Monday, December 1, 2014

අනූ දෙවන කොටස

දවස පුදුමාකාර තරම් උදාසීන බවකින් ගෙවෙද්දි මම හිතාගන්න බැරිව හිටියේ මේ දැනෙන හැඟීම් වලින් මිදෙන්න හිත හදාගන්නේ කොහොමද කියලා. තාත්තා නම් මුකුත් නොකිව්වත් අම්මා නම් උන්නේ මා එක්කත් අමනාපෙන් කියලා මට හිතුණා. අම්මා හැමවෙලේකම හිතුවේ මේ සේරම වෙන්නේ මම නොගැලපෙන දෙයක් ලං කරගත්තු හන්දා කියලා.
ඒත් මූසල අඳුරු දවසක් වේවි කියලා හිතපු ඒ දවස වෙනස් වුණේ මම නොහිතපු විදියට හවස තුනට විතර අපේ ගෙදර ආපු අමුත්තෙක් නිසා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අනුක්. මම එවෙලේ උන්නේ අම්මා මිදුලේ වේලෙන්න දාලා තිබ්බ මිරිස්, කොත්තමල්ල්ලි වගයක් ගෙට ගන්න ලෑස්ති වෙමින්. කඩුල්ල ලඟ නවත්තපු අනුක්ගේ වාහනේ දැක්කම මුලින්ම මට දැනුනේ පුදුමයක්. ඊලඟට මම කඩුල්ල ලඟට දිව්වේ හිතේ ඉපදුන සතුටක් එක්ක.
"ඉන්න ඉන්න මම මේක අරින්නම්. මිදුලටම ගන්න"  මම කිව්වේ බහින්න ලෑස්ති වුණ අනුක්ට.
ඊලඟට බඩු මලු ගොඩාක් එක්ක අනුක් කාර් එකෙන් බහිද්දි තාත්තයි, අම්මයි දෙන්නම ඉස්තෝප්පුවට ඇවිත් හිටියා.
"අපි මේ බැලුවා කවුද කියලා. මේ ළමයනේ. එන්න එන්න ගෙට" තාත්තා කිව්වේ අනුක්ව පිලිගන්න ගමන්.
"ඔව් අන්කල්. අද half day දාලා ආවා මෙහේ එන්නත් හිතාගෙනම"
"අනේ ඒක කොච්චර එකක්ද. හවස මහිතේ පොඩි පුතත් ඒවි" අම්මා කිව්වා.
"ඔව් අයියා මට කතා කලා. හවස එනවා කියලා කිව්වා"
අනුක් කිව්වේ බඩු මලු සේරම මගේ අතට පටවන ගමන්.
"මොනාද අනේ මේ උස්සගෙන එන්නේ? ඔයාට පිස්සු"
"ඒක නේන්නම්. ආයේ තමන්ගේ ගෙදරකට යද්දි මේවා මොකට උස්සගෙන එනවද පුතේ" අම්මත් කිව්වා.
අනුක් හිනාවුණා විතරයි මුකුත් නොකියම.
"දැන් කොච්චර දවසකින්ද ඔය ගෙදර යන්නේ?" අනුක්ට තේ පිලිගන්වන ගමන් මම ඇහුවා.
"විශ්වාස කරන්න ආවට පස්සේ මේ ගෙදර යන දෙවනි පාර. හැම සති අන්තෙකම යන්න වෙන්නේ නෑ ඔයා දන්නවනේ" අනුක් කිව්වා.
"ඔහොම තමා වැඩ කරන්න ගියාම පුතේ" එහෙම කිව්වේ තාත්තා.
"ඉතිං මොකෝ ඔයාට මේ පැත්ත මතක් වුණේ හදිසියේම?" මම ඇහුවේ විහිලුවට.
"මේ පැත්ත හදිසියේ මතක් වුණා නෙවෙයි. දුලිත අයියා කිව්වා මෙහෙන් එන්න කියලා එයත් හෙට නුවර යන්න ඉන්නේ කියලා"
"ආ...ඒකද?"
"අනේ අනේ දෝණි. ගෙදරට අමුත්තෙක් ආවම මොනාද මේ අහන්නේ? මේ ළමයට කොයි වෙලේ වුණත් මේහේ එන්න පුලුවන්. ඇවිල්ලා ඕන දවසක් ඉන්නත් පුලුවන්. මොකෝ දැන් පිට අය නෙවිනේ" අම්මා කිව්වේ මට පොඩ්ඩක් රවන ගමන්.
"ඒක තමයි නේද ආන්ටි? මෙයා පල නොකියා පලා බෙදනවා" අනුක් කිව්වා.
"අනේ පිස්සු මම එහෙම එකකට කිව්වේ නෑ. ඔයා මෙහේම නැවතුනත් මට කමක් නෑ" මම කිව්වේ ඇත්තටම.
ඊලඟට තාත්තා අනුක් එක්ක රස්සාව ගැනයි, අක්කගේ වෙඩින් එක ගැනයි ලොකු කතාවක පටන් ගත්ත හන්දා මට අනුක් එක්ක ආයෙම කතා කරන්න හම්බුණේ ඔහුට මූණ කට හෝදගන්න ලිඳ පෙන්නන්න යන වෙලේ.
"බාත් රූම් එකේ හේදුවා නම් ඉවරනේ. ලිඳ ලඟ වැඩිය සුද්ද කරලත් නෑ අපි ඒ තරම් නාන්න යන්නේ හෙම නැති නිසා" මම කිව්වා.
"ඒකට කමක් නෑ. මම ආසයි ලිඳෙන් වතුර ඇදලා නාන්න"
"? දැන් මේ හවස නාන්නද ලෑස්ති වෙන්නේ? වතුර රස්නෙට කැකෑරිලා ඇත්තේ. ඔයාට ලෙඩක් හැදෙයිවත්"
"පිස්සුද හලෝ. මම ඔෆිස් ගිහින් ඇවිත් නාන්නේ මීටත් රෑ වෙලා" අනුක් මට කිව්වේ පණ්ඩිතයෙක් වගේ.
"ඕන එකක් කරගන්න එකයි ඇත්තේ" මම කිව්වම අනුක් මට ඇද කරලා හිනාවක් පෑවා.
"මොකෝ මම ලෙඩ වෙනවට බයද?" ඔහු එහෙම ඇහුවා.
"අනේ මට මොකෝ. මමයැ විඳවන්නේ?"
"ලෙඩ වුණොත් මම මෙහේ නවතිනවා හොඳ වෙනකල්. එතකොට ඔයාට තමා සාත්තු සප්පායම් කරන්න වෙන්නේ"
"ආ..හිතාගෙන ඇති"
"ඇයි, ඔයා මට සාත්තු කරන්නේ නැද්ද?"
"ඒක ලෙඩ වුණොත් බැරියැ. ඔන්න ඔතනින් බලාගෙන බහින්න, පඩියේ ගල් බුරුල් වෙලා ඇත්තේ. නාගෙන එන්න එහෙනම්..." මම ඔහුට ඉස්සර වෙන්න දීලා ආපහු එන්න හැරෙන ගමන් කිව්වා.
"ඒයි...ඔයා ඔය යනවද? මට මෙතන තනියෙම නාන්න බෑ"
"හරි වැඩක්නේ...මට බෑ මෙතන ඉන්න"
"අනේ අනේ...මම නාන්නේ නෑ. නිකං මූණ හෝදගන්නවා විතරයි. පොඩ්ඩක් ඉන්න" අනුක් කිව්වා.
"ඔයාගෙන් හරි වදේ අනුක්" මම බොරුවට නෝක්කාඩුවක් කියාගෙන ලඟ තිබ්බ රෙදි සෝදන ගල උඩින් වාඩි වුණා.
"that’s my girl...ඉතිං ඉතිං. කියන්නකෝ විස්තර" අනුක් බාල්දිය ලිඳට දාන ගමන් කිව්වා.
"ඔයා තමයි කියන්න ඕන" මම කිව්වේ ලඟ තිබ්බ ඉලුක් ගාලෙන් මලක් කඩාගන්න ගමන්.
"කියන්න තරම් විශේෂ දෙයක් නෑ දුලාරා. උදේ යනව හවස ආපහු එනවා. ඇවිත් නිදාගන්නවා. ඔයාට මැසේජ් කරනවා. ඔව්වා තමා"
"මේ ඒක නෙවෙයි, වැඩ කරන තැන ලස්සන කෙල්ලෝ එහෙම ඇති නේ?"
මම ඇහුවම අනුක් වතුර බාල්දියක් ඇදගෙන කෙලින්ම ඔලුවේ හලාගත්තා විතරයි.
"මොකක්ද? ගෑණු ළමයිද? ඉන්නවා ඉන්නවා.සේරු ගාණට ඉන්නවා. ඔෆිස් එකේ, පාරේ, බෝඩිම ලඟ. හැමෝම ලස්සනයි. ඉතිං?"
"ඉචිං නෙවෙයි, ඔය ඉන්න අය අතරින් කෙනෙක් දැන් හොයා ගත්තොත් නරකද?"
මම එහෙම ඇහුවම අනුක් වතුර බාල්දිය ලිං ගැට්ට උඩ තියලා මා දිහා බැලුවා.
"ඒ මොකටද? මම කොලඹ ගියේ ඒකට නෙවෙයි නේ"
"ඒකත් කරගත්තොත් නරකයැ?"
"දැන් ඔයාට මොකද මේ හදිසියේ මට කපුකම් කරන්න ඕන වෙලා තියෙන්නේ?" අනුක් ඇහුවේ ඉණටත් අත් දෙක තියාගෙන.
මම හිනාවුණා.
"ඔයාගේ හොඳටනේ මම කිව්වේ"
"ඔච්චරම හිතනවා නම් මට කෙනෙක් හොයලා දෙන්නකෝ. ඔයා දන්නවනේ මට ඕන මොන වගේ කෙනෙක්ද කියලා. නේද?" අනුක් කිව්වේ මා දිහාට තියුණු බැල්මක් හෙලන ගමන්.
"හරි හරි. අම්මෝ මම ආයෙම අහන්නෑ ඒ ගැන. අපි වෙන දෙයක් ගැන කතා කරමු" මම කිව්වා ඒ පාර.
අනුක් ආයෙම නාන්න පටන් ගත්තා.
"කොහොමද භූප? මේ දවස්වල කොහෙද ඉන්නේ?" ඊලඟට ඔහුගේ ප්‍රශ්ණේ වුණේ ඒක. ඔහු ඒක එවෙලේ ඇහුවේ ඇයි කියන්න මම දන්නේ නෑ. ටිකක් එකලස් වෙලා තිබ්බ හිත ආයෙම අඳුරකින් වැහෙනවා වගේ මට දැනුනා. මම අහක බලාගත්තේ ඒකයි.
"මේ දවස්වල මෙහේ ඉන්නේ" මම කිව්වේ ඕනවට එපාවට.
"ආ...එහෙනම් මෙයා ඇත්තේ over the moon  නේ?" අනුක් ඇහුවා.
"එහෙම නෑ"  මම උදාසීන විදියට කිව්ව නිසාදෝ අනුක් නාන එක නවත්තලා මා දිහා බැලුවා.
"මොකෝ මේ? ජීවිතේ කලකිරිලා වගේ උත්තර දෙන්නේ? තාම ප්‍රශ්ණ ඉවර නැද්ද?" අනුක් ඇහුවා.
"ප්‍රශ්ණ කියන්නේ ඉවර වෙන ඒවා නෙවෙයි නේ. එකක් ඉවර වෙනකොට එකක්" මම කිව්වා.
"ඒ පාර මොකෝ වෙලා තියෙන්නේ?" අනුක් ආයෙම නාන එක නවත්තලා.
"ම්ම්...අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඔයා දැන් නාලා ඉවර වෙන්නකෝ" මම කිව්වේ ඒකයි.
"එහෙම බෑ. වෙච්ච දේ මට කියන්න" අනුක් මම කිව්වා එක නාහම ඇහුවා.
"එහෙම ලොකු දෙයක් නෙවෙයි අනුක්. ඔයා නාලා ඉවර වෙන්නකෝ. මම ඔයාට කියන්නම් වුණ දේවල්. දැන් අම්මලා බලයි අපි කොහේ ගිහිල්ලද කියලා"
ඒ පාර අනුක් ආයෙම ඒක ඇහුවේ නෑ මගෙන් එවෙලේ. මම කිව්වා වගේම නාගෙන එද්දි අම්මා උන්නේ මග බලාගෙන.
"මොනාද අම්මා රෑට උයන්නේ?" අනුක් ඇඳුම් මාරු කරගන්න කාමරේට ගිය වෙලේ මම ඇහුවේ, අම්මා කොහොමත් විශේෂ දෙයක් උයන්න ලෑස්ති වෙන බව මම දන්න නිසා.
"අයියා ආස නිසා ඉඳිආප්ප ටිකක් තම්බන්න හිතුවේ. ඒත් වංගෙඩිය බප්පලගේ ගෙදර. එදා ආච්චි අම්මට ඉඳිආප්ප තම්බන්න ගෙනියලා තාම ගෙනාවේ නෑ"
"මම ගිහින් ඉල්ලන් එන්නම්. ආච්චි අම්මවත් බලලා" මම කිව්වා.
"ඉතිං අර ළමයා ඇවිත් ඉද්දි එහෙම යන එක හොඳයැ. අයියත් නෑනෙ"
"මම එයාවත් එක්ක යන්නම්. එයා ගිහිල්ලත් නෑනෙ ඒ පැත්තේ"
අම්මා ඒකට එපා කිව්වේ නෑ.
ඉතිං ඒ පාර මම අනුක්වත් ඇදගෙන ආච්චි අම්මලගේ ගෙදර යන්න පිටත් වුණා.
"හවසට මෙහේ හරි ෂෝක් නේ...හුලඟ හරි සනීපයි" අනුක් කිව්වේ මගේ ලඟින් හෙමින් ඇවිදගෙන එන ගමන්.
"ඔව්. මාත් ආසයි හවසට මෙහෙම ඇවිදින්න"
"ම්ම්...ඉතිං කියන්නකෝ දැන්වත් මොකද වෙලා තියෙන්නේ කියලා" අනුක් උන්නේ ඒ ගැන දැනගන්න නො ඉවසිල්ලෙන්ද මන්දා.
"මට තේරෙන්නෑ අනුක් මොනා වෙන්න යන්වද කියලා. එදා සිද්ධියෙන් පස්සෙත් භූප එහෙමට මා එක්ක හොඳ වුණේ නෑ"
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ ඉස්සර වගේ නෑ කියන එක. කතා කලොත් කතා කරනවා. නැත්තම් නෑ. අහන එකට උත්තර දෙනවා. එච්චරයි. එයා පෙරේදා රෑ ගෙදර ඇවිත්. ඒ එන වග මට කිව්වෙවත් නෑ. ඇහුවම කිව්වේ ෆෝන් එකේ සල්ලි තිබ්බේ නෑ කියලා" මම කිව්වේ හිතේ දුක හෙමි හෙමින් ඉස්මතු වෙද්දි.
"ඉතිං එහෙම වුණා වෙන්නත් පුලුවන් නේ"
"ඔයාට තේරෙන්නේ නෑ අනුක්. මෙච්චර කල් එයාව ආශ්‍රය කරපු මට  එයා කියන්නේ ඇත්තද බොරුද කියලා  තේරුම් ගන්න බැරිද. ඒක අමතක කලා කියමුකෝ. ඒත් දැන් එයා ආයෙම බොන්නත් පටන් අරන්. කොහොමද ඉතිං මම ඉවසන්නේ කියන්න?"
"මොනා, බොන්න පටන් අරන්? නෑ..."
"නැත්තේ නෑ. මම ඇස් දෙකටම දැක්කා. එයත් ඒක පිලි ගත්තා..."
ඊලඟට මම වෙච්ච අනෙක් දේවල් ටිකත් අනුක්ට කියලා දැම්මේ තවත් හිතේ තද කරගෙන ඉන්න බැරි හන්දා. ඇත්තටම අනුක් ඇර මේ හැමදේම මට කියන්න පුලුවන් කෙනෙක් උන්නේ නෑනෙ. හැමදේම අහගෙන අනුක් උන්නේ කල්පනාබර වෙලා.
"හිතාගන්න බෑ එයා ඇයි මෙහෙම කරන්නේ කියලා" අනුක් අන්තිමට කිව්වා.
එවෙලේ අපි කුඹුක් ලිඳ ලඟ වංගුවට හැරුණා විතරයි. ඊට පස්සේ වුණේ මම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ දෙයක්. අපි යද්දිම වගේ ලිඳ ලඟ ඉඳලා පාරට ආවේ පුබුදු අයියා. ඊට පස්සෙන් ආවේ වෙන කවුරුවත් නෙවෙයි භූප. මම උන්නු තැනම නැවතුණේ ඉබේටම වගේ. අනුක් භූපලව දැක්කේ එවෙලේ.
"ආ...භූප නේද අර?" ඒ අයව දැක්ක ගමන් අනුක් කිව්වේ  එක පාරටම.
එතකොටම වගේ භූපලත් අපිව දැක්කා.  ටිකක් පුදුම වෙලා වගේ ඒ දෙන්නම එතනම නැවතිලා අපි එනකල් බලාගෙන උන්නා.අපි භූපලා උන්නු තැනට ලං වෙද්දි භූප ඉස්සරහට ඇවිත් අනුක් එක්ක කතා කලා.
"කොහොමද මල්ලියා...දැක්ක කල් නේ. කවද්ද ආවේ?"
"දැන් පැය දෙක තුනක් ඇති ඇවිත් " අනුක් කිව්වා.
"පරණ යාලුවෝ බලලා යන්න වෙන්න ඇති" භූප ඇහුවේ මා දිහාත් ඇස් කොනකින් බලන ගමන්.
"යාලුවා බලන්නත් තමයි. ඒ එක්කම දුලිත අයියා හෙට නුවර යන හන්දා එයාවත් එක්ක යන්නත් එක්ක ආවේ. අයියා දන්නවා ඇති නේ අපේ ලොකු අක්කගේ වෙඩින් එකනේ ලබන මාසේ"
"ඔව් ඔව්. මට දුලාරා කිව්වා
භූප කිව්වේ මා දිහා බලලා. මම අහක බලාගෙනම උන්නේ වචනයක්වත් නොකියා.
"මම ඒත් මේ දුලාරගෙන් ඔයාගේ විස්තර තමයි අහ අහා ආවේ " අනුක් ඊලඟට කිව්වා මොකටද මන්දා.
"එහෙමද? මමත් මේ සති දෙක තුනකට පස්සේ ගෙදර ආවේ. දුලාරා කියන්න ඇති නේ. මේ දවස් වල නැකැත් හන්දා රැයක් දවාලක් නෑ වැඩ. යාලුවෝ හම්බෙන්නෙත් මෙහෙම වෙලාවක නේ ඉතිං" භූප කිව්වා.
මම එතන හිටියේ පුදුම හිතේ පීඩාවකින්. හැබෑටම භූප කිසීම දෙයක් නොවුණ ගාණට හැසිරෙන හැටි? දුකට වඩා හිතේ ඇතිවුණේ භූප ගැන නොරිස්සුමක්.
"ඔයාලා එහෙනම් කතා කර කර ඉන්න. මම බාප්පලගේ ගෙදරට දුවලා එන්නම්" බැරිම තැන මම එහෙම කිව්වා.
ඒ පාර දෙන්නම මගේ මූණ දිහා බැලුවේ මාව දැක්කේ එවෙලේ වගේ.
"ඔයාලා එහේ යන ගමන්ද?" භූප ඇහුවේ මගෙන්.
"ම්ම්" මම හිස වැනුවා.
"නෑ නෑ. මාත් එන්නම්. නැත්තම් ඔයාලගේ අම්මා මාව බෙල්ලෙන් අල්ල ගනී දෝණිව තනියෙම යැව්වද කියලා" අනුක් කිව්වේ මා එක්ක යන්න සැරසෙමින්.
"මට තනියෙම ගිහිල්ලා පුරුදුයි අනුක්" මම කටට ආවට කිව්වත් භූප මා දිහා එක පාරටම බලපු වග මට පෙනුනා. මම අනුක් දිහා බැලුවම ඔහු මට ඇස් වලින් කිව්වේ එහෙම කියන්න එපා කියලා.
"දුලාරා..." භූප ඒ පාර මාව ඇමතුවාම මම ඔහු දිහා බැලුවේ නැහැ.
මම එතනින් එන්න ආවේ දෙන්නන ආයෙමත් මොනවත් කියන්න කලින්. දුකට වඩා හිතේ භූප ගැන තිබ්බේ තරහක්. අනුක් ඉස්සරහදිත් කිසි දේක ගාණක් නෑ වගේ හැසිරුණ හන්දා. මම ටික දුර එද්දි අනුක් දුවගෙන ඇවිත් මට එකතු වුණා.
"පොඩ්ඩක් ඉන්න ඔහොම. ඔච්චරම හිතුවක්කාර වෙන්න එපා" අනුක් කිව්වා.
"මගේ හිතුවක්කාර කම විතරද? භූපට මේ දේවල් ගැන කිසි ගාණක් නෑ. දැන් ඉන්නේ හරියට මොනවත්ම උනේ නෑ වගේ. මට මේ දේවල් එපා වෙලා ඉන්නේ අනුක්. ඔයා මට බණ කියන්න එන්න එපා. හිතේ එකක් තියාගෙන මූණිච්චාවට හිනාවෙන්න මට බෑ..." මම කිව්වේ ඔහු දිහා නොබලා.
"භූප හරි කියනවා නෙවෙයි මම. ඒත් එහෙම දමලා ගහලා ආපු එක හරි නෑනෙ. එයාගේ මූණත් මොකක්ද වුණා ඔයා එන්න ආවම" අනුක් කිව්වේ හෙමින්.
මම නිහඬවම උන්නේ ඒ ගැන මට කියන්න දෙයක් නැති හන්දා.
අන්තිමේදි අපි බාප්පලගේ ගෙදරට සේන්දු වුණා කතා බහක්  නැතුවම. ආච්චි අම්මවත් බලලා, ඉඳිආප්ප වංගෙඩියත් ඉල්ලගෙන පැය බාගෙකින් විතර අපි ආපහු එන්න ආවා.
ඒ එන ගමනෙදි සිද්ධ වුණෙත් මම බලාපොරොත්තු නොවුණ දෙයක්. ලිඳ ලඟට එද්දි තවමත් ඉස්සෙල්ල උන්නු තැනම හිටගෙන උන්නේ භූප. මම අනුක් දිහා බැලුවේ කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව.
"භූප කිව්වා අපි ආපහු එනකල් ඉන්නවා කියලා" අනුක් කිව්වේ වරදක් කරපු කෙනෙක් ගාණට.
"ඇයි මට කලින් නොකිව්වේ?"
"ඔයාට තරහා යයි කියලා"
"ඔයා ඉන්න කිව්වා නම් ඔයාම කතා කරලා එන එකයි ඇත්තේ. මම යනවා යන්න" මම කිව්වේ නොරිස්සුමින්.
"ඔය තරම් නපුරු වෙන්න එපා දුලාරා. ඔහොම කොහොමද ප්‍රශ්ණ විසඳගන්නේ?"
"ප්‍රශ්ණ විසඳන්න ගිහින් හිත තලාගන්නවට වඩා හොඳයි මෙහෙම තරහා වෙලා ඉන්න එක" මම කිව්වා.
"ඔය කිව්වට තරහා වෙලා ඉඳලා සතුටින් ඉන්න බෑනෙ"
"අනේ අනුක්...මට මෙහෙම ඉන්න දෙනවද? මගේ ප්‍රශ්ණ විසඳන්න ඔයාට මැදිහත් වෙන්න බෑ. එහෙම කරන්න ඕනත් නෑ" අන්තිමට මම තරහා අරන් උන්නේ අනුක් එක්කත්.
අනුක් ඒ පාර මුකු නොකියා බිම බලාගත්තේ සුසුමක් හෙලලා. මම ලිඳ ලඟින් ඇවිදගෙන ඉස්සරහට එන්න ආවේ භූප එතන ඉන්න වග නොදැක්කා වගේ.
"දුලාරා...පොඩ්ඩක් ඉන්න" මම අඩි දෙක තුනක් එන්නත් කලින් භූපගේ හඬ මට පිටිපස්සෙන් ඇහුණා.
නැවතුණත් මම පිටිපස්ස බැලුවේ නෑ. අනුක් උන්නේ අපි දෙන්නටම පිටිපස්සෙන්.
"මොකක්ද මේ කරන්නේ දුලාරා? අර පිට මනුස්සයෙකුත් ඉද්දි ඔයා මෙහෙම කරන්නේ කොහොමද?" භූප ඇහුවා.
"වෙච්ච පොරොන්දු කඩ කරලා ඔයාට බොන්න පුලුවන් නම්, මට බැරි මොකද කතා නොකර යන්න. අනික අනුක් කියන්නේ පිට කෙනෙක් නෙවෙයි, ඒක ඔයා දන්නවනේ" මම කිව්වා. මට ඕන වුණේ භූපට රිද්දන්නද?
"ඒක මොක වුණත් අපේ ප්‍රශ්ණ කාටවත් පෙන්නන්න ඕන නෑනෙ"
"මම යනවා" මං කිව්වේ මට තර්ක කර කර ඉන්න ඕන නැති නිසා.
"දුලාරා...අහන්න, මට ඔයා එක්ක කතා කරන්න ඕන. මේ හැම දේම විසඳගන්න අපි කතා කරන්න ඕන"
"මට දැන් කතා කර කර ඉන්න වෙලාවක් නෑ. අම්මා බලාගෙන ඇති"
"කවද්ද පුලුවන්?"
"මං දන්නෑ"
මම කිව්වම භූප සුසුමක් හෙලුවා.
"මම හෙට යනවා. ආයෙම එන දවසක් දැන්ම කියන්න බෑ. ඒ තරම් කල් ඉන්නේ කොහොමද මෙහෙම?" භූප ඇහුවා.
"වෙනදට ඉන්නේ, ඒ විදියට ඉන්න"
මම එහෙම කිව්වම භූප මොහොතක් මා දිහා බලාගෙන උන්නේ වෙහෙසට පත් වෙලා වගේ.
"මම දන්නෑ දුලාරා ඔයා එක්ක කිසි දෙයක් කතා කරන්න බෑ"
"එහෙනම් කතා කරන්න එපා. මම යනවා"
දුලාරා!!”
මම එන්න ආවේ අනුක් මා පස්සෙන් එනවද වත් නොබලා.   ඒත් ඔහු ටික වෙලාවකින් ආයෙම දුවගෙන එන්න ආවා මා ලඟට. හිතේ තරහක් තිබ්බා. හිතුවක්කාර කමක් තිබ්බා. ඒත් ඒ හැමදේටම වඩා හිතේ තිබ්බේ දුකක්. ඒ මම භූපට ගොඩක් ආදරේ කල හන්දා. මම එච්චර ආදරේ කරද්දි, එච්චර විශ්වාස කරද්දි එයා මගේ විශ්වාසේ කඩ කරපු හන්දා.
"මුකුත් කියන්න එපා" මම අනුක්ට කිව්වේ ඔහු වචනයක් වත් කියන්න කලින්.

ඉතිං අනුක් මොනවත්ම කිව්වේ නෑ. ඔහුගේ හිතේ මොන මොන දේවල් පෙරලි කරමින් තිබ්බද කියලා මට තේරුණෙත් නෑ. භූප එහෙමම එතනින් ගෙදර යන්න ඇති. භූපට රිද්දලා මට සතුටු වෙන්න ඕන වුණා නෙවෙයි. ඒත් හැමදේම දරාගෙන ගහක් ගලක් වගේ මට ඉන්න බෑ කියන එක පෙන්නන්න මට ඕන වුණා. අන්තිමේදි මට ඉතිරිවුණේ රිදුම් දෙන හිත විතරයි. අනුක් මාව සනසන්න, ප්‍රශ්ණ විසඳගන්න ඕන වග කියන්න ඉදිරිපත් වුණත් ඒ කිසි දෙයක් මගේ ඔලුවට ගියේ නැති තරමයි. කරන්න දෙයක් හිතාගන්න බැරිව මම ඔහේ සිතිවිලි වලට පාවෙන්න ඉඩ ඇරලා බලාගෙන හිටියා. එවෙලේ නොදැන උන්නට ඒ දවස, ඒ මොහොත අපි තුන් දෙනාගෙම ජීවිත වෙනස් කරන සිදුවීම් මාලාවක ආරම්භය සනිටුහන් කලා. ඒ දේවල් වෙනස් කරන්න ඊට පස්සේ කවදාවත් අපට පුලුවන් වුණේ නෑ.

No comments:

Post a Comment