Thursday, May 15, 2014

හැටවන කොටස



"මම හිතන්නේ මේක මගේ පූරුවේ කරුමයක්ද කොහෙද අනුක්"
මගේ එහා පැත්තෙන් ඉඳගෙන මට ඇහුම්කන් දීගෙන හිටපු අනුක්ට මම කිව්වේ, ගෙදර උන්නු දවස් වල වෙච්ච දේවල් ගැන ඔහුට කියලා අහවර වෙලා.සාවධානව මම කියපු දේවල් අහගෙන හිටපු අනුක් සුසුමක් හෙලුවා. මම ඇස් වල කඳුලු පිස්සේ සියවෙනි වතාවට වෙන්න ඇති. අනුක් මා දිහා බලාගෙන උන්නේ දුකෙන්. 
කොහේදෝ ඉඳලා ආපු හුලඟකින් පිටිපස්සේ තිබුණ උණ ගහේ කොල සිලිසිලි ගාලා හෙලවුණා. මට ඒ දිහා බැලුණේ ඉබේටම. වත්තේ තිබුණ අස් අතරින් පෙරිලා ආපු හිරු කිරණ බිම තැන තැන සිත්තම් වෙලා තිබුණා.  උණ ගස් වලට එහායින් තිබුණ රොබරෝසිය ගහේ මල් එක දෙක පිපෙන්න පටන් අරන් තිබුණා. ඒත් ඒවයේ ලස්සන බලන මානසිකත්වයක නෙවෙයි මම හිටියේ. 
"සමහරවිට ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන්. අපට අද මේ විඳින්න වෙන දේවල් හැම එකක්ම අහම්බයක් කියන්න බෑ. අර ගැල පිටුපස එන රෝදේ වගේ, අපි කරපු දේවල් අපි පස්සේ එනව" අනුක් කිව්වා.
"කරන්න දෙයක් නෑ ඉවසන්වා මිස" මම කිව්වේ උපේක්ෂාවෙන්.
"මට ඔයා ගැන කියන්න බැරි තරම් දුකයි දුලාරා" අනුක් ඊට පස්සේ කිව්වා.
මම ඔහු දිහා බලලා යන්තමට හිනා වුණා.
"දුක් වෙන්න එපා. දුක් වුණා කියලා කරන්න දෙයක් නෑනෙ"
"මට පුලුවන් වුණා නම්, මම ඔයාව චේතිය අයියගෙන් ඈතක්ට අරගෙන පියාඹලා යනවා, ඔයාට ඕන තැනකට" අනුක් මා දිහා බලාගෙන කිව්වේ හැඟීම්බරව. මම ඒ ඇස් දිහා මොහොතක් බලාගෙන උන්නත්, ඔහු ඉක්මණින් අහක බලාගත්තා.
"ඇත්තටම?" මම ඇහුවේ විහිලුවට වගේ.
අනුක් ආපහු හිස උස්සලා බැලුවා. ඒ ඇස් වල තිබුණේ කියවගන්න බැරි හැඟීමක්. මගේ හිත හීනියට සැලෙනවා මට දැනුනා.
"ඇත්තටම..."
ඔහු එහෙම කිව්වම මම අහක බලාගත්තා.
"ඔයා එනවද?" අනුක් ඊට පස්සේ ඇහුවා.
මම ඔහු දිහා යන්තමට බැලුවේ උත්තරයක් හිතාගන්න බැරුව.
"මම ඔයාගේ භූප ලඟට ඔයාව ගෙනියනවා එහෙමනම්" අනුක් ඊට පස්සේ කිව්වා.
මම හිනාවුණේ ආයෙම ඇස් වල කඳුලු පිරෙද්දි.
"හීන දකින්න මම බයයි අනුක්. මගේ හීන සේරම හීනයක්ම විතරක් වුණා" මම කිව්වේ ආයෙම නහය බර වෙද්දි.
"ඔයා හදන්නේ ආයෙම අඬන්න"
"නෑ"
"අඬන්න එපා ප්ලීස්" අනුක් කිව්වේ මට ලං වෙලා.
"භූප මට දැන් හීනයක්ම විතරයි අනුක්. මගේ ජීවිතේ හැමදේම තීන්දු වෙලා ඉවරයි"
"එහෙම කියන්න එපා. තාම ඔයාලා මැරි කලේ නෑනෙ. අනික ඔයා අකමැති නම් එක කරන්න ඕන නෑ"
"එහෙම කරන්නේ කොහොමද අනුක්? අම්මලා සේරම මේකට කැමතියි නේ"
"අම්මලා තේරුම් ගනියි"
"ඒ මොනා වුණත්, දැන් වැඩක් නෑ. භූප යන්න ගිහින් ඉවරයි"
"ඉතිං ඔයා හදන්නේ එයාව අමතකම කරලා, චේතිය අයියව බඳින්නද?"
"මං වෙන මොනා කරන්නද?"
මම එහෙම කිව්වාම අනුක් ටිකක් වෙලා මා දිහා බලාගෙන උන්නා.
"මම මෙහෙම අහනවට මුකුත් හිතන්න එපා. ඔයා චේතියටත් අකමැතියි. භූපව ආයෙම ලැබෙයි කියලා හිතන්නෙත් නෑ. හිතන්න බැරි වෙලාවත් ඔයාට ආදරේ කරන්න පුලුවන් වෙන කෙනෙක් හිටියොත්, මොකද කරන්නේ?" අනුක් එහෙම ඇහුවම මගේ හිතට අමුත්තක් නොදැනුනා නෙවෙයි.
"ආදරේ ගැන දැන්ම හිතන්න මට බෑ අනුක්. ඔය මොනා කිව්වත් මට චේතියව බඳින්න වෙනවා"
"don’t take it for granted දුලාරා. ඔයා නොදන්නවට ඔය දෙන්නටම වඩා ඔයා ගැන හිතන, ඔයාට ආදරේ කරන අය කොහේ හරි ඉන්න පුලුවන්" අනුක් කිව්වේ ඈත බලාගෙන.
මම ඔහු දිහා බැලුවා.
"හ්ම්ම්"
අනුක් ආයෙම හිස හරවලා මා දිහා බැලුවා. ඒ ඇස් ආයෙම ඇවිත් මගේ ඇස් වල පැටලුණාම ඇස් වල කඳුලු පිරුණේ අනායාසෙන්ම. ඒ, ඒ ඇස් භූපගේ වගේ නිසාද, එහෙම නැත්තම් ඒ ඇස් වල තිබුණ දයාබර බව නිසාද මම දන්නේ නෑ. අනුක් සුසුමක් හෙලුවා ආයෙම. කම්මුලට ලොකු කඳුලු බිංදුවක් වැටෙද්දි, අනුක්ගේ ඇඟිලි තුඩු ඒ කඳුලු බිංදුව අතරමග නවත්තගත්තා. ඒ අතින්ම මගේ හිස ඔහුගේ ගෙල පාමුල රඳවගනිද්දි මම ඉවසුවේ ඇයි කියලා මම තවමත් දන්නේ නෑ. ඒත් එවෙලේ ඒ සෙනෙහස මට මහමෙරක් වගේ දැනුනා. ඒ මගේ හිත තේර්ම් අරගෙන මට අනුක්ම්පා කරපු එකම එක්කෙනා ඔහු නිසා වෙන්නත් ඇති.මම කලේ ආයෙම අඬන එක. අනුක්ගේ කම්මුලක් මගේ හිත මත තෙරපෙද්දි මම ඔහුගෙන් ඈත් වුණේ හිතේ මොකක්දෝ වරදකාර හැඟීමක් ලියලද්දි.
"මම ඔයාගේ හිත රිද්දුවද?" අනුක් හෙමින් ඇහුවා.
මම නෑ කියන්න හිස වැනුවා, කඳුලු පිහින ගමන්.
"නාඬා ඉන්න ප්ලීස්. මම ඉන්නවනේ ඔයාට" අනුක් කිව්වේ ආදරෙන්.
"මගේ දුක විඳගන්න මම ඉගෙන ගන්න ඕන අනුක්. තාම බෑ තමයි. ඒත් මට එක කරන්න වෙනවා. ඔයාට හැමදාම ඉන්න බෑ..."
"පුලුවන්..." අනුක් කිව්වේ මා දිහාට නැවිලා හෙමින්. "මට පුලුවන්...you just have to ask...ඔයා දන්නවා මම ඉන්න වග..." අනුක් අන්තිමට කිව්වේ ගොඩක්ම හැඟීම්බරව.
මගේ හිත සලිත වුණා. මගේ ඇස් ඉදිරියේ මැවිලා පෙනෙන ඇත්ත ඒත් මට පිලිගන්න ඕන වුණේ නෑ.
"එහෙම කරන්න දෙන්න බෑ. ඔයා ඔයා ගැන හිතන්න ඕන. මගේ දුක්ගන්නාරාළ වෙන්න ඉඩ දෙන්න බෑ ඔයාට, හැමදාම"
අනුක් මා දිහා බලාගෙන උන්නේ කවදාවත් නැති විදිහේ බැල්මකින්. ඒ බැල්මේ තිබ්බේ නොඉවසිල්ල... හිතුවක්කාරකම... දුක…ආදරේ... මම බය වුණේ ඒකයි.
"එපා අනුක්" මම හෙමින් කිව්වා.
අනුක් අහක හෙමිහිට අහක බලන ගමන් සුසුමක් හෙලුවා.
"එපා කිව්වට හිත අහයිද දුලාරා?"
අනුක් ඇහුවාම මම හොඳටම තිගැස්සුනා. මම එතනින් එන්න නැගිට්ටේ ඒකයි. අනුක් ගැස්සිලා වගේ මා දිහා බැලුවා.
"චේතිය අයියා කෝල් කරලද දන්නේ නෑ" මම කිව්වේ මොනවත්ම නූන ගාණට.
අනුක් මගෙන් බැල්ම අහක් කරගෙන ඉස්සරහ බලාගත්තේ මට යන්න කියන්නා වගේ.
"මං ගෙට යනවා "
ඊට පස්සේ ටික දවසක් යනකල් අපි දෙන්නා අතරේ මොකක්දෝ පරතරයක් ඇති වෙලා වගේ කියලා මට දැනුනා. එකට ආවා ගියාට ඒක මට හොඳටම දැනුනා. ඒත් ඒක එහෙම වෙන්න මට ඕන වුණ නෑ. මට දැනුනා මේ වෙනකොට මම අනුක්ගේ දයාබර බවට, ඒ ඇසුරට ඇබ්බැහි වෙලා වග. ඒත්...ඒ ආදරේ නම් නෙවෙයි...

"අපි පන්සල් යමුද?" සෙනසුරාදා දවසක හවස මමයි, යශෝ අක්කයි පත්තරේක කෑමක් හදන හැටි බල බල උන්නු වෙලේ අපි ලඟට ආපු අනුක් ඇහුවේ එක පාරටම.
"පන්සල්...මේ දැන්?" යශෝ අක්කා ඇහුවේ පුදුමෙන් වගේ.
"ඇයි, ඒකට නැකතකුත් ඕනද?" අනුක් ඇහුවා.
"අපි මේ කෑමක් හදන්න බල බල හිටියේ"
"අනේ මේ, ඔය ජරාජීර්ණ වෙන ඇඟවල් තව සතපන්නේ නැතුව එනවකෝ යන්න පිනක් දහමක් කරගන්න. කුමටදා කා බී නිති සැරසෙන්නේ...කොතැනද මේ කය අරගෙන යන්නේ...කිකලද මහෙසෙත් මරු කැප වන්නේ...කුමටද කුසලට කම්මැලි වන්නේ?" තාලෙට නැතත් අනුක් ඒ කවිය කිව්වම මට හිනාවකුත් ආවා. ඒත් ඒ කියපු කතාව මොන තරම් ඇත්තද...
"හා...මේන්න මෙයා මහා පඬිවරයෙක් වෙලා ඒපාර. ඔයාට ඕන නම් යන්න. දුලාරට ඕන නම් ඒත් එක්ක යන්න. මම ඉන්නම්. මේ කෑම හදලා, ඔයාලට දීලා මම දානමය පිංකමක් කරගන්නම්කෝ. අනික කොහොමත් හෙට මම පන්සලට යන්න ඉන්නේ ලොකු අක්කා එක්ක. අපේ අම්මගේ දානේ ගැන කතා කරන්න" යශෝ අක්කා කිව්වා.
"හ්ම්...මම ගිය සතියේ ගිය වෙලෙත් රාහුල හාමුදුරුවට කිව්වා නිකමට ඒක" අනුක් කිව්වා.
"මේ කීවෙනි දානෙද අක්කේ, පහද?" මම ඇහුවා.
"ඔව්. කාලේ ගිය හැති හිතාගන්නත් බෑ" එහෙම කියලා යශෝ අක්ක සුසුමක් හෙලුවා.
ඊලඟට අපි අතරේ ඇතිවුණේ පොඩි නිහැඬියාවක්.
"දුලාරා එනවද?" ඊලඟට අනුක් ඇහුවා.
"හ්ම්" තාමත් මට අස්ගිරියේ පන්සලට යන්න බැරි වුණ හන්දා මම කැමති වුණා.
"ඔයා තාමත් වෙච්ච දේවල් ගැන හිත හිතද ඉන්නේ?" පන්සලට යන අතරේ අනුක් මගෙන් ඇහුවා.
"ඇයි එහෙම අහන්නේ?"
"නිකං...මට එහෙම පේන නිසා"
"පේන නිසා?"
"ඔව්. ඔයා...දැන් මා එක්ක ඉස්සර වගේ කතා කරන්නෙත් නෑනෙ. ඉතිං මට හිතාගන්න වෙන්නේ පේන දේවලින් තමයි" අනුක් කිව්වේ චෝදනාත්මකව වගේ.
"එහෙම දෙයක් නෑ අනුක්..." හිත පොඩ්ඩක් සැලුණත් මම කිව්වේ ඕන්වට එපාවට. මට මේ කතාව ඇදගන්න ඕන වුණේ නෑ.
"නැත්තං කමක් නෑ" අනුක් කිව්වා.
"මේ දවස් වල අපට project එකේ වැඩ. ගොඩක් දේවල් තියෙනවා කරන්න.  Mid term එකකුත් එනව. මේ දවස්වල මගේ ඔලුවේ තියෙන්නේ ඒවා වැඩිපුරම. එහෙම නැතුව වෙන දෙයක් නෑ..."
"වෙන දෙයක් නැත්තම් හොඳයි" අනුක්ගේ හඬේ තිබ්බේ මොකක්දෝ දුරස්තර බවක්.
මම ඊට පස්සේ මුකුත් කියන්න නොගියේ ඒකයි. අනුක් මොනවත් කිව්වෙත් නෑ පන්සලට ලං වෙනකල්ම.
"මං අද ඔයාට අපේ පොඩි හාමුදුරුවන්ව අඳුන්නලා දෙන්නම්. උන්වහන්සේ ගොඩක් හොඳට ඉගෙන ගත්තු හෙම කෙන්ක්. කැම්පස් එකෙන් out වෙලා තමයි මහණ වෙලා තියෙන්නේ" පන්සලේදි වාහනෙන් බහිද්දි අනුක් කිව්වා.
"එහෙමද? හාමුදුරුවෝ මෙහේ කෙනෙක්ද?"
"නෑ. දංකොටුවේ. Science Facultyයේ Physics Special කලරා තියෙන්නේ. First class" අනුක් කියද්දි මට පුදුමත් හිතුණා.
"හරි පුදුමයි නේ"
"හ්ම්... ඒක  නම් එහෙම තමයි. ඒත් උන්වහන්සේ කියන්නේ මහණ වුණේ හරිම අවබෝධයෙන් කියලා. විද්‍යාවයි බුද්ධාගමයි අතරේ තියෙන පුදුමාකාර සම්බන්ධතාවය ගැන හෙම උන් වහන්සේ නිතරම කථා කරනවා...මම හිතන්නේ ඒකම වෙන්න ඇති මහණ වෙන්න මුල් වුණ ආසන්නතම හේතුව වෙන්න ඇත්තේ. කුතුහලයයි, අවබෝධකරගැනීමට ඇති උනන්දුවයි...ම්ම් එන්නකෝ, අපි ඉස්සෙල්ලම වැඳලා ඉමු"
අපි ගෙනාපු මල් පූජා කරලා වැඳලා හෙම ඉවර වෙලා එලියට එද්දි මගේ හිත එක විදිහහ ශාන්තභව්යකින් පිරිලා තිබුණා වගේ මට දැණුනා. එක්කම රටේ බොහොම වැදගත් ආගමික කේන්ද්රස්ථානයක් වුණ අස්ගිරි විහාරය මේ විදියට වන්දනාමන්න කරන්නත්, දැකගන්නත් එන්න ලැබීම ගැන මට තිබුණේ සතුටක්.
"මං ආසාවෙන් හිටියේ අස්ගිරි විහාරේ බලන්න එන්න අනුක්. ඔයාට පින් මාව එක්ක ආවට" මම කිව්වම අනුක් හිනා වුණා.
"ඒක මොකක්ද?"
"මේ..එතකොට මල්වතු මහා විහාරේ තියෙන්නෙත් මේ ලඟද?"
"මල්වතු පන්සල තියෙන්නේ වැව රවුමේ. මාලිගාවට පැත්තෙන්, වැවෙන් අනික් පැත්තේ. අම්පිටිය පාරේ. චේතිය අයියට කිව්වා නම් ඔයාව එක්ක යයි. ලොකු අප්පච්චිලා පන්සල එක්ක ගොඩක් හිතවත්, කාලේ ඉඳලම" අනුක් කිව්වා.
"චේතිය එක්ක මට කොහේවත් යන්න ඕන නෑ" මම කිව්වේ නොරිස්සුමින්.
අනුක් ආයෙම හිනා වුණා. "දීග යන්නත් බෑ කියලද කියන්නේ?"
"අනේ අනුක්,ඕක නවත්තගන්න. මම ආස නෑ ඔය ගැන කතා කරන්න"
අනුක්ගේ හිනාව පාර වියැකුණා.
"අපි යමු ආවාසේ පැත්තට" ඔහු පාර මගෙන් ඉවතට හැරිලා ඉස්සර වුණා.
අපි ආවාසේ දිහාට යද්දි පොඩි හාමුදුරුවෝ වෙන්න ඇති, තව වයසක පිරිමි කෙනෙක් එක්ක කතාව උන්නා ආවාස ගේ ඉස්සරහ. අපි ලඟට යන්න කලින්ම උන්වහන්සේ අපිව දැක්කා.
"...මේ අනුක් මහත්තයා නේ. මම ඒත් බැලුවා කවුද මේ කියලා"
"ඔව් හාමුදුරුවණේ අද ඇවිත් යන්න හිතුණා. දුලාරා මේ තමයි අපේ රාහුල පොඩි හාමුදුරුවෝ. හාමුදුරුවනේ මේ දුලාරා. මම ඔබවහන්සෙට කියලා ඇති නේ අර කැම්පස් යන්න අපේ ගෙදර ඇවිත් නැවතිලා ඉන්නවා කියලා"
පාර උන්වහන්සේ මා දිහා බලලා හිනාවත් පෑවා. අනුක් මට කියලා තිබුණා වගේම රාහුල හාමුදුරුවෝ දුටු වනම කෙනෙක්ගේ හිත පහදවන සුලු පෙනුමකින් යුක්ත වුණා. අඩි හයක් විතර උස උන්වහන්සේ, කට හඬත්, පෞර්ෂයත් පැහැදීම තව වැඩි කරන්න හේතු වුණා කියලා මට හිතුණා.
"සුවපත් වේවා...බොහොම හොඳයි පන්සල පැත්තේ ඇවිත් යන්න ආපු එක. අනුක් මහත්තයා මට ඔය නෝනා ගැන නිතර කියලා තියෙනවා"
අනුක්ට පස්සේ මම හාමුදුරුවන්ට වැඳලා එකත්පස් වුණාට පස්සේ උන්වහන්සේ කිව්වා. මම අනුක් දිහා හොරෙන් බලලා යන්තම් හිනා වුණා.
"අද අපේ නායක හාමුදුරුවෝ නැද්ද අපේ හාමුදුරුවනේ?" එහෙම ඇහුවේ අනුක්.
"උන්වහන්සේ අද  මල්වතු මහා විහාරෙට වැඩම කලා, පාර්ශවේ නායක හාමුදුරුවන්ව මුණගැහෙන්න කියලා"
" එහෙමද?"
"හ්ම්..., ජේමිස් එහෙනම් යන්නකෝ ගිහින් තියෙන වැඩක් බලාගන්න. මම මේ මහත්තයලට කතා කරලා එන්නම්" හාමුදුරුවෝ  එහා පැත්තේ උන්නු වයසක පිරිමි කෙනාව පිටත් කරලා ආපහු අපි දිහාට හැරුණා.
"ඉතිං මහත්තයෝ, කොහොමද ඉගෙනීමේ වැඩ හෙම?"
උන් වහන්සේ පුටුවකට බර වුණේ එහෙම අහගෙන. අපි ලඟින්ම බිමින් වාඩි වුණා.
"වරදක් නෑ අපේ හාමුදුරුවනේ"
"එතකොට මේ නෝනා ඉන්නේ..."
"ආට්ස් ෆැකල්ටි එකේ" මම කිව්වා.
"හරි හරි. මට මතකයි මහත්තයා කියලා තියෙනවා. හෙට ලොකු නෝනා එනවා කියලා මට කතා කරලා කිව්වා" උන් වහන්සේ එහෙම කිව්වේ අනුක්ට.
"එහෙමයි අපේ හාමුදුරුවණේ අම්මගේ අවුරුදු පහේ දානේ ලඟයි නේ. මම එදත් අර මතක් කලේ."
"...ඔව් ඔව්. මේ මාසේ දාසය නේද?"
"එහෙමයි...අවුරුදු පහක් ගෙවිලා ගියත්, වෙච්ච දේවල් තාමත් දැනෙන්නේ අද ඊයෙක වගේ" අනුක් කියද්දි හඬේ තිබ්බේ දුකක්.
"මම මහත්තයට හැම වෙලේකම කියනවා වගේ, ජීවිතේ ධර්මතාවය ඕක තමයි.මේ ලොකේ කිසි දෙයක් සදාකාලික නැහැනේ. එහෙම නේද නෝනා?"
"එහෙමයි හාමුදුරුවණේ"
"අපට කරන්න පුලුවන් ඉහලම දේ, ඉන්න කාලේ අපි ආදරේ කරන උදවියව සතුටින් තියන එක, පුලුවන් තරම්. ඊලඟට නැති වුණාට පස්සේ අය වෙනුවෙන් සුදුසු පිං දහම් කරන එක. මම හිතන්නේ අනුක් මහත්තයලා ඒක ඕනවටත් වඩා හොඳින් කලා. නිසා දුක් වෙන්න කාරණාවක් නෑ"
"එහෙමයි" අනුක් කිව්වා.
"ජීවිතේ බැඳීම් අඩු වෙන තරමට දුක අඩුයි" හාමුදුරුවෝ ආයෙම කිව්වා.
"ඒත් අපට බැඳීම් ඇති වෙන එක වලකන්න පුලුවන්ද? ඒවා හිතලා මතලා අපි ඇති කරගන්න ඒවා නෙවෙයි නේ අපේ හාමුදුරුවනේ" අනුක් කිව්වාම මම පොඩ්ඩක් විතර පුදුමත් වුණා.
හාමුදුරුවෝ හිනාවක් පෑවේ මා දිහාත් බලලා.
"බැඳීම් අපි හිතලා ඇති කරගන්නේ නෑ කියන එක පිලි ගන්න බෑනෙ මහත්තයෝ. අපි හිතන නිසා, හිතින් අල්ලගන්න නිසා තමයි බැඳීම් ඇති වෙන්නේ. අපේ ජීවිත වලට එන යන උදවිය නොහිතන වෙලාවල එනවා වෙන්න පුලුවන්. ඒත් අයව අල්ලලා තියාගන්නේ අපි හිතලා තමයි. එක්කෝ ලස්සන නිසා, හුරුබුහුටි නිසා, සල්ලි නිසා...එහෙම නෙවෙයිද?" හාමුදුරුවෝ ඇහුවා.
මම යන්තම් හිස වැනුවා.
"එතකොට බැඳීම් සංසාරේ දිගට දිගට එකට ආපු නිසා ඇති වෙනවා වෙන්න බැරිද? සමහර වෙලාවට අපි හිතට ලං කරගන්න අය අපි ලං කරගන්නේ නිසා වෙන්න බැරිද?" අනුක් ඇහුවා.
හාමුදුරුවෝ අනුක් දිහා තප්පරයක් දෙකක් විතර බලාගෙන ඉන්න ඇති. ඊට පස්සේ උන් වහන්සේගේ අස් මා දිහාටත් යොමු වුණා මොහොතකට.
"එහෙම වෙන්න ඕන තරම් පුලුවන්. අපි හැමෝම කල්ප ගණනාවක් සංසාරේ ඇවිදගෙන එද්දි, මොන තරම් නම් අය අපට හම්බවෙලා තියෙන්න පුලුවන්ද? මේ ලොකේ ඉන්න අපි හැමෝම කුමන හෝ සංසාරේක, නෑයෝ වෙලා, මිතුරෝ වෙලා, එහෙම නැත්තම් හතුරෝ වෙලා හරි උන්නා වෙන්න පුලුවන්. පුරුද්දට අපි මේ භවයෙදිත් මුණගැහෙනවා වෙන්නත් පුලුවන්. මොනා වුණත් මහත්තයෝ, අපි තේරුම් ගන්න ඕන මේ බැඳීම් වල තියෙන යථාර්ථය, අවිනිශ්චිත බව. වෙනස්වන සුලු බව. අන්න එතකොට අපට පුලුවන් අපට දැනෙන දුක සහ සතුට කියන දෙකේ යථාර්ථය තේරුම් අරගෙන හිතට සැනසීම ලඟා කරගන්න"
"එහෙමයි" අනුක් කිව්වා.
"no pain without gain කියන්වනේ. දුකට මුල තමයි ආශාව. දෙයක් ලබාගන්න තියෙන සහ දේ තමන්සතු කරගෙන තියා ගැනීමේ ආශාව. අපි නැති කරන්න උත්සාහ කරන්න ඕන ඒක" උන්වහන්සේ තව දුරටත් කිව්වා.
"අපට වැටහෙනවා අපේ හාමුදුරුවණේ. ඒත් ඉතිං ඒක කරන්න හරි අමාරු දෙයක්. හිත හීලෑ කරගන්න හරි අමාරුයි. සමහර වෙලාවට හිත ගිහින් නවතින්නේ අපි හීනෙකින් වත් නොහිතුව දේවල් ගාව" අනුක් එහෙම කිව්වම මගේ හිත සැලුණේ ඇයි කියන්න මම දන්නේ නෑ.
"ඒකත් එහෙමද?" හාමුදුරුවෝ, ඇහි බැම උස්සලා අනුක් දිහා බැලුවේ යන්තමට හිනා වෙලා.
මම අනුක් දිහා බලද්දි ඔහු උන්නේ බිම බලාගෙන.
"මම හැමදාම කියනවා වගේ, හිත පාලනය කරගන්න ඉගෙන්න ගන්න මහත්තයෝ. ජීවිතේ අපි විහින් ඇති කර ගන්න බොහොම ප්රශ්ණ වලට ඒකෙන්ම විසඳුමක් ගන්න පුලුවන්. අනික තමා දෙයක් කරද්දි ඒකෙන් වෙන්න පුලුවන් වෙනස් අතුරු ප්රථිපල ගැනත් හිතන්න. ආවේගවලට වැඩ කරන්න යන්න එපා. මහත්තයට තේරෙන්වනේ මම කියන දේ" හාමුදුරුවෝ කිව්වා.
මම අහගෙන උන්නා විතරයි. ඒත් උන්වහන්සේ කියපු දේවල් වල කොයි තරම් නම් ඇත්තක් තියෙනවද කියලා මට හිතුණා. මම ආපහු එන ගමනෙදිත් කල්පනා කරමින් ආවේ ඒකමයි. අනුක් උන්නෙත් කල්පනාබරව. වෙනදා වගේ කතා කලේ නැති තරමයි. මට හිතාගන්න බැරි වුණා ඇයි කියලා.
"අනුක්"
"ම්ම්..."
"මාව පන්සල් එක්ක ගියාට ගොඩක් පිං" මම කිව්වම අනුක් මා දිහා බැලුවා.
"පන්සල් ගිහින් ඔයාගේ හිතට පොඩ්ඩක් හරි සහනයක් ආවා නම් ඒක ලොකු දෙයක්" අනුක් ඊට පස්සේ කිව්වා.
"ඇත්තමයි...හිත සහනයක් දැනෙනවා...රාහුල හාමුදුරුවෝ කියපු දේවල් හැමදේම ඇත්ත. මේ හැම දේටම මුල හිත සහ බැඳීම්. මම අද විඳවන්නෙත් නිසා නෙ"
"ඒත් බැඳීම් වලින් ඈත් වෙන්නත් අපි ලෝබයි නේ දුලාරා. ඒක නෙවෙයිද ඇත්ත?"
"ඒක ඇත්ත තමයි. ඒත් අඩු ගාණේ උත්සාහ කරන්නවත් ඕන කියලා අද මට හිතුණා" මම කිව්වේ ඇත්තටම.
"හිතාගන්න බෑ වෙලාවකට ඇයි අපි අපට අහිමි, අපේ වෙන්න බෑ කියලා හොඳටම දන්න දේවල් වලට මේ තරම් බැඳෙන්නේ ඇයි කියලා" අනුක් කිව්වේ අහක බලාගෙන.
අරුම පුදුම කතාවෙන් මම අන්ද මන්ද වුණා.
"ඔයාට මොකද මේ හදිසියේ වෙලා තියෙන්නේ?" මම ඇහුවේ ඒකයි.
"ඇයි එහෙම අහන්නේ?" අනුක් ඇහුවා.
"ඔයා ලඟකදි ඉඳලා හරි වෙනස් අනුක්" මම හිත හිත ඒත් නොකියා උන්නු දෙයක් ඔහුට එවෙලේ කිව්වා.
"ඔයාට එහෙම දැනෙනවද?"
"ඔව්. මොකද ?"
"මොනවත් නෑ. ඔයාට පේන හැටි"
"පේන හැටි නෙවෙයි අනුක්. ඔයා වෙනස් තමයි"
අනුක් සුසුමක් හෙලුවා.
"මොකද ඔයාට වෙලා තියෙන්නේ?" මම ආයෙම ඇහුවේ ඔහු නිහඬවම උන්නු නිසා. ඒත් ඔහු තවමත් කතා කලේ නෑ.
"ඔයා මගේ හැම දුකකදිම මගේ ලඟ ඉන්නවා, මගේ හිත හදනවා. ඉතිං ඇයි මොකක් හරි ප්රශ්ණයක් නම් මට කියන්න බැරි?"
අනුක් ගෙදර ගේට්ටුව ලඟ වාහනේ නවත්තලා ගිහින් ගේට්ටුව ඇරලා ආවෙත් කතාවක් නැතුවමයි.
"මට කියන්න බැරි දෙයක්ද අනුක්?"
එහෙම ඇහුවම අනුක් වත්ත මැදම වාහන නතර කරලා මා දිහාට හැරුණා. ඇස් වල තිබුණේ දුකක්ද?
"ප්ලීස්...ප්රශ්ණ අහන්න එපා දුලාරා. මට මෙහෙම ඉන්න දෙන්න" ඔහු කිව්වා.
මගේ හිතට දැනුනේ අහේතුක දුකක්.
"ඔයා වෙනස් වෙලා. මම ඒකට ආස නෑ අනුක්" මම කිව්වා.
අනුක්ගේ ඇස් වල දුකට මුහුවුණේ මොකක්දෝ දයාබර බවක්.
"අහන්න...සමහර වෙලාවට හිතේ තියෙන හැමදේම කියන්න බෑ. කියන්න ඕන වුණත් කියන්න බැරි දේවල් තියෙනවා. මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න. ටික දවසකින් සේරම හරි යයි" එහෙම කියපු ඔහු ආපහු වාහණේ පණාන්වලා ගත්තා.
මම උත්සාහ කලේ එවෙලේ මොර දෙමින් උන්නු මගේ හිත කියන දේට ඇහුම්කන් නොදී ඉන්න. පන්සලෙන් එද්දි තිබුණ සහනය ආයෙම නැති වෙලා වගේ මට පාර දැනුනා. එක්කම හිතට දැනුනේ බයක්. හිත දන්න, මම පිලිගන්න අකමැති දෙයක් නිසා වෙන්න ඇති. අනුක්ට මීට වඩා ලං නොවී ඉන්න මම අන්තිමට තීරණය කලා.

8 comments:

  1. මම මේ නිකමට අහන්නේ. ඇත්තම කිව්වොත් ඔයාලා කැමති දුලාර අනුක්ට අයිති වෙනවටද, නැත්තම් භූපටම ආයෙම අයිති වෙනවටද?
    අහන්නේ නිකමට දැනගන්න විතරයි. ඔයාලගේ උත්තරේ නිසා කතාව වෙනස් වෙන්නේ නෑ. අවසානේ දැනටම හිතලා ඉවරයි..

    ඉතිං කියන්නකෝ බලන්න...

    ReplyDelete
  2. ම්..නෙතූ අහලා තියෙන්නේ අමාරුම ප්‍රශ්නයක්..
    භූපට අයිති වෙනවට මම නම් කැමතියි..ඒත් එහෙම වුනොත් පාඨකයෙක් විදිහට අපි කුහක වෙනවා..
    අනිත් අතට අනුක්ට අයිති වුනොත් හැමදේම හොඳ විදිහට විසඳේවි...

    තාමත් ගැටලුව තියෙන්නේ භූපට දුලාරලාගේ ගෙදරින් අකමැති ඇයි කියලා..!!

    දිගටම ලියන්න නෙතූ...

    ReplyDelete
  3. dulara aithi wenna ona anukta mama nam kamathi ehema wenawata,,bhupatath wada anuk dularawa care karanawa wage danenawa... kohoma unath lassana awasanayak nam hodai,,

    ReplyDelete
  4. dulara bhupage..eka wenas wenna denna epa..man adare karana kena bhupa wage nam eyatath gedarin akamathi wei..bhupa gaththa theeranema eyath gani..eth mama hamadama eyata adare karai..dularawa bhupata denna..

    ReplyDelete
  5. pissu kelinna epa nethu.dulara buupatama thama.

    ReplyDelete
  6. Mage adahasa nam Anuk and dulara athare dialogues thiyena chapters godak lassanai.. eth kamathi anthimata mokada wenne balanna..

    ReplyDelete
  7. Ane nethu akki mamenam kamati Dularai Anuk akatu wenawata. Anuk adare kerana widiha harima lassanai. Aya harima sanwedi widihata dularata adare keranawa. Aya wage kenekwa tamai Dularata hari yanne. Bupatat Dularata duk dunna. Anuk witarai ayata awankawama udaw kele. Mona unot oya katawa ikmanata liyanne akki. Mame hamadama oyage blog aka balanawa.

    ReplyDelete