Friday, April 25, 2014

පනස් හත්වන කොටස



"අනේ මන්දා. මෙහාටද එන්නේ?" මමත් ඇස් පුංචි කරලා බැලුවේ ඒ කවුද කියලා අඳුනගන්න.
අපේ ගෙදරට එමින් උන්නු දෙනාගෙන් පලවෙනියා දැක්ක ගමන්ම මම ලඟ තිබ්බ දොර අල්ලගත්තේ මාව වැටෙයි කියලා හිතුණ නිසා. ඊලඟ මොහොතේ භූපයි, පුබුදු අයියයි අපේ සාලෙට ගොඩ වෙද්දි මම එතන උන්නේ හීනෙන් වගේ. තාත්තත් මුකුත්ම හිතාගන්න බැරිව අන්ද මන්ද වෙලා වගේ බලාගෙන උන්නා. භූප ඒ දිහටි ඇස් මා දිහාට පාලා යන්තමට හිණා වුණාම මගේ ඇස් වලට කඳුලු පිරුණා.
"මාමෙ" භූප තාත්තට කතා කලා.
"මේ...මම...මම ඒත් බැලුවා මේ කවුද කියලා මේ වෙලාවේ. අ..මේ..මේ..වාඩිවෙන්නකෝ" තාත්තත් උන්නේ කලබල වෙලාදෝ කියලා මට හිතුණා.
මම නම් උන්නේ කතා කරගන්නවත්, හෙල්ලෙන්නවත් බැරි තරම් පුදුම වෙලා, අඩපණ වෙලා. තාත්තා මා දිහාත් බැලුවා. ටික වෙලාවක් යනකල් එතන ඇති වුණේ නිහඬ බවක්.
"මේ...ඉතිං ළමයෝ මොකද මේ රෑ වෙලාවේ, මොකක් හරි හදිසියක් වත් ද?"
මම භූප දිහා බැලුවා. ඔහු උන්නේ ඇදිලා ගිහිල්ලා වගේ වුණත් ඒ ඇස් වල තිබ්බේ දීප්තියක් කියලා මට හිතුණා.
භූප උත්තරයක් දෙන්න කලින් ගේ ඇතුලෙන් ඇහුණා අම්මගෙයි, චේතියගෙයි කටහඬ. අපි හැමෝම හැරිලා ඒ දිහාව බැලුවේ එකට. එතකොටම වගේ චේතියත් ඇතුල් සාලේ ඉඳලා අපි උන්නු දිහාට එන්න ආවා. මට දැනුනේ මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ හැඟීමක්.
"දෝණි මෙන්න මේ පුතා යන්න හදනවා..ඔයා..." එහෙම කියාගෙන් ආපු අම්මා සාලේ උන්නු කට්ටිය දැකලා ඉද්ද ගැහුවා වගේ නැවතුණා. ඒ එක්කම වගේ තමයි චේතියත් එතනට ආවේ. චේතියට එක පාරටම මුකුත් හිතාගන්න බැරි වෙන්න ඇති. ඔහු අපි හැමෝම දිහා බැලුවේ වික්ෂිප්ත වෙලා වගේ. ඒත් ඊලඟ මොහොතේ ඒ ඇස් වල පිරුණේ කේන්තියක්.
"මොකක්ද මේ මෙතන වෙන්න? මෙයා මොකද මෙහේ කරන්නේ? චේතිය ඇහුවේ භූප දිහා බලලා.
භූප චේතියට දිහා අවඥාවෙන් වගේ බලලා අහක බලාගත්තා.
"අපේ මහත්තයා... හැබෑටම මොකක්ද මේ වෙන්නේ? මේ ළමයා මොකද මෙහේ කරන්නේ?" අම්මත් ඇහුවා.
මම තාමත් උන්නේ දොරට ඇලීගෙන.
"ඉතිං ආපු කාරණාව අහන්න යද්දිම නොවැ ඔයාලා ආවේ. චේතිය පුතේ, ඔයා දැන් ඔය යන්නද හදන්නේ?" තාත්තා ඇහුවේ තාමත් දොරකඩ ඉඳගෙන භූපට රවමින් උන්නු චේතියගෙන්.
"නෑ...මට දැනගන්න ඕන මොකක්ද මේ වෙන්නේ කියලා"
"එහෙම නම් ඔය ලමයත් ඔහෙන් වාඩිවෙන්නකෝ" තාත්තා කිව්වේ ලඟම තිබුණ පුටුවට බරවෙන ගමන්.
"දෝණි..එනවා යන්න ගෙට" අම්මා මට සැර වුණා.
"දෝණි මෙතන ඉඳපුවාවේ. වෙන්නේ මොනවද කියලා අපි කාටත් වඩා දැනගන්න ඕන එයා" තාත්තා කිව්වා.
අම්මා ඒකට සතුටු නොවුණත් තාත්තට මුකුත් කියන්න ගියේ නෑ. ඒත් මාව මුර කරන්න වගේ මා ලඟම හිටගෙන උන්නා.
චේතියත් වාඩි නොවීම මගේ අනික් පැත්තෙන් හිටගෙන උන්නා. මම හොරැහින් ඔහු දිහා බලද්දි ඔහු තාමත් උන්නේ භූප දිහා එක එල්ලේම බලාගෙන.
"ඉතිං කියමුකෝ බලන්න දැන් ආපු කාරණාව" තාත්තා ඇහුවේ කලබලයක් නැති ගාණට.
ඒත් මම නම් උන්නේ පුදුමාකාර විදියට ගැහෙමින්. භූප මේ විදියට අපේ ගෙදරට ආයෙම එයි කියලා මම හීනෙකින් වත් හිතලා තිබුණේ නෑ.
භූප කතා කරන්න පටන් ගත්තේ ලොකු හුස්මක් අරන්. ඒත් මම උන්නේ හුස්ම අල්ලගෙන, ඔහු කියන්න යන්නේ මොනවද කියලා ඇහෙනකල්.
"මම ආවේ...දුලාරා ගැන කතා කරන්න" භූප එහෙම කිව්වා විතරයි එතන ඇති වුණේ මහා නොසන්සුන්තාවයක්.
"මොකක්?" අම්මයි, චේතියයි දෙන්නම ඇහුවේ එකට වගේ.
මම නම් තව ටිකක් බිරන්තට්ටු වුණා. ඒත් තාත්තා නම් කලබල වුණ වගක් පෙනුනේ නෑ.
"පොඩ්ඩක් ඉන්නකෝ...ඔව් ඉතිං?" තාත්තා අම්මට එහෙම කියලා ආයෙම භූප දිහා බැලුවා.
"මාමා දන්නවනේ අපි පොඩි කාලේ ඉඳන්ම හැදුනේ, වැඩුනේ එකට. මං හිතන්නේ මම දුලාරට ආදරේ කරන්න පටන් ගත්තේ මට ආදරේ තේරෙන කාලේ ඉඳලමයි..." භූප එහෙම කියලා මා දිහා බැලුවම මට දැනුනේ මගේ හිත කඩාවැටුණා වගේ හැඟීමක්.
"දුලාරා මට ආදරේ කරන්න පටන් ගත්තේ ඊට ගොඩක් පස්සේ වුණත්, එයා මට පුදුමාකාර විදියට ආදරේ කලා. ඒක මම දන්නවා. ඒ ආදරේ මගේ ජීවිතේ වගේ මට. මම තාමත් දුලාරට ගොඩක් ආදරෙයි. හැමදේම අපි නොහිතපු විදියට වුණාම, හැමෝගෙම හොඳට මම හිතුවා අපි වෙන වෙන එක තමා එකම විසඳුම කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. ඒක විසඳුමක් නෙවෙයි. මට දුලාරා දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ. මට දුලාරා නැතිව තවත් මේ විදියට ඉන්න බෑ. කොටින්ම මට මගේ හිත හදාගන්න බෑ වෙන් වෙලා ඉන්න"
භූප කියවගෙන කියවගෙන යද්දි, මගේ ඇස් වලින් කඳුලු නොනැවතී ගැලුවේ දුක හිත හිර කරවන තරම් වෙද්දි.
"තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ?"
එක පාරටම චේතිය භූප දිහාට කඩාගෙන පැන්නා. මම ඔහුගේ අතේ එල්ලුණේ අනවසරෙන්ම. තාත්තත් මෙවෙලේපුටුවෙන් නැගිට්ටා. ඒත් භූප හෙල්ලුණේවත් නෑ.
"තමුසේ දන්නවද තමුසේ මේ කරන්නේ මොකක්ද කියලා? වෙලාවකට නවත්තන්නයි, තව වෙලාවක පටන් ගන්නයි තමුසේ හිතන්නේ දුලාරගෙ හිත යකඩින් හදලා තියෙනවා කියලද? අනික දැනගන්නවා දුලාරා මාව බඳින්න කැමති වෙලා ඉවරයි"
චේතිය කෑ ගහද්දි, මම ඔහු දිහා බැලුවේ අදහාගන්න බැරිව. ඒත්...ඔහු කිව්වේ බොරුවක් නෙවෙයි. මම ඇත්තටම ඔහුට එහෙම කියලා තිබුනා. ඒ භූප ගැන මගේ හිතේ තිබුණ බය හන්දා.
"වුණේ මොකක්ද, ඇයි එහෙම වුණේ කියලා අපි දෙන්නම දන්නවා චේතිය. ලැජ්ජා නැති වැඩ කලේ මමද, තමුන්ද කියලා තමුන්ගෙන්ම අහලා දැනගනන්වා" භූප කිව්වා.
"හහ්...බලහල්ලකෝ කතාව. ලැජ්ජ වෙන්න ඕන කිසි දෙයක් මම කරලා නෑ. මම මොනා හරි කලා නම් කලේ දුලාරාගේ හොඳට. තමුසෙට පුලුවන්ද මම එයාට දෙන දේවල් වලින් දහයෙන් එකක් වත් එයාට දෙන්න? තමුසෙගෙ ඔය ෆොටෝ ගැහිල්ලෙන් ලෝකෙ හොල්ලන්න පුලුවන් කියලද හිතන්නේ?" චේතිය කෑ ගැහුවා.
"අනේ චේතිය..." මම පිංසෙණ්ඩු වුණා.
"මට ලෝකේ හොල්ලන්න ඕන නෑ. දුලාරට කන්න අඳින්න දෙන්න මට බැරිකමක් නෑ. ෆොටෝ ගහලා බැරි නම් කුඹුරක් කොටලා හරි ජීවත් වෙන්න මම දන්නවා" භූප කිව්වා.
මම භූප දිහා බැලුවේ කඳුලු පිරුණ ඇස් වලින්. මට ඔහු ලඟට දුවලා ගිහින් තුරුලු වෙන්න ඕන වුණා.
"දුලාරා...මට තවත් මේ කතා අහන්න බෑ. ඇයි නොකියන්නේ මාව බඳින්න කැමති වුණ වග?" චේතිය ඒ පාර හැරුණේ මා දිහාට.
මම ඔහු  දිහා බැලුවේ අසරණව. ඊට පස්සේ මම අම්මා දිහාත්, තාත්තා දිහාත් බැලුවා.
"මොනවද බලාගෙන ඉන්නේ? එහෙම දෙයක් පොරොන්දු වුණා නම් කියන්න ළමයෝ" අම්මා කිව්වෙත් සැරෙන් වගේ.
"දුලාරා...එදා මම කියපු දේ මතකයි නේ. මම වචන දෙකේ මිනිහෙක් නෙවෙයි. කිව්වොත් ඒ දේ කරන මිනිහෙක්. ඔයත් අන්න ඒ වගේ ඇති කියලා මම විශ්වාස කරනවා" චේතිය කිව්වේ හෙමින් ඒත් තර්ජනාත්මකව.
"දුලාරා" ඒ පාර භූපත් මට කතා කලා. මම ඒ පැත්තට හැරුණා.
"ඔයා බය වෙන්න එපා. ඔයාගේ හිතේ තියෙන දේ කියන්න ඔයා බය වෙන්න ඕන නෑ. මොනා වුණත් මම ඔයාට ඉන්නවා"  භූප කිව්වේ උන්නු තැනින් නැගිටින ගමන්.
"මොකක්ද උඹ කිව්වේ?"
ඒ පාර මාවත් පෙරලගෙන චේතිය පැන්නා භූප ලඟට. ඊලඟට වුණ දේවල් කොච්චර ඉක්මණට වුණාද කිව්වොත් මම දොර අල්ලගෙන නැගිටිද්දි, භූපයි, චේතියයි බිම පෙරලිලා එක පොදියට. තාත්තයි, පුබුදු අයියයි ඒ දෙන්නව වෙන් කරන්න උත්සාහ කරන්වා කෑ ගගහම.
"අනේ චේතිය අයියා එපා..." මමත් කෑ ගහගෙනම ඒ දෙන්න මැදට පැන්නා.
ඒ වෙද්දි තාත්තා යන්තම් චේතියව භූපගෙන් වෙන් කරගෙන. ඒත් චේතිය ගහන්න පනිනවා.
"මම උඹව තියන්නේ නෑ...!!!"
චේතිය ගහන්න පනිද්දි, පුබුදු අල්ලගෙන උන්නු භූප ආයෙමත් චේතියට ගහන්න පැන්නා. භූපගේ හිසේ පැත්තකිනුයි, නහයෙනුයි ලේත් ගලනව. ඒ මදිවට ඇහැ ලඟත් දම් පාට වෙලයි තිබුනේ.මට හීල්ලුණා.ඒ එක්කම මට ඇඬුණා. මම භූපයි, චේතියයි මැද්දට පැන්නේ කඳුලු වැටෙද්දිමයි. මට භූප දිහා බලන්න්වත් බැරි තරමේ දුකක් දැනෙමින් තිබුණා.
"එපා...අනේ එපා. භූප...දෙයියන්ගේ නාමෙට අනේ යන්න භූප. අනේ මෙහෙන් යන්න...යන්න...මට එන්න බෑ භූප...මට බෑ...ඔයා යන්න..."
"දුලාරා..." භූප මා දිහා බැලුවේ බය වෙලා වගේ.
"යන්න...මට ආදරේ නම් යන්න භූප..." මම පිංසෙණ්ඩු වුණේ ඔහුගේ අතක එල්ලිලා.
"දුලාරා...මම ඔයා නැතුව යන්නේ නෑ. මා එක්ක එන්න"  භූප කිව්වේ මගේ කම්මුලකින් අල්ලලා.
"දෝණි..." මට ඒ අතරේ ඇහුණේ අම්මගේ කෝපය පිරුණ කටහඬ.
"අඩියක් හෙල්ලුණොත් බලාගෙනයි" ඒ පාර චේතිය කිව්වේ මගේ අතකින් අල්ලගන්න ගමන්. මම ඒ අත ගසාදාන්න උත්සාහ කලත්, දඬු අඬුවක් වගේ තදින් ඔහු මාව අල්ලගෙනයි උන්නේ.
"අනේ යන්න භූප..."
"මට ආදරේ නම් මා එක්ක එන්න දුලාරා...මම ඔයාව අරගෙන යනවා සත්තයි..."
"උඹ පරයා.." චේතිය මගේ අතින් ඇදලා දාලා ආයෙම භූප ලඟට පනින්න හැදුවා.
"භූප...කරුණාකරලා මෙතනින් යන්න ළමයෝ. මෙතන කලකෝලාහල කරලා ගම හිනස්සන්න හදන්නේ ඇයි? ඕකද ඔය ළමයගේ ආදරේ? අපට අවමාන කරලද ඔය ළමයා ආදරේ දිනන්න්න යන්නේ? දැන් දෝණි කිව්වනේ එන්න බෑ කියලා, තවත් මොනාද අහන්න ඉන්නේ?" චේතියව අමාරුවෙන් නවත්තගෙන උන්නු තාත්තා කිව්වේ කෑ ගහලා වගේ. භූප ආයෙම මා දිහා බැලුවා.
"ඔයා එනවද, නැද්ද?"
භූප ඇහුවම මම තාත්තා දිහා බැලුවා. තාත්තා මා දිහා බලාගෙන උන්නත් ඒ ඇස්වල තිබුණේ කෝපයක් විතරයි. ඊලඟට අම්මා...අම්මගේ ඇස් වලින් ගිනි පිටවෙනවා වගේ. මට ඒ දෙන්නට අකීකරු වෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
"මට බෑ භූප....ඔයා  යන්න"
"මට ආදරේ නැද්ද දුලාරා...?"
"ආදරෙයි...මැරෙනකල්ම ආදරෙයි..." මම කිව්වේ අඬ අඬම.
"දුලාරා..."
"වරෙන් යකෝ යන්න..තවත් මොනාද අහන්න තියෙන්නේ?" පුබුදු අයියා භූපව ඇද්දා.
"දුලාරා..." භූප ආයෙම කෑ ගැහුවා.
"දුලාරා පලයන් ගෙට" ඒ පාර මාව ඇද්දේ අම්මා.
අවසඟව වගේ උන්නු මම අම්මා එක්කම ඇදිලා ගියා, භූපගේ අත අතෑරෙද්දි.
මම ගේ ඇතුලට ඇදිලා යද්දි මට යාන්තමට පෙනුණා ඇස් වලට වැටුණ හිසකේ අතරින් පෙනුණ භූපගේ ඇස් දෙක. ඒ ඇස් වල තිබුණේ පුදුමයක්ද? අදහාගන්න බැරිව වගේ ඒ ඇස් මා දිහා බලාගෙන ඉද්දි මම හිත් පිත් නැතුව වගේ අහක බලා ගත්තේ හිත කෑලි දහසකට විතර කැඩෙද්දි. අම්මා මාව කාමරේට තල්ලු කරලා දොර වැහුවා. මම දුවන්න උත්සාහ කලේ නෑ. දුවන්න මට පණක් තිබ්බෙත් නෑ. මම කලේ ඇඳේ වැතිරිලා හොඳටම අඬපු එක විතරයි. ඒ..තව සෑහෙන කාලෙකට මම භූපව දැකපු අන්තිම දවස...

5 comments:

  1. යාලුවන්ට මාව එපා වෙලා ඇති නේද? වැඩ ගොඩක් නිසාමයි කතාව කියන්න වුණේ නැත්තේ. සමාවෙන්න ඕන පරක්කු වුණාට. ඒත් කතාව අමතක වෙලා නැතුව ඇති කියලා හිතන්වා.
    අලුතෙන් පොත් ගුලට එකතු වුණ යාලුවන්වත් ආදරෙන් පිළිගන්නවා.

    ඔයාලට හැමෝම සුබ සති අන්තයක්!!

    ReplyDelete
  2. ඔබටත් සුබ සති අන්තයක්, මගේම මියැදුන බ්ලොගයනට යලි හුසම පොවන මම අදයි මෙහාට ආවේ, පස්සන කතාව මුල ඉදලා කියවන්න නං වෙලාව නෑ, හ්ම් දුලාරා මගෙත් එක කනාවක කතා චරිතයක්, ඉතිං ඔබට ජය වෙිවා.

    ReplyDelete
  3. අනේ.. තමන්ට අයිති ආදරේ බාහිර අය නිසා තීරණය කරන්න වෙන එක කොයි තරම් අවාසනාවක්ද.. කතාව මෙහෙම වුණාට නම් මං පොඩ්ඩක්වත් ආස නෑ.ඒත් නවකතාවක මෙහෙම වෙනව දකින්න අපි අකමැති වුණාට හැබෑ ජීවිතේ මේ වගෙ දේවල් කොයි තරම් වෙනවද... පුදුම ලෝකයක් තමයි!!!

    ReplyDelete
  4. ඔයා දිගම දිග නිවාඩුවක් අරගෙන අපිව බින්දුවටම වැටිටුවා නෙතු

    ReplyDelete