Wednesday, May 28, 2014

හැටතුන්වන කොටස



සිකුරාදා මා එක්කම ගෙදර යන්න චේතිය නැවතුන හන්දා, ආයෙම අනුක් එක්ක කතා කරන්න මට වෙලාවක් ලැබුණේ නැති තරමයි. ඒත් උදේ ලෑස්ති වෙන අතරේ එහාට මෙහාට දුවන ගමන් අපට කතා කරන්න විනාඩියක් දෙකක් ලැබුණා.
"දුලාරා..."
අනුක් කතා කලේ මම ලතා අම්මාගෙන් කෑම එක ගන්න කුස්සියට යද්දි.
"ආ..."
"ඔයා අද ගෙදර යනවද?"
"ඔව්...බබා බලන්න යනවා"
අනුක්ගේ මූණේ තිබ්බේ කියවගන්න බැරි හැඟීම් ගොඩක්.
"කැම්පස් ගිහින් එහෙමම යනවද?"
"ඔව්. ඒකයි මම උදේම යන්නෙත්"
"හ්ම්..." අනුක් බිම බලාගත්තා.
"ඔයා අපි එක්කම එනවා නේද?" මම ඇහුවේ මොනවා හරි කියන්න ඕන නිසා.
"ආ...ඔව්. ම්ම්..."
"හරි කෑම එක අරන් එන්න එහෙනම්" මම එන්න හදද්දි අනුක් ආයෙම කතා කලා.
"දුලාරා..."
"ම්? "
"මා එක්ක ඇත්තටම තරහා නෑ නේද?"
අනුක්ගේ මූණ දැක්කම මට ඔහු ගැන පුංචි දුකකුත්, මොකක්දෝ දයාබර බවකුත් දැනුනා. 
"නෑ...තරහත් නෑ, කවදාවත් තරහා වෙන්නෙත් නෑ. ඔයා මගේ හොඳම යාලුවා අනුක්...හැමදාමත්"
මම අනුක් දිහාට හැරිලා කිව්වේ හදවතින්මයි.   අනුක් හිනා වුනේ නෑ. ඒත් ඒ ඇස් වල තිබුනේ සතුටක්.
"මං එන්නම් ඔයා යන්න" ඊලගට ඔහු කියද්දි ඒ හඬේ තිබ්බේ සැහැල්ලුවක් කියලා මට හිතුණා.
***
අයියගේ චූටි පැංචි දැක්කාම හිතේ තිබුණ සේරම දුක් මොහොතකත අමතක කරන්න පුලුවන් වුණා වගේ මට දැනුනේ  ඒ පුංචි පැටික්කි ගැන උපන්න සෙනෙහසකින් හිතම පිරිලා ගිය නිසා. අම්මා මොනා කිව්වත් මට නම් පෙනුනේ පැටියා සෙනුරි අක්කා වගේ කියලා. ලොකු අයියා උන්නේ ගොඩාක් සතුටින්. ගෙදර හැමෝම මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම මගේ හිතේ ඇතිවුණේ සැනසීමක්. 
"දුලාරා කැමති ඉස්සෙල්ල පුතෙක් හම්බෙනවටද, දුවෙක් හම්බෙන්වටද?" බබා බලලා එන අතරේ චේතිය මගෙන් එහෙම ඇහුවම මට දැනුනේ ලැජ්ජාව මුසු පුංචි නොරිස්සුමක්.
"මම තාම හිතලා නෑ" මම කිව්වේ අහක බලාගෙන.
චේතිය හිණා වුණා.
"හිතලා නැත්තම්, හිතලා බලන්න. ලබන අවුරුද්ද වෙද්දි හිතන්න වෙයි ඔයාට"
චේතිය කිව්වම මට දැනුනේ මහා එපාවීමක්. ඒ නිසාම මම මුකුත්ම නොකියා මුනිවත රැක්කා.
"මමත් ආසයි අයියලට වගේ අපටත් දුවෙක් හම්බවෙනවා නම්. ඒත් ඉතිං අපේ අම්මා නම් කියන්නේ පවුලේ නම ගෙනියන්න මුල්ම ළමයා පුතෙක් වුණොත් හොඳයි කියලා"
ඔහු කියද්දි මම අහගෙන උන්නා විතරයි.
"අම්මා එහෙම කිව්වට, ඔයා වගේ පුංචි දුවෙක් හිටියොත් කොච්චර ෂෝක්ද නේද?"
ඔහු ආයෙම ඇහුවේ හෙමිහිට මගේ අතකින් අල්ලගන්න ගමන්. මම ඔහේ දර ඉපලක් වගේ උන්නා.අනාගතේ ගැන හිතන්නවත් මට ඕන වුණේ නෑ.
අන්තිමේදි හැමදාකම වගේ නිවාඩු දවස් දෙක විදුලි වේගෙන් ගෙවිලා, ආපහු නුවර යන දවස එලඹුණා. අම්මලට සතුටු මූණක් පෙන්නලා මම එන්න ආවේ ඒ හිත් තවත් රිද්දන්න මට බැරි හන්දා.
"දෝණි ඉන්නේ සතුටින් නේද?" තාත්තා එක වෙලාවක් ඇහුවම මම හිණා වෙලා ඔව් කිව්වේ ඒකයි. තාත්තත් හිණා වුණා, ඒ ඇත්තම සතුටකින්. මට ඕන වුණේ එච්චරයි. එතනින් එහාට එන දෙයක් බාරගන්න මම මගේ හිත හදාගෙනයි උන්නේ ගොඩක් දුරට.
බබා බලන්න ගෙදර ඇවිත් උන්නු පොඩි අයියා, මා එක්ක කතා කල වෙලේ ඔහුගෙත් එකම ප්‍රශ්ණේ වුණේ මම ඉන්නේ සතුටින්ද කියන එක.
"හැමදේම අමතක කරලා හරි දේ තෝරගන්න ඔයාට මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්"
පොඩි අයියා කිව්වේ එහෙම. ඔහුගේ හිතේ මා ගැන ඇති වුණ අපැහැදීම තාම නැති වෙලා නෑ කියලා එවෙලේ මට හිතුණා.
"කිසි දෙයක් අමතක නෑ...එහෙම වෙන්න නම් මට මැරිලා ඉපදෙන්න වෙයි" මොන හේතුවකටදෝ මන්දා මට ඔහු එක්ක එකට එක කියන්නම ඕන වුණේ.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" අයියා ඇහුවේ තරහා ගිහින් වගේ.
"අමුතු තේරුමක් නෑ. කියපු එක තමා තේරුම"
"ඒ කියන්නේ තමුන් තාම අර භූපයා ගැන හිතනවා?"
"හිතන එකයි, මතක තියාගෙන ඉන්න එකයි දෙකක් අයියේ. මං කිව්වේ කිසි දෙයක් අමතක නෑ කියලා විතරයි"
"තමුසෙගෙ කට වැඩියි හොඳේ. තමුසේ මහා මුරණ්ඩු කෙල්ලෙක් නංඟි. තමුසෙට තේරෙන්නේ නෑ අපි මේ හැමදේම කරන්නේ තමුසෙගෙම හොඳට කියලා" අයියා උන්නේ තමන්ව අමාරුවෙන් පාලනය කරගෙන වග මට තේරුණා.
"ඒක මං දන්නවා. ඒත් මට තියෙන ප්‍රශ්ණේ කවුරුත් මගෙන් අහන්නේ නැති එක, මට හොඳම දේ ඒකද කියලා"
අයියා හයියෙන් හුස්ම ගන්නවා මට දැනුනා. ඔහු උන්නේ කේන්තියෙන්.
"තමුසෙට හොඳ නරක හොයාගන්න බෑ කියලා පෙනුන නිස තමයි අපි මේකට මැදිහත් වුණේ. දැන් සේරම පිලිවෙලක් වෙලා තියෙන වෙලේ මල විකාර නොකර චේතිය එක්ක හොඳින් ඉන්න බලනවා"
මම අයියා දිහාවත් නොබලා අහක බලාගෙන උන්නේ මගෑඅ හිතෙත් ඇති වෙලා තිබුණේ නොරිස්සුමක් නිසා.
"මම මැරෙනකල්ම ආදරේ කරන්නේ භූපට විතරයි. ඔය කිසිම දේකට ඒක වෙනස් කරන්න බෑ" මම කිව්වේ ඒකමයි.
"මේ...මගේ යකා අවුස්සගන්නේ නැතුව ඔය කතාව නවත්තනවා හරිද? ආයෙම ඔය කතාව මගේ කනට ඇහෙන්න කියලා තිබුණොත් මම නරක මිනිහා කියන්න එපා"
මම අහක බලාගත්තේ උපහාසෙන් හිනාවෙලා. ඒත් ඇත්තටම නම් හිත තිබ්බේ දුකක්. මට හිතාගන්න බැරි වුණා, පුංචි කාලේ අඹ යාලුවා වුණු භූප එක්ක මේ තරම් තරහා ගන්න අයියට තිබුණේ හේතුව මොකක්ද කියලා.  එදා වුණ දේ හන්දා අන්තිමේදි මම අන්තිමට ගෙදරින් එන්න ආවේ හිත පාරගෙන.
චේතියගේ වාහනේ පේරාදෙනි‍යට ලං වෙද්දි මගේ මුලු හිතම පිරිලා තිබුණේ මහා හිස් බවකින්. එන ගමන පුරාවටම චේතිය එක්ක මම වචන දහයක් වත් කතා කරන්න නැතිව ඇති. ඒත් ඔහු මට බල කලෙත් නෑ කතා කරන්න. සාමාන්‍ය දෙවල් මිසක වෙන කිසි දෙයක් කිව්වෙත් නෑ. හිතේ නිදහසක් නැති වුණත් ඒක මට සැනසිල්ලක් වුණා. චේතිය හරියටම ආයෙම කතා කලේ අපි අස්ගිරිය පාරට වාහනේ හැරෙව්වට පස්සේ.
"දුලාරා...කවදා දැන් ඔයාලට ආයෙම දිග නිවාඩුවක් හම්බෙන්නේ?"
මම වෙලිලා උන්නු කල්පනාවෙන් මිදුනේ ඒ හඬට.
"මැයි ඉවර වෙද්දි semester එක ඉවර වුණොත් සතියක් විතර නිවාඩුවක් හම්බවෙයි" මම කිව්වා.
"ම්ම්...ඔයා එතකොට ගෙදර යනවනේ නේද?"
"එහෙම තමා හිතාගෙන ඉන්නේ"
"මම...ඒ ද්වස් වලට අපේ අම්මලව ඔයාලගේ ගෙදර එක්ක එන්න ඉන්නේ. මේ දේවල් කතා කරගන්න දැන් කාලේ හරි. අම්මලත් නිතරම අහනවා යන්න දවස්ක් දා ගත්තද කියලා. අපි එහෙම කරමු නේද?" චේතිය අන්තිමට මගෙන් ඇහුවා.
හිත තිබුණේ දුකින් හිරි වැටිලා. තවත් දැනෙන්න දුකක් මට තිබුණේ නැති තරමයි. ඒ නිසා මම උත්තරයක් නොදී අහගෙන උන්නා විතරයි.
"අපි ඉක්මණට බඳිමු...මට ඔයාව පුලුවන් ඉක්මණට මගේ කරගන්න ඕන"
චේතිය කිව්වේ මම hand bag එක උඩ තියාගෙන උන්නු සුරත අල්ලගන්න ගමන්. මම තිගැස්සුණා. ඒත් ඔහු අත තද කරලා අල්ලගත්තා. ගෙදරට යනකල්ම ඔහු ඒ ග්‍රහණය අතෑරියේ නැහැ.
රෑට කැම හෙම කාලා යන්න එලියට බහිද්දි චේතියට ආයෙම මට කතා කරන්න ඕන වුණා.
"යන්න යන්න. දාලා යන්න දුක ඇති නේ. බායි කියලා එන්න" ගෝතමී අක්කා මාව බලෙන්ම මාව චේතිය ලඟට තල්ලු කරමින් කිව්වා. මම චේතිය එක්ක එලියට ආවේ වෙන කරන්න දෙයක් නැති හන්දා.
"මම එහෙනම් යන්නද?" චේතිය ඇහුවේ ඉස්තෝප්පුවේ මලානික ලයිට් එලියෙන් ආලෝක්වත් වෙලා තිබුණ පෝර්ච් එක ලඟදි.
"හ්ම්" මම හිස වැනුවා.
"ආ...තව එකක් දෙන්න බැරි වුණා මට. ම්ම්...මේක ඔයාට" කාර් එක ඇරලා අරගත්තු මොකක්දෝ පොඩි පෙට්ටියක් මගේ අතේ තියලා කිව්වා.
"මේ මොකක්ද?"
"බලන්න"
ඒක ඇරලා බලද්දි ඒ ඇතුලේ තිබුණේ ෆෝන් එකක්.
"ඇයි මේ?"
"මට ඔයාට කතා කරන්න නේ"
කියන්න ඕන මොකක්ද කියලා මට හිතාගන්න බැරිව ඉද්දි ඔහු ආයෙම කතා කලා.
"ඕකේ බිල් එක මම ගෙවන්නේ. ඒ නිසා ඔයාට කාඩ් දාන්න කරදර වෙන්න ඕන නෑ"
"මට ෆෝන් එකක් ඕන නෑ" මම කිව්වාම චේතියගේ මූණ අඳුරු වුණා.
"ඔයා ඇයි හැමදේටම මෙහෙම කරන්නේ? මොකක්ද මේකේ තේරුම දුලාරා? මම මේක දෙන්නේ මට ඔයාව contact කරගන්න ඕන නිසා. ඔයා හිටපු ගමන් හිතු මතේ එහේ මෙහේ යනවා. මම දන්නෑ ඔයා කොහේ ඉන්නවද කියලා. හදිසියකට කතා කරන්න හරි ඕක තියා ගන්න, විකාර නොකියා"
මම මුකුත් කියන්න ගියේ නෑ.
"හැබැයි කතා කරන්නේ ඕන කාටද, නොකරන්න ඕන කාටද කියලා මට මතක් කරන්න ඉඩ තියන්න එපා"
ඔහු එහෙම කිව්වම මගේ තරහා ඇවිස්සුණා.
"මොකටද ඉතිං මට මේක දෙන්නේ සැක නම්?" මම ඇහුවෙත් තරහින්.
"ඔයාට ඕන මා එක්ක රණ්ඩු වෙන්නද?"
ඒ පාර මම මුකුත් කිව්වේ නෑ.
"හැමදේම ඉවසගෙන , හැමදේම හරි යයි කියලා හිතාගෙන හොඳින් මම ඉන්න හදද්දි ඔයා හැම වෙලේකම හදන්නේ ඒක අවුල් කරන්න. කවද්ද දුලාරා මේකෙ ඉවරයක් වෙන්නේ?" ඒ පාර චේතිය ඇහුවා.
මම ඒත් කතාවක් නැතුවම උන්නා බිම බලාගෙන.
"ඔයා හදන්නේ මගෙන් පලි ගන්න" ඊට පස්සේ ඔහු කිව්වා.
"එහෙම දෙයක් නෑ" මම කිව්වා.
"ප්ලීස් දුලාරා...ඔච්චර මුරණ්ඩු වෙන්න එපා. මගේ ඔලුව අවුල් වෙනවා. දෙයක් කිව්වම අහන්න පුරුදු වෙන්න. මාව මෙතන යකෙක් කරන්න හදන්න එපා. මේ දවස් ටිකේම හොඳට ඉඳලා මේ යන්න ලෑස්ති වෙන වෙලේ ඔයා විකාර කරනවා"
මම ඔහේ අහගෙන උන්නා.
"මුරණ්ඩු නොවී ඕක තියා ගන්න. මම කතා කරන්නම් ගිහිල්ලා. ගෙදරටත් නම්බර් එක දෙන්න, හදිසියකට කතා කරන්න පුලුවන් නේ. මම යන්නම්. අම්මා දැන් තුන් පාරක් කතා කලා...ම්ම්ම්... මම හෙට උදේ කොලඹ යනවා ආයෙම. සිකුරාදා එන්නේ. ආවම එන්නම්"
"හ්ම්" මම හිස වැනුවා ඔහු දිහා නොබලම.
"පරෙස්සමින් ඉන්න එහෙනම්" ඔහු මගේ කම්මුලක් මුදුවට ස්පර්ෂ කරලා හෙමින් මගේ නලල ඉඹලා කිව්වා.
මට දැනුනේ මගේ හිසම ගිනි ගන්නවා වගේ හැඟීමක්. එපා වීමක්. පිලිකුලක්. මම ඉවසගෙන උන්නේ අමාරුවෙන්.
ඔහු යන්න ගියාට පස්සේ මම කාමරේට වැදුණේ අඳුරු හිතින්. ඒ වෙච්ච සේරම දේවල් නිසා. මට ගොඩාක් භූපවම මතක් වුණා. ඔහුගෙම ගෙදරදි දවසක් ඔහු මාව සිපගත්තු හැටි මට මතක් වුණා. ඊට පස්සේ කොච්චර නම් දවස් ඔහු මගේ නලල ඉඹලා ඇත්ද? අපට මෙහෙම වේවි කියලා ඒ එක මොහොතකවත් අපි හීනෙකින් වත් හිතුවද?  මේ හැමදේම මටම විඳවන්න දීලා ඔහු අද  යන්න ගිහිල්ලා. යන්න ගියපු ඔහුට තිබුණේ වෙච්ච දෙවල් ගැන දුක් වෙන්න විතරයි. ඒත් මට...විඳවනවා මදිවට චේතිය කරන කියන හැමදේමත් ඉවසන්න වෙලා තිබුණා මට. එහෙම හිතද්දි අන්තිමේදි මට දුක හිතුණේ මං ගැනම. ඉතිං මට කරන්න පුලුවන් වුණ එකම දේ තනියෙම අඬන එක විතරයි.

2 comments:

  1. hi nethu akke.. kohomade oyate? godaak dawesakin comment ekak danne one kiyala hithuna.. mate hithenewa dan nam poddak kathawe eke thane karene gathiyak thiyenewa wage. manda mate ehema hithenewa.. sorry mokuth hithane epa ehema kiyanewate.. oya kathawe godak hodete galagene yane widihate liyane kenek ne ekay man kiyane one kiyala hithuna.

    dularawath bhoopawath anuk wath adumegane chethiyawath kathawe issrahate piyawarak thiyanne one kiyala mate hithenewa :)

    ReplyDelete
  2. දිගටම ලියමු අක්කේ.. අපි බලන් ඉන්නවා ඔන්න!!!

    ReplyDelete