Thursday, September 13, 2012

දාහතරවන කොටස

සවස තුනට පමණ දේශණ අවසන් වූයෙන් අප සිව් දෙන ඩොලීස් වෙත යන්නට පිටත් වූයෙමු. සවස තරමක් සීතල වූ අතර හාත්පසම වූයේ වැහි අඳුරක් වැනි ස්වභාවයකි. අප එහි ඇවිද යද්දී, මන්ජීත් සහ ඩීනෝ තවත් අප නාඳුනන තරුණැයෙකුද සමග අප පසුපස ඇවිදගෙන පැමිණියහ. එනිසාදෝ සොනාලි උන්නේනොසන්සුව යැයි මට වැටහිණි. කෙසේ හෝ අවන්හලට ඇතුලු වූ පසුව ඔවුන් තිදෙනාද අප හුන් මේසයටම පැමිණ අසුන් ගත් අතර, ජේඩන් නම් පේන මානයක උන්නේ නැත.
"හායි කෙල්ලනේ...හායි සොනාලි" ඩීනෝ අපට කතා කරද්දි සොනාලි මොනවාදෝ බෑගයෙන් අදිමින් උන්නා මිස ඔහු දෙස  බැලුවේ නැත.
"මේ එතකොට?" පූජා අලුත් තරුණයා දෙස බලමින් ඇසුවාය.
"මේ එරික් ෆොස්ටර්. මගේ පාට්නර්. මෙයා ඉගෙන ගන්නේ නම් ගණිත අංශයේ. අපි සරසවි සාප්පු සංකීර්ණයේදි තමයිහමු වුණේ. එරිච්, මේ මගේ යෙහෙලියෝ. පූජා, ලතිකා, පංචලී, සොනාලි, නයෝමි"
"හායි එරිච්"
උස, කෙට්ටු, සුදුමැලි තරුනයෙකු වූ එරිච් හටැ අප සියලු දෙන ආචාර කලෙමු. ඔහුගේ හිසකේ කහ පැහැයට හුරු වූ අතර, ඒවා දිගු කැරලි ලෙස මුහුණට වැටී තිබිණි. මට ඔහු කෙරෙන් දිස් වූයේ ගැහැණු ළමයෙකුගේ බඳු පෙනුමකි.
"ජීවන් සාති තෝ නහී (ලයිෆ් පාට්නර් නෙවෙයිනේ)?" සොනාලි හින්දියෙන් එසේ ඇසුවේ සරදම්කාර ලෙසය.
"වෙන්න පුලුවන්" මන්ජීත් එසේ කියද්දි මට දැනුනේ අමුත්තකි. මෙහි මම නොදන්න යමක් ඇතැයි මට නිකමට සිතිණි. මා නිවැරදි බව මට සහතික වූයේ එරික්, මන්ජීත්ගේ ජීවන සයාම බැව් මට පසුව ආරංචි වූ පසුව ය. එය මා හට තරමක අමුතු ප්‍රවෘත්තියක් වුවද මෙම රටවල එවන් සබඳතා සාමාන්‍ය දෙයක් වග මම දැන උන්නෙමි.
නයෝමි, ඩීනෝ සහ මන්ජීත් ගොස් ආහාර සහ පානයන් රැගෙන එනතුරු ඉතිරි අපි සියල්ලෝ වටපිට බලමින් හා එරික් සමග යන්තමට සිනාසෙමින් ඉන්නා අතරේ, මගේ දෑස් හදිසියෙන්ම යොමු වූයේ එවෙලේ අවන්හල තුලට පැමිණි ජේඩන් වෙත ය. ඔහු වට පිට නොබලා ගොස් සෙනග අතරේ නොපෙනී ගියේය.
"ආවා නේද?" සොනාලිද එදෙස බලමින් මගෙන් ඇසුවාය.
"හ්ම්. ඒත් මේ පැත්තට එන එකක් නෑ වගේ" මම කීවෙමි. එය මගේ ප්‍රාත්ථනයද විය.
එහෙත් මගේ එම නිගමනය සාවද්‍ය බවට පත් කරමින්, ඩීනෝ ඇතුලු පිරිස සමග ජේඩන් ද අප වාඩි වී උන් මේසය වෙත පැමිණියේය. සොනාලි වහා මගේ ලැප්ටොප් පරිගණැකය මේසය මත ගිහ්ග හැරියේ එය ක්‍රියාත්මක කරන්නැයි මට ඉඟියක්ද කරමිනි.
"හායි ජේඩන් කොහොමද?" පූජා කවදාවත් නැති සුහද භාවයකින් යුතුව ජේඩන්ගෙන් විමසද්දී, ඔහු මදක් අන්ද මන්ද වූ වගක් පෙනෙන්නට තිබුණි.
"හොඳින් ඉන්නවා. ස්තුතියි. ඔයාලත් හොඳින් ඇති කියලා හිතනවා" ඔහු කීවේ මා උන් දිශාව නොබලමිනි.
"ඉතිං, ඉතිං කියන්නකෝ කොහොමද ඔයාලගේ නිවාඩුව හොඳද?" රැගෙන ආ කෑම බීම මේසය වටා යවමින් ඩීනෝ ඇසුවේය.
"වරදක් නෑ, සීතලේ ඉඳලා ආවා" නයෝමි කීවාය.
"කොහොමද ජේදන් නිව්යෝර්ක් නත්තල් හෙම?" මන්ජීත් එසේ අසද්දි මම ජේඩන් දෙස බැලුවෙමි. එහෙත් ඔහු මදෙස නොබැලුවේ ය.
"විශේෂ වේන්සක් නෑ. පුරුදු උත්සවශ්‍රීය එහෙමම තිබුණා" ඔහුගේ හඬේ වූයේ උදාසින්න බවකි.
"ඔයාලගේ?" මන්ජීත් එවර අප වෙත හැරී ඇසුවේය.
"විශේෂ දේවල් අපට නම් වුණෙත් නෑ" එවර පූජා ඇද පැද කීවේ මදෙස බලමිනි.
සොනාලි සෙමෙන් හිස දෙපසට් වැනුවාය.
"අනේ ඇත්තටම. පූජා over acting නොකරනවා නම් හොඳයි" සොනාලි බිමට නැවෙමින් මට් ඇකෙඳිරුවාය.
"ඒ කියන්නේ විශේෂ දේවල් වෙච්ච අයත් ඉන්නවා" මන්ජීත් අත වූ ඩෝනුට් එක කමින් ඇසුවේය.
"නැතුව නැතුව...පංචලීට නත්තල් නිවාඩුවත ගිහින් විශේෂ කෙනෙක් හම්බවෙලා නෙ" පූජා එවර එසේ කීවේ මහිස ලැජ්ජාවෙන් රත් කරලමිනි.
"ඕ...එහෙමද? හා..හා...නියමයි නේ" මන්ජීත් සහ ඩීනෝ එසේ කියද්දී, ජේඩන් කන්නට අතට ගත් කේක් කැබැල්ලදා නොකා අප දෙස බලා උන්නේ පුදුමය රැඳි දෙනෙතින් බැව් මට පෙනුනි.
"කවුද ඉතින් ඒ?" මන්ජීත් මදෙස බලා විමසද්දි මම් අබිම බලා ගතිමි.
"කියන්න අනේ ලැජ්ජා නොවී" නයෝමි මට කීවාය"
"යාලුවෙක්" මම අපහසුවෙන් කියා ගතිමි.
"යාලුවෙක්? යාලුවෙක් නෙවෙයි, අම්මලා මෙයාට බඳින්න ප්‍රපෝස් කරපු කෙනා" මවා බලවත් සේ තිගැස්මට ලක් කරමින් එසේ පැවසුවේ සොනාලි ය.
"මොකක්?" ඩීනෝ එසේ විමසද්දී, කෝපි කෝප්පය පිට උගුරේ ගොස් ජේඩන් කහින වග අපට පෙනුනි. අසල උන් එරික් ඔහුගේ පිටට ගසමින් උන්නේය.
"අපට එයා ගැන කියන්නකෝ" මන්ජිත් ඉල්ලා සිටියේ ය. සොනාලි මේසයට යටින් අත තම මගේ කකුලක් කෙනිත්තුවාය. මම කෑ නොගසා උන්නේ අමාරුවෙනි. මේ අතර ජේඩන් ද මදෙස බලා උන් වග මට නෙත් කොනකින් පෙනුණි.
"මේ, එයා දොස්තර කෙනෙක්. ළමයින්ට වෙදකම් කරන"
"වාව්, නියමයි නේ. ඉතින් ඉතින්?" ඩීනෝ කීවේය.
"ඉන්න බීකන්  හිල් වල. එයාට ලස්සනට පියානෝ ගහන්නත් පුලුවන්" සොනාලි යලිත් වරක් කකුල කෙනිත්තු පසු මම කීවෙමි.
"බීකන් හිල්? වාව්. හරි ලස්සන පැත්ත. මම හරිම ආසයි. ඔයා හරි ලකී" එසේ කීවේ එරික් ය.
මම ඔහුට් ආමාරුවෙන් මදහසක් පෑවෙමි.
"ස්තුතියි එරික්"
"වෛද්‍ය පියානිස්ට් කෙනෙක්! එයා ඔයා වෙනුවෙන් වාදනය කරාවි ආදර ගීත. අන කොච්චර ප්‍රේමණීයද?" එරික් ලතාවකට එසේ කීවේය.
"නරක නෑ නේද ජේඩන්?" කිසිවක් නොදන්නා ඩීනෝ ජේඩන්ගෙන් එසේ විමසද්දී, මාද ඇතුලුව සියලුම ගැහැණු ළමුන්ගේ දෑස් ජේඩන් දෙසට උනන්දුවෙන් යොමුව තිබිණි.
"ආ...මොකක්ද? ඔව් ඔව්. හොඳයි" ඔහු කල්පනාවෙන් තොරව මෙන් උත්තරයක් දුන්නේය.
"මේ ෆෝටෝ එක" සොනාලි මගේ පරිගණකය හරවා ඩීනෝ ඇතුලු පිරිසට පෙන්වද්දී,  ජේඩන්ද හැඟීමකින් තොරව මෙන් එදෙස බලා උන්නා පමණි.
ඔහු කිසිවක්ම නොකීම මගේ සිතට එක කලේ නොසන්සුන්තාවයකි. ඔහු තවමත් මට සමාව දී නැත් වග මට සහතික විය. මේ සිද්ධියෙන් පසු ඔහු මා හා යලි කතා කරාවිද යන්න පවා සැක සහිත විය.
"එතකොට පංචලී බඳින්නේ මෙයාවද? ලස්සන කොල්ලා මොනා වුණත්" මන්ජීත් කියද්දි එරික් ඔහු දෙසට හෙලුවේ නොරිස්සුම් බැල්මකි. "මං කිව්වේ මේ, ඔයාට ගැලපෙනවා කියලයි" එනිසාදෝ ඔහු යලිත් කීවේය.
මට සිනාවක් නැගුනේ ඉබේටමය.
"තාම එහෙම මොනවත් තීරණය කරලා නෑ. මොනාටත් මේ ඉගේනීමේ වැඩ ඉවර වෙන්න ඕන නේ" මම කීවෙමි.
"මේ යාලුවනේ, මට පොඩි ගමන්ක් යන්නත් තියෙන නිසා මම දැන් යන්න ඕන. කරුණාකරලා ඒ ගැන මට සමාවෙන්න. අපි වෙන වෙලාවක හම්බවෙමු. හරි...සුබ රාත්‍රියක් හැමෝටම"
මා පවසා හවර වනවාත් සමගම නැගිටගත් ජේඩන් එසේ පවසා පිටව ගියේ මටැ කිසිවක් සිතාගන්නට ඉඩ නොදීය. මම සොනාලි දෙස බැලීමි. ඇය අමුතු සිනහවක් පා මට ඇසක් ඉඟි මැරුවාය. මම අන්ද මන්දව බිම බලා ගතිමි.
"මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද පංචලී" සොනාලි එහාට මෙහාට වුණු ඇසිල්ලක මගෙන් එසේ විමසුවේ ඩීනෝ ය. මම මදක් පුදුමව ඔහු දෙස බැලුවෙමි.
"මේ දැන්ද?"
"ඔව්, කරුණාකරලා"
"ආ...ම්...හරි. අපි යමුකෝ එලියට එහෙනම් අනික් අය එනකල්" මම මද වෙලාවක් දෙගිඩියාවෙන් හිඳ වට පිට බලා ඔහුට කීවෙමි.
සොනාලි සහ අනෙක් පිරිස දැන්වීම් පුවරුව වටා රොක් වී මොන්වාදෝ සාකච්ඡා කරමින් උන් වග මට ඈටට පෙනුනි. ඩීනෝ පවසන්නට උත්සාහ කරන්නේ සොනාලි පිළිබඳව යමක්ද නැතිනම් ජේඩන් පිළින්බඳව යමක්ද කියා මටැ සිතාගත නොහැකි විය.
"මම හිතන්නේ සොනාලි ඔයාට කියලා ඇති නේද මම එයාට නිවාඩු කාලෙ කතා කරපු වග"
මන්දාලෝකයෙන් යුතු වූ එලිමහනට බැස අවන්හල අසල වූ  විශාල බර්ච් ගස අසලට ඇවිද යද්දි ඔහු ඇසුවේය. කුමක් කිව යුතුදැයි මට එකවරම සිතාගත නොහැකි වූයේ, මා ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වලට අදාල දෑ ගැන කතා කල යුතුදැයි මසිත තර්ක කල බැවිනි.
"මම දන්නවා එයා අනිවාර්යෙන්ම ඔයාට මේ ගැන කියන්න ඇති කියලා" ඔහු මගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවී යලි කතාව ඇරඹීය.
"ඔයාට මගෙන් මොනාහරි කෙරෙන්න ඕනද ඩිනෝ?" මම ඇසුවෙමි.
"මෙහෙමයි, සොනාලි මෙහේදි මට මූණ දීලා කතා කරන්නේ නෑ. මම දන්නෑ ඒ ඇයි කියලා. එයා මට අකමැතියි කියලා කිව්වෙත් නෑ. මට කැමතිද කියලා දැනගන්න විදියකුත් නෑ කතා නොකරන හන්දා. ඇත්තටම එයා මොකද හිතන්නේ කියලා ඔයා දන්නවද? මේක හිතට ලොකු බරක් පංචලී. ඒකයි මම ඔයාගෙන් අහන්න හිතුවේ. ඔයාට කරදරයක් නම් මට සමාවෙන්න" ඔහු ඈට බලාගෙන් අකීවේ සිත්තැවුලෙන් මෙනි.
"සොනාලි ඔයාට මොනවත්ම කිව්වේ නැද්ද?" මම ඇසුවෙමි.
"ගෙදර ප්‍රශ්ණ, එයා ඉන්දියාවේ යන්න ඕන වගේ අරක මේක කිව්වා තමයි. ඒත් කෙලින්ම අකමැතියි  කියලා කිව්වේ නෑ" ඔහු කීවේය.
"මේකයි ඩීනෝ, සොනාලි මගේ රූම් මේට් වග ඇත්ත. ඒත් එයා නොදැන මම මේවා ගැන ඔයා එක්ක කතා කරන එක හරිද කියලා මම දන්නේ නෑ"
"කරුණාකරලා පංචලී එහෙම කියන්න එපා. ඔයා මගේ යාලුවෙක් නෙවෙයිද?" ඔහු එවර මදෙස බලා ආයාචනාත්මක ස්වරයෙන් ඇසුවේය.
මට ඔහු ගැන දුකක් දැනුනි. මේ අතරේ මගේ ජංගම  දුරකථනයට සොනාලි කෙටි පණිවිඩයක් එවා තිබුණෙන් මම එය කියවන්නට මදක් කල් ගතිමි.
"where are u?" එහි සටහන්ව තිබිණි.
ඔවුන්ට යන්නැයි කියා පිලිතුරක්යැවූ මම යලි ඩීනෝ දෙස බැලුවෙමි.
"ඒක මෙහෙමයි, ඔයා දන්නවනේ අපේ රටවල් වල තියෙන, සමාජේ, චාරිත්‍ර වෙනස්. ඉතිං සොනාලිටත් ඒවා බලපානවා. එයාගේ පවුල ගොඩාක් සාම්ප්‍රදායික කට්ටියක්. මම හිතන්නෑ එයාලගේ පවුලේ අය මෙහෙම දේකට කැමැත්ත දේවි කියලා ඩීනෝ. ඇත්තටම"
"මේ වගේ කාලෙකත් එයාල එහෙම හිතන්වද? ඔහු අසුවේ කලකීරීම මුසු පුදුමයකින් මෙනි.
"එහෙම තමයි ඩීනෝ. ඒකයි සොනාලිට බැරි මම හිතන්නේ මෙහෙම දේකට පෙලඹෙන්න" මම කීවෙමි.
"ඒ කියන්නේ එයා මෙහෙම කරන්නේ ගෙදරට බයේ මිසක මට අකමැති නිසා නෙවෙයි?" එවර ඔහු මදක් උද්‍යෝගයට පත්ව උන්නේය.
"ඒක නම් මම දන්නේ නෑ. එයාගෙනම තමයි අහන්න වෙන්නේ. මම ඇත්තටම දන්නේ නෑ කියන්න" මම අවංකවම කීවෙමි.
ඔහු හිස වනුවේය. මදක් කලපනා කලේය.
"ගොදක්ම ස්තුතියි පංචලී. මම මොනා හරි කරන්න බලන්නම්. මම ලේසියෙන් පසු බහින්න නම් ලෑස්ති නෑ" ඔහු ඉන්පසු කීවේය.
"ඩීනෝ ඔයා හම්බවුණ වග මට සොනාලිට කියන්න වෙනවා. ඒකට කමක් නෑනෙ" මම ඇසුවෙමි.
"කමක් නෑ. එතොකොට එයා දැනගනීවි නේ මම එයා ගැන වද වෙන බව"
මම ඔහුට සිනාවක් පෑවෙමි. ඔහු සැබවින්ම පසු බසින්නට් සූදනම් නැති බව නම් මට වැටහිනි.
"එහෙනම් මම යන්නද?" මම ඉන්පසුව විමසුවේ කලුවර වැටීගෙන එමින් පවතුණු බැවිනි.
"යමු, මම ඔයව මල්බෙරි වටරවුම ලඟට ඇරලවන්නම්" ඔහු කී විට මම මදක් කුතුහලයට පත් වීමි.
"අ..මල්බෙරි වටරවුම ලඟට? ඒත් ඔයා හැරෙන්න ඕන ඊට පස්සේ තියෙන හන්දියෙන් නේද?"
"ඔහ්...මට කියන්න අමතක වුණානෑඅ. ජේඩන් ඔයා එනකල් එතන ඉන්නවා කියන්න කියලා මට කිව්වා"  ඔහු එසේ පැවසූ වුට මම බලවත් සේ තුෂ්නිම්භූත වූයෙමි.
"මං එනකල්?"
"ඔව්" ඩීනෝ සිනාවක් පා කීවේය. ඔහු උවමනවෙන්ම එම පණිවිඩය මගෑරියාදැයි මහිතේ සැකයක් ඉපදිණි.
මම මදක් කලපනා කලෙමි. ජේඩන් මා එනතුරු එසේ ඉන්නේ මන්දැයි කියා මට පැහැදිලි අදහසක් නොවිණි. සමහරවිට  තවදුරටත් ඔහුගේ අමනාපය ප්‍රකාෂ කරන්නට විය හැකිය. එනමුදු ඔහු හමු නොවී ඉන්නවාට වඩා හමුවී සිදු වූ දෑ පැහැදිලි කොට කීම මැනවැයි මම අන්තිමේදී තීරණය කලෙමි.
"හරි, ස්තුතියි, එහෙනම් අපි යමු"
ජේඩන්ට කිවයුතු විවිධ දෑ සහ නිදහසට කාරණා මතක් කරගනිමින්, ඩීනෝ සොනාලි ගැන කියවන යම් යම් දෑ වලට හූමිටි තබමින් මම මල්බෙරි වටරවුම පෙනෙන මානයට ඇවිද එද්දී, වටරවුම ඉදිරිපස පෙම්වතුන්යයි සිතිය හකි කිහිප දෙනෙකු ද සිටිනවා මට පෙනුනි. දැන් දැන් අඳුර දැඩි වූ බැවින්, වට රවුම වටා දල්වා තිබූ වීදි ලාම්පු වල එලිය වඩාත් තීව්‍ර විය. ජේඩන් කොහි වෙත්දැයි සොයන්නට මම වටපිට බැලීමි.
"හායි ඩීනෝ..." මා ඉදිරිපස බලා ඉන්දැද්දි ජේඩන් පසුපසින් විත් ඩීනෝ ඇමතූ හඬට මම ද ඉක්මණින් පිටුපස හැරී බැලුවෙමි. මුලුමනින්ම වාගේ කලුපැහැ වූ සීත ඇඳුම් කට්ටලයකින් සැරසුනු ජේඩන් අපට සමාන්තරව සිටගෙන උන්නේය.
"හායි මෑන්, ඔන්න මම එක්කගෙනම ආවා. එහෙනම් මම යන්නම්. පරෙස්සමින් මෙයා ගෙනියලා ඇරලවන්න එහෙනම්" ඩීනෝ එසැනින්ම යන්නට සූදානම් විය.
" අනිවාර්යෙන්ම. එහෙනම් ස්තුතියි ඩීනෝ, සුබ රාත්‍රියක්..."
"සුබ රාත්‍රියක් දෙන්නටම...බායි. හෙට හම්බවෙමු"
ඩීනෝ නික්ම ගිය පසු පාර මැද ජේඩන් සමග සිටගෙන උන් මට දැනුනේ අපහසුතාවයකි.
"එහෙනම්...අ..ම්...අපි...ඉසරහට ඇවිදගෙන යමුද?"
ඒ අපහසුදායක නිහැඬියාව බිඳ දමමින් ජේඩන් මා විමසුවේය. මම කිසිවක් නොකියා ඔහුට අවනත වීමි.
"ඔයාගේ නිවාඩුව ගැන මම අහන්නේ නෑ. ඒක ඉස්තරම්ම එකක් වෙන්න ඇති බව මට විශ්වාසයි. ලස්සන පැත්තක, සිත්ගන්නාසුලු උදවිය එක්ක හෙම..." ඔහු වචනයෙන් වචනය ප්‍රවේසමෙන් තෝරාගෙන සරදම් කලැයි කියා මත සිතිණි.
"ජේඩන්...කරුණාකරලා ඔය අමුතු සිතිවිලි අයින් කරගන්න. නත්තල් දා වෙච්ච දේට ඔයාට ඔය තරම් තර්හා යන්න ඕන කියලා මම හිතන්නේ නෑ. මම එදා රෑ ඔයාට සුබ පැතුවානෙ. මම අනික් යාලුවන්ට සුබ පැතුම් යැව්වෙත් එදා. මුලු දවසම පිට ගිහින් හිටපු නිසයි මට එහෙම කරන්න වුණේ" මම සිත් වේදනාවෙන් යුතුව කීවෙමි.
"ඇත්තට? එතකොට ඔයාගෙ ෆෝන් එක තිබ්බෙත් නෑ?"
මම සුසුමක් හෙලා උන්  තැනම නැවතුනෙමි.
"ජේඩන් ඒක වරදක් බව මට තේරෙනවා. ඒත් සති ගාණක් තරහා වෙලා ඉන්න තරම් වරදක් නෙවෙයි"
මට මදක් ඉදිරියෙන් නැවතී මදෙස බලාගෙන උන් ඔහුට මම කීවෙමි.ඔහුද සුසුමක් හෙලුවේය.
"ඔව්, මම හිතන්නෙත් නෑ එහෙම. (එවර ඔහුගේ ස්වරය පහත් එකක් විය) ඒත් පංචලී, මම මුලු දවසම බලාගෙන හිටියා ඔයා කතා කරාවි කියලා. හැමදාම වගේ මේ නත්තලත් මට සතුටුදායක එකක් නෙවෙයි. ඉතිං මගේ හිත රිදුනා, ඔයත් කතා නොකලම. ඒකයි මට තරහා ගියේ...(ඔහු යලි සුසුමක් හෙලුවේය) මට සමාවෙන්න"
එවර ඔහු ගැන මහා දුකක් මසිත වසා පැතිරිණි. මම සෙමෙන් ඔහු අසලට ගොස් ඔහු දෙස බලුවෙමි. ඒ දෑස්ද මවෙතට යොමුව තිබිණි.
"නෑ. මමයි සමාව ඉල්ලන්න ඕන. මං දන්නවා. ඒත් මම හිතුවෙ නෑ ඔයා බලාගෙන ඉඳීවි කියලා" මම සෙමෙන් කීවෙමි.
"මං හිතුවා ඔයාට ඒක දැනෙනවා ඇති කියලා" ඔහු සෙමෙන් කීවේය.
මහිතට බරක් පිවිසිණි. මේ කතාව තවත් දුර ගෙන යා යුතු නැතැයි මසිත මට ඉඟි කලේය.
"අපි ඒක අමතක කරමුද, කරුණාකරලා. යාලුවෝ එක්ක තරහා වෙලා ඉන්න මම ආස නෑ ජේඩන්" මම එනිසා කතාව වෙන්තකට යොමු කරන්නට උත්සාහ කරමින් කීවෙමි.
"ඔව්. මට තේරෙනවා. මට සමාවෙන්න ආයෙමත්, ඔයාගේ පණිවිඩ එකකටවත් උත්තර නො එව්වට." ඔහු කීවිට මම ඔහුට මන්දහාසයක් පෑවෙමි.
"ඉතිං තරහා වෙලා හිටපු මනුස්සයා, මොකද අද මා එක්ක කතා කරන්න හිතුවේ?" මම යලි ගමන් කරන්නට පටන් ගනිමින් මට පසූ වී පැමිණෙන ඔහු වෙත හැරී ඇසුවෙමි.
"මෙහේ ආවම කතාකරන්න තමයි හිටියේ කොහොමත්. ඔයා දැනගන්න ඕන මට තරහා වෙලා ඉන්න බැරි බව" ඔහු කීවේය.
"ඒ වුනාට තරහා වෙලා හිටියා නෙ. මොනා වුණත් කාටවත් බෑ සදාකාලෙටම තරහා වෙලා ඉන්න. ඒකයි ඇත්ත" මම යලි ඉදිරිපසට හැරෙමින් කීවෙමි.
ඉන්පසු අප දෙදෙනා මද දුරක් කතා බහකින් තොරව, වටපිට බලමින් ඉදිරියට ඇවිද ගොස්, නේවාසිකාගාර වලට හැරෙන වටරවුම වට ඉදිකොට තිබූ වියලි බංකුවක වාඩි ගතිමු. ඈතින් පෙනුන නේවාසිකාගාර ගොඩනැගිලි වල ජනේල විශාල කලු පෙට්ටියක, පිලිවෙලට ඇලවූ කහ පැහැ දීප්තිමත් කොටු පෙලක් ලෙස පෙනුනි. එම රාත්‍රියේ සීතල වැඩි වන්නට පටන් ගෙන තිබිණි.
"ඉතිං කවුද අර සොනාලි පෙන්නපු පිංතූරෙ ඔයා ලඟ උන්නු හාදයා? අර ඔයාගේ හිතේ ඉන්න, ඔයා ආදරේ කරන, ඔයාට ආදරේ නොකරන එක්කෙනාද?"
ජේඩන් එසේ අසද්දි මම තරමක් පුදුම වූයෙමි. ඔහු මගේන් ඒ ගැන විමසාවියි යන්න මා බලාපොරොත්තු නොවුණක් විය.
"අ..අම්..ඒ..එයා නෙවෙයි" මම ඉක්මණින් කීවෙමි.
සංකේත්ව යලි සිහියට නැගුනේ සිතේ වූ පරණ තුවාලය යලිත් මදකට පාරවමිනි.ඒත් අපි අතර වූ බැඳීම් සියල්ලම අවසන්ව තිබුණ් වග ද එවෙලේ මට මතක් විණි.
"ඔහ්...එහෙනම් ඒ කවුද?"
"පවුලේ යාලුවෙක්. සුදම්. එයාදොස්තර කෙනෙක්"
"හ්ම්. මට ඇහුනා සොනාලි ඒක කියනවා. එතකොට සොනාලි කිව්වේ මොකක්ද කසාද බඳින එකක් ගැන?"
"ඔව්, අම්මලා එහෙම දේකට තමයි අපිව මුණගැස්සුවේ නම්. ඒත්, ඒක වෙන්න පුලුවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ ජේඩන්. මට එයාව බඳින්න බෑ" මම සැබවින්ම මට සිතුණු දෑ කීවෙමි.
"ආහ්...එහෙමද?" එසේ කියූ ඔහු උද බලා මට නෑසෙන්නට යමක් මිමිණූ බව මට යන්තමින් පෙනුණි. ඒ කුමක්දැයි මට සිතාගත නොහැකි විය.
"ඒත්...පොඩ්ඩක් ඉන්න...ඒ කියන්නේ ඔයා තාමත් අර අනික් කෙනා ගැන හිතනවා කියන එකද?" ඉන්පසුව හදිසියෙන් මෙන් මදෙස බැලූ ඔහු ඇසුවේය.
"වෙන්න ඇති" මම බිම බලාගෙන කීවෙමි.
"ඒත් ඇයි පංචලී? ඇයි තාමත්?"
"මම එයාට ගොඩාක් ආදරේකරපු හන්දා" මම මිමිණුවෙමි.
"ඒ කියන්නේ ආයෙම කවදාවත් කාටවත් ආදරේ කරන්න ඔයාට බැරිද?" ඔහු මට තරමක් ලං වී විමසුවේය.
"මං දන්නෑ ජේඩන්. ආදරේ නෙවෙයි, මගේ විශ්වාසයයි කඩවුණේ. ඒකයි මට දරාගන්න බැරි.ආයෙම කාවවත් විශ්වාසකරන්න මං බයයි" හිතේ වූ සංතපය වැඩි නිසාදෝ මගේ සිතිවිලි පාලනය කරගන්නට මට නොහැකි වී තිබිණි.
"හැමෝම එක වගේ නෑ පංචලී"
"ඔයා හිතනවද සුදම්ව මට විශ්වාස කරන්න පුලුවන් කියලා?" මම එවර ඔහු දෙස බලා ඇසුවෙමි.
ඔහු මොහොතකට නිරුත්තර වුවද, මදක් කල්පනාකොට යලි කතාකලේය.
"මම ඒක කියන්න දන්නේ නෑ. ඒත් ඔයා නොදන්නවට ඔයා ගැන හිතන අය තව ලෝකේ ඕන තරම් ඇති කියලයි මම කියන්නේ. සමහරවිට ඒ අයගෙන් කාට හරි ඔයා බලාපොරොත්තු වෙන කෙනා වෙන්න පුලුවන්කමකුත් ඇති. ඒ වගේම ඔයාගේ විශ්වාසෙ රකින්නත්"
ඔහු එසේ කියද්දි මහිත යලි මට යලි ඉඟි කලේය. ඒක් කතාව වෙනතක හරවන්නට කියාය.
"අනේ මන්දා...රෑ වීගෙනත් එනවා ජේඩන්. සීතලත් වැඩියි. සොනාලිලා මම එනකල් බලාගෙන ඇති කෑම කන්න යන්නත්. අපි යමුද?" මම එනිසා එසේ විමසුවෙමි.
"හොඳයි" ඔහු සුසුමක් හෙලා කීවේය.
මම උන් තැනින් නැගිට්ට යලි පාරට අවතීර්ණ වූයෙමි. ජේඩන්ද මා අනුව පැමිණියේය.
"පංචලී..." ජේඩන් මා ඇමතුවේය.
"ම්ම්..."
"ඔයා කැමති නම් වෙලාවක අපි කෑමකට එලියට යමුද?" ඔහු මගෙන් ඇසුවේය.
"ආ...අනිවාර්යෙන්ම යමු. මම කැමතියි එලියට යන්න. කවදද?" ඔහුගේ සිත හදන්නට මත උවමණා වුණු බැවින් මම එසේ කීවෙමි.
"ජනවාරි දාසය" ඔහු කීවේ මා පුදුම කරවමිනි.
"ඇයි එදාම? මොකක් හරි විශේෂත්වයක්ද?" මම ඇසුවෙමි.
"ම්ම්...නැත්තෙමත් නෑ. ඒක වැඩක් නෑනෙ. ඔයා එන්න කැමතියි නම්"
"වෙන කවුද එන්නේ?" මම එසේ ඇසූ විට ඔහු පුදුමයෙන් මෙන් මදෙස බැලුවේය.
"වෙන...කවුරුත් ඕනද?"
"ආහ්...නෑ, මම හිතුවා තව අය එනවා ඇති කියලා" මදක් ලැජ්ජාවට පත් වූ මම කීවෙමි.
"නෑ. අපි දෙන්නා විතරයි. සමහරවිට ගෙදරට කීප දෙනක් ඒවි පහුවදාට" ඔහු කීවේය.
"ඔහ්...පාටියක්ද?"
"ම්ම්" ඔහු හිස වැනුවේය.
"හරි" මම හිස වනා එකඟ වූයෙමි.
ඒ ගමන යන්නට මගේ සිත තුල මොකක්දෝ අකමැත්තක් විණිද, මිතුරු වූ සැනින්ම යලි ඔහුගේ සිත රිදවන්නට මට උවමණා නොවිනි. කෑමට ගොස් ඉක්මණින්ම පැමිණෙන්නට හැකි වේවි යැයි මම කල්පනා කලෙමි.
"ස්තුතියි"
"ඕක කියන්නත් දෙයක්යැ. ඒක නෙවෙයි ජේඩන්, මොකද ඔයා කිව්වේ මේ පාර නත්තල සතුටුදායක නෑ කියලා? ඔයා අකමැති නැත්තම් විතරක් කියන්න මට" මම ඔහුගෙන් අසන්නට බලා හුන් දෙයක් මෙවෙලේ මම ඇසුවෙමි.
නේවාසිකාගාරය පෙනෙන මානයේ ජේඩන් ණැවතුනෙන්, මමද නැවතුනෙමි.
"මේ පාරත් තාත්තා මා එක්ක කතාකලේ නෑ. සහෝදරියෝ දෙන්නා ආච්චි අම්මලගේ ගෙදර එව්වෙත් නෑ, මං ඉන්න හන්දා. එයා මට සමාව දෙන්න ලෑස්ති  නෑ, මම හිතුවක්කාර කමට ගෙදරින් පැනලා ආපු හන්දා" ඔහු කීවේ වේදනාවෙන් වග මට වැටහිණි.
"එතකොට අම්මා?"
මා ඇසූ විට ජේඩන් හිනැහුණා පමණි. "අපි ඒ ගැන කතා නොකර ඉමු පංචලී"
මම ඉන්පසු කිසිවක් අසන්නට නොගියෙමි. ඔහු සිත රිදවන්නට මාතුල වූයේ ලෝබකමකි.
"එහෙනම් හෙට හම්බවෙමු" නේවාසිකාගාරයේ දොර අසලදී මම ඔහුට කීවෙමි.
ඔහු හිස වනා මදෙස බලා උන්නේය. මම ඔහුට මදහසක් පෑවෙමි.
"අපි ආයෙම යාලු වුණ එක ගැන මට සතුටුයි" ඔහු ඉන්පසු කීවේය.
"මටත්"
"එහෙනම් මම යන්නම්. ජනවාරි දාසය අමතක කරන්න එපා"
"නෑ" මම හිනැහෙමින්ම කීවෙමි.
"හෙට හම්බවෙමු" ඔහු මගේ කම්මුලක් මුදුවට සිප එසේ පවසා යන්නට ගියේය.
සිත යලි නොසන්සුන්ව, සහ සසැලෙමින් තිබිණි. තව කොතෙක් කල් මට ජේඩන්ව මේ දුරින් රඳවාගත හැකිවේදැයි මා දැන උන්නේ නැත. එහෙත් එවැනි දිනක් ගැන සිතන්නට මම බිය වීමි. ඒ මිතුරකු ලෙස මට ජේඩන්ව ඇවැසි වූ බැවිණි.


5 comments:

  1. please pardon me for the spelling mistakes...
    :)

    ReplyDelete
  2. No problem,as long as you keep posting episodes you are forgiven :)

    ReplyDelete
    Replies
    1. Well, that's very sweet of u...thanks. I am trying my best post quickly as possible...

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete