Tuesday, February 25, 2014

පනස් දෙවන කොටස



මම එනකල් මග බලාගෙන උන්නු අනුක් දැක්ක්ම හිතේ ඔහු ගැන ඉපදුනේ ලොකු ආදරයක්. ඔහු මේ සේරම කරන්නේ මට තියෙන ලෙන්ගතුකම නිසා නේද කියලා මට හිතුණා. ඒ වගේම මේ ලෝකේ වෙන කාටත් වඩා මම හිතන්නේ මොනවද, මට ඕන මොනවද කියලා දැනගෙන උන්නේ අනුක් කියලා මට හිතුණා.
"මොකෝ වුණේ?" ලඟට ආපු ගමන් අනුක් ඇහුවේ එහෙම.
"වෙනසක් වුණේ නෑ..." මම කිව්වේ සුසුමක් හෙලලා.
ඒ පාර ඔහුත් සුසුමක් හෙලුවා.
"එක දවසකින් සේරම වෙනස් කරන්න බෑනෙ දුලාරා..." ඔහු ඊට පස්සේ කිව්වා.
"කෝ සාලිය අයියලා?" මම ඇහුවේ ඒ දෙන්නා පේන්න නොහිටිය හන්දා.
"කොහේටද ගිහින් එන්න  යනවා කියලා ගියා. මම හිතන්නේ ඒ දෙන්නට ඔයාට මූණ දෙන්නත් බැරිවද කොහෙද. ඇයි කිව්වේ accident එකක් කියලනේ" අනුක් කිව්වා.
"මට තේරෙන්නේ නෑ අනුක් මොනා කරන්නද කියලා. භූප මෙහෙම විහින් නාස්ති වෙන්න හදන එක මට දරාගන්න අමාරුයි"
"අපි යන ගමන් කතා කරමු" අනුක් කිව්වා.
"මම දන්නවා භූප මෙහෙම කරන්නේ එයාගේ හිතේ තියෙන දුක නිසා වග. සමහරවිට මාව අතෑරලා එයා හරි හොඳට හිටිතා නම් හිත හදාගන්න ලේසි වෙන්නත් තිබුණා. ඒත් මෙහෙම වෙද්දි තව හිත පෑරෙනවා විතරයි" කාර් එක තිබුණ තැනට යන ගමන් මට ඇහුම්කන් දීගෙන ආපු අනුක්ට මම කිව්වා.
"ඒක ඇත්ත. එද්දි මමත් දැනගෙන හිටියේ නෑනෙ ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මට කිව්වෙත් accident කියලා. බලාගෙන යද්දි මම හිතුවට වඩා තත්වේ හරි වෙනස්" අනුක් කිව්වා.
"ඒ කිව්වේ?" මම ඇහුවම අනුක් මා දිහා බැලුවා.
"seriously මම බලාපොරොත්තු වුනේ නෑ භූප මෙහෙමයි කියලා. ඔයාලගේ affair එක එයා නැවැත්තුවා කිව්වම මම හිතුවේ නෑ එයා මේ තරම් serious ඒක අරගෙන ඇති කියලා" අනුක් කිව්වාම හිතේ දුක වැඩි වුණා.
"මටත් හිතාගන්න බෑ අනුක්. එයා ඇයි දවස් දෙකක්ම නොකා නොබී ඉඳලා තියෙන්නේ? ඇයි එහෙම බීලා තියෙන්නේ? හිතාගන්න බෑ එක පාරටම එහෙම කලේ ඇයි කියලා" මම කිව්වා.
"ම්ම්...ගිය සතියේ අර Senet එක ලඟදි හම්බවුණා කිව්වා නේද? එදා ඔය දෙන්න රණ්ඩුවත් වුණාද? ඔන්න මොකක්ද එහෙම කතාවක් රනිල් අයියා කිව්වා" අනුක් මට අමතක වෙලා තිබුණ සිද්ධියක් මතක් කලා.
"රණ්ඩුවක්?...නෑ..ම්ම්...හැබැයි....අනේ අනුක්….. මම එදා කිව්වා මම චේතියව මැරි කරන්න යනවා කියලා ලබන අවුරුද්දේ. මම ඒක කිව්වේ එහෙම වෙනවට නෙවෙයි...ඒක..."
"භූපට රිද්දන්න ඕන නිසා...නේද?" මම ගොත ගහද්දි අනුක් ඇහුවා.
මම ඔහු දිහා බැලුවේ දෑස් ආයෙම කඳුලු පුරද්දි.
"මම දන්නෑ අනුක්...එවෙලේ මට මොනා වුණාද කියලා. භූප හිටපු විදියට මට තරහා ගියා වෙන්නත් ඇති...අනේ එතකොට මේ සේරම වුණේ ඒ නිසාද? දෙයියනේ….”
මම නිසා භූප මෙහෙම දෙයක් කරගත්තද කියලා හිතද්දි මට දැනුන දුක මෙච්චරයි කියන්න බෑ. ආපහු වාට්ටුවට දුවලා ගිහින් භූපගෙන් සමාව ඉල්ලන්න තරම් ආවේගයක් මට දැනුනා.
"දුලාරා...come down. ඉතිං ඔහොම කලබල වෙන්න එපා... වෙච්ච දේවල් වලට දැන් කරන්න දෙයක් නෑනෙ. ඔයා කලබල වෙන එකෙන් වෙන්නේ තවත් ඔයාගෙම හිත වුල් වෙන එකයි. මේ අහන්න...භූපට ඉක්මණට සනීප වෙයි. මම අර සම්පත් අයියා ට කියලා භූපගේ records බැලුවා. එහෙම ලොකු issue එකක් නෑ. බය වෙන්න කිසි දෙයක් නෑ" අනුක් කිව්වේ මාව අස්වසන්න.
"ඒ වුණත් භූප අප්සට් ගියේ මම කියපු කතාව නිසා නම්...? "
"ඔය ඉතිං...මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නේ ඔයාට මුකුත් නොකියා මම විතරක්ම ආවා නම් ඉවරයි කියලා"
මේ වෙනකොට අපි උන්නේ කාර් එක ලඟට ඇවිත්. මම ඔහු දිහා බලාගෙන ඉන්න තැන නැවතුණා. අනුක් හැරිලා බැලුවා.
"එහෙම කියන්න එපා. ඔයා දන්නෑ ඔයා මේ කරපු දේ මට කොච්චර වටිනවද කියලා. මම කවදාවත් හිතුවේ නෑ ආයෙම මට භූප එක්ක මෙහෙමවත් කතා කරන්න ලැබෙයි කියලා. ඒත් ඔයා නිසා ඒක මට කරන්න පුලුවන් වුණා. සත්තයි අනුක් ඔයාට මම ණයගැතියි. මම වෙනුවෙන් කරන මේ හැම දේකටම. ඔයා චේතියගේ කෙනෙක් වෙලත් අපි ගැන හැමදේම දැනගෙනත්, මට මෙහෙම උදව් කරන එකම කොච්චර ලොකු දෙයක්ද? ඒ හැම දේකටම ඔයාට ගොඩක් පිං. මේ ජීවිතෙත්, උපදින හැම ආත්මෙකමත් ඔයාට කවදාවක් ආදරෙන් අඩුවක් වෙන එකක් නෑ. ආදරේ නිසා ජීවිතේට දුකක් උරුම වෙන එකක් නෑ...ඔයා කරන්නේ ඒ තරම් ලොකු පිනක්..." මම කිව්වේ හැඟීම්බරව.
අනුක් මා දිහා බලාගෙන උන්නෙත් හැඟීම්බරව.
"පිස්සු කෙල්ල...ඔච්චර පින් අනුමෝදන් කරන්න දෙයක් මම කලාද? හා දැන් නගින්නකෝ..."
"මේක ලොකු පිනක් තමයි" මම කාර් එකට නගින ගමන් කිව්වා. "භූප මොනා කිව්වත්, මගේ හිතට පොඩි සැනසීමක් දැනෙනවා අනුක්...මම දන්නවා එයා තාමත් මට ආදරෙයි කියලා...එයා කරගත්තු දේවල් ගැන හිතේ දුකක් තිබ්බත්, එයා තවමත් මට ආදරෙයි කියලා දැනගත්තම හිතේ තිබුණ ලොකු තුවාලයක් සනීප වෙලා වගෙයි මට දැනෙන්නේ" මම කිව්වා.
අනුක් යන්තම් මා දිහා බලලා වාහනේ හෙමින් පාරට දැම්මා.
"එහෙනම් ඒ ඇති.. ඉතිං මට කියන්නේකෝ භූප මොකද කිව්වේ කියලා..."
ගෙදරට එනකල්ම වගේ මම අනුක්ට භූප කියපු කරපු දේවල් ගැන කිය කිය ආවා. අනුක් ඒ හැමදෙයක්ම සාවධානව අහගෙන උන්නා.
"ඔය කියන විදියට භූප ඔයාට ආදරේ නම්, ඇයි එයා මේක නවත්තමු කිව්වේ? මට හිතෙනවා දුලාරා අපිට පේනවට වඩා මොකක් හරි හැංගිච්ච වෙන හේතුවක් තියෙනවා කියලා මේ භූපගෙ තීරණේට හේතු වුණ" අනුක් අන්තිමට කිව්වේ කල්පනාකාරීව.
"හේතුව එයා අපෙයි, එයාගෙයි ගෙවල් දෙක ගැනම හිතන එක. එයාගෙයි අපේ අයියගෙයි යාලුවකම ගැන හිතන එක. ඒ අය අකමැති වෙලා අපි එකට ඉන්න එක ඒ අයට කරන වරදක් කියලයි භූප හිතන්නේ. ඒකයි. වෙන මොකක්ද?" මම කිව්වා.
"හ්ම්...සමහරවිට වෙන්න ඇති..." අනුක් එහෙම කිව්වත්, තාමත් උන්නේ කල්පනාකරමින්.
මම ඒ ගැන ලොකුවට අවධානය යොමු කරන්න ගියේ නෑ. මට ඕන වුණේ ඉක්මණට ගෙදරට ගිහින් කාමරේට වැදිලා තනි වෙන්න. තනිවෙලා අද වුණ දේවල් ආපහු මෙනෙහි කරන්න. භූපගේ ඇස්...ඒ කතා බස්...ඒ වචන... ඒවයේ තිබ්බ ආදරේ... ආයෙම මතක් කරලා සැනසෙන්න මට ඕන වුණා.

***
 "කෝ ලතා අම්මා අනුක්?"
හවස තේ බොන වෙලේ මම අනුක්ව හැම තැනම හෙව්වත්, ඔහු ගෙදර කොහෙවත් උන්නේ නෑ.
උත්පලා අක්කයි, ගෝතමී අක්කයි සාරී වගයක් තෝරන්න නුවරට ගිහින් උන්නු නිසා ගෙදර හිටියේ මායි යශෝ අක්කයි විතරයි.
"කොහේ ගිහින්ද මන්දා" මම කිව්වේ අනුක්ගේ තේ එක ආයෙම මේසේ උඩ තියන ගමන්.
"ඔය කොහේ හරි ඇති. එක්කෝ එලියේ වෙන්න ඇති" එහෙම කිව්වේ මේසේ ලඟ වාඩිවෙලා මොකක්දෝ සඟරාවක් කියවමින් උන්නු යශෝ අක්කා.
ඒ පාර මම එලියට බැස්සේ අනුක් ඒ ලඟ පාතකම ඉන්නවා ඇත්ද කියලා බලන්න. මිදුලේ අනුක්ගේ කාර් එක සෝදමින් උන්නු සිරිදාස සීයා මට හිනාවක් පෑවා.
"පොඩි නෝනේ"
"සීයා අනුක්ව හෙම දැක්කද?" මම ඇහුවේ නිකමට.
"අනුක් බේබි මේ දැන් දැන් අර වත්ත පහලට යනවා මම දැක්කා" සීය කිව්වම මම ටිකක් පුදුමත් වුණා.
"වත්ත පහලට?"
"ලොකු මැණිකෙගේ සොහොන දිහාට ගියා වෙන්න ඕන. මහත්තයා කොහොමත් නිතර එතනට යන්වා එනවා නේ නෝනේ"
සිරිදාස එහෙම කිව්වම මම දෙපාරක් නොහිතා ඒ පෙන්නපු දිහාට යන්න ආවා. අනුකේ අම්මව මිහිදන් කරලා තිබුණේ මේ ඉඩමෙමයි කියලා මම දැනගෙන උන්නේ නෑ.
වත්තේ අනික් හරිය කෙසේ වෙතත්, වත්ත කෙලවරටම වෙන්න තිබුණ පවුලේ සුසාන භූමියට යන හරිය නම් පිලිවෙලකට සුද්ද කරලා තිබුණා. ඒ නිසා අනුක් ගිය දිහා හොයා ගන්න මට අමරු වුණේ නෑ. කිරිගරුඬ සොහොන් ගෙවල් දෙකක් මැද්දේ කරවපු තවත් පොඩි සොහොන් ගැබක් ලඟ දනගහගෙන හිස නවාගෙන උන්නු අනුක්ව මම ඈත තියාම දැක්කා. හිතේ ඔහු ගැන උපන්නේ සංතාපයක්. මම හඬක් නොනගාම එතනට ගියේ ඔහුට බාධා කරන්න ඕන නැති නිසා. ඒත් ඔහුට මම ආපු වග දැනිලදෝ මම එතනට යද්දිම හිස හරවලා ඔහු මා දිහා බැලුවා.
"දුලාරා...ඔයා මෙතන?"
ඔහු අහද්දි මම බලාගෙන උන්නේ ඔහුගේ දුකෙන් මැලවුණ මූණ දිහායි, මදක් රතු වුණ ඇස් දිහායි.
"ඔයා ඇයි මෙතන අනුක්?" මම උත්තරයක් නොදීම ඇහුවා.
අනුක් ආපහු සොහින් ගැබ දිහාට හැරුණා.
"මම නිතරම මෙතන එනවා දුලාරා...අම්මව මතක් වුණාම" ඔහු කිව්වේ හෙමින්.
මමත් නැවිලා ඔහු අසලින්ම ඇණතියාගත්තා.
"ඔයාට අම්මව ගොඩක් මතක් වෙනවද?" මම ඇහුවේ වෙන කියන්න දෙයක් නැති නිසා.
"ගොඩ වෙලාවට" අනුක් කිව්වා.
ඔහුගේ නහය තිබුණේ බර වෙලා වගේ. මට හිතුණා ඔහු මෙතනදි හැඟීම්බර වෙන්න ඇති කියලා.
"මම ඔයාව ගෙදර හැම තැනම හෙව්වා තේ බොන්න. බැරිම තැන එලියේ හොයන්න ආවමයි දැනගත්තේ ඔයා මෙතනට ආව වග"
"ඔයා ආපු එක හොඳයි...කොහොමත් මම වෙලාවක ඔයාව මෙතනට එක්ක එන්න හිටියේ" අනුක් කිව්වා.
අනුක් කියන දේ අහගෙනම මම දෑස් යොමු කලේ සොහොන් ඵලකය දිහාවට. වැස්සට සේදිලා නිසාදෝ සුදු කිරි ගරුඬ ඵලකය තිබුණේ යාන්තම් කහ ගැහිලා. අනුක් ආයෙම මුකුත් කිව්වේ නැහැ. අපි එහෙමම තව මොහොතක් උන්නා.
"ම්ම්...ඔයාට තනියෙම තව ඉන්න ඕන නම් මම උඩහට යන්නද?" මම ඇහුවේ ඔහු කතා නොකරපුම තැන. අනුක් මා දිහා හිස හරවලා බැලුවා. අපේ ඇස් හමු වුණා නොහිතපු විදියට.
ඒ යනන්තම් රත්පැහැ වුණ ඇස් වල තිබුණේ මොකදෝ ආයාචනයක් කියලා මට හිතුණා. ඒ එක්කම වෙනදා නොදැකපු විදියේ ඒත් මට තේරුම් ගන්න බැරි විදියේ හැඟීමකුත් ඒ බැල්මේ තිබුණා.
"එපා.." අනුක් කිව්වේ එච්චරයි.
ඒ ඇස් වල බැල්ම නිසා මට දැනුනේ අපහසුතාවයක්. මම ඉවත බලාගත්තේ ඒකයි.
"මට හිතෙනවා ඔයා මොකක්දෝ ප්‍රශ්ණයක් හිතේ තියාගෙන ඉන්නවා කියලා" මම ඊට පස්සේ කිව්වේ ඇත්තටම මගේ හිතට දැනෙමින් තිබුණ දේ.
"ඇයි?"
"මන්දා. මට එහෙම හිතුණා. මිනිස්සුට ගොඩ වෙලාවට තමන් ගොඩක් ආදරේ කරපු අය මතක් වෙන්නේ, ඒ අයව ඕන වෙන්නේ මොකක් හරි ප්‍රශ්ණයක් වෙලා හිත රිදුනම. මම ඒක හොඳටම දන්නවා. ඒකයි මම එහෙම ඇහුවේ….අනුක්..." මම එහෙම කියලා ආපහු  ඔහු දිහාට හැරුණම ඔහු මා දිහා බැලුවේ නෑ.
"මොනා හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මට කියන්න. හිතේ තියාගෙන ඉන්න එපා...සමහරවිට මට විසඳුමක් දෙන්න බැරි වෙයි. ඒත් මට අහගෙන ඉන්න පුලුවන්. ඔයා ඔහොම දුකෙන් වගේ ඉද්දි, මටත් හිතට හරි නෑ. මොකක් හරි දුකක් තියෙනවා නම් ඒක බෙදාගත්තම අඩු වෙනවා. ඒක මට අත්දැකීමෙන්ම කියලා දුන්නේ ඔයාමයි" මම ඔහුට කිව්වේ දයාබරව.
“ප්‍රශ්ණයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ දුලාරා" මා දිහා දයාබරව බලපු අනුක් එහෙම කිව්වේ ආයෙම ඈතක නෙතු රඳවන ගමන්.
"ඒ කිව්වේ?"
මම එහෙම ඇහුවම අනුක් මා දිහාට ඉක්මණ බැල්මක් හෙලලා ආයෙම අහම බලාගත්තා.
"ඔයා අහන්නෙම උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ"
"ප්‍රශ්ණේ පේෂලී ගැනද?" ඒ පාර මම අහුක්ගේ ප්‍රශ්ණේ අනුමාන කරන්න උත්සාහ කරමින් ඇහුවා.
"පේෂලී? එයා කොහෙන්ද මෙතනට ගෑවුණේ?"
"ඇයි?"
"දුලාරා...for the last time. පේෂලී මගේ ගර්ල් නෙවෙයි. මගේ හිතේ එයා ගැන මොනවත්ම එහෙම අදහසක් නෑ"
අනුක් එහෙම කිව්වම මම පුදුම වුණා.
"එහෙම එකක් නෑ. එතකොට...කවුද මේ ඔයාගේ හිත රිද්දපු කෙල්ල?" මම ඇහුවා.
අනුක් ඒ පාර මා දිහා බැලුවේ ඇස් දෙකත් roll කරන ගමන්.
"එහෙම මොනවත් නෑ දුලාරා"
"මට කියන්න බැරි කෙනෙක්ද?" මම ආයෙම ඇහුවා.
අනුක් ඒ පාර අහක බලාගත්තා.
"ඔව්"
"එහෙනම් මම අහන්නේ නෑ" මම කිව්වා.
 "දුලාරා...පිස්සු දේවල් හිතන්න එපා. එහෙම මොකවත් නෑ. හිතේ තියෙන එකම දුක අම්මා අද මා ලඟ නැති එක විතරයි" අනුක් කිව්වා.
මගේ හිත උඩට කලු ගලක් පතිත වුණා වගේ, එකපාරටම හිත ලොකු අනුකම්පාවකිනුයි, දුකකිනුයි පිරුණා. තමන්ගේ දණහිස උඩ තියාගෙන උන්නු අනුක්ගේ අතක් උඩින් මම අත තිබ්බේ දෙපාරක් නොහිතා. අනුක් ඒ පාර නම් මා දිහා මුළු මූණම හරවලා බැලුවා.
"ඔයා තනි වෙලා නෑනෙ. දුක හිතන්නේ ඇයි? ඔයාට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. නෑයෝ ගොඩාරියක් ඉන්නවා. මම ඉන්නවා....මගේ හැම දුකකදිම මා එක්ක උන්නු ඔයාට, ඔයාගේ හැම දේකදිම මාත් ඉන්නවා කියලා මතක තියා ගන්න අනුක්..."
මම කියද්දි අනුක් මා දිහාම බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
"ඔයා තරම් මාව වෙන කවුරුවත් තේරුම් අරන් නෑ. මම දන්නෑ කොහොමද එහෙම වුණේ කියලා. ඒත් ඒක තමයි ඇත්ත...මගේ හිත හදන්න ඔයා ගන්න මහන්සියට මම මුලු ජීවිතකාලෙම ඔයාට ණයගැතියි. මම අද මෙහෙමවත් ඉන්නේ ඔයා නිසා. ඒ නැතත්, ඔයාගේ හොඳ හිතම ඇති අනුක් මට. ඔයාවත් නොහිටින්න මට මෙලහකට පිස්සු හැදිලා. එච්චර එහෙම කරපු ඔයාට හිතේ දුක් පුරෝගෙන තනිවෙන්න දෙන්න බෑ මට. මම එහෙම වෙන්න දෙන්නේ නෑ"
මම කිව්වේ හදවතින්ම. අනුක් ගැන මගේ හිතේ තිබුණේ මහ පුදුමාකාර බැඳීමක්. ඒක මොකක්ද කියලා පහදන්න වත්, තේරුම් ගන්නවත් මට බැරි වුණත්, මම දැනගෙන හිටිය එකම දේ අනුක් මගේ ජීවිතේ එක්ක මුහු වෙලා ඉවරයි කියන එක විතරයි. වෙන් කරන්න බැරි තරමටම..
ලෙන්ගතුකම දෝරේ ගලන බැල්මකින් මා දිහා බලපු අනුක් හිනාවුණා, ඒත් ඒ හිනාව ඇතුලේ තිබුණේ මොකක්දෝ වේදනාවක් කියලා මට හිතුණා.
"අපි යමු"

2 comments: