Friday, February 17, 2012

දාහතරවන කොටස

පහුවදා ආන්යලා යන්න ලෑස්ති වෙද්දි අම්මා උන්නේ ඇස් වල කඳුලු පුරෝගෙන.ආන්යගේ හිතත් දුකින් බර වෙලයි තිබුණේ.
"අයියෝ අම්මා...මොකද මේ? අපි ඉතින් ගියාට ලබන සති අන්තේ එන්න බලන්නම්කෝ. මේ දවස් ටික ඉක්මණට ගෙවිලා යයි.හරිද?" අනුහස් අම්මව එක අතකින් තුරුල් කරගෙන කිව්වා.
ආන්යා උන්නේ තාත්තට හේත්තු වෙලා. තත්තා ඇගේ හිස අතගාද්දි ඇගේ නෙත් වලටත් කඳුලු ඉනුවා. රාධා, ගෝපි, නිත්‍යා වගේම සෙල්ලම්මත් සාලේ හිටගෙන බලාගෙන හිටියා.
"ලොකු මතියා...අර පෙරියදොරෙලගේ වාහනේ ආවා" ඉස්සරහා පැත්තේ ඉඳලා දුවගෙන ආපු රාමසාමි තත්තට කිව්වාම ආන්යගේ හිත අහේතුකවම සැලෙන්න ගත්තා.
"බඩු ටික ගන්නකෝ, අපි එලියට යමු" තාත්ත එහෙම කියලා ඉස්සෙල්ලම එලියට ගියා.
"මම අරන් එන්නම් බේබි" බෑග් එක අතට ගන්න යද්දි රාධා පැනලා ඒක ගත්තා.
"අපි ඔයාලට බායි කියන්න ආවේ" කොට කලිසමකිනුයි, ටී ෂර්ට් එකකිනුයි සැරසිලා උන්නු අභි ජීප් එකෙන් පනින ගමන් කිව්වා. ඒත් ආන්යගේ ඇස් තිබුණේ රියදුරු ආසනේ ලඟ.
"කොහොමද යන්නේ හැටන් වලට?" අභි ඇහුවාම උත්තර දුන්නේ තත්තා.
"මම ගිහින් දාලා එනවා"
"ඕන නෑ තත්තා අපි බස් එකේ යන්නම්" අනුහස් කිව්වා. ආන්යා අම්ම ලඟට වුණා.
"කැමති නම් අපි එක්ක යන්න පුලුවන්. මම උවමනාවකට කොහොමත් හැටන් යන්න හිටියේ අද" වාහනෙන් බැහැලා ආපු ආර්යන් තාත්තට කිව්වා.
"ඈං?" අභි ආර්යන් දිහා පුදුමෙන් බැලුවත් ඒක දැක්කේ ආන්යා විතරයි.
"අනේ ආර්යන් කරදර වෙන්න එපා" තාත්තා කිව්වා.
"කරදරයක් නෑ, කොහොමත් අපිත් යන එකනේ. මිස්ට වීරප්පෙරුමත් යනවානම් එන්න"
මොකක්දෝ හේතුවකට ආන්යාට අනුහස් දිහා බැලුණා.
"එහෙම යනවනම් ආයේ ඔයත් යන්න ඕන නෑනෙ නේද?" එහෙම කිව්වේ අම්මා.
"නෑ මම කිව්වේ කැමති නම් විතරක්-" ආර්යන් අපහසුතාවයට පත් වෙලා වගෙ කියන්න හැදුවත් තාත්තා මැදින් කතා කලා.
"නෑ, නෑ. ප්‍රශ්ණයක් නෑ. පුතාලට කමක් නෑ නේද?"
අනුහස් හිස් වැනුවේ මට නම් ඕන එකක් කියන්න වගේ. ආන්යත් හිස වැනුවා.
අම්මටයි, තාත්තටයි වැඳලා වාහනේට නගිද්දි සේරගේම කඳුලු ආයෙම අලුත් වුණා.
"වැඩ පාඩු කරගෙන ගෙදර එන්න ඕන නෑ හොඳද?" අම්මා ආන්යගේ මූණ ඉඹලා කිව්වා.
"පරිස්සමෙන් ඉන්න දුව" තාත්තා දුක හංඟ ගන්න අසාර්ථක උත්සාහයක් දරමින් කිව්වා.
"අපි ගිහින් එන්නම් රාධා, ගෝපි, කුට්ටි. සෙල්ලම්මා ගිහින් එන්නම්" ආන්යා වාහනේ වීදුරුවෙන් එබිලා කිව්වා. රාධා හෙමින්ම කඳුලු පිහිනවා ඈ දැක්කා. ඈ තොල හපාගෙන එන්න ආපු ඇඬුම වලක ගත්තා අමාරුවෙන්.
වාහනේ ගෙදර ගේට්ටුවෙන් පිට වෙලා එද්දි පිටිපස්ස ආසනේ උන්නු ආන්යාගේ හිතේ පිරුනේ ලොකු දුකක්. මාසයක් විතරම ගෙදර ඉඳලා ආපහු පේරාදෙණියේ යන්න ඈ තුල තිබ්බේ අකමැත්තක්. ඇස් අග රැඳුනු කඳුලක් පිහිද්දි එහා පැත්තේ උන්නු අනුහස් ආන්යා දිහා බැලුවා.
"අඬන්න  එපා මීනු. මේ සති අන්තේ ගෙදර එන්න බලමු" අනුහස්ගේ හඬට ඉස්සරහ උන්නු අභි පිටිපස්සට හැරුණා.
"අයියෝ...මොකද මේ?"
ආන්යා උකුල මත තිබ්බ තමන්ගේ අත් දෙකේ ඇස් රැඳෙව්වා.
"හැමදාම ඔහොම තමා. අනේ මන්දා බැඳලා එහෙම යන දවසට අපට බෝට්ටු අරන් එන්න වෙයි මෙයාගෙයි, අම්මගෙයි කඳුලු ගඟෙන් එතෙර වෙන්න" අනුහස්ට හැම එකක්ම විහිලු.
"අනේ යන්න අනූ" ආන්යා කිව්වේ අමනාපෙන්.
වාහනේ කලු වීදුරුව අතරින් අවට පෙනුනේ අඳුරු වෙලා, හරියට වහින්න වගේ. තමන් ආදරේ කරන තේ වතු, කඳු වැටි ආදිය පහු වෙද්දි ආන්යගේ හිත තවත් දුකින් බර වුණා විතරයි. ඒ සිතිවිලි සේරම එක්ක ආර්යන් වෙනුවෙන් ඉපදුන දුකකුත් කවලම් වෙලා තිබුණා. ඒත් වාහනේ පදවපු ඔහුව ආන්යට හරියට පෙනුනේ නෑ. බලන්න තරම් එඩිතර කම්ක් ඈට තිබුණෙත් නෑ. ඒ නිසාම මේ ගමන අතරතුර ඉස්සරහා කණ්ණාඩියෙන් සිය වාරයක් විතර ආර්යන්ගේ ඇස් ඈව නිරීක්ෂණය කල වග ඈ දැක්කෙත් නෑ.
හැටන් නගරයට එනකල්ම ආන්යා කතා කලේ නෑ. ආර්යන් කතා කලෙත් නෑ. හැබැයි මේ දෙන්නටම හරියන්න අනුහස්, අභිමන්යු දෙන්නා වාහන ගැනයි, බිලියඩ් ගැනයි, ක්‍රිකට් ගැනයි, ඔය වගේ මහා ගොඩක් දේවල් ගැන කතා කරමින් ආවා.
 වාහනේ නැවැත්තුවේ බස් නැවතුමට පොඩ්ඩක් කලින්, මොකද බස් නැවතුමේ වෙන වාහන නවත්තන්න බැරි නිසා.
"එන්න මීනු බහිමු"අනුහස් මුලින්ම බැස්සා.
ආන්යා බහින්න හදද්දි ඈට කලින් ආර්යන් බැහැලා ඇයට බහින්න දොර ඇරලා දුන්නා.
"හප්පා ලොරියකට බඩු නේද?"
වාහනේ ඇතුලෙන් අම්මා හදලා දීපු විවිධ දේවල් තියෙන බෑග් දෙක තුන අතට ගද්දි අභි ඇහුවේ හිනා වෙවී.
"දෙන්න මම ගිහින් දෙන්න" කරේ එක බෑග් එකක් එල්ලගෙන අත් දෙකට බෑග් දෙක දෙක ගත්තු ආන්යට ආර්යන් කිව්වා. වාහනේ දකුණු පැත්තෙන් බැහැපු නිසා ඒ පැත්තේ උන්නේ මේ දෙන්න විතරයි.
"ඕන නෑ" ආන්යා අදි මදි කලා.
"දෙන්න" ආර්යන් බලෙන්ම අත් දෙකේ තිබ්බ බෑග් හතරම තමන් අතට අරගෙන ආන්යට ඉස්සර වෙන්න දුන්නා.
"ආන්යට නම් නාට්ටාමි කෙනෙක් හම්බවෙලා" මේ දෙන්න දැකපු අභි හිනා වුණා.
"ඒයි, සුම්මා ඉරි. උදව්වක් කරන්න බෑ, කරන අයටත් හිනා වෙනවා. අනුහස් යමු ඉස්සර වෙන්න" ආර්යන් අභිට බැනලා අනුහස්ට කිව්වා.
"ඔන්න ඔයාට ජනේලේ අයින. මම ටක් ගාලා ගිහින් කන්න දෙයක් අරන් එන්නම් ඈ" ආන්යට බස් එකේ ඉඳගන්න තැනක් හොයලා දුන්න අනුහස් බස් එකෙන් බැහැලා ගියේ එහෙම කියාගෙන. ගෙනාපු බෑග් බස් එකේ බෑග් තට්ටුවට දාපු ආර්යන් ආන්යා ලඟට ආවා.
"ඔක්කොම හරි නේද?" ඔහු ඇහුවා.
"හ්ම්. තෑන්ක් යූ" ආන්යා කිව්වේ හිත බර වෙද්දි.
"එනි ටයිම්" එහෙම කියපු ආර්යන් කෙලින්ම ඈ දිහා නොබලා එහේ මේහේ බලමින් තව මොහොතක් හිටියා.
"එහෙනම් යන්න" ආන්යා කිව්වා.
ඒ පාර නම් ආර්යන් ඈ දිහා කෙලින්ම බැලුවා. ඒ ඇස් වල තිබුණේ දුකක්ද, වේදනාවක්ද මොකක්ද කියලා ආන්යා හොයා ගන්න කලින්  ඔහු ආයෙම අහක බලා ගත්තා.
"ටේක් කෙයා දෙන්" ඔහු වෙලා අරන් කිව්වා. ආන්යා හිස වැනුවා. තවත් වෙලා මොනවදෝ හිතමින් උන්නු ඔහු එක පාරටම ආන්යා අසලින් වාඩි වුණේ බස් එකේ දැන් දැන් සෙනග වැඩි වුණ නිසා. ආන්යගේ හිතේ ගිනි මැල කීපයක්ම පත්තු වුණා.
"අනුහස් දැන්ම ඒවි නේද?"
"ඔව් ඒවි"
ඊට පස්සේ ඔහු සාක්කුවට අත දාලා පර්ස් එක පිටට අරන් ඒකෙන් ඇදලා ගත්තු කාඩ් එකක් ආන්යට දික් කලා.
"මගේ කන්ටැක් ඩීටේල්ස්. මොනාහරි උදව්වක් ඕන වුණොත් කියන්න"
ආන්යා ඒක් අතට ගනිද්දි ඇගේ ඇඟිලි වෙව්ලුවා.
"තව මාසයක් විතර අපි වත්තේ ඉන්නවා. ඒ අතරේ මොනා හරි උවමනාවක් වුණොත් කියන්න" ඔහු ආයෙම කිව්වා.
"හ්ම්"
"එහෙනම් මම යන්නද?" ඔහු යන්න අවසර ඉල්ලද්දි ආන්යට දැනුනේ දුකක්. ඒත් ඈ මොනවා කියන්නද?
"හ්ම්" ඈ කලේ ආයෙම හිස වනපු එක.
"හොඳට ස්ටඩීස් කරන්න. මම යන්නම්"
එහෙම කියලා නැගිටලා යන්න ගිය ආර්යන් බහින්න කලින් ආයෙම ආන්යා දිහා බැලුවා. ආන්යත් බලාගෙන උන්නා. ඇස් හතරම මොහොතක් පැටලිලා එකිනෙකා දිහා බලා උන්නා. ආර්යන්ගේ ඇස් වල නොදන්න භාෂාවකින් ලියවුණ ලොකු කථාවක් තිබුණා කියලා ඔහු නොපෙනී ගියාට පස්සේ ආන්යට හිතුණා.
බස් රථය හෙමිහිට හැටන් නගරයෙන් ඈත් වෙද්දි, ඒ නගරේ කොහේ හරි තැනක තමගේ හිතේ කොටසක් අමතක වෙලා ආවා වගේ හැඟීමක් ආන්යට දැනුනා. හිත් දෙකටම හොරා , මුලු ලෝකෙටම හොරා, අලුත් ආදර කතාවක පුංචි බීජයක් ඒ මොහොතේ ඒ හිතක් ඇතුලේ පණ ලබමින් තිබුණා.


5 comments:

  1. @Glimmer Girl: dan font eka hodayida?

    ReplyDelete
  2. akki loku karade?? ane mate ae bawak danenne nane?? :( mage as wela prashneyakde danne na :( sorry akki mate akkite karadara karanewa,, ada post akth godak lassanay.. ida labene widihate anik kotesath danne hode :)

    ReplyDelete
  3. හරිම ලස්සනයි..කතාවෙ මෙතනට එනකන් ගොඩක් කල් බලන් හිටියා..:D
    font එකත් මේ ගාන හොඳයි

    ReplyDelete
  4. ඇත්තමයි නෙතු ෆොන්ට් ලොකු කරපු එක නම් හොදයි..කලින් එව්වා හරි අපහසුවකින් බැලුවේ..කතාව කියවගෙන කියවගෙන ආවා..තවත් තියෙනවා..අදම ඉවර කරගන්න හමුබුනොත් ශොක්..ආසයි කියවන් යන්න..ඔයාට පුලුවන්නේ ලස්සන නවල් එකක්ම හදගන්න මේ කතාවෙන්..ඔයා දක්ශයි..හරිම ලස්සනට ලියනවා..ඉතුරුවා කියන්නම් අනිත්වාත් කියොලා..

    ReplyDelete