Saturday, June 29, 2013

හයවන කොටස



"ඒයි ප්‍රෙෂී..."පොදු කාමරයේ පෝලිමේ හිටගෙන බිම බලාගෙන ඉන්න වෙලාවක එතනට ආපු ජේෂ්ඨයෙක් මට කතා කලා. මම ටිකක් විතර ගැස්සුනත්, හිත තද කරගෙන හිස උස්සලා බැලුවා. මෙච්චර වෙලා විවිධ අයගෙන්  නිස්කාරනේ බැනුම් අහමින් හිටපු මගේ ඉවසීම දැන් අන්තිම සීමාවටත් ලඟා වෙලයි තිබුණේ. මම හිස උස්සලා බලද්දි මගේ ලඟ හිටියේ මම මීට කලින් නොදැකපු කෙනෙක්. 
"මොකක්ද නම?" මනාව සකසපු රැවුලක් තිබුණ, උස පුද්ගලයෙකු වුණු ඔහු මා දිහාට තද බැල්මක් හෙලලා ඇහුවා.
"දු...දුලාරා ජේෂ්ඨතුමා..." මම ඔහුගේ දෑස් මගෑරලා අහක බලාගෙන කිව්වා.
"මොකක්? දුලාරා ජේෂ්ඨතුමා. ඒක යකාගේ නමක්නේ! ඒයි ජේෂ්ඨතුමා මෙහේ එන්නකෝ. මේන් මෙතන ෂෝක් නමක් තියෙන ප්‍රෙෂියෙක් ඉන්නවා" ඔහු එහෙම කියලා තව කාටදෝ අඬගැහුවා. මත හිනා යන්න ආවත්, බැනුම් ඇහීමේ කෙලවරක් නැති වෙන හන්දා මම තොල හපාගෙන ආයෙම බිම බලා ගත්තා.
"ප්‍රෙෂී මෙන්න මේ ජේෂ්ඨයා කියනව බලන්න නම"
මම ආයෙම හිස උස්සලා බලද්දී එතන උන්නේ භූප. ඔහු මා දිහා නොබලා අහක බලාගෙනයි උන්නේ. මොකක්දෝ හේතුවකට හිතට පිවිසුනේ සියුම් දුකක්.
"ප්‍රෙෂී මේ ජේෂ්ඨයව දන්නවද?" කලින් මට කතා කරපු ජේෂ්ටයා ඇහුවා.
භූප ආයෙම මා දිහා බලද්දී, මගේ දෑ තිබුණේ කඳුලු වලින් බොඳ වෙලා. ඒ පාර ඔහු මා දිහා මොහොතක් බලාගෙන උන්නේ ගල් ගැහිලා වගේ.
"මං කියපු එක ඇහුන්නැද්ද ප්‍රෙෂී?"
ඒ පාර භූපගේ යාලුවා ඇහුවේ සැරෙන්. මම 'ඔව්' කියලා හිස වැනුවා.
"ආ...ප්‍රෙෂී එහෙනම් ජේෂ්ඨයන්වත් දන්නවනේ..." ඔහු ඇදලා පැදලා කියද්දී භූප නොසන්සුන් වෙනවා මට පෙනුනා.
"ජේෂ්ඨතුමා අපි යමු" භූප ඔහුගේ මිතුරා දිහාට හැරිලා කිව්වා.
"ඉන්නකෝ, ඉන්නකෝ ටිකක්. ඔබතුමාව දන්නේ කොහොමද කියලා අහගන්න" භූප කියන දේ අහන්න ඔහු ලෑස්ති වුණේ නෑ.
"ජේෂ්ඨතුමා අපි යමු" භූප ඒ පාර කිව්වේ තරමක් තදින් වගේ. .
"හරි හරි. ඔච්චරම කියන්වනම් අපි යමුකෝ. හැබැයි මම ආපහු එනවා ප්‍රෙෂී ඈ..." එහෙම කියන මිතුවත් ඇදගෙන භූප යන්න ගිය.
මට සැනසුම් සුසුමක් හෙලුනේ එයාලා එතනින් ගියාට පස්සේ. ඒත් ඒක එතනින් ඉවර වුණේ නෑ ඊලඟ මොහොතේ මං ඉස්සරහ පෙනී හිටියේ ගොඩක්ම නපුරු කියලා නම ගිය ජේෂ්ඨ සිසුවෙක්. ඔහුට අපි 'යකා ජේෂ්ඨයා' කියලා අනවර්ත නමකුත් පටබැඳලා තිබුණේ ඒ නපුරු කම හින්දමයි.
"ඒයි ප්‍රෙෂී...උඹ හේදෙනවනේ..." එහෙම පටන් ගත්තු බැනුම් පෙල, තව තව දරුණු වුණේ ගල් වරුසාවක් වගේ. ඔහු මට කොච්චර බැන්නද කිව්වොත් අන්තිමට මම උන්නේ අඬමින්.
"ආයෙම හේදුනොත්, මම බලා ගන්නම්" ඔහු යන්න ගියේ එහෙම කියාගෙන.
"ප්‍රෙෂී...ප්‍රෙෂී.. මේ බලන්න" මම පැත්තකට වෙලා අඬමින් ඉන්දැද්දි මගේ ලඟට ආපු ජේෂ්ඨ සිසුවියෝ දෙන්නෙක් මාව ඇමතුවත්, මම ඒ අය දිහාවත් බලන්න ගියේ නැහැ.
"ප්‍රෙෂී දැන් අඬන්න එපා. ආයෙම ඔය ලොකු සීනියර්ස්ලා කතා කලාම මගෑරලා ඉන්නකෝ. එතකොට හරි. කෝ මේ ලේන්සුව අරන් කඳුලු පිහ ගන්න" එයින් එක්කෙනෙක් මගේ දිහාට ලේන්සුවක් දික් කරලා කිව්වා.
මම ඒක අතටවත් නොගෙන පිටි අල්ලෙන් කඳුලු පිහ ගත්තා. මගේ හිතේ තිබුණේ සකල ජේෂ්ඨයෝ වෙනුවෙන්ම ඉපදුනු තරහක්.

"ඒකා නම් මහා එපා කරපු එකෙක්. මට පේන්න බෑ. කොයි වෙලේ කාට බනින්නද කියලා ඉන්නේ. යක්ෂය" චතුරි හවස බෝඩිමට ඇවිත් ඇති තරම් බැන වැදුනා.
මම එතකොටත් උන්නේ දවල් වුණ සිද්ධිය හන්දා පෑරුණ හිතින්.
"ඔයා ඕවා ගණන් ගන්න එපා දුලාරා. ඔය යකා මට හැමදාම උදේට බනිනවා" අපේ අල්ලපු කාමරයේ ඉඳලා මෙවෙලේ අපේ කාමරයට ඇවිත් හිටපු නිලීකා කිව්වා.
"මිනිහට මූලග්ගින්නද කොහෙද. අපි හරියට කතා කරගෙන හේදෙනවා වගේ කියන්නේ" නිලීකාගේ කාමරයේ හිටපු අනෙක් යෙහෙලිය වුණු සුජානි ත් කිව්වා.
"මොනා කිව්වත්, ඔයා අඬන්න එපා මීට පස්සේ. අපි අඬද්දී තව වැඩියි කරදර" නිලීකා ආයෙම මට කිව්වා.
මට සුසුමක් හෙලුණේ ඉබේටම. කොහොමහරි කාගෙන ඉන්නවා කියලා හිතේ එකතු කර ගත්තු ධෛර්යය තුනී වෙලා යන්වා වගේ මට දැනෙමින් තිබුණා. ආයෙම ගෙදර යන දවස ඉක්මණින්ම එල්ඹේවා කියලා හිතමින් මම කැලැන්ඩරය දිහා බැලුවා. මහේ යෙහෙලියෝ නම් තවමත් අවලාද කියමින් ඉන්නවා ඒ අතරේ මට ඇහුණා. සිකුරාදා වෙන්න තව දවස් දෙකක් ඉතිරි වෙලා තිබුණා.
       
"මීරිගම ටිකට් එකක් දෙන්න..." සිකුරාදා හවස තුනහමාර වෙද්දි  මම හිටියේ සරාසවි උයන station එකේ. තුනයි හතලිස්පහට එතනින් යන කොළඹ කෝච්චියේ ගෙදර යන්න. මම කෝච්චිය එනකල් වාඩි වෙලා ඉන්න අතරේ මට ඒ දවසෙ වුණ දේවල් මතක් වුණා. තුන හමාරට ගෙදර යන්න අවසර ගත්තෙත් හරිම අමාරුවෙන්. ගෙවල් දුර නොවෙන හන්දා නිලීකලට නම් මට ලැබුණ අවසරය ලැබුණේ නෑ.
ඒ දවසේ නම් අපට වැඩිපුර බැනුම් අහන්න වුණේ නෑ. සිංදු කියන්නයි, වෙන වෙන හිනා යන වැඩ කරන්නයි තිබුණ හන්දා ඒ දවසේ මගේ හිතේ  ඒ තරම් කැලඹීමක් තිබුණේ නැහැ. කල්පනාවෙම උන්නු හන්දා මට එහා පැත්තෙන් කෙනෙක් ඇවිත් වාඩි වුණ වගවත් මට නොදැනුන තරම්.
"දුලාරා..." තවත් විනාඩියකට විතර පස්සේ මට ඇහුණේ වෙන කාගෙවත් නෙවෙයි භූපගේ කට හඬ. මම ඔහු දිහාට හැරුණේ ගැස්සිලා වගේ.
"භූප?"
ඔහු මා දිහා බලලා හිණාවුණේ අපහසුවෙන් වගේ.
"ඔයා බය වුණාද?" ඔහු ඉන්පස්සේ ඇහුවා.
"නෑ" මම එහෙම කියද්දි, කෝච්චිය දැන් එන වග නිවේදනය කලා station එකෙන්.
"ඔයත් අද ගෙදර යනවද?" මම ඇහුවේ ඉඳගෙන උන්නු තැනින් නැගිටලා වේදිකාවේ ඉස්සරහට එන ගමන්.
"හ්ම්..." ඔහුත් බෑග් එක අරගෙන මා එක්කම එමින් කිව්වා.
මම වටපිට බැලුවේ බැරි වෙලාවත් සීනියර් කෙනෙක් ඉන්නවද කියලයි. ඒ කොහොම වුණත් භූප ඉන්න එක හන්දා සිතට දැනුනේ අස්වැසිල්ලක්.
"කෝච්චිය එනවා...හැබැයි හිටගෙන තමා යන්න වෙන්නේ" භූප එහෙම කිව්වේ, station එකෙත් තරමක් සෙනග උන්නු නිස වෙන්න ඇති.
"කමක් නෑ. පැය දෙකක් යයි නේ වැඩිම"
"බලමුකෝ...කලබල නොවී නගින්න හොඳේ" භූප මට එහෙම කියලා ඈත එන කෝච්චිය දිහාවට ඇස් හැරෙව්වා.
දුම් රිය වේදිකාවෙ හිටපු මිනිස්සු සේරම කෝච්චියට නගින්න, ඒ එක්ක දුවන්න සැදී පැහැදී බලාගෙන හිටියා. අන්තිමේදි කෝච්චිය නැවැත්තුවාම මමයි, භූපයි අමාරුවෙන් ඒකට නැග ගත්තා.
කෝච්චියේ සෙනග ඉන්න වග පෙනි පෙනීත සමහර මිනිස්සු සීට් හොය හොය පිස්සුවෙන් වගේ එහාට මෙහාට ගියේ ඇයිද කියලා මට නම් හිතාගන්න බැරි වුණා. මොකද හිටගෙනත් සෑහෙන පිරිසක් ඒකේ හිටියනේ.
අවුරුදු ගාණක් කෝච්චියේ ගිහිල්ල පුරුද්දට අපි දෙන්නම හිටගත්තේ දොර ලඟ. බෑග් එක බිමින් තියලා, පෙට්ටියට හේත්තු වුණාම දැනුනේ දැන්මම ගෙදර ගියා වගේ හැඟීමක්. මට ඉස්සරහින් පෙට්ටියට හේත්තු වෙලා උන්නු භූප මා දිහා බලලා යන්තම් හිනා වුණා.
"එදා...අර මම තව කෙනෙක් එක්ක ඇවිත් කතාබහක් වුන දවසේ ඔයාට ගොඩක් බැනුම් අහන්න වුණාලු නේද?" මොහොතක් දෙකක් නිහඬව හිටපු ඔහු එහෙම ඇහුවා. ඔන්න කෝච්චියත් යන්න පටන් ගත්තා. භූප අහපු එකට මම කලේ ඉවත බලාගෙන සුසුමක් හෙලපු එක.
"මම දැක්කා ඔයා අඬනවා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ දුලාරා. අපේ බැච් එක නෙවෙයි නේ. ඒ නිසා ඒවට ඔලුව දාන්න විදිහක් නෑ. දන්නවනේ ඊට පස්සේ වෙන වෙන ප්‍රශ්ණ ඇති වෙනවා" ඔහු කිව්වේ සේරම වැරදි ඔහුගේ පිටම පටවගෙන වගේ.
"ඔයාට ඒකට කරන්න දෙයක් නෑ කියලා මම දන්නවා භූප. ඔයා හිතේ අමාරුවක් හදා ගන්න එපා" මම ඔහු දෙස නොබලම කිව්වා.
"ඔයාට මේක අමාරු නම් ඔයා මේකට නෑවිත් ඉන්න දුලාරා" ආයෙම මොහොතක් නිහඬව උන්නු ඔහු එහෙම කිව්වා.
කෝච්චිය පේරාදෙනිය දුම් රිය ස්ථානයේ නැවැත්තුවාම, අපි දෙන්නා මැදින් සෙනග ගොඩාරියක් කෝච්චියට නැග්ගා. අන්තිමේදි ඔහුව මට පෙනුන වෙලාවේ මම ඒ මූණේ දැක්කේ විඩාබර පෙනුමක්. මූණ පුර වැවුණු රැවුලයි, මුදු මුදු වගේ කැරලි ගැහුණු හිසකේයි තවත් දික් වෙලාදෝ කියලා මට හිතුණා. භූපගේ නිදිබර ඇස් දෙක තිබුණ මං දිහාට යොමු වෙලා.
"ඇයි ඔයාම නේද දවසක් කිව්වේ රැග් නොවුණොත් වැඩක්  නෑ කියලා?" මම ඒ ඇස් දිහා බලාගෙන ඇහුවා.
"රැග් වෙන්වා කියන්නේ, කාගෙන්වත් බැනුම් අහලා අඬන එක නෙවෙයි. ඒක එහෙම වෙන එක වැරදියි"
"අනේ මන්දන්නෑ. මට නම් රැග් එක ඔය නොවෙනවා කියපු එකම විතරයි. උදේ හිටන් අපි කරන්නේ බැනුම් අහන එක මිසක වෙන මොකක්ද?" මම කිව්වේ උපහාසෙන් වගේ.
"ඔයාට බැරි නම් අල වෙන්න. දැන් වුනත් පුලුවන්" භූප ආයෙම කීවේ නො ඉවසිල්ලෙන් වගේ.
"ඇයි? ඇයි මට අල වෙන්න කියන්නේ?"
භූප එවෙලේ මගේ නෙත් මගෑරලා ඉවත බලාගෙන කතා කරන්න වුණා.
"ඔයා අඬද්දී මට දුක හිතුණා දුලාරා. මට මතක් වුණේ මගේ නංඟිව. ඔයත් මට ඒ වගේ. මම ඔයා දන්නේ පොඩි කාලේ ඉඳලා. එහෙමත් වෙලා ඔයා නිස්කාරණේ අපි හන්දා බැනුම් අහලා අඬද්දී මට දුක හිතුණා. ඒකයි"
ඔහු එහෙම කිව්වම මට ඔහු ගැන දැනුනේ මොකක්දෝ විදිහක සෙනෙහසක්. ඒ හැඟීමෙන්ම මම ඔහු දිහා බලලා හිනාවුණා.
"මම දුලිතට කිව්වා, ඔයාව බලාගන්නවා කියලා. ඒත් මට ඒක කරන්න බැරි වුණා"
"ඒ ගැන වැඩිය හිතන්න එපා භූප. රැග් එක හැමදාම තියෙන්නේ නෑනෙ. ඒකත් ඉවර වෙන්න එපැයි. කොහොමටත් අල වෙලා, මට රැග් එක දරන්න බෑ කියලා අර යක්ෂ ජේෂ්ඨයට පෙන්නන්න මට ඕන නෑ. මම කොහොමහරි ඉවසගෙන ඉන්නවා" මම කිව්වේ අධිෂ්ඨානශීලීව.
"අයියා වගේම නංඟිත් චන්ඩි නැතෑ නේද?" භූප මට එහෙම කියලා හිනා වෙද්දි මමත් ඔහු එක්ක එකතු වෙලා හිණා වුණා.
කොච්චිය හෙමි හෙමින් කොළඹ දිහාවට ඇදිලා යද්දි, අපි එක එක වල් පල් කියෝ කියෝ, රැග් එක ගැන මත පල කර කර උන්නා. එවෙලෙත් භූප මට තවත් එක අඳුනන කෙනෙක් වුණා විතරයි. ඒ අඳුනන කම් ජීවිතේ කොටසක් වේවි කියලා එවෙලේ නම් මම කොහොමටවත් හිතුවේ නැහැ.
භූප එදා යන්න ගියේ මාව ගෙදරට ඇරලවලාමයි. එවෙලේ එතරම්ම රෑ වෙලා නොතිබුණත් භූප් මා එක්ක ගෙදරටම ආවා.  ඒත් අම්මයි, පොඩි අයියයි ටිකක් ඉඳලා යන්න කියලාපෙරැත්ත කරද්දිත්, ඔහු යන්න ලෑස්ති වුණේ තේ එකක් වත් බොන්න නො ඉඳ.
"ඉනාවක් දාලා දෙයි කියලා වෙන්න ඇති අම්මා" මම එහෙම කිව්වේ යන්න එලියට බැහැලා උන්නු භූප දිහා බලලා.
"එහෙම දෙයක් නෙවෙයි. මට පොඩි වැඩක් තියෙනවා ගිහින් කරන්න. අදම මගේ ගෲපොන්ට දන්න ඕන හෙට වැඩේ පටන් ගන්න. ඒකයි" භූප කිව්වා.
"ඉතිං බං උඹ අපරාදෙනේ එහෙනම් ගෙදර ආවේ" පොඩි අයියා කිව්වේ විහිලුවට වගේ.
ඒ පාර භූප යන්තමට මා දිහාත් බලලා පොඩි අයියට හිනාවක් පෑව.
"එන්න හේතුවක් තියෙද්දි, ඉන්න හිත දුන්නේ නෑ බං. ඉස්සරහට වැඩ වැඩි වෙන හන්දා ගෙදර එන්න තියෙන කාලේ අඩු වෙන්න පුලුවන්. ඒකයි"
"හා හරි හරි. පලයංකෝ. මම හෙට හවසට ඒ පැත්තේ එන්නම්. හෙට අරූත් එනවා. මේ අපේ චේතිය. මම ඌත් එක්ක එන්නම්" පොඩි අයියා කිව්වා.
හිස වනපු භූප යන්න හදද්දි මම ආයෙම ඔහුව ඇමතුවා.
"කේතකීට කියන්න මාත් හෙට එනවා කියලා"
"හරි ඕ කේ"

1 comment:

  1. මාතෘකාව දාද්දි කතාවේ නමත් එක්ක පෝස්ටුවට මාතෘකාව දාන්න..අන්තිමට මේ කතාවේ නම අමතක වෙනවා නැත්නම්..

    ReplyDelete