Friday, November 8, 2013

අවසරයි ලං වෙන්න: විසි තුන්වන කොටස



"දෝණි...දැන් ඔය බෙදුවා මදෑ.. ඔය දෙන්නත් කන්න"
ගොයම් කැපිල්ලට ආපු ගොඩක් දෙනා කාලා ඉවර වෙලා පොඩ්ඩක් ගිමන් හරින වෙලාවේ, අපේ අම්මා එහෙම කිව්වේ මටයි, කේතකීටයි දෙන්නටම.
"කෑම බෙදලම බඩගිනි නැති වෙලා නැන්දේ" කේතකී කිව්වේ මම කෙහෙල් කොල දෙකක් අතට ගන්න වෙලාවේ. මම නම් හිටියේ යකෙක් කන්න තරම් බඩගින්නේ.
"ඔයා හරි බඩ්ඩ තමයි, අයියට එක දෙයක්වත් බෙදන්න ආවේ නෑ. මොකෝ...අම්මලට දැනේවි කියලා බයටද?"
කේතකී ඇහුවේ අපි දෙන්න කුඹුක් ගහ යට කන්න වාඩි වුණ වෙලේ. මම ඒකට උත්තරයක් නොදීම කන්න පටන් ගත්තා. ඇත්තටම මම භූප උන්නු දිහාට නොගියේ, පොඩි අයියයි,  චේතියයිත් උන්නේ ඔහු එක්කම හන්දා. මට ඕන වුණේ චේතියට පුලුවන් තරම් දුරින් ඉන්න.
"ඔයාට නම් අද මොකාක් හරි වෙලා දුලා. කසාය බීපු ගොලුවා වගේ නො ඉඳ කියන්නකෝ මොකක්ද අවුල කියලා" කේතකී ඒ පාර කිව්වා.
"එහෙම මුකුත් නෑ අනේ" මම බොරුවක් කිව්වා.
"ඒක නෙවෙයි, කවුද අර අයියලා එක්ක ආපු අනික් ගැටයා? නෑයෙක්ද?" ඒ පාර කේතකී මගෙන් ඇහුවේ ඈත අයියාලා එක්ක කදේක උන්නු අනුක්ව පෙන්නලා.
"චේතියගේ නෑයෙක්ලු. ගොයම් කැපිල්ලට එක්ක ඇවිත් තියෙන්නේ" මම කිව්වා.
"හනෙ මෙහෙමත් හාමුලා...බත් කන්න විතරයි දන්නේ. ඒවා මුලින් හැදෙන්නේ කොහෙද, හදන්නේ කොහොමද කියලාවත් දන්නේ නැති කොල්ලෝ නේ අපේ රටේ ඉන්නේ හැබෑට" කේතකී කිව්වේ මහා ආච්චි අම්ම කෙනෙක් වගේ.
"හාපෝ මෙයා හරියට ආච්චි අම්මා කෙනෙක් වගේ. රටේ හැමෝටම කුඹුරු නෑනෙ. අහිංසක කොල්ලන්න අනං මනං නොකියා ඉන්න කේතකී" මම කිව්වේ හිනා වෙවී.
"හා....මෙන්න මෙයාටනේ අමාරුව. මොකද දන්නෑ.. ඉන්නවකෝ මම අයියට කියන්න" කේතකී ඇදලා පැදලා කිව්වා.
"මොනාද මට කියන්නේ?" එක පාරටම ඒ සද්දේ ඇහුණේ අපි දෙන්නගේ පිටිපස්සෙන්. කන්න ගත්තු කට මට පිට උගුරේ ගියා ගැස්සුන  ගැස්සිල්ලට.
"ආ...කෝ පිට උගුරේ ගියාද...ඉන්න ඉන්න මම වතුර ටිකක් ගේන්නම්"
කේතකී මගේ පිටට ගහන් වෙලාවේ භූප දිව්වා වතුර ගේන්න. වතුර අරන් එද්දිත් මට පොඩ්ඩක් කැස්ස. ඇස් වලින් කඳුලුත් පිට පැනලයි තිබුණේ.
"මේක බොන්න...මදෑ, පුදුම කරන්න ආවා" භූප කිව්වේ මට වතුර එක දෙන ගමන්.
පිට උගුරේ ගිය හන්දද මන්දා මට කන්නත් එපා වුණා.
"මම තව මාලු ටිකක බෙදාගෙන එන්නම්. ඔයාට මොනා හරි ඕනද දුලා?" කේතකී එතනින් යන්න නැගිට්ටේ අපි දෙන්නට පොඩ්දක් තනි වෙන්න ඉඩ දෙන්න කියලා මම දැනගෙන හිටියා.
"මුකුත් එපා"
කේතකී යන්න ගියාට පස්සේ භූප උන්නේ මගේ අසලින්ම වගේ ඇනතියාගෙන බාගෙට වාඩි වෙලා.
"මට කෑම මොනවත්ම බෙදන්න ආවේ නෑනෙ" භූප ඇහුවේ හෙමින්.
"ඒ වුණාට කෑවනේ  නේද?" මම ඇහුවේ විහිලුවට වගේ.
"කෑවා තමා. බඩගින්නේ ඉන්න පුලුවනෑ. ඔයා ඒවි කියලා හිටියා නම් තාම ඉන්නවා"
"ඒකනේ"
"ඒ වුණාට මම බලාගෙන හිටියා එයි කියලා" භූප එහෙම කිව්වම මට දුක හිතුණා.
"මං ආවේ නැත්තේ එතන චේතිය උන්නු නිසා" මම හෙමින් කිව්වා. භූපට ඒ දේ නොකියා ඉන්න මට උවමනා වුණේ නෑ.
"ඈ...ඒ මොකද? එයා ඔයාට මොනා හරි කිව්වද?"  භූප ඒ පාර කලබල වෙලා.මම සුසුමක් හෙලුවා.
"තාම නම් මුකුත් කිව්වේ නෑ. ඒත් ඔයා දන්නවනේ එයාගේ කට. මම ආස නෑ කට්ටිය ඉන්න තැන මට විකාර දේවල් කියනවට. ඒකයි. අනික අද එද්දි මට එන්න වුණේ එයා එක්ක. එයා මොනාම හරි කියන්න හැදුවා. ඒත් මම නෑහුණා වගේ එන්න ආවා"
මට තේරුණා භූප ඉන්නේ තවත් කලබල වෙලා බව.
"මොනාද කියන්න හැදුවේ?"
"ඉතිං ඔයා කලබල වෙලානේ" මම පුලුවන් තරම් හෙමින් කිව්වේ, වට පිට බලන ගමන්.
"මම පස්සේ විස්තරේ කියන්නම්. ඔයා යන්න භූප. කවුරුහරි දැක්කොත් හෙම හරි නෑනෙ" මම කිව්වේ අපේ අම්මාවත් කොහෙන් හරි මතු වෙයිද කියලා බල බල. හොඳ වෙලාවට මෙවෙලේ අයියලා පේන්න හිටියේ නෑ.
"මාව පිස්සු වට්ටන්නේ නැතුව වුණ දේ කියන්න දුලාරා" භූප එහෙම කිව්වේ තදින්.
මම ඔහු දිහා බැලුවා. ඒ මූණ තරහෙන්ද කොහෙද කලු වෙලා.
"ඉතිං ඔයා තරහා ගන්නවනේ" මම කිව්වේ දයාබරව.
"තරහා නොගෙන මට නටන්නද කියන්නේ. මොනාද ඒ යකා කිව්වේ?" භූප එහෙම ඇහුවේ තදින්. මම ආයෙම ගැස්සුනා.
"අනේ තරහා ගන්න එපා භූප. මං මොනා කරන්නද? එයා කිව්වේ...මට මොනාදෝ කියන්න තියෙනවා කියලා. මම ඒකට ඉඩ නොදී ඉක්මණට එන්න ආවා. වෙන මොනවත් වුණේ නෑ. ඇත්තමයි" මම එහෙම කියද්දි මගේ ඇස් වලට කඳුලුත් පිරුණා.
භූප ලොකු සුසුමක් හෙලුවා. මම කෙහෙල් කොලේ ගුලි කරලා අහක බලාගෙනම උන්නා. අපි අතරේ විනාඩියක විතර නිහැඬියාවක් තියෙන්න ඇති.
"ඔය කාලා ඉවරද?" ඒ පාර භූප ඇහුවේ තරමක් නිවුණ හඬින්.
"ඔව්" මම එහෙම කියද්දි මගේ හඬ වෙව්ලුවා.
භූප ආයෙම සුසුමක් හෙලුවා.
"සොරි දුලාරා...මට ඔයත් එක්ක තරහා ගියා නෙවෙයි. සොරි...හොඳ ලමයා වගේ තව ටිකක් හරි කන්න"
"මට කෑවා ඇති" මම කිව්වේ ඔහුගේ වචන වලින් තවත් මාව හැඬුම්බර වෙද්දි.
"ඉතිං හිතුවක්කාර වෙන්න එපා" භූප ආයෙමත් සුසුමක් හෙලුවා. ඔහු හදන්නේ හිත සන්සුන් කර ගන්න.
"අපි බලමුකෝ මේ මනුස්සයා එන්න හදන්නේ මොකාටද කියලා. ඔයා බය වෙන්න එපා. එන විදියකට අපි මූණ දෙමු. පුලුවන් තරම් එයාව මගෑරලා ඉන්න බලන එක හොඳයි" භූප ඒ පාර කිව්වේ පුරුදු සන්සුන් ලීලාවෙන්.
මටත් සුසුමක් හෙලුණේ ඉබේටම.
"ඒත් මට බයක් දැනෙනවා භූප"
"ඇයි ඒ...එයා වෙන නරක දෙයක්..."
"නෑ...නෑ...අපේ ගෙදර සේරම අය එයාට පුදුමාකාර විදියට ලෙන්ගතුයි. මට බයයි එයා ගෙදරටත් මොනා හරි කියයිදෝ කියලා"
"ඉතිං එහෙම කියපු පලියට ගෙදර අය කැමති වෙයිද? පිස්සු දේවල් හිතන්න එපා. මම එහෙනම් යන්නං. ඔයා හවස අපේ ගෙදර යනවනේ. පොඩ්ඩක් මං එනකල් ඉන්න හොඳේ ගියොත්. මෙහෙම කතා කරන්න බෑනෙ" භූප කිව්වේ වට පිට බලලා නැගිටින ගමන්.
මමත් ඔහු එක්කම නැගිට්ටා. මාලු බෙදාගෙන එන්න ගිය කේතකී තාමත් නෑ.
"මං එන්නම්" මම එහෙම කියාගෙන අම්මලා කෑම කකා උන්නු අනික් කුඹුක් ගහ පැත්තට එන්න ආවා. කේතකී එතකොට එතන අස් කරනවා.
"මම හිතුවා මාලු අල්ලන්න ගිහින්වත් දෝ කියලා" මම කිව්වේ එතනට යන ගමන්.
කේතකී මා දිහා හැරිලා බැලුවේ කට කොනක හිනාවකුත් රඳවගෙන.
"අනේ මගේ කට මොකටද...එපා කියයි එහෙනම් මම ආව එකට" කේතකී රහසින් වගේ එහෙම කියද්දි මට හිණා ගියා.
"හරි හරි...දැන් මට වතුර එකක් දෙන්න. ඔහොමද නෑනලට සලකන්නේ" මම ඇහුවෙත් හෙමින්. ලඟ පාත අම්මලා උන්නු නිසා.
"ආ...පව්. එන්න මම අතත් හෝදලම දෙන්න"
කේතකී මට ඇද කරද්දි මම අත හෝදගෙන වතුර එකකුත් අතට ගත්තා බොන්න.
"ඇති යාන්තම් කලු වලාකුලු අයින් වෙලා මූණෙන්. විනාඩි පහකට හරි ආවනේ නේද? හොඳයි හොඳයි... ආදරේ....ආදරේ මී බඳුන් පිරේ... " කේතකී අන්තිමට සිංදුවකුත් පටන් ගත්තා, හයියෙන්ම.
"කෑ ගහන්න එපා බං" බැරිම තැන මම කේතකීගේ කට වහන්න ලං වෙන ගමන් කිව්වා.කේතකී උඩ පැන පැන මගෙන් ඈතට දිව්වා.
"මේ ළමයි දෙන්නට මක් වෙලාද මන්දා. තාම පොඩි අය වගේ"
අපේ දැඟලිල්ල ඇහිලදෝ කේතකීලගේ අම්මා අපේ අම්මට කියනවා මට යන්නතම් ඇහුණා. 
අවුරුදු මාසේ ගෙදා ඉන්නකොට මම අපේ ගෙදර ඉන්නේ බොහොම අඩු වෙලාවක් වග අම්මා දැනගෙන උන්නද කොහෙද. ඒ නිසාම මම හවස හතර පහ වෙනකල් කේතකීලගේ ගෙදර හරි, ආච්චි අම්මලගේ ගෙදර හරි වෙන නෑයෙක්ගේ ගෙදර හරි උන්නට අම්මවත් තාත්තවත් කවදාවත්ම මට මොනවත් කියල නැහැ.
ඒ නිසාමදෝ, කට්ටියම ගොයම් කපලා හවස ගෙදර යන වෙලේ මම කේතකීලගෙ ගෙදර යන්වට අම්මා එපා කිව්වේ නැහැ. මමත් ගිහින් ඒ ගෙදර අයට කරදර කරාවි කිව්වා මිසක.
"පිස්සුද නැන්දේ...මෙයා ඉතිං අපේ කවදත් අපේ ගෙදරම කෙනෙක් වගේ නේ හිටියේ. ආයෙ අමුතු කරදරයක් මොකද, නැද්ද අම්මා?" කේතකී අපේ අම්මට එහෙම කිව්වා.
"මේ මොනා කියනවද? මම ඒ ගමන්ම මේ භාජන ටිකත් සෝදලම එවන්නම්" කේතකීලගේ අම්මා කිව්වා.
"අනේ නාලනී ඔයාට පිස්සුද? මෙන්න මෙහේ දෙන්න. මම හෝදගන්නම්" අම්මා ඒ පාර කේතකීලගේ අම්මට විරෝධය පානවා.
"ඔන්න ඕක දෙන්න අම්මේ. අපි දෙන්නා මේවා හෝදන්නම්. එතකොට හරිනේ" භාජන බෑග් එක තමන් අතට ගත්තු කේතකී එහෙම කියලා මා එක්ක ගෙදර යන්න හැරුණා.භූප අපි එක්ක එන්න හිටියේ නැත්තේ, අපේ අයියලා එක්ක ඇලට නාන්න ගිය හන්දා.
අපේ තාත්තලයි, වැඩ කරපු අනෙක් අය කීප දෙනෙකුයි අන්තිම ගොයම් ටික ගොඩකට කරමින් හිටියේ හෙට සුනාමි මැෂිමෙන් කොල මඩින්න ලෑස්ති කරන්න.
"දැන් අපට ඉස්සර වගේ රෑ වැඩ කරන්න බැහැ නොවැ. ඒ නිසා මේක හෙටම කරන එක හොඳා" මට ඇහුණා ලොකු තාත්තා කලින් එහෙම කියනවා.
කුඹුර ලඟම තිබුණ හන්දා අපි දෙන්නා අඩියට දෙකට ගෙදර ආවා අනෙක් කවුරුත් එන්න කලින්ම.
"හැබැයි නෑනෙ, ගෙදර ආවා වගේ නෙවෙයි, වැඩ කරන්නත් ඕන හරිද?" කේතකී කිව්වේ ගෙදර දොර අරින ගමන්.
"හරි හරි... වෙනදට මං කරන්නෙම නෑනෙ" මම කිව්වේ ඈට ඇද කරලා.
"දැන් වෙනදා නෙවෙයිනේ. දැන් මෙදා. හත් අවුරුදු හය මාසෙකට සැරයක් අස් කරන මහත්තයගේ කාමරෙන්ම පටන් ගත්තා නම් හරි" කේතකී කිව්වේ ගේ ඇතුලට ගිහින් බඩු ටික පුටුව උඩට දාන ගමන්.
"ආ...වෙන මොනවත් එපාද? හත් අවුරුද්දකට සැරයක් අස් කරන්නේ මොකෝ නංඟිලට බැරිද අස් කරලා දෙන්න හෙම?"
මම ඇහුවා.
"මේ නෑනෙ...කට වැඩියි හරිද?"
කේතකී එහෙම කිව්වම මට හිණා ගියා. කේතකීටත් හිනා. අපි දෙන්නා හිනා වෙවීම අස් කරන, හෝදන වැඩේ පටන් ගත්තා අනික් අය ගෙදර එනකල්ම.

"කෙල්ලෝ දෙන්න උන්නෑයින් වලං ටික හෝද ගත්තා" මූණ කට හෝදගෙන කුස්සියට ආපු කේතකීලගේ අපට අම්මා කිව්වේ ආදරෙන්.
මමයි කේතකීයි, සුවච කීකරු මානවිකාවෝ දෙන්නෙක් වගේ පොඩි හිනාවක් පෑවා.
"ඔයාලා දෙන්නා ඉස්සරහට ගිහින් ඉන්නකෝ එහෙනම්. මම ටක් ගාලා තේ පොඩ්ඩක් හදන්නම්"
කේතකීලගේ අම්මා එහෙම කිව්වාම අපි දෙන්නා සාලෙට එන්න ආවා. අපේ අම්මට වගේම මෙහේ අම්මටත්, පැයෙන් පැයට තේ නොබී නම් ඉන්න බෑ. අපිත් ඒකටම පුරුදු වෙලාද කොහෙද. එලියේ කඩුල්ල ලඟ ඉඳන් තේ එකක් බිව්වත්, ගෙට ආවට පස්සේ ආයෙම තේ එකක් ඕනමයි.
ඔරලෝසුවේ හය වැදෙනකොටම වගේ තමයි භූප නාගෙන ගෙදර ආවේ. අපි එවෙලේ උන්නේ, සාලේ බුදු පහන පත්තු කරන ගමන්.භූප මාව දැකලා ලස්සන හිනාවක් පාගෙනම අපි ලඟට ආවා.
"අද ඔයා මෙහෙද?" භූප ඇහුවේ මොනවත්ම දන්නෑ වගේ.
කේතකී මල් වට්ටිය තියන ගමන් අමුතු හිනාවක් පෑවා.
"අද නෙවෙයි, හැමදාම ඉන්න එන්න තමා අදහස" මම භූප දිහා බලලා කිව්වා.
"අනේ වාසනාවන්...එහෙම නං කොච්චර හොඳද?"
"ආ...පුතා ආවද? මම මේ නන්ංන්ගිලට විතරයි තේ හැදුවේ...ඉන්නකෝ"
මෙවෙලෙම වගේ කේතකීල්ගේ අම්මා කුස්සියෙන් මතු වුණා අපට තේ අරගෙනම.
"ඕන නෑ අම්මා"
"ඉන්න ඉන්න මම හදාගෙන එන්න. ඔය දෙන්නා බොන්නකෝ එතකල්" කේතකීලගේ අම්මා ආයෙම කුස්සියට වැඩුනා එහෙම කියාගෙන.
කේතකීට මල් පූජා කරන්න දීලා මම භූප එක්ක ඉස්සරහ සාලෙට ආවා.
"කලුවරත් වැටීගෙන එන්නේ" භූප කිව්වේ එලියට එබෙන ගමන්.
"ඉතිං?"
"අයියණ්ඩි කිව්වා නගාව කලුවර වැටෙන්න කලින් ගෙනැත් අරලින්න කියලා" භූප කිව්වා.
"මම දැන් යන්න තමා හිටි‍යේ. නැත්තම් හයාමාර වුණ ගමන් ඔය කොච්චර කිව්වත් අම්මා පරල වෙනවා"
"ම්ම්..." භූප කිව්වේ කල්පනාබරව.
"මොනාද හිතන්නේ භූප?"
මම එහෙම ඇහුවාම, භූප මා දිහා බැලුවේ මොන මොනවදෝ සිතුවිලි ගොදාක් නලියන බැල්මකින්.
"නෑ...මම කල්පනා කලේ අද වුණ දේ ගැන"
එහෙම කිව්වාම මම බිම බලාගත්තේ සුසුමක් හෙලන ගමන්.
"අද නාන්න ගිය වෙලේ චේතිය මොනා හරි ඔයාට කිව්වද?" මම එහෙම ඇහුවේ සැකේට.
"නෑ...මොනා කියන්නද" භූප එහෙම කිව්වට මොකද මට හිතුණා ඒ ඇත්ත නෙවෙයි කියලා.
ඒත් මට තව ඒක හරාවුස්සලා අහන්න බය හිතුණා.
"ඔයා තේ බොන්නකෝ එහෙනම්. මම වෙන ෂෝටක් දාගෙන එන්නම් ඔයාව ඇරලන්න යන්න" භූප එහෙම කියාගෙන කාමරේට ගියා.
"පුතේ අයියට මේ තේ එක දෙන්න... මම තාත්තට වතුර එකක් තියන්න යනවා එලියේ ලිප ගාවට. නැත්තම් රෑ වෙද්දි එක එක අමාරු එනවනේ..." කුස්සියෙන් එලියට ආපු භූපගේ අම්මා තේ එක මේසේ උඩින් තියලා තව මොන්වදෝ කියමින් කුස්සියට යන්න ගියා.
"දුලා...අනේ මේක දෙන්නකෝ. මම තාම ඉවර නෑ" කෙතකී වැඳගෙනම මට කිව්වා.
ඈට බාධා කරන්න ඕන නැති හන්දා මම භූපගේ තේ එක අරගෙන ඔහුගේ කාමරේ අසලට ගියා.
"භූප.. මේ තේ ගෙනාවා"
"ආ... පොඩ්ඩක් ඉන්න..." කාමරේ ඇතුලෙන් ඇහුණා. මම තේ එක අතේ තියාගෙන දොර ගාව.
"එන්න දුලාරා" භූප එහෙම කිව්වත් මට දැනුනේ මොකක්දෝ චකිතයක්.
වෙනදා ඕන තරම් මේ කාමරේ අස් කරන්නයි, කේතකී එක්ක හොර අල්ලන්නයි රිංග රිංග හිටපු මට අද දැනුනේ ඇතුලට යන්න බෑ වගේ හැඟීමක්.
"එන්න දුලාරා... මම මේ ඔයාලගේ අයියට DVD එකක් හොයනවා" කාමරේ ඇතුලෙන් ආයෙම ඇහුණා.
මම තේ එක අරගෙන ඇතුල් වුණේ බයෙන් සැකෙන් වගේ. එවෙලේ භූප එයාගේ කම්පියුටර් කබඩ් එක යට රිංගගෙන DVD හොයනවා.
"ආ...මෙන්න. මොකක්ද හොයන එක?"
"මේ empty DVD එකක් හොයන්නේ. මම download කරපු ෆිල්ම් වගයක් දාන්න"
"ඉතිං පෙන් එකකට දැම්මා නම් හරිනෙ"
"මගේ පෙන් එක රූම් එකේ දාලා ඇවිත්"
"එහෙමද? ඕක හොයාගෙන ඉවර වෙද්දි අද ගෙදර යන්න පුලුවන් වෙයිද මට?" මම එහෙම ඇහුවේ විහිලුවට.
DVD වගයක් අතේ තියාගෙන උන්නු භූප එක පාරටම මා දිහා බැලුවා. ඒ ඇස් ඉස්සරහදි මට බිම බැලුණා හැමදාම වගේ.
"කෝ දෙන්න" භූප ඊට පස්සේ මා ලඟට ඇවිත් අතේ තිබුණ තේ එක ගත්තා.
"එහෙනම් ඔයා හොයාගෙන..." මම එහෙම කියාගෙන ආපහු හැරෙන්න කලින් භූප මගේ අතකින් අල්ලගත්තා. මම හොඳටෝම ගැස්සුනා.
"අ..ආනේ භූප...අතාරින්නකෝ. දැන් කේතකීවත් එයි"
ඒත් භූප කලේ මාව තවත් ඔහු ලඟට ලං කරගත්තු එක.
"කිව්වම අහන්නකෝ..."
"ෂ්..." භූප එහෙම කියලා මගේ තොල් මතින් ඇඟිල්ලක් තිබ්බා. මම උන්නේ ගැහෙමින්.
"අම්මාවත් එයි" මම මිමිණුවේ ඔහු හෙමිහිට මගේ බඳ වටේට අතක් දාලා මාව තවත් ලං කර ගනිද්දි.
"ඉතිං...ඔයා මගෙනේ"
මම ඔහුගේ දෑස් දිහා බැලුවේ අපි ඒ තරම්ම ලඟින් උන්නු නිසා. ඔහු ලඟ ඉන්න හිතට ඕන නොවුණා නෙවෙයි. මොහොතක් එහෙම උන්නු භූප පාත් වෙලා මගේ කම්මුලක් සිප ගනිද්දි මගේ දැස් පියවුණේ ඉබේටම වගේ.
ඒත් ඊලඟ මොහොතේ ඔහු මගේ දෙතොල් සිපගත්තේ මම නොහිතපු විදියට. ඒ පුංචි තප්පර කීපය මට දැනුනේ කල්පයක් වගේ.
"අයියා..."
කේතකීගේ හඬ ඇහෙද්දි අපි දෙපැත්තට වුණේ කොහොමද කියලාවත් මට මතක නැහැ. විදුලි වේගෙන් වගේ මම උන්නේ දොර ලඟ. මගේ හිත තිබුණේ තාමත් වේගෙන් ගැහෙමින්. මම ඒ වේගෙන්ම කාමරෙන් එලියට ආවා. හොඳ වෙලාවට කේතකී තාම උන්නේ සාලේ. මම ගැහෙන හිතින්ම ඈ උන්නු තැනට ගියා.
"තේ එක දුන්නද?" කේතකී ඇහුවේ අමුතු බැල්මක් පාලා.
"ඔව්..."
කේතකී ආයෙම මොනවත් අහන්න කලින් හොඳ වෙලාවට භූප කාමරෙන් එලියට ආවා.
"මම ගිහිල්ලා දුලාරව දාලා එන්නම් ගෙදරට"
"හරි අයියා"
කේතකී මා දිහා අමුතු බැලුම් හෙලමින් හිණා පෑවේ මොනවත් කියාගන්න බැරි නිසා වෙන්න ඇති.අන්තිමට මම කේතකීටයි, අම්මටයි දෙන්නටම කියලා භූප එක්ක අපේ ගෙදර එන්න මගට බැස්සා.

"දුලාරා..."
එහෙම ටික දුරක් කතාවක් නැතිවම ඇවිදගෙන එද්දි භූප මට කතා කලා.
"ම්ම්..."
"මා එක්ක තරහද?"
"ඇයි එහෙම අහන්නේ?" මම ඇහුවේ ඔහු දිහා හොරැහින් බලන ගමන්. තාමත් මට ඔහු දිහා කෙලින් බලන්න බැරි කමක් දැනුනා.
"ගොලු වෙලා වගෙ යන හන්දා"
"එහෙම එකක් නෑ"
"නැත්තේ මොකද? "දැන් වුණ වැඩේ හන්දද?"
ඔහු එහෙම අහද්දි මට දැනුනේ කන් දෙක රත් වෙන තරමේ ලැජ්ජාවක්.
"ම්හු" මම අමාරුවෙන් හිස වැනුවා නෑ කියන්න.
භූප මදහසක් පානවා මට ඇහුණා.
"ආයෙම එහෙම නොකර ඉන්න මම try කරන්නම්කෝ"ඔහු එහෙම කිව්වාම මම ඔහු දිහා බැලුවා.
"අපි ඔය කතාව නවතමු" මම කිව්වේ ආයාචනාත්මකව.
භූප ආයෙම හිණා වුණා.
"මගේ පිස්සු කෙල්ල"
ගමේ මග දිගට සෙනග දෙතුන් දෙනා උන්නු හන්දත්, හැම දෙනාම වගේ භූප එක්ක වචනයක් හරි කතාකරන්න නැවතුණ නිසාත් අපට කතා කරන්නම නොවුණ තරම්. අන්තිමේදි පාරේ කවුරුත්ම නොහිටියේ අපේ ගෙදර ලඟ වංගුවේ විතරයි.
එතනදි අපේ ගමනේ වේගය බාලවුණේ ඉබේටම.
"මට අද දවස කවදාවත් අමතක වෙන එකක් නෑ" භූප කිව්වේ ගොඩාක් දයාබරව.
"මටත්" මම හෙමින් කිව්වා.
"ඔයා හරියට රෝස මලක් වගේ සිනිඳුයි...ඇත්තමයි" භූප හෙමින් මිමිණුවා මා දිහාට ලං වෙලා.
මම ආයෙම ලැජ්ජාවෙන් රතු වුණා.
"රෝස මලේ නටුවේ කටු වෙනවා අම්ම හෙම ආවා නං" මම කිව්වේ ඒ ලැජ්ජාව මකා ගන්න ඕන නිසා. භූප ආපහු හිනා වෙනවා.
"ඒක නෙවෙයි දුලාරා, මම දාසය ආපහු කැම්පස් යනවා. Research  වැඩ හන්දා. ඒත් නිවාඩුව ඉවරවෙන දවසට කලින්දා එන්නම්. ඔයා එක්ක යන්න" භූප ඊට පස්සේ කිව්වා.
"දාසය?" මම සුසුමක් හෙලුවේ ඔහු නැති පාලුව මට දැන්මම දැනුනා වගේ නිසා.
"මම අනිවා ඔයා එක්ක යන්න එනවා"
"හා"
"මේ දවස් වලත් වැඩ නිසා ආයෙ කවදා මෙහෙම හම්බෙන්න ලැබෙයිද දන්නෑ... ඒත් ඉඩක් ලැබුණ ගමන් එන්න හොඳේ. මාත් එන්නම්"
"හ්ම්"
"ඉතිං ඔහොම දුක හිතෙන විදියට ඉන්න එපා...මෙහෙම හම්බ නොවුණත් අපි හෙටත් හම්බවෙනවනේ"
හිතේ සැනසීමකට තිබ්බේ ඒක විතරයි. මම භූපට හිනාවක් පෑවා.
මමයි, භූපයි අපේ ගෙදර කඩුල්ලෙන් ඇතුල් වෙද්දි, අයියයි, චේතියයි උන්නේ එලියේ. චේතියගේ වාහනේ ලඟ.
"ආ...මදෑ ගෙදර එන වෙලාව" අයියා මාව දැකපු ගමන් කිව්වේ එහෙම.
"ඉතිං මම වෙනදටත් එන්නේ මේ වගේ වෙලාවටනේ" මම එහෙම කිව්වේ මා දිහා බලාගෙන උන්නු චේතියගේ බැල්ම මගෑරලා.
"හරි හරි දැන්වත් යන්න ගෙදර. අම්මා දැනුත් මගට ඇවිත් බලලා ගියේ" අයියා මට කිවා.
"මම යනවා භූප" භූප අයියලා උන්නු තැන නතර වෙද්දි මම එහෙම කියලා ගෙට එන්න ආවා.
හිතේ තිබුණේ අමුතුම හැඟීම් ගොඩක්. සතුට, කෝල බව, දුක, ඒ වගේම පුංචි බයකුත්. ඒ චේතිය ගැන.


4 comments:

  1. නෙතූ අක්කා දන්නවද පුදුම විදියට හිත නිවන ගතියක් ඔයාගේ කතාවල තියෙන්නේ!

    ReplyDelete
  2. ස්තූතියි වර්ෂා...ඔයාලට එහෙම දැනෙනවා නම්, ඒක මට කතා ලියන්න ලොකු දිරියක්. ඒ වගේම ඔයාලගේ අදහස් මෙහෙම ප්‍රකාශ කරන එකත් ඉක්මණට ආපහු ලියන්න මාව දිරිමත් කරනවා...

    ReplyDelete