Saturday, March 21, 2015

විහංඟනාවී- අටවන කොටස

"අනේ මන්දා තනූජා...මට නම් බයෙත් බෑ presentation එකට. මම කවදාවත් එහෙම එකක් බිස්නස් වලට කරලා නෑනෙ"
ඈනුමක් අරිමින් උන්නු තනූජට අයුමි කිව්වේ presentation එක පුරුදු වෙන්න තනූජට කියවන ගමන්.
"එහෙම තමා. පලවෙනි එක කවදාහරි කරන්න එපැයි" තනූජා කිව්වේ දැනමුත්තෙක් වගේ.
"මේක බෝරිං නේද?" අයුමි ඇහුවේ තනූජා ඈනුම් යවපු එක ගැන හිතමින්.
"මෙලෝ දෙයක් නොතේරෙන නිසා මට නම් ටිකක් බෝරිං තමා.තේරෙන අයට නම් එහෙම වෙන එකක් නෑ. කෝක වුණත් පිංතූර නම් ලස්සනයි" තනූජා කිව්වේ අවංකවම.
අයුමි හිනාවුණා. ඈ වගේ අවංක, හැමවෙලේම හිනාවෙලා ඉන්න යාලුවෙක් ලැබීම කොච්චර දෙයක්ද කියලා අයුමිට හිතුණා.

"අපි මේ sentence එක ටිකක් කොට කරමු. ඒක කටින් කියන එක හොඳයි"
පහුවදා උදේ රවීන් එක්ක presentation එක බලන්න ඉඳගත්තු වෙලේ ඉඳලා රවීන්ට නම් ඒකෙ හදන්න දේවල් බොහොම තිබුණා.
"වැදගත් වෙන්නේ මේකේ ලියලා තියෙන දේ නෙවෙයි. අපි කියන දේ. එතනින් තමයි අපි ක්ලයන්ටව අල්ලගන්න ඕන. අපි කොන්ෆිඩන්ස් නම් කල්යන්ට අපේ වැඩේ ගැනත් විශ්වාසයක් ඇති වෙනවා"
ඒ අතරතුරේදි රවීන් එහෙම උපදෙසක් දෙකක් දෙන්නත් අතපසු කලේ නෑ.
"ඔව් සර්... හා සර්.. එහෙම කරන්නම් සර්..." අයුමිගේ උත්තර වුණේ ඒවා.
"කවුද මන්දා" රවීන්ගේ ටෙලිෆෝන් එක නාද වෙන වාරයක් පාසා ඔහු ඒ දිහා බැලුවේ වදකාරයෙක් දිහා බලන්නා වගේ. ඔහු ඒ එකකටවත් උත්තර දුන්නේ නම් නෑ. අන්තිමටම ටෙලිෆෝන් එක වැදිලා විනාඩියක් යන්නත් කලින් රවීන්ගේ ඔෆිස් එකේ දොර දඩස් ගාලා ඇරුණේ අය්මිව තිගස්සමින්. රවීන් පවා එක පාරටම හිස උස්සලා බැලුවේ පුදුමෙන් වගේ.
"මං කී පාරක් කෝල් කලාද?"
එහෙම අහගෙන ඔවුන් ලඟට ආවේ, සුදු, ලස්සන, කෙට්ටු ගෑණු කෙනෙක්. බැලු බැල්මට ඈව අයුමිට පෙනුනේ හින්දි නිලියක් වුණ සොනාලි බ්‍රෙන්දේ. සුදු පාට විනිවිද පෙනෙන සුලු සේද වගේ කොට ගවුමකින් සැරසිලා, තද නිල් පාට සපත්තු, බෙල්ට් දාලා, ඒ නිල් පාටම බෑග් එකකුත් වන වන ඈ කෙලින්ම ආවේ රවීන් ලඟට.
"ඇන්ජි...මම ලොකු වැඩක ඉන්නේ" රවීන් කිව්වේ ලැප් ටොප් එක දිහාව පෙන්නන ගමන්.
"එහෙනම් ඇයි මාව උදේ pick කරනවා කිව්වේ?" අයුමි උන්නු එක ගැන වගක්වත් නැතිව ඈ ඇහුවේ රවීන් අසලටම වගේ පුටුවක් ඇදගෙන වාඩි වෙන ගමන්.
අයුමි රවීන් දිහාත්, ඇන්ජි දිහාත් මාරුවෙන් මාරුවට බලමින් උන්නා.
"අයුමි මට විනාඩි දහයක් දෙන්න. එතකල් දැනට මේ චේන්ජස් ටික බලන්න. හරිද?"
රවීන් අයුමිට කිව්වේ වෙන කරන්නම දෙයක් නැති තැන වගේ.
අයුමි ලැප් ටොප් එකත් අරන් එතනින් පුලුවන් ඉක්මනින් එන්නා ආවත්, ඇන්ජි රවීන්ගේ කර වටා අතක් දානවා ඈට යන්තමින් පෙනුනා. ඈට දැනුනේ පොඩි වෙව්ලීමක්. දොර ඇරගෙන එද්දිම අයුමි ආයෙම ගැස්සුනේ එතන හිටගෙන උන්නු ප්‍රියන්තිව දැකලා.
"බලන්නකෝ අනේ අර ගෑණි ඉන්න කියද්දිම කඩාගෙන එන්න ආවනේ. කොහෙද මේ සර් ෆෝන් එක උස්සන්නෙත් නෑ" ටිකක් කලබල වෙලා වගේ, දොම්නස් මූණක් මවාගත්තු ප්‍රියන්ති අයුමි එක්ක ඇගේ කාමරේට යන්න ආවේ එහෙම කිය කිය.
"ඒ කවුද? සර්ගේ වයිෆ් ද?" අයුමි ඇහුවා.
ප්‍රියන්ති කට පැත්තකට ඇද කරලා අහක බලාගත්තේ නොපහන් හැඟීමකින් වගේ.
"වයිෆ් නම් බැරියැ. කවුද කියලා මම නම් දන්නේ නෑ. එක එක දවසට මෙහාට එක එක බවලත්තු එනවා. සර් හරිම හිඳයි තමා, ඒත් සර්ගේ මේ පැත්ත ගැන නම් මගේ පැහැදීමක් නෑ ඇත්තමයි. ගෑනුන්ට පාර කියලයි, ආවතේව කරලයි මට එපා වෙලා" ප්‍රියන්ති කිව්වේ අයුමිගේ හිත පුදුමෙන් පුරවමින්.
"සර්...ඒ වගේ කෙනෙක්ද? එතකොට වයිෆ්?"
"සර් එහෙම නරක කෙනෙක් නම් නෙවෙයි මං දන්න තරමට. වයිෆ්ගෙන් දික්කසාද වෙලාලු ඉන්නේ දැන් අවුරුදු ගාණක ඉඳන්. මම නම් දන්නෑ මේ එන ඔක්කොම සර්ගේ affairs ද කියලා. ඒත් අද ආපු බඩ්ඩ එක්ක නම් මොනා හරි ඇති. සතියට දවස් දෙකක් වත් එනවා සර් ඉන්නවා නම්" ප්‍රියන්ති කිව්වා.
අයුමි ඒවා අහගෙන උන්නේ කල්පනාවෙන්. මේ පෝසත් ගෑනුන්ගේ, මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් වෙනසද කියලා ඈ කල්පනා කලා. සමහරුන්ට බැඳීමක් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක කඩන එක ගහකින් කොලයක් කඩනවට වඩා අමාරුත් නෑ. පුදුම ජීවිත තමා කියලා හිතමින් අයුමි සුසුමක් හෙලුවා.
විනාඩි දහයක් කිව්වට අන්තිමේදි ආපු ඇන්ජි කාමරෙන් යන්න ගියේ පැය බාගෙකට විතර පස්සේ. ටිකකින් රවීන් ආයෙම අයුමිට කතා කලා.
"මේ යාලුවෝ ආවම වෙලාවකට හරි කරදරයි. වැඩක් කරන්නත් බෑ. කතා කරලත් බෑ නොකරත් බෑ. බලන්න අර client දැන් එනවත් ඇති. අපි යමු අයුමි බෝඩ් රූම් එකටම" රවීන් අයුමි දිහාවට හැරුණේ එහෙම කියාගෙන.
ඔහු හැරුණ ගමන් ඇයුමිගේ ඇස් අදුනේ ඔහුගේ දකුණුකම්මුලේ දෙතොල් වලට ආසන්නයෙන්ම තිබ්බ රතු පාට පැල්ලමක් දිහාවට. ඒක ලිප්ස්ටික් පැල්ලමක් කියලා අඳුනගන්න ඈට අමාරු වුණේ නෑ. වෙන්න ඇත්තේ මොකක්ද කියලා ක්ෂණයකින් හිතට ආවත් ඈ ඒ ගැන හිතන්නවත් බය වුණා. දැන් ඉතිං මේක කොහොමද රවීන්ට කියන්නේ?
"ලැප් ටොප් එක ගන්න. අපි අරහෙටම ගිහින් බලමු" රවීන් කිව්වේ අයුමි මොකද මේ ගල් ගැහිලා ඉන්නේ කියලා පුදුමෙන් වගේ බලමින්.
රවීන් ඉස්සර වෙලා දොර ලඟට යද්දි, අයුමි උන්නේ කියනවද නො කියනවද කියන දෙගිඩියාවෙන්. කියල් බෑ, නොකියත් බෑ.
"ඉක්මණට එන්න ළමයෝ" රවීන් ආපහු හැරුණේ අයුමි තාමත් කලින් උන්නු තැනම හිටගෙන ඉද්දි.
"මොකද මේ හොල්මනක් දැකලා වගේ බය වෙලා?" රවීන් ඇහුවා.
එවෙලේ නම් අයුමිට වෙලා තියෙන දේ නොකියම බැරි වුණා.
"සර්...මේ...මේ.. සර්ගේ කම්මුලේ මෙතන රතු පාට මොනාදෝ ගෑවිලා.." ඈ තමන්ගේ කම්මුලක් පෙන්නන ගමන් එහෙම කිව්වේ ලැජ්ජාවෙන් කන් දෙකම රත් වෙද්දි.
"ආ..." කලබල වුණ රවීන් සාක්කුවෙන් ලේන්සුවක් අරන් කම්මුලේ දෙපැත්තම පිහදාගත්තා. ඊට පස්සේ තකහනියෙම බාත් රූම් එකක් දිහාට දිව්වා. සිද්ධිය මොන තරම් හිනා යන සුලු එකක් වුණත් අයුමි නම් උන්නේ ලැජාවෙනුයි, අපහසුතාවයකිනුයි පෙලෙමින්.
"දැන් හරි නේද?" ටිකකින් බාත්‍රූම් එකෙන් එලියට ආපු රවීන් ඇහුවා.
අයුමි ඔහු දිහා යන්තම් බලලා හිස වැනුවා. "හරි සර්"
"තෑන්ක්ස් අයුමි. .." රවීන් කිව්වේ ඈ දිහා කෙලින් නොබලමින්.
ඊලඟට දෙන්නම බෝඩ් රූම් එකට ගියා, අස්මි ප්‍රොජෙක්ටර් එක හදමින් ඉද්දි. ලැප්ටොප් එක මේසෙන් තියලා වටපිට බලද්දි අයුමිට දැනුනේ චකිතයක්. ඒ කරන්න තියෙන presentation එක ගැන. ඈ ඒ ගැන හිතමින් ඉද්දි, රවීන් උන්නේ තවමත් ආඩතාඩෙට ඉඳහිට ලේන්සුව මූණ පුරා අතුල්ලමින්.
අයුමිට ඒ සිද්ධියෙන් පස්සේ රවීන්ගේ මූණ බලන්නත් මොකක්දෝ වගේ දැනුනත් ඈ උත්සාහ කලා ඒ වෙච්ච සිද්දිය අමතක කරන්න.
කොහොමින් හරි හිත ගැහෙද්දි ගැහෙද්දි ඈ ප්‍රසන්ටේෂන් එක ඉවර කරලා වාඩි වුණේ සැනසුම් සුසුමක් හෙලමින්. පෙනුන විදියට නම් රවීන්ගේ යාලුව සුරේෂ් එදිරිමාන්නට ඒ පෙන්නපු ඩිසයින් එක හිතට අල්ලලා ගිහින් තිබුණා වගේ.
"මම හිතන්නේ අර තැඹිලි පාට theme එක තමා හොඳම. අර කිව්වා වගේ එහේ තියෙන සීතල එක්ක ඇතුලෙදි මිනිස්සුට උණුසුම් ගතියක් එන්න ඕනනේ" සුරෙෂ් කිව්වේ බොහොම සැහෑලුවෙන්, පහසුවෙන් පුටුවේ හරි බරි ගැහෙන ගමන්.
රවීන් එවෙලේ අයුමි දිහා බැලුවේ හිනාවක් පාමින්.
"සුරේ බය වෙන්න එපා. දැන් මට හොඳ designing co-partner කෙනෙක් ඉන්නවා. අපි ඔයාගේ වැඩේ ලස්සනට කරලා දෙන්නම්" රවීන් ඊටපස්සේ කිව්වා.
සුරේෂ් ඒ පාර අයුමි දිහා බලලා හිස වන වන හිනාවුණා.
"එතකොට දැන් රවීන්ලා කවද්ද තැන බලන්න එන්නේ?" ඊලඟට ඔහු ඇහුවා.
"අපට මේ එන වීක් එකේ වුණත් පුලුවන්...නේද අයුමි?" රවීන් උත්තර දුන්නේ අයුමිගෙනුත් අහන ගමන්.
"ඔව් සර්" ඈ හිස වැනුවා.
"ආ...පොඩ්ඩක් ඉන්නකෝ" ඒ පාර සුරේෂ් ඔහුගේ tab එක ඇරගෙන මොනවදෝ බලන්න කල් ගත්තා.
"ම්ම්...මම සඳුදා ඉඳන් බ්‍රහස්පතිනදා වෙනකල් නෑ. බිස්නස් වැඩකට Malaysia යන්න තියෙනවා. මට සිකුරාදා ඉඳන් වෙන ලොකු වැඩක් නෑ. රවීන්ලට එන්න පුලුවන් නම් මම ඒක arrange කරන්නම්. කොහොමත් one night stay එකකටනේ එන්න වෙන්නේ. එදාම ඇවිල්ල සේරම ප්ලෑන් කරගන්න බෑනේ නේද?" සුරේෂ් ඊලඟට ඇහුවා.
"ඔව් ඔව්. එහෙම තමා කොහොමත් අපි කරන්නේ. වැඩේ අනුව ඉන්න දවස් ගාණ වෙනස් වෙන්නත් පුලුවන්" රවීන් කිව්වේ යන්තම් හිනාවක් පාලා.
"කිසි ප්‍රශ්ණයක් නෑ. රවීන් එන්නකෝ. මම සේරම arrange කරලා තියන්නම්"
සුරෙෂ් යද්දි රවීනුත් ඒ එක්කම ගියේ දෙන්නත් එක්ක දවල් කෑම එලියෙන් ගන්න වගක් කියමින්.
"මම හවස් වුණොත් එහෙමම ගෙදර යන්වා අයුමි. ඔයා පොඩ්ඩක් මේ වැඩේට material හෙම ගන්න පුලුවන් තැන් search කරලා බලන්න. අපි හෙට විතර විසිට් එක ගැන කතා කරමු. හරි නේද?" රවීන් ඇහුවේ යන්න කලින් අයුමිට කරන්න වැඩ නියම කරමින්.

අයුමි හිස වැනුවා විතරයි. රවීන් තප්පර දෙක තුනක් ඈ දිහා බලාගෙන උන්නේ තව මොනවදෝ කියන්න වගේ වුණත්, ඊලඟට මුකුත් නොකියම ඔහු යන්න ගියා. අයුමිට සුසුමක් හෙලුණා. රවීන් ලඟදි හිත හැමවෙලේකම හීනියට නොසන්සුන් වෙන්නේ ඇයි කියලා ඈ කල්පනා කලේ තමන් ගැනම ඇතිවුණ පුංචි නොපහන් හැඟීමක් එක්ක.

8 comments:

  1. ඔයා ලියන විදියට අපේත් හිත අතරමං වෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. අපේ අප්පේ ඒ මොකෝ?

      Delete
  2. රවින්ලා හැමෝම එකයි.. :D

    හැමදාම කියෙව්වට කමෙන්ට් කරේ නෑ. අන්තිමට කමෙන්ට් එක දෙන්නම් කියල හිතුවෙ.. ඒත් අපිත් මේවා බලනවා කියල දැනගන්න එක හොඳයි නේ..

    කතාව ලියන විදිය ගොඩක් ලස්සනයි.. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. අඳුනගන්න ලැබීම සතුටක්. ඔක්කොම එකයි කිව්වේ මොකෝ කියලා නම් දන්නේ නෑ. කතා නායකයගේ නමම තියෙන පාඨකයෙක් ඉන්න එකත් අපූරු දෙයක්.පොත් ගුලට සාදරෙන් පිලිගන්නවා ඔයාව රවීන්!

      කතාව අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. කතාවේ රවීන් මොන වගේද ඔයත් කියලා බලන්න ඉස්සරහදිත් පොත් ගුලට ඒවි කියලා හිතනවා.

      Delete
  3. ඇත්තටම අදනම් කතාව හරි ලස්සනට ගලාන ගියා....කියවන අතරෙ පුංචි සංකල්ප රූප ටිකක් මැවුන් නැත්තමෙ නෑ....

    ReplyDelete
  4. lassanai..mee novels poth widihata print karanne kawadda?

    ReplyDelete