Monday, February 27, 2012

විසිඑක්වන කොටස


"පුතේ එහෙමනම් මේ බත් එක අනූට දෙන්න. යා හොස්ටල් එක ලඟට ඒවි නේ. මගේ පුතා පරිස්සමින් යන්න ඕන හොඳේ. ඉන්ර්සිටි එකක යන්න, ඉක්මණට යනවනේ"
ආන්යා ඉරිදා දවල් එන්න ලෑස්ති වෙද්දි අම්මා හිස ඉඹලා කිව්වේ එහෙම.
"හා අම්මා"
"එන සතියේ අනූ එනවනම් ඔයත් එන්න හොඳේ, ඒත් තනියෙම නම් එච්චර නාවට කමක් නෑ" අම්මා ආන්යගේ බෑග් දෙක තුන වාහනේට ගෙනියන ගමන් ආයෙම කිව්වා.
"හා"
වාහනේට නගින්න කලින් ආන්යා අම්මට වැඳලා, නැගිටලා අම්මව වලඳගත්තා. අම්මා ආන්යගේ මූණ ඉම්බා.
"මං ගිහින් කෝල් එකක් දෙන්නම් අම්මා. ඔන්න මං ගියාට පස්සේ අඬන්නේ එහෙම නෑ" ආන්යා කිව්වේ අම්මගේ හැටි දන්න නිසා.
"යමු නේද මීනු, පරක්කු වෙනවා" වාහනේ පණගන්වගෙන බලාගෙන හිටපු තාත්තා කිව්වා. අම්මගේ කඳුලු පිරුණ ඇස් දිහා නොබලා, හිත තද කරගෙන ආන්යා වාහනේට නැග්ගේ එලියේ රැස් වෙලා හිටපු රාධා ඇතුලු අනික් පිරිසට අත වනාගෙනමයි.
වාහනේ වත්තෙන් එලියට දාද්දි ආන්යගේ හිත දුකකින් බර වුණා. ඒ ආර්යන් මතක් වෙලා. ආයේ කවදා නම් ඒ විදියට ඔහු එක්ක කතාකරන්න අවස්ථාවක් ලැබේවිද? ඔහු කියන්න ගියේ මොනවද? ඔහු මේ දේවල් කරන්නේ ඇයි? මේ වගේ උත්තර නැති ප්‍රශ්ණ දාහක් ඇගේ සිතේ පෙරලි කලා.
"එහෙනම් මගේ දුව පරිස්සමින් යන්න ඕන හොඳේ. ගිය ගමන් කතා කරන්න. පුලුවන්කමක් තිබ්බා නම් මම දුව දාන්න නුවර එනවා"
ආන්යව බස් එකකට නග්ගපු තාත්තා කිව්වේ ඒ විදියට.
"ඒකට කමක් නෑ තාත්තා, මට යන්න පුලුවන්. බය වෙන්න එපා. තාත්තා යන්න එහෙනම්. වැඩත් තියෙනවනේ"
ආන්යා කිව්වා. නිවාඩු දවසක් වුණත් තාත්තට නම් නිවාඩුක් ලැබෙන්නේ කලාතුරකින් වග ආන්යා දැනගෙන උන්නේ අත්දැකීමෙන්මයි.
අන්තිමට ආන්යව තනි කරලා තාත්තත් යන්න ගියා. බස් එක දැන් දැන් එතනට ගහපු නිසා තවමත් ඒ තරම් සෙනගක් බස් එකේ උන්නේ නෑ. බස් එකේ මැද උන්නු ආන්යට එහා පැත්තේ කවුරුත් උන්නෙත් නෑ. ඈ සුසුමක් හෙලලා, ජනේලෙන් එපිට, කලබලකාරී බස් නැවතුම දිහා බලාගෙන හිටියා. තාමත් ඇගේ හිතේ හොල්මන් කරමින් උන්නේ ආර්යන්මයි.තමන් උන්නු බස් එකට එකා දෙන්න නගිනවා මේ අතරේ ආන්යාට දැනුනා.
ආන්යා උන්නු තැනට එහාපැත්තෙනුත් කවුදෝ වාඩි වෙනවා ආන්යට දැනුණා. ඒත් ඈ හිස හරවලා බලන්න ගියේ නෑ. ඇගේ හිත තාමත් තිබුණේ වත්තේ. ආර්යන් තමන් ආපු වග දැන්නෙ නැතිව ඇති තාම කියලා ඈ හිතුවා. දැන ගත්තම ඔහුට දුක හිතේවිද? සමහරක්විට...ආන්යා සුසුමක් හෙලුවා. එක අතකට ඔහු ගැන මේ තරම් තමන් හොයන්නේ, හිතන්නේ මොන එහෙකටද කියලත් ඇගේ හිත වෙලාවක ප්‍රශ්ණ කලා. තාත්තා එහෙම දන්නවනම් විසුමක් වෙන්නේ නැති වේවි නේද කියලා ආන්යා මතක් කලේ බයෙන්. ඒත් ආර්යන් ඇගේ හිතෙන් මෑත් වුණේ නෑ.
"ටිකට් ගන්න...ටිකට්...කොහෙද මහත්තයා? නුවර එකයි? එකසිය හැත්තෑවක් දෙන්න..."
කොන්දොස්තරවරයාගේ කන හාරවන විදියේ හඬට ආන්යාගේ දැහැන බිඳුණා. ඈ බෑග් එක ඇරලා මුදල් පසුම්බිය හෙව්වේ සල්ලි අතට අරගෙන ඉන්න.
"නුවර දෙකක් දෙන්න..."
ආන්යාට එක පාරටම ඇහුණේ පුරුදු හඬක්. පසුම්බිය හොයන එක නවත්තලා ඈ තමන්ට එහා පැත්තෙන් ඉඳගෙන උන්නු කෙනා දිහා බැලුවා.
"මං ඔයාටත් එක්කම ටිකට්  ගත්තා" මද සිනාවකින් මුව සරසගෙන ඈ දිහා බලාගෙන උන්නු කෙනා දැක්කාම ආන්යා හිතුවේ තමන් හීනයක් දකින්වා වත්ද කියලා.ඈ බාගෙට කටත් ඇරගෙන මුකුත් කියා ගන්න බැරිව මොහොතක් බලාගෙන හිටියා.
"ඇයි මේ බය වෙලා? මම මෙතන ඉඳගත්තට අකමැතිද?" ආර්යන් ආයෙම හඬ අවදි කලා.
ආන්යා පියවි සිහියට ආවේ එවෙලේ.
"නෑ, නෑ. එහෙම එකක් නෙවෙයි"
"එහෙනම්, කොහොම එකක්ද?" ආර්යන් කතා කලේ සැහැල්ලුවෙන්.
ඒත් ආන්යට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. බලාපොරොත්තු නොවුණ මේ සිදුවීම ඈව හුඟක් කලබල කරලයි තිබුණේ.
"නාවලපිටියට ඉඳගෙන යනවා නම් නුවරට යන ගානම ගන්න වෙනවා නෝනා..." මේ අතරේ කොන්දොස්තර කා එක්කදෝ තර්ක කරන හඬ ආන්යට ඇහුණා.
"අයියා...නුවර යනවද?" අන්තිමට ආන්යා ඇහුවා.
ආර්යන් යන්තමට හිනා වුණා.
"නෑ"
"එහෙනම්?"
"පේරාදෙණියට යන්නේ"
ආන්යගේ හදගැස්ම තවත් වැඩි වුණා ඒ කතාවට. ඈ ඔහු දිහා හොරෙන් බැලුවා. ඔහු යන්තමට ඇගේ පැත්තට හැරිලා ලා හිනාවකුත් මුවේ තවරගෙන බලාගෙන උන්නු වග ඈ දැක්කා.
"හදිසියෙම? ඉතින් වාහනේ නොගියේ ඇයි?" ආන්යා ආයෙම ඇහුවා.
"හදිසියෙම තමා තීරණය කලේ. මේ කාරණාව මගේ වාහනේ ගිහින් කරගන්න බරි එකක්. ඒකයි බස් එකට ආවේ"
ආන්යා ඒ පාර අනම් ඔහු දිහා කෙලින්ම බැලුවා. ඔහුත් බැලුවා ඈ දිහා. ඊට පස්සේ හිනාවක් පෑවා. ඔහු හිනා වෙද්දි ඔහු තුල තිබුණ ප්‍රසන්නකම තවත් වැඩි වෙලා පෙනෙනවා කියලා ආන්යට හිතුණා.
ඒ ආවේ ඈ නිසාද කියලා අහන්න ඇගේ දිව නැමුණේ නෑ. අනික ගහෙන් ගෙඩි එන්නා වගේ එහෙම අහන්න පුලුවනෑ.
"මං ඔයාව අවුල් කරනවා නේද? ඔහු සුසුමක් හෙලුවා. ආන්යා අහක බලා ගත්තා.මං දන්නෑ ආන්යා...ඊයේ ඔයා එක්ක කතා කලාට පස්සේ, මට ආයෙම ඔයාට කතා කරන්න ඕන වුණා"
ආන්යා උන්නේ ඇතුලාන්තෙන් හොඳටම ගැහෙමින්. ඇගේ අත්ලටත් දාඩිය දාලා, හද ගැස්මත් වැඩි වෙලයි තිබුණේ. සිද්ධවෙන දෙවල් හීනයක්දෝ කියලා තාමත්  ඈට හිතුණා. ආර්යන්, ඈ එක්ක බස් එකේ? මේක වෙන්න පුලුවන් දෙයක්ද?
"ආන්යා...ඔයා බය වෙලාද ඉන්නේ? " ආර්යන් කතා කලා.
ආන්යා ඔහු දිහා බැලුවා."නෑ..."
"ඇත්තම කියන්න, මම ආවට අකමැතිද?"
"නෑ...ඒත්?"
"ඒත්?"
"මට මේ මොනවත් තේරෙන්නේ නෑ" ආන්යා ඇත්තම කිව්වා.
"මට ඕන ඔයා එක්ක ටිකක් කතා කරන්න" ආර්යන් කිව්වා.
"මොන ගැනද?"
"හැමදේම ගැන...මං කැමතියි ඔයාව තව අඳුනගන්න"
"අපි අඳුනනවනේ"
"එහෙම නෙවෙයි, තව වැඩි පුර"
"මොකටද?"
ආන්යා ඇහුවාම ආර්යන් මොහොතක් නිහඬ වුණා. ඔහුට තරහා ගියාවත්දෝ කියලා ආන්යට පොඩි පසුතැවිල්ලක් දැනෙන්න ගත්තා.
"අභීව වගේ මාවත් යාලුවෙක් කරගන්න ඔයා කමති නැද්ද ආන්යා?"
"ඉතින් ඒකට වත්තෙදිම කතාකරන්න තිබුණනේ?" ආන්යා හැදුවේ ආර්යන්ගෙන් හරියටම ආපු කාරණේ දැනගන්න.
"එහෙම වෙලාවක් අපට තිබුණද? ඔයාව අල්ලගන්න කොච්චර අමාරුද?" ආර්යන් ඒපාර ආයෙම හිනා වුණා. හිතලා බලද්දි ඒකත් ඇත්ත තමා කියලා ආන්යා හිතුවා.
"මං ගැන වරදවා හිතන්න එපා ආන්යා. සමහරවිට මම මෙහෙම ආපු එක වැරදි ඇති. හරි මං ඔයාට ඇත්තම කියන්නම්කෝ. මට නුවර යන්න උවමනාවක් තිබුණා, ලොකු උවමනාවක් නෙවෙයි හැබැයි. ඊට පස්සේ මට හිතුණා අද යන්න ඕන කියලා, ඔයත් යන නිසා"
ආන්යා අහගෙන හිටියා. ඔහු එන්න එන්නම දේවල් සංකීර්ණ කරනවා කියලා ඈට හිතුණා.මෙවෙලේ බස් රථය ගමන පටන් ගත්තා. දන් බස් එකේ සෙනග පිරිලයි උන්නේ. හදිසියේම ආන්යගේ හිතට අනිසි බයක් ඇතුලු වුණා. ඒ අඳුනන කවුරුහරි දකීවි කියලා. ඈ වට පිට බැලුවේ වැරදිලාවත් කවුරුහරි ඉන්නවාවත්ද කියලා.
"කාවද හොයන්නේ?" ආර්යන් ඇහුවා.
"කවුරුවත් නෑ" එහෙම කියලා ආන්යා තමන්තුල තිබුණ කැලඹිල්ල නොපෙනෙන්න ජනේලෙන් එපිට නෙතු රැඳෙව්වා.
"ඔයා මං ආවට අකමැති නම් මං බැහැලා යන්නම්" ආර්යන් කිව්වේ දුකෙන් වගේ.
"එහෙම එකක් නෑ"
"ඒ වුණත් ඔයා ඉන්නේ කලබල වෙලා කියලා මට හිතෙනවා"
"නෑ" ඈ ඉක්මණට  කිව්වේ හිනාවෙන්න උත්සාහ කරන ගමන්.
ර්යන් ආයෙම මුකු ත් නොකියා සුසුමක් හෙලලා තමන්ගේ ආසනේ හරි බරි ගැහුණා.ආන්යගේ හිත ඇතුල යකාගේ කම්මල වගේ කලබල වෙලයි තිබුණේ.
"ඔයාගේ කෝස් එක ඉව වෙන්න තව කොච්චර කල් තියෙනවද? දිග නිහැඬියාවකට පස්සේ ආර්යන් ආයෙම කතා කලා, සාමාන්‍ය විදියට.
"අවුරුදු තුනක් විතර"
"ම්ම්...සෑහෙන කල් තියෙනවනේ. ඊට පස්සේ මොනා කරන්නද හිතං ඉන්නේ?"
"තාම හිතලා නෑ. අම්...සමහරවිට ජොබ් එකක් කරයි"
"ඇයි ඔයා ඇග්‍රි තෝර ගත්තේ? මෙඩිසින් කරන්න තිබා නේ?"
"මම ඇග්‍රි වලට ආසයි ඒකයි"
"ඒක හොඳයි. ඔයටත් කවදාහරි තාත්තා වගේ ප්ලාන්ටේෂන් සෙක්ටර් එකට එන්න පුලුවන්, නේද?" ආර්යන් ඈ දිහා බලලා ඇහුවා.
"ඔව්, සමහරවිට"
"ඇහුවට මුකුත් හිතන්න එපා. ආන්යට යුනිවර්සිටි එකේ බෝයි කෙනෙක් ඉන්නවද?" ආර්යන් සාමාන්‍ය ස්වරයෙන්ම එහෙම ඇහුවම ආන්යා රතු වුණා.
"නෑ..." ආ බර කරලා කිව්වේ ඒකයි.
"යුනිවර්සිටි එකෙන් පිට?"
"ඒත් නෑ"
"මං තාත්තට කියන්නෑ. ඇත්ත කියන්නකෝ"
"ඇත්ත තමා කිව්වේ. මං මොකටද කාටවත් බොරු කියන්නේ" ඒ පාර නම් ආන්යට පොඩ්ඩක් විතර තරහත් ගියා. ආර්යන්ට ඒක තේරෙන්න ඇති.
"අනේ සොරි. මම අනවශ්‍ය දෙයක් ඇහුවේ. ප්ලීස් තරහා ගන්න එපා"
ආන්යා බස් රථයේ වීදුරුවෙන් එපිට බලාගත්තා ආයෙම. වහෙන් ඔරෝ නැතුව කියන්න තියෙන දෙයක් කෙලින්ම කියන්න බැරි හැටි?
"ආන්යා..." ඔහු ආයෙම හෙමින් කතා කලා. ඈ ඔහු දිහා හිස හරවලා බැලුවා.
"තරහෙන්ද ඉන්නේ තාම?"
"නෑ" ආන්යා ඇහෙන නෑහෙන ගාණට කියලා හිස වැනුවා.
මොහොතක් දෙන්නගෙම දැස් පටලිලා තිබුණා, තේරුම් ගන්න බැරි හැඟීම් ගොන්නක් එක්ක.
"තරහා වෙන්නත් එපා" ඔහුත් හෙමිහිට මිමිණුවා.
තවත් ඒ දෑස් වලින් දෝරේ ගලපු හැඟීම් දරා ගන්න බැරිව ආන්යට බිම බැලුණා.
මේ අතරේ ආර්යන්ගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා. ඔහු එක අතට අරන් තිරය දිහා බලාගෙන මොහොතක් උන්නේ ගම්දෝ නොගම්දෝ කියලා වගේ.
"ගිව් මී අ මිනිට්" න්යට කියපු ඔහු ෆෝන් එක කනේ තියාගෙන අනික් පැත්තට හැරුණා. ආන්යා ආයෙම ජනේලේ පැත්තට හැරුණා. ආර්යන්  දෙමලෙන් කා එක්කදෝ මොන මොනවදෝ කියවගෙන, කියවගෙන යනවා ඈට යාන්තමට ඇහුණා.
"ආමා නාන් වාරේන් (ඔව් මම එන්නම්)...කණ්ඩිප්පා (අනිවාර්යෙන්ම). සරි...බායි" ඔහු සුසුමක් හෙලලා, ආයෙම ආන්යා දිහාට හැරුණේ ෆෝන් එක ආපහු සාක්කුවට දා ගන්න ගමන්.
"සොරි..." ඔහු ආන්යට කිව්වා.
ආන්යා ආයෙම අහක බලාගත්තා. ආර්යනුත් කතාවක් කලේ නෑ. ඔහු ඒ වෙනුවට මොකක්දෝ කල්පනාවක පැටලිලා.
"ම්ම්...මොකක් හරි කරදරයක්ද?" ආර්යන්ගේ බැරෑරුම් විලාසය ඉවසගෙන ඉන්න බැරි තැන ආන්යා ඇහුවා.
"ම්...මොකක්ද? නෑ, නෑ. මොනවත් කරදරයක් නෙවෙයි. මේ ගෙවල් වලින් දාන ලෙඩ තමා" 
ආර්යන් නලල පිරිමදින ගමන් කිව්වේ හරියට හිසරදයක් හ හැදිලා වගේ. ඒ කියපු ලෙඩේ මොකක්ද කියලා ආන්යා අහන්න ගියේ නෑ.
"සමහර වෙලාවට මට හිතෙනවා අපේ පේරන්ට්ස්ලා ඕනවටත් වඩා අපේ ජීවිතවලට බලපෑම් කරන්වදත් කියලා" ඔහු හිටි ගමන් කිව්වේ එහෙම කතාවක්.
"ඒ කිව්වේ?"
"හැමවෙලේකම අපි එයාලා කියන දේම කරන්න ඕන කියලා හිතනවා. පුංචි කාලේ වගේ. යූ කේ වල එහෙම නෑ. සමහරවිට මට මෙහෙම හිතෙන්නෙත් මම එහේ හුඟකල් හිටපු නිසා වෙන්න ඇති" ආර්යන් ආයෙම කිව්වා.
"කොච්චරකල් එහේ හිටියද?"
"ට්වෙල්ව් ඉයර්ස්...ලේසි නෑ නෙ?'
"අම්මලා කවදත් හිතන්නේ ළමයින්ගේ සතුට ගැන. ඒකයි හොයන්නේ බලන්නේ. ලංකාවේ කොහොමත් එහෙමයි. මම හිතන්නේ නෑ කොයි අම්මා, තාත්තාවත් තමන්ගේ ළමයෙක්ට නරකක් වෙන දෙයක් කරන්න කියයි කියලා" ආන්යා පණ්ඩිතයෙක් වගේ කියද්දි ආර්යන් බලාගෙන හිටියේ උනන්දුවෙන්.
"ඔයා කියන්නේ එහෙමයි කියලා අපට කොහෙත්ම කරන්න ඕන නැති දේවලුත් අපි කරන්න ඕන කියලද?" ආර්යන් ඇහුවා.
"අපට එහෙම හිතෙන්නේ අපි තාමත් පොඩි නිසා, අත්දැකීම් අඩු නිසා. අනේ මන්දා මට නම් අම්මලා කරන්න කියපු දෙයක් මෙච්චර කාලෙකට වැරදිලා නෑ" ආන්යා ආයෙම කිව්වා.
"ම්ම්..." ආර්යන් කල්පනා කලා මොහොතක්. "හරි අපි මෙහෙම හිතමු. ඔයා කාට හරි ආදරේ කරනවා, ඒත් ඔයාගේ ගෙදරින් කියනවා වෙන කෙනෙක් මැරි කරන්න කියලා, එතකොට?"
"මම හිතන්නෑ මම කැමති දේකට අපේ ගෙදරින් කවදාවත් අකමැති වෙයි කියලා. ඒත් එහෙම වුනොත් මට ගන්න වෙන්නේ ගෙදර පැත්ත" ආන්යා කිව්වේ ඇත්තටමයි.
ආර්යන් හිනා වුණා.
"හරි භයානකයි නේ. ඔයා ඔහොම කියද්දි කොහොමද විශ්වාස කරන්නේ?"
"ඒකට කරන්න ඕන ගෙදරින් කැමති වෙන විදිහේ කෙනෙක් හොයා ගන්න එක" ආන්යා කිව්වා.
ආර්යන් හිනාව නවත්තලා ආන්යා දිහා ආයෙමත් මොහොතක් බලාගෙන උන්නා.
"ඔය හිතනවාද හරියටම එහෙම කෙනෙක් ගැනම ඔයාගේ හිතේ ආදරයක් ඇති වෙයි කියලා?"
ආර්යන් ඇහුවම ආන්යට එක පාරටම කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා. ආන්යා ඔහු දිහා බලලා අහක බලා ගත්තා.
"එහෙම වෙන්නේ නෑ ආන්යා, හමවෙලේම එහෙම වෙන්නෑ" ඔහු අන්තිමට කිව්ව හෙමින්.
ආන්ය ඒකට මොනවත්ම කිව්වෙත් නෑ. ඔහු කියන්නේ ඇත්ත වග ඈ දැනගෙන හිටියා.
"අනේ මංදන්නෑ. එච්චර දුර හිතන්න මම ආස නෑ, එන දේකට එවෙලෙට හිතලා මූණ දෙනවා ඇරෙන්න" ආන්යා කිව්වා.
"අපි ඔය කතාව නවත්තමු ආන්යා. ඉට්ස් වෙරි ඩිප්‍රෙසින්ග්. අපි...මේ කොයි හරියෙද ඉන්නේ?" ආර්යන් ජනේලේ පැත්තට එබෙන ගමන් ඇහුවා.
"නාවලපිටියට ලඟයි" ආන්යත් ජනේලෙන් එලිය බලලා කිව්වා. ගොඩකල් ආව ගිය නිසා පාර දිගේ තිබුණ හැම විශේෂ මං සලකුණක්ම වගේ ආන්යට මතක තිබුණා.
"ගිනිගත්හේනත් පහුවෙලා නෙ. අපි කොලඹ යද්ද්දි හරවන්නේ එතනින්නේ" ආර්යන් කිව්වා.
ඊට පස්සේ ගම්පොලත් පහු වෙනකල්ම වගේ තේරුමක් නැති වල් පල්  එහෙන්, මෙහෙන් කතා කලා ඇරෙන්න විශේෂ යමක් ආර්යන්වත්, ආන්යාවත් කතා කලේ නෑ. ඒත් ගම්පොල පහු වෙද්දි ආන්යගේ හිතට මොකක්දෝ දුක්මුසු හැඟීමක් යාන්තමට කාන්දු වෙන්න ගත්තා.
ආර්යන් කියන්නේ තමන් හිතපු විදිහේ කෙනෙක් නෙවෙයි කියලා ආන්යට තේරුම් ගිහින් තිබුණා. සමහර වෙලාවට බිල්ලෙක් වගේ කතා බහකින්, හිනාවකින් තොරව ඉන්න කෙනෙක් වුණත්, ටිකක් අඳුනගත්තම ආර්යනුත් අභී වගේමයි කියලයි ආන්යට හිතුණේ.
"පේරාදෙණියට ලඟයි නේද?" ආන්යා ජනේලෙන් එබි එබී ඉන්දැද්දි ආර්යන් ඇහුවා.
"හ්ම්...තව පැය බාගෙකින් විතර පේරාදෙණියේ"
"දැන් ඔයා බැහැලා ගියාම මට පාලු හිතෙයි" ආර්යන් කිව්වේ හිනාවෙලා වුණත් ඒ හඬේ මොකදෝ දුකක් තිබ්බදෝ කියලා ආන්යට හිතුණා. ආන්යත් හිනා වුණා විතරයි. ආර්යන් එක්ක ආපු නිසාදෝ ගමන ඉක්මණට ඉවර වුණා වගෙයි ආන්යට තේරුණේ. ඔහුට සමු දීලා බැස්සාම තමන්ට කොච්චර පාලු හිතේවිද, දුකක් හිතේවිද කියලා ආර්යන් දන්නවානම්?
"ආන්යා...ඔයගේ අකමැත්තක් නැත්තම්, මම ඔයාව ෆෝන් එකෙන් කන්ටැක් කරාට කමක් නැද්ද?" ආර්යන් ඇහුවේ සැකෙන් වගේ.
"කමක් නෑ" ආන්යා දෙපාරක් නොහිතා කිව්වා.
මොන විදියට හරි ඔහු එක්ක කතා කරන්න ලැබෙන එක ගැනයි ආන්යා හිතුවේ. දැන් දැන් ඔහු දාලා බැහැලා යන්න බැරි ලෝබකම තදින්ම ඈට දැනෙමින් තිබ්බා.
"මං රිං කරන්නද?" ආන්යා ඇහුවා.
"මට නම්බර් එක ලියලා දෙන්න" ආර්යන් ඉල්ලුවා.
"ලියලා දෙන්න?"
"ඔව්. මොකද මට ගොඩාක් නොදන්න නම්බර්ස් වලින් කෝල් එනවා. පැටලෙන්න පුලුවන් නේ. ඒ නැතත් මම ෆෝන් දෙක තුනක් හිටපු ගමන් යූස් කරනවා.නෑ, නෑ,  කොල අදින්න ඕන නෑ. අම්...මගේ අතේ ලියන්නකෝ"
ආන්යා කොලයක් හොයන්න බෑග් එක අදිද්දි ආර්යන් කිව්වා. ආන්යා පෑන අතට අරන් මොහොතක් ගල් ගැහිලා වගේ බලා හිටියා.
"අතේ?"
"ඔව්" ඔහු කීවේ තමන්ගේ අත්ලා පාලා.
ආන්යා හෙමිහිට ඔහුගේ අතේ නොගෑවෙන්න උත්සාහ කරමින් තමන්ගේ නොම්මරේ ඔහුගේ අත්ලේ ලිව්වේ වෙව්ලන ඇඟිලි වලින්. ඔහුගේ දිගු ඇඟිලි, පැහැදිලි පැහැපත් අත්ල ආන්යගේ බැල්මට හසු වුණා.
"හරි. තෑන්ක්ස්" ලියලා ඉවර වුණාට පස්සේ ආර්යන් අත මිට මොලවගත්තේ හරියට ලියපු නොම්මරේ වැටේවි කියලා වගේ.
"පේරාදෙණිය බහින්න, බහින අය ලං වෙන්න" කොන්දොස්තරගේ කෑ ගැහිල්ලට දෙන්නම දෙපැත්තට වුණා.
"මෙතනද බහින්නේ?" ආර්යන් ඇහුවා.
"නෑ, ඊලඟ හෝල්ට් එකේ"
ආර්යන් දිග සුසුමක් හෙලුවා.
"ආන්යා...මම අද මෙහෙම ආපු වග අභී දන්නේ නෑ. එයාට කියන්නත් එපා. හරිද?"
ආන්යට ඒක කියන්න ඕන වුණේ නෑ. කොහොමත් අභීට මේ කිසි  දෙයක් ගැන කියන්න උවමනාවක් ආන්යට තිබ්බේ නෑ.
"මං කියන්නෑ"
"පරිස්සමින් ඉන්න ආන්යා. මං අද ආපු එක නිසා මං ගැන වැරදියට හිතන්න එපා. මට ඕන වුණේ ඔයාට කතා කරන්න විතරයි"
ආන්ය හිස වැනුවා. හීනියට කාන්දු වෙවී තිබුණ දුක දැන් මහා දිය දහරාවක් වගේ හිතෙන් පිටාර ගලන්න තරමට වැඩි වෙලයි තිබුණේ.
"ගලහා හන්දියේ බහින අය ලං වෙන්න...මිස් බහිනවා නේද?" කොන්දොස්තර ආන්යගේ දිහා බලලා ඇහුවා.
ආන්යා ආපහු ආර්යන් දිහා බැලුවා. ඇගේ උගුර හිර වෙලා වගේ ඈට දැනුනා.
"ගිහින් එන්න ආන්යා, ටේක් කෙයා..." ආර්යන්ගේ ඇස් වල තිබුණේත් දුකක්.
"ඔයත් පරිස්සමින් යන්න අයියා..."
ආන්යා බහින්න කලින් ආයෙමත් ආර්යන් උන්නු ආසනේ දිහා බැලුවා. ඔහු අර පුරුදු හිත සසලන බැල්මෙන් ඈ දිහා බලාගෙන උන්නා.
සුසුමක් හෙලපු ආන්යා බස් එකෙන් බැහැගත්තා. බස් එක තමන්ව එතන තනි කරලා ඈතට ඇදෙද්දි අගේ හිත දුකින් බර වෙලයි තිබුණේ. ආර්යන් තමන්ටත් හොරා තමන්ගේ හිත අරන් ගිහින් වග ආන්යා එවෙලේ තේරුම් ගත්තා.
නෙවාසිකාගාරෙට ඇතුල් වෙද්දි ගෙදරට කතා කරලා අතේ තියාගෙන උන්නු ආන්යගේ ෆෝන් එක නාද වුණා ආයෙම. ඈ තිරය දිහා බලද්දි නොදන්න නොම්මරේකින් ආපු එස්. එම්. එස්. එකක් තිබුණා.
"හෝප් යූ ගොට් දෙයා සේෆ්. අයි මිස් යූ සෝ මච්...ප්‍රින්සස්" ඒකේ සටහන් වෙලා තිබුණේ එහෙම.
ඇගේ සිත සීතල වෙලා ගියා. ඒ වචන වල තිබුණේ ලොකූ දයාබරත්වයක්. ඒක එව්වේ කවුද කියන එක ඈට හිතාගන්න අමාරු වුණේ නෑ. ඈ එකට පිළිතුරක් සටහන් කරලා ආපහු යැව්වේ ආර්යන් ගියාට පස්සෙදැනෙන්න ගත්තු  හිස් භාවය තවත් වැඩිපුර හඟිමින්.
"අයි මිස් යූ ටූ"

 

4 comments:

  1. ඔන්න මම දිග පෝස්ට් එකක් දැම්මා... :))
    කලින් පෝස්ට් වලට කමෙන්ට් කරපු හැම යාලුවෙක්ටම ස්තුතියි!

    ReplyDelete
  2. අද කොටස නමි කියලා වැඩක් නැහැ නෙතු. නියමයි. ගොඩාක් ස්තුතියි ඉක්මනටම කොටස් ටික පල කරනවාට...!!!

    ReplyDelete
  3. ඔන්න මම අදත් කියෙව්වා මේක හැමදාම දානවා නේද ?????/ මම අදයි දැනගත්තේ ස්තුතියි අක්කි

    ReplyDelete