Friday, February 13, 2015

විහංගනාවී - දෙවන කොටස

"අක්කේ..."
අයුමිගේ මල්ලි පොතකුත් උස්සගෙන ඇවිල් අයුමිට කතා කරද්දි ඈ උන්නේ පිච්ච ගහේ අතු වගයක් කප කප.
"මොකෝ ?"
"මේ...අනේ මට ගොයම් නෙලීමේ කවියක් කියනවකෝ" මල්ලි කිව්වේ පැන්සලෙන් හිස කස කස.
"ඇයි සිංහල පොතේ නැද්ද කවි?"
"ඉතිං පොතේ තියෙන කවිම ලියාගෙන යතහැකෑ? අපිට කොහෙන් හරි හොයලා අලුත් කවි දෙක තුනක් ලියාගෙන එන්න කිව්වා"
අයුමි මල්ලි දිහා බැලුවේ හිනාවෙලා. කොණ්ඩේ තට්ටෙටම වගේ කපා උන්න හන්දදෝ මල්ලිගේ කන් දෙක පෙනුනේ ලොකුවට. රවුම් ඇස් දෙකයි, රවුම් මූණයි, බෝලයක් වගේ පෙනුමයි බැලුවම මල්ලි තාත්තා වගේමයි කියලා අයුමිට හිතුණා.
"එහෙම එක පාරටම කිව්වම මතක් වෙන්නෙත් නෑ අනේ" අයුමි මල් කපන කතුර අතේ තියාගෙන කල්පනා කරන්න වුණා.
"දැන් ඉන්න එව්වන්ට කොහේදෑ බන් නෙලුම් කවි ගැන දැනීමක්? මොකෝ දැන් මේ කුඹුරු වල නෙලද්දි ඔව්වා කියනවා කියලයැ"
අයුමියි, මල්ලියි දෙන්නම උඩ ගියා වගේ වුණා පිච්ච ගහේ අනික් පැත්තේ ඉඳලා ආත්තම්ම එහෙම කියාගෙන මතු වුණාම.
"ඉතිං ආත්තම්ම දන්නවා නම් කියන්නකෝ" මල්ලි කිව්වා.
"ඔව් ඉතිං උඹලට අපි ඉන්නකල් හොඳා. හනේ අපිත් හෙට අනිද්දට මැරිලා ගියාම ඔය කයි, කතන්දර සේරමත් අපි එක්කම වැලලිලා යාවි" ආත්තම්ම කිව්වේ කම්පාවෙන් වගේ.
"අනේ ආත්තම්මේ අගේ නොකර කියන්නකෝ දන්නවානම්" මල්ලි ආයෙම කිව්වා.
"ඕ එහෙනම් මේක අහගං...
බිලිඳුන් හඬයි කිරි කට වේලි වේලියේ - උගේ මෝ නෙලයි අව්වේ වේලි වේලියේ
කොටිකන් බැබිල එල තිබ්බටු මහ වනයේ - නෙලුමෙන් කාරි නැත නාඬව පුතා මයේ..."
ආත්තම්ම මොකක්දෝ තාලෙකට කිව්වා. මල්ලි උන්නේ ටිකක් අන්ද මන්ද වෙලා වගේ.
"ඒ ගොයම් කපන කවියක්ද?"
"නැතුව...අම්මා ගොයම් කපන්න ගිය හන්දා ළමයා බඩගින්නේ අඬනවලු. ඉතිං ඒ නෙලිල්ලෙන් කමක් නෑ දැන් ඇවිත් ළමයව බලාපන් කියලා නෙව ඒ කියන්නේ"
"ආ..." මල්ලි හිස වැනුවා."එහෙනම් ආයෙම කියන්නකෝ ලියාගන්න"
ආත්තම්යි, මල්ලියි කවි ලියන කියන අතරේ අයුමි බිම වැටිලා තිබුණ පිච්ච මල් අතු ටික එක්කහු කලා විසි කරන්න.
'මං ඒත් බැලුවා කවුද බොලේ මේ ලන්ද අස්සේ ගොයම් නෙලන්නේ කියලා?" එහෙම කියාගෙන කූරටිය වැට අස්සෙන් මිදුලට ආවේ පින්තු මාමා.
පින්තු මාමා අයුමිගේ මාමගේ කඩේ වැඩ කරන ගෝලයා. ඊට අමතරව මාමගේ එළදෙන්නු දෙන්න දිගේලි කලේ, බලා කියාගත්තෙත් මේ පින්තු මාමා මයි. ගමේ පන්සල දිහාවේ පුංචි ගෙදරක තමන්ගේ අම්මා එක්ක ජීවත් වුණ දුප්පත් ගැමියෙක් වෙච්ච පින්තු මාමා, අයුමිලගේ මාමගේ ගෝලයා වෙලා උන්නේ අයුමිට මතක ඇති කාලේ ඉඳලමයි. ඒ හන්දා ඔහුව හැමෝම සැලකුවේ ගෙදරම කෙනෙක් ගාණට.
"මෙන්න මේ මල්ලිට නෙලුම් කවි ලියාගෙන එන්න කියලනේ මාමේ" අයුමි රොඩු බොඩු ටික විසි කරන්න යන ගමන් කිව්වා.
"ආ...ඒක නේන්නම්. මම ඒත් බැලුවා මොකෑ කියලා අපේ ලොකු නෝනෙගේ කටහඬ ඇහෙද්දි"
අයුමි හිනාවෙලා එතනින් එන්න ආවා. පස්සෙදි ඈ ගෙට යද්දි, මල්ලි පින්තු මාමත් එක්ක සාලෙට වෙලා ජනකවි ලියමින් ඉන්නවා ඈට පෙනුනා. ආත්තම්ම කොහේවත් පේන්න උන්නේ නෑ ඒ පාර.
"බොලඳ ලියන කර ඔසවා බලන බැලුම්...තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්" පින්තු මාමා තාලෙකට කියනවා අයුමිට යාන්තම් සාලේ දිහාවෙන් ඇහුණා.
එවෙලේ ඇගේ හිත තිබ්බේ පිරිලා වගේ. අම්මා, ආත්තම්ම, අක්කා, මල්ලි, මාමලා....මේ හැමෝම එක්ක තමන් ගෙවන සරල ජීවිතේ එක වෙලාවකට  කොයි තරම් සැහැල්ලුද, සතුටුදායකද කියලා ඈ කල්පනා කලා.


"ඔයාව දෙවනි ඉන්ටර්විව් එකට තෝරගෙන තියෙන්නේ. ලබන සඳුදා එන්න පුලුවන් නේද?"
ආත්තම්මා හොයාගෙන ගෙට දුවන අතරේ අයුමිගේ කනේ ඒ වචන පෙල ආයෙ ආයෙත් රැව් දුන්නා.
"මොකෝ ළමයෝ මේ හති හලාගෙන?" බුලත් විටක් ඒදමින් පිළිකන්නේ පඩිය උඩ වාඩි වෙලා උන්නු ආත්තම්මා ඇහුවේ ඈ දිහා පුදුමෙන් වගේ බලලා.
"මාව අර ජොබ් එකේ දෙවනි ඉන්ටර්විව් එකට තේරිලා ආත්තම්මේ..." අයුමි කිව්වේ ලොකු සතුටකින්.
තප්පරයක් විතර අයුමි දිහා බලාගෙන උන්නු ආත්තම්මා ගේ මූණත් ඊලඟ මොහොතේ හිනාවකින් එලි වුණා.
"හැබෑටම? අනේ අප්පේ දෙයියනේ පිහිටයි එහෙමනම්..."
"මං මාමටත් කියලා එන්නම්" අයුමි එහෙම කියාගෙන ගෙයි පිටිපස්ස පැත්තෙන්ම මාමලගේ වත්තට වැට පැන්නා.
"මාමේ...මාමේ..." අයුමි ඈත තියාම කෑගහද්දි එබිලා බැලුවේ නැන්දා.
"ආ...මේ මද්දු නේ"
"මාමා නෑ?"
"මාමා දවල් කාපු ගමන්ම ආයෙම ගියා කඩේට. දෙමල අවුරුදු හන්දා සෙනග එනවා නේ බඩු හෙම ගන්න"  නැන්දා කිව්වේ අයුමි දිහ පරීක්ෂාවෙන් වගේ බලන ගමන්. "ඉතිං මොකදෑ මේ හදිසියේ මාමාව හොයන්නේ?"
"මාව අර එදා ගිය ජොබ්  එකේ දෙවනි ඉන්ටර්විව් එකට තේරිලා තේරිලා නැන්දේ" අයුමි කිව්වේ හිනා කටක් පුරෝගෙන.
"අප්පච්චියේ ඇත්තමද? කොච්චර දෙයක්ද ඒක" නැන්දා ඉත සිතින් සතුටු වෙද්දි ගෙයි ඇතුලේ ඉඳන් එබුණේ මාමගේ ලොකු දුව හිමාලි.
හිමාලි ඉගෙන ගනිමින් උන්නේ විද්‍යා පීඨේ. ඒ හන්දමදෝ හිමාලි ඉස්සරට වඩා ආඩම්බර වෙලා කියලා අයුමිට දැනෙන්න පටන් අරන් තිබ්බේ ටික කාලෙක ඉඳලමයි.
"මොකෝ මෙයා බෙරිහන්දීගෙන?" හිමාලි දොර ලඟ හිටගෙන ඇහුවේ ඕනවට එපාවට වගේ.
හිමාලි එක පාරක් හැරිලා බලපු කෙනෙක් තව පාරක් හැරිලා බලන්න තරම් ලස්සන ගෑණු ළමයෙක් වුණත්, ඒ ලස්සන වත ඇතුලේ තිබ්බේ ආඩම්බර හිතක් කියලා අයුමි දැනගෙන හිටියා. ඇගේ ඉණෙනුත් පල්ලෙහාට දික් වුණ කොණ්ඩෙයි, උසයි, ලස්සන ඇස් දෙකයි හන්දා ඈ කවදත් උන්නේ පොඩ්ඩක් හිස උදුම්මගෙන කියලයි අයුමිගේ අක්කා නම් කිව්වේ.
"පර්මනන්ට් එකක්ද?" හිමාලි ඇහුවා. "ඒත් ඉතිං වැඩක්යැ, පෙන්ෂන් එකවත් නෑනෙ. අනික අට පහ වැඩ කරන්නත් එපැයි, නේද?"
"තාම දන්නේ නෑ හිමාලි අක්කේ. මේ දෙවනි ඉන්ටර්විව් එකනේ" අයුමි කිව්වේ හිතේ නැගීගෙන ආපු නොමනාපේ මැඩ ගන්න උත්සාහ කරමින්.
"ඒත් ඉතිං  ගෙදර නිකං ඉන්නවට වඩා හොඳනේ" එහෙම කිව්වේ නැන්ද.
"හ්ම්..."හිමාලි අහක බලාගෙන කිව්වා.
දෙවනි එකට තේරුණාට එහෙනම් ඉතිං ඕක හම්බවෙයිද දන්නවයැ? සමහර අය කැමති නෑනෙ දුර පලාත් වල අයව ගන්න. ලඟ කෙනෙක් ගත්තාම ලේසි නිසා" හිමාලි කියද්දි අයුමි කල්පනා කලේ කෙනෙක්ට මේ තරම් දුෂ්ඨ වෙන්න පුලුවන්ද කියලා.
"අනේ මංදා ඒකනම්" නැන්දා දෙපැත්තටම නැතුව කිව්වා.
"මම එහෙනම් මාමා ආවාම එන්නම් නැන්දේ" අයුමි එහෙම කියාගෙන එතනින් එන්න ආවේ හිමාලිගෙ සීතල හැසිරීමෙන් හිත රිද්දගෙන.

"එයා හිතාගෙන ඉන්නේ මේ ලෝකේ හොඳම ජොබ් එක හම්බෙන්න යන්නේ එයාට කියලා. අනුන්ගේ සතුටක් දැකලා සතුටු වෙන්න බැරි මූසලියෙක්නේ"
හවස අක්කා ආපු වෙලේ අයුමි වටින් ගොඩින් වෙච්ච දේ කිව්වම අක්කට හොඳටම තරහා ගියා.
"ලොකු දුව? මොකක්ද ඒ කිව්වේ?" ඒ ලඟට වෙලා හැට්ටෙක අතක් ලිහමින් උන්නු අම්මා ඇහුවේ සැරෙන්.
"කිව්වේ ඉතිං ඇත්ත තමා" අනුකි මිමිණුවා.
"බල්ලෝ බිරුවා කියලා අපි බුරන්න ඕන නෑනෙ අක්කේ" TV එකේ ඇස් ඔබාගෙන උන්නු මල්ලිත් කතාවට පිදුරු දැම්මා.
මටයි, අක්කටයි හිනා ගියා ඒ කතාවට.
"හා...ඒ අනික් එක්කෙනා. හරිම තුන් බෑයෝ තමා මේ. ගෙයි ඇතුලේ කතා වුණාට කමක් නෑ ඔන්න ඔව්වා ඇහෙන්න හෙම කියනවා නෙවෙයි.  හිමාලි මොනා කිව්වත් අපට දුකට, සැපට දෙකට ලඟක ඉන්නේ මාමා විතරනේ" අම්මා කිව්වා.
"අපරාදේ කියන්න බෑ අමාලියි, ලොක්කයියයි නම් එහෙම නෑ" අයුමි කිව්වේ මාමගේ අනික් ළමයි දෙන්නා ගැන. ලොක්කයියා තමයි පවුලේ පලවෙනිය, ඊලඟට හිමාලි, අන්තිමයා අමාලි. අමාලි අයුමිට වඩා අවුරුද්දක් බාලයි. ලොක්කයියා අනුකිගේ වයසේ.
"ඇඟිලි පහත් පස් විදියක්නේ ළමයිනේ. ඔන්න ඔහේ තමන්ගේ පාඩුවේ ඉන්න. ඔය කියන කරන එව්වා අපේ ඇඟේ ඇලවෙන්නේ නෑනෙ" එහෙම කිව්වේ අම්මා.
"ඇඟේ ඇලෙන්නෑ, ඒ වුණාට හිතේ ඇනෙනවා" අක්කා කිව්වා.
"බලං යනකොට ඔයත් හිමාලිට දෙවනි නෑනෙ ලොකූ" අම්මා කිව්වේ අක්කා දිහා කණ්ණාඩිය අස්සෙන් බලලා.

ඒ පාර අනුකි කට පියාගත්තා.

5 comments:

  1. හොද නරක කියන්න තාම කල් මදි නේ. කියවන්න ආස විදියට ලියලා තියෙනවා. ඔයාට ජයෙන් ජය!

    ReplyDelete
  2. "ඔයාව දෙවනි ඉන්ටර්විව් එකට තෝරගෙන තියෙන්නේ. ලබන සඳුදා එන්න පුලුවන් නේද?" නෙතු මේ ටික කියවද්දී නිකං පැටලිලි සහිත බවක් පේනවා. මොකද එතැන සම්බන්ධයක් නෑ. කවුරු විසින් කීවක්ද යන්න.ඇත්තටම එයනම් ගැටළු සහගතයි කියල හිතෙනව.....අනිත් සියල්ල ගංගාවක් ගලා බසින්නා සේ ගලගෙන යන ආකාරය ඇත්තටම ලස්සනයි. හොදයි

    ReplyDelete
  3. "ඔයාව දෙවනි ඉන්ටර්විව් එකට තෝරගෙන තියෙන්නේ. ලබන සඳුදා එන්න පුලුවන් නේද?"

    මටනම් හිතෙන්නේ Interview එකේදී හැමදේම English වලින් තිබ්බ නිසා මේකත් එහෙම උනානම් හොඳයි කියල. එතකොට "වැව් ඉස්මත්ත" කිව්වා වගේ පැටලිලි සහගත බව ගොඩක් අඩු වෙන්න තිබුනා.

    කතාවනම් ලස්සනයි වගේ අක්කියෝ.මේ සැරේ නම් මුල ඉඳන්ම කියවනවා. පලවෙනි කතාවෙන් පසේ එහෙම ඒක දිගට කියවන්න ලැබුනෙම නැහැ.

    ReplyDelete
  4. ලස්සනයි අක්කි එලස් ආ

    ReplyDelete