
"මොකද වුණේ කියන්න පංචලී. මොකක්ද සංකේත්ගෙයි, ඔයාගෙයි අතර තිබුණ දේ?"
"සන්කේත්, මාව නීතියේ හැටියට කසාද බැඳපු කෙනා...ඔව් සෝනු, මම කසාද බැඳපු කෙනෙක්"


2 comments:

  1. Hi Nethu naga...
    Kalekin awe,, mata podi karadara wagayak thibuna. Ithin kisima blog ekaka ta yanna Bari una.
    Mey kathawa mula indamma balanna one....
    Ithin oyata kohomada?

    ReplyDelete
  2. Hello akka,
    ඒකනේ,මාත් බැලුවා මොකෝ සද්දයක්වත් නැත්තේ කියලා. මම හිතන්නේ ගොඩක් අයට වැඩ වෙන්න ඕන. ඉතින් කොහොම හරි කමක් නෑ ඔයා ආවා නේ. මම නම් හොඳින් ඉන්නවා. ඔයත් හොඳින් නේද? :)
    මේ දවස් වල මටත් වැඩ වැඩියි, ජොබ් එකටත් යන හන්දා. සේරම වැඩ ගොඩ වෙලා. ඒත් ඉතින් කතාව ලියන්න කොහොමහරි එනවා.
    මේ පැත්තේ ආවට ස්තුතියි. Enjoy the weekend!!

    ReplyDelete