Sunday, June 21, 2015

විහංඟනාවී- විසිඑක් වන කොටස

"අම්මේ...ගෙදර කොත්තමල්ලි තියේද?"
හවස් වරුවේ කුස්සියට එබුණ අයුමි අහද්දි ඇගේ අම්මා ඈ දිහා බැලුවේ පොඩි විමතියකින්.
"තියෙනවා, ඇයි මොකෝ අසනීපයක් වත් හැදීගෙන එනවද?"
"අනේ ඔව්. ඇඟ සීත කරනවා වගේ අම්මේ"
අයුමි ලෙඩ තාලෙන් එහෙම කියද්දි ලඟට ආපු ඇගේ අම්මා නලලට අත තියලා බැලුවා.
"ම්ම්...ටිකක් රස්නෙයි වගේ තමා. උණක්වත් හැදීගෙන එනවද? හා හා ගිහින් පොඩ්ඩක් ඇලවෙන්නකෝ. මම කොත්තමල්ලි ටිකක් තැම්බෙන්න දාන්නම් කෝකටත්"
අයුමි ඇඟේ අපහසුතාවය පිටින්ම ඇවිත් ඇඳේ ඇලවෙලා ඇස් දෙක පියාගත්තා.
කොහොමින් හරි ඊලඟදා උදේ නැගිටින්න හදද්දි ඈට හොඳටම උණ ගැනිලයි තිබුණේ. නැගිටගන්න තියා, ඔලුව උස්සගන්නවත් පුලුවන්කමක් නොතිබිත් ඈ ඇහැරෙන්න උත්සාහ කලේ වැඩට යන්න ඕන හන්දමයි.
"මේ...පිස්සු නැතුව ඔන්න ඔහොම නිදාගන්න. මේ උණත් එක්ක මොන වැඩද? අනික එහේ ගිහින් අමාරු වුණොත් බලන්නේ කවුද?" ඒ පාර ඈට අනුකි කිව්වේ සැරෙන් වගේ.
"නොගිහින් කොහොමද අක්කේ?" අයුමි කෙඳිරි ගෑවා.
"නංඟි. කිව්වම අහන්න. බොස්ට කෝල් එකක් දීලා කියන්න අසනීපයි කියලා" අක්කා ආයෙම කිව්වා.
"ඒක තමයි. ලෙඩකටවත් නිවාඩු නැත්තම් මොකක්ද ඔය රස්සාව" ඒ ආත්තම්මා.
"බේතක් අරගෙන වේලක් දෙකක්වත් බොන්න අද නවතින්න මද්දු" එහෙම කිව්වේ අම්මා.
අන්තිමේදි ගෙදර හැමෝගෙම බල කිරීම නිසා අයුමිට වුණේ ගෙදර නවතින්න.
ඒත් නොයා ඉන්න වුණ එක ගැණ ඇගේ හිතේ හීන් දුකක තිබුණේ රවීන් හන්දා. කට්ටියම කාමරෙන් යන්න ගියාට පස්සේ ඇඳේ ඉඳගෙනම ඈ රවීන්ට කෝල් කලේ ගැහෙන හිතින්. ෆෝන් එක ගොඩ වෙලාවක් රිං වෙලා රවීන් ඒක නොගත්තු පාර, අයුමි කෝල් එක කට් කරන්න යද්දිම වගේ එක පාරටම එහා පැත්තෙන් රවීන් ගත්තා.
"හෙලෝ...හෙලෝ...අයුමි"
"ගුඩ් මෝනිං මිස්ටර් රවීන්"
"ගුඩ් මෝනිං...මොකද මේ උදේ පාන්දර?" රවීන් ඇහුවා.
"අද මට වැඩට එන්න වෙන්නේ නෑ පොඩ්ඩක් අසනීපයි" අයුමි කිව්වා.
"ආ...ඇයි මොකද වුණේ?"
"උණ"
"එහෙමද? ම්ම්...ඔයාගේ කටහඬත් අමුතුයි තමා. ඉතිං බෙහෙත් ගත්තද?"
"තාම නෑ. උදේ තමා උණ වැඩි වුණේ. දැන් ඉස්පිරිතාලේ යනවා අක්කා එක්ක"
"ම්ම්...එහෙමද? ගොඩක් උණද? උණ බැලුවද කීයට තියෙනවද කියලා?"
"නෑ. බලන්න නම් වුණේ නෑ" අයුමි කිව්වා.
"ම්ම්..." එහෙම කියලා රවීන් සුසුමක් හෙලුවා.
"හෙට මම කොහොමහරි එන්න බලන්නම් මිස්ටත් රවීන්" ඒ අවසරෙන් අයුමි කිව්වා.
"නෑ නෑ. උණ දිගටම තිබ්බොත් එහෙම එන්න ඕන නෑ. ඔයා නිවාඩු ගන්නකෝ හෙටත්. අසනීපෙන් මොනවත් කරන්න බෑනෙ"
"Thank you මිස්ටර් රවීන්"  
"It’s ok. ඔයා සනීපවෙන එකයි ලොකුම දේ" රවීන් කිව්වා.
"එහෙනම් මම තියන්නද ?" අයුමි ඇහුවේ රවීන් ඒ පාර නිහඬ වෙලා උන්නු නිසා.
"හරි අයුමි. බෙහෙත් ගන්න ගිහින්. මම පස්සේ කෝල් එකක් දෙන්නම්" රවීන් කිව්වා.
ඔහුගේ හඬේ තියෙන්නේ වෙනදා නුපුරුදු දයාබර බවක්දෝ කියලා අයුමිට හිතුණා. ඇගේ හිත ආයෙම සාංකාවකින් පිරුණේ ඉබේටම. ඒ එක්කම ඈගේ හිතට ආවේ රවීන් මතක් වෙන හැම වෙලේකම එන අනෙක් හැඟීම...'වරදකාරීබව'. මෙහෙම බොරුවට හිත රවට්ටගෙන, තේරුමක් නැති බලාපොරොත්තු ඇතිකරගන්නේ ඇයි කියලා ඈ කල්පනා කලේ හිත මහා බරකින් පිරෙද්දි.
"නංඟි...ලෑස්ති වෙන්න හොස්පිටල් යන්න" අක්කා එවෙලේ කාමරේට ආපු හන්දා කල්පනා කර කර ඉන්න ඉඩක් ආයෙම අයුමිට ලැබුණේ නෑ.
අයුමි ආපහු එද්දි ගෙදර උන්නේ අත්තම්මා විතරයි. අම්මා වැඩට ගිහින්, මල්ලි ඉස්කෝලේ ගිහින්. ඉතිං ඇඟේ අමාරුවටත් එක්ක ඈ කලේ බෙහෙත් බීලා එහෙමම ඇඳට වැටුණ එක.ඒ නිදා ගත්තු පාර ඈ ආයෙම ඇහැරුණේ ආත්තම්මා දවල්ට කන්න ඈව ඇහැරවපු වෙලේ.
"කන්න නම් පිරියක් නෑ අත්තම්මේ? ඇඳෙන් නැගිටලා විසිරිලා තිබුණ කොණ්ඩේ බැඳගන්න ගමන් අයුමි කිව්වේ ආත්තම්මා එතනට ගෙනැති තිබුණ බත් පත් අදිහාත් බලලා.
"එහෙම කියලා හරියනවයැ ළමයෝ? බත් කන්න බැරි නම් අර පාන් තියෙනවා, කෑල්ලක්වත් කන්න බලන්නකෝ" ආත්තම්මා කිව්වා.
අයුමි ඒ පාර ඇඳෙන් නැගිට්ටේ නොකෑවොතින් ආත්තම්මා පැයෙන් පැයට ඇවිත් කවන්න උත්සාහ කරන වග දන්න නිසා.
කන්න යන ගමන් ෆෝන් එක අරන් බැලුවත් රවීන් තියා කවුරුවත් ඈට කෝල් එකක් දීලා තිබුණේ නෑ. ඇගේ හිත ආයෙම උදේ වගේම සාංකාවකින් පිරුණා. 'ඇයි රවීන් කතා නොකලේ?' ඇගේ හිත අහද්දි, හිතේම එක පැත්තක් ඇහුවේ ඇයි අයුමි එහෙම බලාපොරොත්තු වෙන්නේ කියලා. කොහොමින් හරි හවස් වෙනකලුත් රවීන්ගෙන් කෝල් එකක් ආවේ නෑ. ඒත් හවස් වෙද්දි ඔෆිස් එකෙන් ප්‍රියන්තියි, බෝඩිමේ තනූජයි කතා කලා විස්තර අහන්න. ඒ වෙද්දිත් අයුමිට මහ ලොකු සනීපයක් දැනෙමින් තිබුණේ නෑ. ඒ හන්දම හවස් වරුවේ ඈ කලේ ඉස්තෝප්පුවේ සැටියට වෙලා TV එක දාගෙන ඔහේ බලාගෙන උන්නු එක.
හවස මුලින්ම ගෙදර ආවේ මල්ලි. පංති ඉවර වෙලා මහන්සියෙන් ආපු මල්ලි දැක්කම අයුමිට ඔහු ගැන දැනුනේ අනුකම්පාවක්. ඕ ලෙවල් වලට ලෑස්ති වෙන හන්දා, ගෙදර ඇවිල්ලත් ඔහුට ආයෙම පංති දෙකකට යන්න සිද්ධ වෙලා තිබුණා.
"මොකද අක්කේ දැන් ඔයාට?" මල්ලි ඇහුවේ ඇඳුම් මාරු නොකරම බත් එකකුත් බෙදාගෙන සාලෙට එන ගමන්.
"බෙහෙත් බිව්ව්ම උණ බහිනවා, ආයෙම බෙහෙත් බලේ අඩු වෙද්දි අමාරුයි" අයුමි කිව්වා.
"ඉතිං ඔය පුටුවට වෙලා නො ඉඳ ගිහින් ඇඳේ නිදාගත්තා නම් ඉවරනේ" මල්ලි කිව්වා.
"කම්මැලියි හලෝ එහෙම ඉන්න"
"මෙයාට ඕන ලෙඩේ වැඩි කරගෙන ඔෆිස් කට් කරන්නද කොහෙද. රෙස්ට් නොකර ලෙඩ හොඳ වෙන්නේ නෑ. හැබැයි වැඩට නොයා ඉන්න නම් ඔහොම හිටියට කමක් නෑ" මල්ලි කිව්වා.
"වැඩ මතක් වෙද්දි ආයෙම උණ වගේ අනේ. නොගිහිනුත් බෑ. යන්නත් බෑ" අයුමි කිව්වේ ආයෙම රවීන්ව හිතේ ඇඳෙද්දි.
"හෙට නම් යන්නත් එපා. දවස් තුනක් වත් ඉඳලා බලලා යන්න. කවුද දන්නේ ඩෙංගු ද කියලා"
"හා හා කට කට. හනේ අම්මපා කියන කතා. ඔය නිකම් උණක් වෙන්න ඇති" ඒ පාර කොහේදෝ ඉඳන් සාලෙට ඇවිත් උන්නු ආත්තම්ම කිව්වේ මල්ලිට සැරවෙන ගමන්.
"මම කිව්වා නොකිව්වා කියලා, ඩෙංගු හැදිලා නම් ඒක හොඳ වෙන්නේ නෑ ආත්තම්මේ" මල්ලි කිව්වා.
"පණ්ඩිත කතා කිය කිය නොහිට ගොහින් ඇඳුම් ටික හෝදන්න දාලා, පංති යන්න ලෑස්ති වෙන්න චූටි පුතා දැන්" ආත්තම්මා ආයෙම මල්ලිට සැර වුණා.
"හරි හරි. යනවා යනවා. මේ ගෙදර නිදහසේ කන්නවත් නෑනේ මේ ලෙඩ්ඩු හන්දා" මල්ලි එහෙම කිය කිය ආපහු කුස්සිය දිහාට ඇදුණා.
"එයත් දැන් ගාණට වැඩියි" අත්තම්ම කිව්වේ මල්ලි යන දිහා බලාගෙන ඉඳලා.
"තාම පොඩි එකානේ ආත්තම්මේ" අයුමි කිව්වා.
"ම්ම් හ්ම්ම්" ආත්තම්ම එහෙම කියලා හිස වැනුවා යන්තම් හිනාවක් පාලා.
මල්ලිට මොන දඟ වැඩේ කලත් පොඩි කාලේ ඉඳලම හැමෝම එයාට ආදරේ වුණේ පවුල් දෙක තුනටම හිටපු පොඩිම කොල්ලා ඔහු හන්දා. තාත්තා නැති වුණාට පස්සේ පවුලට ශක්තියක් වෙන්න ඉන්නෙත් එච්චරනේ කියලා ආත්තම්මත් හැමවෙලේම කිව්වා, ඉඳහිට පොඩ්ඩක් බැන්නා වුණත්.
"මේ...මේක ඔයාගෙද? අන්න අරහේ රිං වෙවී තිබ්බා එකසිය ගාණට" පංති යන්න ඇඳගෙන එලියට ආපු මල්ලි කිව්වේ අයුමිගේ ෆෝන් එක ඈට දික් කරන ගමන්.
"මං යනවා එහෙනම්" මල්ලි එහෙම කියාගෙන යන්න යද්දි අයුමි උන්නේ රිං වෙන එක නතර වෙලා තිබුණ ෆෝන් එක ඔබන ගමන්. ඇගේ හිත සීතල වුණා missed calls list එකේ තිබ්බ නම දැක්කම.
කතා කරලා තිබුණේ රවීන්. ඈට දැනුනේ දුකක් වගේ හැඟීමක්, ඔහු කතා කල වෙලේ ගන්න බැරි වීම හන්දා. ඊටපස්සේ ඈට හිතාගන්න බැරි වුණා ආයෙම ඔහුට ගන්නද නොගන්නද කියලා. ලෙඩ අස්සේ ඔහු කතා කරපු ගමන්ම අනෙක් පැත්තට ගත්තම ඔහු මොනවා හරි හිතයිද කියලා ප්‍රශ්ණයක් ඇගේ හිතේ මතුවෙලා තිබුණා.  
"මොකද ළමයෝ ඔය ෆෝන් එක දිහා බලාගෙන භාවනා කරන්නේ? කවුද කතා කරලා තියෙන්නේ?" අයුමිට පොඩි ලැජ්ජාවකුත් දැනුනා ආත්තම්මත් ඇගේ වෙනස දැකපු බව තේරුණාම.
"නෑ...මේ..මේ..ඔෆිස් එකෙන්"
"ආ...ඉතිං ආපහු අරන් බලන්න. හදිසියක්ද දන්නවයැ? මම යනවා කුස්සියට උයන්න මොනවත් ලෑස්ති කරන්න. රෑට සුප් එකක්වත් හැදුවොත් හොඳයි නේද?" ආත්තම්ම එහෙම ඇහුවා පුටුවෙන් නැගිටින ගමන්.
"ඔව්. ආත්තම්මේ. මට නම් කන්නත් බෑ කොහොමත්" අයුමි කිව්වා.
ආත්තම්මා කුස්සියට යන්න ගියාට පස්සේ, අයුමි TV එක නිවලා, කමරේට ඇදුනේ රවීන්ට කෝල් කරන්න හිත හදාගෙන. ඇඳේ ඉඳගෙන ඈ රවීන්ගේ නොම්මරේ තෝරලා කෝල් කලේ ගැහෙන හිතින්. ෆෝන් එක රිං වෙනවා ඇහෙද්දි ඇගේ හද ගැස්ම තවත් වැඩි වුණා, ඒත් එහා පැත්තෙන් රවීන් කෝල් එක ගත්තම හද ගැස්ම මොහොතකට නැවතුණා වගේ ඈට දැනුනා.
"අයුමි..."
රවීන්ගේ ටිකක් විතර නිදිබර, ඒත් ගැඹුරු හඬ ඇහෙද්දි ඇගේ දෑස් පියවුණේ ඉබේටම. ඒ හඬ තමන් කොච්චර බලාපොරොත්තුවෙන් උන්නද කියලා ඈට වැටහුණේ එවෙලේ.
"ඉස්සෙල්ලා කතා කරද්දි මට ඇහුණේ නෑ" අයුමි කිව්වා හෙමින්.
"ආ...ඒකට මොකද. පොඩ්ඩක් ඉන්නකෝ මම ඔයාට ආපහු ගන්නම්" එහෙම කියලා කෝල් එක කට් කරපු රවීන් ඒ සැනින්ම ආපහු ගත්තා.
"මම කතා කරේ දැන් කොහොමද අහන්න. දවල් වරුවෙම මීටින් එකක් තිබ්බා. දැනුයි යාන්තම් ඔෆිස් රූම් එකට ආවේ. ඉතිං, දැන් උණ අඩුද, බෙහෙත් ගත්තද?" රවීන් ඇහුවේ සුහදව.
"බෙහෙත් ගත්තා. ඒත්...තාම නම් උදේ වගේම තමා. එක වේලයි නේ බිව්වේ. හෙට උදේ වෙද්දි තත්වේ බලා මම half day හරි එන්නම් මිස්ටර් රවීන්" අයුමි කිව්වා.
"ඔයා හිතුවේ මම කතා කලේ ඔයා හෙට වැඩට එනවද අහන්න කියලද?" ඒ පාර ඔහුගේ ස්වරයේ තිබ්බේ නොරිස්සුමක්ද?
අයුමි ඒකට උත්තරයක් දෙන්න කලින් රවීන්ම කතා කලා ආයෙම.
"උණ හොඳටම හොඳ වෙනකල් එන්න එපා. දන්නේ නෑනෙ මොන උණක්ද කියලා. දවස් තුනකින් අඩු නූනොත් blood check කරවගන්න. මෙහේ වැඩ මම මොනා හරි කරගන්නම්"
"හ්ම්ම්" අයුමි කිව්වේ පොඩි ළමයෙක් වගේ ඔහුගේ බසට අවනත වෙන ගමන්.
"කන්න බොන්න පුලුවන්ද?" ඊලඟට ඔහු ඇහුවා.
"බත් නම් කන්න හිතක් නෑ. බිස්කට් එකක් වගේ කන්න පුලුවන්"
"ම්ම්. උණ තියෙද්දි බත් නොකෑවට කමක් නෑ. සැහැල්ලු දෙයක් කාලා ඉන්න" රවීන් කිව්වා.
රවීන් එහෙම කතා කරමින් ඉද්දි, අයුමිගේ හිතේ පෙරලි කරමින් තිබුණේ වෙනම ප්‍රශ්ණ ගොඩක්. ඈට දැනගන්න ඕන වුණා තමන් නො ආපු එක රවීන්ට කොහොමද දැනුනේ කියලා. ඔහුට පාලු හිතුණද, තමන්ව දකින්න ඔහු බලාගෙන උන්නද, ඔහුට තමන්ව නිතර මතක් වුණාද කියලා දැනගන්න ඇගේ හිතේ ලොකු උවමනාවක් තිබුණා. ඒත් ඒවා කොහොම දැනගන්නද? දැනගන්න ක්‍රමයක් හම්බුණාම වුණත් රවීන්ගේ හිතේ එහෙම කිසීම දෙයක් නෑ කියලා දැනගන්න ලැබුණොත් ඒක තමන්ට දරාගන්න අමාරු වෙයි කියලා අයුමිට හිතුණා.
"ඉතිං අද මොකද කලේ? ඇඳට වෙලා අම්මා දෙන දෙවල් කකා බිබී සැපට හිටියා නේද?" රවීන් ඊලඟට ඇහුවේ විහිලුවෙන්.
"අම්මා වැඩනේ. හොස්පිටල් ගිහින් ඇවිත් නිදාගත්තා" අයුමි කිව්වා.
"ම්ම්...මට meeting එක අස්සේ ඔයාව මතක් වුණා. මම හිතුවා නිදි ඇති කියලා" රවීන් එහෙම කිව්වම අයුමිගේ හිත ඉපිලුණා.
"දැන් ඔෆිස් රූම් එකට එද්දි, උඩ තට්ටුවම පාලුයි වගේ දැනුනේ. ඒ මගේ හිත වෙන්නැති නේද?" රවීන් ඊලඟට ඇහුවම ඇගේ හිත තවත් ටිකක් ඉපිලුණා.
"ම්ම්..." හූමිටි තියනවා ඇරෙන්න අයුමිට කියන්න දෙයක් මතක් වුණෙත් නැති තරමයි.
"අයුමිට නම් මාව මතක් වෙන්න නැතුව ඇති නේද?" ඊලඟට රවීන් ඇහුවේ එහෙම.
ඒ පාර ඇගේ හිත නොසන්සුන් වුණා ටිකක්.
"ම්ම්?" රවීන් ඇහුවේ ඈ ගොලු වෙලා උන්නු නිසා.
"මම හිතුවා දවල් කතා කරාවි කියලා" වචනෙන් වචනේ ගලපලා ඈ කිව්වේ බයෙන් සැකෙන්.
"ම්ම්...ඉතිං ඔයා බලාගෙන හිටියද?" රවීන් ඇහුවේ මොහොතක නිහැඬියාවකට පස්සේ.
"නෑ...මං දන්නවා වැඩ කියලා" අයුමි කිව්වා.
"බලාගෙන හිටියේ නැද්ද එතකොට ඒ කියන්නේ?"
අයුමිට ඒ ප්‍රශ්ණෙට දෙන්න උත්තරයක් තිබුණත් ඒක ඔහුට කියන්න ඈට හැකියාවක් තිබ්බේ නෑ.
"කොයි වෙලේ ඔයාට කතා කරන්න ලැබෙයිද කියලා මං බලාගෙන හිටියා ඒත්" රවීන් කිව්වම අයුමිගේ හිත හිරිවැටිලා යනවා වගේ  ඈට දැනුනා.
"message කරන්න විදියක් තිබ්බේ නෑ meeting එක මැද. ඒත්...ඒකට කමක් නෑ.  you were not missing me were you?"
රවීන් කිව්වම අයුමිට ඔහු ගැන සංතාපයක් දැනුනා. ඈට දැනෙන, දැනුන හැඟීම් සේරම ඔහු දන්නවානම් එහෙම හිතන එකක නෑ කියලා ඈ නිසැකවම දැනගෙන හිටියා. ඒත් කොහොමද ඒ දේවල් කියන්නේ? රවීන් කියන්නේ ඇගේ හාම්පුතා කියන එක අමතක කරන්න ඈට ශක්තියක් තිබුණේ නෑ. ඔහු ලඟදි ඈට දැනුන සේරම හැඟීම හිතේම තෙරපි තෙරපි හැංඟුණා මිසක, ඔහුට ඒ එකක් වත් කියන්න හිතේ අනික් පැත්ත ඉඩ දුන්නේ නෑ.
"අයුමි..." රවීන් කතා කලාමයි ඈ සිතිවිලි ලෝකෙන් මිදිලා පියවි ලෝකෙට ආවේ.
"ම්ම්?"
"මං කියන ඒවා අහලා මාව වරදවා තේරුම් ගන්න එපා. මට දැනෙන දේවල් කියන්න ඕන මට. ඔයා හිතන්න එපා මම අහිංසක ඔයාව දැලේ දාගන්න හදනවා කියලා"
"මිස්ටර් රවීන්..." ඒ වදන් පෙල ඇහුණ ගමන් අයුමි කිව්වේ හයියෙන්ම. "මොනවද මේ කියන්නේ. මගේ තුන් හිතකවත් එහෙම හැඟීම් මාත්‍රයක් වත් නෑ. මට කවදාවත් බෑ එහෙම හිතන්න"
"ඇත්තටමද?"
"සත්තයි ඇත්තටම" අයුමි කිව්වා.
ඒ පාර රවීන් ආයෙම නිහඬ වුණා. අයුමිත් ඔහුට එහෙමම ඉන්න ඉඩ දීලා අහගෙන උන්නා.
"හ්ම්ම්ම්" අන්තිමේදි ඔහු ආයෙම කතාව පටන් ගත්තේ ලොකු සුසුමක් හෙලලා.
"ඔයා මේ ලෙඩ වෙලා ඉන්න වෙලාවේ මට මේවා කතා කරන්න ඕන නෑ. සනීප වෙලා ආවම මම හිතනවා ඔයා මට වෙලාවක් දෙයි කියලා මගේ හිතේ තියෙන දේවල් ඔයාට කියන්න" රවීන් කිව්වේ අයුමිව ටිකක් විතර බියපත් කරමින්.
ඈ කල්පනා කලේ ඒ හිතේ තියෙන දේවල් මොනවා වෙන්න ඇතිද කියලා. ඒවා දැනගන්න ඕනවුණ තරමටම ඒ ගැන මොනවත්ම අහන්න බැරිව ඈ පීඩා වින්දා.
"මම දන්නවා දැන් ඔයා හිතනවා ඇති මොනාද මම ඒ කියන්න හදන්නේ කියලා. මම ඔයාව කලබල කරාද කියන්නත් මම දන්නේ නෑ. ඒත්...ප්ලීස් අයුමි දැනට ඒක අමතක කරන්න" රවීන් කිව්වත් ඈ කොහොමද එහෙම කරන්නේ?
"ඉස්සෙල්ලා බෙහෙත් බීලා සනීප වෙලා, ආපහු ඉක්මණින් එන්න"
රවීන් දිගටම කතා කරද්දි අයුමි නිහඬ වෙලාම උන්නු නිසා රවීන් ටිකක් විතර කලබල වුණද කොහෙද?
"මුකුත් නොකියා ඉන්නේ මා එක්ක තරහින්ද?"
"නෑ.." අයුමි කිව්වේ ඇහෙන නෑහෙන ගානට.
"එද්දි resignation අරන් එන්නද කල්පනා කරන්නේ?" රවීන් ඇහුවා.
"අනේ නෑ..."
"මං ගැන වරදවා හිතන්න එපා" රවීන් ආයෙම කිව්වා.
"කවදාවත් නෑ" අයුමි කිව්වේ ඔහු ගැන සෙනෙහස හිත දවද්දි.
"ම්ම්...දැන් ඔයා රෙස්ට් කරන්න අයුමි. බෙහෙත් බොන්න. උණ අඩු නූනොත් මේ week එකම වුණත් කමක් නෑ ඔයා ගෙදර ඉන්න" රවීන් කිව්වා.
"ඇත්තටම කමක් නැද්ද?" අයුමි ඇහුවා එක පාරටම. ඒත් ඊලඟ මොහොතේ ඈ ඒ ගැන පසුතැවුණා, ඒ රවීන් නිහඬ වුණාම.
"මම හිතනවා ඒකට උත්තරේ ඔයා දන්නවා ඇති කියලා" රවීන් ඉන්පස්සේ කිව්වා.
අයුමි සුසුමක් හෙලුවා ලොකු. ඔහු නොදැක, ඇගේ හිත වැලපෙන තරම් ඔහු දන්නේ නෑ නේද කියලා ඈ හිතුවා.
"do you miss me too?" රවීන් ඊලඟට ඇහුවේ ටිකක් පුදුමෙන් වගේ.
"මං දන්නෑ මිස්ටර් රවීන්.." අයුමි කිව්වේ හෙමින්.
"මට රවීන් විතරක් කියන්න බැරිද?"
"ම්ම්හු...බෑ"
"ඇයි?"
"එහෙම කියන එක හරි නැති නිසා"
"හරි නැත්තේ කාටද?"
"අපි දෙන්නටම"
"එහෙම එකක් නෑ..."
"මට ඒක කරන්න බෑ..."
"ඒක පැත්තක දාන්න. මම අහපු දේට උත්තරයක් දෙන්න" රවීන් කිව්වේ ආයාචනාත්මකව.
අයුමි එවෙලේ කල්පනා කලා තමන් මොනාද මේ කරන්නේ කියලා. මේ කරන්න කලයුත්තක් නෙවෙයි කියලා ඇගේ හිතේ පැත්තක් දිගටම කෑ ගැහුවා.
"ම්ම්...කමක් නෑ. ලෙඩ පිටින් ඉන්න ඔයාට කරදර කරන්න ඕන නෑ මට"
රවීන් එහෙම කිව්වම අයුමි මුනිවත රැක්කා.
"මං තියන්නම් එහෙනම්" රවීන් කිව්වා.
"හා..."
"take care..."
"thank you. you too"
"ම්ම්..." එහෙම කියලා රවීන් ආයෙම සුසුමක් හෙලුවා.
"හෙටත් මීටින්ද?" අයුමි හිටිගමන් ඇහුවේ අද වගේම රවීන් කතා නොකර ඉඳීද කියලා දැනගන්න.
"ඇයි?"
"නෑ...නිකං"
"I will message you. ok?" ටිකක් ඉඳලා රවීන් එහෙම කිව්වා.
"හ්ම්"
"I know you miss me" රවීන් එහෙම කිව්වේ රහසින් වගේ.
අයුමි ආයෙම ගොලු වුණා.
"Anyway...මම දැන් තියන්නම්. ඉක්මණින් සනීප වෙන්න"
"thank you..."
"good night..." රවීන් කිව්වා.
"good night"
රවීන් ෆෝන් එක තියනක්ල් අයුමි අහගෙන උන්නා. ඇගේ හිත තිබ්බේ පොඩි කලබලේකින්, තිගැස්මකින්, වගේම රවීන් ගැන කියාගන්න බැරි සෙනෙහසකිනුත් පිරිලා. ඈ ඇඳේ ඇලවිලා කොට්ටේ තුරුලු කරන් ගුලි වුණා. ඈට අන්තිමේදි පැහැදිලි වෙමින් තිබුණා රවීන්ගේ හිතේ ඈ ගැන තියෙන්නේ මොනවගේ හැඟීමක්ද කියන එක.

1 comment:

  1. කතාව ලස්සනයි අලුතින් කතාවක් දාන්නෙ නැද්ද

    ReplyDelete