Monday, June 8, 2015

විහංඟනාවී- දහ අටවන කොටස



පහුවදා අයුමි ඔෆිස් ගියේ කිසිම ආසාවකින් නෙවෙයි යන ඕන හන්දමයි. රවීන්ගේ හිත රිද්දපු කතා බහ අමතක කරන්න ඈට තවමත් පුලුවන් වෙලා තිබුණේ නෑ.  යන්තම් උදේට කාලා, වැඩ කරන්න ලැප් ටොප් එක හෙම ඇරගෙන ලෑස්ති වෙද්දිම ඇගේ කාමරේ දොර ඇරුණේ ඈව ටිකක් විතර තිගස්සවමින්. ඈ දොර දිහා බලාගෙන ඉද්දි දොරෙන් එබුණේ වෙන කවුරුවත් නෙවෙයි රවීන්.
"ගුඩ් මෝනින් අයුමි" රවීන් කිසිම වෙනසක් නැතිව ඈට සුබ පැතුවා.
"ගුඩ් මෝනින් මිස්ටර් රවීන්" ඈ කිව්වේ අසුනින් නැගිටලා.
"පොඩ්ඩක් එන්න පුලුවන්ද මගේ රූම් එකට" රවීන් දොර ලඟින් මෑත් වෙලා යන්න ගියේ එහෙම කියාගෙන.  ටිකකින් අයුමි ලැප්ටොප් එකයි, නෝට් පොතයි අරන් රවීන්ගේ කාමරේට ගියා.
"වාඩිවෙන්න. උදේට කාලා හෙමද ඔය ඉන්නේ?"  රවීන් ඇහුවේ ඈට ආසනය පෙන්වන ගමන්.
"ඔව්" අයුමි හෙමින් වාඩි වුණේ ඔහු දිහා වැඩිපුර නොබලා.
" අපට අලුත් ප්‍රොජෙක්ට් එකක් හම්බවුණා" රවීන් කිව්වේ ඔහුගේ අසුනට බර වෙන ගමන්.
"ඇත්තද, මොකක්ද තැන?" අයුමි ඇහුවේ ලැප්ටොප් එක දිගාරින ගමන්.
"නයිට් ක්ලබ් එකක්" රවීන් කිව්වේ හිනාවක් පාලා.
ඊයේ තිබුණ නපුරුකම, තරහා, ඒ කිසිම දෙයක් අද ඒ මූණේ පේන්න තිබ්බේ නෑ. ඒ හන්දම අයුමිට ඔහුව පෙනුනේ තවත් ගුප්ත විදියට. කොහොමවුණත් ඈ හිතාගත්තා පරෙස්සමින් හැසිරෙන්න.
" නයිට් ක්ලබ් එකක්?" ඈ වැඩේට යොමු වෙන්න උත්සාහ කරන ගමන් ඇහුවා.
"ඔව් ඔව්. ඒක මේ මගේ දුරින් නෑදෑ වෙන cousin කෙනෙක්ගේ වැඩක්. ඔයාට මතකද මන්දා අර ඊයේ ලේඩි කෙනෙක් ඇවිත් ගියේ. එයා ඒකේ එක partner කෙනෙක්" රවීන් කිව්වා.
"කවුද අර ඊයේ දවල් ඇවිත් හිටපු ලේඩි ද?" අයුමි ඇහුවා.
"ම්ම්" රවීන් හිස වැනුවේ ඇගේ දෙනෙත් මගෑරලා.
අයුමිට හීන් සුසුමක් හෙලුනේ, රවීන් කියන්නේ ඇත්තම නෙවෙයිද කියලා හිතුණ නිසා. ප්‍රොජෙක්ට් එක ගන්න හදන්නේ ඒ ලේඩි හන්දද කියලත් ඈට සැකයක් මතුවුණා.
"මම එයාව ටික කාලෙක ඉඳන් දන්නවා" ඊලඟට රවීන් කිව්වා.
'මට පෙනුනා ඒ වග' අයුමිට එහෙම කියන්න හිතුණත් ඈ හිස වැනුවා විතරයි.
"ලබන සතිය දිහාට අපට පුලුවන් එහේ ගිහින් බලන්න" රවීන් ඊලඟට කිව්වා.
"කොහෙද තියෙන්නේ තැන?"
"බම්බලපිටියේ"
අයුමි ඒ පාර ඒක ඇගේ නෝට් පොතේ ලියාගත්තා.
"හරියටම යන දවසක් කියන්න පුලුවන්ද දන්නෑ" අයුමි ඇහුවේ රවීන් දිහා ඇස් උස්සලා බලමින්.
"බදාදා විතර දා ගමු නේද? මම අනික් දවස් දෙකේ බිසී මේ අයියගේ කම්පැනි එකේ වැඩ වගයක් හන්දා" රවීන් කිව්වම අයුමි ආයෙම ඔහු දිහා බැලුවේ හිතේ පුංචි ගැස්මක් එක්ක.
" එතකොට මිස්ටර් රවීන් ඒ දවස් දෙකේ ඔෆිස් එන්නේ නැද්ද? අඟහරුවාදා අර සී සයිඩ් කැෆේ එක බලන්න යන්න දාගෙන තියෙන්නේ. "
අයුමි ඇහුවම රවීන් හිනාවක් පෑවේ ඈ දිහා තප්පර කීපයක් බලාගෙන ඉඳලා.
"එනවා. නෑවිත් කොහොමද? ඒත් එලියට යන්න අමාරුයි වැඩ හන්දා. අඟහරුවාදා වැඩේට ඔයාට සමින්ද එක්ක යන්න පුලුවන් නේ?" ඔහු කිව්වා.
"ඔව්. එහෙම කරන්න පුලුවන්" අයුමි හිස වැනුවා.
ඊලඟට අයුමි නෝට් පොතේ විස්තරේ ලියාගෙන රවීන් දිහා බැලුවේ 'එච්චරද' අහන්න වගේ.
"අනිත් ප්‍රොජෙක්ට් ඔය යන විදිය OK. ඒවා ඉවර වුණාම අපි අපේ proposal එක ආයෙම ටිකක් revise කරමු. අයුමිට පුලුවන් නම් අලුත් theme දෙක තුනක් design කරන්න බලන්න. අපේ design portfolio එක වැදගත් නේ" රවීන් කිව්වේ කලින්දා කියපු එකමයි.
"හා. එච්චරයි නේද මිස්ටර් රවීන්?" ඈ ඇහුවා.
"වැඩ ගැන නම් එච්චරයි" රවීන් කිව්වේ අයුමිගේ මූණ දිහා බලාගෙන.
"හරි. මම ඒ වැඩ ටික එහෙම කරන්න arrange කරන්නම් එහෙනම්" අයුමි කිව්වේ නෝට් පොත වහලා යන්න ලැස්ති වෙන ගමන්. ඒත් ඈට දැනුනා රවීන්ගේ දෑස් තාමත් තමන් දිහාට යොමු වෙලා තිබ්බ වග.
"පොඩ්ඩක් ඉන්න"
අයුමි නැගිටින්න යද්දි රවීන් කිව්වේ වෙනස්ම ස්වරයකින්. හරියට ආයාචනයක් කරන්නා වගේ. අයුමි ප්‍රශ්ණාර්ථයක් දලවගෙන ඔහු දිහා බැලුවා.
"උදේ පොඩි වැඩකට එලියට යන්න තියෙනවා. ඔයා මා එක්ක එන්න ඕන" රවීන් කිව්වා.
"කීයට විතරද?"
"දැන්"
"දැන්?"
"ඔව්. ඔයා ලැප්ටොප් එක තියලා පහලට එන්න" රවීන් කිව්වා.
අයුමි හිස වනලා ඔහුගේ කාමරෙන් එලියට ආවේ ඒ ගමන කොහේ යන එකක්ද කියලා හිතමින්. මොකද කලින් එහෙම ගමනක් යන්න දාගෙන නොතිබ්බ හන්දා.
"කොහේ හරි යන්න ?" අයුමි නෝට් පොතයි, හෑන්ඩ් බෑග් එකයි අරන් පහලට බහිද්දි ඇහුවේ ප්‍රියන්ති.
"ම්ම්. සර් ආවද පහලට?"
"ආන් එනවා" ප්‍රියන්ති පෙන්නුවේ ඇස් වලින්. මොකද ඒ වෙද්දි රවීන් පහලට බහිමින් උන්නු නිසා.
ටිකකින් අයුමි උන්නේ රවීන්ගේ වාහනේ ඉස්සරහ වාඩි වෙලා, මේ කොහේද යන්නේ කියලා අහන්න කට නලිය නලිය. ඒත් රවීන් කතා කරන්න ඕන වගක්වත් පෙන්නුවේ නෑ. වාහනය ඇදුනේ බොරැල්ල දිහාවට.
"නෝට් බුක් එක අරන් ආවේ ඇයි?" අයුමි මොනවත් අහන්න කලින් කතාව පටන් ගත්තේ රවීන්.
"? ඇයි වැඩකට නේද යනවා කිව්වේ?"
අයුමි ඇහුවම රවීන් ඈ දිහා යන්තම් බලලා හිනාවක් පෑවා විතරයි. අයුමි අන්ද මන්ද වෙලා කල්පනා කරමින් ඉන්න අතරේ බොරැල්ලෙන් අතුරු පාරකට හරවපු රවීන්ගේ වාහනේ අන්තිමේදි නතර කලේ ඒ හරියෙම තිබ්බ අවන්හලක් ලඟ. අයුමි රවීන් දිහා බැලුවේ පුදුමෙන්.
"බහින්න. මම තාම උදේට කාලා නෑ" රවීන් කිව්වේ වාහනෙන් බැහැලා ඇවිත් අයුමිට දොර ඇරලා දෙන ගමන්.
අයුමි වාහනෙන් බැස්සේ හොඳටම වික්ෂිප්ත වෙලා. රවීන් මේ කරන්නේ මොනාද කියලා ඈට තේරුණේ නෑ.
"මොකද මේ බය වෙලා වගේ? එන්න යන්න" රවීන් අවන්හලේ දොර ඇරලා ඈට ඉඩ දෙන ගමන් කිව්වා.
අවන්හල ඇතුලේ තිබුණේ හරි ලස්සන, පොෂ් ගතියක් කියලා බැලු බැල්මට අයුමිට හිතුණා. රවීන් ඈ එක්ක ගිහින් වාඩි වුණේ කොනක තිබ්බ මේසයක් ලඟ. උස, සැප පුටුවක වාඩි වෙලා අයුමි වට පිට බලද්දි රවීන් ඈ දිහා බලාගෙන උන්නේ සිනාමුසුව.
"මොකද මේ?" ඔහු ඇහුවේ හෙමින්.
"මම උදේට බෝඩිමෙන් කාලා ආවේ. මට නම් කන්න ඕන නෑ" අයුමි කිව්වේ හෙමින්.
රවීන් හිනාවුණා. ඒත් ඔහු මොනවත් කියන්න කලින් හෝටලේ සේවකයෙක් ඇවිත් මෙනු එකක් දීලා යන්න ගියා.
"එහෙම බෑ. ආවා නම් මොනා හරි කන්නම වෙනවා"
රවීන් කිව්වේ සරදමට වගේ. අයුමි ඔහු දිහාට හෙලුවේ අසරණ බැල්මක්.
"relax අයුමි. අපි ඉක්මනින් මොනා හරි කාලා බීලා වැඩේට යමු. හරිද? දැන් ඔතනින් මොනා හරි ඕඩර් කරන්නකෝ" රවීන් කිව්වේ ඈව සනසන ස්වරයකින්.
අයුමි දැනගෙන උන්නේ නෑ ඒ මෙනු එකේ බොන්න තිබ්බ ජාති මොනාද කියලාවත්. ඒ හන්දා රවීන්ම බාරගත්තා ඈට එක්කම ඕඩර් කරන්න. අන්තිමේදි ඕඩර් කරලා ඉවර වෙලා කෑම ගේනකල් ඉන්න වෙලේ අයුමි උන්නේ ඈත දාලා තිබුණ ලොකු රූපවාහිනී තිරය දිහා බලාගෙන.
"X-men. අපේ පුතා හරි ආසයි ඔය ෆිල්ම් එකට"
රවීන් එහෙම කියද්දියි ඈට තේරුනේ ඔහුත් උන්නේ රූපවාහිනිය දිහා බලාගෙන වග.  තිරයේ දිගෑරුණ සටන් ජවනිකා දිහා අයුමි ඔහේ ටික වෙලාවක් බලාගෙන උනා.
"අයුමි..." ඊලඟට ඔහු ඈව ඇමතුවේ ඈ තාමත් රූපවාහිනිය දිහාම බලාගෙන ඉද්දි.
"ම්ම්?" ඈ ඔහු දිහා බැලුවා.
"ඊයේ...හවස වෙච්ච දේට I am sorry" ඔහු කිව්වේ ස්වරය බර කරලා.
අයුමි මුකුත් කියාගන්න බැරිව බලාගෙන උන්නා මොහොතක්.
"ඊයේ හවස මේ වෙන ප්‍රශ්ණෙකට මගේ ඔලුව අවුල් වෙලා තිබුණේ. ඒක ඔයාගේ පිටින් ගියේ නිරපරාදේ. ප්ලීස් ඒක අමතක කරන්න"
"ඒක එච්චර දෙයක් නෙවෙයි. වැඩ කරද්දි එහෙම දේවල් වෙන වග මම දන්නවා. ඒකට කමක් නැහැ" අයුමි කිව්වා. ඔහු දිහා ඇස් කොනකින් බලලා.
" එහෙම නෙවෙයි. ගෙදර යද්දි මට හිතුණා මම ඔයාගේ හිත රිද්දුවද කියලා" රවීන් කිව්වා.
"නෑ" අයුමි බොරුවක් කිව්වා, ඒත් ඔහු දිහා නොබලම.
මම ඔයාට කෝල් එකකුත් දුන්නා. ඊට පස්සේ මම දැක්කා ඔයා කෝල් කරලා තියෙනවත්. ඒත් ගෙදර ගියාම මට කෝල් කරන්න නිවනක් නෑ
"ඒකට කමක් නෑ"
"ම්ම්" රවීන් සුසුමක් හෙලලා මොහොතක් නිහඬවම අයුමි දිහා බලාගෙන උන්නා. ඈට දැනුනේ නොසන්සුන්භාවයක් ඒ හන්දා.
"ඊයේ ඩෝනට් එක කෑවද?" රවීන් ඊලඟට ඇහුවේ යන්තම් හිනාවක් පාල.
අයුමිට එක පාරටම ඔහු දිහා බැලුණේ ඈ ඒ ප්‍රශ්ණය අපේක්ෂා නොකරපු එකක් හන්දා. ඒත් සැනින්ම අහක බලාගත්තු ඈ යන්තමින් හිස වැනුවා.'ඔව්' කියන්න. බොරුවට.
"රීටා එක්ක බේරෙන්න බැරි වුණා ඩෝනට් කන්න යන්න ඕනයි කියලා. පොඩි එකෙක් වගේ. පිස්සුවේ හොඳ එක ඒක. මම නම් පැණි රස කන්න ආස නෑ. ඒත් ඉතිං නොගිහින් බැරි හන්දා ගියා. ඒත් මට ඔයාලා මතක් වුණා" රවීන් කිව්වා.
"මතක් වෙච්ච එකත් ලොකු දෙයක් නේ මිස්ටර් රවීන්. හැමෝම ආස වුණා ඒ ට්‍රීට් එකට ඊයේ" අයුමි කටට ආවට කිව්වේ මොනා හරි කියන්න ඕන හන්දා. 
"ඔයා හිතාගෙන ඉන්නේ මට මතක් වෙන්නේ නෑ කියලද?" ඒ පාර රවීන් ඇහුවේ අමුතු ස්වරයකින්.
අයුමිගේ හිතේ නොසන්සුන් වුණා ඒ ස්වරයට. ඈ කලේ බිම බලාගත්තු එක.
"ම්ම්?" රවීන් ආයෙම ඇහුවා.
"නෑ...මං...එහෙම හිතුවා නෙවෙයි" අයුමි කිව්වේ තතනමින්.
රවීන් ආයෙම ලොකු හුස්මක් අරන් පුටුවේ ඇන්දට හේත්තු වුණේ අයුමි දිහා බලාගත්වනමයි.
"ඔෆිස් එකට ඉඳහිට යන එන අය හන්දා, ඒකේ ඉන්න අය මට අමතක වෙනවා කියලා ඔයා හිතුවද?"
අයුමි ඒකට උත්තරයක් දෙන්න ගියේ නෑ. ඈ නොසන්සුන් වුණ වග සමහරවිට රවීන්ට දැනෙන්න ඇති. ටිකක් වෙලා අයුමි දිහා දෑස් කොනකින් බලමින් නිහඬව උන්නු ඔහු ඊලඟට ආයෙම වැලිමිටි වලින් මේසේට බර වුණේ, දෙනා අතර තිබුණ පරතරය අඩු කරමින්.
"මම ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද?"
රවීන් අයුමිගෙන් ඇහුවේ ඇගේ හදගැස්ම වැඩි කරමින්. ඒත් ඈ ඒ වග නොපෙන්වා ඔහු දිහා බැලුවා.
"අහන්න මිස්ටර් රවීන්"
"ඔයා හිතන්නෙත් මං මහා නරක මිනිහෙක් කියලද?"
රවීන් එහෙම ඇහුවම අයුමි ඔහු ඔහු දිහාට ඉකමණ් බැල්මක් හෙලුවේ විමතියකින්.
"අනේ නෑ. සත්තකින්ම නෑ. මම එහෙම හිතන්නේ මොකටද?" අයුමි කිව්වේ අවංකවම.ඇයි...ඇයි එහෙම අහන්නේ?”
ඈ එහෙම ඇහුවම රවීන් යන්තමට හිනාවක් පාලා හිස පාත්කරගත්තා.
"ඔයා හිතන්නේ office එකේ වැඩ කරන මිනිස්සු මා ගැන හිතන විදිය මම දන්නේ නෑ කියලද? මම දන්නවා ඒ අය මම නැති තැන මං ගැන කතා වෙන වග. කතා වෙන්නේ මොනවගේ දේවල්ද කියලත් මම දන්නවා" රවීන් කිව්වම අයුමිගේ හිතේ පිරුණේ බයක්.
"මිස්ටර් රවීන් හිතන්නේ මමත් එහෙම කෙනෙක් කියලද?" අයුමි එක පාරටම ඇහුවම රවීන් ඈ දිහා බැලුවේ දයාබර බැල්මකින්.
"ඔයා එහෙම නෑ කියලා මම දන්නවා අයුමි. ඔයා තාම අලුත් හන්දා දේවල් දකින්නේ open mind එකකින් කියලා මම දන්නවා. මම ගැන මොනා කිව්වත් අනික් අය ගැන වුණත් මගේ අහිතක් නෑ. මොකද කිව්වොත්, ඒ මිනිස්සුන්ට එහෙම හිතෙන්න හේතුව මගේම වැරදි හන්දා" රවීන් කිව්වා.
"මට තේරෙන්නේ නෑ මිස්ටර් රවීන් මේ මොනා කියනවද කියලා" අයුමි කිව්වා.
"ඔව්. ඒකම තමයි අනික් අයටත් තියෙන ප්‍රශ්ණේ. කාටවත් මාව තේරුම් ගන්න බෑ"
රවීන් කියද්දි අයුමි බලාගෙන උන්නේ මොනවත්ම හිතාගන්න බැරිව. ඔහු මේ දේවල් මේ වෙලාවේ කියන්නේ ඇයි කියලා ඈට තේරුණේ නෑ.
"මමත් ඇතුලුව අපි හැමෝම,  මිස්ටර් රවීන් ගේ  කම්පැනියේ සේවකයෝ. මිස්ටර් රවීන් මේකේ අයිතිකාරයා. අපට අයිතියක් නෑ මිස්ටර් රවීන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන හොයන්න. අපට වැදගත් වෙන්නේ අපි කරන වැඩෙයි, ඒක හරියට වෙනවද කියන එකයි විතරයි..."
අයුමි එහෙම කිව්වේ රවීන් තුල තමන් ගැන හෝ, ඔෆිස් එකේ වැඩ කරන අනික් අය ගැන වැරදි වැටහීමක් ඇති නොවෙන්න ඕන හන්දා. ඒත් ඈ ඉවර කරන්න කලින්ම රවීන් ඈ දිහාට හෙලපු තියුණු බැල්ම ඇගේ කතාව මගදිම නතර කලා.
"ඔයා හිතන්නේ එහෙමද?"
"ම්ම්" අයුමි හිස වැනුවා.
"ඒ කියන්නේ මම රීටා එක්ක ආවත්, සැන්ඩ්‍රා හරි ජූලි හරි එක්ක ආවත් ඔයාට ප්‍රශ්ණයක් නෑ කියන එකද?"
රවීන් එහෙම ඇහුවම අයුමි ඇත්තටම බය වුණා. ඒ ප්‍රශ්ණේ එහෙම තමන්ගෙන් අහන්න ඕන එකක් නෙවෙයි කියලයි ඈට හිතුණේ.
" අනේ දෙයියනේ මම මොනවා හිතන්නද? අනික මම හිතන දෙයින් ඇති වැඩේ මොකක්ද? මම ඉස්සෙල්ල කිව්වා වගේ අපි සේවකයෝ විතරයි. අපි කොහොමද මිස්ටර් රවීන්ගේ පෞද්ගලික දේවල් විවේචනය කරන්නේ? ඒකට අපිට කිසිම අයිතියක් නෑ"
රවීන් අයුමි දිහා බලාගෙනම ඉඳලා අන්තිමේදි හිස පාතට හෙලාගත්තා.
" හැමෝම ඔයා වගේ හිතන්නේ නෑ අයුමි. හැමෝම වැරදි දකිනවා විතරයි. ඒවට පිටිපස්සෙන් තියෙන හේතුව කවුරුවත් දකින්න උත්සාහ කරන්නේ නෑ. හැම දේකටම හේතුවක් තියෙනවා. හැමදේකටම. ඒ හේතු හන්දම අපි විවිධාකාර පැති වලට තල්ලු වෙලා යනවා. අන්තිමේදි හොඳ හෝ නරක නොබලා තියෙන විකල්පෙක අපි එල්ලීගන්නව. ඒ කොහොමහරි ජීවත් වෙන්න ඕන නිසා. ප්‍රශ්ණ මත්තෙම නැහීගෙන පිස්සු වැටෙන්න බැරි හන්දා. ඒක වරදක්ද?" රවීන් අයුමි කියපුවා නෑහුණා වගේ ඇහුවා.
"මට තේරෙන්නේ නෑ මිස්ටර් රවීන් මේ කියන්නේ මොනාද කියලා" අයුමි කිව්වේ හීන් බයක් ආයෙම හිතේ හොල්මන් කරද්දි.
රවීන් සුසුමක් හෙලුවා. ඕඩර් කරපු බීම දෙක ගෙනැත් දීලා යන්න වේටර්වරයා ආපු හන්දා ඒ කතාව මොහොතකට නතර වුණා.
"මම කියන්නේ මෙතන ඇත්තටම තියෙන දේ. ඒත් මම හිතන්නේ මට ඔයාට කියන්න ඕන මෙච්චරයි. මම ගෑණු ආශ්‍රය කරන එක ඇත්ත. ඒත් මම එක එක ගෑණු එක්ක රට වටේ රවුම් ගහන සෙල්ලක්කාරයෙක් නෙවෙයි අයුමි. මම එහෙම කරන්නේ නෑ, මොකද මම ඒ වගේ සෙල්ලමක victim කෙනෙක් වුණ හන්දා එක කාලෙක. මම කවදාවත් මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්නේ නෑ"  වේටර්වරයා ගියාට පස්සේ රවීන් කිව්වේ අවධාරණයෙන් වගේ.
අයුමි උන්නේ හොඳටම රත් වෙලා. රවීන් මේ දේවල් මෙහෙම ඈට කියන්නේ ඇයි කියන එක ගැන ඇගේ හිතේ තිබ්බේ අනියත බයක්.
"ඇයි මිස්ටර් රවීන් මට මේ දේවල් කියන්නේ?" අයුමි ඇහුවේ ඒ හන්දමයි.
"මං දන්නෑ..." රවීන් කිව්වා.
අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ ඒ උත්තරෙන් ඈට සෑහීමකට පත් වෙන්න බැරි හන්දා. රවීන් ඈ දිහා බලාගෙන උන්නේ මොකක්දෝ වේදනාවක් පිරුණ ඇස් වලින්. ඒ බැල්ම අයුමිගේ හිත පුදුමාකාර විදියට සසල කලා. අන්තිමේදි මුලින්ම බිම බලාගත්තෙත් ඈමයි. හදිසියේම පියවි ලෝකෙට ආවා වගේ හැඟීමක් එක්කම ඈට දැනුනේ මහා වරදකාරී හැඟීමක්.
"එදා මම රීටා එක්ක එලියට එද්දි, ඔයා එතන හිටියා. මම දැක්කා ඔයාගේ මූණ වෙනස්වුණා කියලා. එවෙලේ මට දැනුනේ මහා වරදකාරී හැඟීමක්. මට හිතුණා ඔයත් මාව මහා සෙල්ලක්කාරයෙක් විදියට දකින්න ඇති කියලා. මම දන්නෑ අයුමි...මම දන්නෑ ඇයි ඔයා එහෙම හිතනවට මම එච්චර අකමැති කියලා"
රවීන් කිව්වම අයුමිව ගැහෙන ගත්තා. ඈ ඉස්සරහ තිබ්බ වීදුරුව තද කරලා අල්ලගෙන උන්නේ රවීන් දිහා නොබලා. ඒත් ඒක රවීන්ට දැනුන වගක් පෙනුනේ නෑ. ඔහු දිගටම කතා කරගෙන ගියා.
"ප්‍රශ්ණේ ඒක විතරක් නෙවෙයි.මේ ගෙවෙන්නේ මට හරි අමාරු දවස් ටිකක්. මම ඉන්නේ වෙනදා මම ඉන්න මානසිකත්වයෙන් නෙවෙයි. මම ඊයේ ඔයාට rude වුණෙත් ඒ හන්දම වෙන්න ඇති. මම දන්නෑ මට මොනා වෙලාද කියලා ඇත්තටම"
රවීන් කිව්වම අයුමි එක පාරක් ඇස් උස්සලා ඔහු දිහා බැලුවා. ඔහු උන්නේ හිස පාත් කරගෙන, ලොකු වේදනාවකින් වගේ. අයුමිගේ හිත එකපාරටම පිරුණේ ලොකු අනුකම්පාවකින්.
"ප්‍රශ්ණ හැමෝටම තියෙනවා නේ මිස්ටර් රවීන්. ඒවට මූණ දෙන්න අපට සිද්ධ වෙනවා" අයුමි කිව්වේ හෙමින්.
රවීන් ඒ පාර හිස උස්සලා අයුමි දිහා බැලුවා. ඒ දෑස් වල පවා තිබ්බ ආයාචනය අයුමිගේ හිත පතුලටම දැනුනා. 
"මම වෙන අයට වඩා ප්‍රශ්ණ ගොඩකට මූණ දුන්නු කෙනෙක් අයුමි. මහා ගොඩකට. ඒවා ඉවරයි කියලා හිත හදාගද්දි ආයෙ ආයෙම එවා වෙන වෙන ස්වරූපයෙන් එද්දි මාව පිස්සු වැටෙනවා" රවීන් කිව්වේ තරහින් වගේ.
"ඉතිං...ඒවට පිලියමක් හොයන්නම බැරිද? පිලියමක් නැති ප්‍රශ්ණ නෑනෙ"
"පිලියම් හොයලා හොයලා මට දැන් ඇති වෙලා" රවීන් කිව්වේ කලකිරීමකින්.
අයුමිට හිතාගන්න බැරි වුණා ඈ මොකද දැන් කරන්න ඕන කියලා. රවීන්ගේ මේ තත්වේ ඇගේ හිතට එකතු කරලා තිබුනේ දුකක්.
"මිස්ටර් රවීන් වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයක් තියෙනවද?" අයුමි අන්තිමේදි ඇහුවා.
රවීන් ඒ පාර අයුමි දිහා බැලුවේ යන්තමට හිනාවෙලා. ඒ ඇස්වල තිබුණේ සෙනෙහසක සේයාවක්ද?
"ඔයත් හරියට අපේ දෝණි වගේ. පුංචි වුණත් ගොඩාක් දේවල් තේරුම් ගන්නවා. ඔයාට කරන්න පුලුවන් දෙයක් නෑ අයුමි. මේක මමම විසඳගන්න ඕන ප්‍රශ්ණයක්. ඒත් හේතුවක් නැතුවම මම මේවා කියවද්දි, මම කියන ඒවා අහගෙන ඉන්න ඔයා ඉන්න එක ලොකු දෙයක් මට" රවීන් කිව්වා.
අයුමි රවීන් දිහා බලාගෙන, ඔහු ඈ දිහා බලාගෙන තප්පර කීපයක් යද්දි වේටර්වරයා ආයෙම ආවේ කෑම අරගෙන. හදිසියේම දැහැන බිඳුනම එක ක්ෂ්ණයකින් ඇගේ හිතේ ඔහු ගැන පිරුණේ ලොකු සෙනෙහස් හැඟීමක්. ඒක කොච්චර ප්‍රබල වුණාද කිව්වොත් ඈට බය හිතුණා රවීන්ට ඒක දැනේවි කියලා. ඈ අහක බලාගත්තේ ඒකයි.
"මිස්ටර් රවීන්ගේ ප්‍රශ්ණේ මොකක්ද කියලා මම දන්නේ නෑ. ඒත් මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ප්‍රශ්ණත් එහෙමමයි. ඒ හන්දා හිත කරදරකර නොගෙන ඉන්න පුලුවන් නම් ඒක තමයි කරන්න ඕන දේ" අයුමි කිව්වා.
"හ්ම්ම්. ඒත් මේ ප්‍රශ්ණේ එහෙම එකක්ද කියන්න මම දන්නේ නෑ අයුමි. ඒක හරියට කොටි වලිගේ අල්ලගත්තා වගේ බේරුමක් නෑ"
"මිස්ටර් රවීන් ඇහුවට මුකුත් හිතන්න එපා. මේක වැඩ ගැන ප්‍රශ්ණයක්ද, නැත්තම් personal එකක්ද?" අයුමි ඇහුවේ තමන්ට මේක කියන්නේ මොකද කියන එක පැහැදිලි කරගන්න.
"ඔය දෙකම. මෙක මගේ ex-wife මට දාන ප්‍රශ්ණයක්. ඒක ලොකු කතාවක් අයුමි. ඒක මෙහෙම කියන්න බෑ"
"රවීන් එහෙම කිව්වම අයුමි ආයෙම පත් වුණේ අපහසුතාවයකට. ඔහුගේ පෞද්ගලික දේවල් අහන එක යුතු නො යුතුද කියලා ඇගේ හිත තර්ක කරන්න වුණ නිසා. ඒත් මොනවත් කියන්න ගියේ නෑ මුනිවත රැක්කා මිසක.
"මම දන්නවා ඔයා හිතන දේ" රවීන් ඊලඟට කිව්වම අයුමි ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"මම මේවා ඔයාට කියන්නේ ඇයි කියලා නේද?"
රවීන් ඇහුවම අයුමිට උත්තරයක් දෙන්න බැරි වුණේ අයුමි ඇත්තටම එහෙම හිතපු හන්දා. රවීන් තව මොහොතක් දිහා බලාගෙන ඉද්දි අයුමි උන්නේ ඔහුගේ දෑස් මගෑරලා. ඇගේ හදගැස්ම වැඩි වෙලයි තිබුණේ.
"මම කියන්නේ ඔයාට මාව තේරුම් ගන්න. මම සමහරවෙලාවට හැසිරෙන විදියෙන් ඔයාගේ ඊයේ වගේ හිත රිද්දගන්නවට මම කැමති නෑ. ඔව් අයුමි...මං දන්නවා ඔයා හිත රිද්දගත්තා කියලා. අහන්න...මට මහා මරුමුස් බොස් කෙනෙක් වෙන්න ඕන නෑ. මම එහෙම කෙනෙක් නෙවෙයි" රවීන් කිව්වම අයුමිට තවත් ඔහු ගැන දුක හිතුණා.
"ඒක අපි හැමෝම දන්නවා මිස්ටර් රවීන්" අයුමි කිව්වේ අවංකවම.
රවීන් දිහා බලාගෙන උන්නේ මොනවදෝ හිතේ තියෙන දේවල් ගොඩක් කියාගන්න බැරිව වගේ.
"මම ඉස්සෙල්ලා කිව්වා වගේ, ප්රශ්ණ හැමදාම තියෙන්නේ නෑ.ඒවා කොහොමහරි කවදාහරි විසඳෙනවා. එතකල් ඉවසීමෙන් ඉන්න එකයි කරන්න ඕන මම හිතන්නේ. තරහා ගත්තා කියලා ප්රශ්ණ විසඳෙන්නේ නෑනෙ. ඒකෙන් වෙන්නේ අපේ හිතම ඉඳුල් වෙන එක විතරයි. ඒක මිස්ටර් රවීන් දන්නවනේ"
"ම්ම්..." අයුමි කියද්දි රවීන් දිහා බලාගෙන පොඩි ළමයෙක් වගේ අහගෙන උන්නා.
"තෑන්ක්ස් අයුමි..." රවීන් අන්තිමට කිව්වා.
" මොකටද?"
"හැමදේටම..." රවීන් කිව්වේ දයාබර හිනාවක් පාලා.
යන්තමට හිනාවෙලා අයුමි මුකුත් නොකියා ඉවත බලාගත්තා. රවීන්ගේ මේ දයාබරත්වය තුල ඇති කරලා තිබ්බේ ලෝබකමක්.. ඊයේ වුණ සිද්ධියෙන් පස්සේ රවීන් මෙහෙම තමන් එක්ක කතා කරපු එක ගැන දැනුන සතුට ඈට හිතෙන් හංගන්න පුලුවන් වුණේ නෑ. ඔහු ඈ ගැන හිතනවා කියන හැඟීමක සේයාවක් දැන් ඇගේ හිත තුල වැඩෙමින් තිබුණා. ඒත් හිතේ එක පැත්තක්ම කෑ ගැහුවේ ඒ තරම් හැඟීම් වලට වහල් වෙන්න එපා කියලයි. රවීන් ලඟදි හිත පුදුමාකාර විදියට දුර්වල වෙද්දි, ඔහුට හිත ඇදෙන එක නවත්තගන්න අයුමිට පුලුවන් වුණේ නෑ. ඈ අසරණ වුණෙත් ඒ හන්දමයි.
"අනික් වැඩේට යන්න තියෙන්නේ කීයටද?" අයුමි ඇහුවේ ඈට දැනුන මේ නුහුරු අපහසුතාවයෙන් මිදෙන්න ඕන හන්දා.
"යන්න හදිසිද? මගේ කතා අහගෙන ඉඳලා එපා වුණාද?" රවීන් ඇහුවා.
"නෑ. නිකම් මම ඇහුවේ" අයුමි කිව්වේ ඔහු දිහා නොබලා.
"කාලා ඉවර වෙලා අපි යමු. පොඩි ක්ලයන්ට් මීටින් එකක් තියෙන්නේ. ලොකුම වැඩේ ඔයා එක්ක මට කතා කරන්න ඕන වුණ එක"
රවීන් එහෙම කිව්වම ඔහු ගැන මහා සංකීර්ණ හැඟීම් ගොඩක් ආයෙම අයුමිගේ හිතේ පිරුණා.  වැඩේ ඉවර වෙලා දෙන්නා එක්ක ආපහු ඔෆිස් එකට එද්දිත් ඒ බර ගතිය එහෙමම තිබුණා. ඒත් හිතේ සතුටකුත් නොතිබා නෙවෙයි මොකක්දෝ හේතුවකට.  ඒ එක්කම වෙනදට වඩා රවීන් ගැන ලෙන්ගතුකමක්, සමීපබවකුත් ඈට දැනෙමින් තිබුණා. හොඳට හෝ නරකකට,  හිතේ රවීන් ගැන තිබ්බ තර්ක විතර්ක කොහේදෝ ඈත කොනකට තල්ලු වෙලා යද්දි ඈ තවත් ඔහුගේ තත්වය ගැනවත්, වෙන පෞද්ගලික දෙයක් ගැනවත් හිතන්න ගියේ නැහැ. එහෙම හිතන්න ඈට ඕනකමක් තිබ්බෙත් නැහැ.
"අයුමි" ඔෆිස් කාමරේට හැරෙන තැනදි රවීන් ඈට කතා කලා.
"ම්ම්?"
“Is it ok if I call you when you are at home?” රවීන් එහෙම අමුතුවෙන් ඇහුවේ ඇයි කියලා අයුමි කල්පනා කලා.
"අනේ කමක් නෑ. කොහොමත් සෙනසුරාදා හරි නම් මම වැඩ කරන්න ඕන දවසක් නේ" අයුමි ඒත් කිව්වා.
රවීන් හිනාවෙලා හිස වැනුවා.
"වැඩ ගැන හරි, මොනා ගැන හරි කතා කරන්න පර්මිෂන් තියෙනවනේ?"
රවීන් එහෙම ඇහුවම අයුමි හිනාවුණා විතරයි හිස වනලා. 
ඊටපස්සේ ඔහුගෙන් සමු අරගෙන තමන්ගේ කාමරේට එන්න ආවේ ඒ හිනාවම මුවේ කොනක රඳවගෙන. ඈට නොපෙනුනාට රවීනුත් උන්නේ පුටුවට බර වෙලා හීන් හිනාවකුත් මුවේ රඳවගෙන. ඒ දවස රවීන්ගේ, අයුමිගේ විතරක් නෙවෙයි, ඒ දෙන්නගේ ජීවිත වලට සම්බන්ධ ගොඩාක් අයගේ ජීවිතත් එහෙම පිටින්ම වෙනස් කරපු දවසක් වුණ වග තේරුම් ගන්න අයුමිටයි, රවීන්ටයි තව ගොඩාක් කල් තිබුණා.

4 comments:

  1. ඔන්න මම ඉක්මණටම පෝස්ට් එකක් දැම්මා ගිය පාරත් සෑහෙන දවසක් පරක්කු වුණ හන්දා.
    කතාව දැන් යන විදිය හොඳද නරකද, කියලා කියලා යන්න අමතක කරන්න එපා හොඳේ.

    ReplyDelete
    Replies
    1. හොඳයිද අහනවා... මේක නියමයි !!!!

      Delete
  2. කතාව ලස්සනයි නෙතූ....මම ඔයාගෙ "යලි හමුවෙන තුරු" කියෙව්වා ඒකත් හරිම ලස්සනට ලියලා තිබුනා. ඉතිරිවා නම් කියවන්න තාම වෙලාවක් ලැබුනෙ නෑ.

    ReplyDelete
  3. කියන්න වචන එන්නෙත් නැහැ. ඒ තරම් ලස්සනට ගලාගෙන යනවා. කුතුහලය වැඩියි රවින්ගේ අතීතය ගැන දැන ගන්න. ඊළඟ කොටස ඉක්මනින් දැම්මට ස්තුතියි.

    ReplyDelete