Thursday, July 25, 2013

අවසරයි ලං වෙන්න: දොලොස්වන කොටස



දවල් දොලහට ඉවර වෙන lecture එක ඉවර වුණු වහාම ශාලාවේ පිටවෙන දොර ලඟ ඇති වෙන්නේ පුදුමාකාර තද බදයක්. ඒ එලියට පැනලා කැන්ටිමට දුවන්න බලාගෙන ඉන්න ළමයින් හන්දා. ඉක්මණට දුවන්න ඕන වෙන්නේ කෑම ගන්න පෝලිමේ ඉස්සරහට යන්නයි, ඉඳගන්න ඉඩක් අල්ලගන්නයි. මොකද ඒ වෙලාවට හැමෝම කැන්ටින් වලට එන හන්දා.
"මේ වැඩේ කරන්න බෑ අනේ. මට මේ දිවිල්ලයි, කෑමයි දෙකම එපා වෙලා ඉන්නේ" එහෙම කිව්වේ අමාරුවෙන් කෑම දෙකක් අරගෙන අපි උන්නු මේසෙට ආපු තාරකා. ගෙදර කෑම වගේ රහ නැති හන්දා අපි කලේ කෑම දෙකක් අරගෙන හතර දෙනා බෙදාගෙන කාපු එක. ඉතිරිවට චොකලට් හරි, බිස්කට් හරි තමයි අපි කෑවෙ.
"මොනා කරන්නද ඉතිං? නොමැරි ඉන්න නම් කන්නත් එපැයි" නිලීකා කිව්වා.
මම නම් උන්නේ කොහොමත් කන්න බැරි මූඩ් එකක. ඒ සතිය පටන් ගත්තු දවසේ ඉඳලම මට අසනීප ගතියක් දැනෙමිනුයි තිබුණේ.
"එහෙම නෙවෙයි. අපි උයන්න පටන් ගමුද? අපේ සීනියර්ලා ගොඩක් එහෙම කරනවා රූම් වල. හොට් ප්ලේට් වල තමා උයන්නේ. ඔය වලං දෙක තුනක් ගත්තෝ මෙච්චර වියදමක් යන එකකුත් නෑ" එහෙම යෝජනා කලේ තාරකා.
"උයන්න? ඒක කර ගන්න පුලුවන් වෙයිද?" චතූ ඇහුවේ සැකෙන් වගේ.
"අපෝ පුලුවන්. අපි සල්ලි දාලා බඩු ගේමු. ගෙනැත් උයමු. මම ඕන නම් හොට් ප්ලේට් එකක් ගේන්නම්" තාරකා කිව්වා.
"ඒ අදහසත් නරක නෑ හැබැයි. හොස්ටල් එකෙත් එලවලු හෙම තියෙනවනේ" චතූ කිව්වා.
අපි කවායින් නොකෑවායින් එලියට බැහැලා ආපහු lecture hall වලට එන්න ආවේ, අන්තිමට බඩු අරගෙන කාමරේම උයාගන්නත් සම්මුතියකට ඇවිල්ලයි. lectures වලට ආවත්, හවස් වරුවේ පලවෙනි lecture එක ඉවර වෙද්දි මම උන්නේ ගොඩක්ම අමාරුවෙන්. මට දැනුනේ උණක් ගැනීගෙන එනවා වගේ.
"මොකද අපි කරන්නේ? බෙහෙතක් ගන්න යන්න වේවි නේද? මෙවෙලේ Health center එකේ නම් බෙහෙත් දීලා ඉවර ඇති" මගේ නලලට අතක් තියලා උණ බලන ගමන් තාරකා කිව්වා.
"බල බල ඉඳලා බෑනෙ. අපි කොහේ හරි private තැනකටවත් යමුද?" චතූ ඇහුවා.
"ඕන නෑ අනේ. පැනඩෝල් බිව්වම ඇරේවි" මම කෙඳිරි ගෑවා.
"එහෙම කියලා බෑනෙ. මම මෙයාව එක්ක යන්නම් දැනට කැන්ටිමට. පැනඩෝල් දෙකක් බීලා කාගෙන් හරි අහලා බෙහෙත් ගන්න තැනකට යන්නම්. කාමරේදි හම්බෙමු" චතූ එහෙම කිව්වේ මම විරුද්ධ වෙද්දිමයි.
"ඔයාට තනියෙම පුලුවන්ද?" නිලීකා ඇහුවා.
"පුලුවන් පුලුවන්. ඔයාලා lectures ඉන්න. අපරාදෙනේ"
අන්තිමේදි වදෙන් පොරේන් මාඅවත් ඇදගෙන චතූ ආපහු කැන්ටිමට එන්න ආවා. එවෙලේ ඒක අස්සේ උන්නේ කවුද කියලාවත් මට පෙනුනේ නෑ තිබ්බ අමාරුව හන්දා. මම මේසයක් උඩ හිස තියාගෙන ඉද්දි චතූ ගියා පැනඩෝල් ගේන්න.
"දුලාරා" මට ඒ හඬ ඇහුණේ හීනෙන් වගේ. මම හිස උස්සලා බලද්දි මගේ ලඟ උන්නේ වෙන කවුරුවත් නෙවෙයි භූප. ඔහුගේ ඇස් අල තිබුනේ නොසන්සුන් ගතියක්.
"ඇයි මේ?" ඔහු මගෙ අසල තිබුණ පුටුවේ වාඩි වෙන ගමන් ඇහුවා.
"මෙයාට උණ අයියේ" එවෙලේ පැනඩෝල් අරගෙන එතනට ආපු චතූ කිව්වේ ඒවා මගේ අතට දෙන ගමන්.
භූප පොඩ්ඩක් මා දිහා බලාගෙන ඉඳලා මගේ නාලට අතක් තිබ්බා. මගේ ඇස් පියවුණේ ඉබේටම. ඒ අත සීතලයි.
"අනේ ඔව්මයි. උණ නේන්නම්. දැන් නම් Health center එකත් වහලා ඇති" භූප කිව්වේ කලබලෙන් වගේ.
"මචංඅර පේරාදෙණියේ ඩොක්ට ඇති නේ දැන්. එහාට එක්ක ගියා නම් හරි උණ වැඩි නම්" භූපගේ යාලුවෙක් වෙච්ච සාලියත් එතන උන්නු වග මම දැක්කේ එවෙලේ.
"කවදා ඉඳන්ද මේ උණ දුලාරා?" භූප මගෙන් ඇහුවා.
"උණ ගත්තේ නම් අද ඒත් සඳුදා ඉඳන්ම අමාරුවක් තිබුණා"
"බෙහෙත් නම් ගන්න වෙයි නේද අයියේ. මේ දවස් වල විවිධ උණ වර්ග තියෙන නිසා කෝකටත් හොඳයිනේ ගන්න එක" චතූ කිව්වා.
"හ්ම්ම්...ඒක නම් ඇත්ත. දුලාර අපි යමු බෙහෙත් ටිකක් ගන්න නේද?" භූප් මා දිහාට නැවිලා ඇහුවා.
"ඕන නෑ භූප. දැන් පැනඩෝල් බිව්වා නේ. අඩු වෙයි"
"එහෙම කියලා බෑනෙ. කෝකටත් බෙහෙත් ගන්න එක හොඳයි" භූප කිව්වේ තරමක් තදින්.
අන්තිමේදි කොහොමහරි මට වුනේ ඒ අයගේ කීම අහන්න. භූපයි, චතූයි, දෙන්නා මාවත් ත්‍රීවීල් එකක දාගෙන පේරාදෙණියට ආවා. යන්තම් පෝලිමේ පැයක් විතර ඉඳලා අපි බෙහෙතුත් ගත්තා. මට භූප ගැනත්, චතූ ගැනත් දැනුනේ ලොකු ආදරයක්.
"බෙහෙත් බීලා නිදාගන්න. උණ හෙට වෙද්දි අඩු වෙලා යයි" හොස්ටල් එක ලඟටම අපිව ඇරලන්න ආපු භූප කිව්වා. මම හිස වැනුවා.

කොහොම වුණත් පැය හයෙන් හයට නැග නැග බැහැපු උණ ඊලඟ දවසෙත් තිබුණා. ඒ නිසා මට Lectures යන්න විදිහක් තිබුණෙත් නෑ.
"අනේ මදා මොනා කරන්නද කියලා" උදේ ඇහැරිලා මගේ තත්වය දැකපු චතූ කිව්වේ එහෙම.
"මම පැනඩෝල් බීලා උණ බැස්සම ගෙදර යන්නම් චතූ. මෙහේ හිටියම ඔයාලටත් වදේ. බෝ වෙන්නත් පුලුවන්" මම කිවා.
"වදේ මොකක්ද? මට තියෙන ප්‍රශ්ණේ ඔයාට අමාරු එකයි"
"ඒත් ගෙදර යන එක හොඳ වෙයි නේද චතූ? මෙහේ කන්නත් නෑ. අපි ගියාම හදිසියකට බලන්න කෙනෙකුත් නෑනෙ" එහෙම කිව්වේ නිලීකා.
"ඒක තමයි" මමත් කිව්වා.
"ඒත් ගෙදර යන්නෙ කොහොමද තනියෙම?"
"උණ බැස්සම මට යතහැකි. මම අම්මට මගට එන්න කියනවා" මම කිව්වා.
අන්තිමේදි කරන්න දෙයක් නැති තැන චතූත් ඒකට එකඟ වුණා.
"භූප හම්බුණොත් කියන්න" මම චතූට කිව්වා.
උණ බහිනකල් නිදාගෙන ඉඳලා මම එලියට බහිද්දිමයි, මගේ phone එක නාද වෙන්න ගත්තේ. නොදන්න නොම්මරයක්.
"හලෝ"
"හලෝ දුලාරා, මං භූප. ඔය කොහේද ඉන්නේ?" ඒ හඬේ තිබ්බේ හදිසියක්.
"Hostal එකේ ඉන්නේ. ඔයාට චතූ හම්බවුණාද?"
"හරි...ලොබි එකේ ඉන්න. මම් මේ එන ගමන්"
"එන ගමන්?"
මම අහපු එකට වචනයක් වත් නොකියා භූප කෝල් එක කට් කලා. බෑග් එකත් එල්ලගෙන, මම හෙමි හෙමින් Common room එක දිහාට ගියේ නොසන්සුන් වුණ හිතින්. 'භූප එන්නේ ඇයි'
"උණ තියාගෙන කොහොමද ඔයා තනියෙම ගෙදර යන්නේ?"
මම ගිහින් ටික වෙලාවකට පස්සේ එතනදි මාව මුණ ගැහුණු භූප ඇහුවා.
"දැන් උණ බැහැලා තියෙන්නේ. මට යන්න පුලුවන්" මම කිව්වේ ඔහු දිහා නොබලා.
ඔහු සුසුමක් හෙලුවා."මම ඔයාව ගිහින් ඇරලන්නම්" අන්තිමේදි ඔහු කිව්වේ එහෙම.
"අනේ පිස්සුද? එපා එපා. මට යන්න පුලුවන් භූප"
"මං කිව්වනේ මම එනවා. ඔයාට තනියෙම යන්න දෙන්න බෑ"
"භූප.."
භූප කෙලින්ම මගේ දෑස් දිහා බැලුවා. ඒ ඇස් වල තිබුනේ තද බැල්මක්. මට ආයෙම බිම බැලුණා. කොහොමහරි මට ආයෙමත් වුණේ ඔහු කියපු දේට එකඟ වෙන්න. හිතේ පැත්තක ඒ ගැන සතුටක් නොතිබ්බා නෙවෙයි. ඒත් ඔහුට පාඩු වෙන වැඩ ගැන, ඔහුගේ කාලය නාස්ති වීම ගැන ඊට වඩා ලොකු බරක් හිතේ තිබුණා.
"බස් එකේ යමු. කෝච්චි අල්ලන්න හම්බෙන්නෑ. අනික වෙලාත් යාවි" භූප කිව්වේ මහකන්ද නුවර බස් එකකට නැගලා මා අසලින් වාඩි වෙන ගමන්.මම හිස වැනුවා විතරයි. කටේ තිත්ත ගතියත් එක්ක දැනෙමින් තිබුණ අප්පිරියාව නිසා මට හිතුණා කතා කලොත් වමනේ යන්න ඒවි කියලා.
කොලඹ බස් එකකට නැගලා, අපි මැද හරියේ සීට් එකක වාඩි වුණා. හිස රිදුම් දෙන්න පටන් ගෙන තිබුණ නිසා මම කලේ සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තු එක.
"ඔයා ඔහොම නිදාගෙන ඉන්න. මම බහින්න ලං වුණාම ඇහැරවන්නම්" භූප මට කිව්වේ දයාබරව.
මට ඔහු ගැන දැනෙමින් තිබුණේ කියාගන්න බැරි විදිහේ හැඟීමක්. ඒක සෙනෙහසක්, කණගාටුවක් වගේම ස්තුතියකුත් මුසු වුණ හැඟීමක්.
"මං නිසා ඔයාට කරදරයි භූප" මම එහෙම කිව්වේ ඒකයි.
"පිස්සු කතා නොකියා දැන් ඇස් පියාගෙන නිදා ගන්න"
මම තවත් වාද කරන්න නොගිහින් දැස් පියාගත්තේ අමාරුකම හින්දමයි.
බස් එක යන්න පටන් ගනිද්දි මට යාන්තම් නින්දක් යාගෙන එමිනුයි තිබුණේ. ඊට පස්සේ ආයෙම මට ඇහැරෙද්දි අපි උන්නේ අඹේපුස්ස හරියෙද කොහෙද. මම ඇස් ඇරලා බලද්දියි මට තේරුණේ මම භූපගේ උරහිසට හිස තියාගෙනයි නිදාගෙන ඉඳලා තියෙන්නේ කියලා. නිසා මම ඇහැරුණ ගමන් දනි පනි ගාලා කෙලින් වෙලා සීට් එකේ වාඩි වුණා. මේ වෙද්දි උණ ගතිය යන්තම් අඩු වෙලයි තිබුණේ. නමුත් මගේ කන් දෙක රත් වුණේ ලැජ්ජාවට.
"මොකෝ මේ? හීනයක් දැකලා බය වුණාද?"
භූප මා දිහා බලලා ඇහුවේ පුදුමෙන් වගේ.
"නෑ...මට නින්ද ගියා භූප. සොරි මම නොදැනම හේත්තු වෙලා..." මම අන්තිම වචන ටික කිව්වේ ඇහෙන නෑහෙන ගානට, අහක බලාගෙනම.
භූප සුසුමක් හෙලුවා.
"ඒකද මේ පණ කඩාගෙන ඈතට වුණේ? මනස්ගාත හිතන්න එපා දුලාරා. මම දන්නවා ඔයා ඉන්නේ අමාරුවෙන් වග..." භූප එහෙම කිව්වා.
ඒත් මම වචනයක් වත් කියන්න ගියේ නෑ. මගේ හිත තිබුනේ ආයෙම අමුතු වෙලා.
"තාම උණ ගතිය තියෙනවද?" භූප ටික වෙලාවකට පස්සේ එහෙම ඇහුවා.
"දැන් අඩුයි වගේ"
"ම්ම්...එක වෙලාවක ඔලුව ගොඩක් රත් වීගෙන ආවා මට දැනුනා. උණ අඩුයි නම් කමක් නෑ" භූප කිව්වේ දිහා දයාබරව බලලා.
එක මොහොතකට මම ඇස් දිහා බලාගෙන උන්නේ හිතේ වෙලෙන කියාගන්න බැරි හැඟීම් ගොන්නකුත් එක්ක. මේ පාර මුල්ම වතාවට ඉස්සෙල්ලම අහක බැලුවේ භූප. මම හෙමින් ඇස් හරවගත්තා ඊට පස්සේ. මම ආපහු සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තත්, මට නින්දක් ආවේ නෑ. හිත තිබුණේ තරම්ම නොසන්සුන් වෙලා. මට හිතාගන්න බැරි වුණා, මේ තාක් කාලයක් මම දැන අඳුනගෙන උන්නු භූපව හදිසියේම මේ තරම් විශේෂව මට දැනෙන්නේ ඇයි කියලා.
"පරෙස්සමින් බහින්න"
ගෙදරට යන පාර ලඟ බස් එක නැවැත්තුවාම මම බහින්න යද්දි භූප මට කිව්වා.
එතනින් බැහැලා පාර පනින්න යද්දි, භූප මගේ අතේ මැණික් කටුව ලඟින් අල්ලගත්තේ මම නොහිතපු විදියට. හරියට පුංචි කාලේ අපි පාර පනින්න යද්දි අම්මලා අල්ලගන්නවා වගේ. ඔහුගේ අත තාමත් මට දැනුනේ සීතලට. එක්කම බොහොමත්ම සලිත වුණ හිත හන්දා මම තප්පරයක් දෙකක් ගල් ගැහිලා වගේ පාර අද්දරම උන්නා. භූප පිටිපස්ස බැලුවේ මගේ පමාව නිසා වෙන්න ඇති. පාර මම ඔහු දිහා නොබලම, පාර පැන්නා. භූප මාව අතෑරියේ ඊට පස්සේ. මට ඔහු ගැන දැනුනේ කියාගන්න බැරි තරම් ලෙන්ගතු හැඟීමක්.
"අපි threewheeler එකක යමු"
පාරෙ ඉඳලා ගෙවල් දිහාට තරමක් දුර යන්න තියෙන හන්දා භූප එහෙම කිව්වා. මම පයින් යන්න පුලුවන් කිව්වත් ඔහු මම කියන දෙයක් ඇහුවේ නෑ. ඉතින් අන්තිමේදි, අපි threewheeler එකක නැගලා විනාඩි පහ දහයකින් වගේ ගේ ලඟට ආවා.
එවෙලේ අම්මා උන්නේ ඉස්තෝප්පුවට වෙලා මොකක්දෝ ඇඳුමක් මහමින්. අපිව දැක්ක ගමන් අම්මා බය වෙලා වගේ මිදුලට දුවගෙන ආවා. අද තාත්තගේ කන්තෝරු කාමරේ තිබුණේ වහලා. අද ඔහු දිසාපති කාර්යාලයට යන හන්දා වග මට මතක් වුණේ එවෙලේ.
"දෝනි...ඇයි මේ මොකද?" අම්මා බය වෙලා වගේ ඇහුවේ භූප දිහාත් බලමින්.
"ලොකු දෙයක් නෙවෙයි අම්මා. මට එහේදි උණක් හැදුනනේ. එහේ ඉන්න කරද හන්දයි ගෙදර ආවේ"
මම එහෙම කිව්වාම අම්මගේ ඇස් යොමු වුණේ භූප දිහාට.
"එද්දි ටිකක් අමාරු ගතියක් තිබ්බ නිසා භූප මාව ඇරලන්න ආවා" මම ඊට පස්සේ කිව්වා.
අම්මා ලොකු හුස්මක් හෙලන ගමන් භූප දිහා බැලුවේ යන්තමට හිනා වෙලා.
"අනේ පුතේ පුතා මේ කරන උදව් වලට අපි කොහොම ස්තුති කරන්නද මන්දා. මේ ළමයා ගිය දා ඉඳන්ම මේ ළමයට අපි කොච්චර නම් කරදර කලාද? පුතාට පිං පුතේ මේ කෙල්ලව ගෙනැත් ඇරලුවට" අම්මා කිව්වේ හැඟීම්බරව.
"ඕක මොකක්ද නැන්දේ. උණ වැඩි වෙයි කියලයි මම කෝකටත් ආවේ"
"අපි යමුකෝ එහෙනම් ගෙට. පුතා අද ආපහු යන්නේ නෑ නේද?" අම්මා එහෙම කිව්වේ මාවත් අතින් අල්ලගෙන ඉස්සර වෙන ගමන්.
"නෑ. හෙට උදේම යනවා" භූප කිව්වේ අපිත් එක්ක ගෙට ගොඩ වෙන ගමන්.
"වාඩි වෙන්න පුතේ. මම ඉක්මණින් තේ පොඩ්ඩක් හදන්නම් දෙන්නටම. දෝණි ගිහින් ඇලවෙන්නකෝ එහෙනම්" අම්මා මට එහෙම කියාගෙන.
"තේ හදන්න කරදර වෙන්න එපා නැන්දේ. දැන් මම ගෙදරනේ යන්නේ" භූප කිව්වා.
"කෝලං නැතුව ඉන්න ලමයෝ. මම විගහට හදන්නම්. මොකෝ ගෙදර කඩදහි ලිපේ දාලා ආවයැ" අම්මා එහෙම කියාගෙන කුස්සිය දිහාට යද්දිත් මම උන්නේ සාලේ හිටගෙන.
ඉස්තෝප්පුවේ පුටුවට බරවෙලා උන්නු භූප හිස උස්සලා මා දිහා බැලුවා.
"ඔයා කාමරේට ගිහින් පොඩ්ඩක් ඇල වෙන්න දුලාරා. හොඳටම සනීප වෙනකල් කැම්පස් එන්න එපා"
මම බිම බලාගෙන හිස වැනුවා. ඊට පස්සේ ඔහු ආයෙම ඉස්සරහ බලා ගත්තා.
මාව එක්කගෙන ආවට ඔහුට ස්තුති කරන්න මට ඕන වුණත්, ඒකට වචන ගැටගහගන්න කට ඇරගන්න මට බැරි වුණා. හරියට හිතේ තිබ්බ සේරම බර උගුර ලඟට ඇවිත් හිර වෙලා වගේ.
භූප ආයෙම පිටිපස්ස බැලුවා. ඔහුගේ ඇස් ඇවිත් මගේ ඇස් ලඟ නතර වුණා. ඔහුගේ ඇස් වල තිබුණේ ප්‍රශ්ණයක්.'ඇයි?' මගේ ඇස් වලට කඳුලු පිරුනේ අහේතුකව. සමහරවිට ඔහු මේ තරම්ම මට දයාබර වෙන නිසා වෙන්න ඇති. කඳුලු වැටේවි කියන බයටයි මම බිම බලාගත්තේ.
"දුලාරා...ඇයි මේ?" භූපගේ හඬ ඇහුණේ මගේ ලඟින්මයි. ඔහු මගේ ලඟට ඇවිත්.
මම හිස වැනුවා මුකුත් නෑ කියන්න.
"ඇයි කියන්න ප්ලීස්?" ඔහු ඇහුවේ හෙමින්.
කියනවා නම්, ඔහුට කියන්න දාහක් දේවල් මගේ හිතේ තිබුණා. ඔහුට ස්තුති කරන්න, ඔහුගේ උදව් මට කොච්චර වටිනවද කියන්න, ඔහුට මගේ ලඟින්ම ඉන්න කියන්න මට ඕන වුණා. ඒත් මම එහෙම කියන්නේ කොහොමද? මම එහෙම කියන්නේ ඇයි?
භූප සුසුමක් හෙලුවා.
"මම අද ආපු එක වැරදිද දුලාරා?" භූප ඊලඟට එහෙම ඇහුවා.
මම හිස වැනුවා විතරයි.
"මගේ අතින් මොකක් හරි වරදක් වුණාද?"
මම ආයෙම හිස වැනුවා.
ඒත් ඔහුට ආයෙම වෙන දෙයක් අහන්න වුණේ නෑ. මොකද අම්මා කුස්සියේ ඉඳන් එන සද්දේ ඇහුණ නිසා. මම ඔහුට මුකුත්ම නොකියා ඉක්මණින් ඇවිත් කාමරේට වැදුනා. අම්මා ඔහු එක්ක කතා කරන සද්දේ විතරයි මට ඇහුණේ.
"දෝණි මේන්න භූප යන්න හදන්නේ"
අම්මගේ කටහඬ ඇහෙද්දිත් මම හිටියේ උන්නු විදියටම හිටගෙන. ආපහු මම සාලෙට ගියේ ගැහෙන හිතින්.
"මම ගිහිං එන්නම් දුලාරා" භූප කිව්වා.
මම හිස වැනුවා. ඔහු මගේ දිහා යන්තම් බලලා මිදුලට බැස්සා. මම දොර පලුවට හේත්තු වුණේ සුසුමක් හෙලලා. හිතේ මීදුමක් වගේ පැතිරිලා යමින් තිබුණේ පාලුවක්.
භූප ආයෙම හැරිලා මා දිහා බැලුවා. "යන්නම්"
වචන වලත්, බැල්මෙත් තිබුනේ මොකක්දෝ දුකක් කියලා මට හිතුණා.

1 comment:

  1. කතාව හොදයි ඉතුරු ටකත් ලියමු නේ

    ReplyDelete