Tuesday, February 24, 2015

විහංඟනාවී- තුන්වන කොටස

අයුමි සඳුදා කොලඹ ගියෙත් මාමාත් එක්කමයි. අර කලු සුදු ලොබි එකේ වාඩි වෙලා ඉද්දි ඇගේ හදවත තිබ්බේ අහේතුකවම ගැහෙමින්. ඈ එතන ඉන්න අතරේ ඇතුලට ගිය එක ගෑණු ළමයෙක් එලියට ආවා. ඒ ගෑණු ළමයගේ අම්මද කොහෙද වාඩි වෙලා උන්නේ අයුමිට එහා පැත්තේ.
"මොකද වුණේ?" අයුමිට ඇහුණා ඒ අම්මා අහනවා.
"අනේ මේ විකාරයක් අම්මේ. කැලෑ මල් ඇරෙන්ජ් කරන්නයි...යමු අපි යන්න" අර ගෑණු ළමය කිව්වේ ඕනවට එපාවට වගේ.
අයුමිට හිතාගන්න බැරි වුණා එහෙම එපා වෙන්න තරම් දෙයක්ද කරන්න තියෙන්නේ දන්නෑ කියලා. ඉතිං ඈ තව ටිකක් නොසන්සුන් වුණා විතරයි.
"මිස් අයුමි එන්න"
receptionist කියද්දි ඈ පුටුවෙන් නැගිටලා පහල තට්ටු වේ වෙන කාමරේක තිබුණ ඉන්ටර්විව් එකට ගියා. ඈ ඒ කාමරේට ඇතුල් වෙද්දිම ඇගේ හිත පුදුමයකින් පිරුණා. කාමරේ වටේට තිබුණේ පෑන්ට්‍රියක වගේ ග්‍රැනයිට් මතුපිටක් තිබ්බ තට්ටුවක් වගේ එකක්. කාමරේ මැද රවුම් මේසයක් උඩ තියලා තිබ්බේ විවිධ වර්ගයේ මල් වර්ග, කොල වර්ග හෙම. කාමරේ එක කොනක උන්නේ එදා ඉන්ටවිව් එකේ උන්නු ගැහැණු ළමයා. වෙන කවුරුවත්ම හිටියේ නෑ. ඈ ඇතුල් වෙනකොටම  ඈ දිහා බලාගෙන හිනාවකින් මුව සරසගෙන හිටපු ගැණු ළමයවත් හරියටම දැක්කේ එදාද කියලා අයුමිට හිතුණේ ඇගේ ලස්සන මුදු මුදු වගේ කැරලි වුණ දිග කොණ්ඩේ දැක්කම. ඒ සුදු පාට කාමරයක් හන්දා, ඇගේ තලෙලු සමයි, පැලඳගෙන උන්නු ලොකු කලු කොටු රාමුවක් තිබ්බ කණ්ණාඩි දෙකයි අයුමිට වෙනමම පෙනුනා වගේ.
"එන්න...අද තියෙන්නේ පොඩි ටෙස්ට් එකක්" ඒ ගෑණු ළමය හිනාවේලා අයුමිට කියද්දි ඈ මේසේ උඩ තිබුණ මල් දිහා බැලුවා.
" පොඩි පේපර් එකක් තියෙනවා කරන්න මුලින්ම. ඒකට ඔයාට මේ ලැප්ටොප් එක පාවිච්චි කරන්න වෙයි. ඒකට විනාඩි හතලිස්පහක් දෙනවා. ආ...එදා ඔයා කිව්වනේ අපේ බෝඩ් රූම් එකේ මල් සැරසිල්ල හරි නෑ කියලා. ඔන්න දැන් මෙතන මල් තියෙනවා. ඔයාට පුලුවන් බෝඩ් රූම් එකට ගැලපෙනවා කියලා හිතෙන මල් සැරසිල්ලක් මේවයෙන් හදන්න. ඒකට ඔයාට ඕන තරම් කාලේ ගත්තට කමක් නෑ" ඈ අයුමිට විස්තර කලේ සුහදව.
මල් වාස් එක ගැන කතාවට ටිකක් ලැජ්ජ හිතුණත් අයුමි හිස වනලා බෑග් එක පැත්තක තියලා ලැප් ටොප් එක ලඟට ගියා.
"ඔයාට දැන් පටන් ගන්න පුලුවන්. මම මේ පිටිපස්සේ ඉන්නම්"
ලැප් ටොප් එකේ තිබ්බේ ඈ පාඨාමාලාවෙදි හදාරපු විෂයන් වල කරුණු ඇතුලත් කරලා. පිංතූර එක්ක හෙම තිබ්බ ප්‍රශ්ණ පත්තරයක්.. ඒකෙදි පාට ගැලපීම්, විවිධ බඩු කාමරේක තියන විදිය වගේ දේවලුත් අහලා තිබුණා. ඈට ඒක නම් ඒ හැටි අමාරුවක් විදියට දැනුනේ නෑ. ඒ අමාරු දේ වුණේ මල් සැරසිල්ල.
සැරසිල්ල කරන්න ගෙනැල්ල තිබුණේ සාමාන්‍යයෙන් භාවිත කරන රෝස, ඩේසි, ඕකිඩ් වගේ මල් නෙව්වෙයි, කැලෑ මල්. එතන ගොඩක්ම තිබ්බේ අටපෙතියා මල්. ඊට අමතරව කහ තැඹිලි පාටවල් මිශ්‍ර හැලිකෝනියා මල් තිබුණා කොලත් එක්කම. බඩල් හනස් ඉති කීපෙකුත් තිබුණා එහෙන් මෙහෙන්, මන්කි ටේල් කියන තෘණ මල් එක්කම. එක පාරටම අයුමිට හිතාගන්න බැරිවුණා මේ තරම් නොගැලපෙන පාට, වර්ග ගොඩකින් මොනා කරන්නද කියලා. ඈ ගිහින් රවුම් glass bowl එකක් වගේ පෝච්චියක් පැත්තක තියා තිබ්බ පෝච්චි ගොඩෙන් තෝරගෙන ආවෙත් අවිනිශ්චිත හිතකින් යුතුව.
ඈ හිතල හිතලා තීරණය කලා අටපෙතියයි, බඩල් හනසුයි වලින් විතරක් මල් සැරසිල්ල කරන්න. මල් දාමින්, ආපහු ගමින්, හිත හිත අයුමි ටික වෙලාවක් ගත්තා සැරසිල්ල හදන්න. ඒ හදන අතරේ ඈට ඇහුණා තව කෙනෙක් කාමරේට එනවා වගේ. ඒත් ඈ හැරිලා බැලුවේ නෑ.
"ආ...සර්..." ඈට ඇහුණා අර ගෑණු ළමයා කියනවා.
"සොරි..." කියනවා විතරයි අයුමිට ඇහුණේ ලඟ වචන පෙල ඔහු කිව්වේ රහසින් වගේ හන්දා.
අන්තිමේදි පැයකට විතර පස්සේ අයුමිට සෑහීමකට පත් වෙන්න සිද්ධ වුණා තමන් හදපු සැරසිල්ල ගැන.  අයුමි ඒ හන්දා පිටිපස්සට හැරුණා අර ගෑණු ළමයට තමන් වැඩේ කරලා ඉවරයි කියන්න.
එතකොට ඇගේ නෙත ගැටුණේ ඒ ගෑණු ළමයා අසලින් උන්නු කෙනා දිහාට. තද නිල් පාට සැහැල්ලු කමිසෙකුයි, ක්‍රීම් පාට කලිසමකුයි ඇඳලා උන්නු ඔහුව එක පාරටම දැක්කම අයුමිට අඳුනගන්න බැරි වුණේ ඔහු කොණ්ඩේ වෙනස් විදියකට පීරලා උන්නු හන්දා. ඒ හිටියේ එදා අයුමිව ඉන්ටර්විව් කරන්න හිටපු MD මයි. ඔහු අද කොණ්ඩේ පස්සට පීරලා අගිස්ස එකතු කරලා පුංචියට බැඳලයි හිටියේ. අයුමිට ඔහුව අදත් වෙනසක් නැතුවම කඩවසම් විදියටම පෙනුණා ඒත්.
"සැරසිල්ල ඉවරද?" ඈ දිහාත් තප්පරයක් දෙකක් විතර බලාගෙන උන්නු ඔහු ඇහුවා.
එතකල් මොකක්දෝ ලියමින් උන්නු ඇර ගෑණු ළමයක් හිස උස්සලා අයුමි දිහා බැළුවා.
"ඔව්" අයුමි හිස සෙලෙව්වේ බිම බලාගෙන.
"මට ඒක බලන්න පුලුවන්ද?" MD සුහදව ඇහුවමයි අයුමිට තේරුණේ තමන් ඉන්නේ මල් සැරසිල්ල වහගෙන කියලා. ඈ ඉක්මණින් එතනින් අයින් වුණා.
"ඔයා පොඩ්ඩක් එලියෙන් ඉන්න අයුමි මම කතා කරන්නම්" අර ගෑණු ළමයා එහෙම කිව්වම අයුමි බෑග් එක අරගෙන එන්න ආවා එලියට.
ආපහු ඇවිල්ලත් වාඩි වෙලා විනාඩි දහයක් පහලවක් විතර ගියාම  ඈව ආයෙම කැඳෙව්වා කලින් කාමරේටම. ඒ පාර ඇගේ සැරසිල්ල ඇරෙන්න අනික්වා සේරම අස් කරලා, රවුම් මේසේ අනික් පැත්තේ MD සහ අනික් ගෑණු ළමයා වාඩි වෙලා උන්නා.
"අද ආවට තෑන්ක්ස් අයුමි" අර ගෑණු ළමයා කියද්දිම වගේ MD ත් අයුමිගෙන් ප්‍රශ්ණයක් ඇහුවා.
"ආ... සොරි සර් අහන්න"
"එතකොට අයුමි හිතනවද මේ සැරසිල්ල අපේ කොන්ෆරන්ස් රූම් එකේ තියන්න තරම් හොඳයි කියලා" MD එහෙම ඇහුවේ අයුමි දිහා කෙලින්ම බලාගෙන.
ඈට එක පාරටම හිතාගන්න බැරි වුණා ඒකට මොනා කියන්නද කියලා. හැදුවට පස්සේ හොඳ නෑ කියන්නයැ.
"ඔව් සර්"
"ඒත් මේක මේ කරලා තියෙන්නේ අටපෙතියා වලින් විතරනේ. තව එතන මල් වර්ග කීපයක්ම තිබ්බනේ?"
"ඒත් ඒවා ගැලපෙනවා කියලා මට දැනුනේ නෑ" අයුමි කිව්වා.
"ඇයි විවිධත්වය තුලින් සුන්දරත්වයක් ගන්න බැරිද?"
"පුලුවන්, ඒත් අර කොන්ෆරන්ස් රූම් එකට ඒක හරියන්නේ නෑ. එහෙම විවිධත්වය හොඳයි බිත්තියක් අයිනේ තියෙන කබඩ් එකක් ලඟට, නැත්තම් රිසෙප්ෂන් එකට වගේ" අයුමි කිව්වේ හෙමින්.
"ම්ම්..." MD හිස හෙලුව්වා විතරයි.
ඒත් අයුමිට දැනුනේ නෑ ඈ තමන්ගේ අදහස ඔහුට ඒත්තු ගැන්නුවද කියලා හරියටම.
"ප්‍රියන්ති..." ඔහු එහෙම කියලා ඊලඟට අවස්ථාව දුන්නා ලඟ උන්නු ගෑණු ළමයට.
"අයුමිව තෝරගත්තොත් හෙට ඉඳන් වුණත් වැඩට එන්න පුලුවන් ද?" ඈ ඇහුවේ එහෙම.
"ආ...ඔව්" අයුමි කිව්වේ වැඩිය නොහිතා.
ඊලඟට ප්‍රියන්ති ඒ කම්පැනියේ වැඩ කරන වෙලාවල්, රස්සාවේ තත්වය වගේ සාමන්‍ය දේවල් ටිකක් ඈට විස්තර කලා. ඊලඟට ඕන පඩිය කීයද, එන්නේ කොහොමද තේරුණොත් වගේ දේවල් කීපෙකුත් ඇහුවා.
ඒ මුලු වෙලාවෙම MD නම් උන්නේ කිසිම දෙයක් නෑහෙන ගාණට ෆෝන් එක අතේ තියාගෙන බැරෑරුම් මූණක් මවාගෙන මොනවදෝ බලබල, ෆෝන් එක ඔබමින්.
"ඕකේ එහෙනම් අයුමි. සර් තව මොනා හරි අහන්න තියනවද?" ප්‍රියන්ති අහද්දියි ඔහු පියවි ලෝකෙට ආවේ.
"ආ...ඔව්. ඔයාට පුලුවන්නේ ලබන Monday ඉඳලා වැඩට එන්න? හෙට එන එක ටිකක් අමාරුයි නේ හදිසියේම නිසා නේද?"
MD එහෙම ඇහුවම අයුමි උන්නේ පුදුම වුණ පාර හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. ඈට හිතුණා ප්‍රියන්ති උන්නෙත් ඒ වගේම පුදුම වෙලා කියලා.
"පු...පුලුවන් සර්" අයුමි අන්තිමේදි වචන ගැටගහගත්තා.
"ඕකේ එහෙනම්. අපි Monday ඔයාව බලාපොරොත්තු වෙනවා. හරිනේ ප්‍රියන්ති..." ඔහු ඇහුවේ කිසිම වෙනසක් නැතිව පුරුදු ශාන්ත බවින්මයි.
"හරි සර් "
කිසිම විදියකින් බලාපොරොත්තු නූන විදියට සිද්ධ වුණ මේ දෙයින් කම්පනය වෙලා උන්නු අයුමි ගෙදරට එනකල්ම ආවේ මොකක්දෝ වෙලා වගේ. ඒත් ඇගේ හිත තිබ්බේ සතුටකින් පිරිලා දොරේ ගලන්න ඔන්න මෙන්න. මාමා ගැන කිව්වොත් මේ ආරංචිය අහලා කොළඹදි නැගුණ හිනාව ගමට එනකලුත් මාමගේ වතේ තිබුණද කොහෙද.
"අම්මේ...මාව අදම තෝරගත්තා" අයුමි ගෙට දිව්වේ එහෙම කියාගෙන.
එවෙලේමද කොහෙද ගෙදර ආපු අම්මටත් ඒක හිතාගන්න ටික වෙලාවක් ගියා.
"හානේ... කොච්චර එකකද?" ඊට පස්සේ ඒක තේරුම් ගත්තු වහාම අම්මා කිව්වෙත් හිනා කටක් එක්ක.
ආච්චි අම්මත් උන්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් වගේ.
"ඒක නොවැ මම කිව්වේ මේ පාර ඕක හරියනවා කියලා. මම අර ගමේ නුග ගහේ පඬුරකුත් බැන්දලා බාරවුණා" ඈ කිව්වේ එහෙම.
"එහෙනම් අක්කේ රුක් දෙයියොමද දන්නෑ ඔයාගේ බොසුත්" මල්ලි කිව්වේ ආච්චි අම්මටයි, අම්මටයි නෑහෙන්න රහසින් වගේ.
"එහෙම කියන්න එපා අනේ" මම කිව්වේ ඔහුගේ කරට අතක් දාගෙන හිනාවෙමින්.
"මේ පලවෙනි පඩියෙන් මට මොනා හරි අරන් ඕන ඈ?" මල්ලි ඊලඟට කිව්වා.
"හරි හරි ඒක බලමුකෝ"
එදා ගෙදර තිබ්බේ ලොකු සතුටකින් පිරිලා වගේ. අයුමිගේ හිතටත් දැනෙමින් තිබ්බේ ලොකු ශාන්තිදායක සතුටක්. ඒත් ඈ හිතුවේවත් නෑ මේ ඇගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙයි කියලා.

"දැන් ඔයාට වැඩට යන්න අලුත් ඇඳුමක් හෙමත් ගන්න ඕන වෙයි නේද?" අනුකි අයුමිගෙන් ඇහුවේ රෑ ලිඳ ලඟ දත් මදින වෙලේ.
"එහෙමට ඕන නෑ අක්කේ. ඔය තියෙන එක දෙක ඉස්සෙල්ලම අඳිනවා. ඊට පස්සේ පඩිය අතට ආවම තව එක දෙකක් ගන්න පුලුවන් නේ" අයුමි කිව්වා.
"ඒ වුණාට ඔයා යන්න හදන්නේ ටිකක් හොඳ තැනකටනේ. ඒ නිසා අලුත් ඇඳුමක් දෙකක් ගන්න ටිකක් අලුත් තාලේ. මම සල්ලි දෙන්නම්"
"අනේ ඕන නෑ අක්කේ. ගෙදර වියදනුත් තියෙනවනේ"
"පිස්සු නැතුව ගිහින් අලුත් ඇඳුමක් ගන්න. ඕක ගත්තා කියලා අපි හාමත් වෙන්නේ නෑ මෝඩියේ" අනුකි අයුමිගේ අතක් යන්තම් කොනිත්තමින් කිව්වේ ආදරෙන්.
අයුමිට ඇගේ සහෝදරිය ගැන දැනුනේ ලොකු සෙනෙහසක්. රෑ දවල් නැතුව ඉස්පිරිතාලේ මහන්සි වෙවී ඈ අමාරුවෙන් හම්බ කරන සල්ලිවලින් ඇඳුම් ගන්න අයුමිට හිතක් තිබුණේ නෑ. ඒ හන්දම අනුකි බලෙන් වගේ අයුමිව එක්ක ගිහින් ඇඳුම් දෙකක් ඈට අරන් දුන්නා ඉස් ඉස්සෙල්ලම රස්සාවට යන්න.
"මුල් සතියේ වගේ ගෙදර ඉඳන් ගිහින් බලන්න. ඒ වුණාට බස් එකේ දෙවේලේ යන එන එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒ හන්දා ලඟ පාතකින් බෝඩිමක් වත් හොයාගන්න වේවි මට හිතෙන්නේ" මාමා ඇයුමේ යෑම් ඊම් ගැන කතා කරද්දි දැරුවේ එහෙම අදහසක්.
"ඒක නම් ඇත්ත මල්ලි. හැමදාම කොලඹ යනවා එනවා කියන එක කරන්න බෑ" අම්මත් කිව්වා.
අයුමි නිහඬව උන්නේ ඒ කාරණාව ඇගේ හිතට දුකක් එකතු කරපු හන්දා.
"අපි ලොකු පුතාට කියමු තැනක් හෝදිසි කරලා බලන්න කියල. මාමා කිව්වේව් ලොක්ක්කයියත් වැඩ කලේ කොළඹ හන්දා.
"ඔව්. එහෙම හොඳයි" අම්මත් කිව්වා.
"එහෙම කරමු නේද දුවේ?"

මාමා අන්තිමේදි ඈ දිහා බලලා ඇහුවම අයුමිගේ උගුර තිබ්බේ ඉදිමිලා වගේ. ඈ බිම බලාගෙන හිස විතරක් හෙලෙව්වේ ඒකයි.

2 comments:

  1. කොටස දාන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනා. ඊලඟ එක ඉක්මණට දාන්නම්.

    ReplyDelete
  2. අනිවා ඉක්මණටම දාන්න....මනස්කාන්ත විදියට ගලාගෙන යනවා කතා මාලාව..ලස්සනයි....හිතෙනවා හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට තියෙයි කියල.....ලස්සන හොද කතාවක් කියවන්න ලැබෙයි කියල හිතනවා.....ස්තූතියි නෙතු....

    ReplyDelete