Thursday, June 25, 2015

විහංඟනාවී- විසිදෙවන කොටස



පහුවෙනිදා හවස් වෙද්දි අයුමිගේ අසනීප ගතිය හොඳ අතට හැරීගෙන ආපු නිසා ඈ තීරණය කලා බදාදා වැඩට යන්න. අම්මයි, ආත්තමයි නම් ඒ තීරණේට කැමති වුණේ නෑ. ඒත් අනුකි නම් කිව්වේ අමාරුවක් නැත්තම් යන එකේ ප්‍රශ්ණයක් නෑ කියලා.
"මෙයා ඉතිං මොකද, දොස්තරට වඩා දනන්වනේ" අනුකිගේ කතාව අහලා අම්මා කිව්වේ එහෙම.
"නෑ අම්මේ. මට දැන් හොඳයි. දවස් තුනක් නිවාඩු ගන්නත් බෑනෙ මේ වගේ. ඊලඟට හදිසියකට ගන්නවත් නිවාඩු නැති වෙයි" අයුමි කිව්වා.
"ඒක නම් ඇත්ත තමා...හ්ම්ම්. මොනවා කරන්නද ඉතිං වැඩත් කරගන්න එපායැ" අම්මා අන්තිමේදි කිව්වේ එහෙම.
කොහොමහරි බදාදා උදේ පාන්දරම අයුමි කොලඹ එන්න බස් එකට නැග්ගා. පුරුදු විදියටම ඈව බස් එකට ගෙනැත් ඇරලුවේ මාමා.
ගොඩාක් සෙනග උන්නේ නැතත් බස් එකේ ඉඳගන්න නම් ඉඩක් තිබුණේ නෑ. අයුමි වටපිට බලන ගමන් බස් එකේ මැද හරියට යද්දි ඈට දැනුනා කවුරුහරි තමන්ට තට්ටු කරලා කතා කරපු වග. ඈ හැරිලා බලද්දි ඈට තට්ටු කරපු ගෑණු කෙනා, එහා පැත්තේ සීට් එකේ උන්නු කෙනෙක්ව ඈට පෙන්නුවා. අයුමි ඒ පැත්ත බලද්දි සීට් එකේ වාඩි වෙලා හිනාවෙලා ඈට අතක් වැනුවේ, බෝඩිමට කෑම ගන්න ආපු යශෝධ. අයුමි පෙරලා හිනාවුණේ ඔහු මේ බස් එකේ මොකද කරන්නේ කියලා හිතන ගමන්.
"එන්න වාඩි වෙන්න මෙතනින්"
අයුමි එපා කියද්දිම යශෝධ නැගිටලා ඈට ඔහුගේ සීට් එක දුන්නා. අයුමි ඒ පාර ඔහුගේ පුංචි බෑග් එකත් අරගෙන එතනින් වාඩි වුණා.
"තෑන්ක් යූ" ඈ කිව්වේ සීට් එක ලඟම හිටගෙන උන්නු යශෝධට.
"ඔයා කොහෙද මෙහේ?" යශෝධ ඇගෙන් ඇහුවා.
"මගේ ගම මෙහේ. අපි ඉන්නේ හොනිටන් වල. ඔයා?"
"අපේ නැන්දලා ඉන්නේ ඇහැලියගොඩ. එහේ දානයක් තිබුණා පහුගිය දවස් දෙකේ. මම මේ එහේ ගිහින් එන ගමන්. මගේ ගම නුවර" යශෝධ කිව්වා.
අයුමිගේ එහා පැත්තේ උන්නු කෙනා පුවක්පිටියෙන් බැස්ස නිසා යශෝධට අයුමි ලඟින් වාඩි වෙන්න ඉඩක් ලැබුණා.
"මම ඒත් නගිද්දි බැලුවා කවුද මේ දන්න අඳුනන මූණ කියලා" යශෝධ කිව්වේ හිනාවක් පාලා.
ඔහු හිනාවෙද්දි කම්මුල් වල ගැහෙන වග අයුමි දැක්කේ අහම්බෙන්. එදා දැක්කටත් වඩා ඔහු ලඟට දකිද්දි වෙනස් කියලා ඈට හිතුණා. ඔහුගේ තිබුණේ හරිම පහන් පෙනුමක්.
"ඒක තමා නේ?" ඈ කිව්වේ ඔහුගේ දෑස් තමන් වෙත යොමු වෙද්දි ඒ දෑස් මගෑරලා.
"ඒක නෙවෙයි, ඔයා කොහෙද මේ සතියේ මැද යන්නේ? ඔයා කොහේ හරි වැඩ කියලා නේද කිව්වේ?" යශෝධ ඇහුවා.
"ඔව්. වැඩ නම් තමා. ඒත් සති අන්තේ ගෙදර ආවට පස්සේ ටිකක් අසනීප වුණා. ඉතිං අද තමා යන්නේ" ඈ උත්තර දුන්නා.
"මොකද වුණේ උණ හැදුනද?"
"ම්ම්ම්"
"මට බෝ වෙන එකක් නෑ නේ?" යශෝධ ඇහුවේ හිනාවෙලා.
"ඒක නම් ඉතිං ගැරන්ට් කරන්න බෑ" අයුමිත් විහිලු කලා.
කොහොමින් හරි, අන්තිමේදි දෙන්නම කොලඹින් බහිද්දි, උන්නේ හොඳටම හිතවත් වෙලා. අයුමි පස්සේ කල්පනා කලා තමන් කොහොමද යශෝධ එක්ක ඒ තරම්ම හිතවත් වුණේ කියලත්, මොකද ඈ ලේසියෙන් එහෙම හිතවත් වෙන කෙනෙක් නොවුණ නිසා. ඒත් ඔහු තුලා මොකක්දෝ අව්‍යාජ බව, ඕන කෙනෙක් පැහැදෙන ගතියක් තිබුණා කියන එක ඈට පිලිගන්න සිද්ධ වුණා. කල්පනාවෙන්, කල්පනාවෙන් ඔෆිස් එක ලඟටම ආපු අයුමිගේ සිතිවිලි සේරම අතුරුදහන් වුණා රවීන් මතකෙට ආපු නිසා. ඔහු තවමත් ඔෆිස් එකට ඇවිත් උන්නේ නෑ. ඒත් ඇගේ හද ගැස්ම වැඩි වුණා ඔහු ආවම කොහොමද ඔහු එක්ක කතා කරන්නේ කියලා හිතද්දි පවා.
"ආනේ...මෙන්න මෙයා ඇවිත්! දැන් සනීපද ඔයාට?" ඔෆිස් එකට ඇතුල් වෙද්දිම කෑ ගැහුවේ ලොබි එකේ උන්නු හසිකා.
ඒ පාර රිසෙප්ෂන් එක ලඟ උන්නු ප්‍රියන්තිත් හැරිලා බලලා හිනා කටක් පුරෝ ගත්තා.
"ගුඩ් මෝනිං මැඩම්"
"ගුඩ් මෝනිං...දැන් සනීපයි ටිකක් හසිකා" අයුමි කිව්වෙත් හිනාවක් පාලා.
"අපි හිතුවා සතියෙම එන්නේ නැතිවෙයි කියලා" හසිකා කිව්වා.
"නෑ අනේ. එන්න එපැයි. නිවාඩු ගන්න බෑනේ"
"හ්ම්ම්...යං යං උඩට" ප්‍රියන්ති මොනවදෝ ෆයිල් වගයක් උස්සගෙන අයුමිට ඉස්සර වුණා.
"අද ආවේ වෙලාවට. තව දවසක් නාවා නම් බොස්ටත් උණ හැදෙනවා" ප්‍රියන්ති එහෙම කිව්වම අයුමිගේ හිනාව වියැකුණා.
"ආ...ඒ මොකෝ?" අයුමි ඇහුවේ පුදුමයක් ආරූඨ කරගනිමින්.
"ඔයා නැති නිසානෙ" ප්‍රියන්ති කිව්වේ ඒක බොහොම සාමාන්‍ය දෙයක් විදියට.
"අනේ පිස්සු කතා නොකියා ඉන්න ප්‍රියා"
"පිස්සු නෙවෙයි. ඊයේ client visit දෙකයි, හදිසි design change එකකුත් ආවා. ඒ මදිවට අනික් කම්පැනියේ මීටිනුත් මෙහේ" ප්‍රියන්ති කිව්වා.
"ආ...එහෙමද? එහෙනම් හොඳ වෙලාවට ආවේ"
"ඒකනේ මම කිව්වේ"
"හරි ප්‍රියා...එහෙනම් කද්දි හම්බෙමු. දැන්මම stress වගේ වැඩ ගැණ අහලා"
"Take it easy dear. Have a good day”  ප්‍රියන්ති එහෙම කියාගෙන ෆයිල් ටිකත් උස්සගෙන රවීන්ගේ කාමරේ දිහාවට ගියා.
අයුමි තමන්ගේ කාමරේට ඇතුල් වුණේ වැඩ කීයක් ගැන දැන් mails ඇවිත් ඇද්ද කියලා හිතන ගමන්. ඒත් තවදුර හිතන්න කලින් ඈ උන්නු තැනම පුදුමෙන් නැවතුණේ මේසේ මත පෝච්චියක දාලා තිබ්බ රෝසමල් පොකුර දැකලා. සුදු, රතු, කහ පාට රෝසමල් දහයක් විතර, සුපර් ඩේසියි, සයිප්‍රස් අතුවලිනුයි හැඩ කරලා ලස්සන විනිවිද පෙනෙන උස වීදුරුවක දාලා තිබුණා. මල් තරමක් පිපිලා තිබුණ හැටි දැක්ක්ම ඈට හිතුණේ මේ මල් දවස් දෙක තුනක්වත් පරණ ඒවා වෙන්න ඇති කියලයි. ඒත් ඒවයේ ලස්සනින් අඩුවක් තිබුණේ නෑ. අයුමිට හිතාගන්න අපහසු වුණේ නෑ මල් ගෙනාවේ කවුද, කොහෙන්ද කියලා. රවීන් ගැන ආදරේ හිතේ පිරෙද්දි ඇගේ මුවග ඇඳුනේ හිනාවක්.
මල් පොකුර මුදුවට අතගාගෙන ඈ පුටුවෙන් වාඩි වෙලා, කම්පියුටර් එක on කලා පුරුදු විදියට. කම්පියුටර් එක ඔන් වෙනකල් ගෙදරට කෝල් එකක් ගත්තු අයුමි, ෆෝන් එක ආපහු තියන්න යද්දියි දැක්කේ උදේම ඇවිත් තිබ්බ මැසේජ් එක. ඒක දැක්කම ඇගේ හිනාව අලුත් වුණේ ඒ රවීන්ගෙන් වග දැකලා.
"Good morning…hope you are feeling better today"
අයුමි ඒකට උත්තරයක් යවන්න ගියේ නෑ. ඈට ඕන වුණේ රවීන්ව පුදුම කරන්න. ඒ සිතුවිල්ලත් එක්කම ඔහු ඊයේ දවසේ එවපු message එකින් එක ඈ ආපහු කියවන්න වුණේ, ඒ හැම එකක්ම මුලින්ම කියවද්දි දැනුන, තිගැස්ම, නුහුරු කෝල ගතිය, සෙනෙහස...මේ කියන හැම හැඟීමම එකින් එක ආයෙ ආයෙත් මතක් කරගනිමින්.
"Good morning petit fleur…how are you today?”ඒ උදේ මුලින්ම එවපු මැසේජ් එක.
petit fleur කියන්නේ ප්‍රංශ භාශාවෙන් 'පුංචි මල' කියන එක වග අයුමි එවෙලේ දැනගෙන උන්නේ නැතත් ඈ හිතුවා ඒ මොකක් හරි ලස්සන ආමන්ත්‍රණයක් වෙන්න ඇති කියලා.
උදේ කෑම කාලා ඉවර වෙද්දිම වගේ ඔහු ආයෙම මැසේජ් එකක් එවලා තිබුණා.
"Still at home. Feel so bored to go to office"
“why?” ඒ අයුමිගේ ප්‍රශ්ණේ.
“Because I miss my African Violet”
“Don’t make me feel bad again and again for removing it now please” ඒ අයුමි.
“Nope don’t misunderstand…I meant the one I got to replace original AF with...”
අයුමි දැනං උන්නේ ඒ කියන්නේ තමන් ගැන වග. ඒත් නොදන්නවා වගේ හැසිරෙන්න ඈ ආසා කලා.
“:O ??”
“come on ayumi, You know what I meant”
“mm…I do”
“you know what else?”
“what?”
 “I miss you…”
රවීන්ගේ ඒ වදන් පෙල හැමදාමත් වගේ අයුමිව බය කලා ටිකක්.
“I think you better go to office Mr. Raveen” ඈ ඉන්පස්සේ reply එක ගැහුවම රවීන් reply කලේ නෑ හවස් වෙනකල්ම.
ඒත් ඒ හවස එවපු මැසේජ් එක කියවන්න කලින් අයුමිගේ ටෙලිෆෝන් එක නාද වුණා. උදේපාන්දරම cleint කෝල් එකක්. අන්තිමේදි හීන එක්ක ගෙවපු විනාඩි කීපේ ඉවර වෙලා ඇත්තම වැඩ පැය කීපය පටන් ගත්තා.
අයුමිගේ office room එකේ දොර ඇරුණේ තවමත් client ලයින් එකේ ඉද්දිමයි. රවීන් දොරෙන් එබුණම අයුමි රිසීවර් එක කනේ තියාගෙනම නැගිට්ටා. ඒත් ඈට එහාපැත්තෙන් කියපුව ඇහුණේ නොපැහැදිලි වෙලා වගේ. රවීන් හිනාවක්වත් මූණේ නැතිව කාමරේ ඇතුලට එන්න ගතවුණ තප්පර ගාණට අයුමිගේ හදගැස්ම තිබ්බේ නැවතිලා.
"හරි Mr. Ruberu...මම මේල් එක බලලා අපේ theme proposal එක එවන්නම්"අයුමි client ට උත්තර දුන්නේ හදිසියෙන් වගේ.
එතකල් රවීන් ඇවිත් ඇගේ මේසේ එහාපැත්තෙන් ගිහින් ජනේලේ අසලින් හිටගත්තා. අන්තිමේදි අයුමි කෝල් එක ඉවර වෙලා ඔහු දිහා බලද්දි ඔහු උන්නේ ජනේලෙන් එපිට බලාගෙන.
"ගුඩ් මෝනිං මිස්ටර් රවීන්"අයුමි ඉස්සර වගේම පුරුදු පරිදි ඔහුව අමතන්න උත්සාහ කලා.
"ඇයි මට එනවා කියලා නොකිව්වේ?"
අයුමි කිව්ව එක නෑහුණා වගේ රවීන් ඇහුවේ ජනේලෙන් එලිය බලාගත්වනමයි. අයුමිගේ හිත සැලුණා ඔහුගේ ඒ වියලි හඬ ඇහුණම.
"අ...ඊයේ...රෑ තමා එනවා කියලා තීරණේ කලේ" ඈ කිව්වේ බයෙන් වගේ.
"මම මැසේජ් එකක් එව්වේ උදේ නෙ" රවීන් කිව්වේ ඈ දිහා නොබලම.
"බස් එකේ හිටිය නිසා දැක්කේ නෑ" අයුමි කිව්වේ හෙමින්.
ඒ පාර රවීන් ඈ දිහා බැලුවා. ඒත් ඒ මූණේ කිසිම හැඟීමක් තිබ්බේ නෑ.
"තාම?" රවීන් ඇහුවා.
"දැන් දැක්කේ...ඔෆිස් ආපු නිසා මිස්ටර් රවීන් ආවාමම කතා කරනවා කියලා...හිතුවා" අයුමි කිව්වේ හෙමින්.
අයුමිගේ බියපත් වෙච්ච මූණ දැක්කම ඔහුගේ මුහුණේ හැඟීම් ලිහිල් වුණා. අයුමි බිම බලාගත්තේ හිත රිදුම් දෙන්න ගත්තු නිසා. ඈට ඇහුණා රවීන් සුසුමක් හෙලපු හඬ.
" කමක් නෑ. ඒක ඔයාගේ කැමැත්තනේ. දැන් හොඳටම හොඳයිද?" ඊලඟට ඔහු ඇහුවේ මුදු ස්වරයකින්.
"ම්ම්...ඔව්" අයුමි හිස වැනුවේ ඔහු දිහා නොබලම.
"ඒත් දවස් පහක්වත් බෙහෙත් බොන්න ඕන නැද්ද?"
"බෙහෙත් අරගෙන ආවේ" අයුමි උන්නේ තාමත් ඔහු දිහා නොබලා.
අයුමිට දැනුනා ඊලඟ මොහොතේ රවීන් ලඟට ආපු වග. ඒ හන්දමයි ඈ හිස උස්සලා බැලුවේ. අයුමිගේ හද ගැස්ම තිබ්බේ වැඩි වෙලා. ඈ අඩියක් පිටිපස්සට ගත්තේ ඉබේටම. ඒ පාර ඇගේ දෑස් මත මොහොතක් නැවතිලා තිබ්බ රවීන්ගේ දෑස් බිමට යොමු වුණා. ඊලඟ ඔහු කලේ මොනවත්ම නොකියා ඈ ලඟින් මෑත් වුණු එක. අයුමිගේ හිත ආයෙම පෑරුණා.
"Anyway...I am glad you came. Just...just make sure you take medicines properly”
රවීන් එහෙම කියලා ආපහු යන්න හැරෙද්දි අයුමිගේ හිත කඩාවැටුණා වගෙයි ඈට දැනුනේ.
"මිස්ටර් රවීන්..." ඈ ඔහු දොර ලඟට යන්න කලින් ඔහුව ඇමතුවා.
රවීන් හැරිලා බැලුවේ පුංචි විමතියකින් වගේ.
"මල් වලට thank you.." ඈට කියාගන්න පුලුවන් වුණේ ඒ ටික විතරයි.
රවීන්ගේ දෑස් තප්පරේකට මේසේ මත තිබ්බ මල් දිහාවට යොමු වුණා.
"ඒක දැන් පර වෙන්නත් ඇවිල්ලා" රවීන් කිව්වා.
"ඒ වුණාට ඒකේ තියෙන වටිනාකම ඒකෙන් අඩු වෙන්නේ නෑ" අයුමි කිව්වේ ඇත්තටම හිතේ තෙරපුණ ආදරේ ඒ වචන වලට මුහු කරලා.
රවීන් ඈ දිහා බැලුවේ ගොලු වෙලා. ඒත් ඒ ඇස්වල තිබුණේ දරාගන්න බැරි තරම් හැඟීම් ගොඩක්. අයුමි මුලින්ම බිම බලගත්තා. රවීන් යන්න ගියේ ආයෙම මුකුත් නොකියා. අයුමිට දැනුනේ හිත පිච්චිලා යනවා වගේ හැඟීමක්. ඈ ආපහු පුටුවට බර වුණේ ඇඟට පණ නැති ගතියක් දැනෙද්දි.
රවීන් ආයෙම අයුමිට කතා කලේවත්, ඒ පැත්තේ ආවෙවත් නෑ දවල් කෑම වෙලාව එනකල්ම. කරන්න ඉතිරි වෙලා තිබුණ වැඩ ගොඩක් තිබ්බ හන්දා අයුමිට ඒ ගැන හිතලා ලත වෙන්න වෙලාවක් තිබ්බෙත් නෑ. ඒත් ඈට රවීන්ව මතක් නූනා නෙවෙයි. ඔහුව දකින්න, ඔහුට කතා කරන්න ඕන නූනා නෙවෙයි. ඈ අන්තිමේදි හිතාගත්තා එක වෙලාවක ඔහු ආයෙම කතා නොකලොත් යන්න කලින් ගිහින් කතා කරනවා කියලා.
"අයුමි හවස අර sea side cafe එකේ client එනවා discussion  එකට. මම presentation  එක හැදුවා. ඔයාට අවුලක් නෑ නේද ඒක කරන්න. මම ඒක මේ දැන් එව්වා. ඔයා මිස්ටර් රවීන්ට කතා කරලා අහන්න ඒ ගමන්ම please අද ඒ meeting එකට එයා ඉන්නවද කියලත් හොඳේ" ඒ අස්සේ සමින්ද කතා කරලා තව වැඩක් පැවරුවා.
අයුමි හිතුවේ කෑම පැයෙන් ටික වෙලාවක් අරන් ඒක බලනවා කියලා. අමාරුම දේ වුණේ ඒක නෙවෙයි, සේරම හැගීම් හංඟගෙන රවීන්ට කතා කරන එකයි. හිතල හිතලා අන්තිමේදි ඈ පුටුවෙන් නැගිට්ටේ රවීන්ගේ රූම් එකට ගිහින් ඔහු එක්ක කතා කරන්න.

රවීන්ගේ කාමරේ දොර ලඟට යද්දි ඇගේ කකුල් දෙකත් ගැහෙන්න ගත්තා. උදේ වුණ සිද්ධියෙන් දේවල් තවත් සංකීර්ණ වුණා කියලයි අයුමිට හිතුණේ. ඈ දොරට තට්ටු කරලා ටික වෙලාවකින් ඇතුලෙන් "come in" කියලා ඇහුණම, ඈ හෙමින් දොර ඇරගෙන කාමරේට ඇතුල් වුණා. 

******************************************************
හිතුණ දේවල් කියලා යන්න අමතක කරන්න එපා හොඳේ..


2 comments:

  1. අයුමිගේ මොලේ කචල් වෙලාද මන්දා....................

    ReplyDelete
  2. ම්ම්ම්... මේ කතාවට මම ගොඩක් කැමති මම හොඳටම දන්න කියන කතාවකට මේ කතාව ගොඩාක් සමීප නිසා.... හොඳයි දැන් ඔයා ඉක්මනටම කතාව දාන එකට. නැත්තම් ගොඩක් දවස් බලන් ඉන්න වෙනවනේ..

    ReplyDelete