Saturday, June 22, 2013

දෙවන කොටස



අපේ ගම පිහිටල තිබුණේ මීරිගම දුම්රිය ස්ථානයට කිට්ටුවෙන්මයි. ඉතින් දන්න කාලේ ඉඳලම අපි හුඟ වෙලාවට ආවේ ගියේ දුම්රියේමයි. අපේ ගමට යන්න තිබුනේ වෙල් යායක් මැදින් දිවෙන පුංචි ගල් තාර පාරක් දිගේ. ඒ පාර කිලෝමීටර් කාලක් විතර ගිය තැන දෙකට බෙදෙන්නේ ගමේ පොදු ලිඳ ලඟින්. අපේ ගෙවල් වලට යන්න තිබුණේ දකුණු පැත්තේ පාරෙන්. කේතකීලගේ ගෙදර තිබුණෙ වම් පැත්තේ පාරේ කෙලවරක. ඉතින් ඉස්කෝලේ ඇරිලා දුම්රියෙන් ගෙදර එන අපි දෙන්නා හැමදාම මේ හන්දියේදි වෙන් වෙලා, පහුවෙනිදා උදේට ආයෙම මේ හන්දියේදිම මුණගැහෙනවා.
අදත් වෙනදා වගේම අපි දෙන්නා දුම්රියෙන් බැහැලා හෙමි හෙමින් ඇවිදගෙන හන්දිය පැත්තට එන්න ආවා.
"හ්ම්ම්..." කතාවක් නැතුවම ඇවිදගෙන ආපු කේතකී දිග සුසුමක් හෙලුවා. මට ඈ දිහා බැලුණේ ඉබේටම.
"හිතන්නකෝ...අවුරුදු දහ තුනක් ඉස්කෝලේ ගිය එකත් දැන් ඉවරයි. ඕ ලෙවල් කරලා, බලා හිට්යා ඒ ලෙවල් කරන්න. ඊට පස්සේ කැම්පස් යන්න. දැන් ඒ කාලෙත් ඇවිත්. කාලේ ගෙවෙන ඉක්මණ නේද?" ඊට පස්සේ ඈ හඬ අවදි කලේ එහෙම.
මට නොපෙන්නා ඉන්න හැදුවත් කේතකී ඉන්නේ දුකින් වග මම දැනගෙන උන්නා.
"ම්ම්..." මම වෙන මුකුත් කියන්න ගියේ නැහැ.
"මොනා වුණත් අපි හෙට ඉඳන් free නේ. අපට හොඳට ජොලි කරන්න පුලුවන්" කේතකී ඇස් ලොකු කරලා කිව්වේ නම් මූණේ හිනාවකුත් එක්ක.
"ජොලි කරනවා නෙවෙයි, ඔය ආයේම එක්සෑම් කරන්නේ නැද්ද? ඊලඟ පාර අනිවාර්යෙන්ම කැම්පස් යන්න පුලුවන් වෙයි" මම කිව්වා.
කේතකී මා දිහා බැලුවේ දයාවෙන් වගේ.
"මම දන්නවා දුලා, මේ තමා මගේ උපරිමේ. ආයෙම නම් බෑ. අයියයි, අම්මලයි නම් බල කරාවි තමයි. ඒත්,මට බෑ. මට ඕන මොකක් හරි රස්සාවක් කරන්න දැන්. ඔයා දන්නවනේ ඉතිං, අයියත් කැම්පස් නිසා ගෙදර ආර්ථිකේ පොඩ්ඩක් අමාරු වග" කේතකී ඉන්පස්සේ එහෙම කිව්වා.
"පිස්සු කියන්න එපා කේතකී. අම්මලා ඉඩ දෙන එකක් නෑ ඒකට නම්. රස්සාවක් කරන්න තරම් තාම අපි ලොකු නෑනෙ" මම කීවේ නොරිස්සුමින්.
"ම්ම්...එහෙමද හිතන්නේ? අවුරුදු දහ අටක් කියන්නේ ලොකු වයසක් තමයි. තනි තීරණේට බඳින්න වුණත් පුලුවන් දන්නවද?"
"ආ...එච්චරයි අඩු. මෙන්න මෙහේ පිස්සු නොකියා, විභාගේ කරන්න ලෑස්ති වෙන්න ආයෙම"
"බලමු බලමු"හන්දියට ලං වෙද්දි කේතකී එහෙම කිව්වේ, උරහිස උඩින් ඉස්සරහට වැටිලා තිබුණ කොණ්ඩා කරලක් කල්පනාවකින් තොරව වගේ කරකවන ගමන්.
අපේ පංතියේ උන්නු ගෑණු ළමයින්ගෙන් දිගම කොණ්ඩේ තිබුණේ කේතකීට. කරල් දෙකට ගෙතුවාමත් ඇගේ කොණ්ඩය දනහිස ලඟටම දිගට තිබුණා. මට නම් තිබුණේ උරහිසින් යන්තම් පහලට වැටෙන තරම් කොණ්ඩයක් විතරයි.
ඒ ඇරුනාම.ලොකු ඇස් දෙකකුයි, දිගටි මූණකුයි, උල් නාහෙකුයි ඈට තිබුණා. පංතියේ කොල්ලෝ නම් කේතකීට විහිලුවට කිව්වේ 'බිපාෂා' කියලා. ඇත්තම කිව්වොත් වෙලාවකට කේතකී බිපාෂා බාසු වගෙත් කියලා මටත් නොහිතුණා නෙවෙයි.
කොහොමහරි කතාවෙන් කතාවෙන්, අපි දෙන්නා අන්තිමේදි ලිඳ ලඟටම වගේ ඇවිදගෙන ඇවිත් තිබුණා.
"එහෙනම් මම යන්නම්. හෙට දිහාට ඒ පැත්තේ එන්නම්කෝ" මම කිව්වේ හන්දියේ නවතින ගමන්.
"හරි එහෙනම්. ම්ම්... හෙට අයියා ගෙදර හන්දා අම්මා මොනා හරි හදයි. කන්න බලාගෙන එන්න. ආ...අද පාටියේ කන්න දෙන දේකුත් අපට අරගෙනම එන්න ඈ?" කේතකී කිව්වේ පුරුදු සුන්දර සිනහව පාලා.
මටත් හිනා නැගුනා."හා...හා...අරන් එන්නම්කෝ..."

කේතකීගෙන් සමු අරගෙන ගෙදරට පිය මනින අතරේ මම කල්පනා කලේ, තව ටික දවසකින් උදා වෙන්න යන්න මගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදය ගැන. ඒක මොන වගේ වෙයිද කියලා හරියටම නොදැන උන්නත්, හිතේ තිබුනේ ලොකු බලාපොරොත්තුවක්, උද්‍යෝගයක්.
මම ගේට්ටුව ඇරගෙන ගෙදරට යද්දී, තාත්තා හම්බවෙන්න ආපු ගමේ අය කීප දෙනෙක් කන්තෝරු කාමරේ ඉස්සරහ පුටු දෙක තුනක වාඩි වෙලා ඉන්නවා මට පෙනුනා. අපේ තාත්තා තමයි ගමේ ග්‍රාම සේවක තනතුර දැරුවේ. ඒ නිසා නිතරෝම වගේ ගමේ අය එක්කෙනෙක් දෙන්නෙක් හරි අපේ ගෙදරට ආවා ගියා.
"ආ...මේ දුලාරා නංගිත් එන්නේ. ආරංචියි, ආරංචියි විභාගේ ඉහලින්ම පාස් කියලා"
මම ගෙට ගොඩ වෙද්දියි දැක්කේ ඉඳගෙන උන්නේ අපේ ඈතින් නෑ වෙන අක්කා කෙනෙකුයි, එයාගේ දුවයි වග.
මට පොඩි ලැජ්ජාවක් දැනුනා එක පාරටම. ඒ නිසාම මම කලේ හිනාවක් පාලා හිස වනපු එක. ඒ සද්දෙට කන්තෝරු කාමරේ උන්නු තාත්තත් එලියට ආවේ හිනා කටක් පුරෝගෙන.
"ඔන්න දැන් මාමලට කිසීම බයක් වෙන්න දෙයක් නෑ, නංගිත් දෙයියන්ගේ පිහිටෙන් කැම්පස් තේරුනානෙ" තාත්තා දැකපු අර අක්කා කිව්වා.
" එහෙනං එහෙනං" තාත්තා කිව්වේ අහිංසක ආඩම්බරයකින් වගේම ලොකු සෙනෙහසකින්.
මම බිම බලාගෙන හිනා වෙවීම උන්නා.
"හරි එහෙනම් ඔයා ඇඳුම් එහෙම මාරු කරගන්න. කෝච්චියේ ඇවිත් මහන්සිත් ඇති නේ. අපි එන්නම්කෝ පාටියට ඈ"
අර අක්කා එහෙම කියනකොටත් මම ගෙට යන්න පය උස්සලා ඉවරයි."එන්නම් අක්කේ එහෙනම්"
මම එහෙම කියාගෙන ගෙට එන්න ආවා.

අපේ ගෙදරට හිටපු එකම ගෑණු ළමයා සහ පවුලේ බාලයාවුණේ මම. මට වැඩිමාල්  අයියලා දෙන්නක් විතරයි උන්නේ. ඒ හින්දම ගෙදර අම්මගෙයි, විශේෂයෙන්ම තාත්තගෙයි ආදරේ ගොඩක් වගේම, පොඩි අයියගේ ගුටි බැට වලිනුත් මට පොඩි කාලේ ඉඳන්ම අඩුවක් තිබුණේ නෑ.ලොකු අයියා (දුමාල්) මට වඩා අවුරුදු හයකුත්, පොඩි අයියට (දුලිත)  වඩා අවුරුදු හතරකුත් වැඩිමල් වුණ නිසා, එයා හැමදාමත් උන්නේ අපට ටිකක් දුරින්. ගුටි ගහ ගත්තෙත්, ගොඩක්ම ලඟින් හිටියෙත් මට පොඩි අයියා. තරහා ගිය වෙලාවට යකෙක් වගේ වුණත්, එයා මට ගොඩාක් ආදරේ වග මම දන්න නිසා කවදාවත් මම එයා එක්ක තරහා වුණේ නෑ.
පොඩි අයියා මේ දවස් වල හිටියේ කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිගණක විද්‍යාව හදාරමින්. එයාට ඒකට යන්න ඕනම කියපු හන්දා තාත්තා එයාව එහාට යැව්වා. ලොකු අයියා විශ්ව විද්‍යාලෙන් පිට වෙලා, බැංකු නිලධාරියෙක් විදිහට වැඩ කලේ ගම්පහ. එයා විවාහ වෙලා පදිංචි වෙලා හිටියේ අපේ ගමේම, ගෙවල් දෙක තුනකට එහායින්මයි.
ඒ නිසාම හවසට අපේ ගෙදර තිබුණේ ජනාකීර්ණ තත්වයක්. ලොකු අයියා එනකල් බලා ඉන්න එන සෙනුරි අක්කයි, පොඩි අයියයි, මායි, ලොකු අයියා ආවාම එයයි, කවුරුම හරි නෑයෙකුයි, තාත්තා ගාවට මොනා හරි වැඩකට එන එක්කෙනෙක්, දෙන්නෙකුයි නම් නොවරදවාම අපේ ගෙදර හැමදාම වගේ උන්නා. කවුරුත්ම නැත්තම් පොඩි අයියගේ වාත යාලුවෝ කීප දෙනෙක් වත් උන්නා.
අද විශේෂ දවසක් හන්දා, ඒ කට්ටිය ඇරුණාම අත්තම්මයි (තාත්තගේ අම්මා), ලොකු තාත්තයි, ලොකු අම්මයි, ඒ දෙන්නගේ ළමයි තුන් දෙනයි, චූටි බාප්පයි, පුංචියි දෙන්නත් ගෙදරට ඇවිත් උන්නා. හොඳ වෙලාවට අම්මගේ ගම මාතලේ හන්දා,අම්මගේ නෑයෝ නම් ඇවිත් උන්නේ නෑ.
"ඔව් ඉතිං කලා කරාම, ටීච කෙනෙක් වෙන්න පුලුවන් නේ ලේසියෙන්ම...අන්න ඒක තමා ගෑණු ළමයෙක්ට හොඳම රස්සාව" අම්මා දීපු තේ කෝප්පේ අතට ගන්න ගමන් එහෙම කීවේ අත්තම්මා.
මට ඉස්සරහින් උන්නු සෙනුරි අක්කා මට ඇහැක් ගහලා හිනා වුණා.
"ඒක ඇත්ත. හැම අතින්ම ඒක නම් හොඳයි තමා" අත්තම්මගේ කතාවට පෝර දැම්මේ චූටි බාප්පා. මොකද පුංචිත් ටීච කෙනෙක් නේ.
සෙනුරි අක්කා බැරෑරුම් විදියට හිස වනලා මට ඉඟි කලා ආයෙම.
"උපාධිය කලාම තව ඕන තරම් දේවල් තියෙනවා කරන්න පුලුවන්. වැදගත්ම දේ කැම්පස් යන එකනේ අම්මේ..." මා දිහාත් හොරෙන් වගේ බලපු තාත්තා එහෙම කිව්වා.
"අනේ ඔව්...පස්සේ මොනා කරන්න වුණත්, කෙල්ල තේරුණ එක තමා ලොකුම දේ" කවදත් නිවුණ ගති තිබුණ ලොකු තාත්තා එහෙම කිව්වා.
ඔය අතරෙම වගේ ලොකු අයියත් ගෙදර ආවේ ආරංචිය මගදිම දැනගෙනමයි.
"සෙනුරි කිව්වා දැනගත්තු වෙලේම...මට හරි සතුටුයි නංගි..." ලොකු අයියා කිව්වේ එහෙම.
ලොකු අයියා කවදත් අඩුවෙන් කතා කරන, ඒත් හිතේ දේවල් දරාගෙන ඉන්න කෙනෙක්. හරියට තාත්තා වගේ. අයියා ඊට එහා දෙයක් නොකිව්වත්, හිතෙන් ගොඩක් සතුටු වෙන වග මම දැනගෙන උන්නා. අන්තිමේදි තාමත් ගෙදර නාපු එකම කෙනා වුණේ පොඩි අයියා.
"මොකෝ මේ පොඩි පුතා තාම නැත්තේ?" මට වගේම තාත්තටත් ඒ වෙනස දැනිලා වගේ ඇහුවා.
"ඇයි අද මොකක්ද ගෙට්ටුවක්ද මොකක්ද කිව්වනේ. රෑ ලු තියෙන්නේ, මොකක්ද මේ හෝටලේක. හෙට උදේම එනවා කිව්වේ නගාව බලන්න" අම්මා එහෙම කිව්වාමයි මට මතක් වුණේ අද අයියලගේ පාටියක් තියෙන වග ඔහු මට කලින්ම කිව්ව බව.
"ආ ඔව් කිව්වා තමයි...එයාලගේ final year අයගේ farewell පාටිය"
"ආ...එහෙනම් කොහෙද හෙට උදේ  එන්නේ. හෙට හවස එයි. අනිද්දා සෙනසුරාදත් නිසා" අම්මා එහෙම කිව්වා.
"අපිත් යමුද සෙනූ...රෑ වෙනවනේ. අම්මේ අපිත් යනවා එහෙනම්..." හිටගෙනම උන්නු අයියා කිව්වේ ඔරලෝසුව දිහා බලන ගමන්.
"බත් ටිකක් කාලා යන්නකෝ පුතේ"
"ඕන නෑ අම්මා, මම උයලා ආවේ" එහෙම කිව්වේ සෙනුරි අක්කා.
"එහෙම නම් අර කරවල බැදුම් ටිකක් වත් අරන් යන්න" එහෙම කියාගෙන අම්මා ගෙට ගියේ අයියලට කරවල බැදුම දෙන්න.
අයියලගේ ගෙදර මාලු දහ අටක් හැදුවත්, අම්මා අපේ ගෙදරිනුත් එක මාලුවක්, එක වේලකට හරි යවන්න අමතක කලේ නෑ. එහෙම වෙලාවට සෙනුරි අක්කා මට කිව්වේ 'අම්මගේ ලොකු පුතානේ. ඒකයි' කියලා.

අම්මා අනුමාන කලා වගේම පොඩි අයියා උදේ වරුවේ ආවේ නෑ. එයා එනකල් බලා උන්නු හන්දා මට කේතකීලගේ ගෙදර උදේවත්, හවසවත් යන්න බැරි වුණා. අන්තිමේදි, හවස හතර හමාර විතර වෙද්දි ඔන්න මිදුල දිහාවෙන් පුරුදු ඩොක ඩොක සද්දයක් ඇහුණා. එවෙලේ මම උන්නේ අම්මා එක්ක ගෙදර පිටිපස්සේ කොහිල දලු කඩමින්.
"චේතියගේ වාහනේ සද්දෙ ද?" කොහිල දලු මිටක් අතින් අරගෙන කෙලින් වුණු අම්මා ඇහුම්කන් දෙන ගමන් එහෙම ඇහුවා.
" ඒ වගේ..." මම කිව්වේ ඒ වග නිසැකවම දැනගෙන.
තව විනාඩියක් යන්නත් කලින් පොඩි අයියයි, එයාගේඅතිජාත මිත්‍රයෝ දෙන්නෙක් වෙච්ච චේතියයි, ටිෂානුයි පිටිපස්සේ දොර අසල පෙනී හි‍යියා.
අපේ ලොකු අයියටයි, පොඩි අයියටයි තිබුණේ ගොඩක් දුරට එක සමානම පෙනුමක්. හැබැයි පොඩි අයියා ලොකු අයියට වඩා උසයි, කෙට්ටුයි. දෙන්නටම හැබැයි, මුදු මුදු වගේ ලස්සන හිසකේ නම් තිබුණා. පෙනුමින් ලස්සන, ශාන්ත  දාන්ත වුණත්, ලොකු අයියට වඩා පොඩි අයියා, මම නිතර කියනවා වගේ 'වහා ගිනි ඇවිලෙන සුලුයි'. ඒ කියන්නෙ සැරයි.
"හෝ...හෝ...කෝ පාටිය?" පොඩි අයියවත් චප්ප කරගෙන වගේ, දොරෙන් එලියට පැනලා අපේ පැත්තට දුවගෙන ආවේ චේතිය. මහත, දෙහෙත දේහයක් තිබුණ ඔහු, හිසකේ පීරුවේ බෙකම් වගේ, උඩට. අද කොල පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන, බර ඩි තියමින් අපි දිහාට දුවගෙන එන චේතිය දැක්කාම මට පෙනුනේ, කුලප්පු වුණ අලියෙක්ව.
"my heartiest congratulations Dulara…well done..." අපි උන්නු දිහාට දුවගෙන ආපු ඔහු ඔහු දෝතින්ම මගේ අත මිරිකගෙන කිව්වා.
"අ...ම්....Thank you..."
"You are most welcome" ඔහු කිව්වේ හිස යන්තම් ඇල කරලා.
ඊලඟට මා ගාව උන්නේ අයියා. අයියගේ ඇස් වල තිබුණේ අමුතු හැඟීමක්. හරියට ආරංචිය අහපු වෙලේ තාත්තගේ දෑස් වල තිබුණ බැල්ම වගේ එකක්.
"well done නංගා...ආඩම්බරයි ඔයා ගැන මට" අයියා කිව්වේ හෙමින් මගේ හිස අතගාලා.
ඒ වචන වල තිබුණ ලොකු දයාබර බවක්. මගේ උගුර හිර වෙනවා වගේ දැනුනේ ඇයි කියන්න මම දන්නේ නෑ එවෙලේ. මම බිම බලා ගත්තේ එකයි.
"සුබ පැතුම් දුලාරා" ඊලඟට මට සුබ පැතුවේ, ටිෂාන් අයියා. "Thank you..."

"මේ මේ...බිස්කට් දීලා හරියන්නෑ...අපට කැවුම් ඕන දැන් පාස් වුණ සතුටට"
තේ මේසේ ලෑස්ති කරලා, මේසෙට බිස්කට් ගෙනැත් තියද්දි, ඒ ලඟ පුටුවක වාඩි වෙලා උන්නු චේතිය මට කිව්වා.
"කැවුම් හදන්න මගුල් ගෙයක් යැ?" මම ඇහුවා.
"ම්ම්...මගුල් ගෙදරටත් උයමු. ඊට කලින් මේ සතුට සමරන්න එපායැ, නැද්ද මචං?" චේතිය එහෙම කිව්වේ ඇදලා පැදලා.
මම ඔහුට යන්තම් රවාගෙන ආපහු කුස්සියට ආවා. අඳුනගත්තු දවසේ ඉඳලම චේතිය කලේ මාව අවුස්සලා සතුටු වුණ එක. මොනා හරි කට කැඩිච්ච කතාවක් කියලා මාව අවුස්සගන්න ඔහුට තිබ්බේ පුදුම උවමනාවක්.
චේතිය නුවර පැත්තේ, හොඳ පෝසත් පවුලක, දෙවනි පුතා. අයියා එක්ක එයාගේ කැම්පස් එකේ ඉගෙන ගනිද්දි තමයි මේ දෙන්න බරපතල යාලුවෝ වෙලා තියෙන්නේ. මොකද දෙන්නම පුදුමාකාර රග්බි පිස්සෝ දෙන්නෙක් හන්දා. ගමේදි භූප වගේ, කැම්පස් එකේදි අයියගේ හොඳම යාලුවා වුණේ චේතිය. චේතියගේ ඇඟේ කෑල්ලක් තරම්ම ඔහුට විශේෂ වෙච්ච අනික් දේ තම, ඔහුට අයිතිව තිබ්බ (ලදරං) ඩිෆෙන්ඩර් වර්ගයේ පරණ ජීප් එක. සති දෙකකට සැරයක් වත්, අපේ අයියවත් ඔය ලදරමේ පටවගෙන චේතිය අපේ ගෙදර ආවා ගියා. කවදාවත් රැයක් නතර නූනත්, ඒ ආපු දවසට ගෙදරින් ගියේ නම් රෑ හත අටත් වුණාට පස්සේ. ඒ නිසාම අම්මයි, තාත්තයි චේතියටත් සැලකුවේ අපේම කෙනෙක්ට වගේ. චේතිය මාව කොච්චර තරහා ගැස්සුවත් මම ඒවා ඒ තරම් ගණන් නොගත්තෙත් කට හොඳ නැති වුණාට හිත හොඳ වග මටත් තේරුම් ගිහින් තිබ්බ නිසාමයි.
"නංඟා...කෝ තේ?" තේ කෝප්ප ටික ට්‍රේ එකෙන් තියන අතරේ ඔන්න පොඩි අයියා කෑ ගහනවා.
"ගේනවෝ..."
"වැඩිපුර එකක් ගේන්න...මෙන්න භූපයත් ආවා..." ඒ පාර අයියා ආයෙම කෑ ගහනවා.
ඒ පාර මම අම්මා මට හදලා දුන්නු තේ එකත් ට්‍රේ එකෙන් තියා ගත්තේ, ආයෙමත් තේ හදන්න වෙලා යන හන්දා.
මම කෑම කාමරේට යද්දි, අයියලා සේරම මේසේ වටේ ඉඳගෙන බිස්කට් කන්න පටන් ගෙන. මේසේ එක කොනක දැන් ඇවිත් වාඩි වුන භූප මට හිනාවක් පෑවා.
"ආ...ඔය කන්න බෑ කියපුවා කන්නේ" මම කිව්වේ චේතියට ට්‍රේ එක අල්ලන ගමන්.
"මොනා කරන්නද, ඔයා මාව බැන්දාම වත් කැවුම් හදලා දෙයි නේ නේද?" චේතිය ඒ කලේ හැමදාම මාව වැඩිපුරම අවුස්සන විහිලුව. 'බඳින කතාව'
"අනේ මේ...එන්න එපා ඕවට හරිද? බලන්නකෝ අයියා..." මම කෙඳිරි ගෑවා.
"අයියෝ.. මූ කියන ඒවා ගණන් ගන්නවනේ ඔයත්..." පොඩි අයියා කිව්වේ එහෙම.
ඒ අල්ල පනල්ලේ, පොඩි අයියට දෙන්න හිතාගෙන ගෙනාපු මගේ තේ කෝප්පේ භූප අරගෙන.
"ආ...ඒක…. මගේ….. කෝප්පේ, අයියට ගෙනාවේ..." කියලා මම කියද්දිත්, භූප තේ උගුරක් බීලා ඉවරයි.
"ආ..අයියෝ...සොරි සොරි" ඔහු කලබල වුණා.
"අනේ කමක් නෑ බං. උඹ මොකද මම මොකද? මේ හලෝ...මනුස්සයෙක්ට තේ එකක් බොන්න දෙන්නකෝ නිදහසේ" භූපව සනසපු අයියා ඊලඟත එහෙම කිව්වේ මට.
"අනේ නෑ, මම මේ පීරිසි කෝප්පේ ගෙනාවේ ඔයාට" මම කිව්වේ ඇත්තටම.
"කමක් නෑ දුලාරා... භූප එහෙම කිව්වා.
"හැබැයි මචෝ බීලා ජලභීතිකාව හැදුනා කියන්න එපා..." එහෙම කිව්වේ චේතිය.
"හා...එහෙනම් ඔයා බොන කෝප්පේ වල දාන්න තමා වෙන්නේ බිව්වට පස්සේ" මම කට ඇද කරලා එහෙම කිව්වා.
"ඒ මොකෝ?"
"නැත්තම් ඕකෙන් අයෙ බොන කෙනෙක්ට හැදෙන ලෙඩේ හොයා ගන්න බැරි වෙන හන්දා" මම කිව්වා.
අයියයි, ටිෂානුයි, භූපයි ඒ පාර හයියෙන්ම හිනා වෙන්න ගත්තා.
"ඇද්ද හම්බුනා?"
චේතිය ඒ පාර කියා ගන්න දෙයක් නැතිව හිස දෙපසට වැනුවා.
"මේවට තමයි බං කියන්නේ පොල්ල දීලා ගහ ගන්නවා කියලා..."
මම ආපහු කුස්සියට එද්දි, චේතිය එහෙම කියනවා මට ඇහුණා

 

5 comments:

  1. දෑසට කඳුළක් නැගුණා සොයුරිය. හදවතින්ම ලැයැවුණු අව්‍යාජ සටහනක්. ඔබට මගේත් සුබ පැතුම්. දන්නවද මමත් මීරිගම තමා. හැබැයි ඔයාට වඩා බොහෝ සෙයින් වැඩිමල් කෙනෙක්.
    සුබ අනාගතයක්.

    ReplyDelete
  2. කතාව ගොඩක් ලස්සනයි..මගේ පුංචි කෙනෙකුත් ඉන්නවා මීරිගම..පහු ගිය කාලේ මාත් මීරිගම ස්ටේෂන් එකේමයි හිටියේ එහෙට යනවා මෙහෙට යනවා...

    ReplyDelete
  3. ‍මේ කතාවත් බලන්න එක් වුණා... හැමදාම ක‍මෙන්ට් ‍නොකලට හැමදාම අනිවාර්ය‍යෙන්ම බලනව ඔයා‍ගො කතාව...

    ReplyDelete
  4. මං ජීවිතේ වැඩිපුරම සතුටු වෙන කාරණාවලින් එකක් දන්නවද.... දවසක් අහම්බෙකින් වගේ ඔබ හීනයක් වගේ බ්ලොග් එක කියවන්න ලැබිච්ච එක! එදා ඒ අහම්බය නූනා නම් මට ජීවිතේ කියවන්න ලැබෙන අපූරුම රූපණය සහිත නවකතා ටික කියවාගන්න බැරිවෙනවා.... දිගටම ලියමු නෙතූ අක්කේ!!!!!!

    ReplyDelete
  5. කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ කතා වලට මෙච්චර ආදරේ කරන අය ගොඩක් ඉද්දි, කොහොමද නොලියා ඉන්නේ?

    මීරිගමින් එකතු වුණ අලුත් යාලුවාවත් ආදරෙන් පිළිගන්නවා පොත් ගුලට. මම කවදාවත් මීරිගම ස්ටේෂන් එකේ බැහැලා නෑ. ඒත්, ඒ ලඟින් යද්දි පහු වෙන ගමට පරිසරයට මම හරිම ආසයි. ඉතිං මගේ හිතේ මැවුණ ගම ගැනයි මම මේ ලියන්නේ...ඒ විස්තරේ ඔයාලගේ හිතේ සංවේදිත්වයක් ඇති කලා කියලා දැන ගත්තම මගේ හිතත් සංවේදී වුණා බොහෝම.

    මේ කථාව කලින් කථා තුනටම වඩා වෙනස් එකක් වේවි ගොඩක් දුරට...එකතු වෙලා ඉන්න, මොකද ඉස්සරහට වෙන්නේ බලන්න...

    ReplyDelete