Monday, August 25, 2014

අසූ එක්වන කොටස



චේතිය අයියගේ බැල්මේ තිබ්බ හැඟීම මේකයි කියලා විස්තර කරන්න මට තේරුණේ නෑ. ඔහු මා දිහා බලාගෙන උන්නේ උපේක්ෂාවෙන් වගේ කියලා ඒත් මට හිතුණා. මගේ හිත ඇතුලෙන් පටන් ගත්තු වෙව්ලීමක් හෙමි හෙමින් ඇඟ පුර දිවෙනවා වගේ මට දැනුනා.
"පුතා යමුකෝ වාඩි වෙන්න" අපි අතරේ තිබ්බ අසහනකාරී නිහැඬියාව බිඳ දැම්මේ තාත්තා.
"මම ඉස්තෝප්පුවේ ඉඳන්ම දුලාරා එක්ක ටිකක් කතා කලාට කමක් නැද්ද තාත්තේ?" පාර චේතිය අයියා ඇහුවා.
තාත්තා මොහොතකට විපිලිසර වුණා, හරියට ඒක බලාපොරොත්තු නොවුණ දෙයක් වගේ.
".... ඔ…ඔව්. කැමැති විදියක්" තාත්තා කිව්වේ මා දිහාත් බලමින්.
මම හිටියේ කරන්නේ මොනාද කියලා හිතාගන්නවත් බැරිව. චේතිය ලඟ තවමත් එකල මෙකල වෙවී උන්නු තාත්තා දැක්කම මට හිතුණා ඔහු උන්නෙත් දෙගිඩියාවෙන් කියලා.
මම හෙමින් එතනට ඇවිදගෙන ගියේ මගෑරලා යන්න විදියක් මම නොදැන උන්නු නිසා. ඒත් මට චේතිය අයියගේ මූණ බලන්න හැකියාවක් තිබ්බේ නෑ.
"අම්මා කුස්සියේද දෝණි?" තාත්තා ඇහුවේ ගේ ඇතුලට එන ගමන්.
"ම්ම්" හිස වැනුවත්, මම දැනං හිටියේ නෑ අම්මා කුස්සියෙද කොහේද කියලාවත්.
තාත්තා මා දිහාට හෙලුවේ විමසුම් බැල්මක්. මම ඔහු දිහා බලා උන්නේ අසරණව. ඊලඟට තාත්තා මුකුත් නොකියම සාලෙට ආවේ මම ඉස්තෝප්පුවේ උලුවස්ස ලඟ තනි කරලා. චේතිය අයියා ලඟම එහා පැත්තේ පුටුවේ වාඩි වාඩි වෙලා උන්නා.
"මම ආපු එක ඔයාට හිතාගන්න බැරි වග මම දන්නවා" චේතිය අයියා කතාව පටන් ගත්තේ එහෙම.
මම ගොලුවත රැක්කා ඔහු දිහාවත් නොබලා. ඒත් ඔහුගේ ස්වරයේ තිබුණ නිවුණ බව මට දැනුනා.
"එදා...හැටන් වලදි මම දමලා ගහලා ආවේ තවත් මට එතන වෙන දේ ගැන කරන්න දෙයක් තිබ්බේ නැති හන්දා. නැතුව මම ඔයාව සදහටම හිතෙන් අයින් කරන්න හිතපු හන්දා නෙවෙයි..." චේතිය එහෙම කිව්වම මාව ගැස්සුනා. ඔහු දිහා නොබැලුවත් මගේ කන් පෙති ඔහු කියන හැම වචනයක්ම අහගන්න යොමු වෙල තිබුණා.
"ඇයි ඔයා මට මෙහෙම කලේ දුලාරා?" නිවුණු ස්වරයෙන්ම චේතිය අයියා අහද්දි මගේ හිත හිරිවැටෙනවා වගෙයි මට දැනුනේ.
"මගේ හිතේ ඔයා ගැන ගොඩාක් බලාපොරොත්තු තිබුණා.  ඒත් මම දන්නවා ඔයා මා ගැන එහෙම හිතන්නේ නෑ කියලා. ඔයා මට කවදාවත් ආදරේ කලේ නෑ දුලාරා...එහෙම නේද?" චේතිය අයියා ඇහුවා.
"ඔව්" මම කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
ඔහු දිග සුසුමක් හෙලුවා.
"හ්ම්ම්...දන්නෑ ඇයි මම ඒක දැන දැනත් ඔයාට මේ තරම් හිතින් බැඳුනේ කියලා. ඒක මගේ ලැබීම වෙන්න ඇති" චේතිය අයියා කිව්වේ දුකෙන් වගේ.
පුදුමෙකට මට දැනෙමින් තිබ්බේ දුකක් නෙවෙයි, මොකක්දෝ ජුගුප්සාජනක හැඟීමක්.
"මම දන්නෑ චේතිය අයියා"
ඔහු මා දිහා බලනවා මම දැක්කා.
"මම කරපු සමහර දේවල් හරි කියලා මම කියන්නේ නෑ. ඒත් හැමදේම මම කලේ මට ඔයාව ඕන වුණ හන්දා" චේතිය අයියා කිව්වා.
" හන්දම ඔයා මාව මම ආදරේ කරපු කෙනාගෙන් වෙන් කලා. ඔයා හිතුවේ නෑ ඒක අපි දෙන්නට කොච්චර වේදනාවක් වෙයිද කියලා. අන්තිමට ඒකෙන් වුණේ මොකක්ද? භූප ලෙඩෙක් වුණා. ඔයාට හොඳක් වුණාද? නෑ. මට හොඳක් වුණාද? අපේ පවුල් වලට හොඳක් වුණාද? නෑ....කිසි කෙනෙක්ට කිසි හොඳක් වුණේ නෑ..."
චේතිය අයියා සේරම අහගෙන උන්නේ හිස බිමට යොමාගෙන.
"මම වැරදි වග මම පිලි ගන්නවා. මම අද ආවෙත් හන්දා. මම දන්නවා ඔයා මා එක්ක තරහා ඇති, ගොඩක් තරහා ඇති. ඒත් මාව තේරුම් ගන්න දුලාරා...ඔයාට ආදරේ කලේ මම ඇත්තටම. මට ඕන වුණේ ඔයාට ලස්සන ජීවිතයක් දෙන්න. ඔයාව ආදරෙන් බලාගන්න. නැතුව කාටවත් වරදක් කරන්න නෙවෙයි. මම හිතුවා එක වෙලාවක ඔයා ඒක තේරුම් ගනී කියලා. ඒත් එහෙම වුණේ නෑ. කොයිම වෙලාවකවත්. ඔයාව ලං කරගන්න මම උත්සාහ කරන්න කරන්න ඔයා ලං වුණේ වෙන කාටවත්. ඒක මගේ කරුමේ වෙන්න ඇති"
"ඔයා වෙන කාටවත් කිව්වේ අනුක්ටද?" මම ඇහුවේ හිතේ පුංචි නොරිස්සුමකුත් නැගීනෙන එද්දි.
"අනුක් ගැන කතා කරන්න මට ඕන නෑ. මම එයාව ගොඩක් විශ්වාස කලා. ඒත් අන්තිමට එයා කලේ මොකක්ද?"
"අනුක් වරදක් කලේ නෑ. එයා හැදුවේ මට උදව් කරන්න. එයා කවදාවත් වචනෙකින් වත් මගේ හිත රිද්දලා නෑ. මගේ හැම දුකක්ම, හැම සතුටක්ම, හැම උවමනාවක්ම තේරුම් ගත්තේ අනුක්. ඔයා නෙවෙයි..." කවුරුවත් අනුක්ට වරදක් කියනවට මම කැමති වුණේ නෑ. මම ඔහුට තරම් ලං වෙලා හිටපු හන්දා.
"එතකොට අනුක් ඔයාට ආදරේ කරන එක හරි. මම ආදරේ කරන එක වැරදියි. ඒක කොහේ තියෙන සාධාරණත්වයක්ද දුලාරා?"
"අනුක් මාව බලෙන් ලබාගන්න හැදුවේ නෑ. එයාට ඕන නම් ඒක කරන්න තිබ්බා. භූප මගෙන් වෙන් වෙලා, ඔයා මට පුලුවන් තරම් රිද්දද්දි මම කොච්චර අසරණ වෙලාද හිටියේ. එවෙලේ එයා මගේ ලඟ උන්නා. ඒත් ඒකෙන් අයුතු ප්රයෝජන ගන්න හැදුවේ නෑ. එයා හැදුවේ හැමදාමත් උත්සාහ කලේ භූපව ආයෙමත් මට ලං කරලා දෙන්න. ඒක ඔයත් දන්නවා. එදා නුවර හොස්පිටල් එකට මාව එක්ක ගියේ අනුක්. මේ පාර භූප ආයෙම හොයාගෙන මම තනියෙම යද්දි මට උදව් කරන්න ලෙක්චර්ස් cut කරගෙන, මහන්සි නොබලා ආවේ එයා. එයාට මාව ඕනම වුණා නම් එයාට ඕන තරම් අවස්ථා තිබ්බා මාව ලං කරගන්න. වෙන දෙයක් තියා එදා භූපව බලන්න ගියදා අපි නිදාගත්තේ එක කාමරේක. එයාට ඕන දෙයක් මට කරන්න තිබුණා" මම දන්නෑ ඇයි මම ඒ දේවල් ඔහුට එහෙම කිව්වේ කියලා.අන්තිම ටික කිව්වම චේතිය අයියා පුටුවෙනුත් නැගිට්ටා, කලබල වුණ පාර.
"ඒත් අනුක් එහෙම කෙනෙක් නෙවෙයි චේතිය අයියා...අනුක් මට ආදරේ ඇති. ඒත් එයා ජරා මිනිහෙක් නෙවෙයි. මම දුකින්, අසරණවෙලා හිටපු දවස්වල එයා මට ආදරේ කිව්වානම් මට දැන් හිතෙනවා මම එයාට කැමති වෙන්න වුණත් ඉඩ තිබ්බා කියලා.."
"දුලාරා..." චේතිය අයියගේ හඬේ තිබ්බේ කෝපයක්.
"මම කියන්නේ ඇත්ත" මම ඔහු දිහා කෙලින්ම බලලා කිව්වා.
"අනුක් දෙවියෙක් වගේ මනුස්සයෙක්. එයා වැරදිකාරයෙක් නෙවෙයි..." මම කිව්වා.
චේතිය අයියා මා දිහා බලාගෙන උන්නේ තරහකින්ද, දුකකින්ද කියන්න මම දන්නේ නෑ.
"මට මේක විශ්වාස කරන්නත් බෑ දුලාරා...එතකොට ඔයත් අනුක්ගේ පැත්තේ. එතකොට භූප?"
"භූප ගැන ඔයාට තියෙන අමාරුව මොකක්ද? ඔයා එදා ඉඳන්ම කලේ භූපට හතුරුකම් කරපු එක. අසරණයා ඔයාට කිසි වැරැද්දකුත් නොකර. ඒත් ඔයාට තේරුම් ගන්න මම මේක කියන්නම්. මම භූපට ආදරෙයි. එදත් අදත්, හැමදාමත්. මම අනුක්ට ගරු කරනවා හොඳ යාලුවෙක් විදියට. අනුක් හැමදාමත් මගේ හොඳම යාලුවා. ඒකෙ තේරුම මම එයාට ආදරෙයි, භූපව අතෑරලා එයා එක්ක යනවා කියන එක නෙවෙයි. එයා මට ආදරේ කරනවද නැද්ද කියන එක මට අදාල නෑ. මම ගැන හිතන්නේ නෑ. මොකද මම එයා ගැන හිතන්නේ මගේ යාලුවෙක් කියන විදියට විතරක් හන්දා. අනික මම කොහොමවත් හිතන්නේ නෑ අනුක් තාමත් වගේ දේවල් ඔලුවේ තියාගෙන ඉන්නවා ඇති කියලා. ඒක ඔයාට තේරුම් ගන්න බෑ චේතිය අයියා. ඔයා දේවල් උදුරගන්න පුරුදු කෙනෙක් මිස, තමන්ගේ සතුට අනුන් වෙනුවෙන් පරිත්යාග කරලා ඒකෙන් සතුටු වෙන්න දන්න කෙනෙක් නොවෙන හන්දා" මම කියාගෙන නිර්දය විදියට.
චේතිය අයියා ගොලු වෙලා වගේ මා දිහා බලාගෙන උන්නේ මම කියන දේවල් අදහාගන්න බැරිව වගේ. ඊලඟට ඔහු සුසුමක් හෙලලා ආයෙම හිස පහත හෙලාගත්තා.
"ඔව්...සමහරවිට ඔයා කියන එක ඇත්ත වෙන්න ඇති. ඒක දැන් මට අදාල නෑ. දුලාරා...මම අද ආවේ ආයෙම ඔයාට කරදර කරන්න නෙවෙයි. ඒත් මම හිතුවා සමහරවිට ඔයාගේ හිතේ මම ගැන පුංචිම හරි හැඟීමක් ඇති කියලා. ඒත් මට දැන් තේරෙනවා එහෙම කිසි දෙයක් නෑ කියල. මට කියන්න ඕන වුණේ මෙච්චරයි. මම  හැමදේම කලේ ඔයාට ආදරේ හන්දා...ඔයා පිලි ගත්තත් නැතත් ඒක තමයි ඇත්ත.
ඒත් මම දැන් දන්නවා, ලබාගන්න එකම නෙවෙයි ආදරේ කියලා. නිසා ඔයාගෙන් මම ඈත් වෙලා යනවා දුලාරා. ඔයා කියන දේවල් ඇහුවමත් මට හිතෙනවා ඔයා මගෙන් බලාපොරොත්තුවෙන්නෙත් ඒකයි කියලා. මේ ඔයාගේ ජීවිතේ, තවත් ඔයා කරන්නේ මොනාද කියලා හොයන්න මම එන්නේ නෑ. හැමදාමත් ඒකෙන් වුණේ මගේ හිත රිදුණ එක විතරයි. ඔව් දුලාරා...මටත් තියෙන්නේ රිදෙන හිතක් තමයි. ඒකෙන් දැන් වැඩක් නෑ. එදාවත් මාව තේරුම් නොගත්තු ඔයා අද මාව තේරුම් ගන්නෙත් නෑ කියලා මම දන්නවා.
මං කියන්න ආවේ ආයෙමත් මම ඔයාගේ ජීවිතේට එන්නෑ කියලා. ඔයාගේ සතුට තියෙන්නේ එතන වග මම දන්නවා. මම ඔයාගේ සතුට ඔයාට නොදුන්න මිනිහෙක් වෙන්න ආස නෑ. ඒක ඔයාට මම දෙනවා දුලාරා. ආයෙමත් ඇවිත් මම ඔයාගේ ජීවිතේට බරක් වෙයි කියලා හිතන්න එපා. මම එහෙම කරන්නේ නෑ..."
චේතිය අයියා පරාජිත විලාශෙන් එහෙම කියද්දි මගේ හිත චුට්ටක් විතර කම්පා නොවුණා නෙවෙයි. ඒත් මම හිත දැඩි කරගෙන අහගෙන උන්නා.
"ඔයා බය වෙන්න එපා, මම ඔයාගේ අයියගේ සම්බන්ධේ කැඩෙන විදියේ දෙයක් කරන්නෙත් නෑ. ඔයාවයි භූපවයි වෙන් කරපු වරදට මම විඳවන තරම ඇති. ඒක ඔයාට හිතාගන්නවත් බෑ දුලාරා. ආයෙත් මම එහෙම දෙයක් කරන්නේ නෑ"
ඔහු එහෙම කියද්දි මම උන්නේ බිම බලාගෙන. හිත සැලෙමින් තිබ්බා චේතිය අයියගේ වචනයක් වචනයක් ගාණෙම.
ඊලඟට ඔහු මගේ ලඟට අඩියක් දෙකක් තියලා ලං වුණා. මම යන්තම් ඇස් උස්සලා ඔහු දිහා බලද්දි ඔහු එක අතකින් හෙමින් මගේ හිස එක පාරක් අතගෑවා.
"මම යන්නම් නංඟි...ඔයා හොඳින් ඉන්න..."
මම ඔහු දිහා බලාගෙන ඉද්දි මොකක්දෝ දුකක් යාන්තම් හිතට මුසු නූනා නෙවෙයි.
"කරපු හැම දෙයක්ම මම කලේ ඔයා හන්දා. මම නරක මිනිහෙක් කියලා හිතන්න එපා "
"නැ...නෑ..." මම හෙමින් හිස වැනුවා.
"ඉස්සරෝම දවසක මම ඔයාට ලං වුණෙත්, අද ඔයාගෙන් ඈත් වෙන්නෙත් එකම කාරණයක් හන්දමයි නංඟි... මං ඔයාට ගොඩක් ආදරේ හන්දා... මට අන්තිමට කියන්න ඕන එච්චරයි”
මම දිග හුස්මක් ගත්තා හිත පාලනය කරගන්න.
"මං දැන් යන්නම්" චේතිය අයියා කිව්වේ පාලනය කරගත්තු හඬකින් කියලා මට තේරුණා.
මොනා කියන්නද කියලා මට හිතාගන්න බැරි වුණා ඇත්තටම. මම එතන උන්නේ හැඟීම් ගොඩකින් වෙලිලා.
"මං අම්මලට කියලා එන්නම්" ඊලඟට තවත් මගේ ලඟ නොහිට චේතිය අයියා ගේ ඇතුලට ගියා.
ඊටපස්සේ තාත්තා ආවා, අම්මා ආවා, චේතිය අයියා ආවා. ඒත් මම උන්නේ එතනමයි. වෙච්ච දේවල් ගැන මම හිත යොමු කලේ නැති තරමයි. රෑ කෑම කන්න තියා, අම්මා හදාගෙන ඇවිත් තිබ්බ තේ එකවත් බොන්න නොනැවතී මන්දාරම් අඳුරෙම චේතිය අයියා යන්න ගියා. මට මුලු හවස් වරුවම දැනුනේ හීනයක් වගේ. අන්තිමේදි මම කාමරේට ගියා හෙමි හෙමින්. අම්මා තාත්තා එක්ක කතා කර කර ඉද්දිම.
"පව්...මොනා වුණත් ගුණයහපත් ළමයා. මොනා කරන්නද ඉතිං, පවට පින දෙන්න බෑනෙ" අම්මා කියනවා මට ඇහුණා.
"එහෙම කියන්න එපා දෝණිලගේ අම්මේ. හැමදේම වෙන්නේ හොඳට කියනවනේ" අම්මා තරහා ගස්සන්නේ නැතිව තාත්තා කිව්වා.
"හ්ම්ම්...ඒත් මම මේ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන උන්නද. අපි හැමවෙලේම හිතන්නේ ළමයින්ගේ දියුණුව ගැන වග මේ ළමයි තේරුම් ගන්නේ නැත්තේ ඇයි මන්දා" අම්මා කිව්වේ දුකෙන් වගේ.
"මේකනේ දෝණිලගේ අම්මේ...අපි කොච්චර සතුටු වුණත්, ජීවිතේ ගෙවන්න ඕන ළමයි නෙව. දැන් බලන්න අපි දෙන්නා දැන් අඳුනගෙන, කසාද බැඳලා, දරු මල්ලෝ හදාගෙන සතුටින් ඉන්නවා. මම ඔයාව කසාද බඳිද්දි මම නිකම් රජයේ ලිපිකරුවෙක් විතරයි. මට සල්ලි ගොඩක් තිබ්බේ නෑ. ඒත් අපි සතුටින් හිටියා. මොකද සල්ලි නැතත් අපේ පවුලේ ආදරේ, සමගිය තිබ්බ හන්දා. ඉතිං අපි අපේ ළමයින්ටත් ලබාදෙන්න ඕන වගේ ජීවිතයක් නෙවෙයිද? සල්ලි, ගරු නම්බු කියන්නේ හම්බ කරගන්න පුලුවන් දේවල්. සතුට, ආදරේ කියන්නේ එහෙම දේවල් නෙවෙයි. මම කියන්නේ බොරුද?" තාත්තා අහද්දි අම්මා කිව්වේ මොකක්ද කියලා මට ඇහුණේ නෑ.
"අන්න හන්දා, අයට සතුටින් ඉන්න පුලුවන් දේවල් අපි කරන්න ඕන. මම දන්නවා දෝණිලගේ අම්මා බලාපොරොත්තු වුණෙත් ඒකයි කියලා. ඒත් අපේ දෝනිත් අපි වගේමනේ. එයාට සරල ජීවිතේකින් සතුටු වෙන්න පුලුවන්. එයාට ඕනත් ඒකයි. මම සහතිකෙන්ම දන්නවා දෝණිට හරියන්නේ චේතිය නොවෙන වග. නිසා කොයි දේ වෙන්නෙත් හොඳට කියලා අපි මේක බාරගමු. අපේ දෝණි නරක ළමයෙක් නෙවෙයි. මම ඒක දන්නවා. නිසා එයාට කවදාවත් වරදින එකක් නෑ. දෝණිලගේ අම්මා ගැන බයවෙන්න ඕන නෑ. ඔයා වගේම අපේ කෙල්ලත් යන ඕන තැනකට වාසනාව අරගෙන යාවි"
තාත්තගේ වචන ටික ඇහුණම මට ඇඬුනා. අම්මා ගැන, තාත්තා ගැන හිතේ පිරුනේ මහා ආදරයක්. මම හැරිලා පිම්මෙම සාලෙට දිව්වා. යද්දි තාත්ත උන්නේ අම්මගේ හිස මත අතක් තියාගෙන. අම්මා උන්නේ නහය පිහ පිහ. මම එහෙමම ගිහින් තුරුලු වුණේ අම්මට. අම්මා තප්පරේකට විතර පුදුම වෙන්න ඇති. ඒත් ඊලඟ මොහොතේ මගේ හිස සිපගත්තා, පුංචි කාලේ කලා වගේ. අම්මටයි, තාත්තටයි මැදිවෙලා, තුරුලු වෙලා උන්නු මට මොනවත්ම කියාගන්න බැරි වුණත්, මට කියාගන්න ඕන වුණ දේවල් කොහොමින් හරි අම්මලට තේරෙන්න ඇති කියලා මට දැනුනා. අම්මලා, තාත්තලා හැමදාමත් එහෙම වග මම දැනගෙන උන්නු නිසා. කාටත් වඩා අපේ හිත් කියවන්න දන්නේ දෙන්නා නිසා. කොහොමින් හරි අන්තිමේදි චේතිය අයියා එක හොඳ දේකට මං විවිර කරලා නික්ම ගිහින් තිබුණා.

3 comments:

  1. වේදිකාවත් නළු නිළියනුත් යහමින් මෙහෙයවා තිබේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිස්ස සහෝදරයා :)

      Delete
  2. බොහෝම ලස්සනයි.. නෙතූ අක්කා ඇත්තමයි ඔයාගෙ කතා මේ සයිබර් අවකාශයට විතරක් සීමා වෙනවට මම නම් චුට්ටක්වත් කැමති නෑ.මොකද මේ හැම කතාවක්ම හුදු මල් නවකතාවලින් එහා ගියපු විශිෂ්ට ගණයේ කතන්දර නිසා..

    ReplyDelete