Tuesday, September 4, 2012

දොලොස් වන කොටස


තරමක දැඩි හිම පතනයක් තිබූ නත්තලට කලින්දා සුදම් යලි වතාවක් අප දකින්නට පැමිණියේය. මෙදා ඔහු නාලනී නැන්දාව කැටුව විත් තිබුණේ නැත.
"හා...පුතා, කොහොමද ඉතින්? අද නිවාඩු ද?" සාලයේ ගිනි මැලය සකසමින් හුන් කොල්වින් මාමා එසේ අසද්දි, දර කොටයක් ගෙන එමින් උන් මමද හැරී බැලුවෙමි. මධුර අයියා සහ අක්කා, සුදම් සමග සාලයේ මැද සිටගන උන්නෝය.
"ඔව් අන්කල්, අද නිවාඩු. ඒත් ඉතින් හදිසි කෝල් එකක් ආවොත් යන්න ඕන. අම්මා කිව්වා මේ පැත්තේ ගිහින් එන්නයි කියලා, මේ නත්තල් කේක් එක දීලා එන්න" තමන් අත වූ පාර්සලයක් දක්වමින් සුදම් පැවසුවේය. ඒ සමගම ඔහු මදෙසද බැලුවෙන් මම ඔහුට මද සිනාවක් පෑවෙමි.
"ඔන්න ඕක ඔහෙන් තියලා ඇවිත් වාඩි වෙන්නකෝ" ගිනි මැලය දැල්වූ කොල්වින් මාමා එසේ පැවසුවේය.
සුදම්ට තේ පැනින් සංග්‍රහ කිරීමෙන් පසු මමත්, අක්කා සහ මධුර අයියාත් ඔහු සමග උණුසුම් සාලයේ වාඩි වී කතාබහේ යෙදී උන්නෙමු. එසේ කීවාට මම කලේ අසා හිඳීම පමණකි. ඔහු කොලඹ සරසවියේ උගත් බවත්, මෙහි පැමිණ වසර පහක් පමණ ගතවී ඇති බවත්, ඔහු බොස්ටන් සරසවියේ තවදුරටත් අධ්‍යාපනය හදාරන බවත් ඒ කතා බහෙන් මට දැනගන්නට ලැබුණි.
මද වෙලාවක් කතා බහ කිරීමෙන් පසු මධුර අයියා කුමක්දෝ හදිසියක් කියා ගෙතුලට ගිය අතර, ඔහු පමා වන්නේ මන්දැයි බැලීමට කියා අක්කාද මා තනි කොට නික්ම ගියාය. හදිසියේ සිදු වූ දෙයින් අන්ද මන්ද වූ මම ගොලුවකු සේ දැල්වෙන ගිනි මැලය දෙස බලාගෙන උන්නෙමි.
"ඔයා ඉන්ඩියානා වල ඉගෙන ගන්නේ කියලා මට දැනගන්න ලැබුණා. ඔයා එහේ මොකක්ද කරන stream එක?" සුදම් කිසිවක් නොවූවා සේ මගෙන් විමසා සිටියේය.
"Social Psychology"
"ආ....එහෙමද? මට හිතෙනවා ඒක හරි interesting  ඇති කියලා. මම ආසයි psychology පැත්තටත්" ඔහු කී විට මම සිනාසුනා පමණි.
"මේ, ඔයාගේ නම මට අමතකයි නේ" ඔහු යලි කීවේය.
"මම පංචලී"
ඔහු හිස වනමින් මොහොතක් නිහඬව උන්නේය.
"පංචලී සංගිතයට ආසද?" ඉන්පසු ඔහු මගෙන් විමසුවේය.
"ආසයි, ඒත් මට instruments නම් play කරන්න බෑ මොකවත්ම"
ඔහු එවර හිනැහුණේය. හිනැහෙද්දි ඔහුගේ වම් කම්මුල වල ගැසෙන බව ඔහු දෙස බලා හුන් මට පෙනුනි. එමෙන්ම ඔහු සතු වූ සිහින් ඇස් තවත් පුංචි වී පෙනෙන්නට විය.
"ඔයා ඊයේ play කරපු සංගීතය හරිම ලස්සනයි" මම කීවෙමි.
"බොහොම ස්තුතියි. ඒක බීතෝවන් කියන සංගීතධරයගේ, ෆියෝ එලිසා  කියන සංගීත වාදනය. මමත් ඒකට ආසයි" එසේ කියා ඔහු සුසුමක් හෙලුවේය. කුමක්දෝ දුකක සේයාවක් ඔහුගේ වත අඳුරු කරනු මට පෙනුනි. ඔහු මොහොතක් කල්පනා බරව හිඳ යලි මදෙස බැලුවේය.
"එදා රෑ...ඔයා මාව ආපහු මගේ අතීතයට ඇදගෙන ගියා වගේ මට දැනුනා" ඔහු ඉන්පසු කීවේය.
"ම්...මට...තේරුණේ නෑ" ඔහුගේ මේ ප්‍රකාශයෙන් අන්ද මන්ද වූ මම කීවෙමි.
"මම ප්ලේ කරලා එද්දි ඔයාගෙ ඇස් වල කඳුලු තිබුණා" ඔහු කීවේය.
"ම්...එහෙම ලස්සන සංගීතයක් ඇහෙද්දි මගේ ඇස් වලට ඉබේම කඳුලු එනවා...ඒක මට නවත්තගන්න බෑ" එවර මම කීවෙමි.
"හ්ම්...ඉන්දීවර්‍රිටත් එහෙමයි" ඔහු තවමත් සිහිනයෙන් මෙන් කියුවේය.
"අ...ඉන්දීවරී කිව්වේ?" මම එසේ ඇසූ විට ඔහු හිස එසවීය.
"සොරි, මට අමතක වුණා ඔයා මේවා ගැන නොදන්නවා කියලා. ඉන්දීවරී කියන්නේ, මගේ වයිෆ්. එයත් ඔයා වගේම ලස්සන සංගීත වාදන ඇහෙද්දි අඬන කෙනෙක්" එසේ කියා ඔහු දුකෙන් මෙන් හිනැහුනේය.
සියල්ල මහා ප්‍රෙහේලිකාවක් සේ මට හැඟුනි. ඔහුගේ බිරිඳ නිසා ඔහු දුකෙන් පසු වෙතැයි මසිත කීවේය. නමුත් මගේ කුතුහලය බලවත් විය.
"වයිෆ්? එයා දැන් කොහේද?" මම නො අසා සිටීමට නොහැකි තැන ඇසුවෙමි.
"ම්...අපි මෙහේ එන්න අවුරුද්දකට විතර කලින් එයා නැති වුණා…. එතකොට.... අපි බැඳලා යන්තම් මාස අටක් විතරයි. ලංකාවෙදි එයා ඇක්සිඩන්ට් වුණා...එයාගෙම වාහනේ යද්දි" ඔහු එසේ කීවේ බිම බලාගෙනය. මට හීල්ලිනි.
ඔහු දෑත් දෙක කිටි කිටියේ එකටෙක මිරිකාගෙන උන් අයුරින්, ඔහු තුල කෙතරම් වේදනාවක් වෙත්දැයි මට අනුමාන කල හැකි විය. මහිතද මහත් දුකකින් පිරුණි.
"අනේ...මට...සමාවෙන්න. මම දැනගෙන හිටියේ නෑ" මම බලවත් අපහසුතාවයෙන් යුතුව කියා දැමීමි.
ඔහු හිස වැනුවේ 'ඒකට කමක් නෑ' කියන්නාක් මෙනි. ඊලඟට කුමක් කිව යුතුදැයි සිතාගත නොහැකිව මම මුනිවත රැකගෙන ඔහු දෙස බලා උන්නෙමි. ඔහු තවමත් හිස බිමට නවාගෙනම උන්නේය. අප අතර වූ නිහැඬියාව තවත් මද වේලාවක් එසේම පවතින්නට ඇත.
"මට සමාවෙන්න පංචලී, මේ දේවල් කියලා ඔයාගේ ලස්සන හැන්දෑව අඳුරු කලාට" ඉන්පසු හිස එසවූ ඔහු ඒ නිහඬ බව බින්දේය.
"අනේ, එහෙම හිතන්න එපා. හිතේ හිර කරගෙන ඉන්නවට වඩා දේවල් එලියට දැම්මාම සැහැල්ලුවක් දැනෙනවා" මම පණ්ඩිතයෙකු සේ කීවෙමි.
"ඔයා අත්දකීමෙන්ද කියන්නේ?" ඔහු මදෙස බලා හිනැහෙන්නට උත්සාහ කරමින් ඇසුවේය.
"ඔව්, සමහරවිට"
ඔහු යලි වෙනතක් බලා ගත්තේය. මම අක්කලා එනවාදැයි බැලීමට පිටුපස හැරුණෙමි. කිසිවකු පෙනෙන්නට නොවිනි.
"ම්...මං එදා මෙහේ ආවේ, අම්මගේ බල කිරීමටයි, සීතා ආන්ටිගෙ හිත රිද්දන්න බැරි හන්දයි. සමහරවිට ආන්ටි ඔයාට කියන්න ඇතිනේ එදා අපි එන වග"
ඔහු එසේ කී විට මට ඔහු දිහා බැලුණේ විදුලි වේගයෙනි. ඔහු කියන්නේ කුමක්දැයි යලිත් මට වටහාගත නොහැකි විය.
"අම්මලා හිතනවා පංචලී, වෙන කෙනෙක්ට ලං වුණොත් සේරම අමතක වේවි කියලා. ඒකයි එයාලා මෙහෙම කරන්නේ. ඔයාට වෙච්ච සිද්ධියත් මම දන්නවා. මෙහේ එන්න කලින්, මධුර අයියා මා එක්ක ඒ ගැන කතා කලා. ඔයා ඉන්නෙත් මං තරම්ම හිතේ දුකකින් කියන එක මට හිතාගන්න පුලුවන්. සමහරවිට ඔයාගේ දුක මට වඩා වැඩි ඇති, මොකද එයා ඔයාව නිකරුණේ දාලා ගිය නිසා.ඒත් මේ හැමෝම එකතු වෙලා කරන්න හදන දේ කොච්චර දුරට හරිද, වැඩක් තියේද කියලා මම දන්නෑ"
ඔහු එසේ කියාගෙන කියාගෙන යද්දී, මහිස මත්තේ ගින්දරක් දැල්වූවා මෙන් මට දැනෙන්නට විය. මගේ හුස්ම ගැනීම වේගවත් වූ අතර, මහිත ඇතුලේ සියල්ලන් ගැනම වූ මහා නොමනාපයක් ගොඩනැගෙමින් තිබිණි. එහෙත් සුදම් ඉදිරිපිටදී මට එය ප්‍රකාෂ කල නොහැකිව තිබිණි.
"ම්...මම ....ඒ මොනවත් දැනගෙන හිටියේ නෑ" මම එතුවක් කියා දැමීමි.
"දැනගෙන හිටියේ නෑ? මං හිතුවා ගෙදර අය ඔයාට කියලා ඇති කියලා" ඔහු කීවේ පුදුමයෙන් මෙනි.
"ම්හු" මම හිස වැනුවෙමි.
"එහෙනම් සමහරවිට මම මේ ආපු එක ඔයාට හිතා ගන්න බැරි වෙන්න ඇති නේද?" ඔහු එසේ ඇසුවේය.
"නෑ. එහෙම එකක් නෑ. මං දන්නෑ ඒත් ඇයි මට ඒ අය මේ ගැන නොකිව්වේ කියලා" මම අමනාපය සඟවාගන්නට උත්සාහ කරමින් කීවෙමි.
"මටත් හිතාගන්න බෑ" ඔහු ද කල්පනාකාරීව කීවේය. "සමහරවිට ඔයා අකමැති වේවි කියලා වෙන්න ඇති. මමත් මුලින් මේ ගමන එන්න කැමතිවෙලා හිටියේ නෑ. ඒත්...එදා රැයින් පස්සේ මට හිතුණා ඔයාව මුණගැහිලා කතා කරන්න ඕන  කියලා. වෙන දේකට නෙවෙයි පංචලී, වරදවා හිතන්න එපා. ඔයා ගැන විස්තර අහලා, ඔයාව දැක්කට පස්සේ මට ඕන වුණා ඔයාට කතා කරලා බලන්න. මොකද අපි දෙන්නම් අපේ ජීවිත වල උන්නු ආදරය කරන අය නැති වුන දෙන්නෙක් හන්දා. මට හිතුණා, ඔයාට කතා කරන්න ඕන කියලා, යාලුවෙක් විදිහට. මං දන්නවාම අම්මලා හිතන විදියට ගහෙන් ගෙඩි එන්නා වගේ දේවල් අමතක කරන්න ලේසි නෑ කියලා. අපි එහෙම කරන්න ඕනත් නෑ. මොකද ඒ නැත් වුණ හැමදේකම අඩුව දැනෙන්නේ කාටත් වඩා අපිට හන්දා...මම හිතනවා මම මේ කියන එක ඔයා විශ්වාස කරයි කියලා" ඔහු කීවේය.
මට ඔහු ගැන දැනුනේ පුදුමයකි.
"එතකොට ඔයා ආවේ අම්මගේ හිත හදන්න ඕන නිසා, එහෙම නේද?" මම ඇසුවෙමි.
"ඒකත් එකක් තමයි. ඒත් ඒ එක්කම, ඔයා ඇතුලේ මොහොතකට මම මගේ ඉන්දීවරීව දැක්කා කියලා මට හිතුණා පංචලී. මම අද ආවේ ඒ නිසා වෙන්න ඇති. ඒත්, අම්මලා බලාපොරොත්තු වෙන තරම් දුරදිග යන දෙයක් ගැන මට හිතන්න බෑ. ඒකයි ඇත්ත" ඔහු කීවේය.
"මං ඒක දන්නවා සුදම්. මට එහෙම දෙයක් කරන්නත් බෑ. මට මොනා කලත් තාමත් මම සංකේත්ට ආදරෙයි. මධුර අයියා ඔයාට එයා ගැන කියන්න ඇති නේ.  අනික මම දැනගෙන හිටියේ නෑ හාංකවිසියක්වත් අම්මලා මෙහෙම දෙයක් ලෑස්ති කරලා ඇති කියලා"
"ඒක ගැන මට කණගාටුයි. මම හිතුවෙම ඔයා දන්නවා ඇති කියලයි. අද මං ආපු එක ඔයාට කරදරයක් නම් මම යන්නම් පංචලී" ඔහු ඉතාමත් අවංකව කියා සිටියේය.
"එහෙම දෙයක් නෑ සුදම්. ඔයාව මුණගැහීම මට සතුටක්"
ඔහු වැන්නකුගේ සිත රිදවනු නොහී මම එසේ කීවෙමි. ඔහුගේ කතා බහ මතුල කිසියම් වූ පැහැදීමක් ඇති කර තිබූ අතර, ඔහු මා ගැන වෙනයම් දෙයක් නොහිතතැයි මට විශ්වාසයක් තිබිණි. නමුදු ඔහු කියූ දේ වලින්, ඔහු මා පිළිබඳව බොහෝ දෑ අසා ඇති වග මට සහතික විය.මට මා ගැනම ආත්මානුකම්පාවක් දැනුනි. මගේ පවුලේ අය වුවද, මෙසේ පිට කෙනෙකුට මා ගන විස්තර පැවසුවේ මන්දැයි මට සිතාගත නොහැකි වූවා සේම, අදහාගැනීමටද නොහැකි විය.
සුදම් යන්නට ගිය පසු මම, කෙලින්ම ගොස් මා හට වෙන් කර දුන් කාමරයේ යහන මත කෝපයෙන් පුපුරු ගසමින් වාඩි වී උන්නෙමි. මුලින්ම මා සොයා කාමරයට ආවේ අක්කා සහ මධුර අයියා ය.
"ආ..මේන් මෙයා මෙතන. කොහොමද, සුදම් හොඳ කොල්ලා නේද?"
ඔවුනට පිටුපස හරවා උන් මගෙන් අක්කා එසේ අසද්දි මම ඔවුන් දෙස හැරී  බැලුවේ ගිනි පිටවන දෑසිනි.
"හිතාගෙන ඉන්නේ ලොකු වැඩක් කලා කියලා වෙන්න ඇති නේද?" මම කිසිදා අක්කාට කතා නොකලා ආකාරයට ඇගෙන් ඇසුවෙමි. අක්කා තුෂ්නිම්භූත වූවාය.
"නංඟා, මොකද මේ?"
"මොකද කියලා අහන්නේ? සේරම එකතු වෙලා මටත් නොකියා කුමන්ත්‍රණය කරලා, සුදම්ව ගෙන්න ගත්තේ මට ජෝඩු කරන්න හිතාගෙනද?" මම එසේ ඇසුවෙමි.
මධුර අයියාද මදෙස බලා උන්නේ අන්ද මන්දව ය. මගේ හඬ ඇසීදෝ අම්මා සහ තාත්තාද කාමරයට දුවගෙන පැමිණි අතර, මධුර අයියා කාමරයේ දොර වැසුවේය.
"මොකද මොකද මේ?" අම්මා කලබලයෙන් මෙන් ඇසුවාය.
තාත්තා මා දෙසත් අක්කා සහ මධුර අයියා දෙසත් බැලුවේ කුමක් හෝ පැහැදිලි කරගන්න අටියෙන් මෙනි.
"සුදම් එන එක ගැන කවුරුවත්ම මට මොනවත් නොකිව්වේ ඇයි?" මම අම්මා දෙස බලා ඇසීමි.
"ඔයා මොනාද මේ කියන්නේ?" අම්මා ඇසුවාය.
"අම්මලා එයාලට මෙහේ එන්න කිව්වේ ඇයි කියලා මම දන්නෑ කියලද හිතේන්නේ? මම බබෙක් නෙවෙයි අම්මා. මටත් දේවල් තේරෙනවා. මට තියෙන ප්‍රශ්ණේ ඒක නෙවෙයි, ඇයි මට මේක කවුරුවත් කලින්  නොකිව්වේ කියන එකයි"
එවර අම්මාද නිරුත්තර වූවාය. මම කඳුලු පිරි දෑසින්ම, කෝපයෙන් අහක බලා ගතිමි.
"අම්මලට මාව එපා නම්, මම ආයෙම කවදාවත් ලංකාවට නෑවිත් ඉන්නම්. ඒත් දෙයියන්ගේ නාමෙට මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට තවත් මිනිස්සු ඕන නෑ. එක මිනිහෙක් නිසා මම විඳවන තරම් මට හොඳටම ඇති" මම කීවෙමි. පුදුමයකට මට හැඬෙමින් තිබුණේ නැත.
"පංචලී...දෝණි මේ බලන්න" එවර මා අසලට පැමිණ උන් තාත්තා මා ඇමතීය. නමුදු මම ඔහු දෙස නොබැලීමි.
"ඔයාලා යන්න, මම මේක කතා කරන්නම්" තාත්තා අනෙක් පිරිසට කියනුද, ඔවුන් මදකින් පිටව යනු ද මට ඇසුණි. එහෙත් මම හැරී බැලුවේ නැත.
"දෝණි, මේ බලන්න පුතේ, එදා අර ළමයා එන කාරණේ ඔයාට නොකිව්ව එක වැරදි වග මං පිළිගන්නවා. ඒත් පුතේ එහෙම කලේ ඔයාව රවට්ටන්න නෙවෙයි. සුදම් කියන්නෙත් ඔයාට වගේම  දුකකට මූණ දෙන්න වුණ කෙනෙක්. අපි හිතුවේ ඔය දෙන්න මුණගැහිලා, කතා කරලා, යාලුවෝ වුණොත්, සමහරවිට ඔය දෙන්නටම දෙන්නගේ දුක අඩු කරගන්න උදව් කරගන්න පුලුවන් වෙයි කියලයි. එහෙම නැතුව ඔයාව එයාට ජෝඩු කරන්න හිතුවා නෙවෙයි" තාත්තා නිවුණු හඬින් කියා සිටියේය.
"අන්තිමට වෙන්න ඕන ඒක කියන එක නෙවෙයිද හිතුවේ තාත්තා? ඇයි මට බොරු කියන්නේ? තාත්තලට ඕන මගේ හිත හදලා මාව බාර ගන්න පුලුවන් කෙනෙක්. ඒ නිසයි සුදම්ව ගෙනාවෙ. තාත්තාලා බයයි මම හැමදාම මෙහෙම ඉඳීවි කියලා, සංකේත් ගැනම හිත හිත" මම නිර්දය ලෙස කීවෙමි.
"ඔව් දෝණි, ඔයා හරි. අපි බයයි තමයි. ඒ ඔයා කවදා හරි තනිවෙයි කියලා. අපි නැති දවසක, ඔයාට ඉන්නේ අක්කා විතරයි. එයාලටත් ඔයාව හැමදාම බලන්න බෑ. එහෙම වුන කාලෙක, ඔයාට කවුද ඉන්නේ? අන්න ඒකටයි පුතේ අපි බය" තාත්තා කී විට මහිත සසැලුණි..
මම ඔහු දෙස හැරී බැලුවේ බොඳ වූ දෑසිනි. ඔහු උපේක්ෂාවෙන් මෙන් මදෙස බලා උන්නේය. අසල අම්මාද ඉනු මම දුටුවේ මෙවෙලේය.
"එහෙමයි කියලා, ඕනම කෙනෙක් මට ලං කරන්න පුලුවන් කියලා හිතුවේ ඇයි තාත්තා? මට තරහා ඒක නෙවෙයි, ඇයි මට ඇත්ත නොකිව්වේ කියන එකයි. සුදම් හිතාගෙන ඉඳලා තියෙන්නේ මම දන්නවා කියලා. ඒ මනුස්සයා මොනා හිතාවිද දැන්?" මම කීවෙමි.
"සුදම් මොනවත් හිතන්න එකක් නෑ" අම්මා කීවාය.
"අනේ දෙයියන්ගේ නාමෙට මට මෙහෙම ඉන්න දෙන්න අම්මා. ප්ලීස් තාත්තා. මට බලෙන් දේවල් ලං කරන්න හදන්න එපා. මගේ ජීවිතේ මට හිමි කෙනෙක් ආයෙම ඉන්නවනම්, එයා කොහොමහරි මා ලඟට ඒවි. එහෙම නැති වුණත් තනියෙම ජීවත් වෙන්න මට හයිය තියෙනවා තාත්තේ. මං ගැන බය වෙන්න එපා" මම අවසන කීවෙමි.
"අවුරුද්දකටත් වඩා ගිහිල්ලාවත් අර කාලකණ්ණියාව අමතක කරන්න ඔයාට බැරිද ළමයෝ?" අම්මා මගෙන් ඇසුවේ වේදනාවෙන් මෙනි. මට අම්මා ගැනත්, තාත්ත ගැනත් දැනුනේ දුකකි.
"අපි අවුරුදු පහක් ආදරේ කලා අම්මේ. අවුරුදු පහක් අවුරුද්දකින් අමතක කරන්න පුලුවන්ද?" මම සෙමින් ඇසුවෙමි.
අම්මා සුසුමක් හෙලුවා පමණකි. තාත්තාද මොහොතක් නිහඬව උන්නේය.
"ඔයා අකමැතිනම් ආයෙම සුදම් එක්ක කතා කරන්න ඕන නෑ. මම මධුරට මේ ගැන කියන්නම්" තාත්තා කාමරයෙන් නික්ම යන්නට පෙරාතුව කීවේය.
"එහෙම එක පාරටම කියන්න එපා තාත්තේ. එහෙම හරි නෑනෙ. ඒ මනුස්සයා වරදවා හිතුවොත් අපටමයි හරි නැත්තේ. අපි මෙහෙන් ගියාම ආයෙම එන්නේ නෑනෙ. එතකොට සේරම හරි. එකම දේ, ආයෙමත් අපිව එකට ජෝඩු කරන්න උත්සාහ නොකර ඉන්න එකයි. සුදම් එක්ක කතා කලා කියලා මගේ හිත වෙනස් වෙන්නැති වග මම දන්නවා. තාත්තත් ඒක දන්නවනේ. අනික් දේ තමයි, අම්මලා නොදන්නවට සුදම් එහෙම දේකට ලෑස්තිත් නෑ. එයා ඒ වග මට කිව්වා. ඒ නිසා අනේ මෙහෙම දේවල් කරලා, මාව අපහසුතාවයට පත් කරන්න විතරක් එපා. මට කවුරුවත් ඕන නෑ, නෑමයි" මම එතුවක් පමණක් කීවෙමි.
සුදම් යලි අප හමුවන්නට එතැයි මම බලාපොරොත්තු නොවීමි. එහෙත් මගේ මහත් පුදුමයට හේතු වෙමින්, ඔහු නත්තල් දා උදෑසනම පැමිණියේ අපව බොස්ටන් නගරයේ සවාරියක් කැඳවාගෙන යන්නටය. එය ප්‍රතික්ෂේප කිරීම නොමනා බැව් තාත්තා තරයේ කියා සිටි බැවින්, අදි මදි කරමින් හුන් මා ද ඇතුලුව අපේ පවුලේ සියලු දෙනාත්, සීතා නැන්දා සහ කොල්වින් මාමාත්, උදෑසන ආහාරයෙන් පසු සුදම් සතු වූ ලෙක්සස් රථය තුල හරි බරි ගැහී උන්නෙමු.
"මේ හිම වැටෙන කාලේ හන්දා, මෙහේ තියෙන ගොඩක් ලස්සන තැන් බලන්න වෙන්නෑ. ගොඩනැගිලි හෙම තමා බලන්න වෙන්නේ" ගමන් ගන්නා අතරතුරේදී සුදම් කියා සිටියේය.
"ඒක තමයි. බොස්ටන් වරාය එහෙම බලන්න යන්න තිබුණා සමර් එකේ වගේ ආවා නම්" කොල්වින් මාමා ද ඔහු හා එකඟ විය.
"දැන් ඉතින් අපේ ලොකු දෝණි නවතින නිසා බැරියැ ආයෙම දවසක එන්න" තාත්තා කීවේ හිනැහෙමිනි.
"ඔහ්, ඇත්තමද? මධුරලා මෙහේ නවතින්නද සූදානම?" ඒම් අපුවතින් මවිත වූවා සේ සුදම් විමසීය.
"ඔව් මලේ. එහෙම තමා හිතාගෙන ඉන්නේ නම්. බලමුකෝ මෙහේවත් ඇවිත් මොකක් හරි වෙනසක් වේවිද කියලා" මධුර අයියා අක්කාගේ උරහිසක් වටා අතක් දමා ගනිමින් කීවේය.
"ඔව් ඔව්. ඔයදෙන්නා ආවාම නම් මුලු ඇමරිකාවම වෙනස් වේවි" මම ඔවුන්ට සරදමක් කලෙමි.
"හා...මෙන්න මෙයා අපි එක්ක යාලුයි ලු ආපහු" මධුර අයියා කෑ ගැසුවේය.
මම ඔහුට ගස්සා ඉදිරිපස බලා ගතිමි. "වැඩේමයි"
අපගේ සවාරිය සියල්ල වසා පැතිරුණ හිම කඳු සහ, ඉඳහිට කඩාවැටුණු හිම වැසි නිසා තරම බාහ්දා වුණද, සුදම් අප හට, සුප්‍රකට හාවඩ් සරසවිය, හාවඩ් චතුරශ්‍රය, අප්‍රිකානු- ඇමෙරිකානු ඉතිහාසය පිලිබඳ කෞතුකාගාරය නරඹන්නට අවස්ථාව සලසා දුන්නේය. අපි හාවඩ් චතුරශ්‍රයේ පුංචි අවන්හලකින් තේ පානය කරන්නටද අමතක නොකලෙමු. නමුත් නිම පතනය දැඩි වූ බැවින් අපට බොහෝ දුර යෑමට ඉඩක් නොලැබිණි. එසේ වුවද, එලිමහනේ ඇවිදින්නට ලැබීම මහිතට එක් කල තිබුණේ සතුටකි.
"අපිව අද එලියට එක්කගෙන ගියාට, ඔයාට ගොඩක් ස්තුතියි සුදම්" නිවෙසට විත් සවස තේ පානය කරන අතරතුරේදී සුදම් හට එසේ කීවේ අපේ අම්මාය.
අක්කා සහ මධුර අයියා සාලයට වී  අප මිලට ගෙන ආ සිහිවටන සහ ඇඳුම් ආදිය නැවත නරඹමින් තරක කරන හඬ අප හුන් කෑම කාමරයට යන්තමින් ඇසුනි.
"ඒක සුලු දෙයක් නේ ආන්ටි. අපේ රටේ කවුරු හරි වෙනුවෙන් මෙහෙම දෙයක් හරි කරන්න ලැබීම කොච්චර දෙයක්ද? මෙහේ සිංහල අය ගොඩක්ම අඩුයි, ඉන්නේ ජපන්, ඉන්දුනීසියන්, චීන, ඉන්දියන් වගේ අය තම්මා වැඩිපුර. සීතා ආන්ටිලා එක්ක අපි මේ තරම් හිතවත් වෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. ඒ ඇරුනාම තව සිංහල පවුල් දෙක තුනක් ඉන්නවා අනෙක් බ්ලොක් වල. එච්චරයි. වෙලාවකට නම් හිතෙනවා ලංකාවෙම හිටියා නම් එකක් කියලා. ඒත් දැන් අපි මෙහේ තියෙන දේවල් වලට ගොඩක් පුරුදු වෙලා හන්දා එහේ ගියාමත් ඉන්න ලේසි නෑ" ඔහු අපට කීවේය.
"ඒ කිව්වේ?" මා ලඟ වාඩි වී උන් තාත්තා ඇසුවේය.
"අ..ම්...මෙහේ හරි විසාලයි, මිනිස්සු ගොඩක් පැතිරිලා ඉන්නේ. ඒ වගේම මිනිස්සු ගොඩක්ම වෙනස්, තේරුම් ගත්තාම ගොඩක්ම හොඳයි. අනික මෙහේ සාපේක්ෂව මෙහේ පිරිසිදුයි, පිලිවෙලයි...ඒ වගේ දේවල් ලංකාවේ අඩුයි. ඒත් මෙහේ boring. ලංකාව වගේ dynamic නෑ. අනේ මන්දා, දෙපැත්තක් තියෙනවා ඉතින් සේරගෙම. මෙහේ හදා ගත්තු දේවල් එක්ක දැන් කොහොමත් ලංකාවට යන්න අමාරුයි. අම්මත් මා ලඟ නේ"
"හ්ම්ම්" මම කල්පනාබරව හිස වැනීමි. ඔහු කිව් ඇතැම් දෑ ගැන මගේ සිතේ අපැහැදීමක් ඇති වූවත්, ඒ ඔහු දේවල් දකින ආකාරය විය.
"එතකොට පුතාගෙ තාත්තා? අම්මා එසේ විමසුවාය.
"අපේ අප්පච්චි නැති වුණේ මම final year ඉද්දි. දැන් ගොඩක් කල්. මගේ අයියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නේ කැනඩාවෙ, අනෙක් එක්කෙනා ජපානෙ. ඒ දෙන්නමත් දොස්තරලා. අපි දොස්තර පවුලක්..." එසේ කියා ඔහු හිනැහුනේය.
"හරි ෂෝක් නේ ඉතින් ඒක. අම්මට කොච්චර නම් සතුටු ඇතිද?" අපේ අම්මා යලි කීවාය.
අම්මට නම් ෂෝක්. හොඳට ලෝකේ වටේ රවුම් ගහතහැකි" ඔහු කී විට මටද සිනා නැගිනි.
සාලයේ උන් අක්කා, මධුර අයියාවද කැටුව අපි අසලට ආවේ මෙවෙලේය.
"ඔයා එතකොට අනිද්දා යනවා නේද?" සුදම්  ඉන්පසු මගෙන් ඇසීය.
"ඔව්. මට විසි අටවෙනිදා ආපහු ලෙක්චර්ස් පටන් ගන්නවා" මම කීවෙමි.
"මේ new year සතියේ?"
"හ්ම්. අපේ ප්‍රොෆෙසර් ලේසියෙන් නිවාඩු දෙන කෙනෙක් නෙවෙයි. ඒත් අම්මලා නම් ජනවාරි පස් වෙනිදා වෙනකල් මෙහේ ඉන්න්වා නේද අම්මේ?” මම අසල උන් අම්මාගෙන් ඇසීමි.
"ඉන්නයි කියලා වදේ නේ මේ සීතලාගෙන්. අපිත් නවතිනවා, ලොකු දෝනිලත් ටික කාලයක් හරි ඉඳීවි, එහෙම වුණාම ඉතින්, මේගොල්ලන්න්ට තමා හරිම වදේ අපෙන්" අම්මා එවර කීවාය.
"එයාලා එහෙම හිතනවා කියලා මම හිතන්නේ නෑ. දෙන්නම් කොයි වෙලෙත් බලාගෙන ඉන්නේ කාටද උදව් කරන්නේ කියලා වගේ. හරි ආසයි උදව් කරන්න, කන්න දෙන්න එහෙම" සුදම් බී අහවර වූ කෝප්පය මේසය මතින් තබමින් කීවේය.
"ඒක නම් ඇත්ත" තාත්තා කීවේය.
"ඔයා ගියාම පාලු හිතෙයි අපි හැමෝටම, නේද ආන්ටි?" සුදම් හදිසියේම අම්මාගෙන් විමසුවද ඔහුගේ නෙතු නතරව තිබුණේ මා අසලය.
අම්මා මදෙස බලා හිනැහුණාය. මධුර අයියා හිනාව තද කරගෙන මෙන් අහක බලාගෙන උන් අතර, අක්කා මදෙස වරක් බලා ඉවත බලා ගත්තාය.
"ඒ මොකද? මම ඉතින් හිටියත් නෑ වගේනෙ. ඔන්න අපේ අක්ක ගියා නම් හෙම දැනේවි" මම ඔහු දෙස නොබලමින් කීවෙමි.
ආ...ඔන්න මාව අල්ලගෙන. මම එච්චර කතා කරනවද මදූ? බලන්නකෝ මෙයා කියන ඒවා" අක්කා එවර මට ඇද කොට එසේ කීවාය.
"අපෝ නෑ මුතූ. ඔයා එහෙම නෑ. මේ ඉරිසියාවට එක එක්කෙනා කියන් කතා අහන්න එපා. ඔයා කොහොමටවත්  නින්දෙන් කතා කරන්නෙම නෑනෙ" මධුර අයියා කියූව තේරුම් ගන්නට අක්කට මොහොතක් ගත විය.
අප සැවොම සිනාසෙද්දී අක්කා මධුර අයියාට පහරක් ගසන්නට මාන බලන අතරේ ඔහු එතැනින් ඉවතට දිව ගියෙන්, අක්කාද ඔහු පසුපස දිව්වාය.
"බැන්දට මොකද පොඩි දෙන්නෙක් වගේ නිතරෝම ඔහොමයි" අම්මා ඔවුන් ගිය දෙස බලා සුසුමක් හෙලා සුදම්ට කීවේ කට කොනක රැඳි සිනාවක්ද සමග ය.
"කොච්චර හොඳද ආන්ටි, ඔහොම සතුටින් ඉන්න පුලුවන් නම්" සුදම් එවිට කීවේය.
තාත්තත්, අම්මාත් මදෙස එකවිටම බැලුවේ, ඒ කතාව මසිත රිද්දුවාදැයි පිරික්සන්නට මෙනි. සුදම්ගේ වදන් මහිත බර නොකලා නොවේ. එහෙත් මම වෙනසක් නොපෙන්වා ඉන්නට උත්සාහ කලෙමි. අම්මා හා තාත්තා පැතූ ලෙස අක්කට ලැබුණා බඳු ජීවිතයක් මට නොලැබීම ගැන ඒ දෙදෙනා සදාකල්හිම විස්සෝප වනු ඇති බව මා දැන උන්නෙමි. එහෙත් එය මගේ අවාසනාව විය. මට නොලැබුණ ඒ සතුට අක්කාට ලැබීම ගැන මා තරම් සතුටු වන කෙනෙක් තව ඉන්නවා වෙන්නට බැරි වග මම ඇදහූයෙමි. මට වූ දෙය හතුරෙකුටවත් සිදු නොවිය යුත්තකි.
"පංචලී"
නිවසේ උන් කීප දෙනා එහා මෙහා වූ වේලාවක යලි මා හා දොඩන්නට සුදම් ඉඩක් ලබා ගත්තේය. ඒ මාගෙන් උණු වතුර කෝප්පයක් ඉල්ලීමෙනි.ඔහුගේ ආචාරශීලීභාවය සහ, සන්සුන් භාවය නිසා මට ඔහුට කතා නොකොට නිර්දය ලෙස මගැර යාම නොකල හැකි විය. මම ඔහුට උණුවතුර පිරි කෝප්පය ලබා දී ඔහු දෙස බැලුවෙමි.
"ඇයි සුදම්, උණු මදියි වගේද?"
"නෑ, නෑ. ආ...මම මේ කියන්න හැදුවේ, ඔයාගේ අකමැත්තක් නැත්නම් මම තවදුරටත් ඔයාව අඳුනගන්න කැමයි කියලයි" ඔහු වචනයෙන් වචනය ගලපමින් කීවේ මදෙස බලා නොබලා මෙනි. කිවයුත්තක් එකවර සිතාගත නොහී මම විපිලසර වීමි.
"එදා අපි මුණගැහුණේ, වෙන කාටවත් ඕන හන්දයි. ඒත් ඔයාව ආශ්‍රය කරපු මේ දවස් දෙක තුනට ඔයා...කොහොමද මං කියන්නේ...මේ, ඔයා හරිම intriguing කියලා මට හිතුණා. වැඩිය කතා නොකලත්. ඉතිං මම කැමතියි අපේ මේ සුලු හිතවත්කම, දිගටම තියාගන්න" ඔහු මදෙස නොබලාම කියාගෙන ගියේය.
"ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි" මම එවර සෙමෙන් කීවෙමි.
"තැන්න්ක් යූ පංචලී"
"තෑන්ක් කරන්න ඕන නෑ සුදම්. අපි කොහොමත් දැන අඳුනගත්තු නිසා, අපේ හිතවත්කම දිගටම තියේවි අනිවාර්යෙන්ම. ඒක එහෙම නොවෙන්න හේතුවක් නෑනෙ" මම යලි කීවෙමි.
"නෑ, මම හිතුවේ, අපිව  බලෙන් මුණගස්සන්න හදපු හේතුව හන්දා, ඔයා කැමති වෙන එකක් නෑ කියලයි" ඔහු කීවේය.
"එහෙම එකක් නෑ. ඔයා මොන වගේ කෙනෙක්ද කියලා මම දන්නවා. අනික මම කවුද කියලත් මං දන්නවා. ඒ නිසා හිතවත්කමත් විතරක් තියා ගන්න මගේ අකමැත්තක් කොහොමවත් නෑ. තුන් හිතකවත් තිබුණෙත් නෑ"
මා කී වි‍ය ඔහු එය පිළිගත්තාක් මෙන් හිස වැනුවේය. එමෙන්ම ඔහු මා ගන වූ සියලු විස්තර; ලිපිනය, නේවාසිකාගාරය හා දුරකථන අංකය ද ඉල්ලා ගැනීමට අමතක කලේ නැත. අනාගතයේ කුමක් වේදැයි එවෙලේ සිතන්නට වද නොවී මම ඒවා ඔහුට ලබා දුන්නෙමි. ඔහු පිටව යන්නට පෙර අප වෙනුවෙන්, පියානෝ වාදනයක්ද ඉදිරිපත් කලේය. විවිධ ගීත රාශියකින් යුතු වූ එයද අවසානයේ මනෙතු අග කඳුලු බිඳු දෙකක් රැඳී තිබුණි.
"ඔයා යන්න කලින් මට එන්න වෙන එකක් නෑ. අපි නත්තල වෙනුවෙන් පොඩි ලමයින්ට නොමිලේ කරන සායන මාලාවක් හෙටින් පටන් ගන්නවා. ඉතිං රෑ වෙනකල්ම අපි වැඩ. ඔයා පරෙස්සමින් යන්න. මම ඉඳහිට කතා කරන්න බලන්නම්. ඔයාට තෙරුවණ් සරණයි පංචලී"
ඔහු යන්නට මගට බැස මට එසේ කීවේය. ඔහු හමු වූවායින් පසු මුල්ම වතාවට මහිත සැලුණේ එවෙලේය. ඒ මන්දැයි මම නොදැන උන්නෙමි.
"ඔයාගේ හැම වැඩකටම මම සුබ පතනවා සුදම්. අපි වෙනුවෙන් කරපු හැමදේකටම ස්තුතියි" මම අපහසුවෙන් වචන ගැට ගසා ගතිමි.
ඉන්පසුව ඔහු ගෙදරින් පිටව, සීතල අඳුරු එලිමහනේ නොපෙනී ගියේය. ලඟම හිතවතෙකු සමුගෙන ගිය කල්හි දනෙන පාලුවක් මෙන් හැඟීමක් හිතේ තුනීයට පැතිර යමින් තිබිණි.
එහෙත් මේ සියල්ල පැවතුනේ මා කාමරයට ගොස් මගේ ජංගම  දුරකථනය අතට ගන්න තෙක් පමණි. එහි වූ ලබා නොගත් ඇමතුම් හා පණිවිඩ දුටු විට මහිතේ සියලු හැඟීම් යටපත්ව නැගි උන්නේ තරමක භීතියක් හා වරදකාරී හැඟීමකි. ජේඩන් ඇතුලු මගේ අනෙකුත් කිතුණු යහලු යෙහෙලියන්ට සුබ පතන්නට මේ නත්තල්දා මට අමතකව ගොස් තිබිණි. ජේඩන් මට කෙටි පණිවිඩයක් පවා එවා තිබුණේය. එහි වූයේ නෝක්කාඩුවකි.
‘Wish U a merry X’mas 2. thanks for the sighs, invain waiting hrs and the broken heart U gave me…I really hope that U’d remember  ur friends longer…”


1 comment:

  1. Ane panchali tikak sare wadi appa.. jaden we amathaka karapu eke nam hary na :( anik eke aye ochara past memories wela alila inne???

    ReplyDelete