Sunday, February 26, 2012

විසිවන කොටස

"අභි ඇතුලට ගියාද?" එක පාරටම ආර්යන්ගේ හ ඇහුණාම ආන්යා ගැස්සිලා ගියා. ඉක්මණට එතනින් මෑත් වුණ ආන්යා වෙනසක් නොපෙන්නා හිනාවෙලා හිස වැනුවා. තමන් ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දික් කරගෙන මේසේ දිහා බලමින් උන්නු වග ඔහු දැක්කද දන්නෙත්නෑ කියලා ඈ හිතුවේ වරදකාර හැඟීමකින් යුතුව. මෙවෙලේ ගෝපිත් කාමරේට ආවා.
"මම එලියෙන් එන්නම් ආර්යන් අයියා..." එහෙම කියපු ආන්යා කාමරෙන් එලියට ඇවිත් සාලෙට ආවා. වැහි අඳුරයි, ඉස්සරහ ඉස්තෝප්පුවයි නිසා සාලේ තිබ්බෙත් අඳුරු ගතියක්. ආන්යා ඒ නිසා ඉස්තෝප්පුවට ගියා. අලු පාට වලාකුලු ඕනම වෙලාවක වහින්න සූදානමින් අහස වසාගෙන පැතිරිලා තිබුණ වග අහස දිහාවඨ නෙත් යොමු කරපු ආන්යට පෙනුනා.
"ආන්යා..." ඇය යන්තමට ගැස්සුනේ පිටිපස්සෙන් ඇහුන ආර්යන්ගේ හඬට.
ඇය ඔහු දිහාට හැරුණා දොර අසල හිටගෙන ආර්යන් කෙලින්ම ඈ දිහා බලාගෙනයි උන්නේ.
"තෑන්ක් යූ..."
"ඒ මොකටද?"
"අභිට සාත්තු කලාට"
"අනේ මම ඒ හැටි දෙයක් කලායැ?"
" එවෙලේ ඒ දේ කරපු එකට තෑන්ක්ස්" ඔහු ආයෙම කිව්වා.
"ඒක නම් මොකක්ද?" ඈ යන්තමට හිනා වෙලා බිම බලාගත්තා.
"මම හිතුවේ,  අභිව ගෙදර යවන්න කියලා..." ආර්යන් ඉස්තෝප්පුවට එන ගමන් කිව්වා. "අම්මයි, අප්පයිත් වොරි වෙලා ඉන්නේ. අභි ඔහොම අසනීප වෙලා නෑ මට මතක ඇති කාලෙක"  ඔහු අසල තිබ්බ පුටුවකට බර වුණා.ඔහු උන්නේ හිතේ කරදරෙන් කියලා ආන්යට හිතුණා. නැත්තම් මේවා ඈ කියන්නේ ඇයි?
"ඒක හොඳයි" ආන්යා වෙන කියන්න දෙයක් නැති තැන කිව්වා.
ආර්යන් බරට සුසුමක් හෙලුවා. "ආන්යා ඇයි වාඩි වෙන්නේ නැත්තේ?"
ඔහු එහෙම අහපු නිසා ආන්යා ලඟ තිබ්බ පුටුවෙන් වාඩි වුණා. ගේ ඇතුලේ ඉඳන් මේ වෙලාවේ තේ ට්‍රොලියක් තල්ලු කරගෙන ආවේ අප්පු.
"නෝනට දෙන්න. තේ එකක් බොන්න ආන්යා" ආර්යන් කිව්වා.
"මේ...මා එක්ක ආපු රාධා එහෙම කොහෙද දන්නේ නෑ නේද?" ආන්යා ඇහුවේ අප්පුගෙන්.
"ඉන්නවා නෝනා. අපේ වානි එක්ක අර පොඩි දොරේගේ කාමරේ තමා අස් කරන්වා. එන්න කියන්නද නෝනා?"
"දැන්ම ඕන නෑ. ඒ ආපු දෙන්නටත් තේ දෙන්න් වේලු" ආන්යට කලින් ආර්යන් කිව්වා. ආන්යා ඔහු දිහා බැලුවෙ පුදුමෙන් වගේ.
"එහෙමයි" අප්පු යන්න ගියා.
"ආර්යන් අයියට තේ එකක්?"
"මට එපා, ඔයා බොන්න"
ආන්යා තේ පෝච්චියෙන් තේ එකක් වත්කරගත්තේ ආර්යන් ඊලඟට මොනවා කියාවිද කියලා හිතමින්.
"ආන්යා හෙට උදේම යනවද?" ඔහු ඊලඟට ඇහුවේ එහෙම.
"නෑ දවල් වෙලා යන්නේ"
"තාත්තා ගිහින් දානවද?"
"ම්ම්...නුවරටම නම් එන එකක් නෑ. බස් ස්ටෑන්ඩ් එකට ඒවි"
"ඊලඟ සතියේ ආයෙම එනවද?"
"ම්...කියන්න බෑ, වැඩ තියෙන විදියට තමා"
ආර්යන් මොනවදෝ හිතන වග ආන්යට පෙනුනා. ඔහු හිතේ ගොඩාක් දේවල් තියාගෙන, එලියට දෙන්නේ බොහෝම පොඩ්ඩයි කියලා ඈට හිතුණා. වචනයක් කතා කරන්නත් කොච්චර හිතනවද?
"මගේ හිත හරි කලබලයි ආන්යා..." ඔහු එක පාරටම එහෙම කිව්වා. ආන්යා බොන්න කට ගත්තු තේ උගුර එහෙමම ගිලුණේ උගුරත් පිච්චීගෙනමයි.
"අභිගේ අසනීපේ ඉක්මණට හොඳවෙයි. වැඩියෙම ඒ ගැන හිතන්න එපා" ආන්යා උගුර පාදමින්ම කිව්වා.
"අභි නිසා විතරක් නෙවෙයි" වැලිමිටින් දණහිසට බරදීගෙන නැවිලා උන්නු ඔහු ආන්යා දිහා කෙලින්ම බැලුවා. වෙන මොනා නිසාද කියලා අහන්න ආන්යගේ දිව නැමුණේ නෑ. ඈත් බලාගෙන හිටියා විතරයි. ඔහු ආයෙම එලිය දිහාවට ඇස් යොමු කළා.
"මං මෙහාට එද්දි, මගේ හිතේ තිබ්බේ අපේ අලුත් හොටෙල් කම්ප්ලෙක්ස් එකට හොඳ තැනක් බලාගෙන යන එක විතරයි. ඒත් ආපු වැඩේ කරගෙන ආපහු ගියාමයි තේරුණේ මම මෙහේදි ගොඩක් දේවල් හිතට එකතු කරගෙන කියලා..."
ආන්යගේ බඩ ඇතුලේ මොනවදෝ කැලතෙනවා වගේ හැඟීමක් ඈට දැනෙන්න ගත්තා. ආර්යන් මොනවද මේ කියන්න හදන්නේ?
"මට... තේරෙන්නෑ... ඔයා මොනවද කියන්නේ කියලා" ආන්යා තතනමින් කිව්වා.
"ඔයාට කොහේ තේරෙන්නද මටම තේරෙන්නෑ මං මේ මොනාද කරන්නේ කියලා. ඔයා හිතනවා ඇති මං ඇයි මේවා ඔයාට කියන්නේ කියලා, නේද?"
ආන්යා ඒකට උත්තර දෙන්න ගියේ නෑ. ඈ බිම බලාගත්තා.
"මොකද මං හිතනවා-"
ඒත් ඔහු හිතන්නේ මොනවද කියලා කියන්න කලින් ගේ ඇතුලේ ඉඳන් අභියි, ගෝපියි එලියට ආවා.
"මම ඒත් බැලුවා මට නොකියම ගිහින් වත්ද කියලා..." අභි කිව්වේ ආර්යනුයි, ආන්යයි මැදින් තිබුණ පුටුවකට බර වෙන ගමන්. එක පාරටම වෙච්ච වෙනස නිසා අන්ද මන්ද වුණ ආන්යා හිනා වෙන්න උත්සාහ කලා.
"න්...නෑ. තේ බොන්න නැවතුණා. දැන් හොඳයි වගේද ටිකක්?"
"හ්ම්ම්...මම ඔයාගේ අම්මා එවපු කැඳ එකත් බිව්වා. ටිකක් ෂේප් දැන්"
"දැන්වත් පෙරේතකම ඉවසගන්න ඉගෙන ගන්න. දකින දකින එක කන්න යන්න එපා..."
"හොඳමයි මැඩම්" අභි අත් දෙක එකතු කරලා වැඳගෙන වගේ කිව්වා. අභිට මොනා වුණත් පිස්සු ගතිය නම් අඩු වෙලා නෑ.
අභිට වැහුණ නිසා ආර්යන්ගේ මුහුණේ ඉරියව් ආන්යට පෙනුනේ නෑ. ආර්යන් හිතනවා කිව්වේ මොකක් ගැනද කියලා දැන් නම් කීයටවත් අහගන්න වෙන්නෙ නෑ කියලා ආන්යට තේරුණා. ඒ එක්කම තවත් එතන ඉන්න බැරිකමක් ආන්යට දැනෙමින් තිබුණා.
"එහෙනම් අපි යන්නද? අම්මා බලාගෙනත් ඇති. දැන් දොලහටත් ලඟයිනේ" ආන්යා ඇහුවේ දෙන්නගෙන්ම.
"අනේ තව ටිකක් ඉන්නකෝ" අභි කිව්වේ ආයාචනාත්මකව. ආර්යන් නම් මොනවත්ම කිව්වේ නෑ.
"අම්මා බලාගෙන ඇති අභි, යන්න එපැයි. ඔයාට පාලුයි නම් ගෝපිව තියා ගන්න. මම අම්මට කියන්නම්"
"යන්නම ඕන නම් ඉතින් අපට බලෙන් තියා ගන්න බෑනෙ..." අභි බොරු අමනාපයක් පෙන්නලා කිව්වා. ආන්යා හිනා වුණා.
"හෙ යනවනේ නේද?" අභි ආයෙම ඇහුවා.
"ඔව්, හෙට දවල්ට යනවා.ඔයා බෙහෙත් බීලා සනීප වෙන්න හොඳද? මම අනුටත් කියන්නම් කෝ පෙරේතකමට කරගත්තු දේ ගැන" ආන්යා කිව්වා.
"මාව බලන්න ආවට තෑන්ක්ස් ආන්යා" ඒ පාර නම් අභි කිව්වෙ ටිකක් විතර බැරෑරුම් වෙලා. "වොමිට් කරද්දි සාත්තු කලාටත් තෑන්ක්ස්. මට නම් තව කෙනෙක් වොමිට් කරනවා බලාගෙනවත් ඉන්න බෑ ඈත ඉඳන් වත්, ඔයා ඒ අතින් හරිම ග්ට්. හරි,  එහෙනම් හෙට පරිස්සමින් යන්න හොඳේ"‍රේ
"ම්ම්. හරි, මොනා හරි ඕන වුණොත් කෝල් එකක් දෙන්න. හෙට යන්න කලින් ආයෙම ලෙඩ බලන්න එන්න වෙන එකක් නෑ. මේ, බත් පිඟාන අතේ තියාගෙන බෙහෙත් බොන්න එපා, කන්න පැය දෙකකට වත් කලින් බොන්න. නැත්තම් ආයෙම වමනේ යයි. හොඳද?" ආන්යා උපදෙස් මාලාවක් නිකුත් කලා.
"හොඳමයි නෝනා"
"ගෝපි රාධාට කතා කරන් එනවද යන්න" ආන්යා ඉන්පස්සේ ගෝපිට කිව්වා.
ආර්යන් සද්ද නොකර උන්නු විදියටම ඉඳගෙන ඉන්නවා ආන්යා දැක්කේ යන්න නැගිට්ටාම.
"අපි එහෙනම් ගිහින් එන්නද  ආර්යන් අයියා..."
ආර්යන් හිස උස්සලා ආන්යා දිහා බැලුවම ඒ බැල්ම ඇගේ හදවත විනිවිද ගියා වගේ ආන්යට දැනුනා. ඒ තරම් සංවේදි, හිත සසල කරවන බැල්මක් තියෙන වෙන කෙනෙක් ආන්යට මීට කලින් දැකලා තිබුණේ නෑ. ඒ ඇස් වල තිබ්බේ බැල්මක් විතරම නෙවෙයි, ලොකු කතාවක් කියලා ඈට හිතුණා.
"ගිහින් එන්න එහෙනම්" ඔහු කිව්වේ නැගිටින ගමන්.
ආන්යා ඔහුගෙන් ඇස් මුදා ගත්තේ අමාරුවෙන්. ඔහු ඇත්තටම කියන්න උත්සාහ කලේ මොනවද කියලා දැනගන්න ඈට ලොකු උවමනාවක් තිබුණා. ඒත් ඒකට ඉඩක් නැතිවුණ නිසා ඇගේ හිතට දැනෙමින් තිබුණේ සතාපයක්. මීට කලින් කවදාවත් පිට පිරිමියෙක්ට ආදරේ කරලා නොතිබුණ නිසාදෝ මේ දැනෙන හැඟීම් සේරම පහදගන්න, විසඳගන්න ආන්යා දැනගෙන හිටියේ නෑ. ඒත් ඈ එකම එක දෙයක් දැනගෙන හිටියා, ඒ ආර්යන් තමගේ ජීවිතේ ඉතාමත් විශේෂ පුද්ගලයෙක් කියලා. ඒ ආර්යන්ව හිතෙන් අයින් කරන්න බැරි තරමට, ඔහු හිතේ පැලපදියම් වෙලා කියලා. ඔවුන් දෙන්නා කතා කරලා තියෙන්නේ වචන දෙක තුනක් වුණත්, ආර්යන්ගේ ඇස් ඊට වඩා ලොකු කතාවත් ආන්යගේ හදවතට දනවලා තිබුණා. වචන නැතිවත් කොච්චර නම් දේවල් කතා කරන්න පුලුවන්ද?

2 comments:

  1. මම අදයි මේ කතාව කියෙව්වේ ගොඩක් ලස්සනයි ස්තුතියි අක්කි අනේ පොඩ්ඩක් වැඩියෙන් දෙන්න බැරිද ??

    ReplyDelete
  2. ලස්සනයි නෙතු..හැමදාම කියවනවා..ඒ නිසා පුලුවන් හැම විටම කොටසක් දෙකක් දාන්න.. :))

    ReplyDelete