Monday, May 12, 2014

පනස් නමවන කොටස



“මගේ කිව්වට මට සමාවෙන්න. තාමත් මට හිතෙන්නේ ඔයා මගේ කියලා. තාමත් මට හිතාගන්න බෑ ඊයේ වුණ දේ වුණේ ඇත්තටමද කියලා. හිතාගන්න බෑ ඔයා... ඔයාමද මට යන්න කිව්වේ කියලා. දුලාරා...මට හිත හදාගන්න බෑ. තේරුම් ගන්න මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්න බෑ. මෙච්චර දේවල් වෙලත් මම ඊයේ ආයෙම ඔයාලගේ ගෙදරට ආවේ නිසා. මට ඔයාව ඕන නිසා. මම හිතාගෙන හිටියේ කවදාවත් ආයෙම නම් ඔය ගෙදරට එන්නේ නෑ කියලා. ඔයාලගේ අම්මලා කෙලින්ම නොකිව්වත් අපේ අම්මලට අවමානයක් කලා. මගේ හොඳම යාලුවා කියලා මම හිතාගෙන උන්නු ඔයාගේ අයියම මාව හතුරෙක්ටත් වඩා ඈත් කලා. හැමදේම වෙලත් මම ආවේ ඔයා නිසා. මම වගේම ඔයත් මට ආදරෙයි කියලා මම හිතපු නිසා. ඒත්...හැමදාම වගේ මට වැරදුනා නංඟි. මට දැනෙන්නේ මහා කාලකන්නි හැඟීමක්. ජීවිතේම එපා වෙලා වගේ හැඟීමක්. ඒත් මම දන්නවා මොන දේ වුණත් දැන් ඔයාට ඒවගෙන් වැඩක් නෑ කියලා. මම ඔයාට වරදක් කියන්නේ නෑ. මොකද මුල ඉඳන්ම සේරම වරද්දගත්තේ මම හන්දා.
එදා මුලින්ම ප්රශ්ණේ ඇති වුණ වෙලේ මම ඔයාට මේ සම්බන්ධේ නවත්තමු නොකිව්වා නම්, ගෙවල් වල අයට කුද ගහගන්න කියලා ඔයා එක්ක මම හිටියා නම් අද සමහරවිට මෙහෙම වෙන එකක් නෑ. වුණත් ඔයා දන්නවා නේද අපට එහෙම කරන්න බැරි වග. මම කොහොමද ඔයාලගේ අපේ අම්මලගෙ හිත් රිද්දන්නේ? හැමදේම ගැන හිතන්න ගිය නිසාද දුලාරා අපට මෙහෙම වුණේ? මම දන්නෑ. මට මොනවත්ම තාමත් හිතාගන්න බෑ.
මම ඔයාට මෙහෙම ලියනවට මට සමාවෙන්න මගේ නංඟි. ඒත් මට මේ දේවල් ඔයාට කියන්න ඕන. අපට මුණගැහිලා කතා කරන්න දවසක් එනකල් මේ හැමදේම හිතේ තද කරගෙන ඉන්න මට බෑ. මාව පිස්සෙක් වෙයි දුලාරා...මට හිතට එන හැමදේම ඔයාට කියන්න ඕන. ආයෙම අපි මුණගැහුණත් සමහරවිට මට ඔයාට මේවා කියන්න බැරි වෙන්නත් පුලුවන්. අහන තත්වෙක ඔයා නොහිටින්නත් පුලුවන්. සමහරවිට අපි ආයෙම මුණනොගැහෙන්නත් පුලුවන්. ඒක කියන්න බෑ. නිසා මම මෙහෙම ලියනවා...සමහරවිට මේ වෙද්දි ඔයා මේ ලියුම ඉරලා විසිකරලා වෙන්නත් පුලුවන්. ඒත් මම මේක ලියන්න ඕන.
මං හින්දා ඔයාට විඳින්න වුණ දුක් කරදර අප්රමාණයි. ඒක මම නොදන්නවා නෙවෙයි. මට හිත හදාගන්න බැරි නිසා. ගෙදරට වෙලා සමනලියක් වගේ සැහැල්ලුවෙන් උන්නු ඔයාව මේ දුක් කරදර ගොඩට ඇදලා දැම්මේ මම. නිසා මම පව ගෙවන්න ඕන. මේ විඳවිල්ල ඒකට වන්දියක් කියලා මම හිතාගන්නම්. ඒත් මගේ රත්තරං...ඔයා දුක් ගන්න එපා. මේ හොඳටම ඇති. අහන්න...ඔයා ඊයේ මට යන්න කිව්වම මට මැරෙන්න හිතුණා. ඔයා එහෙම කියන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුණා. සත්තයි මට මොනවත්ම එවෙලේ හිතාගන්න බැරි වුණා. ඒත් මම ආයේම ඒ ගැන අහන්නේ නෑ. මං දන්නවා චේතිය ඔයාට දෙන දේවල් වලින් දහයෙන් එකක් වත් ඔයාට දෙන්න මට බැරිවෙයි. හිතන්න කොච්චර අකමැති වුණත් මම හොඳටම දන්නවා චේතිය ඔයාට ගොඩක් ආදරේ වග. එයා ඔයාට වරදක් කරන එකක් නෑ. ඔයාට වුණත් ඒක දැන් තේරිලා ඇති කියලා මම හිතනවා. නිසා ඔයා මට යන්න කිව්වට මම තරහා නෑ මගේ නංඟි. ඔයා හොඳින් ඉන්න ඕන, ඔයා සතුටින් ඉන්න ඕන. මට ඕන එච්චරයි. මට වෙච්ච දේවල් තාමත් හිතාගන්න බැරි එක ඇත්ත වුණත්, දැන් වෙන කරන්න දෙයක් නෑ කියලා මම දන්නවා. මම ඔයාව සදහටම නැති කරගෙන ඉවරයි.
මේ හැම දේම වුණාට පස්සෙත් මගේ හිත කියනවා දුලාරා ඔයා තාමත් මට ආදරෙයි කියලා. ඇත්තටමද නැත්තම් මට ඕන ඒක නිසාද කියන්නත් මම දන්නේ නෑ. මම දන්නේ එකම දේ, අපි එකට ඉන්න කාලෙත් ඊට පස්සේ ගොඩක් කල් යනකලුත් ඔයා මට ආදරේ කලා කියන එක විතරයි. වුණ දේවල් ගැන හිතද්දි මට බලාපොරොත්තු වෙන්න බෑ ඔයා හැමදාම එහෙමම මා වෙනුවෙන් ඉඳීවි කියලා. ඒක මගේ වරද ඔයාගේ නෙවෙයි. මට එක වචනෙක ඉන්න බැරි වුණ එකයි මගේ වරද. මගේ රත්තරං නංඟි ඒකට මට දහස් වාරයක් සමාව දෙන්න. ඔයාට රිද්දන්න ඕන වුණා නෙවෙයි, හැමකෙනාටම හොඳක් කරන්න මම හිතුවා විතරයි. ඒත් දැන් කිසි දෙයක් වැඩක් නෑ.
ඉතිං මං යන්න හදන්නෙ මගේ රත්තරං...මම යනවා ඔයාගෙන් දුර ඈතකට. ඔයාව නොපෙනෙන, නෑහෙන ඈතකට. එහෙම නොකලොත් ඊයේ වගේ මම ආයෙ ආයෙ ඔයාව හොයාගෙන එයි, ඔයාගේ හිත රිද්දයි. ඔයාට සැනසීමෙන් ඉන්න බැරිවෙයි. මගේම කියලා මම අදහපු ඔයා, වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා මට බලාගෙන ඉන්න බැරි වෙයි. මම එච්චර බෝධිසත්වයෙක් නෙවෙයි. නිසා මම යනවා දුලාරා. ඔයා බය වෙන්න එපා, මම මගේ ජීවිතෙන් මේ කිසිම දේකට පලි ගන්නේ නෑ. මම ජීවත් වෙන්න ඕනනේ මගේ අම්මයි නංඟියි වෙනුවෙන්. ඒත් මම ආපහු ඔයා ඉස්සරහට එන්නේ නෑ. එන්න ඕන වුණත් මම එන්නේ නෑ. මාව හොයන්න උත්සාහ කරන්නත් එපා දුලාරා... එහෙම කරන්න එපා. ඔයා ඊයේ ගත්තු තීරණේ විදියට ඔයා චේතිය එක්ක හොඳින් ඉන්න බලන්න. මම තරහා නෑ ඒකට. මට කවදාවත් ඔයා එක්ක තරහා වෙන්න බෑ. මේ කැත කලු කොල්ලට එක දවසක් හරි ආදරේ කලාට, ආදරේ කියලා දුන්නට, ජීවිතේට අරමුණක් දුන්නට ඔයාට පිං. ඔයා හොඳින් ඉන්න. මට ඕන එච්චරයි.
ලියන්න තව ඕන වුණත්, ලියාගන්න මට බෑ. එහෙම ලිව්වොත් ඔයාට මට පොතක් පිරෙන්න දේවල් ලියන්න වෙයි. ඒත් මේ ඇති. ඔයාව තවත් මහන්සි කරන්න මට ඕන නෑ.
ඉතිං මගේ මැණික, මේ තමයි අපි දෙන්න නැවතෙන තැන. ඔයා මා එක්ක නාවත් ඔයාගේ සුවඳයි, මතකයයි විතරක් අරන් යන්න මට අවසර දෙන්න. රෝස මලක් වගේ ඔයාගේ තොල් පෙති ඉඹපු මතකේ හිතට තුරුලු කරගෙන, මං වෙනුවෙන් දහස් වාරයක් කඳුලු හෙලපු ඔය ඇස් වල කඳුලු ටිකත් අරගෙන මම යන්න යනවා. ඉතිං ආයෙම අඬන්න එපා. මේක අපේ කරුමයක් වෙන්න ඇති ඉස්සර කාලෙක කරපු. මගේ මැණිකමම ඔයා එක්ක ජාති ජාතිවත් තරහා නෑ. මම මගේ අන්තිම හුස්ම පොද වෙනකල්ම මම ඔයාට ආදරෙයි...ගොඩක් ගොඩාක් ආදරෙයි...
ඔයාට තෙරුවන් සරණයි.
මීට,
භූප...
ලියුම මම එක හුස්මට කියවගෙන ගියා. ඊට පස්සේ ආයෙම පාරක් කියෙව්වා. භූප ලියුමේ කියලා තියෙන දේ තේරුම් ගන්න මට ඒත් සෑහෙන වෙලාවක් ගියා. ඊට පස්සෙත් මම සෑහෙන වෙලාවක් උන්නේ මොනවත්ම හිතාගන්න බැරුව ගල් වෙලා වගේ. මේ දේවල් කිව්වේ භූපම කියලා මම කල්පනා කලා. මගේ ඇස් ආයෙම යොමු වුණේ ලියුමේ පලවෙනි වදන් පෙල  දිහාට.'මගේම දුලාරා...' ඇස් වලට කඳුලු පුරන්න ගත්තේ ඊටපස්සේ. හෙමි හෙමින් පටන් ගත්තු මගේ ඇඬිල්ල ඉවුරු කඩාගෙන වගේ වැඩි වෙන්න විනාඩියක්වත් යන්න නැතිව ඇති. මම ලියුමත් අතේ ගුලි කරගෙනම එහෙමම ඇඳේ වැතිරිලා හොඳටෝම ඇඬුවා. මට වෙන කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නෑ. මගේ දුක කියන්න කෙනෙක් උන්නෙත් නෑ. කරන්න පුලුවන් වුණ එකම දේ අඬන එක විතරමයි.
ජීවිතේ කවදාවත් මේ තරම් දුක හිතෙන, මේ තරම් හිතේ නිදහසක් නැති දවස් තියේවි කියලා මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. භූපට ආදරේ කරන්න පටන් ගනිද්දි මම හිතුවේ හැමදේම හරිම පහසුවෙන් විසඳෙවවි කියලා. ඒත් අද....අද භූප මගේ ලඟත් නැහැ. අපේ ආදරෙත් නැහැ. ඉතිරි වෙලා තිබුණේ දුකම විතරයි.
"මොකද දෝණි මේ...ඊයේ නින්ද ගියේ නැද්ද? ඇස් දෙකත් ඉදිමිලා"
මම උදේ නැගිටලා කුස්සියට ගියාම මා දිහා මොහොතක් බලාගෙන උන්නු අම්මා ඇහුවා.
මම උත්තරයක් නොදී ෆිල්ටරෙන් වතුර එකක් අරගත්තේ බොන්න. මට ඇහුණා අම්මා සුසුමක් හෙලන්වා. ඒත් මගේ හිත තිබ්බේ ගල් වෙලා.
"අනේ මම දන්නෑ දෝණි. ඔයාගේ මේ වැඩ හන්දා අපටත් නිවනක් නෑ. දැන් මොකක්ද ඔය කරන වැඩේ තේරුම. ඇඬුවා, වැලපුණා කියලා හරියනවද? ඔයා මොකක් හරි තීරණයක් ගත්තා නම් දැන් ඒක විදියට කරන්න හිත හදාගන්න ඕන. ඔහොම ඉන්න එපා ළමයෝ. මොන මූසල කමක්ද?"
අම්මා එහෙම කිව්වාම ආයෙම මගේ ඇස් වලට කඳුලු පිරුණා. ඒත් මම හිත තද කරගත්තා.
"මට මගේ පාඩුවේ ඉන්න දෙන්න අම්මා. මම දැන් අද ගියාම හරිනේ" මම එහෙම කියාගෙන කුස්සියෙන් එන්න ආවා.
"ඔය ඉතිං, තවත් හිතුවක්කාරකම. තවත් හිතුවක්කාරකම. ඕන එකක් කරගන්න එකයි ඇත්තේ. මොන අපල කාලයක් ගෙවෙනවද මන්දා අපට" මට ඇහුණා අම්මා මට දොස් කියනවා.
"මොකක්ද මේ ගෝරණාඩුව ?" තාත්තත් කුස්සිය පැත්තත එන්නා ආවේ තරහා ගිහින් වගේ.
"මොකද අම්මා අර කෑ ගහන්නේ?" එලියට ආපු මගෙන් තාත්තා ඇහුවා.
"මුකුත් නෑ තාත්තේ" මම සාලෙට එන්න ආවා. තාත්තා කුස්සියට ගිය ආයෙම මගෙන් මුකුත් නාහම.
"පිං සිද්ධ වෙයි මේ ළමයට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න. බැලුවොත් ඇත්නම් ඇනුම්පදයක් කියාගෙන. මෙහෙම ගිහින් කෙල්ල මොනා හරි කරගත්තොත් හෙම ඔහේ ඒකට වග කියනවා. පොඩ්ඩක් නිදහස දෙන්න ඕන හිත හදාගන්න. එයා අපි කියපු දේට විරුද්ධ වුණේ නෑ...අපි මොනා කිව්වත් ළමයගේ හිතේ දුකක් ඇති නේ. අපි ආදරේ කරපු කාලේ අපි මතක තියාගන්න ඕන. හිතක් හදාගන්න කල් ඕන. ළමයට පාඩුවේ ඉන්න දෙන්න. නැත්තම් මම නරක මිනිහා කියන්න එපා"
මට ඇහුණා තාත්තා එහෙම කියනවා අම්මට.
"ඔව් අන්තිමට මගේ තමා වරද" අම්ම කියවද්දි තාත්තා ආයෙම සාලෙට ආවා.
පුටුවක වාඩි වෙලා උන්නු තාත්තා මගේ හිත අතගාගෙන යන්න ගියේ මුකුත්ම නොකියා. ඇස් ආයෙම බර වුණා කඳුලින්.

"දැන් ඉතිං අපට අපේ දෝණිව දකින්න පෙරුම් පුරන්න වෙලා නෙව"
ආපහු නුවර එන්න කලියෙන් ආච්චි අම්මව බලා එන්න ගිය වෙලේ ආච්චි අම්මා එහෙම කිව්වේ දුකෙන් වගේ. මටත් දැනුනේ සංතාපයක්.
"දැන් කාලේ හැටි ඔහොම තමා අපෙ අම්මා. ඉස්සර වගේ ගෑණු ළමයි ගෙවල් වල නවතින්නේ නෑ දැන්" බුලත් විටක් ගුලු කරමින් උන්නු ලොකු අප්පච්චි කිව්වා.
"හ්ම්ම්. ඒක මම ඉතිං නොදන්නවයැ. ඉගෙන්න ගන්න ගියා නැතා කල වයස හරි ගිය ලමිස්සියෙක්ව ගෙදරට හිට්ටෝගන්න බෑ නොවැ කොහෙත්ම. ගෑණු ළමයි කියන්නේ අනුන්ගේ වත්තක හිටෝපු මල් ගහක් වගේ. අපි සත්තු සප්පායම් කොරලා හැදුවට කවදාහරි ගහ අයිති වෙන්නේ වෙන කාටවත්" ආච්චි අම්මා කිව්වා.
මම ආපහු ගෙදර එන්න ආවේ ආච්චි අම්මා කියපු කතාව ගැන හිත හිත. මට මං ගැනම දුකක් දැනුනා. කවදාක හරි, මම ආසම නැති මනුස්සයෙක් එක්ක, නොදන්න, නුපුරුදු පලාතක තනි වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුණා.
කුඹුක් ලිඳ ලඟින් එද්දි මගේ ගමන බාල වුණේ ඉබේටම. මේ හැම තැනකම මගෙයි භූපගෙයි මතක විසිරිලා තිබුණ තරම්...මගේ කල්පනාවේ බර කමට ඉස්සරහින් ආපු කෙනාවත් මම දැක්කේ නෑ. අන්තිමේදි මම දකිද්දි මම හැප්පෙන්න ඔන්න මෙන්න නතර වෙලා උන්නේ වෙන කවුරුවත් නෙවෙයි, කේතකී ගාව. මගේ හිත කඩා වැටුණා ආයෙම.
"කේතකී..." මම කිව්වේ හැඬුම්බරව.
"දැන් සන්තෝසද?" කේතකී ගිනි පිටවෙන දෑසින් මගේ දිහා බලාගෙන එහෙම ඇහුවේ තරහින් වගේ.
"කේතකී ඔයා මේ.."
"දැන් ඔයාට සන්තෝස ඇති නේ. සේරම කරලා, මගේ අයියව අවුල් කරලා, මුලු ගෙදරම ඇඬෙව්වට පස්සේ ඔයාගේ හිත හැදුනද දුලාරා...?" කේතකී එහෙම සැරෙන් මට කවදාවත් කතා කරලා තිබුණේ නෑ. ඒත් මට ගැන තරහක් දැනුනේ නෑ.
"ඔයා මොනාද මේ කියන්නේ?" මම ඇහුවේ ඇස් බොඳ වෙද්දි.
"ඔයා මගේ අයියව කාලකන්නි කරා. එකට ඉන්න බැරි නම්, සල්ලිකාරයෙක් එක්ක යන්නම ඕන වුණා නම් ඇයි මගේ අයියට බලාපොරොත්තු දුන්නේ?" කේතකී ඇහුවෙත් ඇස් වල කඳුලු පිටින්මයි.
"මම එහෙම කලේ නෑ දෙයියනේ" මටත් කෑ ගැහුණා.
"කලාද නැද්ද කියන එක තමන් දන්නවා ඇති නේ. අන්තිමේදි වැරදුනේ මගේ අහිංසක අයියට..."
"මම භූපට වරදක් කලේ නෑ කේතකී"
"ජීවිතේ පලවෙනි වතාවට මං ඉස්සරහා මගේ අයියා ඇඬුවා. මම පව්කාරියක් වුණා ඒක දකින්න තරම්. ඔයා නිසා...මගේ අයියා සේරම අතෑරලා යන්න ගියා. ආයෙම එයා ගමට එන එකක් නෑ. මගේ අම්මගේ හිත දුකෙන් ගල් වෙලා දුලාරා. එයාට තවත් අඬන්න බෑ. අපේ ගෙදර සතුට සේරම හොරු අරන් ගිහින්. ඔයා නිසා"
"නෑ...නෑ...නෑ...අනේ මම එහම කරන්න හිතුවේ නෑ"
"වැඩක් නෑ දුලා...ඔයා යන්න. ඔයාගේ චේතිය කුමාරයා ඔයා එනකල් බලාගෙන ඇති. අපේ අහිංසකයට මොනා වුණත් කමක් නෑ. ඔයා කුමාරයා එක්ක හොඳින් ඉන්නකෝ"
කේතකී කිව්වේ නිර්දය විදිහට. මගේ හිත හොඳටම රිදුනා. ඇස් වල කඳුලු නවත්තන්න මම උත්සාහ කලේ නෑ.
"කේතකී...මම භූපව රැවැට්ටුවේ නෑ. මම තාමත් භූපට ආදරෙයි. මැරෙනකල්ම ආදරෙයි...ඒත් එයාට වගේම මටත් මගේ අම්මලගේ හිත රිද්දන්න බෑ"
කේතකී ඒකට මොනවත්ම කිව්වේ නෑ. සමච්චලෙන් වගේ මා දිහා බලලා අහක බලාගත්තා මිස.
"මට භූප හම්බෙන්න ඕන. තව එක පාරක්...ප්ලීස් කේතකී මට කියන්න එයා කොහෙද ඉන්නේ කියලා" මම පිංසෙන්ඩු වුණා.
"ඇයි...එයාව තවත් පිස්සෙක් කරන්නද ඔයාට ඕන. දැන් ඔය පලි ගත්තා මදිද දුලාරා...?"
"කේතකී..."
"මං යනවා යන්න...ආයෙමත් අපි අතරෙත් කතාවක් ඕන නෑ. ඉස්සර උන්නු කේතකී මැරුණා..."
කේතකී එහෙම කියලා නිර්දය විදියට යන්න ගියේ මම බලාගෙන ඉද්දිමයි. හිත රිදුණ තරම මේ තරම් කියලා කියන්න බෑ. මම ගෙදර එන්න ආවේ හිතින් වැලපි වැලපි. මම ආදරේ කරන, මට සමීප හැමදේම මේ වගේ මගෙන් ඈත් වෙන්නේ ඇයි?

3 comments:

  1. මේ වෙලාවේ නං මුකුත්ම කියන්න විදියක් නෑ, ටිකක් වඩාත් එක්ක හිරවෙලා ඉන්න ගමන් රිංගුවේ මෙහාට , උඩින් පල්ලෙන් තමා කියෙව්වේ, ඉතින් මුලින්ම සමාවෙන්න, මොකද කතාව මුල ඉඳල කියවන්න ඕන වටහා ගන්න නම්, අදද කොහෙද මෙහාට ආවේ, පොඩ්ඩක් විතර හැගීම්බරයි කතාව , එක කතාවට ලස්සනක්, ඔය දුලාර නම සෑහෙන්න ෆෙමස් නේ, මොකද මත මගේ කතාවකට පාවිච්චි කළා වගේ මතකයි, හැබැයි නපුරියක් විදියට, ඒ නපුරිම ඔබ හැගීම්බර කරවලා. ඉතින් ඔබට ජය දිගු ලස්සන නව කතාවකට.

    ReplyDelete
  2. harima lassana kathawak ,,,digatama liyanna,,,

    ReplyDelete
  3. patta.patta digatama liyanna.

    ReplyDelete