Saturday, March 28, 2015

විහංඟනාවී- නමවන කොටස

"මම හිතුවේ අපි සිකුරාදා උදේ යමු කියලා. මොකද අපට එතකොට සෙනසුරාදා හවස් වෙද්දි ආයෙම එන්න පුලුවන් නේ. ඊටප්ස්සේ ඔයාලට ඔන්න ඉරිදා නිවාඩුවත් තියෙනවා. මොකද කියන්නේ? එහෙම හොඳයි නේද?"
අඹේවෙල යන ගමන ගැන කතා කරන්න රැස්වීමක් කැඳවපු රවීන් එහෙම ඇහුවේ එතන උන්නු හැමෝගෙම මූණු දිහා බලන ගමන්. ගමන යන්න එකතු වෙන්නේ සමින්දයි, අයුමියි විතරක් වුණත් ප්‍රියන්තිත් එතනට ඇවිල්ලා හිටියා ගමන සූදානම් කරන වැඩේ බලන්න ඕන ඈ හන්දා.
"උදේ කීයටද මිස්ටර් රවීන් එතකොට vehicle එකක් ඕනේ?" ප්‍රියන්ති ඇහුවා.
"ම්ම්...මම හිතුවේ මගේ වාහනේම යන්න කියලා ප්‍රියන්ති. ඒක තමා ඔය කඳු නගින්න හොඳම වාහනේ. මම fuel ඇවිල්ල  claim  කරන්නම්. ඒත් අර හොටෙල් එකට කතා කරලා rooms හරියටම confirm  කරන්න. මේ අපේ ගෑණු ළමයට හරියන විදියට විශේෂයෙන්ම සේරම ඕකේද කියලත් මතක් කරලා අහන්න හොඳේ" රවීන් කිව්වේ අයුමිට හිනාවක් පාලා.
"හරි" ප්‍රියන්ති ඒ දේවල් සටහන් කර ගනිමින් කිව්වා.
"ආ...තව, කැමරා එක සමින්දට දෙන්න. ඒක චාජ් කරලා දන්නවනේ ලෑස්ති කරලා දෙන්න" රවීන් ආයෙම කිව්වේ ප්‍රියන්ති ඒකත් නෝට් පොතේ කුරුටු ගාගනිද්දි.
"එතකොට advance request  එක දන්නේ මිස්ටර් රවීන්ද නැත්තම්?" ප්‍රියන්ති ඇහුවේ සමින්ද දිහාත් බලන ගමන්.
"advance ඕන නෑ. මම ඇවිත් bills claim කරන්නම්. No worries"
"OK එහෙනම්"
"ආ...අයුමිව මට බෝඩිම ලඟින් pick කරන්න පුලුවන් මම එන්නෙත් ඒ පෑත්තෙන් නිසා. සමින්ද වෙනදා වගේ මගින් නගිනවද, කොහොමද?" රවීන් ඇහුවා.
"ඔව් සර්. මම කැලණියේ කැම්පස් එක ලඟින් වෙනදා වගේම නගින්නම්"
"OK"
මීටින් එක ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි රවීන් ආයෙම අයුමිට කතා කලා.
"අයුමි අර material බැලුවද? මට අහන්නත් බැරි වුණා" රවීන් ඇහුවේ එහෙම.
අයුමි දිහා එක පාරක් බලලා ප්‍රියන්තියි, සමින්දයි එලියට යන්න ගියා.
"ආ...තාම බලාගෙන යනවා සර්. මම දැනට select කරපු suppliersලගේ details මම සර්ට mail කරන්නද?" අයුමි ඇහුවේ හිටගත් වනම.
රවීන් පුටුවට හේත්තු වෙලා හිස පිටිපස්සට ඇල කරගෙන අයුමි දිහා බලාගෙන උන්නා.
"ඔයා මට තුන් දෙනෙක් select කරලා පෙන්නන්න. අපි ඊටපස්සේ ගිහිල්ලම material බලල කෙනෙක් තෝරගමු. හරිද?" ඔහු ඊලඟට ඇහුවා.
"හා"
අයුමි බලාගෙන උන්නේ ඊලඟට මොකක්ද රවීන් කියන්නේ  කියලා.
"ම්ම්...ඔයා ඉන්නවා කිව්වේ රාජගිරියේ නේද?" රවීන් ඊලඟට ඇහුවේ එහෙම.
"ඔව් සර්"
"කොයි හරියෙද?"
අඹගහ හන්දිය ලඟ. නෙලුම් පෙදෙස කියලා ඒ පැත්තට කියන්නේ"
"ආ...ඒ කියන්නේ මේ බුත්ගමුව පාරේ නේද? 175 යන්නේ ඒ පාරෙ නේ?" රවීන් ඇහුවා.
"ඔව් සර්"
"ම්ම්" රවීන් හිස වැනුවා.
"OK එහෙනම්. වැඩේ කරගෙන යන්නකෝ. මම හෙට එන්නේ නැතිවෙයි ගොඩ වෙලාවට. මම කෝල් එකක් දෙන්නම් ඒත් අනිද්දා කොහොමද ඔයාව, කීයටද pick කරන්නේ කියලා"
"හා සර්.."
අයුමි හිස වැනුවම රවීන් හිනාවක් පෑවා 'හරි එහෙනම්' කියන්න වගේ. ඈ එලියට එන්න ආවේ හිතේ දේවල් ගොඩක් වැඩ කරද්දි. ඇඳුමක් ලෑස්ති කරගන්න ඕන, ගෙදරට කියන්න ඕන, ඒ අස්සේ විස්තර හොයන්න ඕන, ඊටත් වඩා ඇගේ හිතට හීනියට වද දෙමින් තිබ්බ දේ වුණේ පිටස්තර පිරිමි දෙන්නෙක් එක්ක මේ වගේ ගමනක් යන්න වෙන එක. ඇගේ හිතේ ඒ දෙන්නා ගැන අවිශ්වාසයක් තිබ්බ නිසා එහෙම හිතුණා නෙවෙයි අයුමිට. ඒත් තව ගෑණු ළමයෙක් නමට හරි උන්නා නම් කියන සාංකාවක් ඈ තුල තිබුණා, ඒ පිට පිරිමි කෙනෙක් එක්ක එක දවසින් ගිහින් එන ගමනක් වත් මීට කලින් ඈ ගිහින් නොතිබුණ හන්දා.
****
"නුවර එලියේ යනවා නම් අනිවාර්යෙන්ම ජර්සියක් ගෙනියන්න ඔයා. මොකද එහේ සීතල නැති වෙලාවක් නෑනෙ"
තමන් යනන් ඉන්න ගමන ගැන තනූජට කිව්වම ඈ කිව්වේ එහෙම.
"ජර්සියක්? අනේ මං ලඟ ජර්සියක් නෑනෙ. දැන් ගන්න යන්න වෙලාවකුත් නෑ" අයුමි කිව්වේ පොඩ්ඩක් කලබල වෙලා.
"දැන් ඉතිං ගියත් ජර්සි ගන්න කියලා තැනක් හොයන්නේ කොහොමද? මං කියන්න ද මම ඔයාට මගේ ලඟ තියෙන බොලෙරෝ එකක් දෙන්නම්. හැබැයි රජෝ ඒක නම් ඉතිං මදි වෙයි එහේ තියෙන සීතලට. ඔයා එහාට ගිහින් හොඳ එකක් ගන්න" තනූජා කිව්වා.
අයුමි ඒකට එකඟ වුණේ වෙන කරන්න දෙයක් නැති හන්දා.
ගෙදරට ගමන ගැන දැනුම් දීලා, ගෙනියන ඇඳුම් ලෑස්ති කරමින් ඉන්න වෙලේ ඔන්න රවීන්ගෙන් කෝල් එකක් ආවා.
"අයුමි මම රවීන්"
"ආ...ඔව් සර්" කතා කරද්දි අයුමිට ඇඳෙන් නැගිටුනේ ඉබේටම.
"මම උදේ පහට ඔයාව ගෙදර ලඟට එනවා. ඒ වෙලාවට ලෑස්ති වෙලා එලියට ඇවිත් ඉන්න. මට පොඩ්ඩක් කියන්න ගෙදර නොම්මරේ"
අයුමි ගෙදර නොම්මරෙයි, එන විදියයි කෙටියෙන් කිව්වා.
“OK. එහෙනම් හරියටම පහට මම එනවා. ආ..මතක් කරලා ලැප් ටොප් එක අරන් එන්න හරිද?" රවීන් කිව්වා.
"හරි සර්. මං අරන් එන්නම්" අයුමි කිව්වා.
"ම්ම්...අයුමි කෑම කකාද හිටියේ මම කතා කරද්දි?" රවීන් ඊලඟට ඇහුවා.
"අනේ නෑ සර්. මම මේ ඇඳුම් ලෑස්ති කර කර හිටියේ. තාම කෑම කෑවේ නෑ"
"දැන් අටත් පහු වෙලානේ" රවීන් කිව්වා.
"ඔව්..මේ අද මෙහේ ආන්ටි ගමන්ක් ගිහින් එද්දි හවස් වෙලා උයන්න පරක්කුයි. ඒකයි" අයුමි ලැජ්ජාවෙන් වගේ හෙමින් කිව්වා.
"ආ... මාර වැඩේනෙ. දැන් ඇත්තටම ඔයාලට කෑම තියෙනවද? ඔය හරියේ  ගන්න කඩයක් තියෙනවද?"
"කෑම තියෙනවා සර්. කඩෙන් ගන්න ඕන නෑ"
"ම්ම්. එහෙම නම් කමක් නෑ. බඩගින්නේ ඉන්න එපා" රවීන් කිව්වේ දයාබරත්වය මුසු වුණ හඬකින් වගේ කියලා අයුමිට හිතුණා. ඈට මුකුත්ම කියාගන්න බැරිව ගොලු වුණේ ඒකයි.
"හරි එහෙනම් මම තියන්නම්. හෙට හම්බවෙමු. ගුඩ් නයිට් අයුමි"
"ගුඩ් නයිට් සර්.  බුදු සරණයි" ඈට අන්තිමට කියවුණේ පුරුද්දට වගේ.
"ඔයාටත් බුදු සරණයි" රවීන් මොහොතක් නිහඬව ඉඳලා එහෙම කිව්වා.
"බොසාද?" අයුමි ෆෝන් එක කට් කරලා සුසුමක් හෙලද්දි එහෙම ඇහුවේ තනූජා.
"හ්ම්ම්"
"ඔයා බොස්ට මාර විදියට ගරු කරනවා නේ?" තනූජා එහෙම ඇහුවේ ඇගේ බොලෙරෝ එක නවලා අයුමිගේ බෑග් එකට ඔබන ගමන්.
"ඇයි එහෙම අහන්නේ?"
"නෑ, මේ කෝල් එක ආව ගමන් ඔයා සීරුවෙන් හිටගත්තු හන්දා"
තනූජා හිනාවෙවී කිව්වම අයුමිටත් හිනා ගියා.
"බොස්ට ගරු කරන්න ඕන නේ" ඈ කිව්වේ හිනාව මැද්දෙන්මයි.
තනූජා අයුමිට කට ඇද කරලා රේඩියෝ එක දැම්මා. අයුමි ඒ අතරේ ඇඳුම් අස් කරන්න ගත්තා ආයෙම.
"මා ඔබත් එක්ක සුහද කතාවක්...ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..."
වාදනය වෙන්න ගත්තේ අයුමි ආස කරපු ගීතයක්.
"ඒකත් මාරයි නේද?" ගීතය වාදනය වෙන අතරේ තනූජා හිටි ගමන් කිව්වා.
"මොකක්ද?"
"කියන්නේ එකක්, ඒත් හිත ඇතුලේ තියෙන්නේ වෙන දෙයක් කියන එකනේ මේ සිංදුවෙන් කියන්නේ" තනූජා උත්තර දුන්නා.
"එහෙමද?" එද්දි අඳින්න ගවුමක් ගෙනියනවද, ජීන්ස් එකක් ගෙනියනවද කියලා හිතමින් උන්නු අයුමි ඇහුවේ එතරම් කල්පනාවකින් තොරව.
"ඔව්. ආදරේ කියන්නේ හිතේ ඉපදිලා ඇස් වලින් එලියට එන දෙයක් වචන වලින් කියන්න කලින්" තනූජා කිව්වේ හැඟීම්බරව වගේ.
අයුමි ඒ පාර හැරිලා ඈ දිහා බැලුවා.
"අයුමිට boy friend කෙනෙක් ඉන්නවද?" තනූජා අයුමි දිහා බලලා ඇහුවා.
"අනේ නෑ"
"ඇත්තටම? අනේ මේ බොරු නොකියා ඉන්න"
"බොරු නෙවෙයි. ඇත්තටම එහෙම කෙනෙක් නෑ. ඉඳලත් නෑ"
"හාපෝ...මොකක්ද අනේ ඒ ජීවිතේ?"
"එහෙම තමා. කොල්ලෙක් ඉන්නම ඕනද ජීවිතයක් පරිපූර්ණ වෙන්න?"
"දැන් නම් ඔහොම කියයි. බලමුකෝ කොල්ලෙක් හම්බුන දාට. මෙතන ලව් සික් වුණාම මට තමා කරදරේ"
"ඒ එහෙම වුණොත් නේ" අයුමි කිව්වේ හිනා වෙවී.
"මේ නංඟී... ලව් කොතනද එතන සික් තියෙනවා. ඒක තමා ඒකේ හැටි"
"ආ...එහෙමද අක්කා. ඔයත් මාර දේවල් නේ දන්නේ"
"ඔව් ඔව්. මේ ශතවර්ෂ කාලක ජීවිතේ නිකම්ම ගෙවුණා නෙවෙයි නේ"
"හා හා. එහෙනම් හොඳයි. ඉතිං දැන් ඔය අක්කට කොල්ලෙක් ඉන්නවද?"
අයුමි ඇහුවම තනූජා ඇස් ලොකු කර ගත්තා.
"ඉන්නවා ඉන්නවා නැත්තේ මොකෝ. දැන් කාලේ කොල්ලෙක් නැති කෙල්ලෙක් ඉන්නේ එහෙමත් තැනක. ඔය ඔයා වගේ"
"මේ විදිය මට හොඳයි තනූ. අනික එහෙම හිතට ඇල්ලුවා කියලා කෙනෙක් මට හම්බවෙලාම නෑ"
"පුදුමයි...ඔය මුවෙක් වගේ ඇස් වලට, දිග කොණ්ඩෙට කවුරුත්ම වශී වුණේ නෑ කිව්වම"
"අනේ මේ...නිකං ඉන්න අනේ විහිලු නොකර"
"විහිලු නෙවෙයි"
"මේකනේ වශී වුණ අය හිටියට, මාව වශී කරගන්න ඒ අයට බැරි වුණා" අයුමි කිව්වේ ඇදලා පැදලා.
"ආ...ඇත්තට? ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට. අපි බලා ඉමුකෝ කවුද මේ ගල් හිත වශී කරගන්න ගල් වඩුවා කියලා"
තනූජා එහෙම කිව්වම අයුමි තවත් හිනා වුණා.
"පිපුණු මලක හැඩ දෑස සලා...සිතුම් විහඟ කැල වසඟ කලා..." රේඩියෝ එකේ දැන් වාදනය වෙමින් තිබුණ ගීතය ඒක.

අයුමිගේ හිත ඒ ගීතයත් ඒක්ක ඈතට ඈතට ඇදිලා ගියා. ඇගේ හිතේ මතු වෙමින් තිබ්බ කල්පනාව වුණේ තමන්ගේ ණයකාරයා (ආත්තම්ම කියන විදියට) කොහේ ඉන්න, කොහොම කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා.

2 comments:

  1. ණය කාරයා ඉන්න දිහාව නම් දැන ටිකක් විතර පේනවා

    ReplyDelete
  2. ලස්සනයි කියල කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ නෙතූ..ඒත් ඉංග්ලිස් වලින් ටයිප් කරන ඒව සිංහල අකුරු වලින් ටයිප් කරානම් හොදයි කියල හිතෙනවා... ඊලග කොටසත් ඉක්මනින් කියවන්න බලාපොරොත්තු වෙනව

    ReplyDelete