Friday, August 22, 2014

අසූවන කොටස

හැමදේම වෙනස් වෙලා තිබුණේ හිතාගන්න බැරි තරම් පුදුම විදියට. වෙනදට හැමෝම එක්ක කෑම කන මේසේ ගොඩ වෙලාවට දැන් උන්නේ මම විතරමයි. අම්මලා මා එක්ක කන්න හිටියේ නැතුවද, එහෙම නැත්තම් මම හිතා මතාම අය එක්ක කෑම කන එක මගෑරියද කියලා මම දන්නේ නෑ. ඒත් ඉස්සර වගේ අම්මා ඇවිත් මම කනකල්ම කන්න කන්න කිය කිය වද කලේ නෑ. හිතේ තිබ්බේ මහා බරක්. මට මෙහෙම වෙන්න මම කරපු එකම වරද භූප එක්ක යාලුවුණ එක නේද කියලා හිතද්දි දැනුනේ ලොකු දුකක්. භූප මට, මම භූපට කොච්චර ආදරේද, අපි කවදාවත් කාටවත් වරදක් කරන්න හිතුවේ නෑ නේද කියලා අම්මලා කිසි දවසක තේරුම් ගන්න එකක් නෑ කියලා මට හිතුණා.
මම තාත්තා එක්ක දවසකට දෙපාරක් විතර භූප බලන්න යද්දි අම්මා මට යන්න එපා කිව්වෙත් නෑ, යන්න කිව්වෙත් නෑ. අම්මා යන්න ආවෙත් නෑ. හිත ඇතුලේ මේ සේරම දරාගෙන භූප ඉස්සරහ හිනාවෙලා ඉන්න එකයි අමාරුම වැඩේ වුණේ.
"ඔයාගේ ඇස් දෙක මලානික වෙලා මැණික? නිදි මැරුවද?" දවසක් භූප බලන්න ගිය වෙලේක ඔහු ඇහුවා.
"නින්ද යන්නෑ මට භූප. මේ ප්රශ්ණ ඉවර වෙනකල්" මම කිව්වේ සුසුමක් හෙලලා.
"ගෙදරින් තාමත් ඔයාට බලපෑම් කරනවද මේක කරන්න එපා කියලා?" භූප ඇහුවේ මගේ හිත කියවලා වගේ.
මට ඔහු දිහා බැලුණා ඉබේටම.
"නෑ නෑ. එහෙමනම් තාත්තත් හැමදාම ඔයාව බලන්න එන්නේ නෑනෙ" මම බොරුවට හිනාවක් පාලා කිව්වා.
"ඒකනේ කියන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා" භූප එහෙම කියලා සතුටු සිනාවක් පාද්දි මම ඔහේ බලාගෙන උන්නා විතරයි.
අන්තිමේදි සතියකට විතර පස්සේ යන්තම් භූපගේ ටිකට් කැපුවා. එවෙලේ වාට්ටුවෙ උන්නේ ලොකු දොස්තර මහත්තයාමයි. තරමක් වයසක කෙනෙක් වුණ ඔහු අපට වාඩි වෙන්න කියලා භූපගේ තත්වය පැහැදිලි කරන්න ගත්ත වෙලේ එතන උන්නේ සූරි මාමයි, මායි විතරයි. තාත්තා වාහනයක් හොයන්න ගිහින් උන්නු නිසා.
"මිස්ට සූරියගොඩ ඔයාගේ පුතාට තියෙන්නේ, ටිකක් කලාතුරකින් දකින්න ලැබෙන පොඩි හෘද රෝගයක්...දැන් ඉතිං කලබල වෙන්න ඕන නෑ. අපි ඒකට බෙහෙත් දෙනවා"
සූරි මාමා කලබලෙන් වගේ ඩොක්ට දිහා බලා ඉද්දි මම උන්නේ ගල් ගැහිලා.
"මේ ලෙඩේ  එන්නේ ජාන වලින්. කියන්නේ මේ, පරම්පරාවෙන්. හදිසියේ හැදෙන ලෙඩක් නෙවෙයි මේක. හැබැයි ඉතිං පුතාගේ බීමත් කම හන්දා සෑහෙන දුරකට ලෙඩේ දුරදිග යන්න ඉඩ තිබුණා වෙලාවට ඉස්පිරිතාලෙකට නොගෙනිච්චා නම්. කොහොම වුණත්, බෙහෙත් වලින් විතරක් මේක හොඳ කරන්න බෑ. මේ ලෙඩේ පාලනය වෙන්න ලෙඩාගේ මානසික තත්වය හොඳ මට්ටමක තියෙන එක ඉතාමත්ම වැදගත්. අනික් එක තමයි වැඩිය දුවන්න කරන්න, එක්සයිස් කරන්න හෙම දෙන්න එපා. මේ ලෙඩේ හැටියට මහන්සි වෙන එක, එතකොට ඔය ලොකු සද්ද හෙම ඇහෙන එක, කේන්ති ගන්න එක එහෙම එච්චර හොඳ නෑ. තේරුණා නේද? මම ලෙඩාටත් මේ කරුණු ටිකක් පැහැදිලි කරලා දුන්නා. බය වෙන්න ලොකු දෙයක් නෑ, බෙහෙත් බීලා stress නොවී, ආයෙම අරක්කු හෙම නොබී හිටියොත් ලෙඩේ පාලනය කරගන්න පුලුවන්" දොස්තර මහත්තයා එහෙම කියලා අපටකරුණාවන්ත සිනාවක් පෑවා.
"පාලනය කරන්න පුලුවන් කිව්වේ, නිට්ටාවටම සුව කරන්න බෑ කියන එකද doctor?" සූරි මාමා ඇහුවේ වෙව්ලන හඬින්.
"මෙහෙමනේ මිස්ට සූරියගොඩ. සමහර ලෙඩ තියෙනවා එහෙම නිට්ටාවට සුව කරන්න බැරි. දියවැඩියාව වගේ ඒවා. තව ඔය හෘද රෝග වර්ග ගොඩක් තියෙනවා වගේ. ඒකේ තේරුම මනුස්සයා ඉක්මනින් මේ...ජීවිතේ කෙලවර දකිනවා කියන එක නෙවෙයි. දැන් විද්යාව ගොඩක් දියුණුයි. ඕනම ලෙඩක් පාලනය කරන්න බෙහෙත් තියෙනවා.
අනික මිස්ට සූරියගොඩ, අපි හැමෝටමත් තියෙනවනේ මේ සුව කරන්න බැරි වයසට යන ලෙඩේ. අපි හැමෝම කවදාහරි දවසක මැරෙනවා, ලෙඩක් හැදුනත් නැතත්. එහෙම නේද? ඒ මොනා වුණත් පුතා ගැන බය වෙන්න ඕන නෑ. එයාව හොඳින් බලාගත්තොත් කරදරයක් වෙන එකක් නෑ. හැබැයි හරියටම බෙහෙත් ටික ගන්න ඕන, කාලයක් පරෙස්සම් වෙන්න ඕන. තේරුණානෙ"
"එහෙමයි ඩොක්ට"සූරි මමා කිව්වේ ස්තූතිපූර්වකව.
දොස්තර මහත්තයා මොනා කිව්වත්, මොන හේතුවකටද මන්දා මගේ හිතේ තිබ්බේ බයක්. මම ඒක පිටට නොපෙන්නා ඉන්න උත්සාහ කලා.
අපි භූපවත් අරගෙන එයාලගේ ගෙදරට යද්දි දවල් දෙකත් පහු වෙලයි තිබුණේ. කේතකීයි, භූපගේ අම්මයි අපි එනකල් මග බලාගෙන උන්නා ගෙයි දොරකඩට වෙලා. තාත්තලා දෙන්නා භූපව හෙමින් බස්සගද්දි මම අනෙක් බඩු ටික අරගෙන අයගේ පස්සෙන් ඇදුණා. ඒත් මට භූපගේ අම්මගේ මූණ බලන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. භූපව දැක්ක ගමන්ම ඔහුගේ අම්මා හැඬුම්බර වුණා.
"අනෙ මගේ පුතේ...පුතාට දැන් සනීපයි නේද?" ඇහුවේ භූපගේ අතක් දෝතින්ම අල්ලගෙන.
ලඟ උන්නු මගෙයි, කේතකීගෙයි ඇස් වලට කඳුලු පිරුණේ ඉබේටම.
"ඔව් අම්මේ. මට දැන් හොඳටම හොඳයි"
"අපි යමු පුතේ ගෙට. අයියේ එන්න. ඔයත් දුවේ එන්න" භූපගේ අම්මා ඔහුව ගේ ඇතුලට එක්කරගෙන යන ගමන් මටයි තාත්තටයිත් ගේ ඇතුලට ආරාධනා කලා.
"නෑ නංඟි මෙහෙමම යන්නම්. උදේ ආපු ගමන නේ" තාත්තා දොරකඩ ඉඳගෙනම කියද්දි මම බඩු ටික තියන්න ඇතුලට ගිහින් හිටියේ.
"අනේ එහෙම කියලා කොහොමද? මම පුතා එන හන්දා කෑමත් උයලා තිබ්බේ අයියලටත් එක්කම කියලා. කෑම ටිකක් කාලම යන්නකෝ" භූපගේ අම්මා කිව්වා.
"අනේ ඔව්. කෑම ටිකක කාලම යමු ඉතිං" භූපගේ තාත්තත් අපට කිව්වා.
ඉතිං ඇවිටිලි කරපු හන්දම කැම කන්න නැවතුණ මායි තාත්තයි ආපහු ගෙදර එද්දි තුනත් පහු වෙලා. එන්න පොඩ්ඩකට කලින් කාමරේ උන්නු භූපට කතා කරන්න මට පොඩි ඉඩක් ලැබුණා.
"අපි යන්න කියලා භූප" මම කාමරේට යද්දි භූප උන්නේ ඇඳේ ඉඳගෙන.
"...කාපු ගමන් යනවද?"
"ඔව්. දැන් හවස් වෙන්නත් ලඟයි නේ" මම කිව්වේ ඔහු අසලට යන ගමන්.
"හ්ම්. හා එහෙනං" භූප කිව්වේ මා දිහාට සුරත දික් කරන ගමන්. මම අත උඩින් අතක් තිබ්බම ඔහු මුදුවට අත ගුලි කරගත්තා.
"ඉස්පිරිතාලේ ඉද්දි හැමදාම ඔයා මාව බලන්න ආවා. දැන් වගේ එන්න වෙන එකක් නෑ නේද?" භූප ඇහුවේ මගේ ඇස් වලට එබිලා.
"ම්ම්....බලමුකෝ. මම පුලු පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්"
භූප ලොකු සුසුමක් හෙලුවා.
"හිතාගන්න බෑ මම අරහේ ඈතකට වෙලා ඔයාව ඇහැටවත් නොදැක කොහොම හිටියද කියලා. ඔයාව නොදැක ඉන්න මට බෑ දුලාරා. ඉස්පිරිතාලේ උන්නු හැමදවසකම මම දොර දිහා බලාගෙන ඉන්නේ ඔයා කොයි වෙලේ හරි එතනින් මතු වෙයි කියලා..." භූප එහෙම කියද්දි හිතට දැනුනේ දුකක්.
මම අනෙක් නිදහස්ව තිබ්බ අතින් ඔහුගේ හිස හෙමිහිට අතගෑවා.
"මම එක පාරක් හරි ඇවිත් යන්න එන්න බලන්නම් භූප"
භූප ටික වෙලාවක් මා දිහා බලාගෙන උන්නා මුකුත් නොකියම.
"ඇයි?" මම ඇහුවේ හෙමින්.
"නෑ...මං කල්පනා කලේ මම ඔයාට කොච්චර ආදරේද කියලා"
"එච්චරම ආදරේ නම් ආයෙම ඔය අරක්කු සිගරට් එහෙම කටේවත් තියනවා නෙවෙයි හරිද? doctor කිව්වා එහෙම වුණොත් ආයෙම ලෙඩ වෙන්න ඉඩ වැඩියි කියලා"
"මං මැරෙනවට බයද?" භූප ඇහුවේ දඟකාර විදියට වුණත් මගේහිත ගැස්සුනා.
"මොනාද මෙ කියන්නේ? විකාර කියන්න එපා"
"අපි හැ මෝම කවදා හරි මැරෙනවනේ දුලාරා"
" කවදාහරි නේ. එහෙමයි කියලා කාලේ තව ලං කරගන්න ඕන නෑනෙ බීලා" මම  කිව්වේ නොරිස්සුමින්.
භූප හිනාවුණා.
"මම ආයෙ බොන්නෑ දුලාරා...නොබී ඉන්න try කරනවා. ප්රොමිස්"
"බීලා අහුවුණොත් මම ආයෙම කවදාවත් ඔයාගේ මූණවත් බලන්නේ නෑ" මම කිව්වා.
"හරි හරි. බොන්නෑ කිව්වනේ"
"හ්ම්"
"දුලා...තාත්තා කතා කරනවා" මේ අතරේ දොර ලඟින් ආවේ කේතකීගේ හඬ.
මම දිහා බලලා ආයෙම භූප දිහා බැලුවා.
"එහෙනම් මම යන්නද?"
"එපා"
"අනෙ භූප විකාර කරන්න එපා" මම කිව්වේ ආයෙම දොර දිහා බලන ගමන්.
පාර භූප නැගිටලා මුදුවට මාව තුරුලු කරගත්තේ මගේ හදගැස්ම හොඳටම වැඩි වෙද්දි. සිරුර කොච්චර දුර්වල වෙලාද කියලා මට තේරුණා ඔහුගේ කෙට්ටු අත් මගේ කම්මුල් ස්පර්ෂ කරද්දි. ඔහු මගේ නලල ඉඹලා මට යන්න සමු දෙද්දි ආයෙම මගේ ඇස් වල කඳුලු තිබුණා.
"මම හෙට එන්නම්" මම කාමරෙන් එන්න ආවේ එහෙම කියාගෙන.

********
හවස් වෙද්දි හාත්පසම තිබ්බේ වැහි අඳුරක් හන්දා, මම එලියේ වනලා තිබ්බ රෙදි ටික ගෙට ගන්න මිදුලට යද්දි ගවුම් සාක්කුවේ තිබ්බ ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා. පාර රෙදි ගන්න එක පැත්තක තියලා මම ෆෝන් එක අතට ගත්තේ කවුද බලන්න. ෆෝන් ස්ක්රීන් එකේ අනුක්ගේ නම දක්කම හිත ටිකක් ගැස්සුනා.
"හලෝ..." මම කතා කලෑඅ හදිසියකින්.
"දුලාරා..."
අනුක්ගේ හඬ ඇහෙද්දි මට හීන් සුසුමක් හෙලුණේ හඬ අවුරුදු ගාණකට පස්සේ ඇහුණා වගේ හැඟීමක් මට දැනුන හන්දා. ඒත් අපි  කතා නොකර ගෙවිලා තිබුණේ දවස් හතරක් විතරයි.
"අනුක්..."
"කොහොමද ඉතිං?" අනුක් අහුවේ දයාබරව.
"වරදක් නෑ. ඔයාට කොහොමද? ගෙදර අය හොඳින්ද?"
"ඔක්කොම හොඳින්. කොහොමද දැන් භූපට?"
"එයාව ගෙදර එක්ක ආවා ඊයේ"
"ඩොකටර්ස් ලා මොකද කිව්වේ?"
"අනේ මන්දා අනුක්. ඩොක්ටර්ස්ලා කියන්නේ ඒක ගෙනෙටිකලි එන එකක්ලු. මම රිපෝර්ට් එකත් නිකමට බැලුවා. ඒකේ ලියලා තියෙන්නේ මේ..මොකකද...Long QT Syndrome මොකක්ද කියලා. මම දන්නෑ මොන ලෙඩක්ද කියලා. ඩොක්ට කිව්වා පරෙස්සම් වෙන්න කියලා ගොඩක්"
"ම්ම්...එහෙමද? මොකක්ද දන්නෑ ඔය ලෙඩේ හැටි. බලමුකෝ මම කාගෙන් හරි අහලා බලන්නම්. ඔයාට පුලුවන් නම් නෙට් එකට ගිහින් බලන්න"
"හා"
"ඉතිං ඔයා ගැන කියන්නකෝ. ඔයා හොඳින් නේද?"
"දැන් මම කිව්වේ හොඳින් කියලා"
" ඇත්තටමද?"
"ඔව්. එහෙම දුක් වෙන්න කියලා මොනවත් නෑ තාම නම්. ඒත් ඉතිං මහ ලොකු සතුටකුත් නෑ" මම කිව්වා.
"එහෙමද? එහෙනම් මම කියන්නද සතුටු වෙන්න කාරණාවක්? මං කතා කලෙත් ඒක කියන්නමයි"
"මොකක්ද ?"
"ඊයේ චේතිය අයියා අපේ ගෙදර ආවා"
"?" මගේ හද ගැස්ම ආයෙම ඉගල නැග්ගා.
"ඔව්. ඉතිං අහන්නකෝ.එයා මාර විදියට වෙනස් වෙලා. කියන්නේ මේ පිලිවෙල වෙලා, තැන්පත් වෙලා. එයා කිව්වේ නම් ආවේ නිකං කියලා"
"ඉතිං?"
"අක්කලා ඔයා ගැන ඇහුවා. මොකද කුඩප්පච්චිලා ඔයාලගේ ගෙදර යන එක කැන්සල් කරපු එක එයාලා දන්න හන්දා."
"ඉතිං ඊටපස්සේ?"
"එයා වෙච්ච දේවල් මොනවත්ම කිව්වේ නෑ දුලාරා. මට පුදුම හිතුණා. එයා කිව්වේ ඒක හරියන එකක් නෙවෙයි කියලා. අක්කලත් ගල්භීත වුණා කතාව අහලා. මට පව් කියලත් හිතුණා.." අනුක් එහෙම කිව්වම මගේ හිතෙත් ඉපදුණේ පොඩි සංතාපයක්. මුකුත් නොකියා මම සුසුමක් හෙලුවේ ඒකයි. අනුක් තවත් මොනවත් කියන්න කලින් වැහි බිංදු එක දෙක වැටෙන්න පටන් ගත්තු නිසා මම ෆෝන් එකත් එහෙමම අතේ තියාගෙන රෙදි ටික ඇදගෙන ගෙට දුවගෙන ආවා.
"වැස්ස අනුක්, මම රෙදි ටික ගත්තා ගෙට. ඉතිං කියන්නකෝ. එයා ඔයාට ඊට පස්සේ මුකුත් කිව්වේ නැද්ද?" මම රෙදි ටික සාලේ පුටුවක් උඩට දාලා කාමරේට යන ගමන් ආයෙම අනුක්ගෙන් ඇහුවා.
"මට කතා කලා"
"මොනාද කිව්වේ?"
"එයා කිව්වා වෙච්ච දේවල් කාගෙ වාරද නිසා වුණත්, ඔයාලගේ අයියගෙයි අපේ අක්කගෙයි සම්බන්ධෙට ඒක හරහට හිටින්න ඉඩ දෙන්න බැරි හන්දා එයා හැමදේම විඳදරාගෙන ඉන්න තීරණය කලා කියලා. හිතන්නකෝ එයා එහෙම කිව්වම. ඊලඟට එයා කිව්වේ එයා කොහොමවත් හිතුවේ නෑ කියලා මම ඔයා ගැන අදහසක් ඇති කරගනී කියලා"
අනුක් කියද්දි මම හුස්මක් උඩට ඇදගත්තා.
"ඒක ඔයාගේ වරද නෙවෙයි දුලාරා. ඒක මගේ වරද. චේතිය අයියා වග දන්නවා"
"එයා ඔයාට බැන්නද??"
"නෑ.නෑ. එහෙම තරහකින් කතා කලා නෙවෙයි"
"එහෙනම් කලකිරීමකින්ද?" මම ඇහුවා.
අනුක් නිහඬ වුණා මොහොතකට උත්තරයක් නොදී.
"එයා මං ගැන වෙන මොනාද කිව්වේ?" මම ඊලඟට ඇහුවා.
"මුකුත් නෑ. මං එක්ක ඔයා ගැන කතා කලේ නෑ"
"ම්ම්"
" මොනා වෙලා හරි එයා මේ දේවල් හැමදෙනාටම කියලා මෙතන තවත් කලබලයක් නොකරපු එකත් ලොකු දෙයක්නේ දුලාරා"
"අනේ ඔව් අනුක්. මම බයේ හිටියේ අයියගේ කාරණාව අවුල් වෙයි කියලා. ඒත් මම දන්නෑ චේතියගේ අම්මලා අපි ගැන මොනා හිතනවද කියලා. කොහොමත් අපි නෑයො වෙනවනේ අනුක්. මම මිනිස්සුන්ට කොහොම මූණ දෙන්නද කියලා මම දන්නෑ"
"ඔයා ඒවා එච්චර හිතන්න එපා. මම හිතන්නේ නෑ චේතිය අයියා ඔයා ගැන වරදක් අම්මලට කියලා ඇති කියලා"
"අනේ මන්දා"
"හ්ම්ම්...ඉතිං ඔයාට සතුටු නැද්ද?"
"සතුටු කෙසේ වෙතත් හිතට පොඩි නිදහසක් දැනෙනවා. මං ඇත්තටම බයේ හිටියේ"
"ඔයත් අර කවුද වගේ දුලාරා. දොස්තර හොඳ හිත එකේ චව් චව් වගේ. 'ඕක නම් හරියන්නෑ' කියාගත්තු ගමන්. ඔච්චර අසුභවාදී වෙන්න එපා" අනුක් කිව්වේ සැහැල්ලුවෙන්.
මට යන්තම් හිනාවක් නැගුණා.
"හ්ම්. ඒක නෙවෙයි, දැන් ඔයාලගේ ගෙදර තත්වේ මොකද?" අනුක් ඊට පස්සේ ඇහුවා.
"හැමදේම ඔහේ තියෙනවා. අම්මා මොනවත්ම කියන්නේ නෑ. වැඩිය කතා කරන්නෙම නෑ. තාත්තා විතරයි කතා කරන්නේ. ලොකු අයියත් දැන් ගෙදර එන්නේ නෑ. එදා තාත්තා කෑ ගහපු හන්දා. ඒත් මට දැන් ඒවා ගාණක් නෑ අනුක්. මම ඔහේ ඉන්නවා"
"එහෙම කියලා ඉතිං කොච්චර කල් ඔහොම ඉන්නද?"
"මම දන්නෑ. මට භූපව අමතක කරන්න බෑ අනුක්. එයා දැන් ඉන්න තත්වෙත් එක්ක කොහොමවත් බෑ. මම ගෙදරට කවදාවත් වරදක් කලේ නෑ. කියන දේ නාහා උන්නේ නෑ. මම චේතියව බඳින්නත් කැමති වුණානෙ. මම දන්නෑ අම්මලා මා එක්ක තරහා ඇයි කියලා. අම්මලා මට එහෙම සැලකුවත්, ඉස්සරහටත් මම අම්මලා එපා කියන දෙයක් කරන්නේ නෑ. ඒත් මම බඳින්නේ නම් නෑ අනුක්. භූප ඉද්දි මට වෙන කෙනෙක් එක්ක යනවා කියලා හිතන්නවත් බෑ. එහෙම කලොත් භූප දුකටම මැරෙයි. මම එයා වෙනුවෙන් ඉන්නවා ජීවිත කාලෙම මෙහෙම අපට දෙපැත්තක ඉන්න වුණත්" මම කියාගෙන ගියා.
අනුක් සුසුමක් හෙලුවා.
"ඔයා හිතන්නේ ඒක හිතුවක්කාර වීමක් නෙවෙයි කියලද?" ඔහු ඊලඟට ඇහුවේ එහෙම.
"අනුක්...කාටවත් වරදක් නොවෙන විදියට ඉන්න වෙන විදියක් නෑ" මගේ ස්වරය ආවේගශීලී වුනා වෙන්න අති.
"දුලාරා...වෙන දේවල් නිසා stress ගන්න එපා. මං එදත් කිව්වනේ. අපි හිතනවට වඩා හොඳ විදියකට දේවල් විසඳෙයි"
"සමහරවිට ඔව්" මම කිව්වේ හෙමින්.
"දෝණී..." මේ අතරේ තාත්තගේ හඬ එලියෙන් ඇහුණේ අපේ කතාවට තිත තියන්න සිද්ධ කරමින්.
"තාත්තා මාව හොයනවා අනුක්. මම පස්සෙ වෙලාවක කතා කරන්නම්. ඔයාට බුදු සරණයි"
අනුක් කිව්වේ මොනාද කියන්න වත් නවතින්නේ නැතුව මම කෝල් එක කට් කරලා සාලෙට දිව්වේ තාත්තා කතා කලේ ඇයි බලන්න.
සාලේ තාත්තා එක්ක හිටගෙන උන්නේ මම මේ වෙලාවේ කොහෙත්ම බලාපොරොත්තු නොවුණ කෙනෙක්. මගේ ගමන එහෙමම බාල වුණා සාලේ මැදට යද්දි. තාත්තා උන්නේ බිම බලාගෙන. ඒත් චේතිය අයියා මා දිහාම කෙලින්ම බලාගෙන උන්නා...

2 comments:

  1. අක්කි මම ඔයාගේ කතා හැම එකක් ම වගේ කියෙව්වා...
    වැස්ස කතාවේ මම කැමති ආර්යන් ට.... මේකේ නම් කැමති අනුක් ට
    මම මුල ඉඳන්ම භූප ට කැමති නෑ.... (අනුක් ගේ චරිතය එන්න කලින් ඉඳන් ම) භූප ට එච්චර පෞරුෂත්වයක් නෑ වගේ කියලා හිතුනා..
    අක්කි දිගටම ලියන්න...ඔයා ලියන විදියට මම හරි කැමතියි

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි නංඟා මේ අදහස් වලට. ඇත්තටම අනුක් මේ කතාව මැදදි එකතු වුණත් එයා කතාවේ ප්‍රධානම චරිතයක්. ලියාගෙන යද්දි මටත් වෙලාවකට ආදරේ හිතෙන්නේ අනුක්ට. :)
      ඒත් බලමු නේද ඉස්සරහට මොකද වෙන්නේ කියලා

      Delete