Monday, October 27, 2014

අනූවන කොටස

නුවර ඉඳන් ආවට පස්සේ හිත වෙලාගෙන තිබ්බේ මොකදෝ ලොකු පාලුවක්. අනුක්ට ෆෝන් එකෙන් කතා කලා වුණත් ඒ පාලුව නැති වුණේ නෑ. භූප ගෙදර ඇවිත් උන්නේ නැති එකත් ඒකට හේතුවක් වෙන්න ඇති කියලා මට හිතුණා. දවස් දෙකකට පාරක් විතර භූප ඉඳහිට කතා කලත්, ඉස්සර වගේ ගොඩ වෙලාවක් අපි කතා කලේ නෑ. කෑවද, බිව්වද, කොහෙද ඉන්නේ වගේ සාමාන්‍ය දේවල් ඇරෙන්න වෙන දෙයක් අහන්න භූපට වෙලාවක් තිබ්බේ නැති තරමයි.
අනුක් අලුත් රස්සාවට කොලඹ ආවෙත් මේ කාලෙමයි. කොලඹ ආවට ඔහු අපේ ගෙදර ආවේ නෑ ආයෙමත්. දාපු රස්සාවල් එකකින් වත් interview කතා නොකල එක ගැනත් මගේ හිතේ පොඩි ලතැවුලක් හෙමින් ලියලමින් තිබුණා. රස්සාවක් වත් හම්බවුණානම්, ජීවිතේ මේ ඒකාකාරී බව නැති වෙයි කියලා මට හිතුණා. ඒ එක්කම තාම ජොබ් එකක නැති එක ගැන අම්මා උන්නෙත් විස්සෝපෙන්.
"ඔයාට කියලා හම්බ කරන් කන්න නෙවෙයි දරුවෝ, ඒත් ඔය ඉගෙන ගත්තු ඒවායින් මොනා හරි වැඩක් තියෙන්නත් ඕන නේ"
අම්මා කිව්වේ එහෙම. තාත්තත් ඒ ගැන අම්මා එක්ක එකඟ වුණා.
"ඉස්සෙල්ලම CV එක හොඳට හදාගන්න ඕන දුලාරා" මම ඒ ගැන කියපු වෙලාවක අනුක් මට කිව්වා.
"ඔයා මට ඒක එවන්න මම බලලා ටිකක් improve කරලා දෙන්නම්" අනුක් අන්තිමට කිව්වේ එහෙම.
මම ඒක ඔහුට යැව්වේ මගේ උවමනාවටත් වඩා අම්මගේ මුණු මුණුව අහගෙන ඉන්න බැරි හන්දා. ඒ නිසාම මම ගොඩක් වෙලාවට සෙනුරි අක්කලගේ ගෙදර ගිහින් උන්නේ චූටි දූ එක්ක ඉද්දි මේ සේරම මොහොතකට අමතක වෙන හන්දා.
"ඈ ළමයෝ...දැන් අර භූප ගෙදර එන්නෙම නැද්ද?"
තාත්තගේ කමිසෙක ගැලවුණ බොත්තමක් අල්ලමින් උන්නු මගෙන් ඉස්තෝප්පුවට පුටුවකට බරවෙලා උන්නු අම්මා ඇහුවා. හිතට පිවිසුණේ බරක් ඒ ප්‍රශ්ණෙත් එක්කම. භූප සති දෙකකින් විතරම ගෙදර ආවේ නැති හන්දත්, ඊට කලින් සතියෙත් මම ඔහුව බලන්න නොගිය හන්දත් අම්මට ඒක දැනිලද කොහෙද.
"ගෙදර එනවා. මේ ඉතිං නැකැත් මාසේ හන්දා එයාලට වැඩ වැඩි නේ අම්මා" මම කිව්වා.
"ම්ම්. කොහොමත් ඔයා එහේ යන්න ඕන නෑ. ඒ ළමයට කියන්න හම්බෙන්න ඕන නම් ආයෙම අපේ ගෙදර එන්නයි කියලා. අත්තම්මලත් කතා වුණා ඔයා එහේ යන එන එක ගැන. ගෑණු ළමයි එහෙම යන එක හොඳ නෑනෙ. අනික දැන් ඒ ළමයට සනීපයි නේ" අම්මා කිව්වා.
මම අහගෙන උන්නා විතරයි උත්තරයක් නොදීම. හිතේ ඒ ගැන සතුටක් ඇති වෙන්න ඕන වුණත්, එහෙම විශේෂ සතුටක් මට නොදැනුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.
භූප දවස් දෙක තුනකින් කතා නොකල හන්දත්, ඔහුගේ ගෙදර හුඟ දවසකි නොගිය හන්දත් මම පහුවදා උදේ වරුවේ එහේ ගියේ අම්මගේ මේ පණිවිඩේ අඩු තරමේ කේතකීටවත් කියලා එන්න හිතාගෙන.
"ආ...නෑනෝ. එන්න එන්න" එලියේ වැලේ රෙදි වනමින් උන්නු කේතකී මාව පිලිගත්තේ හිනා කටක් පුරෝගෙන.
"උදේම රෙදි හේදුවද?"
"ඔව් අනේ. මේ අයියගේ රෙදි. සති ගානක ඒවද මදා. අපරාදේ කලින් ආවා නම් ඔයාටම දෙනවා හෝදන්න"
"? භූප ආවද?"
"හා...මෙයා දන්නෙම නෑ. උදේම හොර පූසි වගේ ආවේ දන්නේ නැතුව වෙන්න ඇති එහෙනම්" කේතකී මට විහිලු කලත් මම උන්නේ ටිකක් විතර නොසන්සුන් වෙලා.
"අනේ නෑ කේතකී. මම ඇත්තටම දන්නේ නෑ. එයා කොයි වෙලේද ආවේ?"
"අද උදේ එකට දෙකට විතරද කොහෙද. ඔයාට කිව්වේ නැද්ද එන වග?" කේතකී ඇහුවේ විමසිල්ලෙන් වගේ මා දිහා බලමින්.
"නෑ. වැඩ අතරේ හදිසියෙන් එන්න ඇති. කෝ දැන් නිදිද?" මම ඇහුවේ හිතේ කැලඹිල්ල සඟවගන්න උත්සාහ කරමින්.
"ආයෙත් අහලා. යන්න යන්න. අම්මා කුස්සියේ" කේතකී කිව්වේ මා එක්කම ගෙට එන ගමන්.
මම දෙපාරක් නොහිතම භූපගේ කාමරේට ගියේ හිත දුකකිනුයි, තරහකිනුයි කැලඹෙද්දි. භූප උන්නේ ඇඳේ මුනින් අතට නිදාගෙන. ගෙනාපු බෑග් සේරම ඔහේ කාමරේ බිම තැන තැන තියලා. ඒ එක්කම කාමරේ තිබ්බේ මොකක්දෝ අපුල ගඳක්. හරියට මත්පැන් ගඳක් වගේ. මම නහය අකුලගෙන ගිහින් කාමරේ ජනෙල් දෙක ඇරලා දැම්මා. ඒ එක්කම හිතේ තරහා තවත් වැඩි වුණේ භූප ආයෙම බොන්න පටන් ගෙනවත්දෝ කියලා සැකයක් හිතේ ලියලපු හන්දා. ජනේල අරින සද්දෙටදෝ පොඩ්ඩක් ඇහැරුණ භූප හිස හරවලා බලද්දි මම මේසේ ලඟ හිටගෙන උන්නේ ඔහු දිහාම බලාගෙන.
"දුලාරා..." ඔහු නිදි මතේම මිමිණුවේ බාගෙට ඇස් ඇරගෙන.
"දුලාරා තමයි" මම කිව්වේ හිතේ තිබ්බ ආවේගේ නිසා.
ඒ පාර භූප හොඳටම ඇස් ඇරියා.
"දුලාරා...ඔයා..ඔයා කොයි වෙලේද ආවේ?" ඇස් පිහ පිහ නැගිටලා, ලොකු ඈනුමකුත් ඇරලා, ඇඳෙන් වාඩිවෙන ගමන් භූප ඇහුවේ පොඩ්ඩක් විතර මවිත වෙලා වගේ.
"හිතුවේ නෑ නේ මම ඒවි කියලා?"
තවමත් නිදිමතේම වගේ අත්වලින් ඇඳට වාරු වෙලාඅ බිම බලාගෙන උන්නු භූප මා දිහා බැලුවා.
"මොකක්?"
"නොකියම ආවේ මාව හම්බෙයි කියලා බයට වෙන්න ඇති නෙ. මගේම කරුමෙට මටත් එන්න වුණානෙ" මම කිව්වේ උගුර රිදුම් දෙද්දි.
"දුලාරා...මොනාද මේ කියන්නේ. මම එද්දි ඊයේ ගොඩක් රෑ වුණා. ඉතිං කතා කරන්නේ කොහොමද?"
"ඔව් කතා කරන්න බෑ. එනවා කියලා මතක් වුණේ මෙහේ බැහැපු වෙලේ වෙන්න ඇති එහෙනම්"
"දුලාරා...මම එන්න හිටියේ නෑ. යාලුවෙක් රෑ එකොලහට විතර කිව්වේ මේ පැත්තට එනවා ඕන නම් යන්න පුලුවන් කියලා"
"ඉතිං මැසේජ් එකක්වත් එවන්න බැරි වුණාද?"
"ෆෝන් එකේ සල්ලි තිබ්බේ නෑ දුලාරා..."
"ඔච්චර බොරු කියන්න එපා භූප" අහන් ඉන්න බැරිම තැන මම කිව්වේ ටිකක් උස් හඬින්.
භූප මා දිහා බලාගෙන උන්නේ පුදුම වෙලා වගේ.
"ඔයාට මොකද මේ වෙලා තිය්න්නේ?"
"මට මුකුත් වෙලා නෑ තාම. ඒත් මෙහෙම ගියොත් නම් ලඟදිම මට පිස්සු හැදෙයි" මම කිව්වා.
ඒ පාර භූප නැගිටලා මා ලඟට ආවා. උඩුකය නිරුවත්ව උන්නු නිසාදෝ මට ඔහුව පෙනුනේ තවත් කෙට්ටුවට.
"දුලාරා...මොනාද මේ ඔයා කියන්නේ? දැන් මම හිතලම කතා කලේ නෑ කියලද ඔයා කියන්නේ?"
"ඒක මම දන්නේ කොහොමද භූප? මට ඔයාගේ හිත කියවන්න බෑනෙ. ඒක දන්නේ ඔයා"
"නිකං මලවිකාර කියන්න එපා. වෙච්ච දේ කිව්වම ඇයි ඔයාට පිලිගන්න බැරි?"
"ඔව් දැන් මම මලවිකාරයක් නේ ඔයාට"
"දුලාරා මේ කාලෙකට පස්සේ ගෙදර ආවම මේ වගේ රණ්ඩු වෙන්නද ඔයාට ඕන? මම නැගිටලා ඔයාට කතා කරන්න හිටියේ"
"බොරු කියන්න එපා භූප"
ඒ පාර භූපගේ ඉවසීමේ සීමාව ඉක්මගියා වගේ. ඔහු දිග සුසුමක් පිට කරලා මූණත් නපුරු කරගෙන මගේ ඉවතට හැරුණා. මම එහෙමම හිටගෙන උන්නේ හිතුවක්කාර විදියට.
"එක පාරක් කිව්වම පිලිගන්න බැරිනම් ඔයා ඕන එකක් හිතාගන්න. ඔය තරම් හිතුවක්කාර වෙන්න ඕන නම් මට මොනවත් කරන්න බෑනෙ" ඔහු ඊට පස්සේ කිව්වා.
"ඔව්. දැන් ඉතිං මොනා කරන්නද? මේක මගේම මෝඩකම. ඔයා හරි. ඔයාට මේ හිතුවක්කාරකමට වගේම ඒ මෝඩකම ගැනත් මොනවත් කරන්න බෑ"
මම එහෙම කිව්වම භූප මා දිහා හැරුණේ විදුලි වේගෙන්.
"එතකොට දැන් මොකක්ද ඔය මෝඩකම? කියන්න බලන්න"
මම ඔහුගේ නපුරු මූණට බය වුණේ නෑ. මං තුල ඇවිලෙමින් තිබ්බ කෝපය ඊට වඩා බලවත් වුණා.
"ඒක මම කියන්න ඕන නෑනෙ. ඔයා දන්නවනේ"
මම කියපු එකට මුකුත් නොකියපු භූප ආපහු හැරිලා ලඟ තිබ්බ බෑග් එකට හයියෙන්ම පයින් එකක් ගැහුවම ඒක ඈතට වීසි වෙලා ගියා. අල්මාරියේ අයිනක වැදෙන්න කලින් බෑග් එකේ තිබ්බේ දේවල් වලින් වැඩිහරිය එලියට වීසි වුණා.ඒ අතරින් මගේ ඇහැ එක පාරටම ගියේ එලියට වීසි වුණ රතුපාට පොඩි පෙට්ටිය දිහාට. ඊලඟට 'ඩොක්' ගලා අල්මාරියේ වැදිලා නැවතුන කලුපාට පොඩි බෝතලේ දිහාට. මොහොතක් වෙලා ඒ දිහා බලාගෙන උන්නු මම ආයෙම භූප දිහා බැලුවේ අදහාගන්න බැරුව. භූප උන්නේ අහක බලාගෙන හයියෙන්ම හුස්ම ගනිමින්.
මම හෙමින් ඇවිදගෙන ගිහින් රතුපාට සිගරට් පෙට්ටියයි, මත්පැන් බෝතලෙයි අතට ගත්තේ හිත හත්කඩකට පැලෙන්නා වගේ දැනෙද්දි.
"මොකකද මේකේ තේරුම?" මම භූප දිහා බලලා ඇහුවේ සද්දෙන්.
භූප උත්තරයක් දුන්නේ නෑ.
"එතකොට වැඩට යනවා කියලා ගිහින් ආයෙම පුරුදු වුණේ මේවා කරන්නද භූප?"
මම ඊලඟ පාර ඇහුවේ ඔහු අසලට ගිහින්. භූප මා දිහා බැලුවේ හැඟීම් ගොඩක් පිරුණ ඇස් වලින්.
"ඇයි?? ඇයි??" මම ඇහුවේ කෑ ගහලා.
"මට ඕවට උත්තර බඳින්න ඕන නෑ...මම කරන්නේ මට ඕන දේ!" භූප කිව්වෙත් කෑ ගහලා.
මම හොඳටම කම්පනය වුණා ඒ කතාව ඇහුණම. එහෙමම මම මේසෙට හේත්තු වුණේ ඇඟට පණ නැති ගතියක් දැනුන හන්දා. ඒ එක්කම ඇස් වලට කඳුලු පුරාගෙන ආවා.
"මං මොන තරම් මෝඩද?" මම කිව්වේ මටම උපහාසෙට හිනාවෙමින්. "හැමවෙලේකම මම හිතුවේ අපි දෙන්න එක්කෙනෙක් කියලා. මම ඕන දෙයක් කලේ මුලින්ම ඔයා ගැන හිතලා. මම හිතුවා ඔයත් එහෙම ඇති කියලා. ඒත් ඒක මගේ මෝඩකම"  මම කිව්වේ හෙමින්, ඇස් වලින් කඳුලු වැලක්ම ගලද්දි. භූප එක පාරටම අනික් පැත්ත හැරිලා මේසෙට අත්දෙක ගහගෙන, මේස කොන මිරිකගත්තේ වේදනාවෙන් වගේ. ඒ එක්කම සද්දේ ඇහුණ හන්දදෝ කාමරේට දුවගෙන අවේ කේතකී.
"මොකක්ද මේ සද්දේ?" කේතකී ඇහුවේ අපි දෙන්නා දිහාම බලමින්.
"ඇත්ත එලිවෙච්ච සද්දේ" මම එහෙම කියලා අතේ තිබ්බ සිගරට් පෙට්ටියයි, බෝතලෙයි කේතකී අතට දීලා එන්න හැරුණා.
ඒ එද්දි මගේ කකුලේ වැදිලා වීසි වුණේ මේරූන් පාට පුංචි ආභරණ පෙට්ටියක්. මුද්දක් හරි කරාඹු ජෝඩුවක් හරි දාන තරමේ එකක්. ඒත් මගේ අවධානේ එවෙලේ ඒ දිහාට යොමු වුණේ නෑ. මම කඳුලු පිහ පිහ කාමරෙන් එන්න ආවේ කේතකී බිරාන්ත වෙලා වගේ බලාගෙන ඉද්දි.

මම දන්නෑ ඒ දවසේ ඉතිරි ටික මම ගෙව්වේ කොහොමදවත් කියලා. දුකයි කඳුලුයි හිතේ හිර කරගෙන මම ගෙදරදි හැසිරුණේ රොබෝ කෙනෙක් වගේ. අම්මලා ඉස්සරහදි අඬලා ඒ අයගේ හිත් වලට දුකක් දෙන්න මට ඕන වුණේ නෑ. මොකද මේ සේරම මගේම වරදින් වුණ දේවල් නිසා. මගේම හිතුවක්කාරකම නිසා වුණ දේවල් නිසා. භූප එක්ක තරහා වෙලා එන්න ආවත්, පැය විසිහතරෙම වගේ අතේ තිබ්බ ෆෝන් එක දිහා පැයෙන් පැයට මම බැලුවේ භූප නිකමට හරි මට කතා කරාවි කියලා. ඒත් ඔහු කතා කලේ නෑ. අන්තිමේදි මගේ හිතේ පීඩාව කොච්චර වැඩි වුණාද කිව්වොත් මට හිතුණා මිදුලේ කනේරු ගහේ  ඇට ටිකක් කාලා මැරුණා නම් මීට හොඳයි කියලා. මට අනුක් මතක් නූනා නෙවෙයි. ඒත් වැඩ අස්සේ කතා කරලා මගේ ප්‍රශ්ණ ඔහුට කියන්න මට ඕන වුණේ නෑ.
"Hope you had a good day honey bunny. Good night"
පුරුදු විදියට අනුක් මට මැසේජ් එකක් එවලා තිබුණා. ගුඩ් නයිට් කියලා විතරක් ගහලා මම ඇඳට වැටුනේ හිතේ හිර කරගෙන උන්නු දුක ආයෙම පිටාර ගලද්දි. උගුර රිදුම් දිදී කඳුලු කොට්ටේ තෙත් කරද්දි මම ඉකි ගැහෙන එක වල්ක්වගෙන උන්නේ අමාරුවෙන්.
"ඇයි මට මෙහෙම කලේ?" මම එහෙම අහලා භූපට මැසේජ් එකක් දැම්මා බැරිම තැන.
ඒත් ඔහු මට උත්තරයක් එව්වෙත් නෑ. මම අඬ අඬම නිදා ගත්තා. ගොඩ වෙලාවක් නින්ද ගියේ නැතත් අන්තිමේදි කීයට හරි මට නින්ද ගිහින් තිබුණා.

1 comment:

  1. අනේ මන්දා අක්කියෝ මට බොළඳ නවකතා පේන්න බෑ .. ඒත් .. ඒත් මම පේරාදෙනිය සරසවිය කියලා කරපු Google Search එකකින් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ඒ මීට අවුරුද්දකට විතර කලින්

    එදා කියවන්න පටන් ගත්තේ මේ කතාව ඒත් මම ගිය අවුරුද්දේ (2014) A/L 2nd Shy කරපු නිසා කම්පියුටරේ දාන්නවත් වෙලාවක් ආවේ නෑ ෆෝන් එකෙන් කතාව කියවලා නිකං ඉන්නවා . කමෙන්ට් දාන්නම වුනේ නෑ ඒක නිසා... කොහොමහරි අද වෙලාවක් හොයාගෙන ඔයාගේ පළවෙනි කතාව මුල ඉඳලා අගටම කියෙව්වා .. සමාව ඉල්ලීමේ වදන් ඉවරයි දැන් කමෙන්ට් එක :D

    අක්කියෝ ඔයා ලියන විදියේ මාර ස්වාභාවික ගතියක් තියනවා පළවෙනි කතාව ගොඩාක් දැනුනා මොකද මමත් අක්කා කෙනෙක්ට හිතෙන් ආදරය කලා අපූර්ව වගේම....... ඒත් මට එයාට මම ඒක කීවෙ නෑ මොකද අක්කී මට වඩා අවුරුදු 5ක් වැඩිමල් කෙනෙක් සහ මට එයාව ඈත් කරගන්න හිතේ තිබ්බ බය නිසා... ඒ නිසා ඒක නියමයි ! බොක්කටම වැදුනා...

    මේ කතාවේ ඉන්න අනුක් වගේ තමා මම ඒ අක්කා එක්ක හිටියේ ඒ නිසා මම මේ කතාවට ආසයි .. මොනා උනත් තාම ආදරයක් ලබාගන්න බැරි වුනු/ නොලැබුණු කෙනෙක් විදියට මේ කතා මාර විදියට දැනෙනවා .. මටත් මෙත්මා හරි දුලාරා හරි වගේ කෙනෙක් ලැබුණොත් ගොඩක් වාසනාවන්ත වෙයි :')

    දැන් කතා දෙකේ පසුතලය නුවර සහ පේරාදෙනි කැම්පස් එක මම ආසම තැන් දෙකක් ! මේ පාර මොන රිසාල්ට් එකක් ආවත් මගේ පළමු කැමැත්ත පේරාදෙනි කැම්පස් එක . ඒ පසුතල දෙකටත් මාරම ආසයි

    අන්තිමට ලේඛිකාව *නියමයි* චිත්ත රූප මැවෙන්න ලියනවා .. ලිවීමේ රටාවට මම මාර ආසයි... දිගටම ලියන්න අක්කියෝ . කමෙන්ට් නැතත් ඔයා ලියන හැම කතාවකම මම රසිකයෙක්..

    ප.ලි. :- අහ් අන්තිමට දෙයක් අනුක්ට සාධාරණයක් කරන්න :) එයා තමා ඔතන වැඩියෙන්ම රිදෙන කෙනා * අත්දැකීමෙන් කියන්නේ*

    ප.ප.ලි :- තාමත් මම ආදර කතා කියවලා තියෙන්නේ මේ දෙක විතරයි දීර්ඝව ( සැ.යු:- රත්ගමයා ගේ කතා සහ සමහරක් කෙටි ඒවා කියවලා ඇත) මේ කතාව ඉවර උනත් තව කතා ලියන්න

    ජයෙන් ජයම වේවා !

    ReplyDelete