Wednesday, February 15, 2012

දොලොස්වන කොටස

නාන්න ගිය දවසින් පස්සේ අභිගේ කාලේ වැඩිපුරම ගතවුණේ ආන්යල ගෙදර.  උඩ බංගලාවේ කවුරුත් නොහිටපු නිසා, එහේ ඉන්න පාලුයි කියපු අභි උදේ ආවාම ආපහු බංගලාවට ගියේ ගොඩක් හවස් වෙලා. ටිකක් දිගට වවපු කැරලි හිසකේ සහ හැමවෙලේකම යාන්තම් වැවුණ රැවුලකින් හෙබුණ දිගටි මුහුණක් තිබුණ අභි අනුහස් තරම්ම වගේ උස මහතින් යුක්ත වුණා. ඒ කියන්නේ අඩි හයකට ලඟයි. මූණෙන්  නොපෙනුණාට අභි, හැම වෙලේකම හිනාවකින් මුව සරසගෙන උන්නු, බොහොමත්ම කෙලිදෙලෙන් ඉන්න ආස කරපු කෙනෙක් කියලා මේ දවස් කීපෙට ආන්යා තේරුම් ගත්තා. ආන්යා අභිට සැලකුවෙත් අනුහස්ට වගේමයි. ඒ ඇය ඔහු ගැන පැහැදිලා උන්නු නිසයි. අනික් අතට අභිත් ආන්යට තරමක ගෞරවය මුසු වුණ යහලුකමකින් සලකපු වග ඇය දැනගෙන හිටියා.
"ඔයාලා ගියාම මට තමා පාලු. මමත් එතකොට ඉක්මණට කොලඹ යනවා"
ආන්යලාගේ ගෙට පහල බෑවුමේ තේ වත්ත මැද තිබුණ ලොකු ගල් පොත්ත උඩට වෙලා කට්ටියම ඈත කදු වලල්ල අතරින් ඉර අවරට යන හැටි බලමින්, කතා බහ කර කර ඉන්න වෙලේ, අභි ආන්යට කිව්වා. අනුහස් ගෝපි එක්ක ගුස්ති අල්ලන දිහා බලාගෙන හිටපු ය අභි දිහා යන්තමට බැලුවා.
"මොනවා කරන්න අපි යන්නත් එපැයි. අම්මත් දැන් දැන් මූඩ් ගහන්න පටන් අරන්. අනේ මන්දා වෙලාවකට හිතෙනවා අපි ලොකු නොවී හිටියා නම් කියලා" ආන්යා සුසුමක් හෙලුවා.
"අපෙ අම්මත් දවසක් මට එහෙම කිව්වා" අභි කිව්වේ හිනා වෙලා.
"කොහොමද?"
"අපි ලොකු නොවී උන්නා නම්  හොඳයි කියලා. මොකද මායි අන්නයි දෙන්නම හිටියේ රට නේ"
ආන්යගේ හිතේ කොනකට වෙලා උන්නු ආර්යන් ආයෙමත් හිත වෙලා ගත්තාම ඈත දැනුනේ බර ගතියක්.
"ම්ම්...ඒක තමයි" ආන්යා කිව්වා.
"අපි හිටපු ගමන් නුවර එවෙනවා. අම්මගේ නංගි  කෙනෙක් ඉන්නවා එහේ. එහෙම ආවොත් මම ඔයාලව හම්බවෙන්නත් එන්නම්කෝ දවසක" අභි කිව්වා.
ආන්යා හිනා වුණා. "හොඳයි"
"ආයි ආයි ආයි..ඌයි අප්පා..." ගෝපිගේ කෑගැහිලා නිසා කතාව එතනින් නතර වුණා.
අනුහස් ගෝපිගේ අත අඹරවලා පිටි පස්සට කරලා අල්ලගෙන ගෝපිව බාගෙට බිම ඉන්දවගෙන ඉන්දැද්දි ගෝපි හොඳටම කෑගහනවා.
"අනේ අනූ ඔය මොකද කරන්නේ? අතාරින්න රිදෙනවා ඇති" ආන්යා ඒ දිහාට දුවමින් කිව්වා. ගල මත වාඩි වෙලා උන්නු රාධායි, නිත්‍යායි නම් වගක්වත් නැතිව හිනා වෙවී උන්නා. අනුහස් ගෝපිව අතෑරියා.
"ඔන්න අද මම දිනුම්" ඊට පස්සේ අනුහස් කිව්වේ ජයග්‍රාහී ලීලාවෙන්.
"මේ ඔය බාබේරියන් ගේම් අතෑරලා අපි හොඳ ජෙන්ට්ල්මන්ලගේ සෙල්ලමක් කරමුකෝ. ඉර බහින්න කලින් අපි පාරේ ක්‍රිකට් පාරක් ගහමුද?" අභි යෝජනා කලා.
"අපි තුන් දෙනා?" අනුහස් ඇහුවා.
"නෑ අපි  මේ ගෑණු ළමයිවත් ගමු" අභි කිව්වේ ආන්යලා පෙන්නමින්.
"අනේ මෙයාලා ගහන ක්‍රිකට්"
"ඇයි? අපි ගැහුවොත් වදින්නැද්ද?" ආන්යා අනුහස්ට රැව්වා.
"හා හා, මොනා කරන්නද ඉතින්. එහෙමවත් කරමු. ගෝපි ගෙදර ගිහින් බැට් එකයි, බෝලෙයි ගේනවද? අපි කෝටු අරන් එන්නම් විකට් වලට හිටවන්න" අනිහස් කිව්වා.
ඊට පස්සේ සේරම ගල් පොත්තෙන් බැහැලා පාර පැත්තට යන්න පිටත් වුණා.
"මමයි, ගෑනු ළමයි තුන් දෙනයි එක පැත්තක. අනුගස් ගෝපි එක්ක සෙල්ලම් කරන්න" අභි කිව්වා පිල් බෙදන්න සාකච්චා කරන වෙලාවේ.
"හා. හා. ඕන එකක්. හැබැයි පැරදුනොත් අපට මුකුත් කියන්න එපා"
මුලින්ම පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබුණ ආන්යලට. ආන්යාට නම් වැඩි වෙලා පහර දෙන්න ලැබුණේ නෑ. අනුහස් හතරවෙනි පන්දුවෙන්ම ඇයව දවා ගත්තා. රාධාව ගහන්න කැමති කර ගන්න පැයක් විතර ගිය නිසා පළවෙනි වතාවේ ඉතිරි පන්දු සේරටම මූණ දුන්නේ අභි.  
"හරි හරි, දාන්න මාතියා...කමෝන්..." ගෝපි විකට් එක පිටිපස්සේ ඉඳන් කෑ ගහනවා.
"කමෝන් අභි.."
යන්න්තම් බෝල තිහකට ළකුණු විසි එකක් ගත්තට පස්සේ උදා වුණේ අනුහස්ලගේ වාරේ. ආන්යා හිටියේ පහරදෙන පැත්තට කෙලින්ම ඉස්සරහින්.
"හරි ගැහුවා...ආ...නියමයි මාතියා. හතරයි. දුවන්න ඕන නෑ"
"රාධා...අල්ලගන්න. දාන්න දාන්න"
"එපා එපා දුවන්න එපා"
"ඇල්ලුවා ඇල්ලුවා....අයියෝ..."
කට්ටියම කෑ ගසමින් සෙල්ලම් කරන්න වුණේ හරියට පොඩි ළමයි වගේ.
"ඔන්න ආන්යා අල්ලගන්න..." අනුහස් එල්ල කරපු පාරකට බොලේ ආන්යා පැත්තට ආවේ හොඳටම උඩ පන්දුවක් විදිහට අල්ලගන්න පුලුවන් විදිහට.
ආන්යා පිටිපස්සෙන් පස්සට දුවලා ගියා.පහල පාරට බහින් පඩිපෙල ලඟදි ඈ බෝලේ අල්ලගත්තෙත්, කකුල පැටලිලා වැටෙන්න ගියෙත්, ඒ එක්කම කාගෙදෝ ඇඟේ වැදිලා අත් දෙකකට හිරවෙලා යන්න්තම් බිම නොවැටී බේරුණෙත් එකම වෙලාවක.
"ආන්යා..." අනුහස්ගේ උස් හඬ ඈට ඇහුණා.
ඒ එක්කම ඈ හිස උස්සලා බැලුවේ ඈව මේ අල්ලගත්තේ කවුද කියලයි. ඈ උන්නේ එක අතකින් ඒ අතක එල්ලිලා අනක අත බිම තියාගෙන.
"නැගිටින්න" ආර්යන් අල්ලගෙන උන්නු ආන්යගේ බාහුවෙන් උස්සලා ඈට නැගිටින්න ආධාර කරමින් කිව්වා. ආන්යා බිම තිබ්බ අතින් වාරු අරන් යන්තම් නැගිටගත්තා.
"තුවාල වුණේ නෑ නේද?" ආන්යට ආර්යන්ගේ හඬ ඇහුණේ හීනෙන් වගේ. ඇගේ හදවත හයියෙන්ම ගැහෙමිනුයි තිබුණේ.
"නෑ" ඈ කිව්වේ බිම තිබුන බොරලු වලට හීරුණ අත ඇඟිලිවලින් පිහින ගමන්. ඒ එක්කම ඈ දැක්කා ආර්යන් තමන්ගේ යටි තොල පිටි අල්ලෙන් පිහිනවා. ආන්යගේ ඇස් උඩ ගියේ ඔහුගේ පිටි අල්ල රතු කරපු ලේ දැකලා.
"අනේ....මොකද වුණේ?"
"නෑ, නෑ. මොන්වත් නෑ. ඔයාගේ ඔලුව පොඩ්ඩක් වැදුණා. මේක හරි යයි" ආර්යන් ආයෙම සැරයක් යටිතොලින් ගලපු ලේ පිහදාමින් කිව්වා.
"මම දැක්කේ නෑ මිස්ට ආර්යන් එනවා" ආන්යා සමාව අයදින හඬකින් කිව්වා.
"මොකෝ වුණේ?" ඒ වෙලාවේ අනික් පිරිසත් එතනට ආවා.
"ආ...මේ තොල පුපුරලා නෙද? ඔලුව වැදුනද? මීනු ඔයාට තුවාලද?" බැට් එක පැත්තක දාලා ආර්යන්ට ලං වුණ අනුහස් ඇහුවා.
"නෑ" ආන්යා හිස වැනුවා. ආර්යන් ගැන ඈට දැනෙමින් තිබුණේ දුකක්.
"ආ යූ ඕකේ" ආර්යන්  ලඟ උන්නු අභි ආන්යා ලඟට එමින් ඇහුවා.
"ඔව්. මට මොකවත් වුණේ නෑ"
ආන්යා කිව්වේ තවමත් ආර්යන් දිහාම බලාගෙනමයි.
"යමු යමු. අපෙ ගෙදරට යමුකෝ"
ආර්යන්ගේ තොලෙන් ලේ ගලන එක නැවතුණාට පස්සේ අනුහස් ඉස්සර වුණා.
"නීන්ග ඉන්නෙකි වරුවේන්න නාන් එදිර්පාක්කවේයිල්ල (ඔයා ද එයි කියලා මම බලාපොරොත්තු වුනේ නෑ)" ගෙදරට යන අතරතුරේ අභි ආර්යන්ට කියනවා ආන්යට ඇහුණා.
"ඒකනේ. අභි කිව්වේ ආයෙම කවදා එයිද දන්නේ නෑ කියලා. පඩිපෙලෙන් කොහෙද ආවේ?" අනුහසුත් ආර්යන්ගෙන් ඇහුවා.
"කොලඹින් ඩොකියුමන්ට්ස් වගයක් දුන්න මෙහේ ඔෆිස් එකට දෙන්න කියලා. මම ඩ්‍රයිවර්ට යන්න කියලා වෙලා යන නිසා ෂෝට්කට් එකෙන් එන්නයි ආවේ"
ආර්යන් උත්තර දෙද්දි ආන්යා ඔහු දිහා හොරැහින් බැලුවා. ඔහු තවමාත් ඇඟිල්ලකින් තුවාලවුණ තැන තවමින් ඉන්න වග ඈට පෙනුනා.
"මදෑ ආවා නේද?" අනුහස් හිනා වුණා.
ආන්යලා ගෙදරට යද්දි අම්මා මිදුලේ මල් කඩමිනුයි හිටියේ. මේ පිරිස දැකපු ගමන් ඒ වැඩේ නවත්තපු අම්මා ඔවුන් එන දිහා උනන්දුවෙන් බලාගෙන හිටියා.
"අනේ මේ ආර්යන්නේ. මම බැලුවා ඒත් කවුද කියලා. හත් දෙයියනේ මේ මොකද?"
ලඟටම ආපු පිරිස දිහා බලපු අම්මා ආර්යන්ගේ පිටි අල්ලේ තිබුණ ලේ පැල්ලම දැකලා ඇස් උඩ තියා ගත්තා.
"මේ මීනුගේ වැඩ තමා" අනුහස් කිව්වාම අම්මා ආන්යා දිහා බැලුවා.
"අනේ නෑ අම්මා"
"නෑ. නෑ. මිසිස් වීරප්පෙරුම. මේ කට්ටිය සෙල්ලම් කර කර ඉද්දි පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ තරම් දෙයක් නෙවෙයි
"යමුකෝ යමුකෝ ගෙට" අම්මා ආන්යා දිහා බලලා ඉස්සර වුණා.
"මීනු අයිස් කැට දෙක තුනක් ගේන්න. මේ ඉදිමුම බහින්න තියන්න ඕන" අම්මා ගේ ඇතුලට ඇවිත් වාඩි වුණ ආර්යන්ගේ තුවාලේ තත්වේ බලලා කිව්වා.
ආන්යා කුස්සියට ගිහින් අයිස් අරන් එද්දි අනුහස් අම්මට සිද්ධිය වුණ හැටි ගැන විස්තර කරනවා.
"ආර්යන් මහත්තයා මේ අයිස් කැටයක් තොල උඩින් තියා ගන්න"
ආර්යන් ආන්යගේ අම්මට කීකරුවෙලා අයිස් කැටයක් ගත්තා.
"මම බොන්න දෙයක් ලෑස්ති කරන්නම්" එහෙම කියපු අම්මා කුස්සියට යන අතරේ එලියේ ටැංකියේ නාන්න ඕන කියපු අභිමයු, අනුහස් එක්ක ඒ පස්සෙන්ම ඇදුනා.
"දාඩියේ පණ යනවා. අන්නා නාන් කුලිච්චිට වාරේන්.  (අයියා මම නාලා එන්නම්)"
දැන් සාලේ ඉතිරි වෙලා උන්නේ ආර්යනුයි, අයිස් භාජනේ අතේ තියාගෙන හිටපු ආන්යයි විතරයි.
"තව අයිස් ඕනෙද?" හදිසියේ ඇතිවුණ නිහඬතාවය නිසා අපහසුවට පත් වුණ ආන්යා ඇහුවා.
"එපා. ඕන නෑ"
ආන්යා ඔහුට අත පිහ ගන්න කෑම මේසෙන් අරගත්තු අත්පිස්නාවක් දුන්නා.
"මං නිසා මිස්ට ආර්යන්ට වෙන්නේ ඇබැද්දිමයි නේද?" ආන්යා දොර උලුවස්සට පිටදීලා හේත්තු වෙන ගමන් ඇහුවා.
"ෂී පිස්සුද? එහෙම නෑ. ඔයා හිතලා කලා නෙවෙයි නේ. මේ අපේ අභි මෙහෙන්ද හැමදාම නාන්නේ?" ඔහු කතාව වෙන පැත්තකට හරවන්න වගේ ඇහුවා.
ආන්යා හිනා වුණා. "මිස්ට ආර්යන් ගියාට පස්සේ එක දවසක් විතර මහිතේ"
"මට මිස්ට කියන්නේ ඇයි?" ආර්යන් ඇහුවම ආන්යට ඔහු දිහා බැලුනේ ඉබේටම.
"එහෙම නැතුව?"
"මටත් අභිට වගේ න කියලා කතා කලාම ඇති"ඔහු කිව්වම ආන්යා බිම බලා ගත්තා.
"අනේ මන්ද"
ඈ හිස උස්සලා දොරෙන් එලිය බලද්දි හොඳටම කලුවරත් වැටිලා.
"ඉතින් දැන් කවද්ද ඔයාලා ආපහු යන්නේ?" ආර්යන් මොහොතක නිහඬතාවයකට පස්සේ ඇහුවා. ආන්යා ඔහු දිහා බැලුවේ ඔහු ඒ වග දන්නේ කොහොමද කියලා හිතමින්."මට..අභි කිව්වා ඔයාලා යන කතාවක්"
"අනිද්දට" ආන්යා උත්තර දුන්නා.
"එච්චර ඉක්මණට?" ආර්යන් ඇහුවේ පුදුමෙන් වගේ.
ආන්යටත් පුදුමයක් නොදැනුනා නෙවෙයි.
"ඔව්. සඳුදාට ලෙක්චර්ස් පටන් ගන්නවනේ"
"අයි සී" ඔහු ආයෙම කල්පනාවකට වැටුණා. ආන්යාත් දොරෙන් ඉවත බලාගත්තා. 'අම්මා තාමත් තේ හදනවද?' ආන්යා හිතුවා විතරයි අම්ම කැවිලි බන්දේසියක් අරගෙන කුස්සියේ දොරෙන් මතු වුණේ තේ පෝච්චිය අරගත්තු සෙල්ලම්මාත් එක්කමයි.
"ආර්යන් එන්න තේ ටිකක් බොන්න"
"කෝ මේ අනික් අය?" ආර්යන් ඇහුවා.
"ඔන්න දැනුයි නාල ඉවර වුණේ. දැන් ඒවි,ඔයා එන්නකෝ"
ආර්යන් තේ මේසෙන් වාඩි වෙද්දිම වගේ නාල ඉවර වුණ අභිමන්යුත්, අනුහසුත් සාලෙට ආවා. ආන්යත් හැමෝම එක්ක තේ මේසෙන් වාඩි වුණා.
"දෙන්නම අනිද්දා යන්වලු නේද?" ආර්යන් ඒ පාර ඇහුවේ අනුහස්ගෙන්.
"ඔව්. යන්නත් එපැයි. මතක් වෙද්දි නම් එපා වෙනවා" අනුහස් උත්තර දුන්නා.
"යන්න කලින් හෙට හවස විතර නාරදගේ බංග්ලෝ එකට අම්මලයි, ඔය දෙන්නයි ඇවිත් යන්න එන්න, ගෝපිලා එක්කම"
අභියි අනුහසුයි දෙන්නම් ආර්යන් දිහා බැලුවේ පුදුමෙන්.
"අපට බොන්නවත් දෙන්නද?" අනුහස් ඇහුවේ අම්මා වට පිට ඉන්නවද බලලා.
"බොන්න දෙන්න තමා, හැබැයි තේ" ආර්යන් කිව්වේ හිනා වෙලා.
ආන්යා ආර්යන් හිනා වෙනවා මේ තරම් ලඟට දැක්කේ එවෙලේ. ඔහු හිනා වෙද්දි ඔක්කෝටම වඩා හැයි කියලා ඈට හිතුණා.
"වාව් ග්‍රේට් නේ. ආන්යා ඔන්න එන්නම ඕන හරිද?" අභි ආන්යට කිව්වා.
"අපි නැතත් මේ දෙන්නව එවන්නම්කෝ" පස්සේ මේ වග අහපු ආන්යගේ අම්මා කිව්වා.
"එහෙම කොහොමද? ආන්ටි අපට කොච්චර සලකනවද? එන්නම ඕන" අභි ආන්යලගේ ගෙදරම උන්නු නිසා ඇගේ අම්මට ආන්ටි කියන්න ගත්තේ මිසිස් වීරප්පෙරුම කිව්වාම තමගේ වගේ දැනෙන්නේ නෑ කියලා කියමින්.
"බලමුකෝ, බලමුකෝ. ආර්යන්... ඔෆිස් එකෙන් කතා කරලා කිව්වා වාහනේ එව්වා කියලා" අම්මා ආර්යන්ට කිව්වාම අදට සමු ගන්න වෙලාව ඇවිත් කියන එක ආන්යට තේරුණා.
"ගුඩ් නයිට් මීනු" අභි එලියට බහිද්දි ආන්යට කිව්වා.
"මොකක්?"
"අයි ලයික් දැට් නේම්" අභි ඇයට අත වනලා වාහනේට නගින්න දුවන ගමන් කිව්වා.
"පිස්සු"ආන්යා හිනා වුණා.
"හෙට එහෙනම් එන්න. ගුඩ් නයිට්" ආර්යන් ඇහෙන නෑහෙන ගාණට ආන්යට කියලා යන්න ගියා.
ඇගේ හිත තිබුණේ පිරිලා. 'සමහරවිට ඔහු ආයෙත් ආවේ...?' ඒත් ඉන් එහාට හිතන්න ආන්යා බය වුණා.



3 comments:

  1. ඊළඟ කොටස දානකම් අපි බලාන ඉන්නවා..

    ReplyDelete
  2. ane akki poddak akuru loku akrala post eke danneko puluwannam :)

    ReplyDelete