Sunday, March 16, 2014

පනස් හතරවන කොටස



මේ හොඳට තිබ්බ ජීවිතේ එක පාරටම කුණාටුවකට අහුවුණා වගේ හැඩිවෙලා ගිහින් තිබුණේ හිතාගන්න බැරි විදියට. චේතිය ගැන මට හිතන්න දෙයක් තිබුණේ නෑ. ඔහු ගැන හිතේ තිබුණ එකම දේ පිලිකුල විතරයි. ඒත් මට දරන්න අමාරුම දේ වුණේ භූපට එදායින් පස්සේ වුණේ මොකක්ද කියලාවත් දැනගන්න නැතිවුණ එකයි. ඒ සේරටම හරියන්න එක්ක අනුක් උන්නෙත් මා එක්ක තරහා වෙලා. ඒ ඔහුට නොකියා, ඔහු කියන දේ නාහා එදා මම ඉස්පිරිතාලේ ගිය හන්දා.
"මම කිව්වා ඔය ගමන යන්න එපා කියලා...ඇයි එහෙම කියද්දි කියද්දි ඔයා ගියේ? ඔයා ඇයි ඔය තරම් හිතුවක්කාර දුලාරා?" අවසරයක් ලැබුණ මුල්ම වෙලේම අනුක් කලේ මට දොස් කියපු එක.
මට මොනවත් කියන්න ඕන වුණේ නෑ. ඒ නිසා මම කලේ අහගෙන උන්නු එක විතරයි.
"මම එනකල් ඔයාට ඉන්න තිබ්බනේ. එහෙනම් මේක චේතිය අයියට ආරංචි වෙන්නේ නෑනෙ. දැන් ඉතිං සේරම කරලා ඉවරයි. දැන් හරි නේ. මේ සේරම ඔයාගේ තියෙන තේරුමක් නැති වැඩ නිසා. ඔයා ඕන දෙයක් කරගන්න දුලාරා. මට නම් මීට වඩා දෙයක් කරන්න බෑ. I am really disappointed…now I had enough. Yes.."
අනුක් යන්න ගියේ කලකිරීමෙන් වගේ. මම ඔහුට කතා කරන්න හිස ඉස්සුවත් ඔහු උන්නේ ඈතට ගිහින්.
හිතේ දුකක් නොතිබුණා නෙවෙයි ඒ ගැන. මොකද මේ ගෙදර මගේ දුක කියන්න මට උන්නේ අනුක් විතරයි. දැන් ඔහුටත් මාව එපා වෙලා. මම සුසුමක් හෙලුවේ හිත ටිකක් සැහැල්ලු කරගන්න. ඒත් භූප ගැන් හිතේ තිබුණ බර, දෙගිඩියාව, බය, ඒ සුසුමේ දිය කරන්න මට පුලුවන් වුණේ නෑ. හොඳ වෙලාවට ඉස්පිරිතාලෙදි වෙච්ච කිසිම දෙයක් අනුක්ලගේ ගෙදර අය දැනගෙන උන්නේ නෑ. එහෙදි චේතිය හැසිරුණේ මොනවත්ම නොවුණු ගාණට මා ගැන මවාගත්තු ආදරේකින්. ඒත් මට මේ සේරම තිත්ත වෙලයි තිබුණේ. මට ඕන වුණේ මේ සේරම දමලා ගහලා ගෙදර යන්න විතරයි.
ඊට පස්සේ ගෙවුණ මුලු සතියෙම වගේ චේතිය උන්නේ නුවර. ඒ නිසා මට උදේ හවා කැම්පස් යන්න වුණේ ඔහු එක්ක. හිතේ තිබ්බ කම්පනෙයි, දුකයි නිසාම මට ගෙදර යන්න තිබ්බ උවමනාව සතිය මැද වෙද්දි හොඳටම වැඩි වෙලයි තිබුණේ.
"අම්මා...."
මගේ හිතේ තිබ්බ ආවේගේ නිසාම මම බදාදා කෑම පැයේ කාසි දාන දුරකථනයකින් ගෙදරට කතා කලා.
"දෝණි...හානේ. මොකද මේ අද කවදාවත් නැතිව දවල් කතා කරන්නේ? කොහෙද ඔයා ඉන්නේ? අද නිවාඩුවත්ද?" අම්මා කතා කලේ දයාබරව.
මගේ උගුර හිර වෙලා ඇස් වලට කඳුලු පිරුවේ ඇසිල්ලකින්.
"නෑ...අම්මා. මට නිකං කතා කරන්න ඕන වුණා"
"හා ඒක මිසක්. ඒත් ඔයාගේ කට හඬත් අමුතු වෙලා නිසා මම හිතුවා අසනීපයක්වත්දෝ කියලා" අම්මා කිව්වා.
"අම්මේ...මට ගෙදර එන්න ඕන” උගුර තවත් හිර වෙන්න කලින් මම කියාගත්තේ මට ඇඬෙන්නම ආපු නිසයි.
"මේ අද, ඇයි දෝණි, මොකක් හරි හදිසියක්ද?"
"නෑ...සිකුරාදට. හදිසියකට නෙවෙයි. අක්කවත් මට බලන්න ඕන" මම කිව්වා.
"අනේ ඉතිං එනවනන් කොච්චර එකක්ද? අක්කට දින තියෙන්නේ ලබන සතියේ. ඒත් දැන් කාලේ හරි හන්දා කොයි වෙලේද කියන්න බෑ. ඔයා එහෙමනම් සිකුරාදට එන්න දෝණි. චේතිය ඔයාව ගෙනැත් ඇරලයි නේද?"
"මට චේතිය එක්ක එන්න බෑ. ඇයි මම එයා එක්ක එන්නේ? අනික එහෙම හැමදාම කෙනෙක්ට කරදර කරන්න බෑනෙ. කිව්වොත් එන්නේ වැඩ සේරම දාලා. ඊට පස්සේ ඒ පාඩු වෙන ඒවා? අනේ අම්මා මම තනියෙම එන්නම්. මට තනියෙම එන්න පුලුවන්" මම අම්මට පිංසෙඩු වුණා.
"තනියෙම එන්නේ කොහොමද? මට අයියගෙන් මෙහේ විසුමක් වෙන එකක් නෑ" අම්මා කිව්වා.
"එහෙනම් තාත්තට එන්න කියන්න බැරිද?" මම ඇහුවා.
අම්මා එක පාරටම මුකුත් නොකියා උන්නේ මොකක්ද කරන්නේ කියලා කල්පනා කරපු නිසා වෙන්න ඇති.
"මම තාත්තට කියලා බලන්නම්. දැන් නම් ගෙදර නෑ...ආවම කියලා මම රෑට කෝල් එකක් දෙන්නම්"
"හා...අම්මේ තව තප්පර දහ අටයි තියෙන්නේ, දැන් කට් වෙයි. අනේ අම්මේ මතක් කරලා කියන්න තාත්තට. තාත්තා නාවත් මම තනියෙම හරි එනවා..." මම කියාගෙන යද්දි ෆෝන් එක කට් වුණා.
මම රිසීවරේ තියලා සුසුමක් හෙලලා ලඟ උන්නු චතූ දිහා බැලුවා.
"ගෙදර යන එක හොඳයි" ඈ කිව්වේ එච්චරයි. කොහොමින් හරි ඒ පාර හිතේ තිබුණේ පුංචි සහනයක්. ඒ සිකුරාදා දවස එනකල් බලා ඉන්න මට දැන් බලාපොරොත්තුවක් තිබුණ නිසා.

හවස ලෙක්චර්ස් ඉවර වෙලා මම පොලොන්නරුවේ ලොකු මාර ගහ යටට ආවේ චේතිය සාමාන්‍යයෙන් එන්නේ එතනට නිසා. ඒත් ටික වෙලාවකින් මා ලඟට ඇවිත් නැවැත්තුවේ අනුක්ගේ වාහනේ. මම එක පාරටම මොකවත් හිතාගන්න බැරිව අනුක් දිහා බැලුවා.
"නගින්න" අනුක් කිව්වේ මා දිහා යන්තම් බලලා.
"කෝ චේතිය?" මම නොනැගම ඇහුවා.
"හදිසියක් වෙලා කොලඹ යනවා කිව්වා" අනුක් කිව්වේ ඕනවට එපාවට වගේ.
"මම බස් එකේ එන්නම්. ඔයා යන්න"
මම හිතේ පිරුණ හිතුවක්කාර කම නිසා එහෙම කිව්වා. මෙච්චර දෙයක් වුණාට පස්සෙත් ඔහුට මගේ පැත්තෙන් හිතන්න බැරි වුණානේ කියලා ඔහු ගැන පුංචි තරහක් මගේ හිතේ ලියලලා තිබුණා. ඒ පාර අනුක් වචනයක් වත් නොකියා වාහනේ රේස් ක්‍රගෙනම එතනින් යන්න ගියේ මම නොහිතපු විදියට. චතූලත් ගිහින් උන්නු නිසා එවෙලේ එතන මම උන්නේ තනියෙම. හිතේ දුකක් පිරුණත් මම හිත තද කරගෙන බස් නැවතුමට එන්න ආවා. ඒත් මම ඈට එනකොටම බස් එකක් ගිය නිසා ආයෙම බස් එකක් පේනතෙක් මානෙකවත් තිබුණේ නෑ. හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුණත් අනුක් ආඅපහු එයි කියලා, විශ්වාස කරන්න ඔහු ආවේ නෑ. බස් දෙකක්ම යනකල් බලාගෙන ඉඳලා මම බැරිම තැන ඊලඟ බස් එකේ නැගලා එන්න ආවා. මම කන්ද නැගලා ගේ ලඟට එද්දි හයටත් ලං වෙලා. අනුක්ට මොනවා කිව්වත් මේ විදියට ගෙදරට යන එක ගැන නම් හිතේ තිබුණේ පොඩි සංකාවක්.
මම එද්දි අනුක්ගේ කාර් එක ගෙදර මිදුලේ නවත්තලා තිබුණා. ඒ කියන්නේ අනුක් ගෙදර ඇවිත්.
"ආ...මෙන්න මේ ළමයා යන්තම් ආවා" මම ගෙට යද්දිම ඉස්සරහට ආවේ ගෝතමී අක්කා.
"අනේ අපි ඒත් බල බල හිටියේ. ඔයා බස් එකේද ආවේ?" උත්පලා අක්කත් එතනට එන ගමන් ඇහුවා.
"ඔව්" මම කිව්වේ වෙන්නේ මොනවද කියලා මුකුත් හිතාගන්න බැරුව.
"චේතිය දන්නවානම් මෙතන නටයි" ගෝතමී අක්කා කියද්දි අනුක් කොහේදෝ ඉඳලා සාලෙන් මතු වුණා. මම අහක බලාගත්තා.
"අපේ මල්ලිටත් පිස්සු අනේ. මේ ලෝකේ සිහියක් නෑ. එයා හිතලා තියෙන්නේ අදත් චේතිය එනවා කියලා. මම මේ යකාට sms එකකුත් යැව්වා. අනේ ඔයා පව්" ගෝතමී අක්කා කිව්වේ මාවත් ඇදගෙන ගේ ඇතුලට යන ගමන්.
"ආ...ඒකට කමක් නෑ අක්කා. මට බස් වල ගිහින් පුරුදුයි" මම කිව්වේ අනුක්ට රිද්දන්න නෙවෙයි, ඇත්තටම.
"ඔයා යන්න පැටියෝ ගිහින් වොෂ් එකක් දාගන්න. මම ලතා අම්මට කියන්නම් තේ එකක් හදලා දෙන්න කියලා" උත්පලා අක්කා මගේ හිස අතගාලා කිව්වා.
මම කාමරේට ආවේ අනුක් දිහාවත් නොබලා. ඔහු දැක්කම හිතේ කොනක් රිදුම් දුන්නා වුණත්, මට ඕන වුණේ හිතුවක්කාර වෙන්නමද මන්දා.
මම මූණ කට හෝදගෙන එද්දි ලතා අම්මා මට තේ එකක් අරගෙන ඇවිත් තිබුණා. මම තේ එක බීලා ඉවරවෙන්නත් කලින්ම ලතා අම්මා ආයෙම මගේ කාමරේට ආවේ සාලේ phone එකේ reciever ඒකත් අතින් අරගෙන.
"නෝනට call එකක්" ඈ කිව්වේ හෙමින්.
"කවුද?"
මම එහෙම අහගෙනම ෆෝන් එක ගත්තේ ලතා අම්මා උත්තරයක් දෙන්නත් කලින්ම.
"හෙලෝ"
මම කතා කලේ නික්මට වගේ ඒ තාත්තාවත් වෙන්න ඇත්දෝ කියලා හිතමින්.
"නපුරි...නපුරි නපුරි නපුරි..."
එහා පැත්තෙන් ඇහුණේ අනුක්ගේ හඬ. මම මොහොතකට ගොලු  වුණා. ලතා අම්මා යන්න ගියා.
"ඇයි මෙච්චර මට රිද්දන්නේ?" අනුක් ඇහුවා ආයෙම.
"මමද?" මම ඇහුවේ ඇස් උණුසුම් වෙද්දි.
"එහෙනම් මමද?" අනුක්ගේ හඬේ තිබ්බේ මොකක්දෝ දුක්බර බවක්.
"මට කතා කරන්න ඕන නෑ" මම කිව්වේ ඇත්තටම නම් නෙවෙයි.
"ෆෝන් එක තිබ්බොත් ආයේ ජීවිතේටම කතා කරන්නේ නෑ මම" අනුක් මට කිව්වා.
"මම තර්ජන වලට බය නෑ. මට ඒවා හොඳට පුරුදුයි"
"ඔයා හිතන්නේ හැමෝම චේතිය වගේ කියලා. ඒකයි ඔයාගේ තියෙන ලොකුම වරද" අනුක් චෝදනා කලා.
"නෑ...ඒක විතරක් නෙවෙයි. මිනිස්සුන්ව ඕන්වට වඩා විශ්වාස කරන එක. හැමදේම එයාලට කියන එක, දුකක් වුණාම තේරුම් ගනී කියලා හිතන එක...අන්න වත් මගේ වැරදි තමයි..."
"මම එපා කියද්දි ඔයා ගියාම, ගිහිල්ලා සේරම අවුල් කරගත්තම මට තරහා යන්නේ නැද්ද? මම සේරම ප්ලෑන් කරලා ලෑස්ති කලේ කොච්චර අමාරුවකින්ද?"
"දැන් ඒක ඉවරනේ... ආයෙම මම වෙනුවෙන් පුංචි මහත්තයා මොනවත් කරන්න ඕන නෑ. මට උදව් කරන්න ඔයාට බෑ..."
"දුලාරා..."
"මම ආයෙම ඔයාගේ කාර් එකේ එන්නෙත් නෑ. මට බස් වල කෝච්චි වල ගිහිල්ලා විතරක් නෙවෙයි, පයින් ගිහිල්ලත් හොඳට පුරුදුයි...අද දාලා ආවා වගේ දිගටම එන්න" මම කිව්වේ ඇස් කෙවෙණි තෙත් වෙද්දි.
"මමද ආවේ? එතකොට මමද ඒකටත් වැරදි? මට යන්න කිව්වේ ඔයාම නෙවෙයිද?"
ඔහු එහෙම ඇහුවම මම නිරුත්තර වුණා මොහොතකට.
"ඒ මොනා වෙලා හරි, මිනිස්සු කවුද කියලා මම අඳුනාගත්තනේ..."
"දුලාරා..." අනුක් සැර වුණා. "ඇයි මෙහෙම පිහියෙන් අනිනවා වගේ දේවල් කියන්නේ. දුලාරා මටත් තියෙන්නේ හිතක්. පණ තියෙන, රිදෙන හිතක්"
"ඒක තමයි මම කියන්නේ. අපි අතේ දුරින් ඉමු. එතකොට ඔයාට දුකකුත් නෑ, මට දුකකුත් නෑ අපට පාඩුවකුත් නෑ" මම කිව්වා.
"ඔයා කොහොමද ඔච්චරම නපුරු වුණේ?"
"මම නපුරු නෑ අනුක්..."
"ඔයාට මා එක්ක තරහා වෙලා ඉන්නද ඕන?" අනුක්ගේ හඬේ ඒ පාර තිබුණේ දැඩි ගතියක්.
"‍යාලු ඕනත් නෑ, තරහා ඕනත් නෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම මෙහේ තව ගොඩ කල් ඉන්නේ නෑ. ඒ ඉන්න ටික මට මෙහෙම ඉන්න දෙන්න"
අනුක් අහගෙන උන්නා විතරයි. ඒත් ඒ හිතේ තෙරපෙන දුක මටත් දැනුනාවත්ද? මගේ හිත තිබුණටත් වඩා දුකින් බර වෙලා තිබුණා දැන්. අන්තිමට ඔහුගේ සුසුම් හඬක් අනෙක් පැත්තෙන් මට ඇහුණා.
"ඔයා කැමති දෙයක් කරන්න...කමක් නෑ" ඔහු එහෙම කියලා ෆෝන් එක තිබා  එහා පැත්තෙන් "ඩක්" ගාලා. මගේ හිත කඩා වැටුණා වගේ මට දැනුනා. අඬන්න තරම් දුකක් හිතේ පිරිලා තිබුණා.ඒ මම දැනගෙන උන්නේ නෑ ඒ ඇයි කියලා.
ඒක උඩ තට්ටුවට වෙලා වහල දිහා බලාගෙන සිවිලිං ගණින අනුක් වුණත් දැනගෙන උන්නද කියලා මම දන්නේ නෑ. එහෙම නැත්තම් අපි ඒක තේරුම් නොගත්තාවද?
අනුක් රෑට කන්නවත් පහල තට්ටුවට ආවේ නැතුවම මගේ හිතේ අමාරුව තවත් වැඩි වුණා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ.
"මල්ලි නැත්තේ මොකෝ අද කන්න?"
අපි කෑම මේසෙට වාඩි වෙලා ටිකකින් වගේ එතනට ආපු ගෝතමී අක්කා ඇහුවම උත්තර දුන්නේ ලතා අම්මා.
"කන්න බෑ කියලා ආන්න නිදි. මම තව ටිකකින් කිරි එකක් හදලා ගිහින් දෙනවා නෝනේ"
"ඇයි එයාට මොනා වෙලාද, මොකක් හරි අසනීපයක්ද?" උත්පලා අක්කා ඇහුවා.
"හිස කකියනවලු"
"හ්ම්...පව්. එක්සෑම් අනං මනං වලට මහන්සිත් වෙනවනේ...මං කෝකටත් බලලා එන්නම්" ඒ පාර කෑම කන එක පැත්තක දාපු උත්පලා අක්කා මේසෙන් නැගිට්ටා.
"කන්න ගත්තු එක කාලා යන්නකෝ" යශෝ අක්කා කිව්වා.
"මම බලලා එන්නම්. දන්නවනේ එයාගේ හැටි. කවුරුත් බැලුවේවත් නෑ කියලා දුක හිතයි" එහෙම කිය කියම උත්පලා අක්කා උඩ තට්ටුවට යන්න ගියා.
කෑම මේසේ ඉඬහ්ගෙන උන්නු මම උන්නේ ගොඩක් අපහසුවකින්. අනුක් ගැන ඇහුවම මට කන්න තිබුණ පිරියත් නැති වුණා වගේ.
"මොකද ඔයා ඒ පාර කෑම එක අන අන ඉන්නේ? යාලුවට හිස කකියන්වා කිව්වම ඔයාටත් කන්න එපා වුණාද?" හැමදාකම වගේ ඒ වගේ අමුතුම කතාවක් කිව්වේ ගෝතමී අක්කා. ඈ ඊට පස්සේ හිනා වෙද්දි මමත් හිනාවුණේ අඬන්න බැරි නිසා.
"නෑ එහෙම එකක් නෑ"
මේ අතරේ මගේ වෙලාවටදෝ ෆෝන් එක නාද වෙන්න ගත්තා. කතා කලේ අපේ ගෙදරින් තාත්තා.
"අම්මා කිව්වා ඔයාට ගෙදර එන්න ඕන කිව්වා කියලා" තාත්තා කිව්වා.
"ඔව් තාත්තේ. කාලෙකින් ගෙදර එන්නත් බැරි වුණානෙ"
"හ්ම්...ඒක නම් ඇත්ත. දැන් පොඩි පුතාත් ගෙදර එන්නේ කලාතුරකින්. ගෙදර කවුරුවත්ම නෑ අර සෙනුරි දුව ඉඳ හිට ඇවිත් යනවා ඇරෙන්න. එහෙම නම් මම සිකුරාදට එන්නම්. ගෙදරට එන්න ඕන නෑනෙ. මම කැම්පස් එක ලඟට එන්නම්කෝ තුන විතර වෙද්දි. අපට එතකොට තුන් හමාර කෝච්චී ආහැකි"
"හා තාත්තේ"
ඊට පස්සේ අම්මා ගෝතමී අක්කටත් කතා කලා. ඒ මම ගෙදර යන වග කියන්නයි, වෙන්ඩ ලේලිගේ දුක සැප අහන්නයි.අන්තිමේදි කොහොම හරි මට ගෙදර යන්න ලැබෙන එක හිතට එකතු කලේ පොඩි අස්වැසිල්ලක්.
 පහුවදා මම කැම්පස් බෑග් එකේම ඇඳුම් දෙකකුත් ඔබාගෙන උදේ එන්න පිටත් වුණේ එද හවස ගෙදර යන එක ගැන හිතමින්.
"ඉරිදා එනවා නේද?"
එහෙම ඇහුවේ උත්පලා අක්කා. ඊයේ කෝල් කරපු වෙලේ අම්මා මම ගෙදර එන වග අක්කලට කියලා තිබුණා.
"එන්න බලනවා" මම කිව්වා.
"ඔයා මෙහේම ඉඳලා ඉඳලම දැන් හරියට ඔයා අපේම කෙනෙක් වෙලා. ගියාම හරි පාලුයි අපට" උත්පලා අක්කා කියද්දි අනික් දෙන්නත් හිස වැනුවේ ඒක එහෙමයි කියන්න වගේ.
"කෝ අනේ මේ මල්ලි?" අපි හිටගෙන ඉන්න අතරේ අනුක් පරක්කු වෙන නිසා නො ඉවසිලිමත් වුණ ගෝතමී අක්කා වට පිට බැලුවා.
"මම උදේ නැගිටලා ඉන්නවාවත් දැක්කේ නෑ. ලතා අම්මා...." ඒ පාර යශෝ අක්කා ලතා අම්මව හොයන්වා.
"මේ එනවා නෝනේ"
"කෝ මල්ලි නැගිටලද? තේ එක දුන්නද?"
"ඔව් නෝනේ...මම අවදි කලා"
"හරි හරි...ලතා අම්මා යන්න මම බලන්නම්" උත්පලා අක්කා කිව්වා.
අපි තව විනාඩි පහක් විතර එහෙම ඉන්න ඇති. ඊට පස්සේ රෑ ඇඳුම පිටින්ම පහල තට්ටුවට ආපු අනුක් දැක්කම පුදුමයක් එක්කම මගේ හිතට පිවිසුණේ දුකක්.
"අද  යන්නේ නැද්ද?" යශෝ අක්කා ඇහුවේ පුදුමෙන්මයි.
"යන්න බෑ වගේ අක්කා...මම මේ එක කියන්නමයි පහලට ආවේ. අද driver සීයා එක්ක දුලාරට යන්න කියන්න වෙයි" අනුක් කිව්වේ මා දිහාවත් නොබලා.
"ඕන නෑ අක්කා මට බස් එකේ යත හැකි" මම ඉක්මණින් කිව්වා.
"පිස්සුද? ඉන්න මම සීයව බලලා එන්නම්" එහෙම කියාගෙන යශෝ අක්කා ගියා සීයව හොයන්න.
"ඔයාට මොකද මල්ලි ඇත්තටම? උණ වගේද?" උත්පලා අක්කා ඇහුවේ දයාබරව.
"ඔව් පොඩ්ඩක් ඇඟට හරි නෑ"
"හ්ම්.. එහෙනම් අද දවල් ගිහින් බේත් ටිකක් ගමු"
උත්පලා අක්කා එහෙම කියද්දි මම උන්නේ අනුක් දිහා බලාගෙන. ඔහු මා දිහා හොරෙන් බලනවා මට පෙනුනා.
"සීයා විනාඩි පහකින් එයි" ආපහු යශෝ අක්කා අපි අසලට ආවේ එහෙම කියාගෙන.
"මේ ඒක නෙවෙයි නංන්ගියෝ, ගෙදර ගිහින් එද්දි අම්මට කියලා කන්න දෙයක් හදාගෙන එන්න ඈ. අම්මා හදන වැලි තලප හෙම හරි රහයි" ඒ පාර ආයෙම මා දිහාට යොමු වුණ ගෝතමී අක්කා කිව්වේ හදිසියේ ඒක මතක් වෙලා වගේ.
"හා හා" මම කිව්වේ හිනාවෙලා.
"ගෙදර?" ඒ ඇහුවේ අනුක්.
"ඔව්. ඔයාට කිව්වේ නැද්ද? හපොයි හරි අපූරු යාලුවෝ දෙන්නෙක් නේ මේ දෙන්නා. ඔයා කිව්වෙත් නැද්ද?" 
ගෝතමී අක්කා එහෙම ඇහුවම මම බිම බලාගත්තා.
"කොහොමද යන්නේ, චේතිය අයියා එනවද?" අනුක්ගේ හඬේ ඒපාර තිබ්බේ කලබලයක් වගේ.
"දුලිතලගේ තාත්තා එනවා හවස" මං වෙනුවෙන් උත්තර දුන්නේ ගෝතමී අක්කා.
මේ අතරේ ලහි ලහියේ එලිය පැත්තෙන් අපි උන්නු දිහාට ආපු driver සීයා නිසා ආයෙම අපේ කතාවට බාධා වුණා.
"කාර් එක ලෑස්තියි පුංචි නෝනා"
"එහෙනම් මම ගිහින් එන්නම්. හවස තාත්තා ආවාම එහෙමම යනවා" මම ආයෙම අක්කලාගෙන් සමු ගනිද්දි, අනුක් මා දිහාම බලාගෙන උන්නේ වික්ෂිප්ත වෙලා වගේ.
"ගිහින් කෝල් එකක් දෙන්න පැටියෝ" උත්පලා අක්කා කිව්වා.
"ඔව් ඔව්. අනේ පරෙස්සමින් ගිහින් ඉක්මණට එන්න එහෙනම්"
"හා අක්කේ...මම ....යන්නම් අනුක්"
මම අන්තිමට අනුක්ට කිව්වේ, කොච්චර හිත් අමනාපකම් තිබ්බත් ඔහුට නොකියා යන්න මට බැරි හන්දා. අනුක්ගේ දෑස් වල තිබුණේ මට කියවාගන්න අමාරු හැඟීම් ගොන්නක්. ඒත් ඔහු ඉන්පස්සේ එක පාරටම මගේ දෑස් මගෑරලා අහක බලාගත්තේ 'ඔයා ඕන දෙයක් කරන්න' කියන්නා වගේමයි.
හිතේ දුක ආපහු අලුත් වෙද්දි මම හැරිලා එන්න ආවා. මේ හැඟෙන, දැඑනන හැඟීම් ඇති වෙන්නේ ඇයි කියලාවත්, නැති කර ගන්නේ කොහොමද කියලාවත් මම දැනගෙන උන්නේ නෑ. අනුක් නිසා ඇයි මගේ හිත මෙච්චර දුක් ගන්නේ කියලත් මම දැනගෙන උන්නේ නෑ. භූප හන්දා දහස් වාරයක් තැවි තැවී තිබ්බ හිත අනුක් හන්දා තව ටිකක් වැඩිපුර තැවෙන්න පටන් අරන් තිබුණා. මට සුසුමක් හෙලුණේ ඉබේටම. පුරුද්දට වගේ ආපහු ගෙදර දිහා හැරිලා බැලුවම හිත තවත් ටිකක් පෑරුණේ මිදුලටම ඇවිත් කාර් එක යන දිහා බලාගෙන උන්නු අනුක් දැක්කම. ඇස් වලට කඳුලුත් පිරුණා අසිල්ලකින්. අනුක් ගැන මගේ හිතේ උපන්නේ දුකක්. ඇත්තටම ඔහු කියන්නා වගේ ඔහුට නපුරුකම් කරන්නේ මම නේද කියලා මට ආපහු හිතුණා. ජීවිතේ අපි ඇති කරගන්න්  මේ බැඳීම් කියන්නේ මොන තරම් දුකක්ද? අනුක්ට දුක කියන්න ගිහින් අන්තිමට අද මේ අපි දෙන්නම දුක් වෙන්නේ ඒ බැඳීම් නිසාමයි. හිතේ කොනක පොඩි බයක් නොතිබුණා නෙවෙයි අනුක් මොන දෙයක් මා ගැණ හිතාගෙන ඇතිද කියලා. ඒත් ඇත්තටම මම ඒ ගැන තව හිතන්න බය වුණා. ඒ සිතිවිල්ල මතක්වත් නොකර ඉන්න මම උත්සාහ කලේ ඒකයි. 'ඇත්තටම කොහේදෝ උන්නු අනුක් මගේ ජීවිතේට මේ තරම් කොහොමලං වුණාද?'

4 comments:

  1. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ කොටසක් පල කලා. පහුගිය දවස් වල මාර විදියට වැඩ. ඒ නිසාම ලියන්න වෙලාවක්වත්, මූඩ් එකකවත් තිබුණේ නෑ.

    පොත් ගුලේ යාලුවෝ නම් මම දන්නවා නො ඉවසිලිමත් වෙලා ඉන්න ඇති කියලා. ඉතිං කල් ගියාට සමාවෙන්න හොඳේ. මම පුලු පුලුවන් විදියට කතාව දාන්න බලන්නම්. බැරිම තැනද කොහෙද මදූ කමෙන්ට් එකක දාලා තිබුණා මට මතක් වෙන්නත් එක්කම. ඉතිං ඒ අදහස් හැම එකකටම ගොඩක් ස්තුතියි යාලුවනේ...

    ශුබ සතියක් වේවා හැමෝටම...

    ReplyDelete
  2. ලස්සනයි අක්කේ කතාව.. මට නම් හරි කේන්තියි මෙහෙම මිනිස්සුන්ට අනුන්ගෙ තීරණ මත තමන්ගෙ ජිවිත දිය කරන්න සිද්ද වෙන එක ගැන!

    ReplyDelete
  3. so romantic nethu. thank you very much you conceder my comment. but don't take much distance for next.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete