Wednesday, August 22, 2012

නවවන කොටස


පසුදින මා ඇහැරුනේ කාමරයේ දුරකථනය නාද වන හඬටය. මම නිදිමතේම නැගිට ගොස් රිසීවරය කනේ තබා ගතිමි.
"සුබ උදෑසනක්...පංචලී මම ජේඩන්" අනෙක් පසින් ඇසුනි.
"ජේඩන්?" එසේ අසමින්ම මම අසල වූ ඔරලෝසුවේ වෙලාව බලද්දි , එහි උදෑසන හයයි හතලිස් පහ සටහන්ව තිබිණි.
"ජේඩන්...මොකද මේ උදේ පාන්දරම..." මම නිදිබරව ඇසීමි. උදෑසන කාමරය තුලද තරමක සීතලක් විය.
"කලින් නිදාගන්න ඕන, කලින් ඇහැරෙන්න ඕන...ඒකයි හොඳම. ඔයා නිදාගෙනද හිටියේ?" ජේඩන් නම් ඉතාමත්ම අවදියෙන් ඉන්න වග මට තේරුණි.
"හ්ම්...තාම උදේ හතටවත් නෑනෙ. ඉතිං කියන්න මොකද මාව ඇහැරෙව්වේ කියලා?" මම ඇසුවෙමි.
"අද මායි, නෙලීයි ඩෙනිසුයි, තව මගේ ලොකු යාලුවෝ දෙන්නෙකුයි යනවා අයිස් ස්කේටින්ං තරඟයක් බලන්න. අපි උදේම යන්න ඕන. ඒක බලන්න ඔයත් එනවද අහන්නයි කතා කලේ" ඔහු කීවේය.
එවර මම සම්පූර්ණයෙන්ම වාගේ ඇහැරී උන්නෙමි. එහෙත් ඔහුට දීමට උත්තරයක් සිතා ගැනීමට මට මොහොතක් ඇවැසි විය.
"අනේ ජේඩන් අද නම් බැරි වෙයි" මම අවසන එසේ කීවේ, මෙසේ සෑමදාම ඔහු හා එහේ මෙහේ යාම නොමනා යැයි මට හැඟුන බැවිනි.
"ඇයි? ඔයා මේ පැය කීපෙට වෙන වැඩක් දාගත්තද?" ඔහු ඇසුවේය.
"එහෙම නෙවෙයි-"
"එහෙනම්? පංචලී...ඔයා ආවොත් මේකට හරිම ආසවෙයි. අනික අර පොඩි දෙන්නත් එනවනේ"
"බෑ ජේඩන්. මම ඊයේ හිතාගත්තේ අද නම් කොහේවත් නොගිහින් රෙදි හෙම සෝදලා, කාමරේට වෙලා පොත් කියවනවා කියලයි. අනික අපි ඊයෙත් ගියා නේ. අද නම් එන්න බෑ. වෙන දවසක බලමු" මම මගේ තීරණයේ දැඩිවම එල්බගෙන කීවෙමි.
"හ්ම්..." ජේඩන් සුසුමක් හෙලීය. "එහෙනම් ඉතින් මොනා කරන්නද? ඔයාට බල කරන්න මට බෑනෙ. මම හිතුවා ඔයා ආසවෙයි කියලා තනියෙම ඉන්නවට වඩා, මොනා හරි වැඩක යෙදෙන්න"
"අනේ මාව ඔයාට මතක් වුණාට ගොඩක් ස්තුතියි. මම දන්නවා ඔයා මං ගැන හිතන වග. ඒත් අනේ අද නම් එන්න බැහැමයි"
ජේඩන් මොහොතක් කතා නොකර උන්නේය. ඔහුගේ සිත රිදුනාවද කියා මට සිතිණි. එහෙත් ඒ ගැන කරන්නට කිසිම දෙයක් තිබුණේ නැත.
"කමක් නෑ එහෙනම්. සුබ දවසක් පංචලී. මම තියන්නම්"
"මා එක්ක තරහා වෙන්න එපා ජේඩන්. අපි වෙන දවසක ආයේ යමු. ඔයාලා විනෝද වෙලා එන්නකෝ" මම ඔහු අස්වසන්නට මෙන් කීවෙමි. එහෙත් ඔහු අස්වැසුනද යන්න දැනගන්නට මට ක්‍රමයක් තිබුණේ නැත. ඔහු ඇමතුම විසන්ධි කලාට පසුව ඔහු ගැන පුංචි දුකක් මසිතේ ඉතිරිව තිබිණි.
උදෑසන ආහාරය ගැනීමෙන් පසු නැවත කාමරයට එද්දී ලතිකාද මා සමග මාගේ කාමරයට ආවාය.
"දවස් දෙක තුනක්ම ඔයා තනියෙම නේද දවල් කාලෙට? අනේ ඉතිං මට එන්න විදියක් නැති එක ගැන මට කණගාටුයි පංචලී. ඒත් බ්‍රයන්ට ඕන මුලු දවසෙම මම එයා එක්ක ඉන්නයි" ලතිකා සොනාලිගේ යහන මත වාඩි වී මට කීවාය.
"ඒකට කමක් නෑ ලතිකා...ආදරේ කරද්දි කොල්ලෝ ඔහොම තමයි. අනික මට එහෙමට තනියක් දැනුනේ නෑ. ඊයේ මම ජේඩනුයි එයාගේ පුංචි යාලුවෝ දෙන්නෙකුයි එක්ක නත්තල් සාප්පු සවාරියක් ගියා. ඔයා නොහිටපු හන්දා කියන්නත් බැරි වුණා" මම කීවෙමි.
"හානේ ඇත්තමද? ෂා, එහෙනම් කතාව බරටම නැගලා යන්වා වගේ. ඊයේ මම උදේම බ්‍රයන් එක්ක ගිය නිසා ඔයාව මගෑරුනානෙ. බලං යද්දි කෙල්ලට නරකක් වෙලා නෑ වගේ නත්තලට නැවතුන එකෙන් නේද?" ලතිකා කොට්ටයක් බදාගෙන අමුතු සිනාවක් මුවේ රඳවාගෙන මට විහිලු කලාය.
"අනේ පිස්සුද? අපි වෙන දේකට ගියා නෙවෙයි. කම්මැලිකමට උදව්වක් දෙන්න ගියා විතරයි" මම නොරිස්සුමෙන් මෙන් කීවෙමි.
"හරි හරි. ඕකට ඉතිං තරහා ගන්න ඕනයැ. මම නිකමට කිව්වේ. ඒර් අවංකවම පංචලී මට හිතෙනවා ජේඩන් ඔයාට කැමතියි කියලා. ඔයා නැති සමහර වෙලාවලදි එයාගේ වැඩේ අපෙන් ඔයා ගැන විවිධ දේවල් අහන එක" ලතිකා කල්පනාබරව කීවාය.
"ඈ...ඔය ඇත්තමද? ඒත්...ඇයි? අනේ මංදා ලතිකා. මම එයාව එහෙම ලොකුවට ආශ්‍රය කරන්නෙත් නැතුව..." මම ඇති වූ නොසන්සුන් කම නිසාම තතනන්නට වීමි.
"මේකයි ඉතිං, සමහරවිට එයා එහෙම අහන්න ඇත්තෙත් ඔයා හරිම ගුප්ත විදියට ඉන්න නිසාද කවුද දන්නේ?" ඈ යලි කීවාය.
"ගුප්ත විදියට? මම එහෙමද ඉන්නේ?"
"ඔයා ජේඩන් ලඟදි ඉන්නේ එහෙම නෙවෙයිද?"
ලතිකා ඇසූවට මට දෙන්නට තිබුණේ එකම උත්තරයක් පමණි.
"ඇත්තටම මම එහෙම ගොඩක් මිනිස්සුන්ට ලං වෙන කෙනෙක් නෙවෙයි ලතිකා. සමහරවිට මේක වැරදි ඇති, ඒත් මම මගේ පෞද්ගලික දේවල් කා එක්කවත් බෙදා ගන්න කැමති නෑ. ඒ එදා ඉඳන්ම මගේ හැටියක්"
ලතිකා මා දෙස කිසිත් නොකියා බලා උන්න පමණි. ඈ මා ගැන කුමක් සිතුවාදැයි මා දැන උන්නේ නැත. එහෙත් මා කීවේ සිතට එකඟව මා පිලිපැදි දේ පමණකි.

දහවල් කාලයේ මා කියවීමට අතට ගත් ‘Many masters, many lives’  පොත එක හුස්මට කියවා අවසන් කර මේසය මතින් තබද්දී රෑ දහයද පසූ වී තිබිණි. එය එතරම් රසවත්, කුතුහලය දනවන එක්ක විණි. වර්තමාන ජීවිතයේ කටුක අත්දැකීම් වලට මුහුණ දෙමින්, මානසික රෝගී තත්වයකට ගොදුරුව හුන් කාන්තාවක, මෝහනය කල විට අහඹු ලෙස දිගහැරෙන ඇගේ පෙර භවයන් පිළිබඳව, සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියැවුණ ග්‍රන්ථයක් වු එය මසිත අමුතුම හැඟුමකින් පුරවාලන්නට සමත්ව තිබිණි. එහි අනාවරණය වී තිබුණු බොහෝ කරුණු අප බුදු දහමේ එන කර්මය, දිව්‍ය බ්‍රහ්ම ලෝක, මරණින් මතු ප්‍රතිසන්ධිය ආදී කාරණා රාශියක් මුල් කරගෙන තිබීම පුදුමාකාර යැයි මට සිතිණි. ජීවිතයේ ඇති දුක හා අස්ථිර භාවය, දුකින් මිදීමේ වැදගත්කම හා කර්මය ගැන සිතන්නට, එය කියවන්නා පොලොඹවනසුලු විය. ජේඩන් යලි හමු වූ විටෙක මේ ගැන ඔහු හා වැඩිදුර කතා කරන්නෙමැයි මම ඉන්පසු සිතා ගතිමි.
ඔහු යලි ඉක්මණින්ම හමු වෙතැයි මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැත. එහෙත් නොසිතූ ලෙස, දහතුන් වන දා උදයේ මා වෙනසකට මෙන් ආහාර ගැනීමට ඩොලීස් වෙත යන අතරතුරේදි, පටු මාර්ගය හරහා පැමිණි ඔහුගේ මෝටර් රථය මා අසල නතර කලේ මාව තිගැස්මකට ලක් කරමිනි.
"හායි...හරි පුදුමයි. කොහෙද මේ යන්නේ?" ඔහු රිය වීදුරුවෙන් එලියට හිස දමා මගෙන් විමසන් තුරුම ඒ ඔහුගේ රිය යැයි මම ඇඳිනුවේ නැත.
"ජේඩන්, ඔයා? කොහෙද මේ යන්නේ?" මම පුදුම වී ඇසුවෙමි.
"මම මේ ඩිනෝ ගේ වැඩකට එයාව හම්බවෙන්න ආපු ගමන්. මම හිතුවෙ නෑ ඔයාව මෙහෙම හමු වෙයි කියලා. ඉතිං කොහොමද? මේ දවස් විවේකයෙන් ගත කලාද?" ඔහු එසේ ඇසුවේ ඇනුම්පදයක් ලෙසද නැතිනම් සැබෑවටමද යන්න මට සිතාගත නොහැකි විය.
"ම්...ඔහේ හිටියා. ඔයාට කොහොමද ජේඩන්? කොහොමද අර පොඩි දෙන්නා?" නමුදු මම වෙනසක් නොපෙන්වා ඇසීමි.
"වරදක් නෑ. ඒ දෙන්නත් හොඳින් ඉන්නවා. අපි පෙරේදා උදේ එයාලගේ නත්තල් ගහත් හැදුවා" ඔහු කිවේය.
"පෙරේදා? එතකොට ඔයාලා අර තරඟේ බලන්න ගියේ නැද්ද?"
මා ඇසූ විට ජේඩන් මගේ දෙනෙත් මගහැර රියේ සුක්කානමේ නෙත් රඳවා ගත්තේය.
"ම්හු...යන්න වුණේ නෑ. ගිහින් එද්දි රෑ වෙන හන්දා පොඩි දෙන්නව ගෙනියන්වට මිසිස් කාටර් කැමති වුණේ නෑ. මොකද කොයි වෙලේ හිම කුණාටු හෙම ඒවිද දන්නේ නෑනෙ. ඒ නිසා"
"ම්ම්...එහෙමද? අපරාදේ" මම කීවෙමි.
" "හ්ම්...මොනා කරන්නද? ඊලඟ පාරවත් යන්න බලනවා. ඉතිං ඔයා කොහේද මේ යන්නේ කිව්වේ නෑනෙ" ජේඩන් යලි මදෙස බලා විමසීය.
"මම ඩොලීස් යනවා. උදේ කෑම ගන්න. කාලෙකින් නොගිය හන්දා අද යන්න හිතුණා. ලතිකා අදත් උදේම එලියට ගිහින්. අනික මට හිතුණා අද ලස්සන දවසක් කියලා තනියෙම එලියේ ඇවිදින්න යන්න" මම පිලිතුරු දුනිමි.
"ම්ම්...ඒක හොඳයි. ඔයා තනියෙම ඇවිදින්න යන්න හිතපු හන්දා, බාග වෙලාවට මාත් ඩොලීස් ආවොත් අකමැති වෙයිද මන්දා" ජේඩන් එසේ කීවේ මදෙස යතැසින් බලමිනි.
"අනේ, මම එහෙම හිතලා කිව්වා නෙවෙයි. ඔයා එනවා නම් මම කැමතියි. ඒත් ඔයා මේ වෙන වැඩකට යන ගමන් නේ"
ජේඩන් හිනැහුනේය. අද දවස මෙන්ම ඔහුගේ සිනහවද දීප්තිමත් එකක් විය.
"හ්ම්. මම හිතාගෙන හිටියේ එන ගමන් ඔයාට කතා කරගෙන යන්නම් කියලා. අහන්නකෝ...ඔයා කැමති නැද්ද ඩීනෝලගේ වැඩේ බලන්න යන්න? එයාලා අද පර්යේෂනයක් කරනවා “sleep paralysis” ගැන. හරිම හොඳ අත්දැකීමක් වෙයි ඔයාටත් ඒක. කැමතිද එන්න?"
ජේඩන් ඇසුවේ උද්‍යෝගය පිරි ස්වරයකිනි.
"ආනේ ඇත්තමද? මම හිතුවා එයාලත් නිවාඩුවට පිට ගිහින් ඇති කියලා. කොහේද ඉතින් ඕක කෙරෙන්නේ?" එම පුවතින් උද්‍යෝගයට පත් වූ මම ඇසුවෙමි.
"ඔයා දන්නවා නේද මහාචාර්ය රේගන්ව. අර උස, කෙට්ටු, නිතරම අලු පාට ට්වීඩ් සූට් එකක් අඳින, වැඩිය කොණ්ඩේ හෙම නැති එක්කෙනා. ඔයාලට මනෝ විදැයාවේ මූලිකාංග උගන්වන්න එන්නේ?"
"ඔව් ඔව් මම දන්නවා. ඉතිං එයාගෙද පර්යේශණය?"
"ඔව්. තියෙන්නේ එතුමාගේ සායන හා පර්යේශණ කුටියේ. ඔයා කැමති නම් අපි කාලා එතනට යමුද? ඒක පටන් ගන්න තව පැය බාගෙකට වඩා තියෙනවා" ජේඩන් මට පැවසුවේය.
"ම්ම්...හරි. අපි එහෙම කරමු"
ඉන්පසු වාහන නැවතුම්පොලට දමා පැමිණි ජේඩන් සහ මම හිම ඉවත් නොකරන ලද ඉඩක් ඔස්සේ හෙමි හෙමින් ඩොලීස් වෙත යන්නට පිටත් වූයෙමු.
"මම ඔයා දුන්නු පොත කියෙව්වා. ඉවරම කලා එක දවසකින්ම" මම ඔහු දෙස බලා කීවෙමි.
අද දවස පැහැදිලි එකක් වූ බැවින්, ඔහු සිය තොප්ප්පිය හා මෆ්ලරය ඉවත් කොට කලු දිගු කබායක් හැඳගෙන විත් සිටියේය.
"ඒක හරිම වෙනස් පොතක් නේද?"
"හ්ම්...මිනිස්සුන්ව ආධ්‍යාත්මික අතින් ප්‍ර බෝධයට පත් කරවන සුලුයි කියලා මට හිතුණා"
"හ්ම්. ඒක ඇත්ත. මම කවදාවත් හිතලා තිබුණේ නෑ, මරණින් පස්සේ ආයෙම ජීවිතයක් තියෙනවයි කියලා. ඒත් ඒක කියෙව්වාම ඒක විශ්වාස කරන්නම වෙනවා නේද?" ඔහු කීවේය.
"අපේ ආගමේ හැටියට හැම මනුස්සයෙක්ම මැරෙනවා උපදිනවා බොහොම වතාවක්, කවදා හරි නිර්වාණය අවබෝධ කරගන්නකල්ම. මේ ශරීරය විතරක් දිරලා ගියත් විඥානය ගමන් කරන්වා. ඒක්යි අපේ ඉගැන්වීම. ඇත්තටම කිව්වොත් ජේඩන් මට හිතුණා ඒ පොතේ කියවෙන ගොඩක් කරුණු බුද්ධ ධර්මයේ අපි ඉගෙන ගන්න ගොඩක් දේවල් වලට සමානයි කියලා. උදාහරණයක් විදියට ඒ පොතේ කියවෙන තල හතක ඉන්න 'මාස්ටර්ස්'ලා කියන අය ගත්තොත්, අපේ ධර්මයේ විස්තර කරනවා ඒ වගේ අය ගැන. රූප අරූප, දිව්‍ය බ්‍රහ්ම ලෝක වල ඉන්න උදවිය  ගැන. ඒ අය පින් ගොඩක් රැස් කරගත්තු නිසා ඒ වගේ හොඳ ලෝක වල උත්පත්තිය ලබනවා කියලයි කියන්නේ" මම ඔහුට සරල පැහැදිලි කිරීමක් ඉදිරිපත් කලෙමි.
"වාව්...ඒක හරි පුදුමයි නේ. එහෙම දේවල් තියෙන්න පුලුවන් වග මම කවදාවත් හිතලා තිබුණේ නෑ. බුදු දහම ගොඩක් වෙනස්, අර්ථාන්විත එකක් කියලා මට හිතෙනවා පංචලී. මොකද ඒ දහමේ එන ගොඩක් දේවල් අපට ඇස් පනාපිට පේන්න තියෙනවා කියලා මට තේරිලා තියෙන හන්දා. ඔය පොත කියවලා මට තව යාලුවෙක් කිව්වා, බුදු දහම ගැනත් කියවන්න එතකොට ගොඩක් දේවල් තේරුම් යාවි කියලා. ඒ නිසාම මම එහෙන් මෙහෙන් ඒවා ගැන කියෙව්වා කාලයක්"
"ඒ කියන්නේ ඔයා යමක් කමක් දන්නවා"
"නිර්වාණය කියන්නේ උතුම්ම සැපතයි කියලා බුදු දහමේ කියවෙන බව මට කියවන්න ලැබුණ එක පොතක තිබුණා. ඒත් ඒ තත්වෙට ලඟා වෙන්න අපි මේ ජීවිතේ තියෙන බැඳීම් වලින් මිදිලා, ආසාවන් අතෑරලා සූදානම් වෙන්න ඕනලු. එහෙම නේද?"
"අන්න හරි" ඔහු සතුව තිබූ දැනුම ගැන මට මට සතුටක් දැනුනි..
"ඒත් ඒක කොහොමද කරන්නේ? මං දන්නෑ කාටවත් එහෙම කරන්න පුලුවන්ද කියලා"
"කරන්න පුලුවන් ජේඩන්. ඒ නිසයි බුදු දහම නිර්මාණය වුණේ. ඔය වගේ බැඳීම් අතෑරලා නිර්වාණයට යන මග පාදගත්තු අනනතවත් පිරිසක් හිටියා බුදු හාමුදුරුවන්ගේ කාලේ. සමහරවිට අදත් ඉන්න පුලුවන්" මම කීවෙමි.
"ඒත් ඒක හරි අපැහැදිලියි, අපි කොහොමද අපි නොදන්න, අපට නොපෙනෙන දෙයක් විශ්වාස කරන්නේ?" ඔහු ඇසීය.
"එහෙම කියන්න එපා. අපි ඒක් අවිශ්වාස කරන්න ඕන. හරියට අනෙක් ආගම් වල අය තමන්ට නොපෙනෙන  දෙවියෙක් ඉන්න වග විශ්වාස කරනවා වගේ. නොපෙනුනාට, නෑ කියන්න පුලුවන්ද? අපට නොපෙනෙන, ඒත් පවතින කොච්චර දේවල් තියෙනවද? මේ හුලඟ ගන්න. ඒක අපට පේනවද? නෑ. ඒත් අපි දන්නවා ඒක තියෙනව වග. ඒක අපට දැනෙනවා. ජේඩන් නිර්වාණය කියන්නේ හිස් බවක් නෙවෙයි, ඒක එක්තරා ස්ථායි තත්වයක්. පවතින දෙයක්. මේ හුලඟ වගේම, ඒ තත්වෙට ලඟා වෙන්න උත්සාහ කරද්දි දැනෙන දෙයක් වෙන්න පුලුවන්. අපි මිත්‍යා දෘෂ්ටික වෙන්න හොඳ නෑ. ඒක් පාපයක්. අපි නිර්වාණය විශ්වාස කරන්න ඕන, බෞද්ධයෝ හැටියට" මම ඔහුට පැහැදිලි කලෙමි.
"හ්ම්...ඒක නම් හිතන්න හොඳ දෙයක් තමයි" ඔහු කල්පනාකාරීව මෙන් කීවේය.
"අපේ ඉගැන්වීම විදියට, මේ ජීවිතය කියන්නේ දුකක්. ඒකට හේතුව, ඒක නැති කරන එක, ඒ නැති කිරීමේ මාර්ගය අනුගමනය කරන එක තමයි චතුරාය්‍රය සත්‍ය කියන්නේ. හිතන්න ජේඩන් මේ ජීවිතේ හැමදේම දුකක් නෙවෙයිද?" මම ඇසුවෙමි.
කතාවෙන් කතාවෙන් අපි ඩොලීස් අසලටම වාගේ පැමිණ උන්නෙමු.
"අ..ම්...ඒක ටිකක් හිතන්න ඕන දෙයක් පංචලී. ඒක එහෙමමයි කියලා මට කියන්න බෑ"
"ඔයා හිතලා බලන්නකෝ, ඒක එහෙම නෙවෙයි ද කියලා" මම ඔහුට කීවෙමි. ධර්මය ගැන හරිහැටි නොදන්න අයෙකුට එය පහදන්නට තරම් ශූර කමක් මා තුල තිබුණාද යන්න මට පැනයක් විය.
"ඒ කොහොම වෙතත්, අපි මේ ලැබුණ ජීවිතේ කොහොම හරි ජීවත් කරගන්න එපැයි. ඒ නිසා, අපි මොනා හරි කාලම ඉමු. විහිලුවට නෙවෙයි පංචලී මම කියන්නේ, මම ආසයි ඇත්තටම තව බුදු දහම ගැන හදාරන්න. මම කවදාවත් ආගමක් ඇදහුව කෙනෙක් නෙවෙයි මුලු හදවතින්ම, අවංකවම. ඒ නිසාද මන්දා මට පුලුවන් ඕනම ආගමක් දිහා විවෘත මනසකින් බලන්න" ඔහු කීවේය.
"හැම ආගමක්ම නිර්මාණය වුණේ මිනිස්සුන්ට ආධ්‍යාත්මික වශයෙන් සහනයක් දෙන්න. පවෙන් ඈත් කරන්න. හොඳ දේවල් කරන්න යොමු කරන්න. ඒ නිසා එහෙම විවෘතව බලන එක හොඳයි ඇත්තටම, බොරුවට ගරහනවට වඩා" මම මගේ අදහස කීවේමි.
ජේඩන් හිස වනමින් අසා උන්නා පමණි. ඉන්පසු අප දෙදෙනාම ඩොලීස් වෙත ගොස් උදෑසන ආහාරය ලබා ගත්තෙමු.
ජේඩන්, පසුගිය දින වල අප අතර සිදු වූ දෑ ගැන හෝ , එවැනිම වෙනත් බොලඳ දෙයක් ගැන කතා නොකර, දාර්ශනික අදහස් පල කිරීමට යොමු වීම මහිතට සහනයක් විය. එහෙත් ඩොලීස් වෙතින් ඉවතට එද්දීම ඒම සහනය තාවකාලික එකක් බවට පත් කරමින් ජේඩන් යලි කතාව ඇරඹුවේය.
"ඔයා දන්නවද, එදා අපි සාප්පු සවාරිය ගිය දවසේ ඉඳලම මට ඔයාව නිතර මතක් වුණා" ඔහු මා හා සෙමෙන් පියවර මනිමින් නැවතිල්ලේ කීවේය.
"මාව?" දෙකන් පෙති රත් වීගෙන එද්දි මම එසේ ඇසීමි.
"හ්ම්. මට මීට කලින් කවදාවත් ඔයා වගේ කෙනෙක් මුණගැහිලා නෑ පංචලී. ඔයා මට ඉන්න වෙනස්ම යාලුවෙක්" ඔහුගේ එම අවසාන වදන මහිතට යම් සහනයක් ගෙන එන්නට සමත් විණි.
"ඇයි එහෙම කියන්නේ?"මම ආයාසයෙන් සිනාසීමට උත්සාහ කරමින් ඇසුවෙමි.
"අනේ මංදා. ඔයා හරියට හැම රසයක්ම ටික ටික මිශ්‍ර වෙච්ච කෑමක් වගේ. සතුට, දුක, හිනාව, කඳුලු මේ සේරම ඔයා ලඟ හැමවෙලේකම තියෙනවා. ඒ වගේම ඔයා හරි වෙනස් විදියට ජීවිතේ දකින්නේ කියලත් මට හිතෙනවා. සමහරවිට ටිකක් වැඩිපුරත් එක්කම ගැඹුරින් වගේ" එසේ කියූ ඔහු හිනැහුනේය.
මම ද යන්තම් හිනැහී මුනිවත රකින්නට වීමි. ඔහු මේ එන්නට හදන්නේ මොකටදැයි මට සිතාගත නොහිනි.
"ඒ මොනවා වුණත් ඔයා හරි සිත්ගන්නසුලු කෙනෙක් පංචලී. කවදාවත්, මොනා කලත් තරහා වෙන්න හිතෙන්නේ නැති, ආයෙ ආයේ කතා කරන්න හිතෙන කෙනෙක්. මට සතුටුයි ඔයා මගේ යාලුවෙක් වුණ එක" ඔහු තවමත් නැවතිල්ලේ දොඩයි.
මට සුසුමක් හෙලිනි. ඒ ඔහු මා ගැන වරදක් නොහිතන වග මට දැනුන නිසාය.
"ඔය  තරම් ලොකු පැහැදිලි කිරීමක් නම් මට කරන්න බෑ. ඒත් ජේඩන් ඔයත් ඇත්තටම හොඳ යාලුවෙක් මට. මම හිතුවේ නෑ, කවදාවත් මට පුලුවන් වෙයි කියලා කොල්ලෙක් හොඳ යාලුවෙක් කර ගන්න" මම කීවෙමි.
"ඇයි ඒ? ශ්‍රි ලංකාවේ එහෙම බැරිද?"
"මෙහෙමයි, බැරිම නෙවෙයි. ඒත් සමහර පැති වල සමාජය වෙනස්. එහෙම සම්බන්ධතා දකින්නේ වැරදියට, සමහර වෙලාවට. ඇත්තටම කිව්වොත් අපි දෙන්නා හැදුන සමාජයන් දෙකේ ගොඩක් සිරිත් පරස්පර විරෝධීයිදත් මන්දා" මම මදක් කල්පනා කරමින් කීවෙමි.
"උදාහරණයක් විදියට?" ඔහු ඇසුවේය.
"ම්ම්...උදාහරණයක් විදියට නේද? ම්ම්...අපි ගොඩක්ම සමීපම පිරිමි අය ඇර වෙන අය එක්ක අපේ සීමාවන් තියා ගන්නේ ගොඩක් ඈතින්. සමු ගද්දි හමෝවම සිප ගන්නේ හෙම නෑ. එලිමහනේ, සෙනග ඉදිරියේ, පොදු තැන් වල සිප වැලඳගන්නේ නෑ. ඇඳුම් ගොඩාක් කොටට හෙම ඇඳින්නේ නෑ, ඒක අවශ්යම දෙයක් වෙනුවෙන් නෙවෙයි නම්. මං කියන්නේ රස්සාවේ නිල ඇඳුම හරි, ක්‍රීඩා ඇඳුමක් හරි නෙවෙයි නම්. මෙහෙමයි ඉතිං, දැන් නම් ඒවා එහෙමම නෑ. ඒත් ගොඩක් එහෙමයි කියන්න පුල්වුඅන්"
"ඔහ්...හරිම සිත්ගන්නසුලුයි. ඔයාලා වගේම සිරිත් විරිත්, පිලිගැනීම් තියෙනවා නේද ඉන්දියාවෙත්?" ඔහු ඇසුවේය.
"ඔව්, අපි ඉතින් එක පැත්තේ කට්ටිය නේ"  මා එසේ කීවිට ඔහුට සිනා නැගිනි.
කතාව වෙනතක යොමු වීම මහිතට සහනයක් ගෙන දී තිබිණි.
"ඔන්න ඔය වගේ මහා අමුතුම අදහස් දරණ එකත් මම ඔයාට කැමති වෙන්න එක හේතුවක් පංචලී. ආයෙ මං ආසයි ඔයා ලැජ්ජා වෙන හැටි බලන් ඉන්න. එවෙලෙට ඔයා හරිම.....ලස්සනයි. කෙල්ලෙක් ලැජ්ජා වෙද්දි එහෙම ලස්සනද කියලා මම දැකලා තිබුණේ නෑ කවදාවත්. මම හිතාගෙන හිටියේ කෙල්ලෝ ලැජ්ජා පොඩි කාලේ විතරයි කියලා"
එවෙලේ ඔහු සැබවින්ම මා තුල ලැජ්ජාවක් ඉස්මතු කලේය. මම ඔහු දෙස නොබලා මෝඩ ලෙස සිනාසුනෙමි.
"එහෙම නම් ඔයා ලංකාවට ආවොත් පිස්සු හැදෙයි. මටත් වඩා ලැජ්ජා කෙල්ලෝ බුරුතු පිටින් ඉන්නවා එහේ" මම කතාව විහිලුවකට ඇඳා ගැනීමට උත්සාහ කරමින් කීවෙමි.
"ඒත් ඒ ඔයා නෙවෙයි නේ පංචලී" ඔහු කීවේ හැඟුම්බරවය.
කුමක්දෝ හේතුවකට මහිත පුදුමාකාර තරම් සසල කරන්නට ඒ හඬට අද මුල්ම වතාවට පුලුවන් වී තිබිණි. සිතේ ගොඩනගාගෙන හුන් විසල් පවුරක් බිඳී ගියා සේ මට දැනුනි. සත්තකින්ම මම ඒ හැඟුමට බිය වීමි. එදවස සංකේත් මහිතේ පවුරු බිඳ දමා පැමිණ, හිතේ අරක්ගත්තේ මෙසේමදැයි මම යලි මතක් කරන්නට උත්සාහ කලෙමි. එහෙත් ඔහු අවසන යන්නට ගියේ මා මුලු ජීවිතයම කඩාඉහිරවා ය. නමුදු අරුමයකට මම ඔහුට වඩාත් පෙමින් බැඳුනා පමණි. මහිත අයිති ඔහුටම විය. යලිත් කිසිවෙකුට ඒ හිතට ඇතුලු වීමට ඉඩ දීමට මට උවමනා නොවිනි. මා ජේඩන්ගේ වදන් වලින් මෙතරම් සැලුනේ එනිසා වන්නට ඇත.
"හායි... ජේඩන්, එන්න එන්න. ඔයත් ඇවිත් නේ. කොහොමද කෙල්ලේ? ආපු එක ලොකු සතුටක් මට. අපි පර්යේශණය තව විනාඩි පහකින් පටන් ගන්නවා. මෙහෙන් ඇවිත් වාඩි වෙන්න"
මගේ මහත් අස්වැසිල්ලට හේතු වෙමින් ඩීනෝ අප වෙත පැමිණි අතර, අප කතාවෙන් කතාවෙන් නියමිත ස්ථානයට පැමිණ උන්නෙමු. සායනයට ඔබ්බෙන් වූ වෙනත් නිරීක්ෂණ මැදිරියක අප දෙදෙනාත්, මහාචාර්ය තුමාගේ සිසු සිසුවියන් කිහිපදෙනෙකුත් අසුන් ගත්තෙමු. ජේඩන් මා අසලින්ම වාඩි ගත්තේය. මට යලි නොසන්සුන්භාවයක් දැනෙන්නට විය.  මම අප හුන් කුටියේ වීදුරු ආවරණය හා, රූපවාහිනි තිර වලින් පෙනෙන තවමත් හිස් වූ පර්යේශණ සායන කුටිය දෙස බලා උන්නෙමි.
"ඔන්න ඒක පටන් ගන්නයි යන්නේ" මහාචාර්යතුමා පැමිණෙද්දී, ජේඩන් රහසින් මෙන් මට කීවෙන්, මම ඔහුට සිනාවක් පෑවෙමි. "ඔයා මා එක්ක ඉන්න එක මට සතුටක් පංචලී" ඔහු ඉන්පසු එසේද කීවේය. සිත යලිත් බර වූවා පමණකි.


7 comments:

  1. අදත් 1 මමයි ඔන්න ඔහේ සංකේත්ව අමතක කරලා (වෙන උනේ කොහොමද දන්නේ නැ හැබැයි )ජේඩන්ට බහා දෙන්න පංචාලි

    ReplyDelete
  2. අදත් ලස්සනට ගෙත්තම් කල කොටසක්...
    දිගටම ලියන්න සුභ පතනවා නෙතූ..

    ReplyDelete
  3. ලස්සනයි.. දිගටම මේ වගේ ලස්සනට ලියන්න.

    ReplyDelete
  4. nethu akkige kathawe galagene yane widiha hari lassanay ae wageme anik katha dekamete wadiya wenas :) waiting for the 10th eppisode. Take care.

    ReplyDelete
  5. ඔයා ගොඩ කාලෙකta පස්සේ කමෙන්ට් කරලා. මම ඒත් අහන්න හිතුවා විතරයි කෝ අපේ Glimmer Girl කියලා. ඔයා සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න මම 10 කොටස දැම්මා.
    have a nice weekend my dear!

    ReplyDelete
  6. thank you all my friends fro you r lovely comments! have a nice weekend!

    ReplyDelete
  7. ahhhhhhh ane ow akki man godak busy una mage studies eke nathuwe kathawe kiyawanne amathaka kara neme.. log wela comment danne welawak une na :) man aith hituwa nethu akki mawe hoyay kiyala :D ahh thanks for the 10th episode :D take care akki <3

    ReplyDelete