Thursday, July 11, 2013

අවසරයි ලං වෙන්න: අටවෙනි කොටස



"ප්‍රෙෂී..එන්න" දවසක් හවස මම පුරුදු විදියට පෝලිමට වෙලා ඉන්දැද්දි මගේ ලඟට ආපු ජේෂ්ඨතුමියක් මට කතා කලා. ඒ පෝලිමේ හිටපු අනෙක් අයගේ නම් ගම් මම දන්නවද කියලා බලන දෛනික කටයුත්තට.
මම ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා ඈට සුබ පැතුවා.
"ජේෂ්ඨතුමීට සුභ උදෑසනක් වේවා...මේ කුනු ප්‍රෙෂීටත් එසේම වේවා"
මා දිහා බලාගෙන උන්නු ඈ, මුකුත්ම නොකියා, මට එන්න කියලා හිසින් සන් කලා.
"පටන්ගන්න මෙතන ඉඳලා"  ජේෂ්ඨතුමිය පෝලිමේ කොනක් පෙන්නලා කිව්වා.
"නම තුෂාර, කාඩ් එක ........., ගම හලාවත; දීපානි, කාඩ් එක......., ගම කුණ්ඩසාලේ...' ඔය විදියට පටන් ගන්න නම ගම් විචාරීමේ කටයුත්ත කාගෙහරි නමක් නොදන්න තැනක් වෙනකල් ඔහෝමම යන්වා. නම හරි, ගම හරි, කාඩ් එක හරි අමතක වෙච්ච ගමන් බැනුම් වරුසාවක් හම්බවෙනවා. නම අහගත්තට පස්සේ ඕන්න ආයෙම පුරුදු විචාරීම පටන් ගන්නවා. ඒක වෙන්නේ එහෙමයි.

"ප්‍රෙෂා...පවුලේ විස්තරයක් කරමු බලන්න" එක වෙලාවක මට අනෙක් පැත්තේ හිටපු පිරිමි ළමයෙකුට ජේෂ්ඨතුමෙක් කිව්වා.
"පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි මමයි, නංඟියි. තාත්තා අන්ඩර දෙනවා (ඒ කිව්වේ ගුරුවරයෙක්), නංඟි අණ්ඩර කනවා (ඒ කිව්වේ ඉගෙනගන්නවා), අම්මා මොනවත් කරන්නෑ"
"මොකක්? අම්මා මොනවත් කරන්නෑ. යකෝ උඹේ ගෙදර රෙදි හෝදන්නේ, උයන්නේ, අනෙක් වැඩ බලා ගන්නේ පොලිස් කාන්තාවක්ද එතකොට? කියපන්, කියපන් ආයෙම හරියට"
ජේෂ්ඨතුමා එහෙම කියද්දී මම හිනාව තද කරගෙන හිටියේ අමාරුවෙන්. මා ලඟ හිටපු කනිෂ්ක ආයෙම විස්තරේ කියන්නට වුණා.
"......නංඟි අණ්ඩර කනවා, අම්මා බත් උයලා අපට කන්න දෙනවා"
"එතකොට අම්මා කන්නැද්ද බං?"
අහිංසක කනිෂ්කට ආපහු සේරම මුල ඉඳලා කියන්න සිද්ධ වුණා. නවක වදය ඇතුලේ සමහර අමාරු දේවල් තිබුණත්, ඒ තරමටම හොඳ දේවලුත් තිබුණා කියලයි මට නම් හිතුණේ. ඒවා අපි දන්න දේවල් වල නොදන්න පැති දකින්න අපිව හුරු කලා වගේම, හැමදේම සමානාත්මතාවයෙන් දකින්නත්, යල්ලුකමුත්, සහයෝගයෙන් වැඩ කිරීමත් හුරු කරන්නටත් උදව් වුණා කියලත් මට හිතුණා. ඒ හිනදමදෝ බැනුම් අහලා අහලා පදම් වුණාට පස්සේ, අවට සිද්ධ වෙන දේවල් වල හරවත් දෙයක් දකින්න අපට පුලුවන්කම ලැබුණා. හැබැයි මේ කොයිම වෙලාවක වත් අපිට ශාරීරික වධ හිංසනයක් නම් වුණේ නැහැ. 
"ප්‍රෙෂී...මේ, දැක්කේ නැද්ද වැඩක්?" කල්පනාබරව බිත්තියකට හේත්තු වී ඉන්නා අතරේ, භූපගේ සගයා වූ ජේෂ්ඨතුමා ඇවිල්ලා මට කතා කලා. මම ඔහු දිහා බලලා වට පිට බැලුවත්, භූප නම් පේන්න හිටියේ නෑ.
"දැක්කේ නෑ ජේෂ්ඨතුමා" මම කිව්වේ ඔහු දිහා නොබලා.
"දකින්න ඉතින් බලන්න එපායැ. අන්න අරහේ දෙවියෙක් වැඩලා සිතූ පැතූ සම්පත් දෙනවා. යං යං. ප්‍රෙෂීත් යං මොනා හරි ඉල්ලන්න" ඔහු මාව බලෙන් වගේ යොමු කලේ අපේම බැච් එකේ කට්ටිය ගොදක් රැස් වෙලා උන්නු තැනකට. එතන අපේ බැචෙක් වුණු ධනුක, අතින් අභය මුද්‍රාව පාගෙන, ඔලුව්ත් කෙලින් කරගෙන අපට ආශීර්වාද කරන්න වගේ හිටගෙන ඉන්නවා. මට හොඳටෝම හිනා යන්න ආවා ඒක දැකලා.
"ප්‍රෙෂී...මොනා හරි ඉල්ලන්න" අර ජේෂ්ඨතුමා මට කියනවා.
ඒ අස්සේ වටපිටාවේ උන්නු අය දෙවියන්ට වඳිනවා. තව කෙනෙක් මායම් වෙලා වගේ රඟපානවා. වටේ ඉන්න ජේෂ්ඨයෝ සේරම හිනා වෙනවා. මම ඉල්ලන්න දෙයක් හිතාගන්න බැරුව වට පිට බල බල ඉද්දි අර ජේෂ්ඨයා ආයෙම මට බල කරනවා.
"ඉල්ලන්න...ඉල්ලන්න"
"ඉල්ලන්න...මට හොඳ ස්වාමි පුරුෂයෙක් ලබා දෙන්න කියලා"  ඒ ලඟ උන්නු භූපගේ අනික් යාලුවා කිව්වා.
මම පත්වුණේ ලොකු අපහසුතාවයකට.
"කී පාරක් කියන්නද ප්‍රෙෂී? එක පාරක් කිව්වම ඉල්ලන්න බැරිද?" එතන හිටපු තව ජේෂ්ඨයෙක් මට සැර වුණා.
මම කරන්න දෙයක් නැති තැන ධනුක ලඟට ගිහින්,
"අනේ දෙවියනේ මට හොඳ ස්වාමි පුරුෂයෙක් ලබා දුන මැනවි" කිව්වා. ඒ පාර ධනුක පැනපු ගමන්,
"ඇයි එකක්? ඉල්ලන්නකෝ දෙකක්" කිව්වා විතරයි මට බකස් ගලා හිනා ගියා.
ඊලඟ විනාඩි දහය විතරම මට ඒකට බැනුම් අහන්න වුණා.
බැනුම් අහන අස්සෙම නේවාසිකාගාර නීති, දේශණ ශාලා නීති, සරසවි පන්සිල් පද පහ, ආදර මාවතේ නීති, පේරාදෙණියේ පුදුම හත වගේ දේවල් මහා ගොඩකුත් අපට පාඩම් කරන්න තිබුණා.
මේ වෙද්දි මාස දෙකක් විතර ගෙවිලා තිබ්බ හන්දා රැග් එක අපට සාමාන්‍ය දෙයක් වෙලා, ජේෂ්ඨයන්ට එපා වෙලයි තිබුණේ මට දැනුනු විදියට.
"දැන් නම් වෙල්කම් එක ලඟ ලඟම් ඇති" අපේ බැච් එකේ ගොක් අය මත පල කලේ එහෙම.

මම තව දවසක අපේ psychology කරන්න තෝරගෙන උන්නු සමීර කියලා ළමයෙක් එක්ක දේශණ ශාලා නීති පාඩම් කර කර ඉද්දි එතනට ආපු ජේෂ්ඨයෙක් අපි දෙන්නටම කතා කලා.
"ප්‍රෙෂා, නම ගම කාඩ් කියමු බලන්න" ජේෂ්ඨයා කිව්වා.
ඔන්න සමීර ඒ ටික කියලා දැම්මා.
"මොනාද ප්‍රෙෂා කරන විෂය?"
"මේ... psychology..ආ..නෑ..මේ"
"psychology?"
"psychology ස්පෙල් කරපං බලන්න"
ඔන්න සමීර එක කිව්වා."පී, එස්, වයි, සී, එච්, ඕ...."
"හරි...උඹ අපට කඩ්ඩ දාන්න නේ. දිගෑරපං අකුරු සේරම" ජේෂ්ඨයා කිව්වේ රවාගෙන.
ඔන්න ඒ පාර සමීර පී අකුර දිගාරිනවා වගේ පෙන්නුවා.
"දාපං උඩ. දාලා කට ඇරලා ගිලපං වැටෙන අකුර" ඒ ජේෂ්ඨයා එහෙම කියද්දි වටේ උන්නු කීප දෙනෙකුත් ආවා එතනට.
සමීර පී අකුර දිගෑරලා උඩ දාලා ගිල්ලා. ඊලඟට එස් අකුර. මෙන්න මෙයා එස් අකුර උඩ දාලා උද බලාගෙන ඉන්නවා.
"මොකෝ ප්‍රෙෂා?"
"ජේෂ්ඨතුමා එස් එක අර මකුලු දැලේ රැඳුනා නේ" සමීර ඇඟට පතට නොදැනී එහෙම කිව්වම ජේෂ්ඨයා තක්බීර් වුණා. මටත් ඇතුලුව වටේ හිටපු සේරටම හිනා ගියා.
"හරි...ඒක වැටෙනකල් අද උඹ මෙතන ඉන්න ඕන තේරුණාද?" එහෙම කියලා අර ජේෂ්ඨයා වුණ ලැජ්ජාව වහගෙන එතනින් මාරු වුණා. 
මමත් ඒ අල්ල පනල්ලේ හෙමීන්ම සෙනග අස්සකට රිංග ගත්තා. කොහොමවුණත් තව විනාඩි පහකට විතර පස්සේ මම දැක්කා සමීරත් ආපහු ඇවිත් බිත්තියකට හේත්තු වෙලා ඉන්නවා.
ඔය වගේ රස නීරස දේවල්ක් ගොඩක් එක්ක දවස් ගෙවිලා යද්දි, මම බලාපොරොත්තු නොවුණු විදියට භූප මා එක්ක හිතවත් වුණා. මොකක් හරි හේතුවකත ඔහු කැම්පස් එකේදි මා දිහාවත් නොබලා ගියාට, සිකුරාදට ගෙදර යද්දි අනිවාර්යෙන්ම කෝච්චියට නම් ආවා. ඒක මට සහනයක් වුණේ, මගේ පොඩි අයියා ලඟින් ඉන්නවා වගේ ආරක්ෂිත බවක් ඔහු ලඟදිත් මට දැනුන හන්දා.
ඒ ආපු හුඟ වෙලාවල ඔහු බොහෝ වෙලාවට කතා කලේ කේතකී ගැන. කේතකී විභාගෙන් සමත් නොවුණු එක ගැන. රැග් එක ගැන, රැග් එකේදි හිත හදාගෙන ඉන්න හැටි ගැන.
"කොච්චර කලත් මුලු අවුරුදු හතරම රැග් කරන්න බෑනෙ. ඕක ඉක්මණටම ඉවර වේවි. ඊට පස්සේ සේරම හරි යයි" භූප වෙලාවක එහෙම කිව්වා.
"හ්ම්...මට  නම් ඒ ගැන ගාණක් නෑ, දන් පදම් වෙලා" මම කිව්වේ ඇත්තටම මට හැඟුණු දේ.
භූප මා දිහා බලලා හිනා වුණා විතරයි.
හැබැයි ඒ කොයිම වෙලාවකවත් භූප එයා ලියපු කවිය ගැන ආපහු කතා කලේ නෑ මා එක්ක. ඔහු තරහා වේවි කියලා මම ඒක අහන්න ගියෙත් නෑ.

"ආ...නංගි බබා කොහොමද?"
එක සෙනසුරාදාවක මම ගෙදර අඹ ගහ යට තිබුණ ඇන්තූරියම් මල් පැල බලමින් ඉන්න වෙලේ එක පාරටම කොහෙන්දෝ පාත් වුණා වගේ ඇවිත් උන්නේ චේතිය. මම ඔහු දිහා බැලුවේ ගැස්සිලා වගේ. මම ඔහුව දැක්කේ කාලෙකට පස්සේ.
"ආ....අද මොකෝ මේ පයින්? කෝ අද ඔයාගේ ලද....මේ ජීප් එක?" මම ඇහුවේ ඔහුගේ වාහනේ පේන්න නොතිබ්බ නිසා.
"ආ...ඒක ගෙදර. මම මේ වෙන දිහාවක ගිහින් එන ගමන්. කෝ අයියණ්ඩි ගෙයි ඉන්නවද?"
වෙනදා ගොඩ වෙලාවට චේතිය එක්කම එන අයියා ඒ සතියේ සිකුරාදම ගෙදර ඇවිත් තිබුණා.
"ඔව් ඔව්. හිටියා. යමු ගෙට" මම චේතියට එහෙම කියාගෙනම ගෙට එන්න ආවා.
"පොඩි අයියා...මේං චේතිය අයියා ඇවිත්" මම සාලේ ඉඳන්ම කෑ ගැහුවා.
"ඔයා වාඩි වෙන්නකෝ, පොඩි අයියා ඒවි" මම එහෙම කියාගෙන ගෙට යද්දී, තුවායකුත් කරේ දමාගෙන පොඩි අයියා සාලේ පැත්තට එන්න ආවා.
"හාලෝ මස්සිනා....ගොඩ බැස්සා එහෙනම් ඈ? කෝ වාහනේ?" පොඩි අයියා එහෙම අහනවා, කුස්සිය දිහාවට යමින් උන්නු මට ඇහුණා.
"කවුද දෝණි ආවේ?" කුස්සියේ කොස් මදුලු වගයක් කපමින් උන්නු අම්මා ඇහුවා.
"චේතිය" මම කිව්වේ කොස් මදුලක් කටේ දාගෙන කේතලේ අතට ගන්න ගමන්, චේතියට තේ හදන්න වතුර රත් වෙන්න තියන්න.
"ආ...ඒ ළමයා මේ නවසීලන්තෙද කොහෙද ගියා කිව්වා නේද?" අම්මා මගෙන් ඇහුවා.
"අනේ මම දන්නෑ. එහෙම ගියාලුද? මට මතකයක් නෑ අම්ම"
"මට පොඩි පුතා කිව්වා වගේ මතකයි...දෝණි, අනේ හොඳ ළමයා වගේ, ඔය කේතලේ ලිප තියලා ගිහින් කෝප්ප කොල මිටකුයි, ජපන් බටු කොල මිටකුයි, වැල් කොහිල දලු පොඩ්ඩකුයි කඩාගෙන එන්න කලවම් මැල්ලුමක් හදන්න. චේතිය පුතා කැමතියි ඒවට"
අම්මා එහෙම කිව්වමට මට පොඩි හිනාවකුත් ගියා. අම්මා කොහොමත් චේතිය කැමති මොනවද කියලා හොඳටම දැනගෙන උන්නු එකේ අරුමයක් නෑ. මොකද මේ යකා අවුරුද්දෙන් බාගයක්ම උන්නෙ ආපේ ගෙදර හන්දා. හැම්දාම එද්දි එක්කෝ චිකන්, නැත්තම් සොසේජස්, බැරිම නම් බිත්තර දුසිමක් වත් අරන් ඇවිත් ඒක උයලා, බැදලා දෙන්න කරදර නොකරපු දවසක් මට නම් මතක නෑ.
"කොහොමද දුලාරා රැග් එක? නැගලා යනවලු නේද?"
මම තේ අරගෙන සාලෙට යද්දි, මාව දැකපු ගමන් චේතිය ඇහුවේ එහෙම.
"රැග් එක?"මම අහන්න ගිය දේ ඇහුවේ පොඩි අයියා."මෙයා අපට එහෙම මොනවත් ගැන කියලා නෑනෙ"
"කියන්න දෙයක් තියෙන්න එපැයි" මම මුකුත් නොදන්න ගාණට කිව්වා.
"නැත්තේ මොකද? මගේ අර මලයා කිව්වා කට්ටියට අම්බානක රැග් කරන්වා කියලා" චේතිය කිව්වා.
"ඇත්තද නංගි?" පොඩි අයියා ඇහුවේ ඇස් දෙක පොඩි කරලා.
"එහෙම මහා ලොකු දෙයක් නම් වුණේ නෑ. අපි මේ එක එක්කෙනා අඳුන ගන්න එක තමා කලේ. අනික වෙන වැඩ නැතුවයි" මම බොහොම නිර්භීත විදිහට බොරුවක් කිව්වා.
මම ගෙදරටවත්, අයියලාටවත් මුකුත්ම නොකිව්වේ එයාගේ හිත් රිදෙන වග මම දන්න නිසා. එහේ වෙන දේවල් දැන ගත්තොත් අම්මයි තාත්තයි මුලු සතියෙම හූල්ල හූල්ල ඉන්න වග මම දැනගෙන හිටියා. අනික අයියට තියෙන තදියමට ඇවිත් අපේ ජේෂ්ඨ්යෙක්ට සද්දයක් හෙම දැම්මොත් කියලා බයකුත් මගේ හිතේ තිබුණා.
"කවුරු හරි වැඩිපුර පාට් දාන්න ආවොත් අපට කියන්න. ඒ පැත්තේ ඕන දෙයක් මට බලාගත්තැකි" චේතිය කිව්වා.
"අනේ මේ...ඔය තරම්ම උණ නම් අර ජිම් එකකට ගිහිං පොඩ්ඩක් ඇඟ බස්සගන්න්කෝ. නිකං තේරුමක් නැති දේවල් නොකියා" මම එහෙම කියාගෙන එන්න ආවා.
මම එතන හිටියා නම් පොඩි අයියා තව මොනාහරි අහලා මගෙන් සේරම දැනගන්නවා සිකුරුයි.

"දුලාරා..."  කුස්සියට වෙලා තේ හදපු කෝප්ප සෝදමින් මම ඉන්න අතරේ, කුස්සියේ දොරෙන් හදිසියේම එබුණු චේතිය මට කතා කලා.
"ආ...ඇයි අයියා, මොනවා හරි ඕනද?" මම ඔහු දිහා යන්තමට බලලා ආපහු හෝදන වැඩේට යොමු වුණා.
"මට මොනවත් ඕන නෑ. ඔයාට දෙයක් දෙන්නයි කතා කලේ" චේතිය කිව්වා.
"මට?" මම ආපහු ඔහු දිහාට හැරුණා. මෙවෙලේ අම්මා කුස්සියේ උන්නේ නෑ. කොච්චි මිරිස් කඩන්න වත්ත පිටිපස්සට ගිහින්.
"එන්නකෝ ඉතිං පෙන්නන්න" එහෙම කියාගෙන ආපහු සාලේ දිහාවට ගිය චේතිය පස්සෙන් මාත් ඇදුනේ කුතුහලය හන්දමයි.
"මෙන්න මේක ඔයාට...මම Newzealand ගිහින් එද්දි එහෙන් අරන් ආවෙ"  එහෙම කියලා ඔහු මගේ අතට පොඩි පෙට්ටියක් දුන්න. ඒක මෙරූන් පාට, උඩ පියනේ හැඩ කරපු ටී අකුරක් ගහපු පෙට්ටියක්. මම ඒක ඇරලා බලද්දි මගේ ඇස් උඩ ගියේ ඉබේටම. ඒකේ ඇතුලේ දිලිසි දිලිසි  තිබුණේ ලස්සන ඔරලෝසුවක්. ඒකේ මූණත වටේ දාරෙයි, මූණත පටියට හයි වෙන ගාංචු දෙකයි රත්තරන් පාටයි. අත් පටිය තනි රිදී පාට පැතලි, සුමුදු පටියක්. ඒක දැක්ක ගමන් මට හිතුණේ ඒක ගොඩක්ම වටින එකක් වෙන්න ඇති කියලා.
"ඔයා කැමතිද මේකට?" චේතිය ඇහුවා.
"අනේ ඔව්....මේක...මේක හරිම ලස්සනයි. තෑන්ක් යූ චේතිය අයියා" මම කිව්වා.
කාමරේ හිටපු පොඩි අයියත් අලුත්ම ඇඳුමක් ඇඳගෙන අපි උන්නු තැනට ආවේ මෙවෙලේ.
"මේ මොකක්ද මේ?" ඔහු ඇහුවේ මගේ අතේ තියෙන පෙට්ටිය දැකලා. ඊට පස්සේ ඔහුගෙත් ඇස් උඩ ගියා.
"අඩේ මේක Titan එකක් නේද?යකෝ...උඹට පිස්සුද බං? ඇයි මෙච්චර වියදම් කලේ?"
අයියා හැඟීම්බරව වගේ එහෙම කියද්දි මට දැනුන එකම දේ, මගේ අතේ තියෙන ඔරලෝසුව එසේ මෙසේ එකක් වෙන්න බෑ කියලා.
"වටින අයට වටින දේවල් දෙන්න එපැයි නේද දුලාරා?" චේතිය කිව්වේ මා දිහා බලලා.
මට පොඩි අයියා දිහා බැලුණා.
"උඹ නම් සිරාවටම ගාණට වැඩියි බං..." අයියා චේතියට කිව්වා.
"ඕක මොකක්ද බං...හැමදාම තෑගි දෙන්නෑනෙ"
ඒ දෙන්නා එහෙම කතා කරමින් හිටිද්දි මම ආයෙම චේතියට ස්තුති කරලා කාමරේට එන්න ආවා. හිතේ තිබුණේ මොකක්දෝ දෙගිඩියාවක්. මේ ඔරලෝසුව ජීවිතේ තවත් මංසලකට මාව ගෙනැත් නතර කරපු වග ඒත් ඒ හිත හරියටම දැනගෙන උන්නේ නෑ.

2 comments:

  1. චේතිය එන පොට හොද නා දුලාරා කෙල්ල ගෙට ගනින් හිකි හිකි
    භූප කොලුවට බුට් වෙයිද :/ (රැග් එක ගැන කියපු කිසි මෙලෝ දෙයක් මටනම් තේරුනේ න අෆ්ෆා :( _

    එලස් අහ්හ් කතාව

    ReplyDelete
  2. මට විශ්වාස කරන්න අමාරු, තාමත් ගොඩක් බ්ලොග් වල රැග් එක හෙන සිරා දෙයක් කියල උලුප්පවල පෙන්නන එක... ඔයාලට හිතෙන්නෙ නැද්ද ඕක එක්තරා කොටසක් තමන්ගෙ මානසික අසහනය නැති කරගන්න කරන වැඩක් බව? ජීවිතේට කුණුහරපයක් කියල, බැනුම් අහල නැති උන්/එකියන් කැම්පස් ඇවිත් බැනුම් අහන්න, කුණුහරප කියන්න පටන් ගන්නවා... කට්ටියගෙ එකමුතු කම හැදෙන්න රැග් වෙන්නම ඕනෙ නැහැ... තව ගොඩක් දේවල් තියෙනව කරන්න... කැම්පස් එකක් කියන්නෙ එක එක විදිහෙ අය එන තැනක්... ඒ ඒ අයට ඒ ඒ විදිහට ඉන්න දුන්න නම්, කවුරුත් තමන්ගේ වැඩේ කරගෙන හොඳින් ඉඳීවි..

    ReplyDelete