Sunday, March 25, 2012

විසිතුන්වන කොටස

ආර්යන්ට මොනවා කිව්වත් හැම සති අන්තෙකම ගෙදර යන්න අමාරු වග ආන්යා දැනගෙන හිටියා. අලුත් විෂය නිර්දේෂයට අනුව මාස එකහමාරක් වෙද්දි ඔන්න 'මිඩ් ටර්ම්' කියලා කතාවට කියන මධ්‍ය වාර විභාග පටන් ගන්න්වා,ඒ අස්සේ වාර්තා ලියන්න ඕන, පාඩම් කරන්න ඕන, ගෙදර වැඩ කරන්න ඕන...ඔය වගේ දහසක් වැඩ තියෙද්දි සති අන්තේ ගෙදර යන්න වෙලාවක් හොයා ගන්න ආන්යට පුලුවන් වුණේ නෑ. ඒ අස්සේ පීඨ දිනයත් එන නිසා ඒවට පුහුණු වෙන්න ඉතිරි වුණේත් සති අන්තේ විතරයි. ඒත් කවදාත් නැති තරම් ගෙදර යන්න උවමනාවක් ආන්යට දැනෙමින් තිබුණා.
"මට නම් මේ සෙමෙස්ටර් එකේ ගෙදර යන්නම වෙන්නේ නෑ මීනු" ආන්යා කතා කරපු  වෙලාවක අනුහස් කිව්වේ එහෙම.
"මේ පාර වැඩ හරි අමාරුයි, ඒ අස්සේ ප්‍රැක්ටිස් යන්නත් ඕන නේ. ඉන්ටර් ෆැකල්ටිත් ලඟදි පටන් ගනීවි මහිතේ"
"අපටත් වැඩ ගොඩ ගැහිලා අනූ..."
"හ්ම්...ඒකනේ. අම්මා කතා කරලා ඇහුවා ලබන සතිය දිහාට ගමේ ගිහින් එන්න යමුද කියලා. මම මුකුත් නොකීවෙත් ඕකමයි"
"හ්ම්" ආන්යා සුසුමක් හෙලුවා. ඇගේ හිතේ පෙරලි කරන සිතිවිලි අනුහස් දන්නවානම්?

"වැඩ පාඩු කරගෙන ගෙදර යන්න එපා" ආර්යන් කිව්වෙත් එහෙමයි.
ඒත් ඔහුව දකින්න ඈට උවමනා තරම් ඈ කොහොම පැහැදිලි කරන්නද?
"මට වුණත් අද හෙට හැටන් යන්න වෙන්නේ නෑ. සමහරවිට ටික දවසකට ආයෙම යූකේ යන්න වේවි"
"යූකේ?" ආන්යා ඇහුවේ පුදුමෙන්.
"ම්ම්...අභීගේ කොන්වකේෂන් එකට"
ආන්යා සුසුමක් හෙලුවේ උගුර යන්තම් හිර වෙද්දි.
"ලඟදිද?"
"ඔව්, ටූ වීක්ස් වලින් විතර පස්සේ"
"යූ කේ කියන්නේ කොච්චර දුරද!" ආන්යට කියවුණාම ආර්යන් මොහොතක් කතා නොකර උන්නා.
"හ්ම්ම්...කොච්චර නම් දුරද, ඇත්තටම..."ඔහු අන්තිමට කිව්වා.
ආයෙම උගුර හිරවීගෙන එනවා ආන්යට දැනුනා. 'මං ආර්යන්ට මේ තරම් ලං වෙලාද?' එහෙම හිතුවත් තව වෙලාවකට ඈට හිතුණ මේ කරන විකාර වැඩේ තේරුම මොකක්ද කියලත්. ඈට ඇත්තටම ඕන මොකක්ද කියලා ඈ දැනගෙන උන්නෙත් නෑති තරමයි. හිත ඇතුලේ මේ සේරම පෙරලි කරද්දි, ආන්යා එන්න එන්නම කල්පනාබර වෙන්න පටන් ගත්තා.
"ආන්යා..." අංජලී ලඟට එනකල්ම ආන්යා දැක්කේ නෑ. පුරුදු පරිදි ඈ උන්නේ කල්පනාවක.
"මොකද අනේ ඔයාට වෙලා තියෙන්නේ? මම දැන් එක පාරක් කතාත් කලා" අංජලී ඇස් පුංචි කරලා ඇහුවා.
ආන්යා මෝඩ හිනාවක් පාලා අංජලී දිහාට හැරුණා."ඇයි?"
"ඇයි අහන්න ඕන මමනේ" අංජලී කිව්වේ ආන්යගේ ඇඳෙන් වාඩි වෙන ගමන්.
රශ්මි, පාරමී එක්ක එක්ස්ප්ලෝරස් ක්ලබ් එකේ රැස්වීමකට ගිහින් උන්නා. සම්මානිට හොඳටම නින්ද ගිහින්. ආන්යා ඇඳේ හරි බරි ගැහිලා අංජලී දිහා බැලුවා. අංජලී තාම ඈ දිහා බලාගෙන.
"නෑ නෑ කිව්වට මොකක් හරි තියෙනවා නේද? තනියෙම කල්පනා කර කර නොඉඳ අපටත් කිව්වොත්, ඔය හිතේ තියෙන උභතෝකෝටික ප්‍රශ්ණෙට විසඳුමක් හම්බෙන්නත් පුලුවන්" අංජලී කිව්වා.
ආන්යා යන්තමට හිනා වුණා. ඇත්තටම මේ දේවල් තනියෙම දරන්න බැරි තරම් ඇගේ හිතට බර වැඩියි කියලා ඈට හිතුණා. ඒත් කියන්න තරම් දෙයක් තියෙනවද?
"මන්ද අංජු, හිත හරීම නොසන්සුන්" අන්තිමට ඈ මුලපිරුවා.
ඊට පස්සේ වෙච්ච සේරම දේවල් ඇගේ මුවට අනායාසයෙන්ම ගලාගෙන ආවේ හිත ඇතුලේ තිබුණ ලොකූ පීඩනයක් අඩු කරමින්. අන්ංජලී කිසිම බාධාවක් නොකර අහගෙන උන්නා, තවත් කියන්න දෙයක් ආන්යට නැති වෙනකල්ම. අවසානෙදි අංජලී සුස්මක් හෙලුවා, හරියට ආන්යගේ හිතේ බර සේරම ඈ හිතට ගත්තා වගේ.
"ඔයාට මොකද ඇත්තටම හිතෙන්නේ ආන්යා?" දිග නිහැඬියාවකට පස්සේ අංජලී ඇහුවා.
ජනේලෙන් එපිට බලාගෙන උන්නු ආන්යා ඈ දිහා බැලුවා.
"මොනා ගැනද?"
"ඔය ආර්යන් අයියා ගැන?"
"අනේ මන්ද...මට තේරෙන්නේ නෑ. ඒත්, එයා නිතරම මගේ හිතේ ඉන්නවා වගේ දැනෙනවා අංජු"
අංජලී තව මොහිතක් ආන්යා දිහාම බලාගෙන උන්නා.
"ඔයාට එයාව විශ්වාසද ආන්යා?"
"එහෙම විශ්වාස කරන්න,අවිශ්වාස කරන්න තරම් මං එයා ගැන දන්නේ නෑ. අනේ මන්දා...මේක නිකම්ම ආකර්ශණයක් විතරයි. ඒයා මං ගැන මොනා හිතනවද කියලාවත් මං දන්නේ නෑ"
අංජලී කකුල් දෙකම ඇඳ උඩට අරන් ආන්යා දිහාට හැරිලා වාඩි වුණා.
"අන්න ඒකයි මට කියන්න ඕන. ඔයාගේ හිතට ඔය තරම් ඉබාගාතේ යන්න ඉඩ දෙන්න එපා. ටිකක් කන්ට්‍රෝල් කරගන්න. නැත්තම් අන්තිමට මොනා හරි වුණොත් ඔයාගේ හිත ගොඩාක් රිදේවි"
අංජලී එහෙම කිව්වාම, ආන්යාගේ හිතට එකතු වුණේ අනියත බයක්. සමහරවිට ආර්යන් ආන්යව සෙල්ලමකට අරන් වෙන්න පුලුවන්ද?ඔය පෝසත් කොල්ලන්ට එහෙම කරන්න්න බැරි කමකු නෑ. ඈට හිතුණා. ඒත් හිතේ එක පැත්තක් ආර්යන් ගැන එහෙම හිතන්න කැමති වුණේ නෑ.
"මං නං කියන්නේ අතේ දුරින් ආශ්‍රය කරන්න කියලයි" අංජලී අන්තිමට එහෙම කිව්වේ ආන්යට හිතන්න තව ගොඩක් දේවල් ඉතිරි කරලා.

මේ කතා බහේ අන්තිම ප්‍රථිපලය වුණේ ආර්යන් ගැන කුකුසක් ආන්යගේ හිතේ ඇති වුණ එකයි. ඒ අලුත්ම බාධකය නිසා ආර්යන් කතා කරපු සමහර වෙලාවල කොච්චර ඕන වුණත් ෆෝන් එකට උත්තර නොදී ඉන්න ආන්යා උත්සාහ කලා. ඒකට අංජලීගේ නොපහන් බැල්මත් උඩගෙඩි දුන්න කිව්වොත් හරි.
"පැනපු ගමන් ගන්න එපා, ටිකක් ඩිමාන්ඩ් කරන්න. නැත්තම් එයා හිතයි ඔයාව ඕන විදියට නටවන්න පුලුවන් කියලා" අංජලී කියන කතාවෙත් ඇත්තක් තියෙන වග ආන්යට පිලිගන්න සිද්ධ වුණා.
"අයියෝ, මේ බයෝ කෙමිස්ට්‍රි නම් මට ග්‍රීක් වගේ. කොච්චර බැලුවත් පාඩම් හිටින්නේ නෑ" පාරමි පොතක් අරගෙන කාමරේ පුර ඇවිදිමින් අඳෝන නගන වෙලාවේ ආන්යා උන්නේ සම්මානි එක්ක හවුලේ පත්තරයක් බලමින්.
"අතෑරලා නිකම් ඉන්න අනේ, මේ මං වගේ" ඇඳේ සුව පහසුවෙන් දිගා වෙලා උන්නු රශ්මි කිව්වා.
"හොදට තියේවි" පාරමී රශ්මිට යන්තමට රවලා ආයෙම රවුමේ යන්න පටන් ගත්තා.
මේ අතරේ කාමරේ දොරට කවුද තට්ටු කලා.
"ඇරලා තියෙන්නේ එන්න"
දොර ඇරලා කාමරේට එබුණේ, එහා කාමරේ හිරුණිකා.
"කෝ...ආන්යා...දහම් ඔයාට පණිවිඩයක් කියන්න කිව්වා, ඔයා කියන්න හිතාගෙන ඉන්න සිංදු ලිස්ට් එකක් හෙට එද්දි අරන් එන්න කිව්වා. ඒකෙන් තෝරලා නෝට්ස් හදන්න මිගාරලට දෙන්න ඕන කියලා..."
"ආ...හරි හිරුණි තෑන්ක් යූ, මම ලියාගෙන යන්නම්"

ආන්යා රෑ කෑම කාලා, ගීත ලැයිස්තුව ලිය ලියා ඉන්දැද්දි, ඇගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා. ආර්යන්...ඒ දවස ඇතුලත කතා කරපු හතරවෙනි වතාව. කලින් තුන් වතාවම අංජලීගේ දැඩි බැල්ම හමුවේ නොතකා ඉන්න ආන්යට සිද්ධ වුණා. ඒත් මේ පාර එහෙම කරන්න ඈට ලෝබ හිතුණා.
"හලෝ..."
"අම්මේ ඇති යාන්තම්...මං කීපාරක් කතා කලාද?" ආර්යන්ගේ හඬ මොකක්දෝ හේතුවකට ආන්යගේ හිතට එක් කලේ සැනසීමක්.
"ටිකක් වැඩ ඒකයි"
"දැනුත් වැඩද? මං කතා කරන එක කරදරයක්ද?"
"නෑ, නෑ. කියන්න"
ආර්යන් මොනවදෝ හිතනවද කොහෙද. එහා පැත්තෙන් ඇහුනේ ඔහුගේ සුසුම් වල හඬ විතරයි.
"සොරි ආන්යා, සමහරවිට මම මේ කතා කරන එක ඔයාට කරදරයක්ද දන්නෙත් නෑ. ඒත් දැන් මං මේකට ඇඩික්ට් වෙලාද කොහෙද..." ඔහු හිනා වුණා.
ආන්යා මුනිවත රැක්කේ මොන්වා කියන්නද හිතාගන්න බැරිව. ඔහුත් නිහඬ වුණා තව මොහොතකට.
"දෙයක් අහන්නද?" ඔහුමයි ආයෙමත් කතා කලේ.
"මොකක්ද?"
"මට හිතෙනවා ඔයා මාව මගාරින්න හදනවා කියලා, උවමනාවෙන්ම. දැන් කීප දවසක්ම එහෙමයි කියලා මට හිතුණා"
"එහෙම එකක් නෑ" ආන්යා බොරුවක් කිව්වා.
"එහෙනම්?"
"අ..ම්...හැමදාම ඉතින් අපි මොනා කතා කරන්නද?" ආන්යා හිතට ආවට කිව්වා.
ඒත් ආර්යන් හිටිගමන්  නිහඬ වුණාම ඈට තේරුණ ඔහුගේ හිත රිදුන වග.
"නෑ, මං මේ කිව්වේ, යාලුවෝ වුණත් වැරදියට හිතන්න පුලුවන් නේ" ඈ ආයෙම කිව්වා.
"අයෑම් සොරි, මං ඔයාට කරදර කරන්න හිතුවා නෙවේ...රියලි..." ඔහු තැතනුවා.
"මං දන්නවා"
කාලේ ගොඩාක් අරගෙන ඔහු ආයෙම කතා කලා.
"මං තියන්නම් ආන්යා...මං...වෙල්, ඔයාට කරදරයක් වුණා නම් රියලි සොරි...බායි"
හිටපු ගමන් ආර්යන් එහෙම කිව්වාම, ආන්යා කලබල වුණා. ඈ නොහිතා කියපු දේට ඔහුගේ හිත රිදිලද කොහෙද.
"ආර්යන් අයියා..." ඈ කතා කලත් ඔහු ඒ වෙනකොටක් ඇමතුම විසන්ධි කරලා ඉවරයි.
ආන්යා පෑන අතේ තියාගෙනම කල්පනා කරන්න ගත්තා. හිත එකපාරටම නොසන්සුන් වෙලා තියෙන තරම්? ටිකක් වෙලා හිතලා, ඈ ඔහුගේ නොම්මරේ එබුවා පලමු වතාවට. ඇමතුම සම්බන්ධ වෙන්න ගිය තප්පර කීපය ඈට දැනුනේ පැයක් වගේ.
"ඔබ ඇමතූ දුරකථන අංකය ප්‍රතිචාර නොදක්වයි..." එහා පැත්තෙන් ඇහුණේ එහෙම.
ආන්යගේ හිත ලොකු දුකකින් පිරුණා. ඒක පාරටම දේවල් වෙනස් වෙච්ච හැටි? කලින් කවදාවත් මෙහෙම දෙයක් ඈට සිද්ධ වෙලා නැති නිසා මොනවා කරන්න ඕනද කියලා ඈ දැනගෙන හිටියේ නෑ. 
"අයියෝ ගණං ගන්න එපා ඉතින්. එයා ආයෙම කතා කරයි ආන්යා. ඇත්තටම ඔයා ගැන හිතනවා නං කතා කරයි"
ආන්යගේ දුක අහපු අංජලී ඈව සනසන්න උත්සාහ කලා.
"ඒත් එයාව තරහා ගැස්සුවේ මම නේ" ආන්යා කිව්වේ හැඟුම්බරව.
"තරහක් නැතුව ඇති ආන්යා, එවෙලෙට ආපු ආවේගේ මිසක්. ඔයා ගැන නොහිතනවා නං ඉතින් තරහා වුණාම වුණත් මොකෝ"
අංජලීට නම් මොකෝ?ආන්යා සුසුමක් හෙලුවා. ඒත් හිතේ දුක එහෙමමයි.
"මං නං කියන්නේ එයාව තේරුම් ගන්න මේක හොඳ වෙලාවක්. ඔන්න ඔයා එහෙම කතා කරනවා නෙවෙයි හොඳද?" අංජලී කිව්වත්, ආන්යගේ හිතට ඒක කරන්න පුලුවන් වුණේ නෑ.
"අයෑම් සොරි, නෙවර් මෙන්ට් ටු හර්ට් යූ..."  
රෑ නිදාගන්න ලෑස්ති වෙලා, එහෙම ලියපු එස්.එම්.එස්. එකක් ආර්යන්ගේ නොම්මරේට යවපු ආන්යා කොට්ටේ මූණ ඔබාගත්තා. රෑ කලුවරේ කාටවත්ම නොපෙනී පුංචි කඳුලක් කම්මුලේ පැත්තකින් බේරිලා ඇහේ කොට්ටය තෙත් කලා.


4 comments:

  1. අයියෝ මොකක්ද මේ ආන්යා කරේ

    ReplyDelete
  2. අයියෝ යාලුවොනම් ඔහොමමයි :@

    ReplyDelete
  3. ane pawu anya akki,. yaluwa ithin ohome kiyane athe anya akki amaruw watenne nodi thiyagane wenne athi ne :) akkige exams iwerade?? how was it? hope you did it great :) take care

    ReplyDelete
  4. @ Glimmer girl: that's right. yaluwo ehemane itin. kohomat "love is blind" nisa aanyata owa penne natuwa ati.
    Exam me satiye tama iwara wenne. Happe...eeta passewat meka piliwelakata liyanna tama hitan inne.

    ReplyDelete