Tuesday, June 25, 2013

හතරවන කොටස



"දෝණි, මෙන්න මේ රොටි ටික අර ළමයින්ට දීලා එන්නකෝ. මම තේ හදනකල්"
කුස්සියේ හිරමණ බංකුව උඩ වාඩි වී 'හරි පුදුම ඉස්කෝලෙ' පොත කියවමින් හිටපු මට අම්මා කිව්වා.
මම කුස්සියට වෙලා හිටියේ ගෙදර ඉස්සරහ සාලෙය්, කෑම කාමරෙයි පොඩි අයියගේ යාලුවෝ රැලක් ඇවිත් මොකක්දෝ පැවරුමක් කරන්න අරක්ගෙන හිටපු හන්දා. පැවරුම කරනවට වඩා කතා කර කර හිටපු ඒ අයගේ සද්දේ, හිටපු ගමන් ඉවසන්න බැරි තරම් වැඩි වුණත්, මෙවෙලේ නම් කිසීම සද්දයක් ඒ පැත්තෙන් ඇහුණේ නෑ.
මම රොටී පිඟානත් අරගෙන සාලයට යද්දි තුන් හතර දෙනා එක් එක් තැන්වල වාඩි වෙලා, ලැප්ටොප් වලට එබීගෙන මොන මොනවාදෝ ඒවායේ කොටමින් තැන්පත් භාවයකට පත්වෙලා හිටියා. පුදුමය වූණේ දුම් දම රොටී යි කටදන සුලු ලුණුමිරිස පවා ඒ අයගේ අවධානය දිනා ගන්න සමත් නොවුණ එකයි. වෙනදට නම් මේ අය කෑමට පොර කන්නේ මාවත් පෙරලගෙන.
"තියලා යන්න. අපි කන්නම්" වැඩ කිරීම නොනවත්වාම පොඩි අයියා මට එහෙම කිව්වා. ඔහු අසල හිටපු චේතිය  මට මදහසක් පාලා 'තෑන්ක් යූ' කිව්වා. මම ඒ අයගේ වැඩ වලට බාධාවක් නොවෙන විදියට හෙමින්ම එතනින් එන්න එද්දි, ඇරලා තිබ්බ ඉස්සරහ දොරෙන් ඇතුලට ආවේ සෙනුරි අක්කා.
ඇය රස්සාව විදිහට කලේ පෙර පාසලක උගන්නපු එක. ඒක අයිතිත් සෙනුරි අක්කගේ තාත්තටමයි.
"කෝ දුලා අම්මා?" ඈ පුරුදු විදිහට ගෙට ඇතුලු වූණේ එහෙම අහගෙන. ගේ ඇතුලේ උන්නු ජනකාය ඈ දැක්කේ පස්සේ.
"ආ....මේ කවුද මේ? ස්ලිට් එක මෙහාට ගෙනත්ද?" ඉන්පසු උරහිස හකුලලා හිනාවුණු ඇය ඇහුවේ රහසින් වගේ.
"ඒ වගේ තමයි. project එකක වැඩ. අපි යමු කුස්සියට"
මමත් රහසින්ම එහෙම කියාගන ඈවත් ඇදගෙන කුස්සියට එන්න ආවා.
"මං බැලුවා කවුද කියලා" සෙනුරි අක්කා හිඳගන්නට තැනක් සොයද්දී තේ හදමින් උන්නු අම්මා අපි දිහාට හැරිලා කිව්වා.
"හොඳ රොටි සුවඳක් එන්නේ. අද දවල්ට රොටිද කන්නේ?" අන්තිමේදි කුස්සියේ තිබූ කොට බංකුවක වාඩි වෙමින් සෙනුරි අක්කා ඇහුවා.
"ඔව් ඉතිං, බැඳපු අයියලයි, නෝනලයි, පොඩි අයියගේ බඩගිනි හමුදාවයි සේරම ඉද්දි, අපට රොටි තමා කන්න වෙන්නේ. මෙහෙම ගියොත් දවල්ට රොටීවත් නැති වෙනවා හැබැයි" මම විහිලුවට එහෙම කිව්වත්, මම කියපු එකට අම්මාට නම් හිනා ගියේ නඈ.
"ළමයෝ කන බොන ඒවට ඔහොම කියන්න එපා" මට තරවටු කරපු අම්මා තේ කෝප්ප දොලහක් විතර තියපු බන්දේසියත් අරගෙන සාලේ දිහාට ගියා.
"හා...දැන් අපේ කෑම තම ලොකු. මෙයා ගිහින් අපේ ගෙදර fridge එක සුද්ද කරලා එන එක හරි" සෙනුරි අක්කා කිව්වේ හිස වනන ගමන්.
"හරි හරි ඉතිං සුදා. එහෙම තමා එව්වා. විහිලුවක්නේ කලේ මම. මේ...ඒකෙන් කමක් නෑ, ඊයේ හදපු පොලොස් වගයක් තියෙනවා. ඕනද රොටි කන්න?"
මම හිනැහෙමින් ඇහුවා.
"පොලොස්! ෂා...නියමයි නේ. ගන්න ගන්න"
මම අක්කට පොලොස් මාලුවයි, පුච්චපු රොටී කීපයකුත් දුන්නා. මම තරම්ම බඩජාරියෙකු වෙච්චි ඈත් එක්ක මම උණු උණු රොටි කන්න පටන් ගත්තා.
උස, සුදු, හීනි, ලස්සන කෙනෙක් වෙච්ච සෙනුරි අක්කා, ලොකු අයියාගේ ප්‍රථම් සහ, දීර්ඝකාලින පෙම්වතිය වෙලා අවුරුදු අටක් හිටිය. ඒ දෙන්නා විවාහ වුණේ ඊට පස්සේ. ඉස්කෝලේ කාලේ පටන් ගත්තු ඒ ප්‍රේම වෘතාන්තය, ඒ කාලේ මුලු පාසලත්, ගමත් දැනගෙන හිටපු, අපේ ගෙදර ඇත්තෝ විතරක් නොදැන හිටපු ප්‍රසිද්ධ රහසක් වුණා. කවදත් කීකරු, අම්මාගෙයි තාත්තාගෙයි 'හොඳ පුතා' වූණු ලොකු අයියාට දැනගත්තට පස්සේ වුණත් ගෙදරින් තහනමක් පැනවුනේ නෑ. එනිසාම ගෙවල් දෙකේම ආශීර්වාදය මැද විවාහ වෙන්න තරම් ඒ දෙන්නා වාසනාවන්ත වුණා. කාලාන්තරයක් තිස්සේ දැනගෙන හිටපු ඈයම මගේ නෑනා වුණු එක මට සතුටක් වගේම, මගේ තනියටත් පිලියමක් වුණා. ගොඩ වෙලාවට අක්කා අපේ ගෙදර නො එන දාට මම කල් ගෙව්වේ ලොකු අයියාගේ ගෙදර.

"තාම අරහෙන් ලියුම ආවේ නැද්ද දුලා?" හෙමි හෙමින් රොටි කමින් සෙනුරි අක්කා ඇහුවා.
"ම්හු. තාම නෑ. කියන්නේ නම් මාස හතරක් ඇතුලත ගන්නවා කියලා. බලමුකෝ. තව කල් තියෙනවනේ" මම කිව්වා.
"දුමාල් නම් කියනවා ආට් කරලා ඉතිං ලොකු දෙයක් කරන්න බෑනෙ කියලා"
ඇය එහෙම කිව්වම ලොකු අයියා ගැන මහිතේ ඇති වුණේ නොරිස්සුමක්.
"අනේ...එයා කියන්නේ මේ ලෝකේ සේරම කොමස් කරන්න ඕන කියලද? මම ආට් කරේ මට සයිකොලොජි කරන්න ඕන නිසයි. මම ඒකට ආසයි. අයියට පිස්සු"
"ඒක තමයි මාත් කිව්වේ. ඔයා ඒ තුනක් ගත්තු එක කොච්චර ලොකු දෙයක්ද කියලා. ඒක ගැන නම් හැබැයි එයාට ගොඩක් සතුටුයි"
සෙනුරි අක්කා අන්තිමට එහෙමත් කිව්වා. එවෙලේ නම් මට හිනාවක් නැගුණා. ඒ විශ්ව විද්‍යාලේ යන එක මතක්වෙලා. ඒ දවස ඉක්මණින් උදා වෙනවා නම් හොඳයි කියලා මට හිතුණා.
කොහොමහරි විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ ලියමන ආවේ ඊටත් මාසෙකට විතර පස්සේ. එක සෙනසුරාදා දිනෙක මුලු දවසම සෙනුරි අක්කාලගෙයි, කේතකීගෙයි  ගෙවල් වල ගත කරලා එද්දි, තාත්තායි අම්මයි ගුප්ත සිනාවකින් යුතුව මාව පිලිගනිද්දී මම පොඩ්ඩක් අන්ද මන්ද වුණා. පොඩි අයියා කොහේවත් පෙනෙන්න හිටියෙත් නැහැ.
"ඇයි තාත්තා? මොකෝ මේ දෙන්නම හිනා වෙන්නේ?" මම ඇහුවේ කුතුහලෙන්.
"බලන්නකෝ මේසේ උඩ ගිහින්" තාත්තා කිව්වේ එච්චරයි.මේසේ උඩ තිබුණේ  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලාංඡනය තිබුණ ලියුම් කවරයක්. ඒක ඇතුලේ ඇත්තේ මොකක්ද කියලා සිතා ගන්නට මට අපහසු වුණේ නෑ.
"congratulations නෝනා" මගේ පිටිපස්සේන් ඇවිත් උන්නු තාත්තා කියද්දී මම ලියුම දිග නෑරම අතට අරගෙන ඔහු වෙත පැනලා තුරුලු වූණා.
"රත්නත්තරේ පිහිටයි" එතනම උන්නු අම්මා මගේ හිස අතගාලා කිව්වේ එහෙම.
එදා රෑ අම්මා ඉස්තරම්ම කෑම රාශියක් හදද්දි, සෙනුරි අක්කා බිස්කට් පුඩිමක් හදලා දුන්නා. ලොකු අයියා උපදෙස් මාලවකිනුයි, පොඩි අයියා විරිත්තීම් සහ කනෙන් ඇදීම් ආදියෙන් මට සංග්‍රහ කලා. ඒ සේරම එක්ක, ඒ රෑ ගොඩ කාලෙකට මම විඳපු හොඳම රැයක් වුණා.
"ඔයාට ගොඩක් විට හොස්ටල් හම්බවේවි. ඒත් ඒවගෙ ඉන්න බැරි නම් අපි බෝඩිමක් හොයා ගමු" ලොකු අයියා එහෙම කිව්වේ මගේ නවාතැන් ප්‍රශ්ණේ ගැන කට්ටිය කතා වෙද්දි.
"කොහොමත් ගිය ගමන්ම දෙන එකක් නෑනෙ. ඒ නිසා බෝඩිමක් කෝකටත් බලමුකෝ" තාත්තා කිව්වා.
"ගෙදරින් පිට ඔච්චර දුරක ඉන්න යනවමද කොහෙද" අම්මාගේ ස්වරයේ තිබුණේ දුකක්. මම ඇගේ උරහිසකට බර වෙලා සුසුමක් හෙලුවා.
"එහෙම තමා හැමදේම පුරුදු වෙන්න එපැයි අම්මේ" ලොකු අයියා ආයෙම කිව්වා.
"භූප එහෙමත් ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ අම්මා. අනික මෙයාට සති අන්ත වල ගෙදර එන්න පුලුවන් නේ" සාලයේ බිත්තියට බරදීගෙන උන්නු පොඩි අයියා කිව්වේ එහෙම.
"ආ...හැබෑට ඒ ලමයත් ඉන්නවා නේන්නම්. ඒ නැතත් ඉතින් බස් එකේ එන්න බැරි නම් ඔය දවසක් දෙකක් එක්ක එන්න යන්න බැරුවයැ" තාත්තා කිව්වා.
අම්මා එතරම් කල්පනාවකින් තොරව වගේ ඇඟිලි තුඩවලින් මහිස පිරිමදින්නට වූණා. හැමෝගෙම කතාබහට ඇහුම්කන් දෙමින් ඉන්න අතරේ, පලමු වතාවට මට මහා සාංකාවක් දැනෙන්නට වුණා. ගෙදර හුරතලා වගේ හැදිලා, වැඩිලා, පිට නන්නාඳුනන සමාජයකට ගිහිල්ලා කොහොම ඉන්නද කියලා මට බයකුත් හිතුණා. ඒත් හැමදේම කවදා හරි, කොතැනකින් හරි පටන් ගන්න වෙනවා. ඕන දේකට මූණ දෙන්න, තනියෙම ජීවිතේ ගොඩ නගා ගන්න කොතනකින් හරි පටන් ගන්නම වෙනවා.
"ඔයා ගියාම මට ගොඩක් පාලු වෙයි දුලා"
කේතකීට මම කැම්පස් යන වග කියන්න ගිය වෙලේ, ඇය කිව්වේ එහෙම.
අපි දෙන්නා කේතකීලගේ ගෙදර ඉස්සරහ පොඩි ලී බංකුවේ වාඩි වෙලා, ඈත පේන වෙල දිහා බලාගෙන හිටියා. කේතකීලගේ වෙල තිබුණෙ එයාලගේ ගෙදර ඉස්සරහින්මයි. ඒ වෙලේ මැදට වෙන්න තිබුණු ඕවිටේ අපි පොඩි දවස් වල සෙල්ලම් කරපු හැටි මට මතක් වුණා. ඒ ඕවිටේ අඹ, කජු, පේර, රඹුටන් ඇරුනාම, කේතකීලගේ අම්මා හිටවපු බෝංචි, කරවිල, පතෝල වගේ එලවලුත් තිබුණා. පළතුරු හැදෙන කාලේට අපි, ගමේ යාලුවොත් එක්ක උන්නේ ගස් උඩමයි.
"මොකෝ දුලා තනියෙම හිනා වෙන්නේ?" මම පියවි ලෝකෙට ආවේ කේතකීගේ හ්ඬට.
"මට අපි පොඩි කාලේ අර ඕවිටේ සෙල්ලම් කරපු හැටි මතක් වුණා කේතකී"
ඒ පාර කේතකීගේ මූණෙත් ඇඳුනේ මද සිනාවක්.
"ඒ කාලේ නම් කොච්චර ෂෝක්ද?"
"හ්ම්ම්"
ඉන් පස්සේ මොහොතක් දෙකක් කතා නැතුවම අපි අපේ කල්පනාවල පැටලිලා ඉන්න අති.
"ඔයාට බය වෙන්න දෙයක් නම් නෑ, කැම්පස් ගියාම. අපේ අයියත් ඉන්නවනේ" කේතකී මොහොතකට පස්සේ මට කිව්වා.
"හ්ම්...ඒක ලොකු දෙයක්"
මම එහෙම කිව්වාම කේතකී මගේ මූණ දිහා බැලුවා. මාත් ඈ දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණේ සතුටකුත්, දුකකුත් මුසු වුණ හැඟීමක්. මම මුකුත්ම නොකියා ඇගේ අතකින් මිරිකගෙන ඉවත බලා ගත්තෙ අඇස් වලට කඳුලු පුරාගෙන ආපු හන්දයි.
"ආ...යාලුවෝ දෙන්නා මොකෝ මෙතන?"
අපි දෙන්නම ගැස්සිලා වගේ වටපිට බැලුවේ ඒ හඬට. ගෙට එන පාරේ අපට සමාන්තරව හිතගෙන හිනා වෙවී අපි දිහා බලාගෙන උන්නේ කේතකීලගේ තාත්තා. අපි දෙන්නම පුටුවෙන් නැගිට්ටේ එකටම වගේ.
"මාමෙ, අද කලින්ම් ආවද?" මම හිනාවෙලා ඇහුවා.
"ඔව්, අද ටිකක් කලින් ආවා, හෙට උදේ තුනට යන්න ඕන හන්දා. එහෙනම් දෙන්න එන්නකෝ හෙමීට" එහෙම කියාගෙනම ඔහු ගේ පැත්තට ගියා.
කේතකීලගේ තාත්තා වැඩ කලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථනාධිපතිවරයෙක් විදියට. කාලයක් තිස්සේ රට වටේ ගියපු සූරි මාමා අන්තිමේදි යාන්තම් ගෙවල් ලඟ දුම්රිය ස්ථානයට ආවේ අවුරුදු කීපෙකට කලින්. ඒත් ඒ අය අපේ ගමේ පදිංචි වෙන්න ආවේ අවුරුදු දා හතරකට විතර කලිනුයි. කේතකීටයි, භූපටයි දෙන්නටම වැඩිපුර පිහිටලා තිබුනේ සූරි මාමාගේ හැඩ රුව. තරමක් කලු, හැඩි දැඩි පෙනුමක් තිබ්බා වුණත්, සූරි මාමා අපේ තාත්තා වගේම තැන්පත්, හොඳ කෙනෙක් වග මම ඒ කාලේ ඉඳන්ම දැනගෙන උන්නා. අපේ තාත්තයි, සූරි මාමයිත්  අපේ ගමේ උන්නු ගජ යාලුවෝ දෙන්නෙක්.
"එන්නකෝ, අපිත් ගෙට යමු. මට ඔයාට දෙන්න දෙයක් තියෙනවා" ආපහු වාඩි නොවී මා දිහාට හැරුණු කේතකී කිව්වා.
"මට? ඒ මොනාද?"
"ඒකනේ දැන් යමු කිව්වේ දෙන්න. එන්න"
කේතකී ඉස්සර වුණා. මම ඈ පිටිපස්සෙන් ඇදුනා.
"ඔන්න...මේක ඔයාට" කාමරේට ගියපු කේතකී මගේ අතේ තිබ්බේ, රෝස පාට රිබන් පටියකින් ගැට ගහපු පෙට්ටියක්.
"ආනේ...මේ මොකක්ද? මම ඇරලා බලන්නද?" මම ඇහුවේ ආසාවෙන්.
"බලන්න. මේක අපේ ගෙදර සේරගෙන්ම ඔයාට"
මම ඒක දිග අරිද්දි කේතකී කිව්වා. මම සීරුවට රිබන් පටිය ලිහලා පෙට්ටිය ඇරියා. ඒකේ ඇතුලේ තිබුණේ දේ දැක්කම මගේ ඇස් ලොකු වෙන්න ඇති.
"හානේ...මේක...හරිම ලස්සනයි"
ඒ පෙට්ටිය ඇතුලේ තිබුණේ ලස්සන, රිදී පාට ඔරලෝසුවක්. රිදී පාටම මූණතකුත්, වලල්ලක් වගේ හීනි, රවුම් රවුම් වලින් හැදුනු අත් පටියකිනුත් යුතු වුණු ඒක  සෑහෙන වටින එකක් වග මට බැලූ බැල්මටම පෙනුනා.
"මේක ගොඩක් වටින එකක් නේ" මම කිව්වේ කේතකී දිහා බලලා.
"යාලු කමට, හිතවත්කමට වඩා නෙවෙයි" කේතකී කිව්වා.
"අනේ...thank you, thank you very much. මට මේක ගොඩාක් වටිනවා කේතකී" මම කිව්වේ හදවතින්මයි.
"ඔයාට මාව මතක් වෙයි වෙලාව බලන හැම පාරකම"
කේතකී එහෙම කිව්වාම මට දැනුනේ දුකක්.
"නැත්තම් මතක් වෙන්නේ නැද්ද?"
"එහෙම නෙවෙයි"
"යාලුවෝ දාහක් මට ආයෙම හම්බවුණත්, ඔයා තමයි හැමදාමත් මගේ හොඳම යාලුවා. ඒකේ දෙකක් නෑ. මහන්සි වෙලා පාඩම් කරන්න. ඊලඟ පාර කැම්පස් යන්න ඔයාට පුලුවන් වෙයි අනිවාර්යෙන්ම" මම කේතකීට කිව්වා.
ඈ හිනා වුණා විතරයි.

2 comments:

  1. ela ela ikmnata dapu ekanam wada karana asse loku deyak
    tnx hodei

    me kathwath lassani

    ReplyDelete
  2. සිත ඇදගත් කතාවක් . කියවන්න ආස හිතුන .කරුණාසේන ජයලත් ගේ කතාවක් කියවන හැඟීමක් ආවා . ස්තුතියි

    ReplyDelete