Wednesday, February 1, 2012

දසවන කොටස

"පුතා හෙට උදේම යන්නකෝ...අද අර කට්ටිය කෑමට එනවත් නේ. ඔයත් ඉන්නවනම් හොඳයි"
ඉරිදා දවාලේ ආඅපහු කොලඹ යන්න ලෑස්ති වුණ ගීතාන්ට අම්මා කියනවා ආන්යා අහගෙන.
"අනේ මන්දා අම්මා, මම හිතියා කියලා මහලොකු දෙයක්වෙනවයැ"
"එහෙම නෙවේ පුතා තාත්තත් කිව්වා ඔයත් ඉන්නවනම් හොඳයි කියලා" අම්මා හදන්නේ කොහොමහරි ගීතාන්ව නවත්තගන්න.
"ගොඩ දවසකින් නේ ආවේ අයියා, ඔන්න ඔහේ ඉන්නකෝ. උදේම යන එකනේ" අනුහස්ගේ හඬත් සාලේ දිහාවෙන් ඇහුණා.
හවසට උයන්න වම්බටු වගයක් කපමින් උන්න රාධා, කුස්සියට වෙලා තේ හදන්න ලෑස්තිකරමින් උන්නු ආන්යට හිනා වුණා.
"ලොකු නෝනට ඕන ගීතාන් බේබිව නවත්තගන්න. තුන් දෙනාම ගෙදර ඉන්නවට නෝනා හරි කැමතියි" රාධා කිව්වා.
"හ්ම්..." ආන්යා හිස වැනුවේ අම්මා ගැන දැනුන සෙනෙහසකින් හිත පිරෙද්දි. තුන් දෙනාම ගෙදර නැති කොට අම්මට පාලු වග, අම්මා ඒ ගැන දුක් වෙන වග ආන්යා නොදැන උන්නා නෙවෙයි.
"වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩී..." මේ අතරේ තාලෙට වැනි වැනී කුස්සියට ආපු ගෝපි කෙසෙල් ගෙඩි මල්ලක් මේසේ උඩින් තිබ්බා.
"අනේ මට මේ සිංදුව අහලා එපා වෙලා තියෙන්නේ. අහන අහන තැන දාලා තියෙන්නේ ඕක. අනූත් ජාතික ගීය වගේ උදේ හවස අහනවා"
ආන්යා ගෝපි දිහා බලන ගමන් රාධාට කිව්වා.
"ඒකනේ. ඔක්කොම හරි මෙයා කියනවා අහන් ඉන්න තමා බැරි" රාධා කිව්වාම ගෝපි ඈට රැව්වා.
"පෝ...ඩී...උන්නක්ක එන්න තෙරියුම් ඉන්ද සන්ගීතප්පත්ති?(යනවා යන්න. ඔයා මොනවද මේ සංගීතේ ගැන දන්නේ)"
"ආමා...නී පෙරිය ඉලයරාජා...(අනේ ඔව්, ඔයා මහ ලොකු ඉලයරාජා නේ)"
"අයියෝ ඇති ඇති, දැන් රණ්ඩු වෙන්න එපා. ගෝපි තේ බොනවද?" දෙන්න මැදි පැනපු ආන්යා ඇහුවා.
"දෙන්න දෙන්න බේබි. කඩේ ගිහින් ඇවිත් මහන්සියි" ගෝපි කිව්වේ බොරු මහන්සිය මවාපාමින්.
ආන්යා තේ හදන් ආතරේ වත්ත පහල එලවලු කොටුවෙන් එලවලු ගලවගෙන එන්න ගිය රාධාගේ අම්මා එලවලු කූඩෙකුත් අරගෙන පිළිකන්න පැත්තෙන් මතු වුණා.
"ආර්යන් දොරෙ කැරට් වලට ආසයිලු. අමුවෙන් කන්න තමා වැඩිපුරම ආසයි කිව්වේ" එලවලු කූඩේ දිහා බලපු ගෝපි  එකපාරටම එහෙම කිව්වාම, ආන්යාගේ හිත තප්පරේකට ගැස්සුනා වගේ වුණා.
"ගෝපිත් නොදන්න දෙයක් නෑනෙ" ආන්යා ඊට පස්සේ කිව්වා.
"එහෙම තමා බේබි. අපේ බොස්ලා ගැන දැනගෙන ඉන්න ඕනා නේ"
"හ්ම්...හ්ම්...ඉතින් වෙන මොනාටද ආර්යන් දොරෙ ආස?" ආන්යා ඇහුවාම රාධා ඇස් පුංචි කරලා ඈ දිහා බැලුවෙ හිනාව හංගගෙන.
"වෙන ආස මොනවටද නම් දන්නේ නෑ. මම ඕන නම් බේබිට අහලා කියන්නම්" ගෝපි එහෙම කිව්වාම ආන්යාගේ ඇස් උඩ ගියා. රාධා හිර කරගෙන උන්නු හිනාව පිට පැන්නා.
"අනේ....පිස්සුද? ඔන්න මෙහෙම අහපු වගක් වත් කියන්නේ එහෙම නෑ. ඒ මනුස්සයා මම ගැන මොනා හිතයිද?" ආන්යා ඉකම්ණට කිව්වේ මූණත් රතු කරගෙන.
"හ්ම්. හ්ම්." ගෝපි තේ එකට පිඹින ගමන් හිස වැනුවා.
මේ වෙලාවේ ආන්යාගේ අම්මත් කුස්සියට ආවා.
"අයියා යනවලුද අම්මා?" ඈව දැකපු ආන්යා ඇහුවා.
"යාන්තම් හෙට උදේ යන්න කැමති කර ගත්තා. අද හවසට අර සෝමලතා එනවා කිව්වද සෙල්ලම්මා?"
"ආ...ඔව් ලොකු නෝනා. එන්නම් කිව්වා"
ඒලවලු තෝරමින් උන්නු සෙල්ලම්මා අම්මට උත්තර දුන්නා.
"ළමයෝ ඔය තේ හදලා ඉවර නම් අයියලට ගිහින් දෙන්න. තාත්තා එද්දි නම් තව වෙලා යයි මහිතේ"
ඇඳගෙන උන්නු සායට උඩින් රෙද්දක් පටලවාගන්න ගමන් අම්මා කිව්වා. අම්මා මේ ලෑස්ති වෙන්නේ ගජරාමෙට උයන්න වග ආන්යා දැනගෙන හිටියා. කොහොමටත් ආන්යගේ අම්මට උයන්න තිබ්බේ පුදුම දක්ෂකමක්. අම්මා තණකොල ගහක් ඉව්වත් රසයි කියලයි තාත්තා නම් කිව්වේ. තමන්ට නම් කවදාවත් ඒ තරම් රසට උයන්න නම් පුලුවන් වෙන්නේ නෑ කියලා ආන්යා හිතුවා.
"අපට තේ නැද්දෝ..." සාලේ දිහාවෙන් අනිහස්ගේ උස් හඬ නැගෙද්දි ආන්යා තේ අරගෙන ඉක්මණට සාලේ දිහාවට ගියා.
දවල් කෑමෙන් පස්සේ හවස් ජාමේ තාත්තත් උන්නේ කුස්සියේ අම්මට උදව කරමින්.
"ඒ මහත්තුරු බොනවද අනේ?" අම්මා ඇහුවේ වටලප්පන් වලට දාන්න කජු කපමින් උන්නු තාත්තාගෙන්.
"නෑ. නාරද විතරයි බොන්නේ. හැබැයි එස්ඩීයි, සීසී මහත්තයයි නම් අඩියක් ගහාවි"
"ඇයි ජී එම් මහත්තයා?" අම්මා ඇහුවේ සරදම් හිනාවක් මූණේ තවරගෙන.
වටලප්පන් හදන්න බිත්තර ගසමින් උන්නු ආන්යට හිනා ගියේ ඉබේටම.
"ඒ මහ්ත්තයත් හීනියට අඩියක් ගහන්න ඉඩ තියෙනවා" තාත්තා ඇඟට පතට නොදැනී හෙමිහිට කිව්වාම අම්ම්ම මුකුත් කියන්න ගියේ නෑ. තාත්තා ටිකක් බිව්වටැ කාටවත් කරදරයක් නැති වග අම්මා දන්න නිසා වෙන්න ඇති.
කොහොමින් හරි කෑම හදලා ඉවර වෙද්දි කෑම කාමරේ පැත්තට එනකොටත් සුවඳ ඉවසගන්න බෑ කියලා අනුහස් කියව කියව හිටියා. ඉඳහිට කුස්සියට ආපු ගීතාන් කජු මද, උණු වටලප්පන්, තම්බපු අල කෑලි වගේ දේවල් කටේ ඔබාගන්න අමතක කළේ නෑ.
"අනේ අයියා ඔහොම කෑවොත් මේවට දාන්න කජු නැති වෙයි" බැරිම තැන ආන්යා කෑ ගැහුවා.
"ඉස්සෙල්ලා අපි කාලා ඉන්න එපැයි හලෝ. නැද්ද රාධා?" ගීතාන කුස්සියෙන් පිට වුණේ එහෙම කියාගෙන.

ඇඳුර වැටිගෙන එද්දි, ආන්යා මූණ සෝදගෙන අලුත් ඇඳුමක් ඇඳගත්තේ වෙනදටැ වඩා සැලකිල්ලෙන්. ආර්යන්ව දකින්න මොකක්දෝ බල්වත් උවමනාවක් ඈත දැනෙමින් තිබුණා. ඒත් එක පාරටම තාත්තා මතක් වුණාම ඈට දැනුනේ බයක්. මේ තරම් මේ දෙවල් ගැන හිතන එක වැරදියි කියලා ඇගේ හිත කියන්න ගත්තා. ඒත් ආර්යන් ගැන ඇහුවාම පවා සැලෙන හිත හීලෑ කර ගන්නේ කොහොමද කියලා ඈ දැනගෙන හිටියේ නෑ.
"බේබි...අන්න අර මහත්තුරු ඇවිත් ද කොහෙද. ලොකු නෝනා එන්න කිව්වා" කාමරේටැ එබුණ රාධා කතා කරනකල්ම ආන්යා උන්නේ කල්පනාවක.
ඈ සාලෙට යද්දි ඉස්තෝප්පුවෙ එකම ගෝසාවක්. හිනාවෙන, කතාකරන් උස් හඬවල් ඒ අතරින් ඇහුණා.
'ඔන්න අපි ඔයාගේ ගෙදර ආවා" ආන්යා සාලෙට යද්දි අනුහස් එක්ක ඇතුළට ආපු අභි කිව්වේ ලොකු හිනාවක් පාලා. ඔහු පුරුදු පරිදි සැහැල්ලු ටී ෂර්ට් එකකුයි, ඩෙනිමකුයි ඇඳලා, ජර්කින් එකක් දාලා උන්නා. ආන්යා හිනාවකින් ඔහුව පිළිගත්තා.
ඊට පස්සේ ආපු සේරෝම කට්ටිය සාලෙට ඇතුල් වුණා. ඒ අතරේ සීසී මහත්තයාගේ බිරිඳ වුණ කුමාරි ඇන්ටිත් උන්න වග ආන්යා දැක්කා. ඈ නම් කෙලින්ම අම්මා එක්ක කුස්සිය දිහාවට ගියා. ඒත් එතන එක්කෙනෙක් හිටියේ නෑ. සෙනග පීරමින් වට පිට බලපු ආන්යගේ හිත දොම්නසකින් පිරුණා අහේතුකවම. ආර්යන් ඇවිත් නැත්තේ ඇයි?
සාලේ සෙනග වැඩි හන්දා හමෝටම සිනාවකින් සංග්‍රහ කරපු ආන්යා රාධා එක්ක එලියේ පෝටිකෝවට ආවා.
"ආර්යන් මහත්තයා නෑ නේද බේබි" රාධා ආන්යගේ හිත කියෙව්වා වගේ අහද්දි ආන්යාට සුසුමක් හෙලුනේ ඉබේටම.
"රාධා...ඉංග වාවේ...(රාධා මෙහේ එන්නකෝ..) වට පාරෙන් කුස්සිය දිහා ඉඳලා ආපු සෙල්ලම්මා රාධාට කතා කලේ මෙවෙලේ.
"කෑම මේසේ හදන්න වෙන්න ඇති. මං ගිහින් ටක් ගාලා එන්නම් බේබි"
ආන්යව එතන තනි කරපු රාධා එලියටැ බැහැලා කුස්සිය පැත්තට දිව්වා. මොහොතකට ආන්යා පෝටිකෝවේ තනි
වුණා.
ඈ ආපහු ගෙට යන්න හැරෙද්දිම වගේ ගෙදර මිදුලට ඇතුල් කරපු වාහනේක සද්දෙට ඈ ආපහු හැරිලා බැලුවා. ඒ එක්කම වගේ වාහනේ අවිත් ගේ ඉස්සරහ තිබුණ අනෙක් වාහන දෙක ලඟින් නැවැත්තුවා. ඊලන්ගටැ වාහනෙන් බැස්සේ වෙන කවුරුවත් නෙවෙයි ආර්යන්. ආන්යා ගල් ගැහිලා වගේ ඔහු එන දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
"ගුඩ් ඊවිනින්ග්. මම පොඩ්ඩක් පරක්කු වුණා" ආන්යාට යන්තම් හිනාවුණු ආර්යන් කිව්වා. ඔහුගේ අතේ පාර්සල් ගොඩක් එක්ක මල් වර්ග කීපෙකින් සැකසුව ලස්සන මල් පොකුරකුත් තිබුණා. ආන්යා මුකුත්ම කියාගන්න බැරිව වගේ ආයෙම ඔහු දිහා බැලුවා.
"මේක ඔයාට..." එක තකින් මල් ප්පොකුර අතට ගත්තු ආර්යන් ආන්යට මල් පොකුර පිරිනැමුවේ ඈව තවත් පුදුම කරවමින්.
"මට?"
"ම්ම්...ඉන්ග්ලන්ඩ් වල සාමාන්‍යයෙන් මෙහෙම ගෙදරකට එද්දි ගෙදර ඉන්න ගෑණු කෙනාට මල් පොකුරක් අරන් එන එක කරනවා" ඔහු කිව්වේ තවමත් මල් පොකුර ආන්යා දිහාට දික් කරගෙන ඉන්න ගමන්.
"ම්ම්...බොහොම ස්තුතියි" ආන්යා පැකිලීමෙන් වගේ ඒක අතට ගත්තා. "එන්න ගෙට යමු"
මල් පොකුර පිටිපස්සට කර ගත්තා ආන්යා ඉස්සර වුණා. සාලේ ඇතුලෙත් මහා ගෝසාවක්. අභි, අනුහස් දෙන්නා ගීතාන් එක්ක එකතු වෙලා කැරම් ගහනවා. ගෝපි ඒ ලඟ හිටගෙන එක එක්කෙනාට උපදෙස් දෙනවා. මේ අතරේ සාලේ එහා කොනේ අනික් පිරිස මත්පැන් සප්පායම් වෙනවා. මේ දෙන්නා ගෙට යද්දි කැරම් ගහ ගහ උන්නු පිරිස හැරිලා බැලුවා.
"ආ...මිස්ට ආර්යන් එන්න එන්න. අපි මේ බැලුවා පරක්කු මොකද කියලා" එහෙම කිව්වේ අභි.
අතේ තිබ්බ අනෙක් පාර්සල් ටිඅක්ත් ආන්යා අතට දීපු ආර්යන් සිනාසෙමින් ගිහින් ඔවුන්ට එකතු වුණා. පාර්සල් ටික මේසයක් උඩින් තියපු ආන්යා මල් පොකුරත් අරන් කෙලින්ම දිව්වේ කාමරේට. ඇගේ මේසය මත තිබ්බ පෝච්චියට මල් ටික දාලා ඒකේ හැඩ බලපු ඇයට පුංචි හිනාවක් ගියා. ආර්යන් පරක්කු වෙලා තියෙන්නේ මේකද?
සතුටු සාමීචියේ යෙදෙමින්, විනෝද වෙමින් හිටපු අමුත්තෝ පිරිස කෑම කන්න එද්දි රෑ අටහමාරත් පහු වෙලා. ආන්යා උන්නේ හොඳටැම බඩගිනි වෙලා. ඒත් ඉතින් අමුත්තෝ කනකල් ගෙදර අය කන සිරිතක් නෑනෙ. කුස්සියට ගිහින් පපඩම් එක එක කකා උන්නු ඇය හයියෙන්ම ඈනුමක් ඇරියා.
"බඩත්ගිනියි රාධෝ...මේ මිනිස්සු කාලා ඉවර වෙන්නේ නැද්ද මන්දා අද"
"ෂී බේබි එහෙම කියන්න එපා. අමුත්තෝ නේ"
රධාගේ කතාවට මුකුත් නොකියපු ආන්යා ආයෙම පපඩමක් අතට ගත්තා.
"දුව ඔය ඩෙසර්ට් අරන් එන්න" හදිසියෙන්ම කුස්සියට ආපු අම්මා එහෙම කිව්වාම පපඩම පැත්තක දාලා අතුරුපස දීසි තිබ්බ බන්දේසිය අරන් ආන්යයි, රාධායි කෑම කාමරේට ගියා.
මේ සේරම සංග්‍රහ සත්කාර ඉවර වෙද්දි රෑ දහයටත් ලං වෙලා තිබුණා. දැන් ආපු අමුත්තෝ ගෙයි තැන තැන පොඩි පොඩි කතාවල පැටලිලා. සමහරු ගෙදර සාලේ තියලා තිබුණ ඡායාරූප නරඹනවා.
"ආන්යා..." සාලේ එකල මෙකල වෙවී උන්නු ආන්යා හැරුණේ කතා කලේ කවුද බලන්න. එතකොටම වගේ කැමරාවක 'ක්ලික්' සද්දෙකුත් එක්ක ඇස් නිලංකාර කරවන සුලු ආලෝකයකින් ආන්යා අන්ද මන්ද වුණා.
"තෑන්ක් යූ..." ඈ ඉස්සරහා හිනාවෙමින් උන්නේ අභි.
"මේ...අපි තුන් දෙනාවම ගන්න අභි" අනුහස් ගිතාන්වත් ඇදගෙන එතනට ආවා. අභි තව ඡායාරූපයක් ගත්තා.
"හේයි අන්නා...එන්නෙයුම් එඩින්ගලේ (මාවත් ගන්නකෝ)" පැත්තකට වෙලා ඉඳගෙන හිටප්පු ආර්යන්ට කතා කරපු අභි ඔහු අතට කැමරාව දීලා ආන්යලා උන්නු දිහාවට ආවා.
"අපි දෙන්නා විතරක්...කමක් නෑනෙ?" අභ් හිනවෙලා අනුහස්ටයි, ගීතාන්ටයි කිව්වාම ආන්යා අභි දිහා බැලුව ඇස් ලොකු කරලා.
"හරි හරි ගන්නකෝ" අනුහස් ඈත් වුණා ගීතාන්වත් ඇදගෙනම.
"ඉතින් අපි තුන් දෙනා ඔය කැමරවේ මෙමරි බාගයක්ම පිරෙනකල් ගත්තනේ..." අභි කිව්වා.
"අභි...මේ අයි ටේක් දිස් නව්?" ආර්යන් ඇහුවේ නොඉවසිලිමත් වෙලා.
"ගන්න ගන්න"
ආන්යා කිසිම හැඟීමකින් තොරව කැමරාව දිහා බලාගෙන ඉද්දි, අභි දත් තිස් දෙකම පෙන්නලා හිනා වීගෙන ඒ ඡායාරූපෙට පෙනී හිටියා.
කැමරාව පහත් කරද්දි ආර්යන්ගේ ඇස් දෙක තිබ්බේ ආන්යා ලඟ. ඒත් ඔහු ඉක්මණටම බිම බලා ගත්තේ හරියට වැරැද්දක් කලා වගේ.
ඒ ඇස් ආයෙම ආන්යා ලඟ නැවතුණේ ආපු අය යන්න ලෑස්ති වෙද්දි.
"ගිහින් එන්නම්. හැමදේටම තෑන්ක් යූ" සමු ගන්න පිරිස අතරේ මොහොතකට ආන්යාව තනි කර ගත්තු ආර්යන් කිව්වා.
"ඕක මොකක්ද. ගිහින් එන්න එහෙනම්" ආන්යා කිව්වේ ඔහුගේ මුහුණ දිහා නොබලන්න උත්සාහ කරමින්.
"ගුඩ් නයිට් එහෙනම්" ආර්යන් හෙමින් කිව්වා.
"ගුඩ් නයිට්"
"අපි යනවා ආන්යා..." ඒ සමුගනීමට බාධා කරමින් එතනට ආවේ අභි. ආන්යායි, ආර්යනුයි ආයෙම දෙපැත්තට වුණා.
යන්න එලියට බැහැලා වාහනේටැ නගිද්දි නොහිතපු විදියට ආර්යන් හැමෝටම හොරෙන් ආයෙමත් ආන්යා දිහා බැලුවා. ඒ බැල්මේ තිබ්බේ දුකක්දෝ කියලා ආන්යා හිතුවේ හිතේ බර සුසුමකට මුදා හරින ගමන්. 'මොකක්ද මේ වෙන්න යන්නේ?'


2 comments:

  1. ම්..නෙතූට දෙමළත් පුළුවන්නේ..:)

    ReplyDelete
  2. awuuuuuuuuuu eye contact :P :P love is in the air :P

    ReplyDelete