Saturday, May 2, 2015

විහංඟනාවී- පහලොස්වන කොටස

සඳුදා උදේම අයුමි ඔෆිස් එකට ගියේ හෙමින් ඇදහැලෙමින් තිබුණ පොද වැස්සක් මැදින්. ඔෆිස් එකේ මිදුලේ රවීන්ගේ වාහනේ දැක්කම ඈ ටිකක් පුදුම වෙලා ඔෆිස් එක දිහාට පය ඉක්මන් කලා. පුදුම වුණේ රවීන් මීට කලින් මේ වගේ වෙලාවල සාමාන්‍යයෙන් එන්නේ නැති නිසා.
"සර් ඇවිල්ලද?"අයුමි අකුලපු කුඩේ කුඩ බාස්කට් එකට දාන ගමන් ඇහුවේ ප්‍රියන්තිගෙන්.
ප්‍රියන්ති ඈ දිහා බලලා හිනාවුණා.
"ගුඩ් මෝනිං. ඔව් ඔව්. ඔන්න උදේම ඇවිත් ඉන්නව මල් කුමාරිව බලන්න"
"මල් කුමාරි? ඒ කවුද?"
"ඔය ඉන්නේ. වෙන කවුද ඉතිං? අපේ මල් පෝච්චි එහෙම වෙනස් කරගෙන ආපු මල් කුමාරි ඔයානෙ" ප්‍රියන්ති එහෙම කියලා කෑම එකත් අරන් එන්න ආවා.
"ඔයාට හොඳටම පිස්සු. සර්ට ඇහුණොත් හෙම ඉවරයි. මං යනවා" අයුමි ප්‍රියන්තිට එහෙම කියාගෙන එන්න ආවා.
"කන්න එන්නේ නැද්ද?" ප්‍රියන්ති ඇහුවේ උස් හඬින්.
"ඔයලා කන්න මම එන්නම් ටක් ගාලා" ඈ පඩිපෙලේ මැද නැවතිලා කිව්වා.
උඩට නැගිද්දි ඇගේ හිත තිබ්බේ අමුතු වෙලා. ඇයි ප්‍රියන්ති නිතරම මේ වගේ කතා කියන්නේ?
අයුමි තමන්ගේ මේසේ ලඟට ගිහින් බෑග් එක හෙම තියලා කල්පනා කලේ ගිහින් රවීන්ට කතා කරනවද නැද්ද කියලා. ඈට පොඩි බඩගින්නකුත් දැනෙමිනුයි තිබුණේ එවෙලේ. ඈ කල්පනා කරමින් ඉන්න අතරේ ඇගේ ටෙලිෆෝන් එක රිං වෙන්න ගත්තා.
"ආ...අයුමි ඇවිල්ලද ඉන්නේ. පොඩ්ඩක් එන්න මේ පැත්තට" කතා කලේ රවීන්.
අයුමිට හිතාගන්න බැරි වුණා තමන් ආපු වග රවීන් දැනගත්තේ කොහොමද කියලා. ඒ ගැන හිත හිතම ඈ හෙමින් හෙමින් රවීන්ගේ ඔෆිස් කාමරේට ගියා.
"ගුඩ් මෝනිං මිස්ටර් රවීන්" අයුමි කිව්වේ දොර ඇරලා එබෙන ගමන්.
ලැප් ටොප් එකේ මොකක්දෝ බලමින් උන්නු රවීන් ඇස් උස්සලා ඈ දිහා බලලා හිනාවක් පෑවා.
"ගුඩ් මෝනිං... එන්න එන්න"
අයුමි ඒ පාර හෙමින් හෙමින් රවීන්ගේ මේසේ දිහාවට ඇවිදගෙන ගියේ හිනාවක් එක්කමයි.
"අද කලින් ඇවිත්" ඈ කිව්වා.
"ම්ම්..." රවීන් කරමින් උන්නු වැඩේ නවත්තලා පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා අයුමි දිහා බලාගෙනම හිස වැනුවා.
"ඔව්. අද එන්න හිතුණා. වාඩිවෙන්න ඉතිං" රවීන් ඊටපස්සෙ කිව්වා.
අයුමි පුටුවක් ඇදලා රවීන් ඉස්සරහින් වාඩි වුණා.
"කතා කලේ මොනා හරි හදිසි වැඩක් ද?" අයුමි බයෙන් සැකෙන් වගේ ඇහුවේ සර් කියන්නත් බැරි හන්දා.
"ඇයි, කතා කරන්න වැඩක් තියෙන්නම ඕනද?" රවීන් ඇහුවම අයුමි බිම බලාගත්තා.
"නෑ..මම හිතුවා..." ඒත් ඈ හිතපු දේ ඈ කිව්වේ නෑ.
"කතා කලේ මොකද මම එවපු sms එකට reply කලේවත් නැත්තේ අහන්න" රවීන් ඇගේ උත්තරේ නොසලකා කිව්වා.
අයුමිට යන්තම් ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"ආ...අනේ මම ඒක ගැන එච්චරම හිතුවේ නෑ. Monday හම්බෙමු කියලා තිබ්බ හන්දා" අයුමි කිව්වේ වරදක් කරපු ගාණට.
"ගෙදර ගියාම ලෝකෙම අමතකයි වගේ" රවීන් උන්නේ තාමත්ඈ දිහා එක එල්ලෙම බලාගෙන.
"නෑ...එහෙම දෙයක් නෙවෙයි"
"ම්ම්. කමක් නෑ. කමක් නෑ. ඒක ඔයාගේ කැමැත්තනේ"
රවීන් එහෙම කිව්වම මොනා කියන්නද කියලා අයුමිට තේරුණේ නෑ. ඈ බයවෙලා වගේ ඔහු දිහා දෑස් දලවගෙන බලාගෙන උන්නා විතරයි.
"හරි... ඒක පැත්තක දාමුකෝ. අපි සුරේෂ්ගේ වැඩේ අද ඉවර කරමු. ම්ම්...එතකොට ලබන සතියේ අපට පුලුවන් එහේ ගිහින් සේරම setup එක කරලා දාන්න. මේ පාර ප්‍රියන්තිත් යන්න ඕන...- මොකද මේ, ඇයි ඔය බයවෙලා වගේ බලාගෙන ඉන්නේ?" කියන්න ගිය විස්තරේ අතරමගදි නවත්තපු රවීන් ඇහුවා.
"නෑ"
"මම ඉස්සෙල්ල අහපු එක හන්දද?"
"නෑ නෑ"
"ළමයෝ...ඒක එච්චර හිතට ගන්න එපා. මම නිකං නේ කිව්වේ"
රවීන් කිව්වම අයුමි හිනාවුණේ අමාරුවෙන්.
"මම බලාගෙන හිටිය එක ඇත්ත වුණත්, Its ok. දැන් ඒක ඉවරනේ"
"I am sorry මිස්ටර් රවීන්" අයුමි කිව්වේ බිම බලාගෙන.
"ඒ පාර මිස්ටර් කෑල්ලක් අල්ලගෙන...ඔන්න ඕක අමතක කරන්න. දැන් හොඳ ළමයා වගේ ගිහින් ලැප් ටොප් එක අරන් එන්නකෝ" රවීන් කිව්වේ සැහැල්ලුවෙන් වගේ.
"හා. ආ..මේ..මම කාලම ආවට කමක් නැද්ද?" අයුමි ඇහුවේ බාගෙට පුටුවෙන් නැගිටගෙන.
"තාම උදේට කෑවේ නැද්ද?" රවීන් ඇහුවා.
"නෑ. කෑම ගෙනැත් තියෙන්නේ. කන්න ඕන"
"එහෙමද? මමත් තාම උදේට කෑවේ නෑ. එහෙනම් කාලම ඉමුකෝ"
රවීන් කිව්වට පස්සේ අයුමි තමන්ගේ ඔෆිස් කාමරේට දුවලා ගිහින් කෑම එකත් අරගෙන පහලට දිව්වේ ඉක්මණට කන්න හිතාගෙන.ඒ යද්දි ප්‍රියන්තිලා කාලා ඉවරත් වෙලා.
"අය්යෝ..අපි කාලත් ඉවරයි. කොහෙද මෙයා බොස්ව හොයාගෙන දිව්වනේ. දැන් ඉතිං තනියෙම තමා-" ප්‍රියන්ති  කියන්න ගිය එක නතර කරලා නොසන්සුන් වුණ වගක් පෙනුනේ එක පාරටම කෑම කාමරේ දොර ඇරුන නිසා.
"ආ...මිස්ටර් රවීන්..." ඊලඟ මොහොතේ ඈ එහෙම කිව්වම අයුමිත් ඒ පෑත්ත හැරිලා බැලුවා.
"කට්ටිය කාලා ඉවරද?" රවීන් ඇහුවේ ලස්සන හිනාවක් පාලා.
"ඔව්. අයුමි විතරයි ඉන්නේ. අපි කෑවා" ප්‍රියන්ති කිව්වා.
"හරි හරි. මමත් අද උදේම ආව නිසා කෑම එක අරන් ආවා" රවීන් කෑම මේසේ දිහාට යන ගමන් කිව්වා.
"එහෙනම් කාලා එන්න මිස්ටර් රවීන්. අපි යන්නම්"
ප්‍රියන්ති අයුමිට ඇහැකුත් ගහලා, රවීන්ට හිනාවෙලා කෑම කාමරෙන් එලියට යන්න ගියාම, අයුමිට දැනුනේ පුංචි අපහසුතාවයක්.
"අයුමි උදේට කන්නේ බත්ද?" අයුමි ඈතින් වාඩි වුණත් ඈ අසලටම වගේ ඇවිත් වාඩි වුණ රවීන් ඇහුවා.
"ආ..ඔව්" අයුමි කිව්වේ සම්බෝලයි, පරිප්පුයි, කරවල බැදුමයි තිබුණ බත් එක කොලෙන් මුවා කරගන්න ගමන්.
"ඒක හොඳයි. මටත් නම් වෙන මොන නැතත් උදේට දවල්ට බත්ම ඕන. ඒක අපි ගෙවල් වලින් පුරුදු වෙලා තියෙන හැටි වෙන්න ඇති නේද?" රවීන් කිව්වේ ඔහුගේ කෑම පෙට්ටිය අරින ගමන්.
"ම්ම්" අයුමි හිස වැනුවා.
රවීන් ආපු හන්දා ඈට හරියකට කෑම කන්නවත් නොහැකියාවක් දැනෙමිනුයි තිබුණේ. ඒ එක්කම ඈ කල්පනා කලේ නෝන ත් නැත්තම් රවීන්ගේ ගෙදර උයනවා ඇත්තේ කවුද කියලා.
"සර් ගෙදරින්ද බත් ගේන්නේ?" අයුමි ඇහුවේ එකයි.
"ආ...ඔව් ඔව්. අපේ ගෙදර ඉන්නවා හොඳට උයන්න පුලුවන් නැන්දා කෙනෙක්. මට බත් ඕන වුණාට අපේ පොඩි දෙන්නා නම් බත් කන්න ආස නෑ. වෙන ඕන දෙයක් කයි බත් ඇර" රවීන් එහෙම කියලා හිනාවක් පෑවා.
අයුමිත් යන්තම් හිනාවෙලා ආයෙම කන්න පටන් ගත්තා.
"බෝඩිම් වල කෑම නම් එච්චර හොඳ නැතුව ඇති නේද?" ඊලඟට රවීන් ඇහුවා.
"ආ...වරදක් නෑ සර්. හොඳ නැතත් ඉතිං මොනා කරන්නද, කන්න එපැයි"
"ම්ම්...ඒක තමා නේද? යුනිවසිටි ඉන්න කාලේ මගේ යාලුවෝත් හිටියා බෝඩිම් වල නැවතුණ. මට මතකයි උන් ඇවිත් කියන්නෙත් ඔය කතාවම තමා" රවීන් කිව්වේ කෑම හෙමි හෙමින් කන ගමන්.
අයුමි කතාව අහගෙන ඉන්න අතරේ කටවල් දෙක තුනක් කාලා, කන එක නතර කලේ තවත් කන්න පිරියක් නොදැනුන නිසා.
"ඉතිං ඔය කාලා ඉවරද?" රවීන් ඇහුවා.
"ඔව්. කෑවා ඇති වගේ"
"ඔහොම කාලා ඉතිං ඇතිද?"
රවීන් කිව්වම අයුමි හිනාවුණා විතරයි. රවීන් තාම කමින් උන්නු නිසා ඈ හිටියේ මේසෙන් නැගිටගන්න බැරිව.
"බෝඩිමේ එවා නිතර කන්න බැරි නම් කන්න පුලුවන් තැනකින් ගෙන්න ගන්න" රවීන් කිව්වේ කරුණාවෙන් වගේ.
"බලමු" අයුමි කිව්වේ ඇහෙන නෑහෙන ගානට.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නේ දයාබරව.
"ආ...මේ මිස්ටර් සුරේෂ්ගේ වැඩේ ඉවර වෙද්දිම වගේ අර අනික් කොලඹ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න වේවි නේද?" ඈ ඒ පාර වැඩ ගැන කතා කරන්න පටන් ගත්තේ දැනුන අමුත්ත වහගන්න.
"ම්ම්..." රවීන් හිස වැනුවා. "අයුමි ගිහින් අත සෝදගන්න කමක් නෑ" ඊලඟට ඔහු කිව්වා.
අයුමි හිත යටින් සැනසුම් සුසුමක් හෙලලා, මේසෙන් නැගිට්ටලා අත සෝදගන්න ආවා.
"අයුමි අපි එකොලහට විතර අර finalize කරපු furniture ගන්න යමු. දවල්ට කෑම ඕඩර් කරන්න එපා. ඒ ගමන්ම අපි ලන්ච් එලියෙන් අරන් එමු" රවීන් කෑම කාමරෙන් එලියට එද්දි ඈට කිව්වා.
"හා..." අයුමි හිස වැනුවා විතරයි.

"ලැප් ටොප් එක අරන් එන්න" රවීන් එහෙම කියාගෙන ආයෙම ඈට හිනාවක් පාලා එතනින් යන්න ගියාම, ඇගේ හිත හීල්ලුණා වගේ ඈට දැනුනා. රවීන්ගේ කතා කරන දෑස්, ඒ හිනාව, ඒ විදිහ... මේ හැම දෙයක්ම මොකක්දෝ නුදුරු හුයකින් ඈව ඔහු දිහාට අදිනවදෝ කියලා ඈට එක මොහොතක හිතුණා. ඒත් ඇගේ හිතේම තවත් පැත්තක්, ඒ හැඟීම ඇතිවුණ වහාම හෙලා දැකලා ඒක යටපත් කලේ, රවීන් කියන්නේ බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න කෙනෙක් වගත්, ඔහු ඈ වැඩ කරන තැන අයිතිකාරයා කියන එකත් ඈට මතක් කරලා දෙමින්. ඒ එක්කම ඈට ඔහුව හොයාගෙන එන බවලත්තු ගැන කතාවක් යන්තමින් මතක් නූනා නෙවෙයි. මේ හැමදේම පැටලුණ හිතත් එකලස් කරගන්න උත්සාහ කරමින් ඈ දිග සුසුමක් හෙලලා තමන්ගේ ඔෆිස් කාමරේට යන්න ගියා.

4 comments:

  1. හිත හීලෑ කර ගන්න අයුමි........................

    ReplyDelete
  2. "දැන දැන අයුමි මොකද්ද මේ නටන්න හදන පිස්සුව "

    එහෙම කියන්න මම හදිසි වෙන්නේ නෑ...

    මේ කතාවෙ ඔයා දන්නේ නැති තරම් දේවල් සමහරවිට මම දන්නවා වෙන්න පුළුවන්..
    මට සෑහෙන්න පුදුමයි ඔයා මේ චරිත ගැන මෙච්චර හොඳට දන්න එක ගැන....

    ReplyDelete
  3. රවීන් ඔයා එහෙම කිව්වේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.

    හැබැයි ඉතිං කතාවේ ලියවෙන්නේ මම දැකලා, අහලා තියෙන දේවල් වලින් මවා ගත්තු නිර්මාණයක් කියන එක මම කියන්න ඕන. ගොඩක් මිනිස්සු ආශ්‍රය කලාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, මිනිස්සුන්ගේ හැඟීම් ගැන, හිතන විදිය ගැන, දේවල් වලට ප්‍රතික්‍රියා කරන විදිය ගැන හෙම. එතකොට ඒ අයගේ අත්දැකීමුත් අපේ අත්දැකීමක් වගේම දකින්න හැකියාවක් ලැබෙනවා. මගේ කතා මම ලියන්නේ ඒ සේරම දේවල් එකතු කරගෙන.
    ඒ වගේ මම ඉගෙන ගත්තු දෙයක් තමයි, ආදරේ කියන්නේ පස්මහ බැලුම් බලලා ඇතිවෙන දෙයක් නොවෙන වග. ආදරේ අන්ධයි කියන්නේ ඒ හන්දා වෙන්න ඇති. සමහර වෙලාවට මිනිස්සු ආදරේ කරන්න ආසත් ලබාගන්න අමාරුම දේවල් වලට. ලැබුණ දේවල් වලින් ලබන සතුටට වඩා නොලැබුණ දේ නිසා ඇතිවෙන විරහවට මිනිස්සු ආස ඇයි කියලා මටත් නම් තේරෙන්නේ නෑ.
    මේ කතාවත් ඒ වගේ දුක, සතුට, විරහව, ආදරය කියන දේවල් ඔස්සේ ගලාගෙන යාවි කියලා තමයි දැනට මට කියන්න පුලුවන්නෙ.

    ReplyDelete
  4. අයුමි හිතන දේවල් අයුමිගෙ යාළුවන්ට දැනුනම අයුමිට අවවාද කරන්න ඇති ඒගොල්ලො. රවින් මොනවගේ කෙනෙක්ද කියල එයාගෙන් පරිස්සම් වෙලා ඉන්න කියන්න ඇති.

    ඒත් ඒ හැම දෙයක් එක්කම වෙන්න යන දේවල් නවත්තන්න අයුමිටවත් රවීන්ටවත් හැකියාවක් තියෙන්න නැතුව ඇති. නැත්තම් මොකද කරන්නේ කියලා ඒ දෙන්නටම හිතාගන්න බැරි වෙන්න ඇති..

    සිතූ...

    ReplyDelete