Friday, March 30, 2012

විසිහතරවන කොටස

 


ආයෙම පේරාදෙනිය සරසවියේ රෝස පාට රොබරෝසියා මල් පිපෙන්න පටන් අරන් තිබුණා. එක කොලයක්වත් නොපෙනෙන තරමට මුලු ගහ පුරාම රෝස පාට මල් පිපිලා තිබුණ මේ ගස් මුලු පලාතටම එක් කලේ අපූරු සුන්දර බවක්. ගහේ පිපිලා තියෙන මල් තරමටම බිමත් රෝස පාට පලසක් වගේ මල් වැටිලා තිබුණා.
ගීත පුරුදු වෙන්න අප්පාදොරේ ශ්‍රවණාගාරයට යන ගමන් උන්නු ආන්යා, කෘෂි පශ්චාත් උපාධි ආයතනයට ඇතුල් වෙන ගේට්ටුව ලඟ තිබුණ රොබරෝසියා ගහත් ඒ විදියටම මලින් බර වෙලා තියෙන හැටි මොහොතක් නතර වෙලා බලාගෙන උන්නා.
"අනේ හරිම ලස්සනයි නේද රශ්මි?" ඈ ලග උන්නු රශ්මිට කිව්වා.
රශ්මි මොනවදෝ කොල ගොඩකුත් අතේ තියාගෙන, ෆයිල් එකකු ඇදේට අල්ලගෙන, ඒවා අතර මොනවදෝ හොයමින් උන්න මිස ආන්යා කියපු දේට අවධානයක් ඇගේ තිබුණේ නෑ.
"ඕවා පස්සේ බලන්න පුලුවන්. දැන් යමු ආන්යා. මිගාර දැන් දහ පාරක් විතර රිං කලා" රශ්මි ආන්යට ඉස්සර වෙන ගමන් කිව්වා.
රශ්මිට ඇද කරපු ආන්යා, ආයෙමත් මුකුත් නොකියම රශ්මි පස්සෙන් ඇදුනා.
"කොහේද හලෝ හිටියේ? අපි මේ කීයේ ඉඳන්ද බලාගෙන ඉන්නේ?" ශ්‍රවණාගාරය ලඟට යද්දි මිගාර මගට බැහැලා බලාගෙන ඉඳලා දෝස්මුරයක් දැම්මා. ආන්යා රශ්මිට ඒක බේර ගන්න ඉඩ දීලා ශ්‍රවණාගාරය ඇතුලට එබුණා. ගීත ගායනා කරන්න පුරුදු වෙන කීප දෙනෙක් එතනට ඇවිත් උන්නා. ඒ අතරේ දහම් උන්න වග දැකපු ආන්යා ඔහු අසලට ගියා.
""අද ඇයි දහම් මෙතන? වෙනදට කොමන් රූම් එකේනේ පුරුදු වෙන්නේ?" ඈ ඇහුවේ උඩ පෝලිමක කතා කරමින් උන්නු තමන්ගේ ජේශ්ඨයන් දෙදෙනෙක් දිහා හොරෙන් බලන ගමන්.
"අර ඩාන්ස් කරන අයට ස්ටෙප්ස් හදාගන්න පොඩ්ඩක් ස්ටේජ් එකේ තරම බලාගන්න ඕන කිව්වා. මෙහේ සවුන්ඩ්ස් ටෙස්ට් කරන්නයි, ට්‍රැක් වලට කියලා ප්‍රැක්ටිස් වෙන්නයිත් ඕන නිසා, මෙතනට ආවේ. ඔයා දැන්හරියටම සිංදුවක් තෝර ගත්තද කියන්න?" දහම් අන්තිමට ඇහුවා.
"අනේ මන්ද...මං කියන කියන එක කෝලිත එපා කියනවනේ. ට්‍රැක් නැහැලු. ඉතින් ට්‍රැක් තියෙන ඒවා මොනාද කියලා මම දන්නේ නෑනෙ" ආන්යා නෝක්කඩුවට වගේ කිව්වා.
"මේකනේ, සිංදුව හොයගන්න පුලුවන් නම් ට්‍රැක් හදා ගන්න පුලුවන්.හැබැයි ඉතින් තියෙන ට්‍රැක් වලට කියන්න පුලුවන් නම් ලේසියි. ඉන්නකෝ...ආ...මේ තියෙන්න දැන් ට්‍රැක් තියෙන ලිස්ට් එක" දහම් ආන්යා අතට කොලයක් දෙන ගමන් කිව්වා.
ආන්යා ඒක බලන අතරේ දහම්ව කවුදෝ ඇවිත් මොකක්දෝ වැඩකට ඇදගෙන ගියා. ඕගනයිස් කරන්න අය දැම්මත් අන්තිමටැ බැහැලා වැඩ කරන අය කොහොමටත් වැඩ කරන්න අහුවෙන වග ආන්යා නොදන උන්න නෙවෙයි. හැබැයි ඉතින් දහම් මේ හැම දෙයක්ම කලේ කැමැත්තෙන් වගත් ආන්යා දැනගෙන හිටියා.
"ආන්ය කියන්න එකක් තෝරගත්තද?" ඒ පාර එතනටැ ඇවිත් උන්නේ කෝලිත.
"ම්...අනේ මන්දා..මම හිතුවේ මේ 'මිදුලේ මල් සූරියගහ මුදුනේ' වත් කියන්න"
"කලින් අහලා තියෙනවද? තරඟෙකට නිසා හොඳට කියන්න පුලුවන් එකෙක් තෝරගන්න නේද?" ආන්යට කෝලිත ගැන සියුම් නොමනාපයක් දැනෙන්න වුණා.
"කලින් මම මේක කියලත් තියෙනවා ඉස්කෝලෙදි" ආන්යා වියලි හඬකින් කිව්වා.
"හරි හරි. අපි කියලා බලමුකෝ. ඕක බැරි නම් අද වෙන එකක් තෝරගන්න බැරියැ" ආයෙමත් තමන්ගේ අතිපණ්ඩිතභාවය විදහා පාපු කෝලිත එහෙම කියාගෙන ස්ටේජ් එක දිහාවට ගියා.
"හරිද, තෝරගත්තද?" ආයෙමත් ආන්යා අසලට ආපු දහම් ඇහුවේ ඇගේ අතේ තිබුණ කොලේ අතට ගන්න ගමන්.
"හ්ම්"
"මොකෝ මේ...කෝලිත මේකත් එපා කිව්වද?" දහම් ඇහුවේ ලාවට හිනාවෙලා.
ආන්යා ඒකට උත්තරයක් නොදී නොමනාපෙන්ම බිම බලා ගත්තා.
"අයියෝ ගණං ගන්න එපා. අපි හැමෝම දන්නවනේ පොර අධි උනන්දුවෙක් කියලා මොනා කරන්න ගියත්. ඒයා කියන එකක් නෙවෙයි, ඔයා ආස එකක් කියන්න" දහම් ආන්යාව සනසන්න වගේ කිව්වා.

"ඔන්න ට්‍රැක් එක දානවා...පද මතකයි නේද? කොතන හරි නවත්තන්න ඕන නම් කියන්න" අප්පාදොරේ ශ්‍රවණාගාරයේ මුල්ලක පොඩි ටේප් රෙකෝඩරයක් අතේ තියාගෙන හිටපු දහම් කිව්වා. රශ්මියි, මිගාරයි, දේවයානියිත් එතන උන්නු නිසා ආන්යට අපහසුතාවයක් නොදැනුනාම නෙවෙයි.
"මිදුලේ මල් සූරියගහ මුදුනේ...රන් අරුණලු වැටිලා...අත්තෙන් අත්තට මල් හිනැහෙනවා ඉරමඩලට හැරිලා..." අන්තිමේදි ආන්යා පටන් ගත්තා.
අනික් අය තාලෙට හිස වනමින් අහගෙන උන්නා.
"කල් යල් බල බල පෙරුම් පුරාගෙන උන්නු නැකත ලබලා
පෙරමග එන ඔබ පිලිගන්නට අද ගෙදර කැවුම් උයලා.."
ආන්යා ගීතය කියන ගමන්ම වටපිටත් බැලුවා. දහම් මද හිනාවක් මුවේ අවරගෙන ඈ දිහාම බලාගෙන උන්නු හැටි දැක්කම ඈ ඇස් පොඩි කරලා "මොකද?" කියලා ඔහුගෙන් ඇහුවේ ඇස් වලින්මයි.
"වාව්! නියමයි නේ. මම අදමයි ඔය සිංදුව ඇහුවේ. ඒත් හරි ලස්සනයි" මුලින්ම අත්පුඩි ගැහුවෙත් දහම්මයි. අනික් අයත් හිනා වෙමින්ම ඔහුට එකතු වුණා.
"ම්ම්...හොඳයි, හැබැයි තැන් තැන් වලදි ටිකක් විතර අවුට් ගියා වගේ තේරුණා. තව ප්‍රැක්ටිස් කලාම හරි යයි" රශ්මි ඇගේ අදහස පල කලා.
ඇය කියපු දේ ආන්යටත් ගායනා කරද්දිම තේරිලයි තිබුණේ.
"එහෙනම් ආයෙම දාන්නද?" එහෙම ඇහුවේ දහම්.
කොහොමින් හරි තව පස් පාරක් විතර පුරුදු වුණාට පස්සේ, යම් තරමක විශ්වාසයක් ආන්යට දැනෙමින් තිබුණා, මේක කියන්න පුලුවන් කියලා.
"ආ...ඔය තියෙන්නේ එකක් හොයාගෙන. ගුඩ් ඈ" කෝලිතත් අන්තිමට ආන්යට කිව්වා.
"ආන්යා...ඔයා මා එක්ක යුග ගීයක් කියන්න එනවා නේද?" ඉඩක් ලැබුණ වෙලාවේ දහම් ඇහුවා.
"මොකක්ද සිංදුව?"
"දෙක තුනක් තියෙනවා. ඒත් මම කැමති නම්, 'කලක් ඇවෑමෙන් පෙරුම් පුරා' එකට" දහම් කිවාම ආන්යගේ ඇස් උඩ ගියා, ඒ දැනුන උද්යෝගය නිසා. ආන්යා හැමදාමත් ගොඩක් ආස කරපු ගීතයක් තමා ඒක.
"අනේ...මං එනවා. මං හරිම ආසයි ඔය සිංදුවට"
ඊට පස්සේ කාලය ගත වුණේ මේ යුග ගිතය පුරුදු පුහුණු වෙන්න.

"...සීතල මිහිදුම් සේල ඉරා...වත දවටාගෙන මා එනවා"
ආන්යා ගීතය ඉවර කරද්දිම වගේ ඇගේ නෙත ගැටුනේ ගීත අහගෙන උන්නු පිරිස අතරින් බෙල්ල දික් කර කර තමන් දිහා බලමින් උන්නු අංජලීව.
"ඇයි අංජු?" ලැබුණ පලවෙනි අවසරෙන්ම ඈ ලඟට දුවපු ආන්යා ඇහුවා.
ඒත් ඈට අංජලීගේ උත්තරේ අවශ්‍ය වුණේ නැහැ. පුස්තකාල ගොඩනැගිල්ල ලඟ හිටගෙන තමන් දිහා බලාගෙන උන්නු කෙනා දුටුවාම ආන්යට අංජලී කියපු දේවල් නෑහී ගියා.

2 comments:

  1. අද කොටසත් ලස්සනයි..

    ReplyDelete
  2. කවුද ඒ බලන් හිටියේ ????????????

    ReplyDelete