Tuesday, August 14, 2012

සයවන කොටස


"මං දන්නෑ මොනා කරන්නද කියලා" පසුදා දේශන සඳහා ඇවිද යද්දී පෙරදා වූ  දේවල් යෙහෙලියන්ට පවසා මම කීවෙමි.
"මම නම් හිතන්නේ ඔයා යන්න ඕන කියලා. ජේඩන් හරිම ෂෝක්, හැන්ඩ්සම් කොල්ලෙක් නේ. මගෙන් ඇහුවා නම් මම පැනලා යන්නේ" නයෝමි කීවාය.
"එහෙනම් ඔයා යන්නකෝ" මම ඈට කීවෙමි.
"එයාට ඕන මාව නෙවෙයි නේ"
මම දිග සුසුමක් හෙලුවෙමි.
"ඉතින් ඔයාට යන්න බැරි මොකද? එයා එලියට යන්න කතා කලා නෙවෙයි නේ. යාලුකමට වෙන්නත් පුලුවන්නේ. හා නැද්ද?" පූජා කීවාය. ඈ කියන දේ ඇත්තක් ඇතැයි මට නොසිතුනා නොවේ.
"මෙහෙමයි, පංචි බයයි ඕක කාලයක් යද්දි අනික් පැත්තට හැරෙයිද කියලා නේද?" සොනාලි ඇසුවාය.
"ඉතින් එහෙම වුණාම මොකද? එයා නරක කෙනෙක්යැ?" නයෝමි කීවාය.
"අපි කොහොමද ඒක දන්නේ? කාලා බලන්නද?" සොනාලි කීවාය.
"කා එක්කවත් ඕනවට වඩා සමීප සම්බන්ධකම් තියාගන්න මම ඇත්තටම බයයි නයෝමි. මට ඒ ගැන තියෙන අත්දැකීම් එච්චරම සුබ ඒවා නෙවෙන නිසා. මම එක පාරක් නොගැලපෙන දෙයක් කරන්න ගිහින් හිත රිද්දගත්තු කෙනෙක්. මට කිසි කෙනෙක් විශ්වාස නෑ. මම ආයෙත් විශ්වාස කරන්නත් බෑ" මම කීවෙමි.
යෙහෙලියෝ මදෙස බැලුවේ පුදුමයෙනි.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" එසේ විමසුවේ පූජාය.
"මම අතීතේ අමතක කරන්න උත්සාහ කරන කෙනෙක් පූජා. මට කරන උදව්වක් විදියට ප්ලීස් මේ දේවල් මගේන් අහන්න එපා"
"ඇයි ඔයා හැමදේම හිතේ හිර කරගෙන තනියෙම දුක් විඳින්න හදන්නේ? ඇයි ඔයාට බැරි කාටහරි සේරම කියලා හිත සැහැල්ලුකරගන්න?" එවර එසේ ඇසුවේ සොනාලිය.
මම යන්තමට සිනාසුනෙමි."එහෙම වෙනවා නම් මම මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියනවා මගේ දුක. ඒත් එහෙම වෙන්නේ නෑ සෝනු. කිව්වා කියලා දුක අඩු වෙන්නෑ. අනේ ප්ලීස් අපි මේ කතාව දැන් නවත්තමු. නැත්තම් අද මට හිත එකලස් කරගෙන පාඩමක් වත් කරන්න බැරි වෙයි" මම කීවෙමි.
කිසිවකු ඉන්පසු ඒ ගැන මගෙන් ඇසුවේ නැත. සොනාලි හිස වනා අහක බලා බලාගත්තේ නොසතුටින් මෙනි. එහෙත් ඒ පිලිබඳව කරන්නට කිසිවක් මට තිබුනේ නැත. සැමදාම මෙන් අදත් මම, මා තුලම සියල්ල සඟවාගෙන ඉන්නට කැමති කෙනෙකු වීමි.

"ගුඩ් මෝනිං පංචලී"
දේශණ ශාලාවට පැමිණ අසුන්ගෙනහරි බරි ගැහුනා පමණි. මා පිටුපසින් ඇසුනේ අන් කවරකුගේවත් නොව ජේඩන්ගේ හඬයි. මම වේගයෙන් පසුපස හැරී බලන අතර, අසල් හුන් සොනාලි මගේ අත මිරිකුවාය.
"ජේඩන්? ඔයා මෙහේ?" මම පුදුමයෙන් ඇසීමි.
"ඔව්. මේ ලෙක්චර් එකට මම එන වග අමතක වුණාද? හායි ගෑණු ළමයිනේ" ඔහු දෑස් විසල් කර, ලොකු සිනාවක් පා මගෙන් අසන අතරම සොනාලිලා හට අතක් වනා ආචාර කලේය. මට එය මතක් වූයේ එවිටයි.
"අනේ, මට අමතක වෙලයි තිබුණේ. සමාවෙන්න"
"ආ...ඒකට මොකද. මටත් උදේ තමා මතක් වුණේ. ඉතින් ඒ නිසා ඔයාට සමාව ලැබෙනවා. ඉතින් කොහොමද? ඊයේ හොඳට නින්ද ගියාද? මගේ අත, පිට හෙම රිදෙන්න ගත්ත හිම ගුලි වැදිච්ච තැන්. ඒත් ඊයේ දවස නම් නියමයි" ඔහු කීවේ හිනැහෙමිනි.
කලු උස්කර පුලෝවරයකින් සැරසී උන් නිසාදෝ ඔහුගේ වතේ වූ පැහැය ඉස්මතුව, ඔහු තවත් ප්‍රසන්නව පෙනෙනවා යැයි මට සිතුණි. ඔහුගේ සිනහව සියල්ල එලි කල අතරම, හාත්පසම උණුසුම් කලාක් මෙනි.
"මට නම් මහන්සියටත් එක්කම හොඳටම නින්ද ගියා" මම කීවෙමි.
"මෙහෙම කතා කරන එක කාටත් අමාරුයි. ඉන්න මම ඔතනට එන්න" මා නොසිතූ පරිදි මට එසේ පැවසූ ඔහු, මට එක් පසෙකින් වූ හිස් ආසනය වෙත පැමිණියේ, සොනාලිට තවත් වරක් මා අත මිරිකන්නට හේතුවක් ලබා දෙමිනි. මම උන්නේ අපහසුතාවයට පත්ව ය. මෙවෙලේම වාගේ දේශකතුමිය පැමිණියෙන්, ඔහුට යලිත් මා හා දොඩන්නට අවකාශ නොලැබිණි. ඒත් ඒ දේශණ අතර විවේකය දක්වා පමණි.
"ඔයා මුලු දේශණයම පිටපත් කරනවද?" විවේකයේදී මදෙසට යලි එබුණු ජේඩන් ඇසුවේය.
සොනාලි හා අනෙක් තිදෙනා, උවමනාවෙන්ම මා මගැර වෙන කතාවක නිමග්නව උන් අතර, මට ජේඩන් හා කතා කරන්නට සිදුව තිබිණි.
"ඔක්කොම නෙවෙයි, වැදගත් ඒවා විතරයි"
"මම දැක්ක ඔයා තිස්සෙම ලියනවා"
"ඒ ඉතින් ඔක්කොම වැදගත් නිසා නෙ" මම සිනාසී කීවෙමි.
"හ්ම්, එක නෙවෙයි, මම ඊයේ ඔයාගේ රට, ශ්‍රී ලංකාව ගැන පොඩ්ඩක් තොරතුරු හොයලා බැලුවා. මට ආස හිතුණා හොයලා බලන්න. ඇත්තටම ඔයාලගේ හරි වෙනස්, නියම කල්චර් එකක්නේ තියෙන්නේ. මට කියවන්න ලැබුණ විදියට නම් ඒක ඉන්දියානු කල්චර් එකකට වඩා ගොඩක් වෙනස් නේ සමහර දේවල් අතින්?" ඔහු අසුනේ හරි බරි ගැහෙමින් මත කීවේය.
"අපොයි ඔව්. අපේ රට බෞද්ධ රටක් වීමම ඒකට ලොකු හේතුවක් වෙන්න ඇති මං හිතන්නේ" වෙනස් මාතෘකාවක් ඔස්සේ කතාව ඇදී යන්නට වු විට මම බොහෝ කැමැත්තෙන්ම එයට අවතීර්න වූයෙමි.
"ඒත් බුද්ධ ධර්මය ඉපදුනේ ඉන්දියාවේ නේද?"
"ඔව්.ඒත් එකට ඉන්දියාවේ ලොකුවට පැවැත්මක් නැති වුණා. ථෙරවාද බුදු දහම හොඳටම ස්ථාපිත වුණ රටක් තමා අපේ රට"
"ඒ වගේම ඒක ලස්සන රටක්. ඒ වෙරලවල්, තේ වතු, පැරණි නගර...හරිම සිත ඇදගන්නාසුලුයි. ඇයි අර යක්ෂ මූණු...මම ඒවට හරිම ආස වුණා" ඔහු කීවේ හිනැහෙමිනි. මට දැනෙමින් තිබුණේ පුදුමයකි.
"ඔයා සෑහෙන දේවල් බලලානෙ"
"ම්ම්...අනේ මන්දා. කොහොමත් පැය තුන හතරක් වත් මම තොරතුරු හොයන්න ඇති. ඒත් ගොඩක් වෙලාවට තියෙන්නේ සංචාරකයන්ව ඇදගන්න ලියවුණ දේවල්. සමාජය ගැන මතුපිට අදහසක් විතරයි ගන්න පුලුවන්. ඒත් ඒක ගැඹුරින් හදාරන්න නම් ඉතින් ඒ සමාජෙට යන්නම වෙනවා. නැත්තම් ඒ සමාජේ උන්නු කෙනෙක්ගෙන් විස්තර අහන්න වෙනවා" ඔහු කීවේය.
"ආ...ඇත්තද? ඉතිං මොකටද ඔච්චරම හොයන්නේ? ඒක මහ ලොකු වෙනස්, සුවිශේෂ සමාජයක්ද?"
"පංචලී මම සමාජ විද්‍යාඥයෙක්නේ. සමාජයක් ගැන හදාරන්න ඒකේ විශාලත්වය බලන්නම ඕන නෑ. සමහර පුංචි සමාජ වල හිතන්න බැරි තරම් සමාජ විද්‍යාත්මකව වැදගත් කරුණු තියෙනවා. පෞද්ගලිකව ථේරවාද බුදු දහම ගැන උනන්දු කෙනෙක් විදියට මට ආසයි කොහොමද ඔයාගේ රටේ සමාජේ එක්ක, ඒ ආගම බැඳිලා තියෙන්නේ කියලා හදාරන්න. ඒකේ ප්‍රථිපල එහෙම..."
මම කිසිවක් කියන්නට මත්තෙන් දේශකතුමිය යලි පැමිණියාය. ඉතින් අපේ කතාව මග නතර වුණි. දේශණය අහවර වද්දි නියමිත වෙලාව පසු වී විනාඩි පහක් ඉක්ම ගොස් තිබුණෙන්, ජේඩන්ට යලි මා හා දොඩන්නට වෙලාවක් නොවුණි. එය එකතකට මට සැනසීමක් විය. ඒ සමහරවිට මසිත ඔහු අසලදී සිතාගත නොහැකි ලෙස නොසන්සුන් වන නිසාවද?
"මම හිතනවා ඔයාට හවස එන්න පුලුවන් වේවි කියලා" ඔහු යන්නට සැරසෙන් ඇසිල්ලේ මට කීවේය.
"බලමු...දැන් ඉතින් දුවලා යන්න. පරක්කු වෙයි"
"හරි...ආයේම හම්බවෙමු ගෑණු ළමයිනේ" ඔහු අප සැමට අත වන ශාලාවෙන් පිටතට දිව්වේය.
"අනේ ඔයා නොයා ඉන්න එපා පංචි. ජේඩන් පව්. එයා ඔයාට හරිම කැමතියි වගේ" ඔහු යන දෙස බලා උන් පූජා එසේ කීවාය.
"එහෙම නම් මම යන්නෙම නෑ"
"හරි හරි. ඒක බලමුකෝ එවෙලෙට. අන්න ඈතින් , ප්‍රොෆෙසර් කෝල්මාන් එනවා පේනවා. මෙහෙන් වාඩි වෙන්න" සොනාලි ඈත බලා හිඳ කීවාය.
යලිත් වෙහෙසකර දේශණ ආරම්භ විණි. මම අයාලේ දුවන සිතුවිලි එකතැන් කොට දේශණයට අවධානය යොදවන්නට වෙහෙස ගතිමි.
"දැන් ඔයා යනවද?" දේශණ ශාලාවෙන් පිටට එන අතර සොනාලි මගෙන් විමසුවාය.
"ඇයි අපි ඔක්කොටම යන්න බැරි?" එවර මම ඇසුවේ දේශණ අතරතුරේදී සිත සමග තර්ක කරද්දි මතු වූ එක අදහසකි.
"එයා අපි ඔක්කොටම එන්න කිව්වේ නෑනෙ" මා කියූව අසා උන් නයෝමි කීවාය.
"එපා කිව්වෙත් නෑනෙ. අනික ඩොලීස් ඕන කෙනෙක්ට යන්න පුලුවන් තැනක් නේ. අනේ...ප්ලීස්...එහෙම කරමු" මම ආයාචනා කලෙමි.
"එහෙම කරන එක නිකං හරි නෑ වගේ නැද්ද?" පූජා ඇසුවාය.
"එන්න පුලුවන්, හැබැයි ඔයාලා එක්ක එක මේසේ ඉඳගන්න බෑ. අපි ලඟකින් ඉන්නම්" සොනාලි අන්තිමේදී කීවාය.
එයද හිතට සහනයක් වූයෙන් මම එයට එකඟ වීමි. අන්තිමේදී අපි සියලු දෙනා, බ්‍රයන්වද කැටුව ඩොලීස් වෙත පියනැගීමු. ඩොලීස්, සවස දේශණ අහවරව එලියට බට සෙනග කන්දරාවකින් පිරී ඉතිරී ගොස් තිබිණි.
"හම්මෝ සෙනග...ඉඳගන්න නම් ඉඩ නෑ වගේ" වටපිට බැලූ පූජා කීවාය.
"මේ බලන්න බලන්න ජේඩන් කොහෙද කියලා" සොනාලිද බෙල්ල ඔසවා වට පිට බලමින් කීවාය.
මේ අතර කවුන්ටරය ලඟ පෝලිමේ හුන් ඩිනෝ සහ මන්ජීත් අප දැක සිනාසී අත වැනූහ.
"ආ...අන්න මන්ජීත්ලත් ඇවිත්" මම කීවෙමි.
"හායි...එහෙනම් ඔයා ආවා" ඒ හඬ ඇසුණේ මගේ පිටුපසිනි.
මම හැරී බලද්දි ජේඩන් සිනාසෙමින් මා අසල විය.
"හායි...ම්...කොහොමද?"
"යන්තම් හුස්ම හිර නොවී ඉන්නවා. ආ...හායි, මෙයාලත් ඇවිත් තියෙන්නේ" මට එසේ පැවසූ ජේඩන්, සොනාලි ඇතුලු පිරිස දැක පුදුමයට පත්වූ වගක් පෙනුනි.
"ඔව්...අපි මේ මොනාහරි බොන්න ආවා. ඔය දෙන්න යන්න, අපි අරහෙට යන්න හදන්නේ" මා දෙස බලා නොබලා එසේ පැවසූ සොනාලි, අසල හුන් පූජා සහ නයෝමිව ඇදගෙන මේස අතරින් ඈතට ගියේ බෙහෙවින් නොසන්සුන්ව හුන් මා ජේඩන් අසල තනිකරලමිනි.
"ඉතිං?" සෙනග මැදම සිටගෙන උන් ජේඩන් කීවෙන්, මට ඔහු දෙස බැලිනි.
"මට ඉඳගන්න තැනක් හොයා ගන්න බැරි වුණා. හැබැයි මම කෝපියි, කේකුයි නම් ගත්තා. අද සීතල වැඩි හන්දද මන්දා සෙනග හරියට. මොකද කියන්නේ අපි යමුද එලියට?" බලාපොරොත්තු නොවූ පරිදි ඔහු එසේ ඇසූ විට මට එක්වරම කිවයුතු යමක් මතක් නොවිනි.
"ඉස්සර වෙන්නකෝ" මගේ පිලිතුර අසන්නට නො ඉඳ ඔහු මට දොරටුව අසලට යෑමට ඉඩ දුන්නේය.
"සොනාලිලා මාව හෙව්වොත්?" මම මදක් පැකිලෙමින් කීවෙමි.
"හෙව්වොත් නේද? එසේ කියමින් ඔහු වටපිට බැලීය. එවර අප දෙදෙනාගේම නෙතට හසු වූයේ අප දෙසට එමින් උන් මන්ජීත්ය.
"ආ මේ මන්ජීත් එන්නේ වෙලවටම…මන්ජීත්, පොඩි උදව්වක් කරන්නකෝ. මෙයාගේ යාලුවෝ දන්නවා නේද, සොනාලි, පූජා...එයාලා දැක්කොත් කියන්න අපි දෙන්න එලියට ගියා කියලා. ප්ලීස්"
"අනිවාර්යෙන්ම. ප්‍රශ්ණයක් නෑ. විනෝද වෙලා එන්න" ඔහු මට ඇහැක් වසා ඉඟි කරමින් කීවේය.
"දැන් යමුද?" මන්ජීත් අප අසලින් නික්ම ගිය පසු ජේඩන් මගෙන් විමසීය.
කලහැකි අන් දෙයක් නොවුණු තැන මම ඔහු අනුව ගියෙමි. උණුසුම් ආපණශාලාවෙන් එලියට බට විගසම සීතල ඉඳිකටු අනින්නාක්සේ විත් සියලඟම වෙව්ලවා ගියෙන් මම දෑත් එකෙටෙක බැඳගතිමි.
"ගොඩක් සීතලයි නේද?" මෆ්ලරය ගෙල වටා ඔතාගනිමින් හුන් ජේඩන් ඇසුවේය.
"හ්ම්"
"ලංකාව නිවර්තන කලාපීය රටක් නිසා ඔයාට පුරුදු නැතුව ඇති මම හිතන්නේ. ඇත්තටම ඔයා මෙහේ ගොඩක් කල් හිටපු කෙනෙක්ද, නැත්තම් මේ පලවෙනි වතාවද ආපු?" ඔහු මදක් උස් හඬින් කතා කලේ අවට තරමක් දැඩි සුලඟක්ද වූ බැවිනි.
"මේ පලවෙනි වතාව බටහිර රටකට ආපු" මම කීවෙමි.
"මට එහෙමත් හිතුණා. එතකොට ඔයාගේ පවුලේ අය සේරම ඉන්නේ ශ්‍රි ලංකාවෙද?" ඔහු එසේ අසමින් මා අතට උස කෝපි කෝප්පය සහ, කේක් කැබැල්ලක් දෙමින් කීවේය.
"ස්තුතියි. ඔව්. මට ඉන්නේ අක්ක කෙනෙක් විතරයි. එයයි, අම්මයි, තාත්තයි ඉන්නේ එහේ. අපේ ගම මහනුවර" මම කීවෙමි.
"ඕ...මහනුවර...මම තොරතුරු හොයද්දි දැක්ක ඒ නම් කීප තැනකම. එහේ නේද අර...මොකක්ද...අර ලොකු මාලිගාවක් වගේ, අලි ඉන්න පෙරහැර තියෙන?" ඔහු තතනමින් මතක් කරගන්නට උත්සාහ කරද්දි මට යන්තම් සිනා නැගිනි.
"දළදා මාලිගාව, ඔව්. එකා තියෙන්නේ එහේ තමයි. ජූලි, අගෝස්තු මාස වල පෙරහැර තියෙනවා"
"පෙරහැර, හරිම ලස්සනයි. හරි වෙනස්...ඒක හරියට අර රියෝ ඩිජනෙයිරෝ වල පෙරහැර සැනකෙලිය වගේදත් මන්දා" ඔහු කීවේය.
"රියෝ සැනකෙලිය වගේ නෙවෙයි. මේක ආගමික උත්සවයක්. අපේ රටේ සාම්ප්‍රදායික නැටුම්, ඊටපස්සේ අලි, නිලමෙලා වගේ ප්‍රභූවරු, සාම්ප්‍රදායික සිරිත් විරිත් වගේ දේවල් මේකේ ඇතුලත් වෙනවා. ඒ වගේම ඒ පෙරහැරේ ගැහැණු උදවියට නටන්න තහනම්. පිරිමි අය විතරයි" මම දන්න යමක් කීවෙමි.
"හරිම සිත් ගන්න සුලුයි. ඒත් ඇයි ගැහැණු අයට නටන්න තහනම්?"
"ඒකත් සාම්ප්‍රදායික පිළිගැනීම් හන්දා තමයි. එහෙම චාරිත්‍ර ගොඩක් සමාජ වල තියෙනවනේ. උදාහරණයක් විදියට මුස්ලිම් සමාජ වල තියෙන්නේ. ඒ වගේ තමා. ගැහැණු අය ළමයි වදන හන්දා, එතකොට වෙනත් ශරීර ක්‍රියාවලි හන්දා හෙම, එයාලා අපිරිසිදුයි කියලා වගේ මතයකින් තමයි එහෙම කරනවා කියන්නේ. දැන් නම් ඒවා ඒ තරම් පිලි නොගැනුනත්, චාරිත්‍ර ඒ විදියට කරන්න ඕන නේ. එතකොටනේ ඒක වටින්නේ" මම ඔහුට පැහැදිලි කර දුනිමි.
"ම්ම්...ඒකත් එහෙමයි එහෙනම්(ඔහු බැරෑරුම් ලෙස හිස වැනුවේය ). හරි පුදුමයි නේද. ඒත් මම කියවපු විදියට නම්, ඔය පූජනීය ස්ථානයේ තියෙන පූජනීය වස්තුව, අරගෙන ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ කුමරියකගේ හිසකෙස් ඇතුලේ හංගගෙන නේද? මම කියන්නේ ඉතින් ඇය ගැහැනියක් නේ?" ජේඩන් එසේ කී විට මම මොහොත්කට අන්ද මන්ද වුණිමි.
"ආ...මෙහෙමයි, ඒක ගැන නම් මට මුකුත් කියන්න බෑ. ඕවා කතා කරන්න ගියොත් අපි පුරුශාධිපත්‍යට විරුද්ධ වෙනවා කියලා හිතෙන්න පුලුවන් කාටහරි. එහෙම නෙවෙයි, හිතන්නකෝ, චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් හැදෙන්නේ හේතුවක් ඇතිව. ඔයාම හිතන්න, ඔන්න ගැහැණු නැට්ටුවෝ ඉන්නවා. ඒ අය හදිසියේ ගැබ් ගත්තොත්, ළමයි හම්බවුණොත් කොහොමද එයාලා නටන්නේ? එහෙම නොවුනා කියමු, ඒත් ගැහැණු අයගේ ශරීරයේ වෙන වෙනත් ක්‍රියාවලි එක්ක එහෙම නටන්න බෑ. ප්‍රායෝගිකව. ඒකෙන් වෙන්නේ තේරුමක් නැති පරක්කුවිම් වගේ ඒවා ඇතිවෙන එකයි. මම හිතන්නේ ඒක තමයි ඕකට මට කියන්න වෙන්නේ" මම ඔහුට කීවෙමි.
අන්න ඒක නම්...(ඔහු මවෙත ඇඟිල්ලක් දික් කර හිනැහුනේය )හොඳ පැහැදිලි කිරීමක්. ඔව් ඉතින් එහෙම හිතුවොත්, දැනට කෙරෙන විදිහ තමා වඩාත්ම ප්‍රායෝගික" ඔහුද මා හා එකඟ විය.
ඔහු හා කතා කිරීම මා සිතූ තරම් නරක නැතැයි මට සිතිණි.  අපි කේක් කමින් කෝපි උගුරක් බොන්නට මදක් කල් ගත කරමින් දිගටම ඇවිද ආවෙමු.
"ඒත්...ඔයා ඔච්චර දේවල් ලංකාව ගැන හොයන්න මහන්සි වුණේ ඇයි? ඔයා දළදා ඉතිහාසෙත් කියවලානෙ"
සුලඟ සීතල වූ බැවින්, මා ඇඳ හුන් කබාය තවත් හොඳින් සකසා ගනිමින් මම ඇසුවෙමි.
"මං ඔයාට කිව්වනේ, මම සමාජ විද්‍යාඥයෙක් කියලා. මම ගොඩක් කැමතියි මේ ආගම එක්ක ජන ජීවිතය කොහොමද බැඳිලා තියෙන්නේ කියන එක ගැන හදාරන්න. මොකද ආගම කියන්නේ මිනිස්සුන්ට ලොකු බලපෑමක් කරන්න පුලුවන් දෙයක්. ඒ කියන්නේ මහාපරිමාණෙන් වුණත්. දැන් බලන්න ආගමික ගැටුම් කොච්චර තියෙනවද ලෝකේ. මම බලපු සයිට් එකේ ගොඩක් විස්තර තිබුණ දළදා වහන්සේ ගැන. ඔයාලගේ රටේ හිටපු රජවරු උන් වහන්සේ රැකගන්න යුධ වැදුන අවස්ථා එහෙම ගැණත්. ඉතිං මට හිතුණා මේක ආගමික වශයෙන් විතරක් නෙවෙයි, දේශපාලනික වශයෙනුත් වැදගත් පූජනීය වස්තුවක් වෙන්න ඇති කියලා"
"ඒක නම් එහෙම තමයි"
ඉන් පසු මම ඔහුට දලදාව හා බැඳුණු විවිධ අතීත විත්ති සහ වෙනත් චාරිත්‍රාදිය පිළිබඳව මා දන්න දේවල් පවසමින් ඉදිරියට ඇවිද ආවෙමි.
"ඔන්න බලන්නකෝ, ඔයාට මං එක්ක කෝපි බොන්න එන්න කියලා මම ඔයාව සීතලේ ඇවිද්දවනවා. ඔයාගේ අකමැත්තක් නැත්තම්, අපි මෙතනින් ටිකක් වාඩි වෙමුද? මේ ඕක් ගහ හන්දා මෙතනට එච්චරම හුලඟක් එන්නෑ"
ඔහු එසේ පැවසුවේ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි වලට ඔබ්බෙන් පිහිටි විශාල ඕක් ගසක් වටා පිහිටුවා තිබූ යකඩ බංකුවක් පෙන්වමිනි. ඕක් ගස තරමක් විශාල වූ අතර, එහි අතු හිමෙන් වැසී තිබිණි. එහෙත් බංකුව කෙසේ හෝ හිමෙන් බේරී තිබීම මගේ පුදුමයට හේතු විය. ඉන්පසු මගේ අවධානය යොමු වූයේ, අප ඉදිරියෙන් තිබූ දසුනටයි.                 හදිසියේම අපට ඉදිරියෙන් වූයේ මහා මාර්ගයකි. එහි වාහ එක දෙක ධාවනය වෙමින් තිබුණු අතර, තීරු දෙකේ මාවතක් වූ එහි අනෙක් පස කුඩා කඩවීදියක් පිහිටා තිබෙන වග මට පෙනුණි. අප සිටගෙන හුන් තැනට මදක් එහායින් වූයේ පාර හරහා පදිකයන්ට ගමන් කිරීමට ඉදිවූ ගුවන් පාලමකි.
"අපි මේ කොයි හරියෙද ඉන්නේ? මම මීට කලින් මේ පැත්තට ඇවිත් නෑ" මම නුහුරු වූ වටපිටාව දෙස බලමින් කීවෙමි.
"මේ විශ්ව විද්‍යාලේ බටහිර අන්තය. එහාපැත්තේ තියෙන්නේ පොඩි කඩවීදියක්. ඊට එහායින් අර පේනවද දුඹුරු පාට ගොඩනැගිලි? ඒ මෙහේ ගණිත අංශය. ඊට එහායින් තමා ප්‍රධාන නගරය හම්බවෙන්නේ. මගේ නවාතැන තියෙන්නේ ඒ නගරෙත් කෙලවරේ" ඔහු හිනැහෙමින් එසේ කියා යලි මදෙස බැලුවේය.
"ඔයා මෙහේ ආවට පස්සෙම එලියට බැස්සෙම නැද්ද?" ඔහු ඉන්පසු ඇසුවේය.
"නෑ. බහින්න ඕන කමක් තිබ්බේ නෑ, වෙලාවල් තිබ්බෙත් නෑ. හැමදේම වගේ ඇතුලෙම තියෙනවනේ. ඒත්...දැන් නම් බහින්න ඕන කියලා හිතෙනවා" මම කීවෙමි.
හිමෙන් වැසුණු කඩමණ්ඩිය, විශ්ව විද්‍යාල ගොඩනැගිලි මැද ඇති අයිස් විලක පාවෙමින් තිබූ දූපතක් සේ මට පෙනුනි. එකම පරහ වූයේ එහි දෙපසින් දිවුණු තද අලු පැහැ මාර්ගය පමණි.
"එතකොට මේ, නගරෙම කෑල්ලක්ද?" මම අසල වූ බංකුවට බර වී ඈතින් පෙනුනු කඩමණ්ඩිය දෙස බලා ඇසීමි.
"නෑ, මේ විශ්ව විද්‍යාලෙට පහසුකම් සපයන්න ඉදිවුණ පුංචි කඩමණ්ඩියක් විතරයි. නගරේ තියෙන්නේ තව හැතැප්ම දොලහක් විතර ඈතින්. ඒත් අපි ඉන්නේ කඳු ගැටයක් උඩ හන්දා පාතින් තියෙන නගරේ ආන්න අර විදියට ඈතින් පේනවා" ඔහු ඈතින් පෙනුන කලුපැහැ තිත් සමූහයක් බඳු වූ නගරය පෙන්වා කීවේය.
"ඉතිං ඔයා හැමදාම එච්චර දුර යනවා එනවද?" මා අසලින් වාඩි වී හුන් ඔහුගෙන් මම විමසීමි.
"අපොයි ඔව්. ඒක මහ දුරක්යැ? මම ඔයිට වඩා දුරවල් අනන්තවත් ගිහින් තියෙනවා" ඔහු කීවේ සැහැල්ලුවෙනි.
"හ්ම්...ඇමෙරිකාව කියන්නේ ලොකු රටක් නේ. මගේ නං රටේ දිග හැතැප්ම දෙසිය හැට අටයි, පලල එකසිය තිස් නවයයි. හරිම පුංචියි" මම කී විට ජේඩන් දෑස් විසල් කොට මදෙස බැලුවේය.
"නෑ...ඔය ඇත්තමද? ඒක නම් හරිම පුදුම දෙයක් තමයි. ඔයා දන්නවද මේ ඉන්දියානා ප්‍රාන්තේ දිග පලල? දෙසිය හැත්තෑවයි, එකසිය හතලිහයි. ඉතාමත්ම ආසන්න වශයෙන් ඔයාගේ රටට සමානයි. හරිම පුදුමයි. ඉතිං එහෙම බැලුවොත් නම්, ඇත්තටම ශ්‍රි ලංකාව කියන්නේ ගොඩක්ම පොඩි රටක් තමා. දෙයියනේ...ඒක නම් මාරයි" ඔහු එසේ කී විට මටද පුදුම නොවී සිටිය නොහැකි විය.
"ඔය ඇත්තමද?"
"හ්ම්" ඔහු හිස වනමින් කීවේය.
"හිතාගන්නත් බෑ නේද? මගේ රට කොච්චර පොඩිද ඇත්තටම?" මම මටම කියාගතිමි.
"අපූරු මිනිස්සු ඉන්න, අපූරු රටක් ඒ වුණත්" ජේඩන් එසේ කී විට මට ඔහු දෙස බැලිනි.
"ඔයා කොහොමද එහේ මිනිස්සු ගැන දන්නේ? ඔය වෙබ් සයිට්ස් වල තියෙන ඒවා කියවලද ඔහොම කියන්නේ?" මම ඇසීමි.
"නෑ, ඔයා ගැන හිතලා" ඔහු කීවේ හිස් ඇල කර මදෙස බලමිනි.
"මං ගැන?"
"හ්ම්...ඔයා ඇත්තටම අපූරු කෙනෙක් තමයි පංචලී..."
ඔහු එසේ කී විට මම යන්තමට හිනැහී යලි වාහන එක දෙක ඇදී යන මහා මාර්ගය දෙස බැලීමි. යලි මහිතට නැගුනේ සංකේත් පිලිබඳ සිතුවිලි ගොන්නකි.
පේරාදෙණිය සරසවියේ රොබරෝසිය මල් පලසක් මතින් අප දෙදෙනා හිල්ඩා ඔබේසේකර ශාලාව දෙසට ඇවිදගෙන ගිය එක් සැන්දෑවක මගේ සිත නතර විය. ඒ අපගේ ආදරයට සය මසක් සපිරුණු දිනයි.
"මාස හයක් කියන්නේ ලොකු කාලයක් වුණත්, බලන්න ඒක ගෙවිලා ගිහින් තියෙන ඉක්මණ නේද?" මා සුරතින් අල්වාගෙන හුන් ඔහු ඇසුවා මට මතකය.
"හ්ම්"
"ඒ ඔයා මගේ ලඟ හිටපු නිසයි බබී...කාලේ ඉක්මණට ගෙවිලා ගිහින් ඔයා මගේම වෙන දවස එනවානම් කියලා හිතෙනවා. එතකොට ඔයා හැමදාම මගේ ලඟ"
ඔහුගේ ආදරය උණුසුම් විය.
"ඇයි මෙච්චර මට ආදරේ සංකේත්?"
"ම්ම්...ඔයා වෙනස් නිසා. ඔයා අනික් අයට උදව් කරන, දේවල් උපේක්ෂාවෙන් දරාගන්න, හැමදේම සැහැල්ලුවෙන් දකින, සරල,ලස්සන කෙල්ලෙක් හන්දා. අපූරු කෙල්ලෙක් හන්දා" ඔහු කීවා මට අද මෙන් මතකය.
ඒ මතකය හිතට රැගෙන ආවේ අඳුරු වී තිබූ පරිසරය හා සමානම අඳුරු සංතාපයකි. දෑස් වල නැගුණු කඳුලු පටලය සුලඟ විසින් ඉක්මණින්ම වියලනු ලැබීම සහනයක් විය.
"ඔයා කල්පනාවක..." ජේඩන් ගේ හඬ මට ඇසුනේ එවෙලේය."මොනාද ඔච්චරම කල්පනා කරන්නේ? මම ඔයා අපූරුයි කියපු එකද?" ඔහු ඇසුවේය.
"නෑ. මට වෙන දෙයක් මතක් වුණා" මම සුසුමක් හෙලා කීවෙමි.
"මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා පංචලී. ඒත්, මම දැකලා තියෙනවා හුඟ වෙලාවට ඔයා ඉන්නේ කල්පනාබරව. මූණ බුම්මගෙන. දුකෙන් වගේ. ඇත්තටම ඔයා ඉන්නේ මොකක් හරි ප්‍රශ්ණෙකද?" ඔහු එසේ ඇසූ විට මම මදක් තිගැස්සි ගියෙමි. ඔහු මාව එතරම් හොඳින් නිරීක්ෂණය කර තිබුණාවද?
"මම? නෑ. එහෙම එකක් නෑ. මේ මගේ හැටි" මම ඉක්මණින් කියා දැම්මේ ඔහු දෙස නොබලමිනි.
"මට තේරෙනවා, මම ඔයාගේ ගොඩක් ලඟ යාලුවෙන් නොවෙන හන්දා, සමහර දේවල් අපට බෙදා ගන්න බෑ කියලා. ඒකට කමක් නෑ. ඒත් ඔයාගේ හැටි ඔහොමයි කියලා මට කියන්න එපා. මොකද මම දන්නවා ඔයා ඇතුලේ ඔයිට වඩා බොහොම විනෝදකාමී කෙනෙක් ඉන්න වග පංචලී. ඔයා නොදන්නවට මට මිනිස්සුන්ව ගොඩාක් හොඳට තේරුම් ගන්න පුලුවන්, එයාලා වැඩිය කතා නොකලත්. මට ඔයාට කියන්න ඕන මෙච්චරයි, අතීතය ගෙවිලා ඉවරයි, ආයෙම කවදාවක් ඒක අපට හදන්න බෑ. ඒත් වර්තමානය අපි අතේ තියෙනවා. අද දවස අතීතෙට එකතු වෙද්දි, ඒ දවස ගැන පසුතැවිලි නොවෙන දෙයක් කරන්නයි අවශ්‍ය.එතකොටයි අනාගතේ වෙනස් වෙන්නේ"
ඔහු මසිත දුටුවාක් මෙන් මට කියා සිටියේය. මම තරමක් පුදුමව හුන් වග සැබෑය.
"ඔයා එහෙම කරනවද?" මම ඔහු දෙස කෙලින්ම බලා ඇසුවෙමි.
"ගොඩ වෙලාවට, ඔව්. මම පුලුවන් තරම් උත්සාහ කරනවා. හරියට අද වගේ"
"අද වගේ කිව්වේ?"
"ඔව්, අද මට ඔයාට කොහොම හරි සංග්‍රහයක් කරන්න උවමනා වුණා. ඔයා මම දැකපු වෙනස්ම කෙනෙක් නිසා පංචලී. ඒක හරිම පුංචි සංග්‍රහයක් වුණ එක ගැන කණගාටුයි. ඒත් කෑමකට එලියට යන්න කතා කරන්න තරම් අපි අඳුනන්නේ නැති හන්දයි එහෙම කරන්න වුණේ "
"මට තේරුණේ නෑ"
ඔහු එවර අහක බලාගෙන හිනැහුනේය.
සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒවට හේතු හොයන එක ඊට වඩා අමාරුයි" ඔහු ඉන්පසු කීවේය.
"මං දන්නෑ ඔයා මොනවද මේ කියන්නේ කියලා" මම කීවෙමි.
"අද මගේ අම්මගෙ උපන්දිනේ පංචලී" අවසන ඔහු සුසුමක් හෙලා කීවේය.
"අනේ...ඇත්තමද?" මහිත සසැලී තිබිණි.
"අවුරුදු තුනකින් මෙහා මම එයාට කතා කරලවත් නෑ...එයාගේ උපන් දිනේ වෙනුවෙන් පොඩිම හරි දෙයක් කරන්න මට ඕන වුණා. ඒ නිසයි..."
"ඒත්...ඇයි මං ම?"
"මං දන්නෑ...සමහරවිට ඔයත් මගේ අම්මා වගේ, හිතේ දුක් ගොඩක් තියාගෙන, තනියෙම විඳවන ගමන් අනික් අයව සතුටු කරන්න හදන කෙනෙක් නිසා වෙන්න ඇති"
ඔහුගේ ඒ වදන් තුල මහා දුක් කතාවක් ගැබ්ව ඇති වග මට වැටහිනි. එහෙත් ඔහුගේන් එය අසන්නට ධෛර්යයක් හෝ, සමීපතාවක් හෝ මා තුල නැතැයි මට සිතිණි. මා කලේ නිශ්ෂබ්දව හිඳීම පමණි.
"මට ඔයාට මේක දෙන්න ඕන වුණා" මොහොතක් කල්පනාබරව උන් ඔහු ඔහු ඉන්පසු බෑගය අදිමින් මට කීවේය. එයින් ඔහු පිටතට ඇද ගත්තේ පොතකි.
"මේක මම ආසම පොතක්. ඉස්සරත් මම අම්මගේ උපන්දිනේට එයාට දුන්නේ පොත්. අද ඔයාට දෙනවා. මේ පොත මට ජීවිතේ ගැන වෙනස්ව හිතන්න, අලුතින් දකින්න උදව් කරපු එකක්. කියවලා බලන්න ඔයා ආස වෙයි"
ඔහු එසේ පවසමින් මා අත තැබුවේ තරමක් කුඩා, පොතකි. එය ඇමෙරිකානු ආචාර්යවරයකු වූ, Bryan S. Weiss විසින් ලියන ලද Many Masters, Many Lives නම් වූවකි. මම එය දෙපැත්ත හරවා බලා යලි ජේඩන් දෙස බැලුවෙමි.
"මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. ඒත් හැමදේටම ස්තුතියි ජේඩන්. ඇත්තටම. ඒත් මම දන්නෑ මේ පොත ලබන්න සුදුසුම කෙනා මමද කියලා"
" අද වෙද්දි මම දන්න සුදුසුම කෙනා ඔයා තමයි පංචලී. ප්ලීස්, මම ගැන වරදවා හිතන්න එපා. මං ආසයි අපට හොඳ යාලුවෝ වෙන්න පුලුවන් නම්. මගේ හිත කියනවා එහෙම වෙන්න පුලුවන් කියලා" ජේඩන් මදෙස බලා කීවේය.
"අපි යාලුවෝ තමයි ජේඩන්. ඒත් ඇත්තටම හොඳ යාලුවෙක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි" එසේ කියද්දී මට යලි සංකේත්ව සිහි විය. කලක් අපද හොඳ යහලුවන්ව සිටියා නොවේද?
"ස්තුතියි පංචලී..." ඔහු මොහොතක් කල්පනා කොට මට එසේ කීවේය.
"මොකටද? ස්තුති කරන්න ඕන මමයි"
"හැමදේටම. ඔයා අද දවස මතක හිටින එකක් කලා මට. ආයෙම දවසක හම්බුනොත් මම ඔයාට මගේ අම්මා ගැන කියන්නම්කෝ" ඔහු හදිසියෙම එසේ කීවේය.
 "හොඳයි" මම එතුවක් කියා නිහඬ වීමි.
"කලුවර වැටීගෙන එනවා. යමු මම ඔයාව ඇරලවාගෙනම යන්නම්" යලි කිසිවක්ම නෑසු ඔහු මට කීවේය.
අප දෙදෙනා ඇඳි වැටීගෙන එන සීතල සැන්දෑවේ වීදී ලාම්පු එක දෙක දැල්වෙන්නට වූ පටු මාර්ගයට යලි අවතීර්ණ වීමු. ඔහු මා ඇරලවා, යන්නට ගියේ සිතේ දහසක් පැනයන්  සහ සිතන්නට දහසකුත් දෑ ඉතිරි කරමිනි.
"මදෑ කෙල්ලෙක් ගිය දුර. අපි හිතුවා පැනලා ගිහින්වත්දෝ කියලා" මා දුටු සොනාලි කීවේ එසේය.
මම ඇයට මදසිනාවක් පා, එහෙමම ඇඳට වැටුනෙමි.
"මොකද ජේ කිව්වේ?" සොනාලි යලි හඬ අවදි කලාය.
"සාමාන්‍ය දේවල් තමයි"
"සාමාන්‍ය දේවල් තමා පස්සට විශේෂ වෙන්නේ" එවර ඈ ඇද පැද කීවාය.
"නෑ, සෝනු. එහෙම වෙන්නෑ. කවදාවත්. එහෙම වෙන්න බෑ" මම ඈට එය කීවේ නැත. සිතුවා පමණි.
සංකේත් මගේ මුලු ජීවිතයම අරක්ගෙන උන්නේය. අදත් හෙටටත් එය වෙනස් නොවන වග මම ඉඳුරා දැන උන්නෙමි. එහෙත් පුදුමයකට ජීවිතය කාටවත් නොපෙනී මගේ දෛවය වියමන් කරමින් උන්නීය. එදායින් පසු ජේඩන් සහ මම ඉතා කුලුපග මිතුරන් බවට පත් වීමු.


3 comments:

  1. යාලුවනේ මේ පෝස්ට් එක දාන්න ගොඩක් කල් ගියාට සොරිම සොරි. වැඩ මහා ගොඩක් තිබුන නිසයි එහෙම වුනේ. ලඟදි ආයෙම ලෙක්චර්සුත් පටන් ගන්නවා. ඉතින් ඒ නිසා පුලු පුලුවන් වෙලාවට ලියන්නම්. ඔන්න අද ඔයාලට දිග පෝස්ට් එකක් දැම්මා.. මේ පැත්තේ ආව ගිය සේරටම ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  2. අම්මෝ අද ගොඩක් හුරේ මමයි එක ස්තුතියි වැඩ අතරේ කතාව දෙනවට

    ReplyDelete
  3. මඟ බලාන් ඉදල ඇස් දෙකත් රිදෙනවා...කතාව ගොඩාක් ලස්සනයි අක්කි..පුළුවන් හැම වෙලාවෙම කතාව ලියන්න..ගොඩාක් ආසාවෙන් කතාව කියවනවා..

    ReplyDelete