Wednesday, June 17, 2015

විහංඟනාවී- විසිවන කොටස



"ඒකත් ජයසිරි මංගලම් කිව්වලු නේද?"
අයුමි එහෙම කිව්වේ තමන්ට එහා පැත්තෙන් ගෙයි පිටිපස්සේ පිල උඩා වාඩි වෙලා උන්නු අක්කට.
"ම්ම්" අක්කා හිනාවුණේ උදේ තේ එක හෙමින් තොලගාන ගමන්.
"දැන් ඉතිං හරි නේ. දැන් තියෙන්නේ හෙමින් ලෑස්ති වෙලා, බෙර ගහලා, මගුල් කාලා රුචිර අයියලගේ ගෙදරට යන්න තමා" අයුමි කිව්වේ හිනාවෙවී.
පිටිපස්සේ වත්ත දිහාවෙන් ආපු මද සුලඟක් දෙන්නගෙම මුහුණු පිසගෙන හමාගෙන ගියා.
"අනේ මන්දා මද්දු. ඒ ගැනත් හිතනකොට නම් මොකක්දෝ වගේ" අනුකි කිව්වේ හුලඟෙන් මූණට ආපු කෙහෙරොදවල් ආයෙම කන පීටිපස්සේ රඳවගන්න ගමන්.
"මොකක්ද වගේ මොකද අනේ. දැන් දෙන්නම දතකෑවේ ඕකට නේ" අයුමි කිව්වම අනුකිට හිනා ගියා.
"ම්ම්...ඒක නම් එහෙම තමා. දැන් මට හිනා වුණාට මම ගියාම ඔයාගේ ෆයිල් එක තමා උඩට එන්නේ. එතකොට බලමුකෝ"
"ආපෝ...මට හදිසියක් නෑ බඳින්න" අයුමි කිව්වේ උරහිස් හකුලමින්.
"ආ...ඒව නම් කරන්න හම්බෙන එකක් නෑ අම්මයි ආත්තම්මයි එක්ක. මේ මොකෙක් හරි හොඳ කෙනෙක් හොයාගන්න බලන්න. නැත්තම් එන එන මිනිස්සුන්ට හෙප්පුව දීලම පණ යයි. මතක නැද්ද අර අපේ චූටි පුංචි විඳපු දුක?" අනුකි කිව්වේ බැරෑරුම්ව.
"හ්ම්ම්..." අයුමි හිස වැනුවා විතරයි.
"මට කියන්නකෝ මද්දු. දැන් ඔයා කා එක්කවත් සම්බන්ධයක් හෙම නෑ නේද?" අනුකි ඊලඟට ඇහුවා.
"අනේ නෑ අක්කේ. මොන පිස්සුද. ඉන්නවා නම් මට මොකද ඔයාට කියන්න බැරි" අයුමි කිව්වා.
අනුකි සුසුමක් හෙලුවා. ආයෙම දෙන්න අතර කතාවක් ඇති වෙන්න කලින්, ඖඉමි ඉඳගෙන උන්නු තැන පැත්තක තියාගෙන උන්නු ෆෝන් එක නාදවෙන්න ගත්තා. අයුමි ෆෝන් එකේ තිරය දැක්ක ගමන් ටිකක් කලබල වුණේ ඒ රවීන් හන්දා.
"කවුද? අනුකි ඇහුවේ, අයුමි කෝල් එක නොගෙන ෆෝන් එක දිහා බලාගෙන උන්නු නිසා.
"බොස්. මොකද දන්නේ නෑ"
"අරං බලන්න ඉතිං" අනුකි කිව්වා.
අයුමි ඒ පාර ෆෝන් එකත් අරන් උන්නු තැනින් නැගිටලා ඉස්සරහට ආවේ කෝල් එක රිසීව් කරලා කනේ තියාගෙන.
"හෙලෝ"
"අයුමි...ගුඩ් මෝනිං" එහා පැත්ත්තෙන් ඇහුණේ රවීන්ගේ නිදිබර හඬ.
"ගුඩ් මෝනිං මිස්ටර් රවීන්"
"ම්ම්...ඔයා නැගිටලද ඉන්නේ?" රවීන් ඊලඟට ඇහුවා.
"ඔව්. අපි ඇහැරිලා දැන් ගොඩක් වෙලා"
"ම්ම්....අපි ඊයේ නිදියද්දි රෑ එකත් පහු වෙලා"
"එච්චර වෙලා වැඩ කරන්න වුණාද?" අයුමි ඇහුවේ පුදුමෙන්.
"නෑ...වැඩ නම් ඉවර වුණා හය විතර වෙද්දි. රෑ දන්නැද්ද අපි විතරනේ, සුරේෂ්ගේ ගෙදර ගිහින් පොඩි පාටියක් දැම්මා" රවීන් කියද්දි අයුමිට හිනාවක් නැගුනා.
"ආ... හරි හරි"
"දැනුයි ඇහැරුණේ. ඊයේ ඔයාට කතා කරන්න හිටියේ. ඒත් වැඩ එක්ක වෙලාවක් හම්බවුණේ නෑ" රවීන් කිව්වේ නිදිබර හඬින්මයි.
අයුමි හිනාවුණා.
"ඒකට කමක් නෑ ඉතිං. වැඩේ ඉවර වුණාට පස්සේ සේරම ලස්සනට තිබ්බද මිස්ටර් රවීන්?" අයුමි ඇහුවේ උනන්දුවෙන්.
"ඔව් ඔව්. සුරේෂ්ට හෙන සැටිස් වැඩේ. අපි ෆොටෝස් හෙම ගත්තා. ආවම බලන්න බැරියැ ඔයාට"
"ම්ම්...ආසයි බලන්න"
"අපි ඔයාව මතක් කලා වැඩ කරන වෙලෙයි, ඉවර වෙලයි. ඔයාගේ ඩිසයින් එක නේ ඉතිං" රවීන් කිව්වා.
"අනේ එහෙම නෑ ඉතිං. ඒකට මිස්ටර් රවීන්ගේ නේ ලොකුම දායකත්වය තිබුණේ"
අයුමි එහෙම කිව්වම රවීන් හිනාවෙනවා ඈට ඇහුණා.
"පිස්සු ළමයා..." ඔහු ඉන්පස්සේ කිව්වා.
"මිස්ටර් රවීන්ලා අදම එනවා නේද?" අයුමි ඇහුවා ඊලඟට.
"ඔව්. අපි උදේ කෑම කාලා මෙහෙන් පිටත් වෙනවා. අද හවස මට කොලඹ වැඩක් තියෙනවා. ඔයා එන්නෙත් අද හවසද?"
"නෑ. මම හෙට උදේම එන්නේ"
"ආ..ඕකේ. හරි හරි. ඒක නෙවෙයි, කොහොමද ගෙදර ආපු වැඩේ හොඳින් කෙරුණද?" රවීන් ඇහුවම අයුමි තරමක් පුදුම නූනා නෙවෙයි ඔහුට ඒක මතක් වෙච්ච එක ගැන.
"ඔව් ඔව්. සේරම හොඳින් කෙරුණා"
"ඒ කියන්නේ දැන් ඊලඟට නිවාඩු ඕන වෙයි වෙඩින් එකට නේද?" රවීන් ඇහුවම ඖය්මි හිනාවුණා විතරයි.
"හ්ම්ම්..." රවීන් ලොකු සුසුමක් හෙලුවා.
"එහෙනම් මම තියන්නද? මිස්ටර් රවීන්ලා එන්න ලෑස්ති වෙන්නත් ඕන ඇති නේ" අයුමි කිව්වේ ඔහු සුසුමක් හෙලුවේ කතාව ඉවර කරන්න ඕනවට කියලා හිතිලා.
"නෑ"
"ම්ම්?"
"ලෑස්ති වෙන්න හදිසියක් නෑ"
රවීන් එහෙම කිව්වම අයුමි කල්පනා කලේ ඒකට මොනා කියන්නද කියලා.
"ඔයාට තමා තියන්න හදිසි වගේ" රවීන්ම ආයෙම කිව්වා.
"නෑ...එහෙම හන්දා නෙවෙයි. මම හිතුවේ ලෑස්ති වෙන්න යන්න ඕන ඇති කියලා" අයුමි කිව්වා.
"කොලඹ එන්න කම්මැලියි අයුමි" රවීන් ඊලඟට කිව්වා.
"ඇයි?"
"මෙහේ හරීම නිස්කලංකයි. හැමදේම අලුත් වගේ. හුස්ම ගන්න වාතය වුණත් හරිම ෆ්‍රෙෂ්. ඒත් ඉතිං අපි පින් කරලා නෑ ඒවා විඳ විඳ මෙහාට වෙලා ඉන්න"
"එහෙම ඉතිං හිතන්න ඕන නෑනෙ. මිස්ටර් රවීන්ට කැමති ඕන තැනක ඉන්න බැරි කමක් නෑ නේ" අයුමි කිව්වා.
"බැරිකම් ගොඩක් තියෙනවා ඔයා නොදන්නවට" රවීන් කිව්වා.
අයුමි යන්තම් හිනාවුණා විතරයි මුකුත් නොකියාම.
"මගේ ගෙවල් කොලඹ, ළමයි දෙන්නා කොලඹ, කම්පැනිය කොලඹ එතකොට ඒ කම්පැනියේ ඉන්න අර ලස්ස්න, මල් පෝච්චි පේන්න බැරි ගෑණු ළමයා කොලඹ..."
අවීන් අන්තිමට කිව්වේ තමන් ගැන කියලා තේරුම් ගන්න අයුමිට ටික වෙලාවක් ගියා. ඒ පාර ඈ ලැජාවෙන් රතු වුණා.
"මිස්ටර් රවීන්ට පිස්සු" ඈ කිව්වේ හෙමින්.
"මෙහෙම ගියොත් පිස්සුත් හැදේවි තමා" රවීන් කිව්වේ සැහැල්ලුවෙන්.
"ඕනම දෙයක් ඕනවට වඩා නොහිතා හිටියොත්..."
"ඔන්න බණ දේශණාව පටන් ගත්තා. ඔයා එක්ක හිටියොත් දවසක මට මහණ වෙන්න හිතෙයි මං දන්නවා"
"පිස්සු නොහැදී, මහණ වෙන්න හිතුණොත් නරකයැ?" අයුමි කිව්වෙත් සැහැල්ලුවෙන්.
"නරක නෑ. කොච්චර හොඳද එහෙම දේකට හිත හදාගන්න පුලුවන් නම්. ඒත්...මගේ ජීවිතේ රාහුලයෝ ගොඩයි අයුමි. මේ භවේ නම් ගැලවීමක් වෙන්නේ නෑ" රවීන් කිව්වේ විහිලුවෙන් වුණත් ඒ වචන ඇතුලේ ගැබ් වෙලා තිබ්බේ ඔහු තුල තිබ්බ කනස්සල්ල කියලා ඈට හිතුණා.
"එහෙම හිතන්න එපා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ"
අයුමි කිව්වම ර්වීන් හිනාවුණා.
"උපදෙස් අංක දෙක" රවීන් හිනාවුණාම අයුමිටත් හිනා ගියා.
"අයුමි කැමතිද අම්ම ගිහි ගෙය අතෑරල ගිහින් තපස් රකිනවට? කම්පැනිය අතෑරලා, ළමයින්ව අතෑර්ලා?" රවීන් ඇහුවා ආයෙම.
ඒ පාර අයුමිහේ හිත අහේතුක සාංකාවකිනුයි හීන් දුකකිනුයි පිරුණා.
"එහෙම කරන්න බැරි වග මම දනන්වා. කියන තරම් දේවල් කරන්න ලේසි නෑ"
"ම්ම්...ඒ අස්සේ තව තව දේවල් වලට හිතින් බැඳෙද්දි, සංසාරේ තව දික් වෙනවා" රවීන් කිව්වා.
"ඒ අතින් බලද්දි අපි හරි දුර්වලයි, පව්කාරයි" අයුමි කිව්වා.
"ඔව් ඒක ඇත්ත"
"හ්ම්ම්ම්" ඒ පාර දෙන්නම සුසුමක් හෙලුවේ එකම වෙලාවට.
"ඔන්න ඔන්න, ඒ පාර ඔයා මූඩ් ගහන්න නම් එපා. මට හෙට මගේ ඩිසයිනර්ව ඔෆිස් එකට ඕන" රවීන් ඊලඟට කිව්වා.
අයුමි හිනාවුණා.
"මම ගියත් තව කෙනෙක් ගන්න පුලුවන් නේ" අයුමි කිව්වේ විහිලුවට.
"ඩිසයිනර් කෙනෙක් නම් පුලුවන්, ඒත් අයුමි කෙනෙක් බෑ.."
රවීන් ඒ පාර කිව්වේ හැඟීම්බර හඬකින් වගේ. අයුමිගේ හිත සීතල වුණා.
"ඔයා දන්නවා ඒ දෙන්නගෙන් මට ඕන කාවද කියලා" රවීන් ආයෙම කිව්වා.
"ම්ම්" අයුමි හූමිටි තිබ්බේ එච්චරම නොහිතා.
"මාව වරදවා හිතන්නේ නැත්තම්, මම ඔයාට දෙයක් කියන්නද?" රවීන් මොහොතක නිහන්න්ඩතාවයකට පස්සේ ඇහුවා.
"මොකක්ද?" අයුමි ඇහුවේ මුදු හඬින්.
"I missed you here…”
රවීන් කිව්වේ රහසින් වගේ. අයුමි එකපාරටම ගල් ගැහුණා වගේ, ඒ වචන, ඒ ස්වරය මේ සේරම හන්දා.
"මට දැනෙන දේවල් ගැන මට ඔයා එක්ක අවංක වෙන්න ඕන අයුමි. මගෙන් අහන්න එපා ඇයි මම එහෙම හිතන්නේ කියලා. ඇහුවත් දෙන්න මට උත්තරයක් නෑ" රවීන් ඊලඟට කිව්වේ දයාබර හඬින්.
අයුමිට දැනෙමින් තිබුණේ අපහසුතාවයක්. ඒ කතාව පටන් නොගත්තා නම් කියලා ඈට  හිතුණා.
"අයුමි...ඔයා අහගෙනද ඉන්නේ?" රවීන් ඊලඟට ඇහුවා.
"ම්ම්" අයුමි කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
"මම කිව්වේ වැරදි දෙයක්ද?" රවීන් ඇහුවා.
"නෑ..." අයුමි කිව්වා.
"එහෙනම් ඇයි කතා නැත්තේ?" රවීන් ඇහුවා.
අයුමිට ඒකට උත්තරයක් දෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
"ම්ම්?"
"මං...මං... මොනා කියන්නද?"
"ඇයි මට ඔයාව මෙච්චර මිසිං කියලා අහන්නේ නැද්ද?" රවීන් ඇහුවා.
අයුමිට දැනුනේ ඇගේ හිස ගිනිගත්තා වගේ හැඟීමක්.
"මං ඔයාව බය කලාද?" රවීන් ඇහුවේ ඇගේ නිහැඬියාවට ඉද දීලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා.
"අ..ම්ම්...න...න් ඈ..."
"මං ගැන වරදවා හිතන්න එපා. මට ඕන වුණේ ඔයාට අවංක වෙන්න විතරයි. ඔයා අකමැති නම් ආයේ මම මෙහෙම කතා නොකර ඉන්නම්" රවීන් කිව්වා.
ටිකක් විතර තිගැස්සිලා උන්නත්, රවීන් කතා නොකර ඉන්න අයුමිට ඕන වුණේ නෑ.
"එහෙම කරන්න ඕන නෑ" ඈ කිව්වේ ඒකයි.
"කොහොම්ද?"
"ම්ම්....මේ...කතා නොකර ඉන්න"
අයුමි තතනමින් කිව්වම රවීන්ට මදහිනාවක් වත් යන්න ඇති.
"එපා කිව්වත් මම කතා නොකර ඉඳීවි කියලා හිතුවද?
රවීන් ඊටපස්සේ ඇහුවා.අයුමි ඒකට උත්තරයක් දුන්නේ නෑ.
"ම්ම්...කමක් නෑ. මට තේරෙනවා ඔයා ඉන්නේ බය වෙලා. පිස්සු ළමයා...අපි වෙන වෙලාවක ආයෙම කතා කරමු" රවීන් කිව්වා අන්තිමට.
"හරි" අයුමිත් තෙපලුවා.
"හරි. හෙට පරෙස්සමින් එන්න එහෙනම්" රවීන් කිව්වා.
"ඔයාලත් පරෙස්සමින් යන්න එහෙනං" අයුමි කිව්වා.
"OK. තෑන්ක්ස්" රවීන් කිව්වා.
"තියන්නම්" අයුමි කිව්වේ හෙමින්.
ඒ පාර රවීන් තප්පරේකට දෙකකට ගොලු වුණා.
"එපා කිව්වොත් නොතියා ඉන්නවද?" ඔහු ඇහුවා ඉන් පස්සේ.
අයුමිගේ හිත සීතල වුණා ආයෙම ඒ ස්වරයට.
"ප්ලීස්...තියන්න" අයුමි කිව්වා.
ඈට ඇහුණා ඒ පාර රවීන් හිනාවෙනවා හෙමින්.
"...තියන්න එහෙනම්. See you tomorrow”
රවීන් එහෙම කිව්වත් ෆෝන් ඇමතුම විසන්ධි කලේ නෑ. අන්තිමේදි ඇමතුම විසන්ධි කලේ අයුමි.  ෆෝන් එක පාත දාලා ඈ දිගම දිග සුසුමක් හෙලුවා. ඊටපස්සේ ඈ වටපිට බැලුවේ ගෙදර කවුරුහරි බලාගෙන ඉන්නවාවත්ද කියලා. ඒත් වෙලාවට කවුරුවත් හිටියේ නෑ. තව ටිකක් වෙලා එහෙමම ඉඳලා හිත සන්සුන් කරගත්තු ඈ ගෙට යන්න ගියා.
"මොකක්ද අනේ ඒ කෝල් එක. බොස් ද කතා කලේ වෙන කවුරුවත්ද?" ගෙට යද්දිම වගේ ඈ ඉස්සරහට එමින් උන්නු අනුකි ඇහුවා.
"ආ.. නෑ අක්කේ, මේ...ඊයේ අපේ අය ගියානේ නුවර එලියේ වැඩේ ඉවර කරන්න. ඒකේ විස්තර කිය කිය හිටියේ" අයුමි බොහොම අමාරුවෙන් බාග බොරුවක් කිව්වා. 
"ආ හරි හරි" අනුකි එහෙම කියාගෙන කුස්සිය දිහාට යද්දි අයුමි හොරා වගේ ඇවිත් කාමරේට වැදුණේ තමන්ගේ හිතේ තියෙන කැලඹීම ගෙදර තවත් කාට හරි දැනේවි කියල බයේ.
"බීප්" හඬින් sms එකක් ආවම ඈ තිගැස්සුනේ, ඒ තරම්ම බර කල්පනාවකට ඈ වැටිලා උන්නු නිසා.  ඈ ඒක අරන් බලද්දි ආයෙම රවීන්. ඒකෙ සටහන් වෙලා තිබ්බ වදන් පෙල දැක්කම අයුමිට හීන් හිනාවක් නැගුණා. ඒ එක්කම රවීන් ගැන සෙනෙහස හිතේ පිරුණා අනවසරෙන්ම.
“P.S. When u come back, please shed the Mr. part at home and come”

4 comments:

  1. යනවා ෆාස්ට් වැඩිද මන්දා...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නෙතූ අක්කේ, ඔයාගේ කලින් බ්ලොග් එකත්, මේ එකත් දෙකම මම කියවලා තියෙනවා..ඒ දවස්වල A/L නිසා අදහස් යොමු කරන්න නම් වෙලාවක් තිබුණේ නෑ.. ඒත් ටෙලිනාට්‍යයක් බලනවට වඩා ඔයාගේ කතා කියවන එක හරිම ආශ්වාදජනකයි...ඔයාට තව තවත් ලියන්න සුබ පතනවා.. මේ කතාවත් හරිම ලස්සනයි, ටිකක් ඉක්මන් වුනා වගේ වුණත් රසය නම් අඩු වුනේ නෑ.. කියවන්න තව තවත් උද්යෝගිමත් වුනා කියලයි මගේ අදහස..

    ReplyDelete
  4. ඇයි මේ සර් ඩිවෝස් උනේ ? ලස්සනට කතාව ගලන් යනවා Good Luck නෙතු අක්කි

    ReplyDelete