Thursday, March 5, 2015

විහංඟනාවී- පස්වන කොටස

පලවෙනි සතියේ ගෙදර ඉඳන් ඔෆිස් ගිය හන්දා, සතිය අවසාන වෙද්දි අයුමි උන්නේ හොඳටම හෙම්බත් වෙලා. ඔෆිස් එකේ ප්‍රියන්තිත්, සමින්දත් ඈට කිව්වේ ලඟින් බෝඩිමක් හොයාගන්න කියලා.
"ප්‍රොජෙක්ට් දෙක තුනක් කරන දවස් වලට සමහරදාට ටිකක් හවස් වෙනකල් වුණත් ඉන්න වෙනවා. එහෙම වුනාම ඔයාට හයට හතට බස් වල නැගලා ගෙදර යන්න බෑනෙ" අයුමිට එහෙම කිව්වේ ප්‍රියන්ති.
අයුමි ආපු දා ආවට පස්සේ රවීන් ආයෙම ඔෆිස් ආවේ සිකුරාදා. ඒ පිට කොහේදෝ තිබුණ මොකක්දෝ බිස්නස් වැඩකට ගිහින් එන්න වුණ නිසා. රිපෝර්ට්ම කියවල එපා වෙලා උන්නු අයුමිට රවීන් ආපු එක සතුටක් විදියට දැනුනේ දැනවත් වැඩක් පටන් ගනීවි කියලා ඈ හිතපු හන්දා. ඒත් ඒ ඉන්න අතරෙදි ඈ හිතේ ඇඳුන ඩිසයින් එක දෙකක් නිකමට වගේ කම්පියුටර් එකේ හැදුවේ වෙන කරන්නම දෙයක් නැතුව එපා වෙලා ඉන්න වෙලාවලදී. ඒත් ඒව රවීන්ට පෙන්නන්න තරම් ඈට නිර්භීත කමක් දැනුනේ නෑ.
"අපට අලුත් ප්‍රොජෙක්ට් දෙකක් විතර ඉස්සරහදි ගන්න මම හිතාගන ඉන්නවා. සති දෙකකින් විතර වගේ ඒ ක්ලයන්ටලා මෙහේ ඒවි අපි එක්ක ඒ ගැන කතා කරන්න. දැන් අලුත් කෙනෙකුත් ඉන්න නිසා අපට බැරිවෙන එකක නෑ මම හිතන්නේ හොඳ වැඩක් දෙන්න. මොකද සමින්ද හිතන්නේ?" සතියේ staff meeting එක වෙලේ එහෙම නිවේදනය කරේ රවීන්.
"අනිවාර්යෙන්ම සර්" සමින්ද කියද්දි අයුමි හිනාවුණා. ඇගේ දෑස් ඉබේම වගේ යොමුවුණේ රවීන් දිහාට. රවීන් ඈ දිහා බැලුවෙත් එවෙලෙම වගේ. ඈ එහෙමම හෙමිහිට නෙත් යුග පාතහෙලාගත්තා, හිනාව පිටින්ම.
"මේ දෙකම මගේ හරිම හිතවත් යාලුවෝ දෙන්නෙක්ගේ වැඩ. එකක් office එකක්, අනික පොඩි hotel එකක් අඹේවෙල පැත්තේ. ඒ නිසා මේ දෙක අපි පිලිවෙලකට කරලා දෙන්න ඕන. මේ දෙන්නම ලොකු කම්පැණි දෙකක ඉහල තල වල ඉන්න දෙන්නෙක්. ඒ නිසා අපිව මාකට් කරගන්නත් මේක හොඳ අවස්ථාවක් වෙයි..." රවීන් තවදුරටත් කිව්වා.
අයුමිට පුංචි පහේ අවිනිශ්චිතභාවයක් වගේ දැනුනත්, ඈට ඕන වුණේ එඩිතර හිතකින් යුතුව ඒ අභියෝගය බාර ගන්න. ඈ හිතුවේ කොහොම හරි තමන් සතු උපරිමේ මේ ආයතනයට කැප කරනවා කියලයි අන්තිමට.
 ***
"ස්වප්නයක්ද මේ....ස්වප්නයක්ද මේ....දෝරේ යයි ආදරේ..."
තාලෙකට එහෙම කියාගෙන කාමරේට ආවේ අමාලි. බෝඩිමට ගෙනියන්න ඇඳුම් හද හද උන්නු අයුමියි, ඇගේ ලඟ උන්නු අම්මයි දෙන්නම හිස උස්සලා බැලුවා.
"ඒ...මොකක්ද ඒ සිංදුව?" අයුමි ඇහුවේ කට ඇද කරලා.
"අනේ... ඒ අර සප්නා එකේ සිංදුව නේ"
"මේ පාර බලන්නත් බැරි වුණා" අම්මා කිව්වා.
"මේ පාර තමා අර සූරජ්, සප්නව රෑ ක්ලාස් එකට එක්ක යන කෑල්ල තිබ්බේ...." අමාලි අම්මට කතාව කියන අතරේ අයුමි ඒකට ඇහුම්කන් නොදී අස් පස් කරන වැඩේ කරගෙන ගියා.
"අයියා බලපු බෝඩිම හොඳදලුද අක්කේ?" කතාව ඉවර වෙලා අමාලි අයුමිගෙන් ඇහුවා.
"හොඳයි කියලා කිව්වා. මම වැඩ කරන තැනට එක බස් එකලු. විනාඩි දහයක, පහලවක දුර කිව්වා"
"ඒක ඉක්මනටම හම්බුන එක හොඳයි නේද?"
"හ්ම්ම්"
"ම්ම්...ඒත් ඔයා සිකුරාදට ගෙදර එනවනේ"
"ඔව් ඔව්"
"අමාලී...අමාලියෝ..." මේ අතරේ ඉස්තෝප්පුව දිහායින් ඇහුණේ ආත්තම්මගේ හඬ.
"මල කෙලියයි...මේ පනාව ගේන්න කියලා එව්වේ. කෝ නැනදේ පනාවක් දෙන්නකෝ" අමාලි නැගිටලා වටපිට බලන ගමන් ඇහුවා.
"ඔය තියෙන්නේ ජනෙල් පඩිය උඩ අරන් යන්න" අයුමිගේ අම්මා කිව්වේ ආත්තම්ම ආයෙම කෑ ගහන්න කලින්. අමාලි ඒකත් අරගෙන කාමරෙන් දුවලා ගියා.
"අනේ මන්දා මේ කෙල්ල.." අම්මා කිව්වේ යන්නතමට හිනාවෙලා.
අයුමිගේ හිත අලුත් දුකකින් පිරුණා. ගෙදර අය, මාමලා, මේ හැමෝගෙන්ම ඈත් වෙලා දවස් පහක් කොලඹ ඉන්නේ කොහොමද කියලා ඈ කල්පනා කලේ සාංකාවෙන්. ඒත් ඈට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
***
"අපේ ගෙදර කිසි කරදරයක් වෙන්නේ නෑ. මේ මගේ නෝනයි, මායි විතරනේ යට තට්ටුවේ ඉන්නේ. ඔය කාමරේ තව එක ළමයෙක් ඉන්නවා. අනික් කාමරේ ඉන්නේ නර්ස්ලා දෙන්නෙක්, මේ සෙන්ට්‍රල් හොස්පිටල් එකේ. බය වෙන්න දෙයක් නෑ"
ලොක්කයියයි අම්මයි එක්ක බෝඩිමට බඩු ටික දාන්න ගිය මුල්ම දා ඒ ගෙදර ඇන්ටියි, අන්කලුයි අයුමිව පිලිගත්තේ සුහද විදියට එහෙම කියලා.
"ඔව් අපටත් ඕන වුණේ එහෙම පරෙස්සම් තැනක් තමා" අම්මත් හිනාවක් පාලා කිව්වා.
"ඒ ගැන නම් බය වෙන්න ඕනම නෑ. අපි දැන් අවුරුදු පහකටත් වඩා මේ ගෙදර ගෑණු ළමයින්ට නවාතැන් දීලා තියෙනවා" එහෙම කිව්වේ බෝඩිමේ ඇන්ටි.
ඉතිං කොහොමින් කොහොමින් හරි අම්මලා අයුමිව ඒ ගෙදර නතර කරලා යන්න ගියේ ඉරිදා හවස. ගෙදරින්ම ඇන්ටික් කෑම, තේ හෙම දෙන හන්දා ඒකත් අයුමිට ලොකු පහසුවක් වුණා. ඒත් බෝඩිමේදි අයුමිට දැනුන පාලුව කියලා නිම කරන්න බැරි තරම් වුණා. ඒ නිසා ඉරිදා හවස අම්මලා ගියාට පස්සේ ඇඳට වැටිලා ඈ කලේ නිදාගත්තු එක. පැයකට විතර පස්සේ ඈ ඇහැරෙද්දි කාමරේ උන්නු අනික් ගෑණු ළමයා ඇවිත් උන්නා. අයුමි ඇහැරුණ වග දැක්කම ඈ අයුමි දිහාට හැරිලා හිනාවුණේ තුවායකුත් කරේ දාගන්න ගමන්.
"ඔයාද මගේ අලුත් රූමි?"
ඈ කටකාර විදියට එහෙම ඇහුවම අයුමිට හිතාගන්න බැරි වුණා එක පාරටම කියන දෙයක්.
"මම එද්දි ඔයා හොඳටම නිදි. ඇන්ටි තේ හදන සද්දෙ ඇහිලා ඔයාව නැගිට්වනවද කියලා හිත හිත ඉද්දි යාන්තම් ඔයා නැගිට්ටා. මගේ නම තනූජා...ඔයාගේ නම?" අයුමි උත්තරයක් දෙන්නත් කලින්ම ආයෙම කතා කරපු ඈ කිව්වා.
"අයුමි..." ඈ කිව්වම තනූජා ආයෙම හිනාවක් පෑවා.
තනූජා කියන්නේ කොලඹ උන්නු ගොඩක් ගෑණු ළමයි වගේ හොඳට ස්ටයිල් කරන කෙනෙක් කියලා බැලු බැල්මට අයුමිට පෙනුනා. කොන්ඩේ ස්ට්‍රේට් කරලා උන්නු තනූජට තිබ්බේ දිස්නේ දෙන, හිනාවෙන ඇස් දෙකක් කියලා අයුමි හිතුවා. ඇගේ හිනාවත් හරිම ලස්සනයි. ඒ තරම් සුදු නැති වුණත් ඒ ඇස් දෙකයි, හිනාවයි, දිග මූණයි හන්දා  තනූජගේ අමුතු ලස්සනක් තියෙනවා කියලා අයුමි හිතුවා. ඒත් ඈ ඇයුමි තරම් උස නැති වග ඈ දැක්කේ ඇන්ටි තේ බොන්න කතා කල වෙලේ පහලට යන්න නැගිට්ටාමයි.
"මම මාර කම්මැලියේ අනේ හිටියේ කලින් රූමි ගිය හන්දා. දැන් ඔයා ආව නිසා හොඳයි. නැත්තම් මට සමහර වෙලාවට රෑ මැද ඇහැරිලා බයත් හිතෙනවා" පහලට යන අතරේ තනූජා කිව්වා.
"ඇයි ඒ? මෙහේ එහෙම බය වෙන්න දේවල් තියෙනවද?" අයුමි ඇහුවේ ටිකක් බය වෙලා.
"නෑ නෑ. මම උන්නු ගමන් ලැප් එකේ හොල්මන් මූවිස් හෙම බැලුවම, මට ඒවා රෑට මතක් වෙලා බය හිතෙනවා"
තනූජා කිව්වම අයුමිට හිනා ගියා. බය නම් මොකට බලන්වද කියලා අහන්න හිතුණත්, තාම එහෙම අහන්න තරම් ලෙන්ගතු කමක් නෑ නේද කියලා හිතිලා ඈ කට පියාගෙන උන්නා.
"...එයා මැරි කරන්න තමා ගියේ. ඔයා කොහේද වැඩ කරන්නේ?"
තොර තෝංචියක් නැතුව කතා කරමින් උන්නු තනූජා එහෙම ඇහුවේ පඩිපෙල පාමුලටත් යන්න කලින්.
"මේ ඉන්ටීරියර් ඩෙකරේෂන් කරන තැනක. මම එතන ඩිසයිනර් කෙනෙක්"
"ඕ... එහෙමද? ෂෝක් නේ. මම වැඩ කරන්නේ online marketing firm එකක"
"ආ ඇත්තද?" අයුමි සුහද වෙන්න උත්සාහ කරමින් ඇහුවා.
තේ බොන අතරෙත්, බීලා එන අතරෙත්, රෑ නිදාගන්නකලුත් තනූජා නොනවත්වාම වගේ කතා කලේ කිසිම මහන්සියක් නැතුව වගේ. ඒත් අයුමිට ඈව කරදරයක් විදියට දැනුනේ නෑ.
"එහෙනම් ගුඩ් නයිට් අයුමි" වැඩ කරන තැන ගැන විස්තරයක් කරමින් ඉඳපු තනූජා අන්තිමට එහෙම කියද්දි අයුමිගේ නම් දෑස් පියවෙන්න පටන් ගෙන තිබුණේ.

"ගුඩ් නයිට් තනූජා...." ඈ කිව්වා නිදිමතේම.

3 comments:

  1. අද තමයි මුලින්ම ආවෙ. මේ බ්ලොග් එක මග ඇරුනෙ කොහොමද මන්ද. කතාව හිතට ඇල්ලුවා.
    දෙබස් අතර ඉඩක් තිබ්බ නම් ගොඩක් පැහැදිලි වෙනවා නේද. එතකොට කියවන අයට පහසුයි කියල හිතෙනවා. ඊලඟ කොටස ලඟදීම බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete