Thursday, February 16, 2012

දහතුන්වන කොටස


"මට මේ දවස් වල ටිකක් වැඩ වැඩි නිසා හවස ඔය කියන වෙලාවට එන්න වෙන එකක් නෑ මීනු. ඔයා අනුහස් එක්ක ගිහින් එන්නකෝ, ඕන නම් රාධාවත් එක්කගෙන"
හවස නාරදගේ ගෙදර තියෙන පාටිය ගැන කිව්වාම තාත්තා කිව්වේ එහෙම. ආන්යා අම්ම දිහා බැලුවා.
"ඕක ඉතින් තරුණ ළමයින්ගේ වැඩක් නේ. මේ නාකි මම ඔතන ගිහින් මොනා කරන්න තාත්තත් නැතුව. ඔයාලා ගිහින් එන්න පුතේ" අම්මත් කිව්වේ එහෙම.
"ඒ වුණාට අම්මා ඒ අය මොනවත් හිතුවොත්?" එතන වෙලා එකල මෙකල වෙවී උන්නු අනුහස් කිව්වා.
"මොනා හිතන්නද. අපට වැඩ නිසා එන්න බැරි වුණා කියන්න. කොහොමටත් හෙට ඔය දෙන්නට ගෙනියන්න දේවල් හදන්නත් මට තියෙනවා" අම්මා උත්තර දුන්නා.
"එහෙනම් මම ගෝපිවත් එක්ක යනවා" අනුහස් කිව්වේ එතකොට සේරම හරි වගේ.
"හරි හරි. ඕන කෙනෙක් එක්ක යන එකයි. මම අම්මත් එක්ක රෑවෙලා එන්නම් කිව්වා කියන්නකෝ" තාත්තා එහෙම කියලා වැඩට යන්න පිටත් වෙන්න නැගිට්ටා.
හවස යන වෙලාව ලං වෙද්දි ආන්යා උන්නේ ටිකක් කැලඹිලා. ඇඳුම් ගණනාවක් අතරින් තෝරලා,  වාටියේ ලොකු කහපාට සූරියකාන්ත මල් සිත්තම් කරලා තිබ්බ සුදු පාට බෝරිච්චි අත් ගවුම ඇඳගත්තු ඇය, හිසකෙස් පීරලා යන්තමට ගැටගහගත්තේ කොණ්ඩ කැරලි පිට දිගේ විසිරෙන විදියට.
"මීනු තාම ඔයාගේ ෆැෂන් ෂෝ එක ඉවර නැද්ද? අපි රෑ කෑමට නෙවෙයි යන්නේ" අනුහස් එලියේ ඉඳන් කෑ ගහනවා.
කොහොමහරි අන්තිමේදි හවස හතරට විතර රාධායි, ගෝපියි එක්කම මේ දෙන්නත් නාරදගේ බංගලාවට යන්න පිටත් වුණා.
"හා...එන්න එන්න. අපි මේ මග බලාගෙන හිටියේ. අන්නා..." බංගලාවේ දොරකඩට වෙලා මග බලාගෙන හිටියේ අභිමන්යු.
ආන්යලා ගෙට යද්ද්දිම වගේ ආර්යනුත් ඉස්සරහට ආවා හිනාවීගෙනම. ඔහු සුසු පාටම සැහැල්ලු කමිසෙකිනුයි, කලිසමකිනුයි සැරසිලා උන්නා. ඒ ඇඳුමට ඔහුගෙන් පෙනුනෙ චාම් කඩවසම්භාවයක්.
"එන්න එන්න"
ඇතුලට යද්දි කවුදෝ වත්තේ ගෑනු කෙනෙක් මැද සාලේ අස් කරමින් හිටියා තව ගෑනු ළමයෙකුත් එක්ක.
"අපි හිතුවේ පරක්කු වේවි කියලා. නාරදගේ අප්පුගේ නෝනාවයි, දුවවයි ගෙන්නගත්තා මෙහේ පොඩ්ඩක් පිළිවෙල කර ගන්න. මොකෝ ඉතින් මෙහේ ගෑණු අය නෑනෙ" අභි කිව්වා ඒ දෙන්නව පෙන්නලා.
"වානි, මගේ යාලුවෙක් බේබි. මම ටිකක් හම්බෙලා එන්නද?" ඒ ගෑණු ළමයව දැකපු රාධා ආන්යට කියලා ඒ පැත්තට යන්න ගියා.
"වාඩි වෙන්න ආන්යා" අභි කිව්වා.
ආන්යා සාලේ තිබ්බ සැප පුටුවකට බර වෙලා වට පිට බැලුවා. සලේ අතන මෙතන කැරම් බෝඩ් එකක්, චෙස් ලෑල්ලක් වගේම කෑම කාමරේ පැත්තට වෙන්න තිබ්බ පොඩි කාමරේ බිලියඩ් බෝඩ් එකකුත් තිබ්බ වග ඈ දැක්කා.
"ෂා නාරද අයියා බිලියඩ් බෝඩ් එකකුත් ගෙනැල්ලද?" අනුහසුත් ඒ දැකලා ඇහුවා.
"නෑ. එක අපි ගෙනාවේ. කම්මැලිකමක් දැනුනාම ගහන්න" අභි කිව්වා. ආර්යන් ආයෙම ගේ ඇතුලට අතුරුදහන් වෙලා.
"අපි තේ බීලම කතාකරමු නේද?" ආයෙම කොහේදෝ ඉඳන් සාලෙට ආපු ආර්යන් ඇහුවා. ආන්යා බැලුවේ අනුහස් දිහා.
"ආන්යා එන්න" ආර්යන් ඈට කතා කලා.
තේ මේසේ තිබුණේ පෑන්ට්‍රිය තිබ්බ කොටසේ. චෙරි ගෙඩි වලින් හැඩ කරපු,සුදු පාටින් අයිසින් කරපු ලස්සන පුංචි කේක් ගෙඩියකුත්, කෙසෙල්ගෙඩි, තල කැරලි, බිස්කත් වගේම පැත්තක චොකලට් පෙට්ටියක් පවා තියලා මේසේ හැඩ කරලා තිබුණා.
"මේ හෝම් සයන්ස් වැඩ සේරගේම ක්‍රෙඩිට් එක අන්නට තමා" මේසේ දැකලා පුදුම වෙලා උන්නු ආන්යලට අභි කිව්වා.
"කේක් එක ගෙනාවේ කොහෙන්ද? හැටන් වලින් නම් වෙන්න බෑ" අනුහස් කිව්වේ මේසේ අසලින් වාඩි වෙන ගමන්.
"මගින් අරන් ආවේ" ආර්යන් කිව්වා.
"එහෙනම් බලාගෙන ඉන්න එපා පටන් ගන්න"
රාධායි , ගෝපියි  මේසෙන් වාඩි නොවී පැත්තකින් වෙනම ඉගෙනයි සංග්‍රහය භුක්ති වින්දේ. පුරුදු  පරිදි, කේක් කපන්නයි, තේ හදන්නයි වුණේ නම් ආන්යට. කැවිලි සේරගෙන්ම ටික ටික කාලා, කේක් ගෙඩියෙන් බාගෙකටම වග කිව්වට පස්සේ සේරම මේසෙන් නැගිට්ටා. තමන්ගේ තේ එකට සීනි වැඩි වුණ නිසා ආන්යා හිටියේ මත් වෙලා වගේ. තව එක පැණි රස දෙයක් හරි දැක්කොත් වමනේ යාවි කියලා හිතුණ නිසා ඈ ඉක්මණට ඉස්සරහ සාලෙට එන්න ආවා. එතන අස් කරන්න කලාට උදව් වෙන්න රාධා එතන නැවතුණා.
"මීනු එනවද බිලියඩ් ගහනවා බලන්න?" අනුහස් ඇහුවේ බිලියඩ් කාමරේ දිහාට ඇදෙන ගමන්.
"අනේ බෑ. මම ටිකක් එලියෙන් ඉන්නම්" එහෙම කියලා ඈ ඉස්තෝප්පුවට එන්න ආවා.
ආන්යගේ ගෙදර ඉස්සරහටත් වඩා නාරදගේ බංගලාව ලඟට අවට පරිසරය ලස්සනට පෙනුනා. ඈට කඳු වැටි මැද්දෙන් අහම්බෙන් පැටලුන සුදු පාට නූලක් වගේ පෙනුන ඔයා පාරක් පවා මෙතනදි ආන්යා දැක්කා. ඒ වගේම ගෙයි ඉස්සරහ තිබුණ කොල පාට ලස්සන මිදුල, මිදුල අයිනේ වවපු කහ, රතු පාට කැනාස් මල් පෙල, අතරින් පතර වැවුන දේසි මල්, මේ සේරම ආන්යගේ හිතට එකතු කළේ චමත්කාරයක්. මිදුල අයිනට වෙන්න තිබුණ විසාල මාර ගහේ පැතිරුණ ලොකු මුල ලඟ හදලා තිබ්බ කොන්ක්‍රරිට් බංකුව දිහාට ආන්යා ඇවිදගෙන ගියේ මේ ලස්සන තවත් හොඳින්ම විඳගන්න ඕන වුණ නිසයි.
ඒ බංකුවේ වාඩිවෙලා ආන්යා, මේ ලස්සන හවස් යාමය දිහා බලාගෙන උන්නේ ගොඩක් ආසාවෙන්. ඈ හැමදාමත් මේ පරිසරයට, මේ ලස්සනට කොයි තරම් නම් ආදරේ කලාද? මේ දැහැනින් ආන්යා එකපාරටම මිදුණේ ලඟින්ම ඇහුණ උගුර පාදන හඬක් නිසා. ඈ එක පාරටම හිස හරවලා බැලුවා.
"මම ඔයාව බය කලාද?" එතන හිටගෙන උන්නේ ර්යන්. ආන්යා යන්තම් හිනා වෙලා බිම බලා ගත්තා.
"නෑ"
"බිලියඩ් වලට ආස නෑ?" ඔහු ආයෙම ඇහුවා.
"නෑ, මම ඒක දන්න නෑනෙ" ආන්යා කිව්වේ ඇත්තම.
"මමත් එහෙමයි" ඔහු හිනාවෙලා මිදුලේ ඉස්සරහට ගිහින් මිදුලේ කොනේ තිබ්බ බීරලු වැට ලඟ නැවතුණා. ආන්යා ඔහු දිහා බලාගෙන හිටියා.
"ලස්සන්යි නේද?" ඔහු හිසින් ඈත පෙන්නලා ඇහුවා.
"හ්ම්"
ඔහු ආයෙම ආන්යා උන්නු දිහාට එද්දි ඇය ආයෙමත් බිම බලා ගත්තා.
"මම මෙතනින් ටිකක් වාඩි වුණාට කමක් නැද්ද?" ඔහු ආන්යා උන්නු බංකුවේ අනෙක් කෙලවර පෙන්නලා ඇහුවා.
"අනේ කමක් නෑ" ආන්යා කිව්වේ එන්න එන්නම වැඩි වෙන්න ගත්ත හද ගැස්මින් යුතුව.
ඔහු එතනින් වාඩි වෙලා අතේ තිබුණ තේ කෝප්පේ ආන්යයි ඔහුයි මැද්දෙන් බංකුව උඩින් තිබ්බා. ඊට පස්සේ මොහොතක් දෙකක් නිහඬවම ගෙවේලා ගියා. ආන්යා බය වුණේ තමන්ගේ හදගැස්ම ආර්යන්ට ඇහෙයිවත්දෝ කියලා.
"ආන්යා..." ආර්යන් එක පාරටම කිව්වාම ඈ ටිකක් ගැස්සුණා.
"ම්ම්"
"නෑ, මම මේ කියන්න හැදුවේ ඒ නම රෂියන් නේද කියලා"
"ඔව්"
"ඇයි ඔයාට ඒ නම් දාලා තියෙන්නේ?" ඔහු අහන්නේ බොහොම සාමාන්‍ය විදියට. හරියට දෙන්නම හුඟ කාලෙක ඉඳන් දැනගෙන උන්නා වගේ.
"ම්...අපේ තාත්තා රුසියන් කතා වලට ආසයි. ඒ නම ලස්සනයි කියලා හිතුණ නිසා දැම්මලු"
"ඔයා දන්නවද ඔයාගේ නමේ තේරුම?" ආර්යන් ආයෙම ඇහුවා.
"ම්...නෑනෙ"
"ඔයාගේ නමට භාෂා ගොඩකින් තේරුම් ගොඩක් තියෙනවා. රුසියන් භාෂාවෙන් ආන්යා කියන්නේ දයාන්විත කියන එකයි. හන්ගේරියානු භාෂාවෙන් ආන්යා කියන්නේ අම්මා කියන එක." ආර්යන් කිව්වාම ආන්යා හොඳටෝම පුදුම වුණා. ආර්යන් දන්න දේවල්! ඒත් ඇගෙ නම ගැන ඒ තරම් ඔහු දන්නේ කොහොමද?
"මම දන්නේ කොහොමද කියලද හිතන්නේ?" ඔහු ඇගේ හිත කියෙව්වා වගේ ඇහුවා. ආන්යා උත්තරයක් දුන්නේ නෑ.
"ඔයාගේ නම අමුතු එකක් නිසා, නිකම් ඉන්න වෙලාවක මම නිකමට ගූගල් සර්ච් එකක් දාලා බැලුවා" එහෙම කියලා ඔහු හිනා වුණා.
ඔහුට මොනා කියන්නද කියලා ආන්යට හිතා ගන්න බැරි වුණා. ඔහු එහෙම කලේ මොකද කියලා අහන්නත් බෑනෙ.
"තෑන්ක් යූ" ආන්යා අන්තිමේදි ව්චන දෙකක් ගැටගහගත්තා.
"ඒ මොකටද?"
"මගේ නමේ තේරුම කිව්වට. මම කවදාවත් එක දැනං හිටියේ නෑ"
ආර්යන් තමන් දිහා බලලා ආයෙම අහක බලාගන්නවා ආන්යා දැක්කා.
"ඔයා නොදන්න තව කොච්චර දේවල් තියෙනවද" ආර්යන් කිව්වේ බර කරලා. ආන්යා ඔහු දිහ බැලුවත් ඔහු උන්නේ වෙන කොහේදෝ බලාගෙන.
"ඒක ඇත්ත"
ඊට පස්සේ ආයෙම තප්පර ගාණක නිහඬතාවයක්. කොහේදෝ ඉඳලා ආපු හුලඟක් ආන්යගේ මූණ සිපගෙන, ඇගේ කෙස්ගස් අවුල්කරගෙන ඈතට ඇදිලා යන්න ගියා. ආන්යා හොරැහින් වගේ ආපහු ආර්යන් දිහා බැලුවෙ ඊයෙ ඇගේ හිස වැදිලා වුණ තුවාලේ මොකද බලන්න. 
"ඊයේ වුණ තුවාලේ දැන් හොඳද?" ආන්යා හෙමින් ඇහුවා.
"ආ...ඒකද? ඒක ඊයෙම හොඳ වුණා" ආර්යන් තොල යන්ත්මින් අල්ලලා බලලා කිව්වා.
 ආන්යා ආයෙම මුකුත් අහන්න ගියේ නෑ. ආර්යන් බංකුවේ ඇන්දට හේත්තු වෙලා යන්ටමඨ ආන්යා දිහාට හැරුණා.
"හෙට ගියාට පස්සේ ආයේ කවදද එන්නේ?" ආර්යන් අහපු විදියට ආන්යගේ හිත සසල වුණා.
"ඇයි ඒ?" ඇය නොහිතාම ඇහුවා.
"නෑ මම නිකමට ඇහුවේ. ඔයාලට එන්න ලඟ නිසා වීක් එන්ඩ්ස් වල එනවද කොහොමද කියලා" ආර්යන් තරමක් කලබල වෙලා වගේ කිව්වා.
"හැම වීකෙන්ඩ් එකකම එන්න වෙන්නේ නෑ. වැඩ අඩු දවසට එනවා"
"දෙන්නම එකටමද එන්නේ?"
"ඒත් නෑ. සමහර වෙලාවට විතරයි. ගොඩ වෙලාවට වෙන වෙනම එන්නේ"
"කැම්පස් ජීවිතේ කොහොමද මෙහේ?"
"අනේ මන්දා..තාම පටන් ගත්තා විතරනේ. දැනට නම් වරදක් නෑ"
"ම්ම්" ආර්යන් හිස වන වන අහගෙන හිටියා.
"මිස්ට ආර්යන් කවදාවත්-"
"ආයෙම මිස්ට කියනවා. මං කිව්වනේ එපා කියලා. එහෙම කියද්දි මට හිතෙන්නේ මම නාකි වෙලා වගේ"
ආර්යන් එහෙම කිව්වාම ආන්යට හිනා ගියා.
"ආර්යන් කිව්වාම ඇති"
"ඒ වුණාට මට එහෙම කියන්න බෑනෙ මට වඩා වැඩිමල් කෙනෙකුට"
"පිස්සු, එහෙම හිතන්න එපා"
"ම්ම්..එහෙනම්..." ආන්යා තැතනුවා.
"මොකක්ද?"
"ආර්යන් අයියා කියන්නද?" ආන්යා ඇහුවේ සැකෙන් වගේ.
"මොකක්ද?"
ඒ පාර ආන්යාට බයක් හිතුණා.
"මොකක්ද කියන්න"
"ආර්යන් අයියා?" ආන්යා නලල රැලි කරලා කිව්වා.
ආර්යන් මොහොතක්, දෙකක් මුකුත්ම නොකියා ආන්යා දිහා බලාගෙන උන්නා, ඊට පස්සේ ඔහු ආයෙමත් ඈත පේන කඳු දිහාවේ ඈස් රඳවගත්තා.
"එහෙම කියන්න"
ආන්යාට සැනසුම් සුසුමක් හෙලුණා. ඊට පස්සේ ගොඩක් වෙලා යනකල්ම දෙන්නා අතර කතාවක් ඇති වුණේ නෑ. ආර්යන් කල්පනා කරමින් ඉන්න අතරේ ආන්යා හිතට දැනෙමින් තිබුණ කැලඹිල්ල මැඩගන්න උත්සාහ කලා.
"ආන්යා මොනවද කල්පනා කරන්නේ?" හිටපු ගමන් ගහෙන් ගෙඩි එන්නා වගේ ආර්යන් ඇහුවා.
"මම? මොනවත් නෑ" ආන්යා ඉක්මණට කිව්වා. 'එයා කල්පනා කර කර ඉඳලා මගෙන් අහන්නේ මොනවද කල්පනා කරන්නේ කියලා' ආන්යා හිත ඇතුලෙන් තමන්ටම කියාගත්තා.
"ඔයා පේරාදෙනියේ බෝඩ් වෙලාද ඉන්නේ?" ඔහු ආයෙම ඇහුවේ කලින් අහපුදේට කිසිම සම්බන්ධතාවයක් නැති දෙයක්.
"නෑ. මම හොස්ටල් ඉන්නේ"
"කොහෙද, සංඝමිත්තාද?" ආර්යන් යමක් කමක් දන්න වග ආන්යට තේරුණා.
"නෑ, රාමනාදන්, ක්ලස්ටර්ස් වල. දන්නවද ඒක?"
"ම්හු, නෑ " ඔහු හිස වැනුවා.
"සංඝමිත්තා දන්නේ කොහොමද එහෙනම්?"
"මගේ පුංචිගේ දුව ඒකේ හිටියා ඒකයි"
"රාමනාදන් තියෙන්නේ මිත්තා එකට පහලින්, හෙල්ත් සෙන්ටර් එක පැත්තේ" ආන්යා කිව්වා.
"ආ එහෙමද?" ඔහු කිව්වේ වෙන කල්පනාවක ඉඳගෙන. මේ තරම් අහස පොලව ගැටලන්න වගේ ඔහු මොනවා කල්පනා කරනවද කියලා ආන්යා හිතුවා.
"අ...ම්..දැන් නම් යන්නත් වෙලාව හරි, මම පොඩ්ඩක් අනූලා ඉන්න දිහාවට ගිහින් එන්නම්" ආන්යා එහෙම කියාගෙන බංකුවෙන් නැගිට්ටේ තවත් ආර්යන්ගේ මේ උභතෝකෝටික හැසිරීම බලා ඉන්න බැරි තැන.
"හොඳයි" ඔහු ආන්යා දිහා නොබලම් කිව්වා.
ආන්යා බලාපොරොත්තු වුණේ ඒක නොවුනත් ඈ එන්න ආවා.

"හෙට උදේම යන්නේ නෑනෙ. මම එන්න බලන්නම්කෝ" අන්තිමේදි ආන්යලා යන්න ලෑස්ති වෙද්දි අභි කිව්වා. ආන්යා වටපිට බැලුවත් ආර්යන් පේන්න හිටියේ නෑ.
"ඕ කේ අභි. අපි දිගටම ටච් එකේ ඉමු. පාටි එකට ගොඩක් තෑන්ක්ස්. ඒක නෙවේ කෝ ආර්යන්?"
"මේ හිටියා නේද? අන්නා..." අභි ගේ ඇතුලට හැරිලා කෑ ගැහුවා. ඒත් ආර්යන් ආවේ එලියේ ඉඳලයි. 'ඔහු මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ එලියෙමද?' ආන්යා කල්පනා කලා.
"අපි යනව ආර්යන් අයියා එහෙනම්" යන්න එලියට බැහැපු ආන්යා ආර්යන් දිහා නොබලම කිව්වා.
"හ්ම්" ඔහු කිව්වේ එච්චරමයි. ඒත් ඔහුගේ හිත ඇතුලේ මොන තරම් දේවල් පෙරලි කරමින් තිබුණද කියලා ආන්යා එවෙලේ දැනගෙන උන්නේ නෑ.
"අයි විල් මිස් යූ මීනු" එහෙම කිව්වේ අභි.
"අපි ආයෙම හම්බවෙයි" ආන්යා හිනාවෙලා කිව්වා.
"මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙනවද?"
"ඒ මොකටද?" ආන්යා ඇහුවේ දඟකාර ලිලාවෙන්.
"කතා කරන්න නේ"
"අනේ බෑ. මට කනක් ඇහිලා ඉන්න නැති වෙයි" ආන්යා කිව්වේ බොරුවට.
"අපෝ තියාගන්න එකයි එහෙනම්"
ආන්යට හිනා ගියා. "අනේ මට මගේ නම්බර් එක මතක නෑ. අනුගෙන් ඉල්ලගන්න. ගිහින් එන්නම් එහෙනම්. තෑන්ක් යූ ෆෝ එව්‍රිතින්ග්"
ඈ එහෙම කියලා වටපිට ආයෙම බලද්දි ආර්යන් ආයෙමත් අතුරුදහන් වෙලා. ඈ සුසුමක් හෙලුවා.
කන්ද බැහැගෙන ආපහු එද්දි ආන්යා කල්පනා කලේ වෙච්ච දේවල් ගැන. ආර්යන් කියන්නේ තේරුම් ගන්න අමාරු චරිතයක් කියලා යට හිතුණා. ඒ ඔහු කතා කරන දේවල් වලින්වත් ඉරියව් වලින් වත් ඔහු හිතන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඈට බැරි වුණ නිසා.
"මොනවද අර යෝදයා ඔයා එක්ක පැය ගාණක් කතා කලේ?" අනුහස් එක පාරටම ඇහුවාම ආන්යා කල්පනා ලෝකෙන් බිමට වැටුණා.
"ම්..ආ...ඒකද? විශේෂ දෙයක් නෙවෙයි. නිකම් ආගිය තොරතුරු ඇහුවා"
"මිනිහා මගෙන් ඇහුවේ නෑනෙ" අනුහස් කිව්වාම රාධා ආන්යා දිහා ඇස් කොනකින් බලලා හිනා වුණා හොරෙන්.
"ඉතින් මගේ ගැන ඔයාගෙන් අහන්න ඕන නෑනෙ. එහෙම අහන්නෙ මොකටද? හරියට මගුලක් ජෝඩු කරන්න වගේ" ආන්යා කිව්වා.
"අනේ මන්දා, අභි වගේ නෙවෙයි ආර්යන් හරි අමුතුයි" අනුහස් කිව්වේ කල්පනාබරව.
"ඉතින් මගෙ මොකෝ. එක දවසක් කතා කලා විතරනේ"
අනුහස් ආන්යා දිහා බලලා මොනවදෝ කියන්න හැදුවත් පස්සේ ඒක ගිල ගත්තා.
"අනූ...මනුස්සයෙක් අමුතුයි කියන්නේ නරකයි කියන එක නෙවෙයි නේ"
"ඒකනේ දොරේ. වත්තේ අය නම් කියන්නේ ඒ මහත්තයා දෙවියෝ වගේ කියලා. මනි මහත්තයාට වඩා හොඳයි කියලා" මේ කතාවට කන් දීගන උන්නු ගෝපි මැදින් පැන්නා.
"ඔව් ඔව්. ගෝපි සහතික කලා නම් ඉතින් හරිම තමා" අනුහස් කිව්වේ නක්කලේට වගේ.
"ඉතින් එයා මොන වගේ වුණාම මොකෝ? අපි ඉතින් මෙහේ සදාකල් එයාලා යටතේ වැඩ කර කර ඉන්නේ නෑනෙ, අනික ඉතින් සීරියස් මොනවත් එයාලා එක්ක අපේ නෑනෙ" ආන්යා කිව්වත් ඒ හිතට එකඟව නෙවෙයි.
ගලපගන්න, තෝරගන්න, හිතාගන්න අමාරු හැඟීමකුයි ආර්යන් ගැන ඇගේ හිතේ තිබුණේ. ඒත් කොයිම වෙලාවකවත් ඔහු ගැන වැරදි යමක් හිතන්න ඇගේ හිතට පුලුවන් වුණේ නෑ. ඒත් අනුහස් බය වුණේ ආර්යන්ට නෙවේ, ඔහු ගැන කියද්දි දිලිසෙන ආන්යගේ ඇස් දෙකට කියලා ආන්යා දැනගෙන උන්නේ නෑ.


1 comment:

  1. ගොඩාක් ආසාවෙන් කියවන කතාවක් මෙික. ඔයාගේ වැඩත් පාඩු කර ගන්නේ නැතුව ඊලග කොටසත් ඉක්මනටම දාන්න...!!!!

    ReplyDelete