Tuesday, January 15, 2013

විසි හයවන කොටස



මා බිය වූ පරිදිම සහ සිතේ එක් පසෙකින් මා බලාපොරොත්තුවූ පරිදිම ජේඩන් පසු දිනත්, ඊට පසු ගෙවුණු දින බොහෝමයකත් මා හමු වූයේය. එහෙත් ඒ හමු වීම් පුස්තකාලයට ඔහු එන යන විට හා මගකදී දකින අවස්ථාවන්ට පමණක් සීමා විය. මා හට පොරොන්දු වූ පරිදිම ඔහු හැසිරීම මසිතේ ඔහු ගැන වූ පැහැදීම වැඩි කරලන්නට සමත්ව තිබිණි. මා වඩාත් බිය වූයේ එම හැඟීමටයි. එනිසාම කෑම ගැනීමට හෝ තේ පානයට හෝ යන එකදු විටෙකවත්, ඔහු යන විටම නොයෑමට මම උත්සාහ කලෙමි. ඒ ඔහුට මෙසේ සිතින් ලං වීම මට දරාගත නොහැකි දෙයක් බවට පත් වෙනවා දකින්නට මට උවමනා නොවූ නිසාය. එහෙත් යලි එකදු වතාවක මා නොසිතූ පරිදි ඔහුට මා තනි කරගන්නට අවස්ථාව සැලසිනි. ඒ මා පාඩම් කොට අහවර නේවාසිකාගාරයට පියමනින එක් සවස් කාලයකය. මට බොහෝ වේලාවකට පෙර පුස්තකාලයෙන් පිටවී ගියද ඔහු අතරමග වූ ඕක් වටරවුමේ පනවා තිබූ ලී බංකුවකට වී මා එන මග බලා උන්නේය. අන් දිනවල මෙන් වදනක් දොඩා යන්නට මා සිතාගෙන ආවත්, ඔහු මා අසලට එත්ම හුන් තැනින් නැගිට මා අසලට ආවෙන් මම හදිසියේම ගොලු වී ගියෙමි.
"පංචලී දැන්ද එන්නේ?" ඔහු වෙනසක් නොපෙන්වා විමසීය.
"හ්ම්" මම ඔහු දෙස නොබලාම කීවෙමි.
"අපි ටිකක් කතා කරමුද?" ඔහු විමසුවේ මා තවත් නොසන්සුන් කරලමිනි.
"මම යන්න ඕන. වෙලා ගිහින්" මම ඉක්මණින් කීවෙමි.
"මම සති දෙකකටත් වඩා බලාගෙන හිටියා ඔයා එක්ක කතා කරන්න. ඔයා දන්නෑ කොච්චර අමාරුද කියලා ඒ වගේ ඉන්න. ඒත් මං එහෙම කලානෙ... කතා කරන්න ඕන කියන්නේ මට උදව්වක් ඕන නිසයි" ඔහු සෙසේ කී විට මට නිරායාසයෙන්ම ඔහු දෙස බැලිනි.
"උදව්වක්?"
"ඔව්"
මම ඔහු දෙස මද වෙලාවක් බලා උන්නෙ සැකමුසු දෑසිනි. ඔහුට එය වැටහෙන්නට ඇත.
"බොරුවක් නෙවෙයි. මම දන්නවා ඔයා මාව විශ්වාස නොකරාවි සමහරවිට. ඒත්...මම කියන්නේ ඇත්ත, සත්තකයි" ඔහු කීය.
ඔහු ගැන වූ සෙනෙහස අනුකම්පාවක්ව මහිත වසාගත්තේ නිමේෂයකිනි. එය මා තුල වූ විශාලම දුර්වලත්වය බව මා නොදැන උන්නා නොවේ. මම සුසුමක් හෙලීමි.
"හරි..."
"එදා වගේ විල ලඟට යමුද? මෙතන කලබල වැඩියි" ඔහු ඇසීය.
මම කිසිත් නොකීමි. එහෙත් ඔහුට මාගෙ සිතැඟි වැටහුන නිසාදෝ, ඔහු වටරවුමේ සිමෙන්ති පඩිය මතින් මගට පිලිපන්නේය. කතා බහකින් තොරවම අපි විල ලඟට ඇවිද ගියෙමු. එහිද සෙනග අඩුවක් නොවූවද, නිදහස් තැනක් සොයා ගන්නට අපහසුවක් නොවිනි. අන්තිමේදි මමත්, ජේඩනුත් සිමෙන්ති බංකුවකට පිටදීගෙන, සැඳෑ හිරු රැස් වැටී දිලිසෙන රිදීමය විල් තලය දෙස බලා උන්නෙමු.
"මොකක්ද මගෙන් උදව්වක් ඕන කිව්වේ?" ජේඩන්ගේ ගොලුවත ඉවසනු බැරි තැන මම විමසීමි.
"මට මගේ හිතේ තියෙන බර නිදහස් කරගන්නයි ඔයාගෙන් උදව් ඕන" එවරඔහු සෙමෙන් තෙපලේය.
"ඒ කියන්නේ මොකක්ද?"
"මං කියන දේ අහගෙන ඉන්න එක" ඔහු මදෙස නබලාම කීවේය.
"කියන්න...මං අහගෙන ඉන්නේ" මම කීවෙමි.
"මගේ හිත හරි නොසන්සුන්, පාඩම් කරන්නවත්, වෙන දෙයක් කරන්න්වත් හිත එකඟ කරගන්න අමාරුයි වෙලාවකට" ඔහු කතාව ඇරඹුවේය.
"ඒ...මං හින්දද ජේඩන්?" මම සිතට දිරි ගෙන ඇසුවෙමි.
"ඒකට උත්තරේ ඔයා දන්නවා" ඔහු කීවේය.
"උත්තරේ විසඳුමක් නෙවෙයි කියලත් ඔයා දන්නවා" මම කීවෙමි.
"පංචලී...ඔයාට තේරෙන්නේ නැද්ද?" ඔහු එවර මදෙසට හැරුනේ නොඉවසිලිමත් ලෙසිනි. "කොහොමද මම මෙහෙම ඉන්නේ? හැමදාම මෙහෙම ඉන්න පුලුවන්ද මිනිහෙක්ට? හරියට යාන්තම් දැන අඳුනන කෙනෙක් වගේ, හිනාවෙලා, ඔලුව වනලා, සති ගණන් කතා නොකර ඉන්නේ කොහොමද?" ඔහුගේ හඬේ කලකිරීමක් විනැයි මට සිතිණි.
"එහෙනම්...කතා නොකරම ඉන්න පුලුවන්" ඔහුගේ සිත රිදෙනු ඇති වග දැන දැනත් එසේ කියන්නට තරම් මම නපුරු වීමි.
"හැමවෙලේම, දුරස් වෙන එක ගැන විතරක් කියන්නේ ඇයි? ඇයි? මට මේ හැම දේම එපා වෙලා. මට බෑ තවත් මේ දෙවල් දරා ගන්න...එක්කෝ, ඔයා මට උදව් කරන්න ඕන මේ තත්වෙන් ගොඩ එන්න. එහෙම නැත්තම් මම යන්න ඕන ඔයාව නොපෙනෙන තරම් ඈතකට" ඔහු කීවේ වේදනාවෙන් මෙනි.
මා නෙතු කඳුලු පුරමින් තිබිණි. එහෙත් ඔහු හමුවේ හඬන්නට මට උවමනා නොවිනි.
"මං මොනා කරන්නද ජේඩන්?" මම ඇසුවෙමි.
"දෙයියනේ මම මෙච්චර බැගෑපත් වෙලත්, ඇයි බැරි ඔයාට ඔය හිත අතිතෙන් අයින් කරගෙන පොඩ්ඩක් මේ වර්තමානෙට එන්න? බලන්න, බලන්න මං...මං ඔයාට කොච්චර ආදරේද?"
ඔහු කී විට මහිත සහමුලින්ම කඩාඉහිරිණි. නෙතු කඳුලු පිට පැන්නෙන් මම වහා ඔහුගෙන් මුහුණ හරවාගතිමි. එසේ විනාඩියක් දෙකක් ගෙවෙන්නට ඇත. එහෙත් ඔහු කිසිත් කීවේ නැත. මම විල් තලයේ සිට එන සුලඟට කඳුලු වියලන්නට ඉඩ හැර ඔහු දෙස නොබලාම උන්නෙමි.
"මං මෙහෙන් යන එකයි හොඳම" අවසන දිග සුසුමක් හෙලූ ඔහු කීවේය.
මම සෙල් රුවක් සේ නොසැලී බලාගත්වනම බලාගෙන උන්නෙමි.
"ඔයාට උදව් ඕන වුණේ ඒ තීරණේ ගන්න නම්...ඔයා...එහෙමකරන එක තමයි හොඳ කියලා මාත් හිතනවා" මම යලි සිත දැඩි කොටගෙන කීවෙමි.
"මම දැනං හිටියා ඔයා ඔහොම කියන වග. ඒත්, මං හිතුවා එක මොහොතක ඔයා වෙන දෙයක් කියාවි කියලා" ජේඩන් බලාපොරොත්තු සුන් වූ හඬකින් කීවේය.
මම දිගු හුස්මක් උඩට ඇදගතිමි. ඒ මගේ පපුව තුල යමක් හිරවන්නාක් සේ දැනෙන්නට වූ නිසාය.
"මම, එක පාරක් බැඳලා, ඒ මනුස්සයට එපා වෙලා දාලා ගිය ගෑණියෙක් ජේඩන්. මගේ ඇතුලාන්තේ ආයෙම ජීවත් කරන්න කෙනෙක් නෑ. ජීවත් වෙන්න ඕනවට ඉන්නවා මිසක, මට එහෙමයි කියලා අරමුණකුත් නෑ. මම මේ දේවල් කරන්නේ මගේ දෙමව්පියන්ට තවත් රිද්දන්න මට බැරි නිසා විතරමයි. මං වගේ හිස් ආත්මයක් ඔයාගේ ජීවිතේට ඈඳගන්න හිතන්න එපා..." මම වෙව්ලන හඬින් එසේ කියා දැමීමි.
ජේඩන් මගේ උරහිසකින් අල්වා වැරෙන් මාව ඔහු වෙත හරවාගත්තේය. මොහොතකට අප දෙනෙත් එකිනෙක හා වෙලී පැවතිනි. මුලින්ම බිම බැලුනේ මට ය.
"ඔයාට පිස්සුද? හිතන්න එපා ඔහොම තමන් ගැනම. ඔයා හිස් ආත්මයක් නෙවෙයි පංචලී. ඔයා ඇතුලේ තාමත් අහිංසක, සුනදර ගෑණු කෙනෙක් ඉන්නවා. ඒක මම දන්නවා. දෙයියනේ ඒක මම විඳලා තියෙනවා. ඒ පංචලී මුලු රැයක් පුරාවට මගේ මේ පපුවේ හිස තියාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ අද වෙනකල් මේ පපුව ඇතුලේ ජීවත් වෙනවා. ඒක හෙටත් එහෙමම වේවි" එසේ කියා ඔහු මාගේ වත සිය වතේ තෙරපාගත්තේය. ඔහු මතක් කල දිනයේ සිතේ පතුලටම රිංගා ගත් සුවඳක් ඒ වතේ මට දනුනි. ඔහුගේ සුසුමක් මා කන්පෙත්තක් උණුසුම් කලේය. සත්තකින්ම ඒ උණුසුමින් මිදෙන්නට සිත ලෝබකම් පෑවේය. එහෙත් එය කල නොහැක්කක් වග ඒ සිතේම එක් පසක් කෑ ගසා පවසන්නට විය.
"මම ඔයාට ආදරෙයි...මහ ගොඩක්" ඔහු මා සවනතට කෙඳිරුවේය.
මම මහත් වෑයමකින් ඔහුගේ උණුසුමින් මිදී, එතැනින් නැගිටගතිමි.
"මට සමාවෙන්න ජේඩන්, මට බෑ" එතුවක් පවසා මම යලි නොනැවතී පිට්ටනිය සිසාරා දිව ආවෙමි. මගේ හුස්ම වේගවත් වුණු තරමටම දුකද දැඩි විය. එහෙත්, මා තුල ආදරයට වූ බිය, නැතිවීම් දරාගන්නට බැරි කම සියල්ලට වඩා බලවත්ව මා සිත තුල පවුරක් ගොඩනගා තිබිණි.

"ඔයාට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ පංචලී"
සොනාලි එසේ කීවේ කෝපයෙන් නොවේ. ඇගේ හඬේ වූයේ මද කලකිරීමකැයි මට සිතුණි.
මා ජේඩන්ව මුණැගැසුණු වග මා කියන්නටත් පෙර මගේ යෙහෙලියන් කිහිප දෙනා දැන හිඳීම කාමරයට මුලින්ම පැමිණි විට මා පුදුමයට පත් කරන්නට සමත් විය. එහෙත් බොහෝ විට සිදුවන පරිදිම ජේඩන් සමග මා සිටිනු දුටු අයෙක් නජීබා හට වග පවසා තිබිණි. එය කේලමක් නොව දුටු නිසා පැවසූවක් විතරක් බව මා නොදැන උන්නා නොවේ.ඉදින් සිදුවූ සියල්ල පවසනවා හැර මට කල හැකි අන් දෙයක් නොතිබිණි.
"ඔයා හිතන්නේ මම එහෙම කතා කරපු එක වරදක් කියලද?" මම ඇසීමි.
මෙවෙලේ කාමරයේ හුන් නයෝමි හා නජීබා සොනාලි දෙස බැලුවේ කුමක් කියන්නේද යන්න විමසීමට මෙනි.
"ඔයා මොකද හිතන්නේ? කරපු දේ හරි කියලද වැරදි කියලද?" සොනාලි මදෙසට තියුණු බැල්මක් හෙලා විමසුවාය.
මම ඇගේ බැල්ම මගැර ඉවත බලා ගතිමි.
"මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ" මම සෙමින් කීවෙමි.
"මම නම් හිතන්නෑ ඒක වැරදියි කියලා. කතා නොකර ප්‍රශ්ණ විසඳන්න බෑ" එවර නයෝමි කීවාය.
"මට ජේඩන්ව තේරුම් ගන්න බෑ ඇත්තටම. ඒත් අවංකවම මගේ හිතට දැනෙන දේ කිව්වොත්...මට හිතෙනවා එයා ඇත්තටමයි ඔයාට ආදරේ කියලා" නජීබා එසේ කීවේ මහිත සසලවාලමිනි.
""මට ඒක ගැන මොනවත් කියන්න බෑ. එයා මොනවා හිතාගෙන ඉන්නවද, මොනා කරන්න යනවද කියලා කවුරුත් දන්නේ නෑනෙ. ඒක නෙවෙයි මෙතන තියෙන දේ.... පංචලී මට හිතෙනවා ඔයා ඔයාටම බොරුවක් කරගන්නවා කියලා" සොනාලි එසේ කී විට මම දෙස බැලුවෙමි.
"මොකක්ද කතාවේ තේරුම?" මම මදක් සැරෙන් මෙන් ඇසීමි. ඇගේ එම ප්‍රකාෂය මා බෙහෙවින් නොසන්සුන් කරන්නට සමත් විය.
"තේරුම තමයි ඔයත් ජේඩන්ට ගොඩක් කැමතියි කියන එක. එහෙම නෙවෙයි කියලා කියන්න එපා. ඒක මම තරම් හොඳින් තේරුම් ගත්තු කෙනෙක් නෑ. ඔයා එයාට කැමතියි, ඒත් ඔයා බයයි...කලින් වුණ දේවල් නිසා. එහෙම නෙවෙයිද?"
මගේ උගුර සිර වී එන්නාක් මෙන් මට දැන්ද්දී, කිසිවක් කියාගත නොහැකිව මම මොහොතක් සොනාලි දෙස බලා උන්නෙමි. නජීබා සහ නයෝමිද මදෙස බලා උන්නහ.
"ඇත්තම කිව්වොත් මට හිතෙනෙත් එහෙමයි පංචලී" නජීබ කීවාය.
මම කිසිවක් නොකියා බිම බලා ගතිමි.
"ඔයා කොච්චර නෑ කියලා හිතුවත් ඒක තමයි ඇත්ත" නයෝමි යලි කීවාය. "සමහර වෙලාවට අපි හිතනවා මේක හරියන්නෑ, මෙයා මට ගැලපෙන්නෑ, අනාගතේදි මොනා වෙයිද වගේ දේවල්...ඒත් අපට එහෙම හිත හිත ඉන්න බෑ හැම වෙලේම. සමහර වෙලාවට අපට අවදානමක් ගන්න වෙනවා. ඒකේ තේරුම හැමදේම අනිවාර්යෙන්ම වැරදෙනවා කියන එක නෙවෙයි. සමහරවිට ඒක ජීවිතේ අපි ගන්න හොඳම තීරණේ වෙන්නත් පුලුවන්. නිසා පංචලී, එක පාරක් වුණ දෙයක් හන්දා ඔහොම ජීවිතේම කලකිරෙන්න එපා. ජේඩන් ඔය තරම් ඔයාගේ පස්සෙන් එද්දි ඔයාට හිතෙන්නේ නැද්ද එයා අවංකවමයි ඔයාට ආදරේ කරන්නේ කියලා?" නයෝමි ඉන්පසු ඇසුවාය.
"සංකේත් අවුරුද්දකටත් වඩා මගේ පස්සෙන් ආවා. එයත් ඔය වගේම දේවල් කිවා කලා. එහෙම කරලත් එයාට අන්තිමට මාව එපා වුණා" මම සෙමෙන් හඬ අවදි කලෙමි. "මම ආයෙම දෙයක් කරන්න බය වෙන්න එකම හේතුව විශ්වාසේ නැතිකමම නෙවෙයි ජේඩන් ගැන. සමහරවිට සොනාලි කඉයන එක හරි ඇති. මම එයාට කැමති ඒක ඇත්ත වෙන්න ඇති. දැන් දැන් මට හිතෙනවා සංකේත් සමහරවිට යන්න ඇත්තෙ මගේ තිබ්බ වැරැද්දක් නිසාදෝ කියලා. මම ජේඩන්ට කැමතිවෙලා, ආයෙම මට තනි වෙන්න වුණොත් මට ඒක දරාගන්න බැරි වෙයි...ඒකයි මම මෙහෙම කරන්නේ. මට දුරින් ඉඳන් මෙහෙම ඉන්න ඒක ලේසියි...ඒකයි" මම අවසන හැඟුම්බරව උන්නෙමි.
" පාර ඔයා මොනාද ඔය හිතන්නේ? ඔයාම ඔයා ගැන ඔහොම හිතලා කොහොමද? ඔයාට පිස්සුද පංචලී? සංකේත් ගියා නම් ගියේ එයාගේ තියෙන අහේතුවට මිස ඔයාගේ වරදක් නිසා නෙවෙයි. ඒක අපට හොඳටම හිතාගන්න පුලුවන්. ඒ නිසා මම කියන්නේ ජේඩන් ගැන ඔයාගේ හිතේ කැමැත්තක් තියෙනවා නම් ඒකට ඉඩ දෙන්න කියලයි" එසේ කීවේ නයෝමි ය.
මට නිතැතින්ම සොනාලි දෙස බැලිනි. ඈ මදෙසට තීයුණු බැල්මක් හෙලාගෙන උන්නාය. එනිසාම ඇගේ බැල්ම මගැර මම බිම බලාගතිමි.
"මට ඒක කරන්න බෑ" මම කීවෙමි.
"පංචලී...එක්කෝ ඕන දෙයක් වෙද්දෙන් කියලා ඔයා එයාට කැමති වෙන්න ඕන. එහෙම නැත්තම්, එයාට බලාපොරොත්තු දෙන විදියට හැසිරෙන්නේ නැතිව ඉන්න ඕන..." සොනාලිගේ හඬ මහිත පාරන්නට විය. එනිසාම මහිතේ මද කෝපයක්ද ඉස්මතු විණි.
"මම එහෙම දෙයක් කලේ නෑ...අද මට එයා එක්ක කතා කරන්න සිද්ධ වුණා. එහෙම නැතුව මම එයාට අනවශ්‍ය බලාපොරොත්තු දුන්නා නෙවෙයි" හිතේ නැගි ආවේගය නිසාම මම හුන් තැනින් නැගිට එසේ පැවසීමි.
සියල්ලෝම එකවර වූ දෙයින් වික්ෂිප්තව මා දෙස බලා උන්නහ. තවත් එතන හිඳින්නට සිත් නුදුන් හෙයින් මම ඒ වේගයෙන හැරී කාමරයේ දොර වෙත ගියෙමි.
"පංචලී..." සොනාලි මා ඇමතුවාය.
එහෙත් මම දොර අසල වූ ඇඳුම් රාකයෙන් මගේ කබාය හා තොප්පියද රැගෙන එලිඅයට එන්නට ආවෙමි.
"පංචලී..." නජීබා කාමරයේ දොර අසලටත් ද විත් කෑ ගැසුවාය.
නමුදු මම එය නෑසුකන්ව එන්නට ආමි. මහිත තුල වූයේ නොරිස්සුමකට වඩා වේදනාවකි. ඒ, සොනාලි මා හට කියූ දෙය නිසාද, නැතහොත් ඈ කීවේ සත්‍යයක් නිසාද කියා මට සිතාගත නොහැකි විය. මම පොදු කාමරය හරහ විත් මදාලෝකයෙන් නැහැවුණු එලිමහනට පිවිසුනේ යන තැනක් හෝ කල යුතු දෙයක් ගැන නොසිතාය. ඩොලීස් වෙත යා හැකි වුවද මෙවෙලේ තනිව යෑම නොමනා යැයි සිතුනෙන් මම නගරය දෙසට වැටී ඇති මගෙහි අරමුණකින් තොරව ඇවිද යන්නට වීමි. ජේඩන් ගැනද,මිතුරියන් කියූ දෑ ගැනද, සංකේත් ගැනද මතකයන් පෙරලි කරන සිත මා වඩ වඩාත් හැඬුම්බර කරන්නට සමත් විය.



4 comments:

  1. පොත් ගුලට එන යන යාලුවෝ හැමෝටම සුබ උදෑසනක් වේවා...මේ දවස් වල පෝස්ට් දාන්න සෑහෙන කලක් යන හන්දා සමහර යාලුවෝ නම් මේ පැත්තේ එනවද දන්නෙත් නෑ. :)
    අනේ ඉතින් තරහා වෙන්න එපා හොඳේ. දැන් රස්සාවකුත් කරන හන්දා වෙලාව බොහොම අඩුයි. ඒ අස්සේ ඉගෙනීමේ වැඩත් තියෙන හන්දයි පෝස්ට් දාන්න වෙලා යන්නේ. ලියන්න නම් ආසයි ඒත් වැඩයි, නිදිමතයි එක්ක තමා අමාරු...

    අලුත් අවුරුද්දේ මට සුබ පතපු හැමෝටමත් (විශේෂයෙන් කතන්දර කාරයා, තරු රසි සහ වර්ෂාට ) ගොඩක් ස්තුතියි.

    මේ කතාව ඉක්මණට ඉවර වේවි. හොඳම දේ තමයි, ඊලඟට එන කතාවත් දැන් මම ලියාගෙන යන එක...කොහොම වුණත්, ලියන්න අතේ පණ තියෙනකල්ම මේ පොත් ගුලේ කතා නම් ලියවෙනවාමයි...

    හැමෝටම සුබ දවසක් වේවා!!!

    ReplyDelete
  2. හ්ම්ම්ම් එහෙමද මේ මෝඩ ළමයා හරිදේ තේරුම ගත්තොත් හොදයි

    ස්තුත්යි

    ඉවර උනාම තව එකක් ආලුතින් දෙනවද ?

    ReplyDelete
  3. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  4. හෆොයි ඉක්මණට ඉවර වෙනවද.. කමක් නෑ ඉතින් කතාව තියෙන්නෙ ඔයාගෙ අතේනෙ.කලින් කතා දෙක නම් සෑහෙන්න දිගට ගියානෙ.ඇත්තටම මල් වැහි කතාවට තමයි මං වැඩිපුරම ආදරේ.මේකත් ලස්සනයි.ඔයා ඉස්සරහ‍ට ලියන එකත් ඒ වගෙම නැත්නම් වෙනත් විදියකට හරි ගොඩක් ලස්සන වෙයි කියල හිතෙනව.සුබ පැතුම් නෙතූ අක්කා..ඔයාට පහසු විදියට කතාව ලියන්නකෝ.අපි හැමදාම ඉන්නවා කියවන්න!

    ReplyDelete