Monday, June 15, 2015

විහංඟනාවී- දහ නවවන කොටස

"අත ලොකුයි අම්මේ මේ හැට්ටේ"
අනුකිගේ කණුකුණුව කාමරේ පැත්තෙන් ඇහෙද්දි අයුමි උන්නේ පහුවදා උයන්න බෝංචි වගයක නූල් අරින ගමන්.
ඔෆිස් ඇරිලා ගෙදර ආපු වෙලේ ඉඳන්ම අයුමිට කරන්න දාහකුත් එකක් වැඩ තිබුණා.
"දැන් ඔය හැට්ටේ මහන්න දීල සති දෙකකටත් වැඩියි නේද? දැන්ද ළමයෝ ඇද පේන්නේ?" ආත්තම්ම ඒ අස්සේ සාලේ ඉඳන් කෑ ගහනවා.
"බලන්න එද්දි මෙහෙම නම්, මගුල ගද්දි කොහොම හිටීද?" එහෙම කිව්වේ මේසේ ලඟ පිඟන් පිහිමින් උන්නු මල්ලි.
"කියලා වැඩක් නෑ" අයුමිට උදව් වෙන්න ඇවිත් උන්නු අමාලිත් කිව්වා.
අයුමි නම් හිනාවුණා විතරයි.
"මැෂින් එකේ ලණුව කැඩිලනේ. ඉතිං මහන්නේ කොහොමද? " ආයෙම ඇහුණා අක්කගේ හඬ.
"එහෙනම් ඉතිං අතේ මහගන්න එකනේ ඇත්තේ" අම්මාගේ නො ඉවසිලිමත් හඬත් ඉන්පස්සේ ඇහුණා.
"අම්මලට නම් කිසි ගාණක් නෑ. දැන් සරිය නවලා අයන් කරන්නත් ඕන" අක්කා නාහෙන් අඬද්දි අම්මා කාමරෙන් එලියට එන්න ආවේ අක්කට ඕන එකක් කරගන්න කියලා.
"මට මෙහේ මේ මාලු ඇඹුල් තියල් කරන්නත් තියෙනවා. ඒ අස්සේ මෙයාගේ මේ විකාර බලන්නත් ඕන" අම්මා ආවේ කියවමින්.
"අමාලි...මෙන්න මේ ටික කඩනවද මම එනකල්? මම අක්කගේ වැඩේ බලලා එන්නම්"
ඒ පාර අයුමි බෝංචි කඩන වැඩේ අමාලිට බාර දීලා අක්කගේ කාමරේට ගියා.අයුමි යද්දි අනුකි හැට්ටේ පැත්තක දාලා ඇඳේ කොනකට වෙලා අඬනවා.
"අනේ අක්කේ මොකද මේ?" අයුමිට ඇහුවේ ඈ ගැන දැනුණ අනුකම්පාවෙන්.
"යන්න මද්දු, මට මෙහෙම ඉන්න දීලා" අනුකි කිව්වේ ඈ දිහාවත් නොබලා.
"ඉන්නකෝ මම මේක අල්ලලා දෙන්න" අයුමි හැට්ටේ අතට ගන්න ගමන් කිව්වා.
"අතේ මැහුවොත් ඕකේ නූල් පෙනේවි මද්දු. ඕන නෑ" අනුකි කිව්වේ නොරිස්සුමින්.
"එහෙනම් මම නැන්දලාගේ ගෙදරට ගිහින් අල්ලගෙන එන්නද?"
අයුමි එහෙම ඇහුවම අනුකි හිස ගැස්සුවා. "ඕන නෑ"
"හිතුවක්කාර වෙන්න එපා අනේ. අම්මත් පව් නේ. එයාට කොච්චර වැඩද? මම ගිහින් අල්ලගෙන එන්නම්. කියන්න කොච්චරක් අල්ලන්න ඕනද?"
අනුකි ඒත් මොනවත් කිව්වේ නෑ. අන්තිමේදි අයුමි අහලා අහලා බැරිම තැන ඈ අල්ලන්න ඕන ගාණ පෙන්නුවම අයුමි ඒක අරන් මාමලගේ ගෙදරට එන්න ආවා.
"මොකෝ ළමයෝ මේ රෑ ජාමේ?" සාලෙට වෙලා කොහේදෝ යන්න බලාගෙන හිටගෙන උන්නු මාමා ඇහුවේ තෝච් එක නිවලා අයුමි ගෙට ගොඩ වෙද්දි.
"මේ අක්කගේ හැට්ටේ මොකක්ද අවුලක්ලු. ඒක පොඩ්ඩක් හදාගන්න කියලා ආවේ මාමේ. මාමා කොහේ හරි යන්නද?"
"ඔව්, මමත් මේ ඒ පැත්තට ගොහින් එන්න කියලා බැලුවේ"
"හා එහෙනම්, මම මේක හදාගෙන එන්නම්"
"වෙලා යන්නේ නැත්තම් මාත් මෙහෙන් ඉන්නම්කෝ. ඔය ළමයා ඕක හදාගෙන එන්න. මම විටක් වත් නොකා මේ යන්න ලෑස්ති වුණේ" එහෙම් කියලා මාමා ආයෙම සාලේ උස හෙප්පුව ලඟට වුණා.
අයුමි ඇතුලට යද්දි නැන්දා කෑම මේසේ අස් කරනවා, හිමාලිත් එක්ක.
"ආ...මද්දු දුව මොකෝඅ මේ රෑ වෙලා" එහෙම ඇහුවේ නැන්දා.
හිමාලි නම් ඈ දිහාට යන්තම් බැල්මක් හෙලලා නොදැක්කා වගේ අහක බලාගත්තා විතරයි. ඒ පාර අයුමි ආපු කාරණාව කිව්වම නැන්දා ඉක්මණ් කරලා මහන මැෂිම එලියට අරන් දුන්නා අයුමිට වැඩේ කරගන්න.
"හැට්ටේ හදන්නේ අන්තිම මොහොතෙද?" අයුමි උන්නු දිහාවෙන් යන්න ආපු ගමන් වගේ ආපු හිමාලි ඇහුවේ ඕනවට එපාවට.
"අද දවල් නේ මේක හම්බවෙලා තියෙන්නේ. ඉතිං අක්කා ආවේ හවස. හදාගන්න වෙලාවක් තිබ්බේ නෑ" අයුමි කිව්වා.
"හරියට මහන තැනකට නොදී, ඔය අඩු ගාණට මහන තැන් වලට දුන්නම ඕක වෙනවා" හිමාලි ආඩම්බරෙන් වගේ එහෙම කියලා ටිකක එතනින් ඉස්සරහට ගිහින් සාලේ උලුවස්සට හේත්තු වුණා.
අයුමි කටවහගෙන උන්නේ නැන්දා එතන උන්නු නිසා.
"හදිසියට ඕවා වෙනවා ළමයෝ. ඔහොම තමා" නැන්දා කිව්වා.
"ඒකක් නෙවෙයි, කොහොමද ඉතිං දැන් මද්දුගේ ජොබ් එකේ තත්වේ? එතන හොඳයි කියලා තමා ආරංචි" නැන්දා ආයෙම ඇහුවා.
"දවස ගානේ trip එක්කන් යන බොස්ලා ඉද්දි හොඳ නැතෑ නේද?" අයුමි උන්නු දිහාට හැරිලා එහෙම ඇහුවේ හිමාලි.
"දවස ගාණේ නම් යන trip එකක් නෑ අපි නම්. වැඩ කරන කොට එහේ මෙහේ යන්න වෙන එක මේ ජොබ් එකේ හැටි" අයුමි කිව්වේ නොරිස්සුම මුසු ස්වරයකින්.
"අනේ මන්දා ළමයෝ. බඳින්න කලින් නම් ඔහොම ජොබ් එකක් කමක් නෑ. ඒත් ඉතිං ඔය වගේ එහේ මෙහේ යන්න තියෙන එව්වා හරියන්නේ කොල්ලන්ට තමා නේද?" නැන්දා ඇහුවේ එක්දාස් නවසිය බර ගණන් වල ජීවත් වෙන කෙනෙක් වගේ.
"එහෙම එකක් නෑ නැන්දේ. දැන් හැමෝම හැම විදියෙම වැඩ කරනවා" අයුමි කිව්වේ නොරිස්සුම හිත ඇතුලේ නැගගෙන එද්දි.
ඒ අස්සේ මහන්න කලින්ම පාගද්දි ඉඳිකට්ටෙන් නූල පැන්නම ඈ තවත් නොරිස්සුම්සහගත වුණා.
"කෙහෙල්මල මේක"
"නූල තද ඇති, කෝ බලන්න" නැන්දා ඒ පාර මහන මැෂිම බලනන් වුණා.
"අයුමිගේ බොස් හරි හොඳයි ලු නේද?" හිමාලි ආයෙම ඒ කතාව ඇද්දේ කට කොනකින් හිනාවෙමින්.
"බොස්ගේ වරදක් නෑ" ඈ කිව්වේ අමාලි දිහා නොබලා.
"ම්ම්...අනේ වාසනාවන්, හැමෝටම ඒ වගේ අය ලැබෙන්න ඕන" හිමාලි එහෙම කිව්වේ සරදමට වගේ.
අයුමි තරහින් රතු වෙලා ගියා. ඒත් ඈ මුකුත් කියන්න ගියේ නැහැ. නැන්දා හදලා දුන්නට පස්සේ හැට්ටේ අත මහගෙන එලියට එන්න ආවා මිසක. ඒ එක්කම ඈ හිතුවේ මොකද හිමාලි ඒ වගේ කතාවක් කිව්වේ කියලා.
"ඒකනේ මම එහේ යන්න ආස නැත්තේ"
මම එක්කම ගෙදර ඇවිත් අනුකිට හැට්ටේ දීලා වෙච්ච දේවල් කිව්වම අනුකි කිව්වේ එහෙම.
"එයාට මගේ බොස්ගේ බාරෙමයි"
"පිස්සු මල හටන. ඔයා ගණන් ගනන් එපා. එයාට ඉරිසියාවේ ඔයාට ඒ වගේ හොඳ තැනක් හම්බවෙච්ච එක ගැන. ඒකයි ඔය" අනුකි ආයෙම කිව්වා.
"ඉරිසියා කලා කියලා මොනා ලැබෙනවද?" අයුමි ඇහුවේ අනුකි ඇඳපු හැට්ටේ අත හරිද කියලා බලන ගමන්.
"ඒකනේ මෝඩකම කියන්නේ. මම අහගෙන නැන්දා, ආත්තම්මට කියනවා හිමාලිට ලොකු තැනකින් මගුලක් කතා කරන්න යනවා කියලා"
"තැන ලොකු පොඩි එක නෙවේනේ අක්කේ, මනුස්සයා හොඳද කියන එකනේ බලන්න ඕන"
"කියලා වැඩක් නෑ. ඔය හිටියට නැන්දටත් ඕන අපට වඩා අඟලක් හරි හිමාලි උඩින් තියන්න. බාප්පලාගේ ළමයි පොඩි හන්දා මිසක නැත්තම් ඒ අයටත් ඉරිසියා කරනවා මෙයාලා" අනුකි කිව්වේ හැට්ටේ හැඩ බලන ගමන්.
"හ්ම්...දැන් හරි වගේ නේ අත?" අයුමි ඇහුවා.
"ඔව් ඔව්. අනේ ඔයා ඒක කරගෙන ආපු එක ලොකුම දෙයක් නංඟි. මට මේ ඔලුව විකාර වෙලා ඉන්නේ හෙට ගැන හිතද්දි"
"වැඩිය හිතන්න එපා හලෝ. රුචිර අයියා ඔයාව එපා කියන්නද හෙට හැට්ටේ අත හරි නෑ කියලා?" අයුමි ඇහුඒ හිනාවෙලා.
"නෑ අනේ එහෙම නෙවෙයි. ඒත් අම්මලා මාව මුලින්ම දකින්නේ හෙටනේ. ‘First impression is everlasting' කියනවනේ"
"ඒ ගැන බය වෙන්න ඕන නෑ අක්කේ. ඔයාව දැක්කම ඕන කෙනෙක්ගේ හිත පහන් වෙනවා" අයුමි කිව්වේ ඇත්තටම.
"අනේ මේ බොරු නොකියා මෙන්න මේ සාරිය අල්ලන්න රැලි ටික හදාගන්න" අනුකි කිව්වේ ලැජ්ජාවෙන් දෙකම්මුල් පොඩ්ඩක් විතර රතු වෙද්දි.
කොහොමින් කොහොමින් හරි, පහුවදාට ඕන වැඩ ටික ඉවර වෙද්දි රෑ දොලහත් පහු වෙලා තිබුණා. අයුමි ඇඳට ගියේ නිදිමත පෙරි පෙරී. බස් එකේ මග දුරක් හිටගෙන ආපු මහන්සියත් නිසා ඈ උන්නේ තෙහෙට්ටු වෙලා.
ඇඳට නැගලා අනික් දවසට එලාම් එක තියන්න ෆෝන් එක අතට ගද්දි ඈ දෑක්ක ඈට මැසේජ් එකක් ඇවිත් තියෙන වග. ඈ නිදිමත නොතකා ඒක ඕපන් කලේ ඒ කාගෙන්ද බලන්න.
"පරෙස්සමෙන් ආවද?"
මැසේජ් එකේ සටහන් වෙලා තිබ්බේ එහෙම. අයුමිගේ හදවත වේගෙන් ගැහෙන්න වුණේ ඒක එවලා තිබුණ කෙනා දැක්කම. 'රවීන්?'
රවීන් ඊට කලින් කවදාවත් එහෙම තියා කොහොමවත් මැසේජ් එකක් අයුමිට එවලා තිබුණේ නෑ. උත්තරයක් යවන්න ඕනද නැද්ද කියලා ඈ කල්පනා කලේ ඒ වචන වල තිබ්බ ලෙන්ගතු සමීපභාවය නිසා හිතේ ඇතිවුණ දෙගිඩියාව හන්දා. පහුගිය දවස් දෙකේ, වචනෙන් නොකිව්වත් මොකදෝ සමීපබවක් තමන් අතර ගොඩනැගිලා නේද කියලා ඈට අන්තිමේදි පසක් වුණා. රවීන් ගැන ඇගේ හිතේ තිබුණේ නුහුරු කෝල හැඟීමකින් වෙලුණ ලෙන්ගතුකමක්. සෙනෙහසක්.
"ඔව්. තෑන්ක් යූ" ඈ එහෙම ටයිප් කලෙත් ඒ හැඟීම හිතේ හැම කොනකම පැතිරෙද්දි.
ටයිප් කරලා ඉවර වෙලා කොට්ටේ ලඟ ෆෝන් එක තියලා ඈ දෑස් පියාගත්තේ රවීන්ගේ රුව හිත තුල ඇඳෙද්දි. ඒ එක්කම වගේ ආයෙම ෆෝන් එක බීප් ගෑවා. 'මැසේජ් එකක්?' අයුමි ෆෝන් එක අතට ගත්තේ කුතුහලෙන්."රවීන්?"
"Not sleep yet?" ඒකේ සටහන් වෙලා තිබ්බේ එහෙම.
ඒක දැකපු ගමන් අයුමිගේ හිතට රවීන් ගැන නැගුනෙත් ඒ ප්‍රශ්ණෙමයි. ඈ ආයෙම කල්පනා කරමින් ඉඳලා අන්තිමේදි උත්තරයක් යැව්වා.
"about to go to sleep.  You are not sleep yet?"
“Nope…weda weda. Just starting the work” හැරෙන තැපෑලෙන්ම ආයෙම උත්තරයක්.
අයුමි හැරිලා බැලුවේ අක්කා නැගිටලද කියලා. නැත්තම් මේ රෑ නැගිටගෙන ස්ම්ස් ගහන්නේ කාටද කියලා ඈ බලාවි කියලා අයුමි ටිකක් බය වුණා. ඒත් අනුකි උන්නේ නින්දේ.
“in this dead of night?” අයුමි ආයෙම ටයිප් කලා.
J yep. I am a night bird”
J
“hope the things at home are all ok”
“Yes. Thank you”
“No prolem. We are leaving to NE tomorrow early morning. Priyanthi cannot come. So it’s me, Saminda and Asmir going. I am gonna miss you I guess”
අවසන් වදන් පෙල දැක්කම අයුමිගේ හිත ආයෙම නුහුරු හැඟීමකින් මිරිකුණා. ඒකට මොන උත්තරයක් දෙන්නද කියලා ඈට හිතාගන්න බැරි වුණා.
“I wish you will not” ඈ අන්තිමේදි ටයිප් කලේ එහෙම.  
“you can wish, but you cannot stop me missing you” රවීන් නවත්තන්නෙම නෑ වගේ.
අයුමි උන්නේ මොකක්දෝ හැඟීම් මාලාවකින් පෙලෙමින්. ඒ අතරේ රවීන්ව දකින්න ලොකු උවමනාවකුත්, ඔහු ලඟ නැති එක ගැන පුංචි සංතාපෙකුත් තිබුණා. ඒත් ඒක ඔහුට අඟවන්න ඈට ඕන වුණේ නෑ. එහෙම වෙනවට ඈ බය වුණා.
“I really need to go to sleep now. May be you should too. Since you need to get up early” අයුමි කතාව වෙනතක හරවන්න එහෙම උත්තරයක් යැව්වේ ඒ හන්දා.
“You are so cunning. J trying to wirggle out of the conversation. I am not gonna sleep any sooner. Bt its ok.  I don’t wanna keep you awake. Go to sleep. Good night”
රවීන්ගේ උත්තරේ අයුමිව අපහසුතාවයකට පත් නොකලා නෙවෙයි. ඈට රවීන් එක්ක කතා කරන්න ඕන වුණ තරමටම, හිතේ එක පැත්තක් ඒක නොහොබිනා වැඩක් කියලා ඒ තරම්ම අවධාරණයෙන් කියා හිටින්න වුණා. ඉතිං අන්තිමට ඈ කලේ SMS කරන එක නතර කරන්න තීරණය කරපු එක.
“Have a safe journey tomorrow and take care”
“you too take care my dear…and have fun tomorrow!”
J I will, Thank you”
“ and I will be missing you in the coldness of the hills and the entire journey”
“Good night Mr. Raveen”
අයුමි එහෙම උත්තරයක් යැව්වේ වෙන කියන්න දෙයක් නැති හන්දා. තමන්ගේ හිතේ ඔහු ගැන තියෙන ලෙන්ගතුකම ඔහුට දැනේවි කියලා ඈ බය වුණා. ඒක කොහොමවත් ඔහුට පෙන්නන්න ඈට ඕන වුණේ නෑ. ඒත් ඈ හිත ඇතුලෙන් දුක් නොවුණා නෙවෙයි. රවීන් ලඟ ඉන්න තිබ්බා නම් කියලා සිතුවිලි මාත්‍රයක් ඈ තුල නොතිබ්බා නෙවෙයි. ඒත් හිතට එහෙම අයාලේ යන්න ඉඩ දෙන්න ඈට පුලුවන් කමක් තිබ්බේ නෑ. හිත තිබුණේ දෙපැත්තකට බෙදිලා. තාමත් හිතේ නොදැමුණු පැත්තට වඩා නැඹුරුකමක් අයුමිගේ තිබුණා හිතේ දැමුණු පැත්තට. රවීන්ව පරෙස්සමින් ආශ්‍රය කරන්න ඕන කියලා ඈ හිතුවේ ඒ හන්දමයි.
***
"රුචිර අයියත් හැන්ඩි නේ?"
අනුකි රුචිරලාගේ පවුලේ උදවියව වැඳ වැඳ පිලිගන්න වෙලේ, ඉස්සරහ කාමරේ දොර රෙද්දෙන් එබිලා බලාගෙන උන්නු අමාලි එහා පැත්තේ හිටපු අයුමිට එහෙම කිව්වේ හිනාවක් පාලා.
කොණ්ඩේ උඩට පීරලා, හිනාවකින් මුව සරසගෙන උන්නු රුචිර ඇත්තටම කඩවසම් කියලා අයුමිටත් හිතුණා. තරමක් පැහැපත් වුණ ඔහුට තිබුණේ හිනාවෙන ඇස් දෙකක්. අයුමිට හිතුණා ඒ හන්දම ඔහු නිතර හිනාවෙලා ඉන්න කෙනෙක් වෙන්න ඇති කියලා.
"හ්ම්ම්. චන්න පෙරේරා වගේ නේ?" අයුමි ඇහුවා.
"ආ...පොඩ්ඩක්. හැබැයි ඊට වඩා මෙයා උසයි නේද?"
"හ්ම්ම්"
"ඒයි...කවුද අනේ අර එයාට එහාපැත්තේ ඉන්න බුවා" අමාලි ඇහුවේ රුචිරගේ දකුණු පැත්තෙන් උන්නු තරුණයා පෙන්නලා.
රුචිර වගේ පෙනුමක් නොතිබ්බත්, කොටට හිසකේ කපලා, පිලිවෙලකට ඇඳලා, මූණ පුරා රැවුලක් වවාගෙන උන්නු ඔහුත් මාර හැණ්ඩි කියලා අයුමිටත් දැක්ක ගමන්ම හිතුණා.
"ආනේ...ඇත්තටම කවුද දන්නේ නෑ ඒ?"
"පොර නම් හැන්ඩි නේ. ඔන්න අක්කේ කරගන්නවානම් වැඩේ" අමාලි කිව්වේ අයුමි දිහාට හැරිලා.
"අනේ මේ...ඔයාට ඕන නම් ගන්න. මට නම් එපා"
අයුමි කිව්වම අමාලි හිනාවුණා හයියෙන්ම.
ඒ පාර ආච්චි අම්මා කොහෙදෝ ඉඳන් ඇවිත් කාමරේට එබුණම දෙන්නගෙම හිනාව නැවතුණා.
"මොකද මේ දෙන්න මෙතන හැංඟීගෙන කැකිරි පලන්නේ? අන්න අරහේ කෑම මේසේ ලෑස්ති කරන්න තියෙනවා තව. අමාලියෝ ඒ පැත්තට ගිහින් බැලුවොත් හොඳා" ආත්තම්ම විධානයක් නිකුත් කලා.
අමාලි හීන් සීරුවෙ එතනින් ඇදිලා යද්දි ආත්තම්ම අයුමිවත් ඇදගෙන සාලෙට එන්න ආවේ පවුලේ අයව අඳුන්වලා දෙන්න ඕන වුණ හන්දා.
තරමක් කලබල කාරී වගේම විනෝදජනක වෙච්ච ඒ දවස ඉවර වෙද්දි අයුමි නම් උන්නේ රුචිර ගැන වගේම එයාගේ පවුලේ අය ගැනත් ගොඩක් පැහැදිලා.
"අපරාදේ කියන්න බෑ, සල්ලි තිබ්බට වැඩිය අනම් මනම් නැති හොඳ මිනිස්සු" ඒ මාමගේ නිගමනය.
"අනේ ඔව්. ඒ ළමයගේ අම්මා තාත්තා, නෑයෝ සේරමත් හරිම ඇතිකමයි වගේ තේරුණා මටත්" ඒ අම්මා.
"මොනා වුණත්, අපේ අඟ ඒ අතින් නම් මොලේ ඇතුව වැඩ කරලා තියෙන වග නම් පෙනුනා මටත්. කොල්ලත් අපරාදේ කියන්න බෑ. අර ඒ හිටපු අනික් ළමයත් ජූජක බමුණා වගේ උන්නට නරකම නෑ"  ඒ ආත්තම්ම.
"ජූජක බමුණා?" අයිස් ක්‍රීම් පෙට්ටියම අතට අරන් කකා උන්නු අයුමිගේ මල්ලි ඇහුවා එක පාරටම.
"ඔව් ඔව්. අර දැක්කේ නැද්ද? මූණ පුරා රැවුල වවාගෙන හිටියේ"
"අනේ ආත්තම්මේ, ඒ තමා දැන් ස්ටයිල් එක" මල්ලි කිව්වේ අනික් අය හිනාවෙද්දි.
"ඉස්ටැයිල් එක කෙසේ වෙතත් මට පේන්නේ ලෝකේ ආයෙම ආපස්සට යනවද කොහෙදෑ ගල් යුගේටම" ආත්තම්ම සුසුමක් හෙලලා කියනවා හිනාව අස්සෙන් අයුමිට ඇහුණා.

දවස ඒ විදියට සතුටින් ඉවර වෙද්දි අයුමිට රවීන් මතක් නොවුණ තරමයි තිබුණ කලබලේ හන්දා. ඒත් හවස පන තියන්න මල් කඩන්න ගිය වෙලේ ඇගේ හිතට ඔහුව මතක් වුණේ ඉබේටම වගේ. දැන් ඔහු සීතලේ නුවර එලියට වෙලා ඉන්නවා ඇති කියලා ඈට හිතුණා. ඔහුට ඈව මතක් වෙනවා ඇත්ද? ඈ හිතුවේ හිතේ සාංකාවක් වගේ හැඟීමක් පැතිරෙද්දි. 'සමහරවිට නැතිව ඇති' හිතේ එක පැත්තක් කිව්වා. ඒත් හිතේ අනික් පැත්ත ඒක පිලිගත්තේ නෑ. මල් තියලා ඉවර වෙලා අයුමි ගිහින් ෆෝන් එක අතට අරන් බැලුවේ සැකේට වගේ. ඒත් කලින්දා ආපු මැසේජ් ඇරෙන්න අලුත් මැසේජ් තිබ්බේ නෑ ඔහුගෙන්. අයුමි සුසුමක් හෙලුවා ආයෙම හිත සාංකාවෙන් වෙලෙද්දි. ඒ එක්කම ඈ කල්පනා කලේ 'මට මොකද මේ වෙලා තියෙන්නේ' කියා. හිත ඇහුවට ඒකට දෙන්න උත්තරයක් ඈ ලඟ තිබ්බේ නෑ.

2 comments:

  1. I like this story among all of your other stories. The way you are writing it makes it more interesting. I wish I could read this story at once.anyway,good luck chanu!!!

    ReplyDelete