Sunday, June 7, 2015

විහංඟනාවී- දාහත්වන කොටස

"මද්දු සිකුරාදා හවස එනවා නේද?"
අම්මා කතා කලේ අයුමි රවීනුයි, සමින්දයි එක්ක ක්ලයන්ට් කෙනෙකුට ගෙනියන්න ගෙනාපු බඩු වගයක් චෙක් කරමින් ඉද්දි. අයුමි එතනින් නැගිටලා පොඩ්ඩක් එහාට යද්දි රවීන් යන්තම් හිස හරවලා බැලුවා.
"ඔව් අම්මා. කොහොමහරි එනවා හවසම. රුචිර අයියලා එන්නේ සෙනසුරාදා දවල් කෑමට නේද?"
"ඔව් ඔව්. එහෙන් එන්නේ උදේමලු"
"මොනවත් කැවිලි හෙමත් හදනවද අම්මේ?"
"ම්ම්...අනේ මන්දා ළමයෝ. නැන්දා නම් කිව්වා අලුවා ටිකක් කපලා දෙන්නම් කියලා. ආත්තම්මත් ඕන කැවුම් උයන්න ලෑස්ති හෙට"
"ආ එහෙමද? මෙහෙන් මොනා හරි ගේන්න ඕනද?"
"නෑ නෑ. ඔයා මොනවත් උස්සගෙන එන්න ඕන නෑ. මොනා හරි ඕන වුණොත් අවිස්සාවේල්ලෙන් ගෙන්න බැරියැ" අම්මා කිව්වා.
"හා එහෙනම්"
"ඔයා ඔය වැඩකද ඉන්නේ?" අම්මා ඇහුවා ඊලඟට.
"ඔව් අම්මේ මේ බඩු වගයක් බලන ගමන්"
"හා එහෙනම් ඔයා වැඩ කරන්න. මම මොනා හරි තිබුණොත් කෝල් එකක් දෙන්නම්"
"හරි අම්මේ. බුදු සරණයි"
අම්මගේ කෝල් එක ඉවර වෙලා ආයෙම බඩු පැක් කරන එක බලන්න යද්දි, එලියට අරන් තිබුණ චැන්ඩෙලියර් එකක් බල බල උන්නු රවීන් හැරිලා බැලුවා.
"ගෙදරින්ද?" අයුමි ආයෙම එද්දි එතන උන්නේ රවීන් විතරයි. ඔහු එහෙම ඇහුවම ඈ හිස වැනුවා.
"ඔව්. අම්මා. සිකුරාදා ගෙදර එනවද අහන්න" රවීන් තව චැන්ඩෙලියර් එකක කොටස් වගයක් අරන් චෙක් කරන ගමන් ඇහුවා.
"මේ සිකුරාදා?"
"ඔව්.." අයුමි සැකෙන් වගේ කිව්වේ රවීන් ඒ අහපු ස්වරය හන්දා.
"ආ...මම හිතාගෙන හිටියේ අපි මේ සති අන්තේ සුරෙෂ්ගේ වැඩේ ඉවර කරන්න යනවා කියලා. මේ මේවා මේ සතියෙම ගෙන්න ගත්තෙත් ඒකයි"
රවීන් කිව්වම අයුමිගේ හිස රත් වුණා.
"ඒත්...මිස්ටර් රවීන් මට ඒක කිව්වෙ නෑනෙ"
රවීන් හිස වැනුවා.
"මම සමින්දට කිව්වා. මට මතක තිබ්බේ ඔයාට කිව්වා කියලා. අනික අද තාම බදාදනේ. අපට ලෑස්ති වෙන්න කල් ඇති නේ" රවීන් කිව්වා.
අයුමිගේ හිත හොඳටම බිඳුණා ඒ කතාව අහලා. ඇගේ උගුර හිර වෙලා කතා කරගන්නත් බැරි වුණ හන්දා, ඈ බිම බලාගෙන උන්නා විතරයි.
"අම්මා කතා කරලා විශේෂයෙන්ම ඇහුවේ මොකක් හරි තියෙනවද ගෙදර ඒ weekend එකේ?" ඊලඟට රවීන් ඇහුවා.
"ඔව්..මේ...සෙනසුරාදට අපේ අක්කා බලන්න එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ ගෙදරින් එනවා. Wedding එක ගැන කතා කරගන්න" අයුමි තතනමින් කිව්වා.
"ආ...ඒකද? ඉතිං අක්කා බලන්නනේ එන්නේ. ඔයා බලන්න නෙවෙයි නේ"  රවීන් විහිලුවෙන් වගේ කිව්වම අයුමිගේ හිතේ නැගුනේ කෝපයක්.
"මම ඉන්නම ඕන නම් කමක් නෑ මිස්ටර් රවීන්. මං අම්මට කියන්නම් එන්න වෙන්නේ නෑ කියලා" අයුමි කිව්වේ ඔහුගෙන් නිවාඩු ඉල්ලලා පිංසෙණ්ඩු වෙන්න ඈට ඕන නොවුණ නිසා.
"දැන් මම යන්න එපා කිව්වේ නෑනෙ"
රවීන් ඊලඟට කිව්වේ නිවුණ හඬකින්.  අයුමි ඒ පාර හෙමින් හිස උස්සලා ඔහු දිහා බැලුවා.
"මම දන්නවා ඔයා ගෙදර ඉන්න එක වැදගත් කියලා. හ්ම්ම්...මම මේ වැඩේ මොනා හරි කරගන්නම්. That’s  ok. ඔයා යන්න. සමින්දත් ඉන්නවා, ප්‍රියන්තිත් ඉන්නවනේ" රවීන් එහෙම කිව්වම අයුමිට සැනසුම් සුසුමක් හෙලුණා. ඒ එක්කම ඈට රවීන් ගැන දැනුනේ ලොකු ගෞරවයක්.
"එහෙම කමක් නෑ නේද මිස්ටර් රවීන්?" අයුමි ඇහුවම රවීන් හිනාවක් පෑවා.
"කමක් නැත්තේම... නම් නෑ. මම හිතුවා අයුමි මේ පාරත් යන්න ඒවි කියලා. ඒත් කමක් නෑ.ඔයාගේ වැඩේට ඔයාව release කරන්න ඕන නේ. ඒ පාඩුව මම විඳගන්නම්"
"තෑන්ක් යූ මිස්ටර් රවීන්" රවීන් කියපු වචන ගැන වැඩිය නොහිතා අයුමි කිව්වේ හදවතින්ම. ඊටපස්සේ ඈ ආයෙම වැඩේට යොමු වුණා සමින්දලා එක්ක.
චෙක් කරන වැඩේ සේරම ඉවර වෙලා බලද්දි රවීන් පේන්න උන්නේ නෑ ගබඩා කාමරේ. ඒ මොකද කියලා හිත හිත අයුමි පඩිපෙල නැග්ගේ තමන්ගේ ඔෆිස් රූම් එකට යන්න.
ඒත් ඈ එතනට යනකොටම වගේ රවීන්ගේ රූම් එක ඇරගෙන මහා හයියෙන් හිනාවෙමින් එලියට බැස්සේ, කොණ්ඩේ කොටට කපපු, කොට ගවුමක් ඇඳගත්තු, ටිකක් කලු ,උස ගැණු කෙනෙක්. ඒ එක්කම වගේ හිනාවෙවීම එලියට ආවේ රවීන්. ඒත් එක පාරටම එතන උන්නු අයුමිව දැක්කම රවීන්ගේ හිනාව වියැකුණා. අයුමි දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවා.ඇගේ හිත එක පාරටම මොකක්දෝ අහේතුක හැඟීමකින් මිරිකුණා. ඒ එක්කම හිතේ ඉපදුණේ හීන් දුකක් වගේ හැඟීමක්.  මේ අතරේ අයුමි දිහාට අහංකාර හිනාවක් පාපු අර ගෑණු කෙනා කිසි ගාණක් නැතිව රවීන්ගේ අතක වෙලුණේ අයුමි කවුද කියලා රවීන්ගෙන් අහගෙන.
"මේ අපේ අලුත් ඩිසයිනර් අයුමි. අයුමි මේ රීටා"
අයුමි යන්තමට හිස වනලා ‘Pleasure meeting you' කියාගෙන ඒ දෙන්න දිහා ආයෙම නොබලා කාමරේට වැදුණා.
ඈ ඇවිත් පුටුවට බර වුණේ හිතම කැලඹිලා වගේ. ඈට හිතාගන්න බැරි වුණා ඇයි ඒ දැකපු දෙයින් තමන් එහෙම කැලඹුනේ කියලා. සුසුමක් හෙලලා ඈ උත්සාහ කලේ හිස සන්සුන් කරගන්න. ඒත් රවීන්ගේ අතේ රීටා වෙලුණ හැටි මතක් වෙද්දි ඇගේ හිත ආයෙ ආයෙත් අර නුහුරු, දුක්මුසු හැඟීමෙන් පිරුණා.. ඒ හැඟීම් වලින් මිදෙන්න ඕන නිසා ඈ කලේ ඉතිරි වෙලා තිබුණ වැඩ ටික කරන්න යෙදුන එක. මොකද වැඩ කරද්දි වෙන වෙන ඒවා හිත හිත ඉන්න කාලයක් යෙදෙන්නේ නැති හන්දා.
ගතවුණ වෙලාව ගැන අයුමිට වගක් තිබුණේ නෑ. වැඩ සහ රවීන් අතරේ දෝලනය වුණ ඇගේ දැහැන බිඳුණේ ලඟ තිබ්බ ෆෝන් එක නාද වෙද්දි.
"කෙල්ලේ...අපි කන්න යන්න හදන්නේ. පහලට එන්න" අයුමිට කතා කලේ ප්‍රියන්ති.
ඒත් අයුමි පස්සේ කනවා කියලා නැවතුණේ ඇත්තටම ඈට කන්න පිරියක් නොදැනුන නිසා. කොහොමින් හරි අන්තිමේදි රිසෙප්ෂන් එකේ ළමයා හතරවෙනි පාරටත් කතා කරලා බත් එක නරක් වෙයි කිව්වාම, බැරිම තැන අයුමි කන්න පිටත් වුණා.
ඈ කන්න යද්දි කෑම කාමරේ උන්නේ ඈ විතරමයි. බත් එක අරිද්දි අල කරිය තිබුණේ ටිකක් පිළුන් වෙලා වගේ. ඉතින් බත් කටවල් දෙක තුනක් එහෙන් මෙහෙන් කාලා, බත් එක අකුඅලනකොටම වගේ කෑම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවේ රවීන්, ඈ නොහිතපු විදියට. ඔහුගේ අතේ තිබුණේ මොනවදෝ කෑම වගයක් දාපු බෑග් දෙකක්.
"ආ...ඔයා මෙතනද? දැන්ද කන්නේ?" බෑග් දෙකක් මේසේ මතින් තියලා රවීන් ඇහුවා.
"ඔව්" අයුමි කිව්වේ ඔහුව දැකපු ගමන් වේගෙන් ගැහෙන්න ගත්තු හදවත සමනය කරගන්න උත්සාහ කරමින්.
"මෙච්චර වෙලා මොනා කලාද කන්නේ නැතුව. දැන් වෙලාව තුනහමාරයි. තේ බොන වෙලාවත් ලං වෙලානෙ"
"මේ...මම වැඩ වගයක් කර කර ඉද්දි දන්නෙම නැතිව වෙලා ගියා"
"ඉතිං ඔය කාලා ඉවරද?" රවීන් ඇහුවේ වීසි කරන්න ඔතාගෙන උන්නු පාර්සලේ දැකලා.
"ඔව්" අයුමි නැගිටින ගමන් කිව්වා.
"ඔය බත් එක එහෙමම?"
රවීන් ඇහුවම අයුමි හිනාවුණා විතරයි.
"පිස්සු ළමයෙක් ඔයා. ඔහොම ගිහින් මොකක් හරි ලෙඩක් හැදෙයි ළමයෝ. වෙලාවට කන්න බලන්න"
අයුමි බිම බලාගෙන හිස වැනුවා. රවීන් එතනින් යන්න ගියේ ආයෙම මුකුත් නොකියා.
අයුමි එලියට ආවේ ඔහු ගිහින් ටික වෙලාවකට පස්සේ. ඈ එද්දි හසිකයි, ප්‍රියන්තියි මග ඉඳගෙන කතාවක.
"ආ...ඔයා දැන්ද අනේ කෑවේ?"
"ඔව්"
"නොකා නොබී ඔහොම වැඩ කරන්න බෑ. වෙලාවට කන්න එන්න බලන්න" ප්‍රියන්ති කිව්වා.
"අද විතරයි, මේ හදිසි වැඩක් තිබ්බ නිසා" අයුමි බොරුවක් කිව්වා.
"ම්ම්...අපරාදේ තව ටිකක් හිටියා නම් කන්න ඕනත් නෑ, එක පාරම බොසාගේ ට්‍රීට් එකත් එක්කම තේ බොන්න තිබුණා" හසිකා කිව්වා.
"ට්‍රීට්?"
"ඔව්. ඩෝනට්ස්..."
"මොකක් හරි විශේෂයක්ද?" අයුමි ඇහුවා.
"අනේ දන්නෑ. මොනාට හරි කමක් නෑ, ට්‍රීට් එකක් ලැබුණනේ.ඔයාට තේ බොන වෙලාවට එවන්නම් ඈ?" ප්‍රියන්ති කිව්වා.
අයුමි හිස වනාගෙන, දෙන්නටම බායි කියාගෙන කාමරේට ගියාට පස්සේ. එන්න ආවා. මේසේ ලඟට එද්දි එක පාරටම ඇගේ ඇස නැවතුණේ  මේසේ මත තිබ්බ පාර්සලයක් මත.. ඒක පොඩි පෙට්ටියක්. අයුමි සැකෙන් වගේ ගිහින් ඒක ඇරලා බැලුවම ඇතුලේ තිබුණේ ස්ට්‍රෝබෙරි වලින් හැඩ කරපු ඩෝනට් එකක්. අයුමිට හිතාගන්න අපහසු වුණේ නෑ ඒක ගෙනාවේ කවුද කියලා. ඈ ආයෙම සුසුමක් හෙලලා පෙට්ටිය වහලා පැත්තකට කරලා වාඩි වුණා. හිත එකලස් කරගන්න විනාඩියක් දෙකක විතර ගත්තු අයුමි, ආයෙම වැඩ කරන්න පටන් ගත්තා. ටිකකින් ඇගේ ෆෝන් එක නාද වුණේ ඈ ඩිසයින් එකේ මැදක ඉද්දි. ඉතිං මොහොතක් පමාවෙලා ෆෝන් එක උස්සන්න හදද්දි ඒක නාද වෙන එක නැවතුනා. CLI නැති හන්දා ඈ දැනගෙන හිටියේ නෑ කතා කලේ කවුද කියලා. අයුමි ෆෝන් එක ලඟින් හැරෙන්නත් කලින් ආයෙම ඒක නාද වෙන්න වුණා.
"හලෝ..."
"අයුමි..ෆෝන් එක නොගන්නේ මොකද?" එහාපැතීන් ආවේ රවීන්ගේ හඬ.
"ආ...මේ...මම ගන්න යද්දි කට්-"
"මගේ රූම් එකට එන්න දැන්ම"
අයුමි කතාව ඉවර කරන්නත් කලින් රවීන් එහෙම කියලා ෆෝන් එක තිබ්බා. අයුමි මොහොතක් ඉඳලා, හිත තරමක් සන්සුන් කරගෙන රවීන්ගේ කාමරේට ගියා.ඒ යද්දි ඔහු උන්නේ ලැප්ටොප් එකේ මූණ ඔබාගෙන වැඩක.
"ආ...එන්න" රවීන් කිව්වේ ඈ දිහා යන්තම් බලලා.
අයුමි ගිහින් ඔහු ඉස්සරහින් වාඩි වුණා.
"අර sea side cafe එකේ interior එකේ වැඩේ කොහොමද?" රවීන් ඇහුවේ දෑස් ලැප්ටොප් එකෙන් ඉවතට නොගෙනම.
"ඒක තමා මම දැන් කර කර හිටියේ" අයුමි හෙමින් කිව්වා.
"මට අද ඒ clientව හම්බවුණා. ලබන සතියේ අඟහරුවාදා දිහාට එහේ යන්න සමින්දත් එක්ක කතා කරගන්න පුලුවන් නේද?"
"පුලුවන්"
"ම්ම්...එතකොට අර අලුත් Bank branch එකේ වැඩෙත් ඉක්මණින් බලන්න තියෙනවා"
"ඒකේ layout එක හදලා තියෙන්නේ. ඒක බලලා මිස්ටර් රවීන් theme එක finalize කලොත් ඒක පටන් ගන්න පුලුවන්"
"දැන් ඔය theme එක මම ම තෝරන්න ඕන නෑනෙ අයුමි. ඔයාට දැන් ඒක කරන්න පුලුවන් වෙන්න ඕන"
ඒ පාර රවීන් කිව්වේ ලැප්ටොප් එක උඩින් අයුමි දිහා බලලා. ඒ පාර ඈ මොහොතකට ගොලුවුණා. ඇස් දෙකත් විසල් කරගෙන මොහොතක් රවීන් දිහා බලාගෙන උන්නු ඈ බිම බලාගත්තේ හිස වනමින්. දැන් පැය දෙක තුනකට කලින් හොඳට ඉඳපු මනුස්සයට මේ මොකද වුණේ කියලා ඈට හිතාගන්න බැරි වුණා.
"මම ඒක බලන්නම්"
"ම්ම්"
ඊලඟට රවීන් තව කරන්න තියෙන වැඩ ලිස්ට් එකක තොරතුතු අහන ගමන් කරන්න ඕන තව වැඩ ලිස්ට් එකකුත් කියාගෙන ගියා. අයුමි ඒවා එකින් එක නෝට් පොතේ ලියාගත්තේ රවීන් දිහාවත් නොබලා. ඇගේ හිතේ තිබ්බේ පුංචි නොමනාපයක් එක්කම මොකක්දෝ බයක් වගේ හැඟීමක්. මොකද මීට කලින් ඔහු කවදාවත් එහෙම හැසිරෙනවා ඈ දැකලා නොතිබ්බ හන්දා.
"එච්චරයි නේද මිස්ටර් රවීන්?" අයුමි ඊලඟට ඇහුවේ රවීන් ඉන් පස්සේ මුකුත් නොකීව නිසා.
"ඔව්. දැනට ඔය ටික තමා" රවීන් කිව්වා.
අයුමිගේ හිත තිබ්බේ අහේතුකවම රිදිලා. ඈ එතනින් නැගිට්ටේ උගුර හිරවෙලා ඇස් තෙත් වෙද්දි. ඒත් ඊලඟ මොහොතේ ඈ ඒ හැඟීම් යටපත් කරගන්න උත්සාහ කලේ, වැඩ කරද්දි ඒ වගේ සංවේදී වෙන්න බැරි හන්දා.  ඒ එක්කම හිතේ නොරිස්සුමක් පැන නැගුනේ තමන් මොනා කලාටද මේ රවීන් එහෙම හැසිරුනේ කියලා. ඈ එතනින් එද්දිත් රවීන් උන්නේ ලැප් ටොප් එක දිහාට රවාගෙන මොනවදෝ කියවමින්.
එදා හැන්දෑවේ කිසිම දෙයක් හරියට වුණේ නෑ වගේ කියලා බස් එකේ නැගලා බෝඩිමට එද්දි අයුමිට හිතුණා. වැඩ කලත් ඒක වෙනදා තරම් හොඳින් කෙරුණා නැති එකත්, රවීන් කාලෙකට පස්සේ කලින්ම ඔෆිස් එකෙන් නොකියම යන්න ගිය එකත් ඇගේ හිතට එක් කරලා තිබ්බේ අසහනයක්. ඈට හිතුණා මේ සේරම කාට හරි කියලා හිත සැහැල්ලු කරගන්න තිබ්බා නම් කියලා.
"මෙන්න ඔයාට" හවස ගෙනාපු ඩෝනට් එක අයුමි අරන් ආවා තනූජට.
"ආව්... ඩෝනට් තෑන්ක් යූ. ඔයාලා අද ගෝ-නට් ගියාද?"ඈ ඒක පිලිගත්තේ එහෙම අහමින්.
"නෑ. ඔය office treat එකක් බොස්ගෙන්"
"ආ... ඔයාගේ බොස් හරි ෂෝක් නේ"
අයුමි නාගෙන එද්දි තනූජා ඩෝනට් එක කාලා ඉවරයි.
"ඒක නම් හරි රහයි. වැඩිය පැණි රසත් නෑ" තනූජා එහෙම කිව්වම අයුමි ඈට හිනාවක් පෑවා විතරයි.
"ආ ඒක නෙවෙයි. ඔයා නාන්න ගිය වෙලේ ඔන්න ෆෝන් එක රිං වුණා" තනූජා කිව්වේ ඩෝනට් පෙට්ටිය කුණු කූඩෙට මානන ගමන්.
අයුමි හිස පිහිදමින්ම ගිහින් ෆෝන් එක අතට ගත්තේ ඒ අම්මා වෙන්න ඇති කියලා හිතමින්. ඒත් කෝල් එක ඇවිත් තිබුණේ ගෙදරින් නෙවෙයි. රවීන්ගෙන්. ඒ පාර අයුමි කලේ අනික් අතට ආයෙම කෝල් එකක් ගත්තු එක, මොකක් හරි හදිසියක් වෙන්න ඇති කියලා හිතමින්.  ඒත් අයුමි දෙපාරක් විතරම ගත්තත් රවීන් ෆෝන් එක ඉස්සුවේ නැහැ. රෑ බෝවීගෙන එන හන්දා අයුමිට ආයෙම ඔහුට කතා කරන්න නොහැකියාවක් දැනුනා. මොකද ප්‍රියන්ති ඈට කලින්ම කියලා තිබුණා ගෙදර ගියාට පස්සේ හදීසියකටම නම් නෙවෙයි නම් කතා කරනවට රවීන් කැමති නෑ කියලා.

අයුමි ෆෝන් එක තියලා ඇඳේ දිගාවුණේ සුසුමක් හෙලමින්. ඈට රවීන්ව තේරුම්ගන්න හැකියාවක් නෑ කියලා ඈ දැනගෙන උන්නා. තේරුම් ගන්න තරම් අවස්ථාවක් ඔහු මේ වෙනකල්ම ඈට ලබාදීලා තිබුණෙත් නැති හන්දා අයුමි හිතුවේ පුලුවාන් තරම් අතේ දුරින් ඉන්න එකයි හොඳම කියලා. නොදන්න, නොතේරෙන දේකට අනවශ්‍ය විදියට ලං වෙන එක සුදුසු නෑ කියන එක ඈ අත්දැකීමෙන් නැතත් තේරුම්ගැනීමෙන් දැනගෙන උන්නා. ඒත් හිත තිබ්බේ තාමත් රිදිලා. ඒ හැඟීම නැති කරගන්න අයුමිට පුලුවන් වුණේ නෑ.

2 comments:

  1. හරිම ලස්සනයි. එතන හිටියා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි madhuvk. :)

      Delete