Friday, May 29, 2015

දහසයවන කොටස

' ආයෙම වහින්න එනවද මන්දා'
හෝදන රෙදි ටික අතේ ගුලි කරගෙන බාත් රූම් එකට යන ගමන් කාමරේ ජනේලෙන් එපිට බලපු අයුමිට එහෙම හිතුණේ අලු පාට වලාකුලු වලින් බර වෙලා තිබුණ අහස දැක්කාම.
'කමක් නෑ රෙදි ටික හෝදලම දානවා' ඈ එහෙම හිතාගත්තේ රෙදි ගොඩ වුණාමත් කරදරේ හන්දා. ඇන්ටි කතා කරපු හන්දා පහලට ගිය තනූජා තවමත් කාමරේට ඇවිත් උන්නේ නෑ. ඒ හන්දා ඈටත් ලේසි වෙන්න එක්ක කලින්ම රෙදි ටික හෝදලා ඉවර කරන්නත් අයුමිට ඕනකම තිබුණා.
රෙදි දාන බේසම ගන්න අතරේ අයුමි දැක්කේ උදේ ගාගෙන යන්න කණ්ණාඩිය ලඟට ගෙනාපු ගමන් එහෙමම තියලා ගිය ඕඩිකොලෝන් බෝතලේ.  ඉස්සර ඉඳන්ම විලවුන් වෙනුවට අයුමි පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියේ ඕඩිකොලෝන්. සැර විලවුන් සුවඳවල් වලට වඩා ඈ ප්‍රිය කලා ඕඩිකොලෝන් වල මුදු සුවඳ. ඒ අතරේ අයුමිට ඉබේටම මතක් වුණේ රවීන්ව.
"අයුමි මොකක්ද පාවිච්චි කරන perfume එක? ඔයා ලඟින් එන්නේ චූටි බබලා ලඟින් එන සුවඳක්"
කලින් දවසක ලී බඩු වගයක් බලන්න රවීන් එක්ක වාහනේ යද්දි ඔහු එහෙම කිව්වේ ඈව ටිකක් විතර ලැජ්ජාවට පත් කරමින්.
"විශේෂ දෙයක් නෙවෙයි, ඕඩිකොලෝන්" ඈ හෙමින් කිව්වා ඒත්.
"ආ...පෙයාස් ද, බේබි ෂෙරමිද, ජොන්සන්ස්ද මොනාද?" රවීන් ඊලඟට ඇහුවේ එහෙම.
"බේබි ෂෙරමි"
අයුමි කිව්වම රවීන්ගේ මූණේ ඇඳුනේ අපූරු හිනාවක්.
"මට මතකයි ඒ දවස්වල අපේ පොඩි දෙන්නටත් ගෙනැත් දානවා. අනික් ඔක්කොම ජොන්සන්ස් ගත්තත්, ඕඩිකොලෝන් එක ගත්තේ ඔය මොකක් හරි දෙකෙන් එකක් තමා. ඒ සුවඳ එද්දි මට අපේ පොඩි දෝණිගේ චූටි කාලේ මතක් වෙනවා" රවීන් කිව්වේ ඔහුගේ දුවව මතක් කරමින්.
අයුමි හිනාවුණා යන්තම්. රවීන් ඒ පාර අහක බලාගෙන සුසුමක් හෙලුවම, ඈට ඔහු ගැන පුංචි දුකක් නොදැනුනා නෙවෙයි. ඒත් ඈ මොනා කියන්නද?
ඕඩි කොලෝන් බෝතලේ එහෙමම තියලා අයුමි රෙදි හෝදන්න පටන් ගත්තේ රවීන් ගැන මතක එක එක ආයෙම හිතේ ඇඳෙද්දි. රෙදි ටික හෝදලා දන්න වතුර පිරෙනකල් බලාගෙන ඉද්දි, ඔහු එක්ක ගත වුණ හැම මොහොතකම වුණ සිද්ධි හැම එකක්ම මේ තරම් මතක හිටියේ කොහොමද කියලා අයුමි හිතුවේ පුදුමෙන්. ඈට දැනුනා රවීන් ඈට ටිකින් ටික ලං වෙන්න උත්සාහ කරන වගක්. ඔහු ලැබෙන හැම වෙලාවකම වැඩ වලට අදාල නොවෙන දේවල් ගැන නිතරම එක්ක කතා කරන්න වුණාම ඈට හිතුණා, ඔහු හදන්නේ තමන්ගේ ජීවිතේ නොදන්න පැත්ත ඈට අඟවන්නදෝ කියලත්. දැන් දැන් ලඟදි ඔහු හැසිරෙන විදිය පවා වෙනස් වෙලා කියලා ඈට නිතරම හිතුණා.
"ජීවිතේ අපට ඕන දේවල් හැම වෙලේකම ලැබෙන්නේ නෑ අයුමි. ඒක අපි එක එක්කෙනාගේ කර්මය තමා"
දවල් කෑම කන්න රවීන් එක්ක එලියට ගිය දා හොටෙල් එක ඇතුලට යන්න මොහොතකට කලින්, සල්ලි ඉල්ලගෙන ආපු වයසක හිඟන කෙනාට රුපියල් විස්සක් දීලා එන ගමනෙදි රවීන් කියපු හැටි අයුමිට ආයෙම මතක් වුණා.
"ඒක ඇත්ත" අයුමි කිව්වේ හීන් සුසුමක් හෙලලා.
"මිනිස්සු හිතනවා ඇති අපිව දැක්කම අපි හරි සතුටින් ඉන්නේ. වාහන තියෙනවා, සල්ලි තියෙනවා ඉතිං මොන ප්‍රශ්ණද කියලා"  රවීන් කිව්වා ඈට මතක තිබුණා.
ඔහු ඉඳගෙන හිටියේ අයුමිට ඉස්සරහ පුටුවක, ඈ දිහා කෙලින්ම බලාගෙන. අයුමි විටින් විට ඔහු දිහා බැලුවත් වැඩිපුරම උන්නේ අහක බලාගෙන.
"සල්ලි තියෙද්දි සමහර ප්‍රශ්ණ අඩුයි තමයි. ඒත් ඒකේ තේරුම ඒ මිනිස්සුන්ට දුකක නෑ කියන එක නෙවෙයි. සල්ලි වලට ගන්න බැරි හුඟක් දේවල් තියෙනවා. සමහරවිට ඒ අතින් බලද්දි සල්ලි නැති මිනිස්සු තියෙන මිනිස්සුන්ට වඩා පෝසත් කියලත් හිතෙනවා"
රවීන් එහෙම කිව්වේ දුකකින්ද? අයුමි රවීන් දිහා බලාගෙන උන්නේ ඒක විග්‍රහ කරගන්න බැරිව.
"දුක සැප දෙක හැමෝටම පොදු දෙයක්. බුදු හාමුදුරුවොත් එහෙම කියලා තියෙනවනේ" අයුමි කිව්වේ එහෙම.
රවීන් ඈ දිහා බලලා සුසුමක් හෙලපු හැටි මතක් වෙද්දි අයුමිගේ හිත තාමත් යන්තමට සසල වුණා වගේ.
"වෙලාවකට හිතෙනවා ජීවිතේ තියෙන්නේ දුක විතරමද කියලත් ඒ වුණාට" රවීන් ඉන් පස්සේ කිව්වා.
"එහෙමම නෑ. දුකක් වුණාම අපි ඒක මතක තියාගෙන විඳවනවා. කලින් විඳපු සැප, සතුට අමතක කරනවා. ඒ සැප සතුටට අපි ඇලුණ හන්දයි අද දුකක් ඇති වෙල තියෙන්නේ කියලා අපට මතක් වෙන්නේ නෑ"
"ම්ම්...හෙමිච්චා වගේ හිටියට අයුමිත් සෑහෙන දේවල් දන්නවා නේ" රවීන් කිව්වේ හිනාවක් පාලා. " ඒක හරි හොඳයි. එහෙම හිතන්න පුලුවන් එකත් කොච්චර දෙයක්ද?" ඒ එක්කම ඔහු ආයෙම කිව්වා.
අයුමි බිම බලාගෙන හිනාවුණා.
"ඔයා කියන එක සහතික ඇත්ත. ඇලෙන හන්දයි දුක ඇති වෙන්නේ. ඒත් දැන දැම වුණත් දේවල් වලට ඇලෙන එක නවත්තගන්න අපට බෑ සමහරවෙලාවට. මම නම් ඒ අතින් හරිම දුර්වලයි අයුමි" රවීන් කිව්වා.
"ඇයි එහෙම කියන්නේ?" අයුමි එහෙම ඇහුවේ මොකද මන්දා.
රවීන් මොහොතක් ඈ දිහා බලාගෙන උන්න ටිකක් මවිත වෙලා වගේ. ඊලඟට ඔහු සුසුමක් හෙලලා ඉවත බලාගත්තා.
"එහෙම කියන්නෙද? එහෙම කියන්නේ මම ඒ වගේ කියන එක මට තේරිලා තියෙන හන්දා"
"උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑනෙ" අයුමි කිව්වේ ඔහු කියන්නේ මොකක් ගැනද කියලාවත් නොදැන.
ඒ පාර රවීන් කෙලින්ම බැලුවේ අයුමිගේ දෑස් දිහාව. ඈ එක පාරටම ගල් වුණා වගේ ඒ ඇස් ඉස්සරහදි.
"සමහර වෙලාවට එහෙම කරන්න හිතුවත්, නතර වෙන්නේ තවත් ලංවෙලා"
අයුමි රවීන් දිහා බලාගෙන උන්නේ බය වෙලා වගේ. ඒත් එවෙලේ වේටර්වරයා කෑම අරගෙන ආපු හන්දා ඒ කතාව තවත් දුර ගියේ නෑ. ආපහු එන ගමනෙදි වැඩ ගැන මිසක වෙන දෙයක් ගැන අයුමි කතා කරන්න ගියෙත් නෑ. ඒත් ඈට දැනුනා තමනුත් රවීනුත් අතර ඇතිවුණ හැම නිහැඬියාවකදිම, කියාගන්න බැරි මොකක්දෝ හැඟීම් සමුදායක් ඔහුත්, තමාත් අතර පාවෙමින් තිබුණා වගේ කියලා ඈට දැනුනා. ඔහු ඈ දිහාට හෙලන හැම බැල්මකමත්, හීන් සුසුමකමත් ඒ හැඟීම් දැවටිලා තිබුණා. හවස team meeting එක ඉවර වෙලා එද්දි රවීන් ඈට යන්න කියලා හිස වැනුවෙත් වෙනදා වගේ නෙවෙයි කියලා අයුමිට හිතුණා. ඈ දොර ලඟදි ආපහු හැරිලා බැලුවේ අහේතුකව, ඒත් ඒ වෙලෙත් රවීන් තමන් දිහාම බලාගෙන උන්නු හැටි දැක්කම බරවුණ හිත තවමත් තිබ්බේ ඒ තත්වෙන්මයි.
"අයුමි...අද එනවද? මම මේ තේත් අරගෙන ආවා"
අයුමි පියවි ලෝකෙට ආවේ තනූජගේ කට හඬට. ඒ පාර ඈ දනි පනි ගාලා tap එක වහලා, රෙදි ටික මිරිකගෙන බාත් රූම් එකෙන් එලියට එන්න ආවා.
"මොකක අනේ, ඔය රෙදි දෙක හෝදන්න පැයක් ගියාද?" තනූජා ඇහුවේ අයුමිගේ තේ එක ඈ දිහාට පාන ගමන්.
"තෑන්ක්ස් තනූ. ඔහොම තියන්නකෝ. මම රෙදි ටික වනලා එන්නම්"
"අනේ මේ, මෙන්න මේ තේ එක බීලා යන්න. ඒක නිවිලා තියෙයි ඔයා slow motion රෙදි ටික වනලා එද්දි. අනික ඕවා තකහනියේ අඳින්නේ නෑනෙ" තනූජා කිව්වේ තේ එක ආයෙම දික කරලා.
ඒ පාර අයුමි තෙත රෙදි බාල්දිය බිමින් තියලා තේ එක අරන් ඇඳේ වාඩි වුණේ 'ඒකත් ඇත්ත' කියලා හිතන ගමන්.
"රෙදි හේදුවට මොකද දැන් ආයෙමත් වහීවිද මන්දා තනූ" අයුමි කිව්වේ තේ කෝප්පේ අරන් ජනේලේ අසලට ගිහින් එලියට එබිලා.
"දැන්ම වහින එකක් නෑ. හැබැයි රෑ වෙද්දි නම් වහින්න ඉඩතියෙනවා වගේ. කෝකටත් ඔයා වේලිච්ච රෙදි ටික අරගෙන, ඔය ටික අර බිත්තිය අයිනේ වැලේ වනන්න"
"හවස නම් කොච්චර වැස්සත් කමක් නෑ, වැඩට යන වෙලාවට වහින්නේ නැතිව. අද උදෙත් වැස්සෙන් බේරුණේ නූලෙන්" අයුමි කිව්වා.
"ඔව් අනේ ඒක නම් ඇත්ත"
අයුමි ආයෙම ජනේලේ ඇතුලෙන් අලු පාට අහස දිහා බැලුවා.
"ඔයා වැස්සට ආසද?"
අයුමිට ආයෙම මතක් වුණේ රවීන් එහෙම අහපු විදිය. හවස discussion එක ඉවර වෙද්දි වහින්න ගත්ත වෙලේ අයුමිගේ ඇස් නැවතිලා තිබුණේ රවීනේ කාමරේ ජනේලෙන් එපිට.
"ම්ම්" ඈ යන්තම් හිස වැනුවේ රවීන් දිහා යන්තම් බලලා.
"ඇයි?"
"ම්ම්...අනේ මංදා. වැස්ස දිහා බලාගෙන ඉද්දි ඒක භාවනාවක් වගේ දැනෙනවා මට"
"දවසක වැස්ස දිහා බලාගෙනම රහත් වෙලා ඉඳීවිද දන්නේ නෑ එහෙනම්"
රවීන් කිව්වම අයුමිට හිනා ගියා.
"හ්ම්ම්...ඉස්සර මම වැස්සට ආස නෑ.එලියට බහින්නත් නෑ, කොහේවත් යන්නත් නෑ. ඒත් දැන් මම වැස්සට ආසයි. වැස්ස වෙලාවට වාහනේ එලවගෙන කොහේ හරි ඈතක යන්න මං ආසයි" රවීන් කිව්වේ ජනේලෙන් එලිය බලාගෙන.
අයුමි අහගෙන උන්නා විතරයි. රවීන් හැරිලා ඈ දිහා බැලුවේ නොහිතපු වෙලාවක.  ඒත් ඈ දෑස් අහක් කරගන්නේ නැතිව යන්තම් හිනාවුණා.
"මට පිස්සු කියලා හිතනවද? මේ සීරියස් discussion අස්සේ වැස්ස ගැන කතා කරකර ඉන්න?" රවීන් ඇහුවෙත් හිනාවෙලා.
"නෑ..."
"වැස්ස ගැන, අව්ව ගැන, තරු ගැන, මල් පිපෙන හැටි ගැන කතා කරපු කාලයක් ඉස්සර මට තිබුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒවා එහෙමම නැති වෙලා ගියා. ඊට පස්සේ ඉතිරි වුණේ ජීවිතේ ප්‍රශ්ණ ගැන, ඉස්සරහට කරන දෙවල් ගැන, බජට් ගැන, ප්ලෑන් ගැන කතා කරන්න විතරයි" රවීන් කිව්වේ කලකිරීමකින් වගේද කියලත් අයුමිට හිතුණා.
"හැමදාම හැමදේම එකම විදියට තියෙන්නේ නෑනෙ" අයුමි හෙමින් කිව්වේ මේසේ මත තිබ්බ තමන්ගෙම දෑත් දිහාවේ ඇස් රඳවගෙන.
"හ්ම්ම්...ඒකත් ඇත්ත. සමහර වෙලාවට ජීවිතේ වෙන වෙනස්කම් නරක දේවල් වගේම හොඳ දේවලුත් ජීවිතේට අරන් එනවා. මගේ දරුවෝ දෙන්නා වගේ, මේ බිස්නස් එක වගේ, ඔයා වගේ..."
රවීන්ගේ අන්තිම වචන පෙල ඇහුණම අයුමිගේ හිත ගැස්සුන තරම්. ඈ රවීන් දිහා නොබලාම උන්නා.රවීන් ආයෙම මුකුත් කිව්වෙත් නෑ, ජනේලෙන් එපිට බලාගෙන කල්පනාබර වුණා මිසක. ඒ වෙලාවේ අස්මි මොකක්දෝ වැඩකට රවීන් හම්බවෙන්න අවායින්, අයුමිට එතනින් නැගිටලා එන්න අවසරයක් ලැබුණා. ඒත් හිතේ ගැස්ම ඒ සිද්ධිය මතක් වෙන වාරයක් පාසා අලුත් වුණා.
"ඕං ඉතිං පටන් ගත්තා අර අඳ, ගොලු බීරි සමාධියට සමවැදෙන්න. ඔය තේ එක නිවෙනවා හලෝ"
අයුමිව පියවි සිහියට ගෙනාවේ තනූජා.
"ආ...අනේ නෑ. මම මේ වෙන කල්පනාවක හිටියේ"
"මම දන්නවා ඒක. එවෙලෙට ඔයා සම්පූර්ණයෙන්ම මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ"
"එහෙම එකක් නෑ තනූ"
"නැත්තේ මොකෝ? ඔයා අඳ, ගොලු, බීරි වුණාට මම එහෙම නෑ. මම දැන් ටික දවසක ඉඳලා බලාගෙන ඉන්නේ ඔයා දිහා"
"අනේ විකාර කියන්න එපා තනූ"
"විකාර නෙවෙයි. කොල්ලෙක් ගැන නේ හිතන්නේ? මම දන්නවා. වෙලාවකට මූණේ ඇඳෙන මල් හිනාව හෙම දැක්කම ඒක මට පේනවා"
"පිස්සු ඔයාට හොඳටම" අයුමි කිව්වේ ලැජ්ජාවෙන් රතු වෙලා.
"මට නම් පිස්සු නෑ නංඟි. හැබැයි ඔයාට නම් හොඳ පිස්සුවක් හැදීගෙන එනවා වගෙයි මට පේන්නේ" තනූජා ඇදලා පැදලා කිව්වා.
"මොනා කියනවද මන්දා තනූ ඔයා"
"මම කියන්නේ ඔයා වෙලාවකට තනියෙම හිනා වෙවී කල්පනා කරන එක ගැන"
"මම එහෙම කලේ කොයි වෙලේද?"
"ඇයි මේ දැන්?"
"මම විශේෂ දෙයක් කල්පනා කලා නෙවෙයි තනූ"
"එතකොට ඔය මේසේ පුරා බලි කුරුටු අඳින එක? අකුරක් ලියනවා මකනවා. යටි හිතේ තියෙන ඒවා තමා ඔය ලියවෙන්නේ"
"ඔයා ඕන එකක් හිතාගන්න. මම යනවා රෙදි ටික වනන්න"
අයුමි ඒ වදෙන් බේරෙන්න ඕන නිසා තේ එකත් බාගෙට බීගෙනම රෙදි ටිකත් අරන් පහල තට්ටුවට බැස්සා. ඇගේ හිත ගැහෙමින් තිබුණේ ඇත්තටම තනූජා කියපු යටි හිතේ කතාව ඇත්තක්වත්ද කියලා හිතමින්. උඩු හිතේ හොල්මන් කරන රවීන් යටි හිතටත් රිංගලාද කියලා හිතද්දි ඈට දැනුනේ බයක්. රවීන්ගේ තත්වේ, තමන් වැඩ කරන්නේ ඔහු යටතේ කියන එක, මේ හැමදේම ඒ බය ඇති කරන්න හේතු වුණා.
ඒත් රවීන් කරන කියන දේවල් එක්ක, ඔහුට ස්වභාවිකවම උරුම වෙලා තිබ්බ ඕනම කෙනෙක් වශී කරගන්නාසුලු ගතිය ඉස්සරහදි තමන් පුංචි පුලුන් රොදක් තරම් සමහර වෙලාවට දුර්වල වෙනවා නේද කියලා ඈ කල්පනා කලේ කනස්සල්ලකින් වගේ.
"excuse me..."
රෙදි වනමින්ම, සිතිවිලි අවුල් ජාලාවක පැටලිලා උන්නු අයුමිට ඇහුණා කවුරුහරි තමන්ට කතා කරන හඬ. ඈ හැරිලා බලද්දි ගේට්ටුව ලඟ හිටගෙන උන්නේ ඈ මීට කලින් දැකලා නුහුරු තරුණයෝ දෙන්නෙක්. බැලූ බැල්මට ඈට ඒ දෙන්නව පෙනුනේ මේ ලඟපාත බෝඩ් වෙලා උන්නු කැම්පස් ළමයි දෙන්නෙක් වගේ.
"ඔව් ඇයි?" ඈ ගේට්ටුව අසලට නොයාම ඔවුන්ගෙන් ඇහුවා.
" බෝඩිමේ ඇන්ටි ඉන්නවද?"
එහෙම ඇහුවේ එතන් උන්නු උස, තලෙලු කෙනා. කැරලි හිසකේ තිබ්බ ඔහුගේ තිබ්බේ ප්‍රසන්න පෙනුමක්. එතන උන්නු අනික් කෙනා තරමක් මිටි, මහත, සුදු එක්කෙන්ක්. හිසකේ කොටටම වගේ කපලා උන්නු නිසා ඔහුගේ බෝල ගතිය ඉස්මතු වෙලා පෙනුනා කියලා අයුමිට බැලු බැල්මට හිතුණා..
"ආ...ඉන්නවා. මොකක්ද කාරණේ??" අයුමි ඇහුවා.
"මේ..ඔයාලගේ ඇන්ටි කෑම... දෙනවා කියලා අපට ආරංචි වුණා.  ඒකයි මේ බලන්න ආවේ"
"ආ...ඔව් ඔව්. අම්...එන්නකෝ ඇතුලට.. මම ඇන්ටිට කතා කරන්නම්"
අයුමි එහෙම කියලා ගේට්ටුව ඇරලා දුන්නම දෙන්නම ඇතුලට ආවේ ඈට "තෑන්ක්ස්" කියාගෙන.
අයුමි ඇන්ටිට කතා කරලා, අර දෙන්න ගෙයි ඇතුලේ ඉද්දි ආයෙම එලියට ආවා වේලුණ රෙදි ටික අරගෙන යන්න. ඈ ඒ ටික අරගෙන  එද්දිමයි ඒ දෙන්න ගෙයින් එලියට බැස්සෙත්. ඒ එක්කම වගේ පස්සෙන් ආවේ තනූජා.
"වැඩේ හරි" අයුමි අහන්නත් කලින්ම අර සුදු,බෝල තරුණයා ඈට කිව්වේ හිනාවක් පාලා.
"ආ..එහෙම ?" අයුමි කිව්වා. "ම්ම්. තෑන්ක්ස්" එහෙම කිව්වේ අර කලු උස තරුණයා.
"ඔයාලා මේ ලඟද ඉන්නේ?" ඒ පාර කතාව ඇදගත්තේ තනූජා.
"ඔව්. අපි එහා පැත්තේ ලේන් එකේ ඉන්නේ. අපි නිතර කෑම ගන්න තැන මොකක්දෝ ප්‍රශ්ණයක් වෙලා කෑම නවත්තලා. මෙහේ කෑම දෙනවා කිව්වේ හන්දියේ ත්‍රීවීල් කරන කෙනෙක්"
"ආ..."
"ඔයාලා මෙහේ බෝඩ් වෙලාද ඉන්නේ?" ඒ ප්‍රශ්ණේ ඇහුවේ සුදු කෙනා.
"ඔව්"
"කැම්පස්ද?"
"නෑ නෑ. අපි දෙන්නම වැඩට යනවා" දිගටම කතා කලේ තනූජා.
"අපි හොටෙල් ස්කූල්" සුදු කෙනා කිව්වා.
"ආ.." අයුමියි, තනූජයි දෙන්නම හිනාවක් පාලා හිස වැනුවා.
"එහෙනම් අපි යමු නේද නොහාන්" එහෙම කිව්වේ උස කෙනා.
"හරි..හරි යමු. වැස්සකුත් එන්න වගේ නේ. අපි රෑට එන්නම් එහෙනම්" සුදු කෙනා කිව්වා දෙන්නටම.
"හා " තනූජා කියද්දි, අයුමි හිස වැනුවා.

අයුමි පස්සේ දැනගත්තේ ඒ කලු, උස කෙනාගේ නම යශෝධ කියලා. ඔහු ගැන ගෙදර ඇන්ටි කිව්වේ සිරියාවන්ත ළමයා කියලා. ඒ ඔහුගේ ශාන්ත පෙනුමත්, ඒ ශාන්ත බවම විහිදෙන දෑස් දෙකත්, ඒ ඉරියව් සේරමත් ඒ තරම්ම නිවිච්ච බවක් පෙනවපු හන්දා. නොහාන් තරම් කොමිටල් වුණේ නැති වුණත්, යශෝධ හැමවෙලේකම හිනාවෙලා උන්නු කෙනෙක් වග අයුමිලට තේරෙන්න කල් තිබුණා. ඒ එක්කම ඔහු ගැන තව තේරෙන්න, දැනෙන්න දේවල් අයුමිට නම් හුඟක්ම තිබුණා. ඒත්, වැස්සකට අර අඳිමින් තිබුණු ඒ හවස් වෙලාවේ නම් අයුමිටවත්, යශෝධටවත් ඒ ගැන මොනයම්මවත් දැනීමක් තිබුණෙම නෑ.

2 comments:

  1. කතාව ලියන්න මෙච්චර කල් ගත්තට සමාවෙන්න ඕන. ඔෆිස් වැඩ අස්සේ ලියන්න වෙලාවක් වුනේ නෑ. හවසට 154 ගෙදර එද්දි බාගෙට පණ ගිහින් හන්දා, ගෙදර ඇවිත් ලියන්න වුණෙත් නෑ. කොහොමහරි ඔන්න කොටසක් දැම්මා. බලන්නකෝ හොඳද කියලා.

    ReplyDelete
    Replies
    1. තව පරක්කු වුනා නම් බැනලා කමෙන්ට් එකක් දාන්න හිටියෙ මම.. කතාවකට කියල දැනට කියවන්නෙත් මෙච්චරයි, ඒකෙකොටසක් වැටෙන්න අවුරුද්දක් යනෝ.. :/

      Delete