Saturday, June 14, 2014

හැටහයවන කොටස



ගෙදර යන්න උන්නේ සෙනසුරාදා වුණත්, අක්කලගෙයි අනුක්ගෙයි පෙරැත්තේ නිසාම අන්තිමට මම ගෙදර එන්න පිටත් වුණේ ඉරිදා. ඒ එන වෙලාවෙත් අක්කලා තුන් දෙනා මාව පුදුම කලේ චේතියලා එන දාට අඳින්න කියලා ලස්සනම ලස්සන නිල් පාට බතික් ඔසරියක් මට තෑගි කරලා. ඒත් මට ඒ තෑග්ග මුලු හදවතින්ම ස්තුතිවන්ත වෙලා බාරගන්න පුලුවන් වුණේ නැහැ.
"මේ බලන්නකෝ මෙයා දැන්ම exite වෙලා නෙ. හපෝ බය වෙන්න එපා. තාම බලන්න එනවා විතරනේ"
මගේ මූණේ ඇඳුණ හැඟීම් වරදවා තේරුම් ගත්තු ගෝතමී අක්කා එහෙම කියද්දි මට ඉබේටම බැලුණේ අනුක් දිහා. ඔහු උන්නේ බිම බලාගෙන. උත්පලා අක්කා මගේ මූණ ඉඹලා සමු දෙද්දි යශෝ අක්කත් මා දිහා බලාගෙන උන්නේ කල්පනාවෙන්. ඒ ඈ මං ගැන දන්න නිසාවද?
කොහොමින් කොහොමින් හරි අන්තිමේදි මම අනුක් එක්ක ස්ටේෂන් එකට එන්න පිටත් වුණා. ඊලඟ සතියේ තියෙන වැඩ කටයුතු වලට නිවාඩු ගන්න ඕන නිසා චේතියට මාව එක්ක යන්න එන්න විදියක් තිබුණේ නෑ. මම කැමැත්තෙන්ම කෝච්චියේ යන්න ඉදිරිපත් වුණේ චේතිය සිරිදාස සීයා ලවා මාව ගිහින් දාන්නම හදද්දි. මොන හේතුවක්  නිසාද මන්දා පුදුමෙකට වගේ චේතිය ඒකට මට එපා කිව්වේ නෑ. අනික් එක්කෙනා අනුක්. එයා මාව ඇරලවන්න එන්න හැදුවත් මම කට කැඩෙනකල් කියලා යන්තම් ඒකත් නවත්තගත්තා.
'එකම මගක පියවර මැන යන්නයි...එකම බිමක සෙවනැලි පැටලෙන්නයි...සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි...මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි'
අනුක්ගේ වාහනේ දලා තිබුණ රේඩියෝ එකේ ඒ ගීතය වාදනය වෙද්දි මට පුංචි හිනාවක් නැගුනේ ඒ ගීතය මම ගොඩක් ආස එකක් නිසා.
"මම මේ සිංදුවට ආසයි"
මම කිව්වේ මෙච්චර වෙලා ගොලුවෙක් වගේ වචනයක් වත් කතා නොකර ආපු අනුක් දිහා බලලා.
"ම්ම්..." ඔහු කිව්වේ එච්චරයි.
"මොකද කතා නැත්තේ?"
"කතා කරාම සිංදු අහන්නේ කොහොමද?"
"ආ මේ මට සිංදු අහන්නද ඔයා කතා නැතුව ඉන්නේ?"
"නෑ...මට අහන්න ඕන නිසා"
ඔහු එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවේ ඇයි මේ අද ඔහු අමුතු කියලා.
"ඔයාට මොකද වෙලා තියෙන්නේ මේ?"
"මොනා වෙන්නද?"
ඒ පාර මගේ මූණ ඇඹුල් වුණා.
"අනුක් ඔයා මා එක්ක කතා කරන්නේ තරහෙන් වගේ"
"තරහයි තමයි"
"ඇයි ඒ?"
ඒ පාරම මම බලාපොරොත්තු නොවුණ විදිහට අනුක් බ්‍රේක් කරලා වාහනේ නතර කලා පාර මැදම. මම ඔහු දිහා බලාගෙන උන්නේ මුකුත් හිතාගන්න් බැරිව.
"ඇයි මට ඔයාව ඇරලවන්න එන්න එපා කිව්වේ?"
"ආ..ඒකද මේ? අනේ අනේ අපි යමුකෝ දැන්, මේ පාර මැද වාහන නවත්තගෙන වාද කරන්න බෑනෙ"
මම කියපු නිසා හරි පිටිපස්සෙන් ආපු වාහනයක් හෝන් කරන්න ගත්තු නිසා හරි අනුක් ආපහු වාහනේ පනගන්වලා යන්න පටන් ගත්තා.
"ඇයි ඔයා මම ඇරලවන්න එනවට අකමැති?"
"අනුක්...මම ඔයාට කී පාරක් කිව්වද? ඔයා කරදර වෙනවට මම කැමති නෑ.. අනික ඔය තරම් දුරක් වාහනේ අරගෙන ගිහිං ආපහු තනියෙම එන්න ඔයාට බෑ. ඒකයි"
"මම පොඩි ළමයෙක් නෙවෙයි. මම තනියෙම down south පවා ගිහින් ඇවිත් තියෙනවා"
"ඒ වුණාට, එහෙම බෑ. මට පපුවේ බිත්තර තම්බ තම්බ ඉන්න බෑ ඔයා ආපහු එන එක ගැන හිත හිත" මම කිව්වා.
"ඔය බොරු" ඔහු එහෙම කියද්දි නම් ඒ ස්වරයේ තිබ්බේ මුදු බවක්.
"ඔයාට ඕන නම් එහෙම හිතාගන්න" මම කිව්වා.
ඒ පාර අනුක්ට හිනාවක් ගියා.
"නපුරු දුලාරා…"
මම ඔහුට ඇද කරලා හිනා වුනේ හිතට සැහැල්ලුවක් දැනෙද්දි.

"ටිකට් එක ගත්තද?" මම ස්ටේෂන් එක ලඟ බහිද්දි අනුක් ඇහුවා. එද්දි හිනා වෙවී ආවත්, ඒ වෙද්දි හිතේ තිබ්බේ මොකක්දෝ සංකාවක්.
"ඔව්..." මම ඒ මූණ දිහා නොබලා කිව්වේ මට ඇත්තටම ලොකු දුකක් දැනෙමින් තිබුණ හන්දා. මම ගෙදර ගිහින් ආයෙම එනවා වුණත්, ඒ විදිහේ හැඟීමක් මට දැනුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.
"දුලාරා..." අනුක් මට කතා කරද්දි ඇස් වල කඳුලු පිරුණේ ඉබේටම.
"ම්ම්"
"මේ බලන්න.."
මම ඔහු දිහා බැලුවේ බොඳ වුණ ඇස් වලින්මයි.
අනුක් හිස ඇස් කරලා මා දිහා බැලුවේ දුකෙන් වගේ. ඔහු උන්නේ හැඟීම් පාලනය කරගෙන වග මට තේරුණා.
"ඇයි මේ?"
මම මුකුත් නොකියා බිම බලාගෙන හිස වැනුවා.
"අහන්න...ඔයා හිතනවට වඩා ඉක්මණට අපි ආයෙම හම්බවෙනවා. Trust me.."
"හ්ම්ම්..."
"It’s a promis...දැන් ඔය කඳුලු පිහ ගන්න" ඔහු කිව්වම ඇස් වල තව කඳුලු පිරුණා විතරයි.
මේ අතරේ අනුක් ඔරලෝසුවේ වෙලාව බලනවා මට පෙනුනා.
"තව විනාඩි විස්සක් විතර තියෙන්නේ. ඔයා එහෙනම් ඇතුලට යන්න" අනුක් ඊලඟට කිව්වා.
"කෝච්චිය යනකල් ඉන්නේ නැද්ද?" මම ඇහුවේ ඔහු දිහා බලලා.
අනුක් යටිතොල හපාගෙන මා දිහා බලාගෙන උන්නේ, අමුතු විදියට.
"මට පොඩි වැඩක් තියෙනවා. But…I promis, we will meet again very soon"
ඔහු එහෙම කිව්වත් හිතේ තිබ්බේ දුකක් එක්කම බලාපොරොත්තු කඩවීමක්. අනුක් මම යනකල් මා එක්ක ඉඳීවි කියලා මම හිතපු නිසා.
"කමක් නෑ එහෙනම්. ඔයා පරෙස්සමෙන් යන්න. මං...ගිහින් කතා කරන්නම්...යන්නං"
මම එහෙම කියලා එන්න ආවේ ආපහු පිටිපස්ස නොබලම. අනුක් එහෙම යන්න ගිය එක මගේ හිතේ පොඩි නොරිස්සුමක් ඇති කරපු එකත් ඒකට හේතුවක් වෙන්න ඇති.
"දෙවනි platform එක"ස්ටේෂන් එක ඇතුලට යද්දි මගේ ටිකට් එක බලපු නිලධාරියා කිව්වා.
මම කෝච්චියට නැගලා සීට් එක හොයාගෙන ඒකට බර වුණා හිතේ දාහක් දේවල් පෙරලි කරද්දි. අනුක් නිසා හිතේ ඇති වුණ රිදුම, දුක ඒ හැඟීම් අතරේ උඩින්ම තිබුණා. කෝච්චිය පිටත් වෙන්න හෝන් එක ගහන හඬට දැහැන බිඳෙනකල්ම මම උන්නේ ජනේලෙන් එපිට බලාගෙන එක එක දේවල් ගැන හිත හිත. අන්තිමේදි කෝච්චිය හෙමි හෙමින් ස්ටේෂන් එකෙන් ඈත් වෙද්දි මම සුසුමක් හෙලුණේ ඉබේටම. ඇත්තටම මම අනුක්ට මේ තරම් ලං වුණාද?
කෝච්චියේ සෙනග උන්නත් මගේ ලඟ සීට් එකේ කවුරුත් උන්නේ නෑ. සමහර අර පේරාදෙනියෙන් නගින නිසා එහෙම සීට් එක දෙකක් තැන තැන හිස්ව තියෙන්න ඇති. ඊලඟට මගේ ඇස් නිකමට වගේ ඉස්සරහින් පෙනුන දොර දිහාට යොමු වුණාම, එතන ඉඳගෙන මා දිහා බලාගෙන උන්නු කෙනා දැකලා මම හොඳටම පුදුම වුණා.
"අනුක්...!!"
"I told you we will be meeting soon" මට එහා පැත්තෙන් ඇවිත් වාඩි වෙන ගමන් අනුක් එහෙම කිව්වේ ලොකු හිනාවක් එක්ක.
"ඔයා...ඇයි?" මම තතනද්දි අනුක් ඇස් ලොකු කරලා ෂ්ෂ් කිව්වේ මට නිශ්ෂබ්ද වෙන්න කියලා.
"ප්ලීස්"
"ප්ලීස් නෙවෙයි, ඇයි ඔයා ආවේ?"
"මට එන්න ඕන නිසා"
"ඔයාට පිස්සු අනුක් ඇත්තමයි"
"ඒක ඔයා අදද දන්නේ?" අනුක් ඇහුවේ දඟකාර විදියට.
"විහිලු නෙවෙයි අනුක්. අක්කලා දන්නෙත් නෑ නේද මෙහෙම ඔයා යන වග?"
"යශෝ අක්කා දන්නවා. මම එයාට කෝල් කරලා කිව්වා" අනුක් කිව්වා.
"එයා මොනා හිතනවද දන්නෑ. ඔයා මේ කරන්නේ තේරුමක් නැති දෙයක්"
"තේරුමක් නැත්තේ ඔයාට"
අනුක්ගේ මූණේ තිබ්බෙත් නොරිස්සුමක්ද? මම සුසුමක් හෙලුවා.
"මං ආවට කැමති නැද්ද? මම මෙතනින් පැනලා ආපහු ගෙදර  යන්නද?" ඒ පාර අනුක් ඇහුවේ මගේ දිහාට නැවිලා.
ඔහු ආපු එක ගැන හිතේ සතුටක් තිබ්බ වග ඇත්තක් වුණත්, ඔහු මේ වගේ කරදර වෙනවට මම කැමති වුණේ නෑ. අනික මේ හැම දේකින්ම අපේ බැඳීම් තව වැඩි වෙද්දි, මගේ හිතට දැනෙන්න ගත්තේ අහේතුක බයක්. මම ඔහුගේ දෑස් වලට එබුණේ මේ වගේ සිතුවිලි ගොඩක් හිතේ පෙරලි කරද්දි.
"එපා" මම හෙමින් කිව්වා ඊට පස්සේ.
"එහෙනං මොකටද පණ්ඩිත කතා කියන්නේ?" අනුක් ඇහුවා.
"මම එහෙම කිව්වේ ඇත්තටම ඔයා කරදර වෙනවට අකමැති නිසා" මම ජනේලේ දිහාට ඇස් යොමු කරලා කිව්වා.
"එහෙම එකක් නෑ"
"නැත්තේ මොකද? ඔයා දැන් ගිහිං ආපහු එන්නත් ඕන නේ. ඒක පොඩි පටු මහන්සියක්ද?"
"කවුද කිව්වේ අදම එනවා කියලා. ඇයි මට ඔයාලගේ ගෙදර නවාතැන් දෙන්න බැරිද?"
අනුක් එහෙම ඇහුවේ ලා හිනාවක් මුවේ තවරගෙන. ඒ ප්‍රශ්ණෙන් මම පත්වුණේ අපහසුතාවයකට.
"අනේ නෑ. පුලුවන්. මම හිතුවේ හෙට කැම්පස් යන්න ඕන නිසා අදම ආපහු එනවා ඇති කියලා"
"ඔය බොරු...අමුත් බත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියනවනේ"
"අනුක්...එහෙම එකක් නෑ"
"කමක් නෑ කමක් නෑ. මම රෑම එන්නම්කෝ"
මම අනුක් දිහා බැලුවේ විහිලුව දුරදිහ ගිහින් ඒකෙන් මගේ හිත රිදුන නිසා.
"ඔයා මං ගැන එහෙමද හිතන්නේ?"
අනුක්ගේ ඇස් ලොකු වුණා ආයෙම.
"ඔයා ඒක සීරියස් ගත්තද? පිස්සු කෙල්ල. මම විහිලුවට කිව්වේ"
ඔහු කියද්දි මම ආපහු අහක බලාගත්තා. ඔහුගේ වචන වලට මම මේ තරම් හිත රිද්දගන්නේ මොකටද කියලා මගේ හිත මගෙන්ම ඇහුවා.
"ඔයා ගැන මම තරම් දන්න කෙනෙක් මේ ලෝකේ තවත් ඇති කියලා මම හිතන්නේ නෑ දුලාරා..."
ඔහු කිව්වේ මුදු හඬින්. ඒ වචන තවත් මගේ හිත නොසන්සුන් කලා විතරයි.
"මම ඔයාට ඇත්තම කියන්නම්කෝ. මම ටිකට් බුක් කරද්දි දෙකක් ගත්තා වුණත්, අන්තිම මොහොත වෙනකල්ම හරියටම එනවද නැද්ද කියලා හිතලා තිබුණේ නෑ. මට හිතුණා සමහරවිට මේ ගමන ඔයාට තනියෙම යන්න ඕන වුණා වෙන්න ඇති කියලා. ඒත්, ස්ටේෂන් එක ලඟදි ඔයාගේ ඇස් වල කඳුලු දැක්කම මට හිතුණා එන්න ඕන කියලා. I thought you would be missing me...and I was already missing you from yesterday"
මම මුකුත්ම නොකියා මුනිවත රැක්කා විතරයි.
"Will you miss me දුලාරා?" මට මොහොතක් හිතන්න දීපු අනුක් එහෙම ඇහුවම හිත සීතල වුණා. ඔහු ඇහුවේ අද දවස ගැන විතරක් නෙවෙයි කියලා මම දැනගෙන උන්නා.
"What difference it will make if you know it?" මම ඇහුවා.
"All the difference..."
"What do you really want to know?"
මම එහෙම ඇහුවේ ඇයි කියන්න මමවත් දන්නේ නෑ. ඒත් ඒක හිතෙද්දි මම අහලා ඉවරයි. අනුක් සුසුමක් හෙලන හඬ මට ඇහුණා.
"I wish I could tell you. But…I cannot ask, I cannot tell”
අනුක් එහෙම කිව්වම මට අපි දෙන්න ගැනම දුකක් දැනුනා. ඔහු මට කියාගන්න බැරිව ලතවෙන දේ මම දැනගෙන හිටියා. ඒත් ඒක ගැන හිතේ තිබ්බේ ලොකු බයක්. ඒත් හැමදේම එලියට ආවොත් මේ තියෙන යාලුකමත් ඉවර වෙන වගත් මම දැනගෙන උන්නා.  තව ගොඩ වෙලාවක් යනකල් මම මුනිවත රැක්කේ දැන් කතා කලොත් ඒ කතාව කොහෙන් කෙලවර වෙයිද නොදන්න නිසා. අනුක්ට උපදෙස් දීලා මට ඇති වෙලයි තිබුණේ. හැමවෙලේකම ඔහු මේ ප්‍රශ්ණේ ඉස්සරහදි හිතුවක්කාර වුණා. ඉතිං මට හිතුණේ ඔහුටම හිත හදාගන්න ඉඩ දෙන එකයි හොඳම කියලා. ඒ හිත රිද්දන්න මට ඕන වුණේ නෑ. ඒ වගේම යාලුවෙක් විදිහටවත් ඔහුව ලඟින් තියාගන්නත් මට ඕන වුණා වෙන්න ඇති. හිතේ තිබුණ ලොකුම ගැටුම වුණේ මම අනුක්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක. ආදරේද, යාලුකමද? ඒ හැඟීම් දෙක අතරේ තිබුණේ බොහොම සියුම් පරතරයක් විතරයි. 


"චේතියලගේ අම්මලා අපේ ගෙදර එනවා කියපු දවසේ ඉඳලා මගේ හිත හරි කලබලයි අනුක්"
කෝච්චිය හෙමින් ඇදෙද්දි එක එක මාතෘකා ඔස්සේ ඇදුන අපේ කතාව ඊලඟට හැරුණේ ඒ මාතෘකාවට.
"හ්ම්ම්.. මමත් එක notice කරා. එක අතකට එහෙම වෙන එකේ පුදුමයක් නෑ"
"මං දන්නෑ, මට හිතෙනවා ඒක හරිම තීරණාත්මක දවසක් වෙයි කියලා. හිතන්න එයාලා ආවම මේක තීන්දු වුණාම වෙනවා. Things wll never be the same again"
මම කියද්දි අනුක් අහගෙන උන්නා.
කෝච්චිය පොල්ගහවෙල නතර කරද්දි මට මතක් වුණේ භූප. ඔහු එක පාරක් මට වතුර අරන් දෙන්න ගිහින් කෝච්චිය අද්දලා යන වෙලේ යන්තම් නැග ගත්තා හැටි මට මතක් වුණේ ඉබේටම. භූප ගැන දැනුන හැඟීම් වලින් හිතේ හැම අස්සක් මුල්ලක්ම පිරෙනවා මට දැනුනා.
"ඉස්සර මම භූප එක්ක කැම්පස් ඉඳලා එදර යද්දි, ඉඩ තිබුණත් අපි යන්නේ දොර ලඟ හිටගෙන. මීරිගමට යනකල්ම කාලේ ගෙවෙනවා දැනෙන්නෙත් නෑ. දැන් හිතද්දි ඒ කාලේ හරියට හීනයක් වගේ"
 මම භූප ගැන කියද්දි අනුක් මගේ දිහා බලාගෙන උන්නා.
"කෝච්චියේ යන හැම වෙලාවකම මට ඒ හැමදේම ආයෙම මුල ඉඳලා මතක් වෙනවා අනුක්. මට දුක මං ගැන නෙවෙයි, මට ආදරේ කරලා හිත රිද්දගත්තු භූප ගැන. අඩු ගාණේ එයා කොහේ හරි හොඳින් ඉන්නවද කියලාවත් දැනගන්න මට විදියක් නෑ. මගේ අනාගතේ මොන විදියට හරි විසඳෙයි. ඒත් භූපගේ ජීවිතේ?"
"එයා කොහේ හරි හොඳින් ඇති දුලාරා" අනුක් කිව්වා.
"ඒක මට දැනගන්න විදියක්  නෑනෙ. ඒක විශ්වාස කරන්න නම් මට මගේ ඇස් දෙකින්ම අනුකව බලන්න ඕන. ඒත් ඒක කරන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. අපිට අපි නැති වෙලා ඉවරයි. ඇයි අනුක් අපට එහෙම වුණේ? මගේ හිතට ලං කරගන්න හදන හැම දෙයක්ම මට අල්ලන්නවත් බැරි දුරින් තියෙන්නේ ඇයි?"
මම අනුක්ගෙන් ඇහුවට ඒකට උත්තර දෙන්න ඕන ඔහු නෙවෙන වග මම දැනගෙන උන්නා. අනුක් මා දිහා බලාගෙන උන්නේ දුකෙන්.
"මං දන්නෑ දුලාරා. ඔයාට වගේම මටත් තියෙන ප්‍රශ්ණේ ඒකමයි. අපි ආදරේ කරන අය මේ තරම් නිර්දය විදිහට ජීවිතේ අපෙන් ඈත් කරන්නේ ඇයි කියලා"
"අපි පව්කාර හින්දද?"
"සමහරවිට වෙන්න ඇති"
මම යන්තමට හැරිලා අනුක් දිහා බැලුවා. ඔහු උන්නේ එහාපැත්ත බලාගෙන. එවෙලේ මට හිතුණා මේ හැමදේකටම මුල මම නේද කියලා. අනුක්ගේ ලස්සන හිත හැඩි කලෙත් මම. භූපගේ පිලිවෙලකට තිබුණ ජීවිතේ අවුල් කලෙත් මම. ඒක අපේ දෛවයද, ලැබීමද එහෙමත් නැත්තම් කරුමෙද කියන්න මට තේරුණේ නෑ.
 

1 comment:

  1. හරිම ලස්සනයි නෙතු. හිත ඇදිලා යන විදියට ඹයා ලියලා තියෙනවා.

    ReplyDelete