Tuesday, March 17, 2015

විහංඟනාවී- හත්වන කොටස

"දැන් කොහොමද පුතේ වැඩ කටයුතු?" සති අන්තේ ගෙදර ගිය වෙලාවක එක හවසක ගෙදරට ගොඩවැදුණු මාමා අයුමිගෙන් ඇහුවා.
"කරගෙන යනවා මාමේ දැනට නම් කරදරයක් නෑ" අයුමි කිව්වා.
"වැඩ කටයුතු හරියට කරගෙන ඉන්නවා නම් ඉස්සරහට කරදරයක් වෙන එකකුත් නෑ"
බුලත් විටක් ඒදමින් සාලේ ලොකු පුටුවේ වාඩි වෙලා උන්නු ආත්තම්ම කිව්වා.
"ඒක නම් ඇත්ත" මාමා හිස වැනුවා.
"බෝඩිමේ ඉන්න ගෑණු ළමය හොඳද?" මාමා ඊලඟට ඇහුවා.
අයුමිට ඒ පාර නම් හිනාවක් ගියේ තනූජාව මතක් වුණ හන්දා.
"එයා හරිම හොඳයි. මගේ වයසෙම වගේ ඇති. හරිම ජොලි එක්කෙනෙක් මාමේ" අයුමි කිව්වේ ඒ හිනාවත් එක්කමයි.
"හ්ම්" මාමා හිස වැනුවේ කල්පනාකාරීව.
"අපේ පුතණ්ඩියත් නිතර ඒ පැත්තේ එනවද?"
මාමා ඊලඟට එහෙම ඇහුවේ ඇයි කියලා අයුමි කල්පනා කලා.
"ආ....එදා ඇරලවලා ගියාට පස්සෙම නම් ආවේ නෑ මාමේ"
"ම්ම්"
මාමට තේ එකක් අරගෙන මල්ලි සාලෙට ආවෙ මෙවෙලේ.
"ආ...දැන් තේ හදන්නේ පුතාද?" මාමා ඇහුවේ හිනාවක් පාමින්.
"මොනා කරන්නද මාමේ. ගෙදර කෙල්ලෝ සේරම වැඩට යන්න වුණාම" මල්ලි කිව්වේ මවාගත්තු දුකකින්.
"අනේ ඉතිං මොකටදෑ මගේ කට. තේ හදන එක කෙසේ වෙතත්, බොන කෝප්පේ හෝදලාවත් තියන්වා නම් බැරිය" එහෙම කිව්වේ ආත්තම්ම.
මල්ලි ලැජ්ජාවෙන් වගේ හිස කස කස ගේ ඇතුලට යන්න ගියේ ආත්තම්මට එකටෙක කියන්න බැරි හන්දා.
"මොනා වුණත් හොඳින් වැඩ කරගෙන පරෙස්සමෙන් ඉන්න බලන්න දුවේ. ඔය කොලඹ පැත්තේ සමහර මිනිස්සු හරි වෙනස්. දූලා වගේ අහිංසක ළමයි රවට්ටගන්න ඒ මිනිස්සු හොඳට දන්නවා. අන්න ඒ හන්දා මිනිස්සු ගැන පරෙස්සම් වෙන්න" මාමා අන්තිමට කිව්වේ එහෙම.
අයුමි හිස වැනුවේ හීනවට බරවුණ හිතින් යුතුව. මාමා කියන්නේ මොනා ගැනද කියලා ඈ දැනගෙන හිටියා. ඉස්කෝලේ කාලෙදිවත් කොල්ලෙක් එක්ක කිසිම සම්බන්ධයක් නොතිබුණ අයුමිට දැනුත් ඒ දේවල් ගැන ලොකු උනන්දුවක් තිබුණේ නෑ. ඒ නිසා ඒ අතින් තමන් සෑහෙන පරෙස්සම් කියලා හිතලා අයුමි හිත හදාගන්න උත්සාහ කලා.
"මද්දු දන්නවයැ වැඩක්?" හවස් යාමේ අම්මට උයන උදව වෙවී ඉන්න වෙලාවේ අම්මා එහෙම ඇහුවම අයුමි අම්මා දිහා බැලුවා.
"මොකක්ද අම්මා?"
"ලොකූ මේ ගොඩගම පැත්තේ බැංකුවක, මැනේජර් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවයි කියන්නේ" අම්මා කිව්වම අයුමි පුදුම වුණේ නෑ.
අයුමිට අක්කා ඉඳහිට ඒ කෙනා ගැන කියලා තිබ්බත්, සම්බන්ධයක් ඇති කරගෙන කියලා ඈ දැනගෙන උන්නේ නෑ. ඒත් ඒ ගැන කතා කරද්දි අක්කගේ මූණ රතුවෙන විදියට, ඇගේ කටහඬ කෝල වෙන විදියට, අයුමි දැනගෙන උන්නා එහෙම දෙයක් වෙන්න තිබුණ ඉඩ වැඩි වග. ඈ පුදුම නූනේ ඒකයි.
"මම දැනගෙන හිටියේ නම් නෑ අම්මේ"
"ම්ම්...ඒ ළමයා කියනවලු ගෙදර ඇවිත් කතා කරන්න ඕනය කියලා"
"ඉතිං අම්මා මොකෝ කිව්වේ?"
"මම එක පාරටම මුකුත් කිව්වේ නෑ. ඒත් ඉතිං එන්න ඕන නම් ආවාවේ කියලා මම හිතුවා. ගෙවල් වලින් කතා කරන්න කලින් මනුස්සයා මොන වගේද කියලා බලන්න එපයැ"
"ම්ම්"
"මම ජයපාල මාමටත් කිව්වා හොයලා බලන්න කියලා. එයාලා ඉන්නේ හෝමාගමනේ" අම්මා කිව්වේ ඇගේ ලොකුම අයියා ගැන.
"ඒක හොඳයි" අයුමි කිව්වේ අතේ තිබුණ ගෝවා ගෙඩියේ ආයෙම කොල ගලවන්න පටන් ගන්න ගමන්.
"මද්දුගේ එහෙම මොනා හරි සම්බන්ධයක් හෙම තියේද කා එක්ක හරි? එහෙම තියෙනවා නම් ඒක මට කියන්න" අම්මා ගහෙන් ගෙඩි එන්නා වගේ එහෙම ඇහුවම අයුමි උඩ නොගියා විතරයි.
"පිස්සුද අම්මා. මම තාම එහෙම දෙයක් ගැන හිතලාවත් නෑ. ඉස්සෙල්ලම මේ ජොබ් එක හරියට කරගන්නයි මම මේ ට්‍රයි කරන්නේ" අයුමි කිව්වේ පුංචි නොරිස්සුමකුත් එක්ක.
"හ්ම්. ඒක තමයි මාත් හිතුවේ. ඒ කොහොම වුණත්, ඉස්සරහදි එහෙම දෙයක් වුණ කාලෙක මද්දු මට කියයි කියලා මම හිතනවා. මොකද මම කැමති නෑ පිට මිනිස්සු ඇවිත් මගේ ළමයි අතන මෙතන එක එක්කෙනා එක්ක කතා කර කර ඉන්නවා දැක්කා කියලා කියනවා අහන්න" අම්මා කිව්වේ අයුමි දිහා නොබලා.
අයුමිට හිනාවක් ගියා.
"අම්මේ...එහෙම දෙයක් ඇති වෙච්ච දවසට මම ඉස්සෙල්ලම ඇවිත් කියන්නේ අම්මට. ඒ ගැන ආයෙම හිතන්න ඕන නෑ. කොහොමටත් දැන්මම එහෙම දෙයක් වෙන්නෙම නෑ. හරිද?"
අම්මා අයුමි දිහා බැලුවේ ඇස් කොනකින්. ඒත් ඇගේ මූණේ තිබ්බේ හිනාවක්.
*****
"ම්ම්..."
යන්තම් හිස වන වන සුරතින් නිකටත් පිරිමදින ගමන් රවීන් බලාගෙන උන්නේ අයුමිගේ කම්පියුටරේ දිහා. විනාඩි පහ හයක්ම වචනයක්වත් නොකියා ඔහු ඈ කරපු project එකේ එක එක අංග බලමින් ඉද්දි අයුමි ඔහුගේ මූණ දිහා බලාගෙන උන්නේ අවිනිෂ්චිතව. එහෙම ඉන්න ගමන් රවීන් එක පාරටම ඇස් උස්සලා අයුමි දිහා බලද්දි දෙන්නගෙම දෑස් පැටලුණා මොහොතකට.
"හිටගෙන ඉන්නේ ඇයි. වාඩි වෙන්න. මේක මම හොඳට බලන්න ඕන" රවීන් ඈට කියනකොටයි ඈටත් මතක් වුණේ තමන් තාම උන්නේ හිටගෙන වග.
"හා සර්" අයුමි හෙමින් පුටුවක් ඇදලා වාඩි වුණා.
ලැප්ටොප් එකේ flap එකට උඩින් රවීන් ආයෙම පාරක් අයුමි දිහා බැලුවා. ඒත් එවෙලේ ඈ උන්නේ ජනේලෙන් එපිට ඇස් රඳවගෙන.
රවීන් මේ තරම් ඒක බලන්නේ තමන් මොනා හරි වැරදියට කරලා ඇති නිසාවත්දෝ කියලා හිතමින් උන්නු නිසා අයුමි උන්නේ ටිකක් විතර නොසන්සුන් වෙලා.
"මොකද ඔය ඇස් රතු වෙලා? ඊයේ නිදි මැරුවද?" රවීන් එහෙම අහද්දි අයුමිට ඒක එක පාරටම තේරුණෙත් නෑ.
"සර්?"
"ඊයේ නිදි මැරුවද කියලා ඇහුවේ. නිදි මරාගෙනද මේවා හැදුවේ?" රවීන් ඇහුවේ තවමත් ඈ දිහා බලාගත්වනම.
"ආ..අනේ නෑ සර්. ඕක මම ඔෆිස් එකේදිම ඉවර කලා. ඒත් පස්සෙදි මට හිතුණා තව පොඩි දේවල් ටිකක් වෙනස් කරන්න ඕන කියලා. ඉතිං රෑ ඇහරිලා amendments  වගයක් කලා" අයුමි කිව්වම රවීන් හිනාවුණා.
"රෑ තිස්සේ ඇහැරගෙන ප්‍රොජෙක්ට් ගැන කල්පනා කරන තව කෙනෙක් මම මේ දැක්කමයි"
රවීන් එහෙම කිව්වම අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ මුකුත් නොකියා, ඒත් කුතුහලෙන්.
"අනික් එක්කෙනා කවුද දන්නවද?" රවීන් ඇහුවම අයුමි හිස වැනුවා නෑ කියන්න.
"මේ මම...රෑ වෙද්දි තමා මටත් අදහස් ගලාගෙන එන්නේ ඔලුවට. ඔයා වගේ ඉස්සර මමත් රෑ මැදඇහැරීගෙන මේ finalize  කරපු ප්‍රොජෙක් වල පවා වෙලාවකට amendments කරනවා. හැබැයි ඉතිං ඒ හිතන්න වෙන දේවල් නැති කාලේ"
රවීන් කිව්වම අයුමි බිම බලාගෙන හිනාවුණා.
"Anyway…this is impressive for the first attempt. I like them…and you did a good job. පොඩි පොඩි දේවල් කීපයක් හැදෙන්න ඕන. ඒ ඇරුණම මේක ගොඩක් හොඳයි" රවීන් එහෙම කිව්වමයි අයුමිගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.
ඈ සැනසුම් සුසුමක් හෙලලා හිනාවුණා රවීන් එක්ක.
ඊලඟ පැයේ රවීන් එක්ක කරන්න ඕන වෙනස්කම් සාකච්චා කරලා ඉවර වුණාට පස්සෙත් අයුමිට දැනෙමින් තිබුණේ හිත පිරිච්ච ගතියක්. ඒ එක්කම වැඩ කරන්න ලොකු උනන්දුවකුත් ඈ තුල ඇතිවෙලා තිබුණා.
"අනිද්දට මගේ යාලුවා එනවා. හවස දෙකට තමයි මම මීටින් එක සෙට් කරන්න කිව්වේ. ඔයා ලෑස්ති වෙන්න ඒ වෙලාවට. හරිද?" රවීන් ප්‍රොජෙක්ට් එක ගැන අදහස් ටික කියලා ඉවර වෙලා අයුමිට කිව්වා.
"හා සර්" ඈ එහෙම කියලා ලැප් ටොප් එක හෙම අකුලගෙන එන්න ලෑස්ති වෙද්දි රවීන් ආයෙම ඈව ඇමතුවා.
"අයුමි මේ සතියේ ගෙදර ගියාද?" මේස ලාච්චුවේ මොනාදෝ හොයන ගමන් රවීන් ඈ දිහා බැලුවා.
"ඔව් සර්. මම දිගටම සති අන්ත වල ගෙදර ගියා"
"සමහරවිට field visit එකක් යන්න වුණොත් එක Saturday එකක් ඒකට යයි. එහෙම වුණොත් ප්‍රශ්ණයක් නෑනෙ?"
"අනේ නෑ සර්"
"ඔයාට පස්සෙදි ඒ දවස leiu leave එකක් විදියට ගන්න පුලුවන්"
"හා සර්. ම්..මේ ලඟදිම යන්න වෙයිද?" අයිමි හෙමින් ඇහුවා.
"මම කියන්නම්. ගොඩක් විට ඊලඟ සති දෙකෙන් එකක යන්න වෙයි"
"හ්ම්" අයුමි හිස වනලා එලියට එන්න ආවා.
ඈ එද්දි ප්‍රියන්තියි, සමින්දයි, මාකටින් දෙන්නනයි, හසිකයි කට්ටියම දොර ලඟ මොකක්දෝ පෙට්ටියකුත් අතින් අරන්. අයුමි ඒ දෙන්නා දිහා බැලුවේ පුදුම වෙලා.
"වැඩේ ඉවරද?" ප්‍රියන්ති ඇහුවා.
"ඔව්...ඇයි?"
"එන්න ඔයත් එන්න. අද සර්ගේ බර්ත්ඩේ එක" ප්‍රියන්ති කිව්වේ රහසින් වගේ.
අයුමිට හිනාවක් ගියා ඒක ඇහුවම. ඒ අස්සේ සමින්ද පෙට්ටිය ඇරලා ඒකේ ඉටිපන්දමක් පත්තු කලා. කේක් එක ලස්සන චෙරි ගැටෝ එකක්.
සමින්ද දොරට තට්ටුවක් දැම්මම ඇතුලෙන් එන්න කියලා කියනවා ඇහුණා. ඊලඟට කට්ටියම දොර ඇරගෙන ඇතුලට යද්දි මුලින්ම රවීන්ගේ මූණේ ඇඳුනේ විමතියක්, ඊටපස්සේ ලොකු හිනාවක්.
"I should have known" ඔහු කිව්වේ කරමින් උන්නු වැඩේ පැත්තකට දාලා පුටුවේ පස්සට හේත්තු වෙලා හිනාවෙන ගමන්.
"Happy Birthday මිස්ටර් රවීන්" ප්‍රියන්ති කේක් එක මේසේ මතින් තියන ගමන් කිව්වා.
"Only one candle?" රවීන් ඇහුවේ කේක් එකට ලං වෙන ගමන්.
"හරි විදිහට ඉටිපන්දම් ගහන්න කේක් එක ඉඩ මදි නිසා..." සමින්ද කිව්වේ හැමෝවම හිනාගස්සමින්.
"Thank you everyone" රවීන් කිව්වේ හැමෝම දිහා ලොකු සෙනෙහසකින් වගේ බලමින්.
"Make a wish Sir" අස්මි කිව්වා. ඊලඟට හැමෝම 'හැපි බර්ත්ඩේ ටූ යූ' ගායනා කලාට පස්සේ රවීන් ඉටිපන්දම නිවලා කේක් එක කැපුවා.
හැබැයි වෙන පාටි වල වගේ කේක් කවන එක නම් මෙතනදි කෙරුණේ නෑ. ඒ වෙනවට හැමෝම රවීන්ට සුබ පැතුවා. ප්‍රියන්තියි, හසිකයි දෙන්නම රවීන්ට සුබ පැතුවේ පුංචි වැලඳගැනීමක් එක්ක මූණට මූණ තියලා. අයුමිට ඒක දැනුනේ ටිකක් අපහසුදායක දෙයක් විදියට වුණත් ඈටත් සුබ පතන්න වුණේ එහෙමමයි.
ඈ රවීන්ට ලං වුණේ පොඩි කොහොල්කමකින් යුතුව. රවීන්ගේ රැවුල් කොට ඇගේ සුමුදු කම්මුල් වල ඇනෙනවා ඈට දැනුනා. ඒ එක්කම ඔහුගේ අතේ උණුසුම පව ඇගේ උරහිස මට ඈට දැනුනා. වෙනදට යාන්තමට දැනුන ඔහුගේ විලවුන් සුවඳ අද ඈට හොඳින්ම දැනුනා. පුදුමෙකට වගේ ඒ සුවඳ ඇගේ හිතේ ඇති කලේ නුහුරු තිගැස්මක්. හරියට ඒ සුවඳ ඈට අමතක වෙලා තිබිලා ආයෙම මතක් වුණා වගේ හැඟීමක්.
"තෑන්ක් යූ අයුමි" රවීන් ඇගෙන් ඈත් වුණේ එහෙම කියමින් හිනාවක් පාලා.
"You are welcome sir..."

එහෙම කියලා ඈත් වෙද්දිත් රවීන් උන්නේ ඈ දිහා බලාගෙන. ඈ තමන්ගේ කාමරේට එන්න ආවේ හිත මොකක්දෝ නුහුරු හැඟීම් ගොඩකින් යන්න්තමට කැලඹෙද්දි. රවීන්ගේ බර්ත්ඩේ කේක් කෑල්ල ටිෂූ එකක ඔතලා මේසේ මතින් තියන ගමන් ඈ කල්පනා කලේ ඒ ඇයි කියලා. ඒ ඈට කිසි නිෂ්චිත හේතුවක් පෙනුනේ නෑ. අන්තිමේදි ඈ සුසුමක් හෙලලා ආයෙම වැඩට බැස්සා. ඒ වහල යට කැලඹිච්ච එකම හිත ඇගේ නෙවෙයි කියලා ඈ දෑගෙන උන්නේ නෑ එවෙලේ.  

1 comment:

  1. ලස්සනට කියවගෙන ගියා.. නෙතු, තනූජාගෙ වයසත් දැනගෙන උන්නනම් හොදයි කියල හිතුණ..

    ReplyDelete